හීන් සංදියේ ඇහුණ සිංදුවක්, අහම්බෙන් වාගේ ආයෙම ඇහුණ/ ඇහුව. ඇහුවා නෑහුවා මොකෝ ආයෙම අහන්නය කියලා හැමෝටම...  මේම පෝස්ටුවවේ දාන්න හිතුණ.

 

පරිසරය, ගහ කොළයට, සතා සීපාවට ආදරය කරන කෙනා, ඒ කියන්නෙ සොබාදම් මාතාවට ආදරය කරන මිනිහා වඩා යහපත් කෙනෙක්ය කියලා කියනවා නෙ. හැබැයි ඒ කියන්නේ පේස් බුක්, සමාජමාධ්‍යය ආදියෙන් ‘පරිසරය’ ගැන වැල්බයිලා ගහන කාණ්ඩය හැර වෙන්ට ඇති. කොහොමින් උනත් ඉතින් ඉදිරි කාලයේ අපි ජීවත් වෙන පරිසරේ තියෙන සොබා සෞන්දර්ය විඳ ගන්න වෙන්නෙ ඉතිහාස කතා පොත් වලින්දෝ කියලා තමයි සැක... මෙහෙම දිගටෝම ගියෝතින්.


 

ඇයි කියන්නෙ ඉතින් එක ගහක් හිටවන වේගෙට දාහෙන් වැඩි වේගෙකින් ගස් කැපෙනවා, කැලෑ එළිපෙහෙළි වෙනවා, වැව් පොකුණු ගොඩ කරනවා නෙව. ඇහැව්වොත්... සංවර්ධනයයි කියලත් කියවෙනවා නේ. කොහොම උනත් එන්න එන්නම ගිරීස්මෙ නම් වැඩිවෙනව. හෙවනකට තියා බෙහෙතකටවත් ගහක් හොයාගන්න අමාරුයි කොළඹ රටේ. නැතුවමත් නෙමේ; ඒත් මේ ලඟ කාලයකදී හිටවපුවා නෙවෙයි නෙව ඒවා උනත්.

 

ඒ තියා ගහක් හිටවන එකෙන් ඇති පලප්‍රයෝජනේ, තමන්ට ඇති වාසිය මොකක්ද කියල නෙ හිතන්නෙ... දැන් වැඩිහරියක් උදවිය. ඒකෙත් අත්තක් නැත්තේම නෑ. මොකද ගහක් හිටෙව්වාය කියල සල්ලියක්, ගතමනාවක් හම්බුවෙන එක්ක යෑ. ඒ ඇරත් රූස්සට හැදෙන ගහක් හිටවලා ඒකෙන් කවදා ලී කෑල්ලක්, ගස් ගෙඩියක් ගන්නය කියලද?.

 

  ..... ඔහොම කියාගෙන යන සෑඩ් ස්ටෝරියක් කියන්ට නෙවේ හැදුවේ.

 

කවද කොයි කාලෙත්, අප්පච්චි මයින්ඩ කියන්නා සේ ඩාම් ඩූම් සිදුවීම් වෙනව. ඉස්සර/ පැරණි සමාජය හොඳමද ?; දැන් ඉන්න තරුණ සමාජය නරකම ද?. හැමදාම තරුණ සමාජය අන්තිම නරක උනානම්, හෙටක් ගැන කතා කරන්න අදක් ඉතිරි වෙලා නෑ... නෙ?.

 

ඒ හන්ද මේ වගේ කවි, ගීත ආදී සෞන්දර්යාත්මක නිර්මාණ යෞවනයට/ තාරුණ්‍යයට අහන්න - විඳින්න වැඩි වැඩියෙන් සැලසෙනවා නම්. සලස්වනවා නම්...




මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ" සඳහා පිටත් ව යමි. මා නැවත කාමරයට පැමිණෙන විට මධ්‍යම රාත්‍රි එක දෙක වුවත් ප්‍රසන්න මා එන තුරු අවදි ව බලා සිටින්නේ ය.

