Showing posts with label බයිස්කෝප්. Show all posts
Showing posts with label බයිස්කෝප්. Show all posts

රජ- අතීත සිනමාව... දැන් දශක දෙකක විතර වාගේ ඉඳල පෙළට සැරින් සැරේ එනව.

මට මතක විදිහයට... මේ දක්වා ඇදි ඇදී එන, මේ ඉතිහාස සිනමාව පටන් ගන්නෙ ජැක්සන් ඇන්තනීගේ අබා (2008) චිත්‍රපටියත් එක්ක. මම සා/.පෙළ කරන කාලේ තමයි අබා ආවේ. ඉස්කෝලෙන් එක්කං ගිහින් තමයි බැලුවේ. ඒ කාලේ හැටියට අබා ලංකාවේ දින 100ත් පහුකරන් දුවපු, box office ෆිලුමක්. අබා පටන් ගන්නෙ බබා හම්බෙන්න සීන් එකකින් වගේ තමයි මට මතක. ඒ නැතත් film එක පුරාවට ළමයි හම්බෙන සීන් දෙක තුනක් නම් තිබ්බ. ඒක නිසාද, නැත්තං අබාගේ සාර්ථකත්වය නිසාද මන්දා එතැන් සිට ලාංකේය සිනමාවේ, ඉතිහාස කතා පෙන්වන්න ගත්ත වැල නොකැඩී... අබා එකේ බබාල හම්බුවෙන ගානට 😂😉.

යුද්ධය ඉවරවුණු කාලයක සිංහලකම, හෙළ අභිමානය, අතීත ශ්‍රී විභූතිය ගැන කතා වෙන අස්සේ... අනික් අධ්‍යක්ෂක/නිෂ්පාදක කස්ටියටත් හිතුනද දන්නෙ නෑ, අබාත් හිට් එකක් උන එකේ, මේ තැටියම ඉස්සරහට play කරන් ගියානම් හොඳයි කියල වගේ එකක්. කොහොමත් මිනිස්සු රැල්ලට යන එක නෙ. ඒ මොනා උනත් මට තේරෙන්නෙ නෑ අවශ්‍යතාවයට අනුව සැපයුම ලැබුණද, නැත්තං සැපයුමට අනුව අවශ්‍යතාව පෙලගැහුවද කියලා. කොහොමහරි මේ දක්වා රජ- අතීත සිනමාව තියෙනව. මං ඉපදෙන්න කලින් තිබ්බ රැලි මං දන්නෑ හොඳේ ඕන්☺. මේවට දේශපාලන පෙළඹවීම්, අත පෙවීම තියෙනවද නැද්ද කියලත් මං නම් දන්නෙ නැතිවා. ඒත් කොහොමින් හරි ගජරාමෙට අතීතය රිදී තිරයේ රජ උනා.

එදිනෙදා හිරවුණු ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා... චිත්‍රපටියක්, සංගීතයක් වගේ කළා මාධ්‍යකට මිනිස්සු එක් වෙන්නෙ පොඩි නිදහසක්, රසවින්ඳනයක්, විනෝදයක් ලබා ගන්න. එහෙම එකේ බලන චිත්‍රපටිවලින් අති බහුතරය රජ - අතීත කතා උනොත්. ඒත් කමක් නෑ කියමුකෝ... අපූරු පිටපතකට, හොඳ අංග රචනා, දෙබස් එක්ක රසවිඳින්න පුළුවන් නිර්මාණ/ කළා නිර්මාණ නම්. ඒත් බහුතරයක උනේ අපේ මතකයේ තියෙන ජාතක කතාවක්, අතීත රජ කතාවක්,  එහෙම්ම ම ඒ විදිහට චිත්‍රපටි ශාලාවෙන්... සිනමාවක් ලෙස පෙන්වීම යාම. හෝ ඒ විදිහට නිපදවන්න දරපු උත්සාහය. මේ බොහෝ උත්සහ හරිම නීරසයි. ප්‍රේක්ෂකයන්ට වතුරයි බතුයි ගානට උනා.

කටෝර ලිඛිත භාෂාව, පිටපතේ හා අංග රචනා වල දෝෂ, සිනමාත්මක බවේ අඩුපාඩු, රංගන දුර්වලතා, යොදාගත් දෘශ්‍ය ප්‍රයෝග වල දුර්වලතා, වෙනත් තාක්ෂණික දුර්වලතා... ආදිය මේ බොහෝ ඒවායේ දැක ගන්න තිබුණ. එහෙම උනේ අඩු බජට් නිසාද, අදාළ ක්ෂේත්‍රවල දක්ෂයන් යොදා නොගැනීමද, නැත්තං නිෂ්පාදකගේ/ අධ්‍යක්ෂකගේ ටකා ටිකා ටුකා කියල කස්ටිය තෝරණ ක්‍රමයද මන්ද.

මේ හැම කරුණක්ම එකතුවෙන් නිමවුණු රජ- අතීත සිනමාව හන්ද ද මන්ද ටිකෙන් ටික වැහෙමින් යන චිත්‍රපටි ශාලා... තවතවත් වැහෙන එක වේගවත් කරන්නේ. ඉතිරි චිත්‍රපටි ශාලා කීපයෙත් ඉංග්‍රීසි, දෙමළ, හින්දි වගේ චිත්‍රපට තමයි වැඩි හරියක් තිරගත කරන්නේ. ඉඩ තියෙන වෙලාවක සිංහල චිත්‍රපටියක් දෙකක් දුවන්නට දානව ඇති... නැත්තං අපේ අයට සිංහල සිනමාවක් ගැන අමතක වෙන නිසා. එහෙම මට හිතෙන්නෙ. ඒ අතරින් පතර මේ තේමාවෙන් වෙනස් උන චිත්‍රපටි කීපයක්ම සාර්ථක උනා. වර්තමානෙ නම් ලොකු hit එකක් උනා ගජමෑන් 3D  චිත්‍රපටිය.

ඒකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ට මේ රජ- අතීත සිනමාව වහකදුරු වගේ ද? නැත්තං මේ චිත්‍රපටි හදන විදිහේ අවුලක් ද? නැත්තං මේ විදිහෙම චිත්‍රපටි එක දිගටම නරඹල එපා වෙලාද? නැත්තං මේ හේතු ඔක්කොමද?

මේ රජ- අතීත සිනමාවේ රැල්ලක් බිහිකරන්න... දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරම්භකරු වුණු ජැක්සන් මහතාත් පහුව ඒ රැල්ලටම එකතු වෙනව. ඊටත් පහුව, එය ඉහටත් උඩින් ගෙනියන්න දායක වුනු සහ වෙන කෙනෙක් තමයි ආචාර්ය සනත් ඔබේසේකරයන්. අප්පේ එතුමා මේ විදිහේ සිනමා හා රූපවාහිනී බොහෝ නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනව. ඒ වගේම කෙනෙක් තමයි සිංහල ඇදුරිඳු සුනිල් ආරියරත්නයනුත්. තව කීප දෙනෙක්මත් මේ පෝලිමේ ඉන්නව. සමහරු නම් එමින් යමින් ඉන්නව.

කොහොමින් හරි ආචාර්ය සනත් ඔබේසේකර මාධ්‍යයට මේ රජ-අතීත සිනමාව ගැන වෙනස් විදිහේ කතාවක් කියල තියෙනව 'චිත්‍රපටි ශාලා බණ මඩු උනාට කමක් නෑ' වාගේ කතාවක්. ඇත්තටම එහෙම උනාට මටත් ඇත්තටම කමක් නෑ. ඒත් මිනිස්සු හෝල් එකට එන්නෙ චිත්‍රපටි බලන්න.

අනික මේ කරන/ හරිහමන්ව නොකරන චිත්‍රපටි තැනිල්ලෙන් වෙන්නෙ කාරණා දෙකයි... මගේ දැනීමේ හැටියට නම්.

🔽චිත්‍රපටි ශාලාවලට දමිල, මුස්ලිම් පිරිස අඩු වෙනව. එයින් සිනමා කර්මාන්තයට සෘජු බලපෑමක් සිදුවෙනව.


🔽බුදු දහමේ හරයට, දාර්ශනික අදහස් වලට පහර වැදීම.

 දරිද්‍ර අප්‍රිකාවේ... සහනයාත්‍රා වැඩසටහනක් සඳහා පුණ්‍යාධාර එකතු කිරීමට පැවැත්වූ 'Live Aid' සංගීත ප්‍රසංගයේ කොටසක් ප්‍රතිනිර්මාණය වෙයි කියල, එදා ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයින්ගෙ හිතේ කොනකවත් තියෙන්න නැතුව ඇති.

ඒ වගේම මේ ගැන ලියන්න මගෙ හිතේ කොනකවත් තිව්නේ නෑ. මේ අලබෝලෙ මට සැට් කරේ... Lotus.

නිදී, ඩ්‍රැකී Thirteen Lives ලිව්ව වගේ නමීට මේ ගැනත් ලියන්නට පුළුවන් නෙ කියල... We Will Rock You පොස්ටුවට ලෝටස්තුමී කොමෙන්ට් කළා. bucket list එකට ඒ වැඩේ දාන් ඉන්න තිවන, වෙන බ්ලොගක ඒ කොමෙන්ටුව දාල තිවන නම්. ඒ හන්ද හිතහදන් මට සප් එකක් ගන්න කවුද ඉන්නෙ බැලුව. නයා.. උහුම්. Pra Jay, අජිත් බොසා. ඔක්කෝම ඇහැව්වොත් බිසී කියයි. කොලොම්පුරයත් ගත්කටටම බිසී කියන එකේ. ඒ නිසා මං තනීම මේ පෝස්ටුව ලියන්ට හිතාගත්ත... ඇහැක් තරමින් සාරාංන්සව, පොඩිවට.

 Freddie ලොක්කට AIDS හැදෙනවා (හැමෝම දන්න විදිහට)... විශ්වාසදායී ලිංගික සහකරුවන් එකකට හෝ දෙතුන්දෙනෙකුට පමණක් සීමා නොවුන නිසා. මේ කාලෙම වාගේ දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වෙනව ලන්ඩනේ අර සහනයාත්‍රා අදහසින්. දිනවකවානු ගත්තොත්... 1985 ජූලි 13. බිලියන ගණනක් වූ රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් වගේම සජීවී ප්‍රේක්ෂක පිරිසේ ප්‍රමාණයත්... අති විශාලයි. ඒ හේතුවෙන් මෙතක් පවත්වපු ප්‍රසංග අතුරින් දැවැන්තම එකක් ලෙස 1985හේ Live Aid සංගීත ප්‍රසංගය ගැනෙනව. මෙහි කොටසක් නැවත ප්‍රතිනිර්මාණයට ඉඩ සැලසෙන්නේ... Live Aidහි Freddieගේ ප්‍රාසාංගික කොටස, ඔහුගේ ජීවිත කතාවේ... වැදගත් සිදුවීම් බව Bohemian Rhapsody (2018) නිෂ්පාදකයන්, අධ්‍යක්ෂකවරුන් තේරුම් ගත් නිසයි.

ඒ වගේම නිෂ්පාදන අංශ/ කැමරාශිල්පී මෙයට green screens තාක්ෂණය භාවිතා නොකර ඒ සජීවී රසවින්දනය, තාත්විකත්වය චිත්‍රපටියෙන් මතුකරලන්න අදහස් කරල. ඒ වගේම වේදිකාව පිටුපස/ ඒ මත සිදුවන කුඩා වූ හෝ සංසිද්ධියක් රූප රාමුවට ගෙන ඒමටත් උත්සහ කර තියෙනව. ඒ නිසා එදා Wembley ක්‍රීඩාංගනය තුළ ඉදිකර තිබූ සියල්ල ඒ ආකාරයෙන්ම දර්ශන තලයට ගෙන ඒමේ අසීරු කාර්යට ඔවුන් මුල පුරල. එක් පැත්තකින් එය කැමරාශිල්පී Newton Thomas Sigelට නිදහසේ අවශ්‍ය අවස්ථා/ පැති දර්ශන ලබා ගැනීමට විශාල උදව්වක්ද වෙන්නට ඇති.

"අපිට වැඩි යථාර්ථයක් ගැනීමට හැකි වන අතර, නළුවන්ට හා කැමරාවට දර්ශන තලය වඩා ලං කළ හැකි තරමට, ප්‍රේක්ෂකයන්ට රූපරාමුවල යථාර්ථය සහ බර වැඩි වැඩියෙන් දැනෙනු ඇත." - නිෂ්පාදන නිර්මාණකරු Aaron Haye

 


Wembley Stadium එක ප්‍රතිනිර්මාණයට තෝරා ගැනුණේ... එහි සැබෑ පරිමාණයන්ට සමාන වූ උතුරු ලන්ඩනයේ පැරණි හා දැවැන්ත ගුවන් තොටුපලක්. (වර්ග අඩි 70,000ක ඉඩකඩක්, උස අඩි 70ක ප්‍රමාණයක්). රූපගතකිරීමේ සිටි 2,000ක ප්‍රේක්ෂක පිරිස 70,000ක් බවට පත් කිරීම සඳහා ඔවුන් GCI තාක්ෂණය භාවිත කර තියෙනව.

කැමරාශිල්පී Sigel නළුනිළියන් පෙරහුරු කරන මොහොතේ පවා ඒවා අධ්‍යනය කරමින් සිට තිබුණ.

'මම පෙරහුරු ගණනාවක් දැක්ක, ඒවා අධ්‍යයනය කරන්නට පුළුවන් වන විදිහට මගේ iPhone එකේ පටිගත කරගත්ත'

ඒ පෙරහුරු දැකීම ලොකු උදව්වක් උනා, මොකද එය වඩා හොඳින් සැලසුම් කිරීමට ඉඩ සලසන නිසා සහ ඒවායින් ආශ්වාදයක් ලැබෙනව. ඔවුන් කරන දේවල් දකින අතර කැමරා කෝණ සොයා ගන්නත් හැකි වෙනව, නැත්තං 'අනේ, මට ඒක අතපහු නොවෙන්න වග බලා ගන්නට ඕන' කියල හැම දේ ගැනම හිතන්න වෙනව.

චිත්‍රපටයේ මේ ප්‍රාසාංගික කොටස වෙනුවෙන් Freddie Mercury ට රඟපෑ Rami Malek හා සංගීත කණ්ඩායමේ අනෙක් පිරිසද වෙනම සති හයක පෙරහුරුවක් ලබා ඇති අතර අංග රචක Polly Bennett සමග ඔවුන් ගැඹුරින් තමතමන්ගේ කාර්යයන් අධ්‍යනය කර තියෙනව.

එමෙන්ම MalekFreddieගේ ඒ දත් ඉදිරියට නෙරා ඇතිබව පෙන්වන, කෘතීම සැකැස්ම... ප්‍රතිනිර්මාණය වන ප්‍රසංගයේ පටිගත කිරීම් වලදීද පැළඳගෙන ඉඳල තියෙනව. (චිත්‍රපටයේ මුල සිටම Malek මෙය පැළද කතා බහ කිරීමට වෙනම පුරුදු පුහුණුව තිබේ).

* * * * * * *

මේ සියල්ලෙන්ම චිත්‍රපට කණ්ඩායමට ඕන කර තිබුණේ... හුදෙක් සිදුවීමකට එහා ගායකයකුගේ ප්‍රාසාංගික හැඩය, ඒ මොහොතේ ඔහුගේ/ඔවුන්ගේ මනෝභාවයන්, අංගචලනයන්වල හා රසිකයන් අතරත් Freddie අතරත් අන්‍යොන්‍ය ඒකාත්මික වීම තාත්විකව කැමරාවට හසු කරගැනීමටයි.

කොහොමින් උනත් කරුණු හොයද්දී තමා දැනගත්තේ මේ ෆිලුමත් ඇදි ඇදී කෙරිච්ච එකක් බව. තිරගත වුනේ 2018 අග උනත්, සිනමාවට නගන්න පටන්ගෙන තියෙන්නෙ 2010 වගේ කාලයකදී බවයි කියවෙන්නෙ. ඒ වගේම Sacha Baron Cohen තමා Freddieට මුල්ම තේරීම වෙලා තිබිල තියෙන්නෙ. අර The Dictator (2012) එකේ හාදය. කෝමෙන් හරි දෙපැත්තේ අදහස් නොගැලපීම් මත එයා මේක ප්‍රතික්ෂේප කරල. ඒ විතරක් නෙමේ මේක අගක් වෙනකම් අධ්‍යක්ෂකව හිටි Bryan Singerත් අන්තිම හරියේ වැඩේ කර ඇරල. (අපි නිකම් හෝල් එකේ, කොම්පීතරේ ඉස්සරහා ලගා ගහන් බැලුවට ඇතුළේ කොච්චර ඩාම් ඩූම් සිද්ධි වෙනවාද නේ... හිටන්).

ඕම ඕම ඇවිත් තමා 2018 හදල පෙන්නගෙන... හොඳම නළුවා ඇතුළු විවිධ සම්මාන රාශියකට හිමිකම් කියල තියෙන්නෙ. ආයේ ඉතීම් Ramiයට ඔස්කාව මේකට හම්බෙන්නැතුව තිබුනොත් තමා පුදුමේ. කොල්ල ඒ තරම් දස්ස විදිහට වැඩේ කරල. ඒත් මේකට හොඳම චිත්‍රපට සංස්කරණයට හිමි ඔක්සාව ලබන්න සුදුසු නෑ කියල තමා සමහරුන්ගේ අදහස. (මගේ මතෙත් ඒක). ඒ වගේම මේ චිත්‍රපට ස්ටොරිය සත්‍යයෙන් පරිභාහිරව ගිය තැන ටිකක් බහුලයි කියල... දන්නෝ කියනව.

එතකොට LGBTQ+ ගැන දැක්වෙන ෆිලුම් අතරින් වැඩිම Box Office ආදායමක් හා අවධානයක් ලබා ගත් ප්‍රධානම චිත්‍රපටිය තමයි Bohemian Rhapsody (2018).

ඔය විදිහට තමයි ඉතීම් Farrokh Bulsara තමන්ගෙ නම Freddie Mercury බවට හරෝගෙන ගෙව්ව ජීවිත කතාව සිනමාවට ගෙන ඒමේ... තිරේ පුටුපහ ස්ටොරිය. Short & sweet ලෙස.

Seven Years in Tibet - Sinhala Subtitle

තම උපන් බිමෙන් පවුලෙන් දුරස්වීම හා සිරගත වීමත්, වෙනත් දේශයක කාලාන්තරයක් ජීවත් වන්නට සිදුවීමත් කෙනෙකුගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරයිද....

ඔස්ටියානු කඳු නගින්නකු වන හෙන්රිච් හැරර් පිරිසත් සමග නග්නා පර්බාත් තරණය කරන අතරතුර නොසිතූ අර්බුදයකට මුහුණ දෙන්න වෙනව. ඒ ඔවුන්ගේ ජර්මානු පුරවැසිභාවය හේතුකොටගෙන... ඉංග්‍රීසින්ගෙ සිර අඩස්සියට ලක් වීමෙන්.