මා වැඩ කළ ආපන ශාලාව සුකුබාවල ජනාකීර්ණ එකක් වූයෙන් දිනකට තුන් හාරසීයයක් පමණ කෑමට පැමිණෙති. ඒ ඒ සෘතුවල එකිනෙකට වෙනස් කෑම කට්ටල හා භාජන භාවිත වන බැවින් පිඟන් දාහක් දෙදාහක් සේදීමටත් පිස දැමීමටත් අපට සිදු වේ.

ප්‍රසන්න රාජකාරි කළේ සුකුබා නගර කාර්යාලයේ සනීපාරක්ෂක සේවයේ කසළ එකතු කරන්නකු ලෙසයි. රාත්‍රි සේවා මුර අවසන් ව නිවසට පැමිණෙන අපගේ ප්‍රධාන ම මාතෘකාව ශ්‍රී ලංකාවයි. මේ තරම් ලෞකික - භෞතික සැප සම්පත් මැද අප ලංකාව ගැන සිතන්නේ කුමකට ද? ඒත් අපේ ජනප්‍රිය ම මාතෘකාව වූයේ අපේ මව්බිමයි.

ප්‍රසන්න ජපානයට පැමිණි කතාව මා පැමිණි කතාවට වඩා වෙනස් දුක්මුසු වූවකි. උසස් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබ ආවත් මගේත් මූලික අරමුණ මුදල් ඉපයීමය. අප සමග ඉගෙන ගන්නා බොහෝ අය තවත් වසරක් හෝ ජපානයේ නැවතීමට කැමැත්තෙන් සිතා මතා විභාගවලින් අසමත් වූවෝ වෙති. ප්‍රසන්නත් මමත් ඉරිදාට ඇවිදින්නට යති. ප්‍රසන්න ජපානය දකිනුයේ මට වඩා සුභවාදී ආකාරයකට ය. ඔහුගේ කල්පනාවේ හැටියට ලාංකිකයින්ට වඩා ජපනුන් විවෘත ය. ස්ත්‍රී සිරුර කිසිඳු තහනමකින් තොර ව විකිණේ. කාන්තා නිරුවතක් නැති පත්තරයක්, සඟරාවක් නැත. ප්‍රසන්න සිතන හැටියට ස්ත්‍රී නිරුවත පුරුෂ සමාගමට තහංචි නැත. නිල් චිත්‍රපට, ගණිකා සේවය තහනමකින් තොර ව ක්‍රියාත්මක වේ. ප්‍රසන්න මේවා නිරීක්ෂණය කොට ජපනා කුහක නැතැයි කියයි. ප්‍රසන්නගේ ඇතැම් තර්ක වලට මට පිළිතුරක් නැත. ඔහු නිදන රෑ යම ඔහුගේ නිහඬ සිරුරෙහි ගැබ් ව ඇති අනන්ත සිතුවිලි මම සිතින් ස්පර්ශ කරමි. ඔහු ජපානයට පැමිණියේ දෛවෝපගත සිදු වීම් අභියෝගයට ලක් කරමිනි. කොලොම්බස්ගේ ඇමරිකාව සොයා ගැනීමට වඩා ප්‍රසන්නට ජපානය සොයා ගැනීම වැදගත් විය. ප්‍රසන්න ජපානයට ආවේ ගුවනින් නො වේ. ගුවන් සේවිකාවන් පැමිණ හිස තබන්නට කොට්ටත්, සිංදු අහන්නට පුංචි ශබ්ද විකාශන පුඩුත් සැපයුවේ නැත. ප්‍රසන්න ගේ ඇත රැඳී 'පාස් පෝට්' එක 'පූස් පාට්' එකක් පමණකි. ලංකාවේ ජපන් තානාපති කාර්යාල නිල මුද්‍රාව, වීසා බලපත්‍ර, වලංගු දින, අවලංගු දින ඒ කිසිවක් එහි නැත. ලංකාවේ සිටින ජපන් තැරැව්කරුවන් මගින් විවෘත බෝට්ටුවක නැගී අති දුෂ්කර සමුද්‍ර යාත්‍රාවක ඔහු යෙදී තිබේ. ප්‍රසන්න ඇතුළු කණ්ඩායම ජපානයට පැමිණි මොහොත නිතර ඔහුගේ ආවර්ජනයට ලක් විය.