කාලයකට පසු එයින් ගැලවෙන හෙන්රිච්ට සගයෙකුත් එක්ක ආසියාවේ, ටිබෙටයේ ගෙවන වෙන ජීවිතය... කටුක, රසවත්, ආධ්‍යාත්මික සුවය මුසුවූ එකක්. ඒත් එක්කම අහඹු සිදුවීමකින් හෙන්රිච්ට ටිබෙටයේ, එවකට කුඩා වියේ සිටින 14වන දලයිලාමා තුමා සමග සමීප ඇසුරක් පවත්වන්නටද අවස්ථාවක් සැලසෙනව. මේ කාලයේ චීනය තම ආධිපත්‍ය වෙනත් රටවල් වෙත මුදා හැරීමත්, දෙවන ලෝක යුද්ධයත් සිදුවන සමයක්. මේ සියලු දේ සමග ටිබෙටයට, ටිබෙටයේ ආධ්‍යාත්මික ගුරුවරයාට, හෙන්රිච් හැරර්ට කුමක් වේද... හැරර් හා ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමාගේ මිතුදමට කුමක් වේවිද...

ඒක දැන ගන්න නම් ඉතින් හැරර් අතින්ම ලියවුනු Seven Years in Tibet පොත කියවන්න වෙනව. නැතිනං ඒ පොත ඇසුරින් ඒ නමින්ම 1997දී නිපදවූ Brad Pitt, David Thewlis, BD Wong ප්‍රධාන චරිතය හොබවන මේ චිත්‍රපටය බලන්නම වේවි.

ආධ්‍යාත්මික ස්පර්ශයක් සමග හදවත පුබුදුවන මේ සලරුව බලන්න... පුළුවන් නම් වෙලාවක් වෙන් කරගන්න.

සිංහල subtitle හදා බයිස්කෝප් එකට දුන්නත් ඒ උන්දලා පළ කලේ නැහැ. ඒ නිසා මේ film එකේ සිංහල sub ඒක මෙතනටම අමුණනවා. මේකෙ sub හොයන කෙනෙක්ට මෙතනින් හරි ගන්ට පුලුහං වෙන්ටය කියල.




 

වැව් දියෙන් වගේ නෙවේ වැහි දියෙන් ගොවිතැන් කරන රටවල්, පළාත්. ඒ අය වැහි දිය විස්සාස කරලයි උදලු මිට අතට ගන්නෙ. සුබාවදරුමෙ මාරු වෙච්චිකොට අහස බලලා වැස්ස එන දවසක් තීරණය කොරන්ට හරියටම බැහැ. එහෙව් දේසෙ, රේඩියෝව කන ළඟ තියං කාලගුණ විස්තරේ අහගෙන කාෂ්ටක රටේ ගොවිතැන් කරන ගොවියෙක්... ගොවි ගම්මානයක්.

මෙය අධ්‍යක්ෂණය කරමින් පියාගේ චරිතය රඟදක්වන්නෙ කවුරුත් දන්න 12 Years a Slave (2013) එකේ රඟපෑ Chiwetel Ejiofor.

සත්‍යය සිදුවීමක් පාදක කරගෙන 2019දී නිර්මාණය වුන The Boy Who Harnessed The Wind (2019) සිනමා පටය අද කාලෙට හොඳටම ගැලපෙනව. කුඩා දරුවෙක් තමුන්ගෙ පවුල හා ගම සාගතයෙන්, වතුර නැතිකමින්, දරිද්‍රතාවන්ගෙන් විඳින පීඩා ගැන සංවේදී වෙලා... ඉගෙනගත් දැනුමෙන් එයට පිළියමක් සොයන්න වෙහෙසෙන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

සංවේදී විලියම් ගම අතහැරලා යන්න අකමැති තාත්තටම ඔබින දරුවෙක්... හැබැයි දන්න දේවලුත් එක්ක අත්හදා බැලීම් කරමින් වෙනස් යමක් කරන්න ඔහු උත්සහ කරනව. නමුත් සාම්ප්‍රදායික පියාට අවශ්‍ය ශරීරය වෙහෙසලා වැඩ කිරීමත්, ළමයා ඉගෙනුමෙන් පස්සෙ තම වැඩවලට දායක වීමත් පමණයි. විශ්වාසය, පවුල, ආදරය, පරාර්ථකාමය... අත් නොහැරි විලියම් තම ප්‍රයත්නයද අත් හරින්න ලැහැස්ති නැහැ.

සාමානයෙන් අද කාලෙ... පවුලේ ප්‍රශ්න, අඩදබර වගේ කාරණා නිසා ළමයි පවුල අතහැරලා යන්නෙ බැරිම මොහොතෙ නෙමේ... පුළුවන් වෙන පළමු මොහොතෙ. ඒ කියන්නෙ... අද සමාජය පොඩි කාලෙ ඉඳල හුරු වෙලා තියෙන්නෙ ප්‍රශ්න, ගැටළු ආහම උත්තර / විසඳුම් හොයන්න නෙමේ ඒවයෙන් පැනලා යන්න. නැතිනං අත පිහදාන් පැත්තකට වෙන්න. අන්තිම විසඳුම ඒක නම් ඒකට කමක් නෑ. ඒත් පළමු විසඳුම ඒකම ද...?

දවසකට එක වේලක් කෑම / ආධාර ලැබෙන තුරු පෝලිමේ සිටීම

පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙන මේ සිනමා පටය... වෙලාවක් තියෙනව නම් බලන්න වෙලාවක් වෙන්කර ගන්න.

ෆිලුමෙ බැතිබර අනුග්‍රහය - පංචතන්තුරේ නිදි තුමා


 සහස්‍රකයෙන් ලැබීමෙන් පස්සෙ ආ සුපිරි ෆිලුම්ක් තමයි ඉතින් Training Day (2001) කියන්නෙ. Denzel Washington... ලෝක සිනමාවට කැමති කවුද නොදන්නෙ මේ බුවා ගැන. Glory, Fence, Equalizer, Inside Man, Philadelphia... ආදී චිත්‍රපටිවල දැනෙන චරිත කරපු Denzelගෙ Oscar සිහිනය සැබෑ වුණේ මේ චිත්‍රපටියෙන්. මෙහි Denzel නිරූපණය කරන්නෙ පරීක්ෂක ඇලන්සෝ නැමැති කළු චරිතය වන අතර Ethan Hawke නිලධාරී Jake විදිහටත් ඒ කාලේ කොල්ලන්ගෙ crush එකක් උන Ryan Gooslingගෙ කලින් නෝනා... Eva Mendes ඇලන්සොගේ කෑල්ල Sara විදිහටත් තමා. සෙසු චරිත වලින් Snoop Dogg හා Cliff Curtisවත් දැක ගන්න පුළුවන්. ඒත් මුලින්ම මේ චිත්‍රපටයේ ඇලන්සො සඳහා Samuel L. Jackson වත්, Jake සඳහා Matt Damonවත් තමයි, කලින් අධ්‍යක්ෂක තෝරන් ඉඳලා තියෙන්නෙ. පසුව Paul Walker හා Eminem පවා Jake සඳහා සලකා බලල තියෙනව. කොහොම උනත් ඇලන්සො වෙනුවෙන් Denzelව ගැනීම වෙච්ච හොඳම දෙයක් හැටියටයි තේරෙන්නෙ... චිත්‍රපටිය නැරඹුවට පස්සෙ. ඒ තරම්ම විශිෂ්ට රංගනයක ඔහුගෙන් දැක ගන්න පුළුවන්.

පැය 2ක් පුරාවට දිවෙන අපරාධ/ ත්‍රාසජනක ගණයේ සලරුවක් වන Training Day (2001)හි අධ්‍යක්ෂ Antoine Fuqua වන අතර පිටපත David Ayer. IMDb හි 7.7ක අගයක්ද, Rotten Tomatoes වල 73% ලෙස rating කිරීම් වලින් ලබාගෙන තිබුණු අතර සිනමා උළෙලවල් රාශියක... හොඳම නළුවා ඇතුළු සම්මාන බොහොමයක් දිනා ගැනීමත්, හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා තිබීමත් චිත්‍රපටයේ විශිෂ්ට බව පෙන්වා දෙනව.

චිත්‍රපටියේ plot එක නම්... උසස් වීමක් බලාපොරොත්තුවෙන් තම එක් දින පරීක්ෂණයට/ඇගයීමට ලක්වන නිලධාරි Jakeට ඒ දවස තුළ මුහුණ දීමට වන සිදුවීම් පෙළයි. ඔහුගේ පරීක්ෂකයා වන්නේ මත්ද්‍රව්‍ය නාශක උසස් නිලධාරී Alonzo. Jake තමන්ගේ පරීක්ෂණය කාර්යාල භූමියෙන් පටන් ගැනෙයි කියල හිතුවත්, එය වෙන්නෙ දවස පුරාම උසස් නිලධාරී Alonzo සමග ලොස් ඇන්ජලීස් වටා කරක් ගැසීමෙන්. දවස ආවසානයේ Jake පරීක්ෂණය සමත් වෙයිද? තමන්ගේ ඉලක්කයට යයිද? නැතිනම්....

ජාවාරම්කාරයින්, මත් වෙළෙන්දන්... නීතියේ රැහැනින් ගැලවෙන්න දරන භයානක හා සාර්ථකම වෑයම වෙන්නෙ නීතිය කරවන අය තමන්ගෙ දැලේ දමා ගැනීමෙන්. ඒ දැලට හසුවන පොලිසියේ පහළම තැන ඉඳල ඉහළම නිලධාරියාත්, නීතිඥයින්, රහස් පරීක්ෂකවරුන් සතුටු කරන්න... මේ අපරාධකාරයන්ට සිදු වෙනව. කවදා හෝ මේ භයානක සූදුව නතර වෙන්නෙ දෙපැත්තෙන් එක පැත්තක කෙනෙක් හෝ පිරිසක් මරු වැළඳ ගැනීමෙන්. එතෙක් ගෙවෙන මේ අන්තර් කාලය, දෙපිරිසටම සටන් විරාමයක්. මේ කාලය තුළ දෙපිරිසම තම තමන්ගෙ ආදායම් මාර්ගය වන රැකියාවේ නිරත වෙනව.