එදා වැහි බර අඳුරු දිනයකි. බෝට්ටුව මීගමුවෙන් පිටත් වීම පැයකින් කල් දමන්නට ප්‍රසන්නට අවශ්‍ය ව තිබුණි. මන්ද යත්, ඒ මොහොත රාහු කාලය වූ බැවිනි. නැකත් හා රාහු කාලය පිළිබඳ ව ප්‍රසන්න දැඩි ස්ථාවරයක සිටියේ ය. සෙසු පිරිස නිසා තම සිතැඟි සඟවාගෙන රාහු කාලයේ ම ගමනාරම්භ කිරීමට ප්‍රසන්නට සිදු විය. ලංකාවේ සිට ගුවන් යානයක් ජපානයට ඒමට පැය නවයක් ගනී. ඒ ද අධික වේගයෙන් ගමන් කිරීමෙනි. ප්‍රසන්න අප මෙන් ම ලංකාව ගැන කලකිරී සිටියේ ය. නිදහසින් පසු පාලනය භාර ගත හා නොගත් සියලු කණ්ඩායම්වලට ශාප කරමින් තමන් බෝට්ටුවට ගොඩ වූ බව ප්‍රසන්න පසු දවසක මට පැවසී ය. මුහුදු ගමන අතිශය වෙහෙසකර වූවකි. ප්‍රසිද්ධියේ කළ යුතු මළ පහ කිරීම් ආදී සකල විධ අපා දුක් මැද ප්‍රසන්න සීතල දිවයලෝකය බලා පැමිණ ඇත. පිරිසිදු කෑමක්, හොඳ නින්දක්, බේත් හේත් ආදී කිසිවකුත් නැති ව පැමිණි පිරිස කෙසේ හෝ ජපන් වෙරළට ගොඩ බැස්සවීමට බෝට්ටුකරුවා සමත් වී තිබේ. ජපනා කෙතෙක් සූක්ෂ්ම වූවත් ඔවුන්ගේ සියලු ආරක්ෂක උපක්‍රම සුන් කරමින් වෙරළෙන් ගොඩබිමටත් එතැනින් රට මැදටත් ඔවුහු සේන්දු වූහ.

රාහුගේ බල පරාක්‍රමය ක්‍රියාත්මක ව ඇත්තේ ඉන් පසුව ය. අධික කුසගින්න නිසා ඔවුහු ආපන ශාලාවකට ඇතුල් වූහ. බෝට්ටුවේ අපිරිසිදු චාරිකාව නිසා ඔවුන්ගේ ඇඳුම් දුර්වර්ණ ව ගොසිනි: කිලිටි ය. කණ්ඩායම එකටම ගමන් කිරීම නිසා ජපනුන්ගේ සූක්ෂම දෙනෙතට ඔවුන් හසු වී තිබේ. කිසිදු හේතුවක් නැති ව ඇවිදින සිරිතක් ජපනුන්ගේ නැත. මාර්ග කම්කරුවෙකු වුවත් ඇඳුමෙන් හඳුනාගත හැකිය. ඒ නිසා මේ පිරිස දුටු ජපනුන් විමතියට පත් ව ආහාර දීමට පෙර පොලිසියට දන්වා ඇත. තම මිතුරන් ආහාර පිළිබඳ ව අතින් හිසින් සංඥා කරමින් ජපනුන් හා මුහු වද්දී ප්‍රසන්න වැසිකිළියට ගියේ ය. පැය කාලකින් පමණ ආපසු එන විට ප්‍රසන්න දුටුවේ තම මිතුරන් පටවා ගෙන යන ජපන් පොලිස් වාහනයයි. නිහඬව පැමිණි ප්‍රසන්න දුරකථන කුටියකින් ජපානයේ සිටින ලාංකිකයෙකුට ඇමතුවේ ය. ප්‍රසන්නගේ වෙලාවට ලාංකික මිතුරාට එදා නිවාඩු දිනයකි. ඔහු වහා ම පැමිණ ප්‍රසන්න තම කාමරයට ගෙන ගොස් තිබේ. රාහු කාලයේ මහිමය කියන්නට ඔහු නිතර ඉදිරිපත් කලේ මේ නිදසුනයි. රාහු කාලය ඇත්තක් නම් උඹ විතරක් බේරුණේ මන්දැයි මා නගන ප්‍රශ්නයට ද ඔහුට උත්තරයක් තිබුණි.