පහළ නියම ලෝකයට බැහැල නැති Jakeට, හතරදිග්බාගෙම කරක් ගහපු Alonzo... පෙන්නලා දෙනව එහි කටුක යතාර්ථය. ඒ යතාර්ථයට මුහුණ දෙන්නට Jakeට සිදු වන්නේ තම අවංක පොලිස් හදවතත් එක්ක. මත් උවදුරින් තොර සමාජයක්, අපරාධකරුවන්ගෙන් තොර නගරයක් පතන Jakeට අමාරුවෙන් නමුත් තේරුම් යනව, තේරුම්ගන්න වෙනව මේ දූෂිත සමාජයේම /යාන්ත්‍රණයේම කොටසක් බව, නගරය ආරක්ෂා කිරීමට සිටිනා කණ්ඩායමත් කියා.

එක් පසෙකින් Alonzoට තමුන්ගෙ ජීවිතය ආරක්ෂා කර ගන්න, නියමිත වෙච්ච මුදලක් හොයා ගන්න සිද්ධ වෙනව. ඔහු ඒ ඉලක්කය වෙත සැලසුම් හදනව. ඒ පසුපස හඹා යනව. අනෙක් පසින්... මේ ජරාජීර්ණ වූ ලෝකයේ පය නොතැබූ Jakeට සිද්ධ වෙනවා තම හෘද සාක්ෂිය, නීතිගරුක බව හා නිර්දෝෂීභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න, සටන් කරන්න.

එක දවසක මෙතරම් සිදුවීම් සිදු වෙන්නට පුළුවන්ද කියන කාරණයත් සමග චිත්‍රපටය යතාර්ථවාදී බවෙන් මදකට ඉවත්ව තිබෙනා බවක් පෙනුනද... විය නොහැකි දේවල් නැති තරම් බව පෙනෙන යතාර්ථ ලෝකයත් සමග එය අහෝසි වෙනව. අනෙක් ගැටලුව වන්නේ ඇලන්සෝ නැමැති කළු චරිතය (bad guy) සඳහා කළු (coloured) පුද්ගලයෙක්මත්, සුදු චරිතය සඳහා (white man) සුදු කෙනෙකුත් තෝරා ගැනීමයි. (අධ්‍යක්ෂක Fuqua පවා කළු ජාතිකයෙක්). මෙයට පිළිතුරක් සොයාගත හැක්කේ චිත්‍රපටය නිපදවූ අයගෙන්ම නිසා ඒ කරුණත් අතහැර දැමු පසු... ඇහිපිය නොගසා බලන් සිටිය හැකි පැය දෙකක් ප්‍රේක්ෂක අපට ඉතුරු වෙනව... සමාජයේ තවදුරටත් සිදුවන හොරා සහ පොලිස් සෙල්ලමේ... තවත් එක් ආකාරයක් දැක බලා ගැනීමට.

 අන්තවාදී වීම මොනතරම් භයානක ද?. අන්තවාදය මොනතරම් භයානකද?. වචනය පවා භයානකයි වගේ.

අයෙක් /පිරිසක් තමුන් හරි යැයි සිතා ඒ මතයේ දැඩිව එල්බ අනෙකාටත් එය පැටවීම, තම මතයම ජය ගැනීමට හා එය පොදු බවට පත් කිරීමට යෑම, අන් මත දැඩිව නොයිවසීම හා පිළිකෙව් කිරීම මොනතරම් සාධාරණද යුක්ති සහගතද... නවීන ලෝකය යැයි පාරම්බාන අද පවා සිදුවන දෙයකි මෙය.. මේ මොහොතේ පවා. සෑම කෙනෙක් තුළම අඩු වැඩි වශයෙන් කිව්වොත්... ඔබ පිළිගනීවිද?. බොහෝ දෙනෙක් එය පිළිනොගනී. සමහර දාර්ශනික මතයන් වලට අනුව අප තුළ තවමත් ගෝත්‍රික, පරිණාමනය නොවූ හැසිරීම් මතු වීමේ හැකියාවක් තියෙනවා යැයි පවසයි... ජානමය වශයෙන් එනවයි කියන්නෙ. කොහොමින් උනත් මේ වගේ හැසිරීම් යම් ප්‍රමාණයක් හෝ තියෙන එක පුද්ගලයෙක්, පවුලක හිටියහොත් ඒ පවුලට ඔහුගෙ/ඇයගෙ ඒ හැසිරීම් මහ වදයක්, කරදරයක්...

අයෙක් තව අයෙක්ට කරනා මේ දෙය දුරදිග ගිහින්.. සමාජයේ යම් පිරිසක් සමස්තයට තම දැක්ම, මතවාදය පටවන්න හැදුවහොත් ?? එසේ කිරීම හෝ සිදුවීම පැහැදිලිවම අන්තවාදයකි. අන්තවාදී ක්‍රියාවකි. මෙය ආගමේ නාමයෙන් සිදුවුන හොත්... තමුන් අදහන ශාස්තෲ නාමයෙන් සිදුවුණ හොත් හෝ සිදුකල හොත්.. එය ආගමික අන්තවාදයකි. තම ආගමට නිගා දෙන අන්තවාදයකි.

රජයේ හමුදාවන්ට බැඳුණු තරුණයින් හසු කරගනිමින්

අද ලොව බලවත්ම ආගමික අන්තවාදී කණ්ඩායම් වන්නේ ඉස්ලාම් අන්තවාදී පිරිසයි. ඔවුන් තම අන්තවාදී ජිහාඩ් (ශුද්ධ යුද්ධය) වාදය පතුරවමින් තම පසු පරම්පරාවද ඒ වෙත ඇද දමයි. ඔවුන් ඒ සිදුකරනු ලබන්නේ ඉස්ලාම් දහම විනාස කිරීම බව ඔවුන්වත් නොදනී. ඒ ගැන දැක්වෙන වාර්තාමය සිනමා සිතුවමක් තමයි Of Fathers and Sons (2017). චිත්‍රපටය Rotten Tomatoesහි 95%ක් ද, IMDb 7.3ක අගයක් ද, Metacritic හි 70% ක ප්‍රතිශතක්ද ඇතුළුව සම්මාන උළෙලවල් බොහෝ ප්‍රමාණයක් නියෝජනය හා නිර්දේශිත වෙමින් ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපට තේරීම් ගොන්නටද එක් විය.

උපතින් සිරියානුවෙක් වන තිර රචක හා අධ්‍යක්ෂ Talal Derki නිර්භීත හා රුදුරු අභියෝගයක් ගෙන තම රටේ සිදුවන ශුද්ධ වූ ඉස්ලාම් දේශයක් උදෙසා වන ම්ලේච්ඡ සිවිල් යුධ වැදීම කැමරා කාචයට හසුකරගෙන තිබේ. ඒ සඳහා ඔහු අවුරුද්දකට නොඅඩු කාලයක් අල් කයිඩාවට අනුබද්ධ බලකායක් සමග සම්බන්ධ සිරියානු අබු ඔසාමාගේ නිවසේ රැඳෙමින් සිට ඇත. ඒ ජිහාඩයට සහාය දක්වන යුද ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔවුන් හමුවේ පෙනී සිටිමිනි. එම නිසා මෙහි කිසිඳු රංඟන ශිල්පියෙක් නොමැති අතර සත්‍යයන්ම සිදුවූ අවස්ථා අපට දැක බලා ගැනීමට හැකි වේ.

වැඩිහිටි අඩි පාරේ යමින් ගහගන්න ළමෝ බිම්බෝම්බ හදා ඒවා පුපුරුවා සෙල්ලම් කරන අයුරු

දෙවියන් වහන්සේ අප හට ලබා දුන් ශක්තියට

කෘතගුණ සැලකීම වෙනුවෙන් අප නුඹලාගේ රුධිරයෙන් මේ බිම තෙත් කරලන්නෙමු //

චිත්‍රපටයේ අබු ඔසාමාගේ පවුලේ ඔහු හා පුතුන් අට දෙනා පමණක් දකින්නට හැක්කේ බිරිඳ හා ගැහැණු දරුවන් පිටස්තර ලොවෙන් ඔවුන් දුරස්ථව ජීවත් වන නිසා බව සඳහන් වේ. එය එහි සෑම පවුලකම සිදුවන දෙයකි.

චිත්‍රපටයේ තේමාව වන්නේ පියාගෙන් තම පුත්‍රයාට/දරුවන්ට ත්‍රස්තවාදය කෙසේ පැතිරෙනවාද යන කරුණයි.

තාත්තේ අපි කුරුල්ලෙක් මරල දැම්ම හරියට අර එදා ඔයා මිනිහෙකුට කරා වගේ...  කුරුල්ලෙක් මරණ එක තහනම්ද?

නෑ ඒක දෙවියන්ගේ නිර්මාණ මහිමය.. අපට අවසරයි.

ඒ කියන්නේ උන්ව මවල තියෙන්නෙ අපිට මරන්නද?

ඔව්. උන්ව මවල තියෙන්නෙ අපිට කන්න.