"තව ම මගේ කතාව ඉවර නෑනේ කොයි වෙලාවෙ Immigration එකෙන් මාව අල්ලයි ද කවුද දන්නෙ"

සද පායා තිබුණි. සඳට පහළින් සීතල වලාකුළු එල්ලේ. සඳ කිරණ ජපන් භූමියට වැටෙන්නේ සීතල වලාකුළු අතරිනි. සඳ ලංකාවට මේ තරම් සුන්දර නැත. 'සඳ' ජපනුන් මැද තනි ව වෙසෙන අප මෙන් ම අහිංසකය.

ප්‍රසන්න පවුලේ වැඩිමලා ය. ඔහුට බොහෝ ප්‍රශ්න තිබුණි. ගේ දොර ඉඩකඩම් විකුණා මෙහි පැමිණි බැවින් සෑම මසක ම ඉතා විශාල මුදලක් ඔහු ලංකාවට යැව්වේ ය. 'වීසා' හෝ 'ඒලියන්' වැනි කිසි දු නිල බලපත්‍රයක් ඔහුට නොවූයෙන් ඔහු වෙනුවෙන් ඒ සියල්ල කල යුතු වූයේ මාහටය. ඔහුට ලියුම් ලැබුණේත් ,මගේ ලිපිනයටයි. නංගිලා දීග දීමටත් උන්ට දෑවැද්ද සෙවීමටත්, ගේ දොර උකස බේරීමටත් ඔහුට මුදල් රාශියක් අවශ්‍ය විය. ඒ නිසා ම උදේ 7 සවස 4 රැකියාවට අමතර ව රාත්‍රී 6 සිට 12 දක්වා තවත් රැකියාවක් ඔහු සොයා ගත්තේ ය. මා වැඩ අරී රාත්‍රී දෙකට පමණ එන විට ප්‍රසන්න උණු වතුර ස්නානය කොට හිස උණුසුම් කරමින් කියන වදන් මට නිතර සිහිපත් වේ.

"මචං මේ කෙස් යන්නෙ යෙන්වලට, සීතලට නෙවෙයි". උදේ සිට සවස් වන තෙක් කසල අදින ප්‍රසන්නට කතා බහ කරන්නට කෙනෙකු දවස පුරාම හමු නොවේ. රාත්‍රී 12 සිට 2 තෙක් පුරා පැය දෙකක් ඔහු මා එන තුරු අවදි ව සිටී. දවල් සිදු වූ සිදුවීම් පවසන්නේ මේ වෙලාවට ය. වෙනත් වචනවලින් කිවහොත් අප දෙදෙනා ජීවත් වූයේ රාත්‍රී 2 සිට 4 දක්වා පැය දෙක පමණි. සෑම උදයකම වීදිවල කුණු ගොඩවල තබා ඇති ශීතකරණ, හොඳ ඇඳුම් පැළඳුම්, ඇඳ පුටු මේස, අල්මාරි, සපත්තු, ගෘහ විදුලි උපකරණ ආදී මිල කළ නොහැකි භාණ්ඩ ගැන ඔහු මට විස්තර කරයි. ඒවා තමන් සතු කර ගැනීමට නොව ලංකාවේ දුප්පත් ගම්වලට සහනාධාර ලෙස දීමට ජපානයට නොහැකි දැයි ඔහු ප්‍රශ්න කරයි. මහ මග අතහැර දමා ඇති ලක්ෂ ගණනක් බයිසිකල්, මෝටර් රථ ගැන දුක්වන ප්‍රසන්න ඉන් ලංකාවේ දුප්පත් ගම්මානවල ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙතැයි තර්ක කරයි. එවිට ලංකාව ජපානයේ කුණුගොඩ වේ වී යැයි මා කියන විට ප්‍රසන්න ඊටත් එරෙහි වෙයි.