හමුදා පුහුණුව ලබන අතරේ පියාගේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පුරුදුවන ඔසාමා

 

අබු ඔසාමා තම සිහින මත යමින් දරුවන්ගෙන් එක් අයෙක් වන ඔසාමා ‘ෂරියා අධ්‍යයනය සහ හමුදා පුහුණුව’ සඳහා ඔහුගේ අකමැත්ත මත වුවත් යොමු කරයි. ඔහුද තම සංවිධානයට උදව් දෙමින් බිම්බෝම්බ නිෂ්ක්‍රිය හා සාදන්නෙකු වශයෙන්ද, පෙරමුණේ ස්නයිපර්වරයෙක් වශයෙන්ද කටයුතු කරමින් යුද්ධය පවත්වා ගෙන යෑමට කටයුතු කරයි... අනාගත සමාජයටත් එය දායාද කරමින්. එයට දෙවියන්ගේ උදව් ලැබෙන බව හා එය දේව නියමයක් බව ඔවුන් විශ්වාසයයි. ඒ අනුව කටයුතු කරමින් ඔහු තම එක් පාදයක් පවා අහිමි කරගනියි. අධ්‍යක්ෂ Talal Derki සිරියාවෙන් තම පටිගත කිරීම් අවසන්ව පැමිණෙමින් සිටියදී අබුගේ, ඔසාමා නම් දරුවා නොනවතින යුද්ධයකට පුහුණුව ලබමින් අනාගත ගමන් මග සොයා යයි. එය අන්තාවාදීද නැතිද කියා සිතා ගැනීමට අපට එතරම් අපහසු නැත..

අධ්‍යක්ෂ -

මේ රට තව දුරටත් මා කලින් දැන සිටි

මා වඩාත්ම ආදරය කල මගේ මව්බිම නොවේය...

    දික්කසාදයක හේතු මොනවද?.    බොනවා, කෑ ගහගත්ත ගමන්, වැරදීම හොයනවා, වෙන සම්බන්ධතා තියෙනව.. ඔය වගේ දේවල් තමා. ඒ කියන්නේ ගැලපීම් එක්කරන් කසාද බැඳලා ලං උනාට, නොගැලපීම් වැඩි වෙලා දැන් දුරස් වෙන්න හදනවා.

ඒක නෙමේ දික්කසාදය ප්‍රධානතම හේතුව කසාදය වෙන්න බැරිද......

ලංකාවේ පවා දැන් කලක පටන් දික්කසාද වැඩි වෙනෙ එක බොහොම වැඩි.  සමහර වෙලාවට හිතෙනවා කසාද බඳීනවට වඩා කස්ටියක් divorce වෙනවද කියල. එහෙම වෙන්න බෑනේ නේ. කෝම උනත් අර කිව්ව විදිහට නොගැලපීම් වැඩි තැන වෙන් වෙනකොට, වෙන් වෙන්න හදද්දි මතුවෙන ප්‍රශ්න මොනවද. ඒක ඉන්න ළමයින්ට කොහොම බලපායිද. ඕව ගැන සමහරු නම් තඹ සතේකට මායිම් නොකරන බව තමයි වැඩි හරියක් පේන්නෙ. කොහොමින් උනත් ඔය සියලු කාරණා ගැටගැහිච්ච ලස්සන film එකක් තියෙනව. A Separation (2012).

ඉරාන මධ්‍යම පාන්තික යුවලක් නීතියෙන් වෙන්වීම පතයි. බොහෝ දුරට මෙයට නැඹුරුතාව දක්වන්නෙ කාන්තාව වන Simin විසිනි. ඒ ඇයට රටින් පිටව ජීවත් වන්නට උවමනා නිසා. ඒ වගේම ස්වාමිපුරුෂයාත් තමා සමග ඒ ගමන ඒ නම් දික්කසාද වීම නැවත්වීමට පවා ඇය කැමති බව උසාවියේදී කියා සිටිනව. නමුත් ස්වාමිපුරුෂයා වන Nader එයට අකමැති වන්නේ, තම ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පියා හේතුවෙනි. ඉතින් දෙදෙනා එක මතකය නොසිට හටගත් විරසකය උසාවිය දක්වා ඇවිත්. නමුත් උසාවියෙන් පවා උපදෙස් ලබා දෙන්නේ දික්කසාදයකට යෑම තරම් දෙදෙනා අතර ගැටළුවක් නොමැති බවයි. ඇය හා ඔහුගේ වැඩ නිසා තැලෙන්නෙ අහිංසක දුව වන Termeh ය.

උසාවිය - දික්කසාද ඔයා ඉදිරිපත් කරන හේතු මදි. ඔහු ඔයාට අඩන්තේට්ටම් එහෙම වගේ කරනවද?

Simin - නෑ. ඔහු හොඳ වැදගත් පුද්ගලයෙක්.

A Separation (2011) වසරේ නිකුත් වූ සම්මානලාභි ඉරාන අධ්‍යක්ෂ Asghar Farhadiගේ තවත් සම්මානිත සිනෙමා සිතුවමක්. එය 2012 වසරේ හොඳම විදේශ චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයද, බර්ලින් උළලේ හොඳම චිත්‍රපටය (gold), ප්‍රධාන නළුවා, ප්‍රධාන නිළිය යන අංශ ත්‍රිත්වයෙන්ම සම්මානවලට පාත්‍ර උනා. සහ අනෙක් බොහෝ උළෙලවල් වල සම්මානවලටද පාත්‍ර උනා. සමහරෙක් විචාරකයෝ මෙය එම වසරේ ආ හොඳම නිර්මාණය බවට ප්‍රකාශ කර සිටිය. ඒ වාගේම IMDb හි 8.3/10 ද, Rotten Tomatoes 99% ද, google පරිශීලකයින්ගේ මනාප 91% ද ලබා ගෙන පමණක් නොව සාර්ථක ලෙස ප්‍රේක්ෂක ආකර්ශනයක්ද සමගින් Box office වාර්තා අතරටද මෙය එක් වී තියෙනව. සෑම නිර්මාණයක මෙන්ම අධ්‍යක්ෂ Asghar Farhadi යතාර්තවාදී රංගන කාර්යය නළු නිළියන්ගෙන් ලබා ගැනීම දක්ෂ වී තියෙන අතර ඒ සඳහා ඔවුන්ගේ දායකත්වයද ඉහලින්ම එයට ලැබී තියෙනව... ලැබුණු සම්මාන වලින් එය මනාවට පැහැදිලි වෙනවා.

මේ රටයෑම අවශ්‍ය බව පෙන්වීමට Simin ගෙදරින් පිටව යනවා. ඒ නිසා Naderට සිදුවෙනවා තමුන් රැකියාව කරන අතරතුර, තම පියා බලාගැනීමට හා ගෙදර වැඩ කරගැනීමට සේවකයෙක් ගන්න. ඉතින් ඒ තැනට එන්නෙ එක්දරු මවක් වන Razieh. ඇය වැඩකරන්න ආපු පළමු දවසෙම Naderගෙ තාත්ත ඇඳ තෙමාගන්නවා. වැසිකිලියට යැව්වත් වැඩි සිහිකල්පනාව නැති ඔහු සෝදාගන්න, කලිසම මාරු කරගන්න තරම්වත් අපොහොසත්. සේවයට ආපු Razieh ඇමතුම් දී Siminව දැනුවත් කරනවා. එහෙත් ඇයට එන්න විදිහකුත් නැහැ, ඒ සිසුන්ට උගන්වන ගමන් ඉන්න නිසා. Simin මහත්තයව සම්බන්ධ කරගෙන මොකක් හෝ පිළියමක් කරගන්න කියා ඔහුගේ දුරකථන අංකය දුන්නත්.. ඔහු එහෙ ඉඳන් මොනා කරන්නද.

ඉතින් වෙන කරන්න දෙයක් නැති තැන Razieh තම ආගමික දැනුවත් කරන්නිය අමතල අහනව වයසක පිරිමි පුද්ගලයෙක්ට උදව් කිරීම සඳහා ඔහුව ස්පර්ශ කරාට කමක් නැද්ද කියල......

 

මිනිසා වග කිව යුත්තේ, අනුගත විය යුත්තේ තම ආගමටද, නීතියටද, ගුණධර්ම හෝ යුක්තියටද....

ඉතින් දවසේ වැඩකර ඉවරඋන ඇය Naderට දන්වා හිටිනවා තවදුරටත් රැකියාවට එන්න විදිහක් නෑ, මේ අසීරු තත්වය යටතේ කියල. Naderටත් තේරුම් යනවා තාත්තව කාන්තාවකට බලාගන්න බැහැ කියල. ඉතින් ඔහු හොයා ගන්න වෙන සේවකයෙක් නැති උනත් Raziehට දවසේ වේතනය ලබා දී යන්න සලසනවා. නමුත් Razieh තම ස්වාමිපුරුෂයාට ඒ රැකියාව ලබා ගැනීම සඳහා Naderන් ගෙන් අවසර ගෙන හෙට පමණක් වැඩට ඒමට එකඟ කරගන්නවා... එතකොට එදින ඇයගේ සැමියාට හැකියි Nader හමුවී ඔහු හා කතාබස් කර රැකියාව තහවුරු කර ගැනීමට. ඔහු Nader හමුවුනත් පසු දින එන්නෙ නැහැ. ඒ ණය එකතු කරන්නන් ඔහුව පොලිසියට ගෙන ගොස් ඇති නිසා. පසු දවසත් ඔහු නොවේ, Raziehයි වැඩට එන්නේ.. දින කීපයක් මෙහෙම Razieh වැඩට ඒමත් සමග ඇතිවන සිදුවීම් මාලාවකින් පසුව නවතින්නේ NadarRazieh අතර ආරවුලක් ඇතිවී එය නඩුවක් දක්වා දුරදිග යෑමෙන්..

දිනක් Razieh වැඩකරන කාලය අතරතුර Naderගේ පියා ඇඳේ ගැටගසා එලියට ගිහින්.

තම පියාට කළ දෙයත්, රැකියාව හරියට නොකිරීමත් නිසා Nader, Raziehව රැකියාවෙන් නෙරපනවා.

Nader ගැබිණි Raziehව තල්ලු/ පිටමන් කිරීමෙන් ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙනවා.

මුදල් ගනුදෙනුවකින් ගැටලුව නිරාකරණය කරගැනීමට පවුල් දෙක සැරසෙනවා.

 

about Elly (2009) බලපු අයට මේකෙ hojjat ලෙස රඟපාන Shahabව එකපාර අඳුරගන්නත් බැරුව ඇති. අර ලස්සන කොල්ලගෙ කොන්ඩෙත් හැලිල වයසට ගිහින්... වේශනිරූපණය දස්කම්

ආගම - ගුණධර්ම - නීතිය - යුක්තිය අතර චිත්‍රපට ඇදී යනවා. Razieh, Naderගේ පියා ඇඳේ බැඳතබා ගියත් ඇය නරක කාන්තාවක් හෝ සෙරක් නොවේ. Nader ඇයව තල්ලු කරත් ඔහුත් ආදරණීය හොඳ ස්වාමියෙක්, පියෙක්. Simin, Nadarව හැර යන්න හැදුවත් ඇයද යහපත් ආදරබර බිරිඳක්, මවක්. වහා කිපෙන Hodjat පවා අසරණ මනුෂ්‍යයෙක්. අධ්‍යක්ෂකවරයා කිසිවෙක් කළු හෝ සුදු යයි කියා පෙන්වමින් චරිත බෙදා සිටින්නේ නැත. ඒ වනුවට සිදුවීම් පමණක් අපූරුවට දක්වා සිටී. වරද/ගැටලුව ඇත්තේ කොතැනද.... ආගමේද, නීතියේද, මිනිස් හැසිරීම තුලද. ඔවුන් ඔවුන්ගේ ආත්මාර්ථභාවය, කාරණාවන් වෙත දක්වන අසංවේදී බවද.

ඒ ඒ තත්වය මත ඔවුනොවුන් හිතට වහල්ව ගන්නා තීන්දු තීරණ මත තම/අනෙක් ජීවිතයට කෙබඳු බලපෑමක් ඇති වේද.

ආගම, නීතිය පවා තිබෙන්නේ මිනිසාගේ දියුණුව, හොඳ පිණිසය. චිත්‍රපටය විසින් කිසිවකට, කිසිවෙකුට ඇඟිල්ල දිගුකර නොපෙන්වමින් අප දේවල් යොදා ගන්නා, උපයෝගී කරගන්න හැටියේ වැරද්දක් පවතින බව ඉස්මතු කර පෙන්වයි. සියල්ලෝම අසරණයෝ ය. බුද්ධිමත්භාවය නොමැති ඔවුන් තම යහපත පිණිස තිබෙන ආගම පවා කටුඅකුලක් කර ගනී. සබුද්ධික නොවූ ඔවුන් යුක්තිය උදෙසා සාදා ගත් නීතියේ සිරකරුවන් වෙයි.

නීතියේ වලංගුභාවය... නීතිය පවා මානුෂීය හේතු කාරනා ඉදිරියේ හැසිරෙන්නේ යුක්ති සහගතවද. නීතිය මනුෂ්‍ය හේතු කාරණා ඉදිරියේ සංවේදීද.

- - - - -

 

අපේ සමහර අය කරන චිත්‍රපටි කරන්නෙ රසික පිරිසට නෙමේ. ඒ අය තම චිත්‍රපටය හදන්නේ ජූරි සභාවක ඉන්න 4, 5 දෙනෙක් උදෙසා. තව සෙට් එකක් ඉන්නවා.. අනේ අපිට හෝල් නෑ, රසිකයෝ නෑ, රජයයේ උදව් නෑ, මේක කොරන්න බෑ කියා කියල සිනමාව digital කරන්න, අරක මේක කරලා දෙන්න කියා කියා ආණ්ඩු පස්සේ වැඳ වැඳ යන උන්දලා.

ලෝක සිනමාවේ හොඳ චිත්‍රපට රස විඳින්නෙක් නම් Asghar Farhadi ගැන කවුද නොදන්නෙ. ඉතා දක්ෂව ප්‍රේක්ෂකයාට සිනමාව කරන අධ්‍යක්ෂකයෙක්, රචකයෙක් නිෂ්පාදක වරයෙක්. තම රටෙ රජයෙන්ම කෙනෙහිලි බාධක තිබියදීත් Farhadi වගේ අය රට වෙනුවෙන්, රටේ මිනිසුන් වෙනුවෙන් නිර්මාණ කරනවා... රට දාල Hollywood යන්න අවස්ථාව තිබුනත්. අපේ උන්දලා එක්ක බලද්දී ඔවුන් රටක් රාජ්‍යයක් වටිනවා. ප්‍රාර්ථනා කරන්න තමා ඉතින් අපි තියෙන්නෙ මෙවන් නිර්මාණකරුවෝ ලංකාවේත් පහල වේවා කියල.

 අවුල තියෙන්නෙ ධනවාදයේද, සමාජවාදයේද නැත්තං ඒ දෙකම ක්‍රියාත්මක කරන මිනිසගෙද?.

යමුද kollywood පැත්තෙ.


චිත්‍රපටය පටන් ගන්නෙ පිටරට සිට ඉන්දියාවට එන අන්බරසු, එතනින් අභ්‍යන්තර ගුවන් සේවාවක් මගින් චෙන්නායි වෙත යන ගුවන්තොටුපොළකට පැමිණීමෙන්. ඒ පැමිණීම තම විවාහය සඳහාය. නමුත් අයහපත් කාලගුණය නිසා ගුවන් ගමන අවලංගුවේ. මේ සිදුවීමත් සමග ඔහුගෙ චෙන්නායි ගමන් මාර්ගය පමණක් නොව ජීවන මාර්ගයත් නොසිතූ ලෙස වෙනස් වේ. ඒ ශිව හමුවීමෙන් ය. ශිව දෙවියන් නොව ආදරණීය මිනිස් ශිවය.

Anbe Sivam (2003) චිත්‍රපටය comedy, drama කැටගරියට වැටෙන හොඳ classic එකක්. තිරපිටපත ලියමින් එහි ප්‍රධාන චරිතයට පනපොවන්නෙ, අතිදක්ෂ නළුවෙක් වන Kamal Hassan විසින්. අනෙක් ප්‍රධාන චරිත වන්නේ Madhavan, Kiran, Nassar යන අය විසින්. අධ්‍යක්ෂණය Sundar C ය. මියුරු සංගීතය Vidyasagar. IMBD හි 8.7 අගයක්ද, google පරිශීලකයන්ගේ 96% කැමැත්ත ද මේ චිත්‍රපටයේ සිනමාත්මක බාවය මනාවට තහවුරු කරයි.

Anbe Sivam (2003) නොපෙනෙන දෙවියන්ට වඩා දේවත්වයට උසුලන ගතිගුණ සහිත මිනිසුන් උසස් කොට සලකමින් ඔවුන්ගෙන් ආදරය, සෙනෙහෙස නැමැති පාඩම ඉගෙනීමට ප්‍රේක්ෂකයාට ඇරයුම් කරයි. එය මතු කරලීමට Kamal Hassan හා Madhavanගේ අපූර්ව තාත්වික හා භාවාත්මක රඟපෑම මනාව ඉවහල් වේ. චිත්‍රපටය පුරාම සිනහ, කරුණාව මතු කරමින් බහුතර දමිල සිනමාවේ ප්‍රවේගකාරී, කලහකාරී වීරයා වෙනුවට කලාකාරී හෘදයංගම වීරයාව Kamal Hassan මතුකර පෙන්වයි. ආවේග මත නොව, බුද්ධිය හා මනස මෙහෙයවා ප්‍රධාන චරිතය සිනමාපටය පුරා ගමන් කරයි. ආත්මාර්ථය වෙනුවට පරාර්ථය මුසු පරාජය කෙතරම් සොඳුරු දැයි පෙන්වයි. බහුතරය වෙනුවෙන් අඩිය පසුපසට ගැනීම සත්‍යය වශයෙන්ම පරාජයක්ද....?

වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂක අන්බරසු ධනවාදී ආකල්ප ඇති ගෝලීය ආර්ථික රටාවට ආසක්ත තරුණයෙක්. ත්‍රස්තවාදී පුවතක් රූපවාහිනියෙන් විකාශය වනවාත් සමග සැක සහිත පුද්ගලයෙක් දකින අන්බරසු එය ආරක්ෂක අංශ වෙත දන්වා සිටිනවා. නමුත් පරික්ෂාවේදී ඔහු නිර්දෝෂී කෙනෙක් බව තහවුරු වෙනවා. ඒ වගේම ආරක්ෂකයින් ඔහු සමග මිත්‍රව, සැක කෙරූ කෙනා කවුද කියා ඔහුට කියනවා. හිත හොඳ සිවම් තරහක් නැතුව අර තරුණයත් එක්ක කතාවට යනවා. ඒත් යෞවන සිතුම් පැතුම් ඇති අන්බරසුට, මැදිවයස් සිවම්ගේ ගති පැවතුම් ගැන පැහැදීමක් ඇති වෙන්නෙ නෑ. ඔහු තවදුරටත් නව පන්නයට ගැලපෙන්නෙ නැහැ... කොහොම නමුත් දැන හැඳුනුම්කම පටන් ගත තැන සිට හිත හොඳ සිවම්ගෙ නුරුස්සන වැඩත් එක්ක, එක රාත්‍රියක් හෝටල් කාමරයක ගත කිරීමට අන්බරසු අකමැත්තනේ වුව හිත හදා ගන්නවා... අයහපත් කාලගුණය නිසා. එතැනදි පවා දෙදෙනාගෙ ගැටීම තිව්ර වනවා... ආකල්ප, හැසිරීම්, ගති ස්වභාවයන් වල විවිධත්වයත් සමග. මේ හේතුවෙන් අන්බරසු උදේම සිවම්ට නොදන්වා පැන යනවා. එහෙම දුම්රිය ස්ථානයට එන අන්බරසුගෙ පසුම්බිය හා ගමන් මල්ලක් සොරෙක් ගන්නවා. එය පවා ලැබෙන්නෙ නැවතත් සිවම්ගෙ අහඹු හමුවීම එක්ක... එයින් නැවතත් දෙන්න එකතු වෙනවා.