"උඹ පලයන් ලංකාවෙ වලපනේ රූපහ නිල්දණ්ඩාහින්න. ඔය කොළඹ තියෙන වාහන තදබදය පාරවල් පුරා වාහන එහෙ නැහැ. කොළඹයි නුවරයි ගාල්ලයි දිහා බලන විදිහට දුප්පත් ගම්මාන මනින්න එපා බං"

"ප්‍රසන්න උඹ දැකල නැද්ද මෙහෙ T.V. එකේ ලංකාව පෙන්නන හැටි"

ජපානයේ රූපවාහිනිය ලංකාව පෙන්වන විට එහි සුන්දර බව නොපෙන්වීමට වග බලා ගනී. වැරහැලි ඇඳගත් මිනිසුන් මුඩුක්කු පැල්පත් වෙරළේ මළ පහ කරන දර්ශන ඔව්හු නිතර පෙන්වති. එබඳු වාතාවරණයක දී ජපානයේ ඉවත ලබා දෑ ලංකාවට යැව්වොත් ජපනා අප ව තවත් පහත් කොට සලකතැයි මම කිව්වෙමි. එහෙත් ප්‍රසන්නගේ අදහස්වල ද ඇත්තක් තිබේ. ප්‍රසන්න කතා කරන්නේ මට වඩා දැඩි පීඩාකාරී හැඟීමකිනි. ඔහු පදවන රථයේ පසු පස කොටසේ විදුලි බොත්තමකින් ක්‍රියා කරන ද්‍රව්‍ය පොඩි කරන යන්ත්‍රයක් ඇත. මග දෙපස ජපනා තබා යන ඔවුන්ට අනවශ්‍ය අලුත් භාණ්ඩ ප්‍රසන්න දිනපතා අර යන්ත්‍රයට තබා පොඩි කර දමයි. මේ අනුභූතිය මටත් දෛනිකව ලැබේ නම් ප්‍රසන්නගේ සිතිවිලිවල සාධාරණ බව මටත් දැනෙන්නට තිබුණි. ඒවා තබා පොඩි කර දමන විට තම හදවත දැවී යන බව ප්‍රසන්න කිහිප වාරයක් ම කියා තිබුණි. "මුන්ට හිතක් පපුවක් නැහැ. මුන් දන්නව ලෝකෙ දුප්පත් රටවල්වල හැටි. මුන් පුදුම ආත්මාර්ථකාමියො. මේක සම්පත් නාස්තියක්.. "

මට ප්‍රසන්න ගැන සිහිපත් වන විට වාවා ගත නොහැකි දුකක් ඇති වන්නේ ඔහු තම දෙමාපියන්ට වඩා රට ගැන දුක් වූ නිසා ය. ඔහුට බලාපොරොත්තු රැසක් තිබිණ. තමා උපන් දේශයේ වහල් බව දීන බව ඔහුගේ උදහසට ලක් විය. ජපන් බස දේවත්වයේ ලා සලකන ජපනා ගැන ආඩම්බර විය. සිංහලයන් සිංහලයන් සමග ජපන් බසින් දෙඩීම ඔහුගේ පිළිකුලට හේතු විය. රටක් නගන්නට නම් "සිය බස" මුල් තැනට ගත යුතු බව ප්‍රසන්නගේ තර්කය විය. ප්‍රසන්න ගැන ඔබට කී තොරතුරු සමාප්ත කරන්නට මට සිදු වී තිබේ. මෙය කෙටිකතාවක් හෝ චරිත විස්තරක් දැයි මම නොදනිමි.

එදා දවස වෙනදාටත් වඩා සීතල දවසක් විය. හිරු ජපානයට පිටු පා සිටියේ ය. සුකුබා ගිරි ශිඛරය හිම තට්ටුවකින් වැසී තිබුණි. පාන්දර පහට ප්‍රසන්න අවදි ව ආහාර පිළියෙළ කළේ ය. මට තේ කෝප්පයක් සාදා මගේ පසෙකින් වාඩී වී එය මට පිළිගැන්විය. එදා තරම් සුන්දර මුහුණක් ප්‍රසන්නට වෙන කවරදාවත් නොතිබුණි.