පලාතම යටවෙන්න වැහැපු වැස්ස නිසා දුම්රිය ගමනත් අන්බරසුට මගහැරෙනව. ඉතින් ඒ නිසා දෙදෙනා චෙන්නායි බලා යන ගමන එකට පිටත්ව බස් මාර්ගය වෙත එනව. එතැන් සිටත් අන්බරසු - සිවම් ගැටීම්, එකතුවීම් සිදු වෙනවා. ඔය අතර සිවමගේ සිරුරට එක්වුණු පැලීම්, තුවාල ගෙනහැර දක්වමින් චිත්‍රපටය සිවම්ගෙ අතීත කතාව වෙත මාරු වෙනවා.

සිවම් පෙර වාමාංශික අදහස් දරු වීදි නාට්‍යය කණ්ඩායම් සාමාජිකයෙක්. කාර්මීකරණයෙන්, ධනවාදයෙන් නැගී සිටි කම්හලේ ඉහල තැන් විවේචනය කරමින් නාට්‍යය කිරීම හා වෘත්තීය සමිති දැනුවත් කිරීම කරමින් යන සිවම් කම්කරුවන්ට උපරිම සහයක් ලබා දෙනවා වැටුප් වැඩි කර ගැනීමට. මේ අතර කලාවට ලැදි කම්හල් අයිතිකරුගේ දුව බාලා සිතුවම්, නාට්‍ය ගැන කතාබහේ පැටලෙමින් සිවම් සමග ආදරයකට මුල පුරනවා. දෙදෙනාගේ පන්ති පරතරය නිසා සිවම් සම්බන්ධය ගැන කලකිරෙනවා. නමුත් මත ගැටුම් මතින් වෙනත් පළාතකට පැන ගිහින් ජීවත් වීම නැමැති අවසන් තීරණයට දෙදෙනා එළඹෙනව.. ආදරණීය සිවම්. එදා සිවම් යන බසය අනතුරකට මුහුණ දී ඔහු රෝහල් ගත කරනවා. දැඩි කැළැල් මතින් ජීවිතය ඉදිරියට ගෙන යන ශක්තිය පල්ලියේ වෙද හා හෙද සත්කාර තුලින් සිවම් ලබා ගන්නවා. මේ සිදුවීමත් සමග ඔහු ජීවිතය දෙස මධ්‍යස්ථ ඇසකින් බැලීමට හුරු වෙනවා.

වර්තමාන කතාවට එද්දී අන්බරසු ජීවිතයේ වෙන සිදුවීම් වලට මුහුණ දෙමින් ගමන අතරතුර ජීවිත පාඩම් ඉගෙන ගන්නවා. ඔහුට ඒ සඳහා සිවම්ගෙනුත් බොහෝ උපකාර ලැබෙනවා.

කඩේ කාන්තාව -මරණෙන් බෙරිච්ච ඔයා දෙවියෙක්ට සමානයි

සිවම් - ඔයත් එහෙමයි. ආදරය, සෙනෙහස දක්වන අයත් දෙවියන්ට සමානයි.

- - - - - - - -

අන්බරසු - දරුවෙක්ට මහපාරේ මැරෙන්න දීල... ඇති දෙවියෙක් නෑ. අහ් නෑ නෑ මං ඔයා වගේ දෙවියෝ අවිශ්වාස කරන්නෙ නෑ.

සිවම් - මං දෙවියෝ අවිශ්වාස කරනවා කියල කවුද කිව්වෙ.

 

මානවවාදය ප්‍රකට කරමින් දෙවියන් ගැන ඍණ ආකල්පයක් පෙන්වීම නිසාදෝ Anbe Sivam (2003) ආදායම් වාර්තා අතින් අති සාර්ථක වී නෑ. නමුත් රූපවාහිණිය තුළ ප්‍රදර්ශනයෙන් එය බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන තියෙනවා. සමස්තයක් වශයෙන් චිත්‍රපටය ඉතාම හොඳ තත්වයක තිබෙන අතර වැඩි සිද්ධිදාමයන් ඔබ්බවා සිවම් විස්තර කරන්නට යෑමෙන් කතාව දිග්ගැස්සී ඇති නමුත් එයින් වැඩි අවැඩක් චිත්‍රපටයට නොගෙනෙයි. Kamal Hassan අනෙක් තම චරිතවල මෙන් සිදුවීමෙන්, චරිත ස්වරූපය තුලින් සිනහව මතු කරලීම යොදා ගෙන ඇති අතර එය වෙන චිත්‍රපටවල මෙන් මෙහිද ඉතා සාර්ථක වී අත. චාලි චැප්ලින්ගේ ආභාෂය මෙහිදී ලබාගෙන ඇති බවද සමහරෙක් විචාරකයින් අදහස් දක්වා ඇත. Kamal ගේ බොහෝ චිත්‍රපට වල එය දක්නට හැකි කරුණකි (මට අනුව). ඒ ආභාෂය ඔහුට සාර්ථකත්වය ගෙන දී ඇත. ඒ වාගේම Planes, Trains and Automobiles (1987) හි කතාවට සමානකමක් දක්වන බවද විචාරකන් අදහස් දක්වා ඇත. නමුත් hollywood චිත්‍රපටය හා මෙහි කතා තේමාව එකිනෙකට බොහෝ වෙනස්ය. එය නිර්මාණ දෙකම නැරඹු විට මනාව වැටහේ. සමහරුන් රජිනීගේ බබා චිත්‍රපටයේ දක්වන ආගමික යටිපෙලට සමාන බවක් මෙහි තිබෙනවා යැයි කීවත් දෙකෙහිම කලින් ලෙස තේමා බොහෝ වෙනස්ය. නමුත් සටන් සම්බන්ධව ගෙන එන අදහස වන, Hollywood චිත්‍රපටයකින් සටන් හැසිරවීම උපුටාගෙන ඇති බව බැලු බැල්මට පෙනුනත් එය රසවිඳනයට කිසිඳු බාදාවක් නොකරන අතර එය චිත්‍රපටයේ සටන් දර්ශන වල සාර්ථකත්වයට බෙහෙවින් උපකාර වී ඇත.

 

කවුරුන්ද කවුරුන්ද දෙවියන්..

ඔබයි මමයි වේ දෙවියන්

ජීවිතයම එකම තපසකි

ආදරය දෙවියෙකි.....

හදවත නිකන්ම මස් වැදැල්ලක් වූවා නම්

එය දැවී හලුව යයි

නමුදු එය ආදරයේ අවියක් වූයේ නම්

එය මරණයත් ජයගනු ඇත

Talaash (2012) නිකුත් උන crime, thriller යටතෙ categorize උන ෆිල්ම් එකක්. හොරුන්ට, වරදිකාරයන්ට තනියෙන් ගුටි දීල වැඩ පෙන්නන බොලිවුඩ්, කොලිවුඩ් super hero පොලිස්කාරය වෙනුවට ජීවිතයේ ප්‍රශ්නත් එක්ක රාජකාරිය කරගෙන යන සාමාන්‍යය පොලිස්පතිවරයෙක්. ඔහුගෙ බිරිඳත්.. වීදි සරණ ලඳුනුත්... ඒ වීදියක වුනු හදිසි අනතුරකුත් ඇසුරෙන් තමයි Talaash චිත්‍රපටයෙ plot එක නිමවෙන්නෙ.

මුහුදු මාර්ගයේ ධාවනය වන කාර් එක පාලනයකින් තොරව ඇවිත් උඩින් ගිහින් මුහුදට වැටෙනවා. මත්ද්‍රව්‍ය අරගත් දෙදෙනෙකුත්, කාරයට ඉදිරියෙන් බයිසිකලයක එන පුද්ගලයෙකුත්, පිනකි කියන බැලලියත් විතරයි මේ මැදියම් රෑ සිද්ධිය දකින්නෙ. අනතුරින් රථයේ හිටපු එකම පුද්ගලයා වන රියදුරු අසුනේ හිටපු ජනප්‍රිය නළුවා ඒ මොහොතේම මිය යනවා. මේ සිද්ධිය පරීක්ෂණය කරන්න වෙන්නෙ පළාතේ පොලිස් ඉන්ස්පෙක්ටර් වන සූරී හට. කලකට ඉහත තම දරුවා නැති වීමෙන් ඔහු, බිරිය (රෝෂිනි) හා තනි වුන කෙනෙක්. සූරී හා රෝෂිනි, ළමයෙක් අහිමි වුනු දෙමාපියන් දෙදෙනෙක්...

තත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන් මාධ්‍ය මේ සිද්ධියත් එක්ක ගනුදෙනු කරන ආකාරයත් එක්ක. ඉතින් සූරී කල්පනාකාරීව පරීක්ෂණය පටන් ගන්නව සුපුරුදු විදිහට සිද්ධිය ඇසින් දුටු අයගෙන්, ගෙදර හා සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම කරමින්. කටඋත්තර හා සොයාගත් සාක්ෂිත් එක්ක නිරීක්ෂණය වෙනවා කිසිවකු විසින් කරපු අපරාධයක් හෝ බීමත්ව රියපැදවීමක් නිසා සිදුවුනු අනතුරක් නෙවෙයි කියල.

ගෙදරින් දැන ගන්න ලැබෙනවා ඔහු රියදුරා හැර තනියෙන් ගමන් නොයන බවත් බැංකු ගිණුමෙන් මිලියන දෙකක මුදලක් එදා උදෑසන ඔහු අරගෙන තිබණ බවත්. ඒ වගේම සූරී දැන ගන්නවා ෂූටින් ඉවර වෙච්ච වෙලාවත් ඔහු මේ වීදියට පැමිණි වෙලාවත් අතරතුර බොහෝ කාලයක් තියෙන බව. ඒ කාලය තුළ ඔහු කොහෙද ගත කලේ... සල්ලිත් එක්ක තනියම. මේ ගැටලු සියල්ලත් එක්ක සිද්ධිය තවතවත් සංකීර්ණ වෙනවා. කෙරෙන විමර්ශන වලින් ශෂී, තේමූර්, මුරුගන් සැකකරුවන් වෙනවා. ඔවුන් මේ අනතුරත් එක්ක කොහොමින් හෝ සම්බන්ධයි... ඔය අතරේ සූරිට ඒ ප්‍රදේශයේ සිටින වීදි සරන්නියක් වන රෝසි අහම්බයකින් වගේ මුණ ගැහෙනවා. රෝසි කාන්සියෙන් පිරි ඔහුගෙ අවධානය දිනා ගන්නවා.

Talaash: The Answer Lies Within අධ්‍යක්ෂණය Reema Kagtiගෙන්. ලියල තියෙන්නෙ Reema Kagti, Zoya Akhtar. නිෂ්පාදනය Ritesh Sidhwani සහ Farhan Akhtarගෙන්. IMDb හි 7.2 අගයකුත්, Rotten Tomatoes හි 81% අගයකුත් හා google මත විමසුමෙන් 86% ලබා ගෙන තියෙන Talaash (2012) සඳහා මුලින්ම ප්‍රධාන චරිතයට ගන්න ඉඳල තියෙන්නෙ SRK, Salman, Saif තුන් දෙනාගෙන් කෙනෙක්. එත් අන්තිමට Aamir ව තමයි ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙන්නෙ. රෝසි/ සිම්රන් විදිහට Kareena Kapoor හා රෝෂිනී විදහට Rani Mukerji අනෙක් ප්‍රධාන චරිත දෙක රඟපානවා. සමස්තයක් විදිහට චරිතවලට නළුනිළියන් තොර ගැනීම හා ඔවුන්ගේ නිරූපණයන්, වේශ නිරූපණය ඉහල තලයක තියෙනව. මේ චිත්‍රපටය බලද්දී මට Nawazuddin Siddiqui නිරූපණය කර තේමූර් චරිතය, Midnight Cowboy (1969) වල Dustin Hoffman කර චරිතය මතක් කර දුන්න. සමහර විට එයින් ලද ආභාෂයක් වෙන්නත්/නොවෙන්නත් පුළුවන්... කොහොමින් නමුත් Nawazuddin බොහොම දක්ෂව ඒ නිරූපණය කරලා තිබුණ. Talaash, 2012 hit උන list එක තුළ මුල් පෙලේ රැඳුනු අතර වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටවලින් එකක් ද උනා.

 

රෝෂිනීට දරුවා නැති වීමේ කම්පනයෙන් මිදෙන්න මනෝවෛද්‍ය ප්‍රතිකාර, උපදෙස් ලැබෙනවා... ඒත් දුක තුනී කරගන්න සූරිට, දෙදෙනාගේ දුරස්බව නැති කරගන්නට......

 

හද පාරගෙන යන හඬකින් ගීතයක් ගැයෙනවා... ඔහොම දුක නිහඬතා සමග ගෙවී යන ජීවිත මධ්‍යයේ..

 

ඇයි හද මේ අයුරින්

කියනා බවක් පෙනෙන්නේ

ජීවත් වන්න මොහොතක්...

 

ඔය අතරේ time line එක පුරවන්න එලොව ලෝකය සමග කතා කරන්න හැකියාවැති කාන්තාවක්, අලුත ගොඩවැදුණු apartment එකෙන් සූරී-රෝශීනි ඉදිරියට පැමිණෙනවා. crime, thriller එක්ක රැඳුනු චිත්‍රපටය ටික ටික mystery පැත්තට ඇදෙමින් ඇදී යනවා. කලකට පෙර දරුවා වතුරට ගිලී මියයන්නෙ තමන් එය කරන්න එපා යැයි නොකී නිසා බව සිතමින් සූරී හිතින් කනගාටු වෙනවා. දරුවා වතුරට සැඟව හිස්වුන ඒ ඉඩත්, ඒ හරහා බිරිඳ රෝශීනි සමග ඇතිවුන දුරස්වීමත් නිසා.. රෝසිගෙ හමුව සූරීට යම් සැනසීමක් ගෙන දෙනවා.

 

ඔබ ඇමතු බවක් පෙනේ

මගේ හදවත උදාසීනයි

ඔබ නැතිව...

මම නොදනී ඇයි කියා

සහ නොදනී කොහොමදැයි කියා

නොපෙනෙන බලවේගයක් පවතී

ඇදගන්නා යමක්, නායකත්වය දෙන දෙයක්

මා ඔබේ දිශාවට.......

 

මේ සංකීර්ණ ප්‍රහේලිකාවට උත්තර හොයන යන අතරෙ සූරී හට රෝසි එක එක තුරුම්ම්පු ලබා දෙනව. ඒ හරහා මේ ගැටලුව විසඳගෙන යන සූරී හට අවසන් හරියෙදි තේරුම් යනවා උදව් කළ රෝසිම තමයි මේ ප්‍රහේලිකාව නිර්මාණය කිරීමටත් දායක වී තියෙන්න කියල.

 

Hate Story වගේ පලිගන්නා කාන්තාව නිරුවත් නොකොට, සමාජ නිරුවත යතාර්ථවාදී දෘෂ්ඨියකින් පෙන්වීමට Talaash සමත්ව තිබෙනවා, එහි භෞතිකයෙන් තොර ඉන්ද්‍රජාලික ස්වරූපයක් ගෙනහැර දැක්වූවත්. (මම නම් ඒ සංකල්පය පිළිගනිමි). එය ඉතා අගය කළ යුතු කාරණාවක්. අධ්‍යක්ෂණය කාන්තාවකගේ නිසා යම් කාන්තා දෘෂ්ඨියක් මතුව ආවත්.. මටනම් එය කමක් නෑ කියලයි හිතෙන්නෙ. (පිරිමි ප්‍රතිරූපය බිඳවන ආකාරයක් නිරූපිත බවට යම් පිරිසකගෙ දෝෂදර්ශනයටද ලක් වුනා අමීර්ව).  විශේෂයෙන්ම අධ්‍යක්ෂිකාව පෙන්වා ලීමට තැත් කළ සමාජය ස්තරය ගැන මෙහෙහි කිරීමෙන්. කාසිවලට ඇඟ වෙළඳාම් කරන ඔවුන්ට සමාජයේ විපතකදී අත්වන ඉරණම.. ඒ ඇරත් ඔවුන්ගේ ජීවිතයම විපතක් බඳුයි.

කොහොමින් හරි... වතුරට ගහගෙන ගිය ජීවිතය ඔහු වතුරෙන්ම සොයා ගන්නවා. තමුන් කරගෙන ගිය පරීක්ෂණට පිළිතුරුත් සමගින්.... ඒ රෝසිගෙ උදවුත් ඇතිව.

 

අවසන් රූපරාමු තුළ මේ පසුබිම් ගීතයක් සමගින් සූරී හා රෝෂිනී හඬමින් වැළඳගන්නව.. ගඟක් අසල රැඳෙමින්.

 

ලෝකයට කියන්න පුළුවනි

ඔබ ගියා...

නමුත් ඔබ මෙහි සිටී

ඔබ මෙතනමයි

මගේ සෑම සිතුවිල්ලකම

කතා කරන සෑම වචනයක්ම

මේ film එක ගැන review එකක් කරන්න හිතුනෙ ඇත්තටම.. මේ කතාව පාදක කරගෙන, ලංකාවේ එක ස්තරයක් නියෝජනය කරන උන්දල ටික මේ චිත්‍රපටය කරා නම් කොහොම වෙයිද කියලා හිතිල. එහෙනම් අනිවාර්යයෙන් ස්ත්‍රී හිංසනය, පුරුෂ මූලික සමාජය, කාන්තා හිංසනය, වාර්ගික ගැටලුව.... ආදී සංකල්ප යොදා ගෙන කාන්තා නිරුවතත් පෙන්වමින් කරයි අපබ්‍රංසයක්..

වීදි ගණිකාවන් ගැන කියවෙන/ ප්‍රධාන වශයෙන්.. සිනමා සිතුවමක එක කාන්තා නිරුවත් සිරුරක් දකින්නට නෑ. ආලිංගනයෙ යෙදෙන දසුන් නැ. 30%කට වැඩි ඒ පරිසරය ඇතුළත් වන රූප රාමු වල ඒ වැඩිහිටි කොටස් නැහැ. සාමාන්‍යයෙන් lip kiss පවා එතරම් නොඅඩු බොලිවුඩයේ, මෑත කාලයේ ආ මේ චිත්‍රපටයට නිෂ්පාදිකාව, අධ්‍යක්ෂණය, පිටපත් රචකයන්... ඒ දර්ශන එකතු කර නෑ. මං කියන්නෙ ඒ දර්ශන නොතිබිය යුතුයි කියා නෙමේ. පිටපතක් අනුසාරයෙන් කොහොමද චිත්‍රපටයක් නිර්මාණය කරන්නෙ, plot එකේ අවශ්‍යතාවය මත මොන මොන රූප රාමු ද එයට ඇතුළත් කරන්නෙ කියන එක ගැන Reema Kagti ගෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ ඈ මේ චිත්‍රපටය තුලින් අපට පෙන්වල දෙනවා.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්