"මචං බත් ලෑස්තියි උදේටයි දවල්ටයි දෙකටම... මචං මේ මගේ මාසෙ පඩිය. උඹට ඕන තරම් අරගෙන ඉතිරිව අපේ ගෙදරට යවපන්. මේ මාසෙන් පස්සෙ ණය ඔක්කොම ඉවරයි. නංගිලත් බැඳල, ලබන මාසෙ ඉඳල යැව්වොත් යවන්න වෙන්නෙ ලාභය".

"එතකොට උඹ කසාද බඳින්නෙ නැද්ද?"

"කවුද බං ජපානේ නාකි වෙච්ච මේ ඌරව කසාද බඳින්නෙ... "

එදින රාත්‍රීත් පසු දා උදෑසනත් අන් කවරදාකවත් ඔහු නැවත පැමිණියේ නැත. ප්‍රසන්න තම රථයට කුණු ඔබා පිටුපසට ගොස් විදුලි බොත්තම ක්‍රියාත්මක කරයි. කුණු ඇඹරෙන දැති රෝදය ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවයි. මගේ කල්පනාවේ හැටියට ණය පියවීම නිසා ප්‍රසන්න සිටියේ දැඩි සතුටකිනි. පිටිපස දැති රෝදයට කුණු තබා බොත්තම එබූ පසු දැති රෝදය ක්‍රියාත්මක ව ඇත්තේ එය ක්‍රියාත්මක කළ ප්‍රසන්නත් මස් පිඬක් බවට පත් කරමිනි. ගොමි වාහනයක සිටින්නේ එක් පුද්ගලයෙකි. පුරා පැය තුනක් ම කුණුත් සමග එකට ඇඹරෙමින් දැති රෝදය ක්‍රියාත්මක ව තිබේ.

රාහු වේලාවෙන් පැමිණ අසුබ නිමිත්ත සුබ නිමිත්ත කර ගැනීමට ඔහු දැරූ ආයාසයත් ඔහුගේ එක් ප්‍රාර්ථනාවකුත් මට සිහිවේ.

"මචං කවදාවත් ජපානෙදි මැරෙන්න හොඳ නෑ. මොකද දන්නවද ජපනෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් මැරෙනකල් වැඩ කරන්නයි වෙන්නෙ. මේක මචං දිව්‍යමය අපාය."


-           අත්තනායක එම්. හේරත් මහතාගේ කෙටිකතා පොතකින්.

අවසේස කරුණු- මේ පොත මා හට ලබා දුන්නෙ පංචතනතුරේ නිමල් දිසානායක මහතායි.

 කහ පාටයි. පොඩි හුරුබුහුටි ගතියකුත් තියෙනව. පිට දේසෙකින් නෙ මෙහෙට එක්කරාන ඇවිත් තියෙන්නෙ. ඒ නිසා හැන්ඩියට, ජේත්තුවට ඉන්න පොර කැමතියි හිටන්. හැබැයි මහ එපා කරපු එකා. දවස තිස්සෙම පාරේ. සමහර දවස්වලටනම් ඇඟේ කුණු පෙරාගෙන ජරා වෙලා... ගන්දස්කාරේ බැරුවා. හොරකමේ යන... මහ නැහැදිච්ච පූසෙක් මූ. කුණු බක්කි, ගෙවල්ය කියල ඌට ඒ හැටි වෙනසක් නෑ. ඌටම හරියන සැට් එහෙකුත් හොයාගෙන, අන්දල කරලා හෙම තියන් ඉන්නෙ. සේරෝම එකතුවෙලා පැත්තමට සුද්දෙ දෙනව. පොලෝසියටවත් බෑ උන්ව මට්ටු කරන්න. හැබැයි එහෙමෙයි කියල... මේ පූෂ නරකමත් නෑ.

කාලෙකට කලින් විස්තරේ ඔහොමයි. දැන් උදවියනම්... ඌ ගැන දන්නෙ නැති තරම්. මේ නසරානි පූසව ගෙන්නගෙන තියෙන්නෙ... සූප පෙට්ටියේ කන්තෝරුවකින් නෙව. එකදාස් බරගණන්වල.

හරියටම මේ පූෂ්ගේ වතගොත කියනව නම් 1961 තමා මේ මූ ඉපදිලා තියෙන්නෙ. ඒ හැනා සහ බාබරා කියන නිෂ්පාදන ආයතනයෙන්. එහෙම කියද්දි නම් කස්ටිය දැනගන්න ඇති... මේ කියන්නේ අර ඇමරිකන් Top Cap කාටූන් එක ගැන වෙන්ටෑති කියල.


Top Cap ලංකාවේ හඬකවා රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කරන්නේ කවුරුත් දන්න 'පිස්සු පූසා' කියන නමින්. එය භාරව කටයුතු කර තියෙන්නෙ... ටයිටස් තොටවත්තයන් නෙව. මේ කාටුන් වැඩසටහනට නම දැමීම වගේම, එහි 'පිස්ස මූ' කියන තේමා ගීතයට ඒ පද යොදාගැනීම හරිද කියල පොඩි කසුකුසුවක් ඇවිදින්... මොකද මේක ළමා වැඩසටහනක් නිසා. ඒ කොහොමින් උනත් කාටුන් එක වගේම තේමා ගීයත්, ළමා- වැඩිහිටි කා අතරත් එක විදිහට ජනප්‍රියත්වය උනා. තාමත් සින්දුවේ හඬ ඇහුණ ගමන් මතකෙට එන්නෙ ඒක නෙව.

ඉන්න කස්ටිය ගත්තොත්... ප්‍රධාන, කහපාට සූට් බූට් දාගත්ත උජාරුවට ඉන්න පිස්සු පූස්. මේ පූස් මොටා පස්සෙ පන්නන අවංක- නීතිගරුක රාලහාමි. ඊට පස්සෙ... පිස්සු පූස්ගෙ සහචර පිරිවර, පූස් වසන ගමේ මිනිස්සු සැට් එක. ගම වටේ නැටුන් නටාගෙන, දහන් ගැට දාන පූස් සහ රැල මට්ටු කරන්න එන්ටර් වෙන රාලහාමී කතා වස්තුව තමා ඉතීම් වැඩිහරියක කතා සාරය. ඉඳල හිටල පූස්- රාලහාමී සාමදාන වෙන තැනුත් නැතුවාම නෙමේ. කොහොමින් උනත් ඉක්මනටම හිත් උණු වෙන ඩබලක්... පූස්- රාලහාමී දෙනම.

දැන් ළමයින් මේවා නොදන්නව උනාට අපි ඔයයිලා බලපු/ දන්න ඒව නෙව මේව. කෝමින් උනත් ජාතික රූපවාහිනියේ පස්සෙන් පහු මේක විකාසය කළා, දැන් අත්හිටුවලද දන්නෙ නෑ හිටන්.

පළවෙනි දිගහැරුමේ තේමාව, පූස් රංචුවේ සගයෙක්ට ඇදෙන ලොතරැයි දිනුමකින් කට්ටියම හවායි බලා යන සංචාරයක්. මේ විදිහට එකිනෙකට වෙනස් තේමාවන් වටා ගෙතුණු කතා ඇතුළත්ව... 1961 සැප්තැම්බර් 17දා සිට 1962 අප්‍රේල් 18වනදා දක්වා කොටස් 30කින් යුතුව පළමු දිගහැරුම ඇමරිකාවේදී විකාශය වෙලා තියෙනව. මේ වෙනකම් විවිධ රටවල්වල භාෂාවන්ට පරිවර්තනය වෙලා ඇවිදින් 2023 වෙන කොට එහි 62නි වසර පහුකරනව. මේ අතරතුරේ චිත්‍රකතා, සඟරා, චිත්‍රපට දක්වා Top Cat වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනව. ඒත් සිනමාව ආක්‍රමණය කරන්නනම් ඒ හැටි සමත් වෙලා නෑ.

* * * * * * *

කෝම උනත් ටයිටස් තොටවත්ත ඔය... ගැති නැති,
 කියන්ට ඕන දේ අදාළ වෙන විදිහට කියාපු කෙනෙක්ය කියල කියනවා නෙව. එහෙම හිටිය ටයි බොසා මේ පිස්සු පූසා එකේ සිංහල තේමා ගීය මොන දෙයක් හිත් ලාල අකුරු කරාද දන්නෑ හිටන්.
 

සූට් බූට් දිග කලිසම් - රෝල්ස් රොයිස් ගමන් බිමන්

අද මැදුරේ හෙට පැදුරේ - පිස්සු පූසා මේ

 

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //

 

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා

මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා

දෙස් පළුවක් ගේ විලසා - කුණු කූඩෙන් බෙල්ල දමා

බොරු බේගල් ඇද බාලා - සහචරයින් කරයි මුලා

 

අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා

මීයා කටට වැටුණු වහා සිල්ගත් සේමා

තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා

බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා

 

හොරා කෑම බැරිවුන දා - දත් විලිසා නිය විහිදා

කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා

 

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //

  

ගී පද - ටයිටස් තොටවත්ත

තනු සහ සංගීතය - සෝමසිරි ඉලේසිංහ

ගායනය - ගැමුණු විජේසූරිය

   යූ බටෙන් සිංදුවට......... 


 මං වහන්සේ පෑනක් ඇල්ලුවොත්, ගොඩක් වෙලාවට... ලීවත් නැතත්, එක තීන්ත පාරක් හරි අතේ ගාගන්න සම්භාවිතාව ඉතා ඉහළයි. එදා තට්ටයතුමාගෙ Teepee කෑම්ප් එකට ගිහිල්ල උනෙත් ඒ ලඟින් යන වැඩ තමා. උන්දගෙ ටොයිලට් එකේ හෑන්ඩ් ෂවර් එක අන්තිමට තද කොරන්න ඕන වතුර එන්න. මුලින්ම ගිය මං... අන්තිමට තද කිරීම නිසා, ඒ බොහෝ කල් පැවතුණ සවර් එක කැඩුණ. වතුර එකයි ඇඟේ. (ඊට පස්සෙන් පහු කොලොම්පුරෙත් ගෙහුං තමා හොඳට නාගත්තෙ). ඒ ගිනිවිජ්ජුම්බරේ දැක්ක රවී ලොක්ක විතරයි ඇවිත් විපරමක් දැම්මෙ මොකද උනේ කියල හිටන්... අනික් ඔක්කොම අවට සිරි විඳිගන්න අතරෙ.

කෝම උනත් වෙච්චි වස වැරැද්දට තට්ටය ලොක්කගෙන්... අයදිමි සමා හිටං!

ඒ අස්සෙ Pra Jayතුමාට වතුර ගහන්නට ගිහිල්ලත්, ගලක කකුල ඇනගෙන... තාම හොඳ නෑ. කෝමෙන් හරි මට සහෘද කෙනෙක් මේ ඉසව්වෙ ඉන්නෝ... ඒ නිසා මං සතුටින්. ඒ තමයි අපේ Lotusතුමී. මං දැනගත්තෙත් ලඟදි. ඔය වගේ පොඩි පොඩි කේෂ් වලින් ඉතීම් සැලෙන්න හොඳ නෑනෙ නේ. පොඩි ඒවාට සැලෙන ඈයෝ තමයි ලොකු ෂීන් වලට බිමටම පතබෑවිලා හිටන්... ජීවිත නහගන්නෙ. ඒ හන්ද 'ඕල් ඊශ් වල්' කියල ඔන්න පොඩි fun එහෙකට පන් ස්ටෝරි ටිකක්....

වතුර කේෂ් ගැන කීව උන නිසා වතුර කතාවකින්ම පටාන් ගන්නම්කෝ...

ඔන්න එකෝමත් එක පුරුසයෙක් මුහුදු ආරක්ෂක සංගමයක interview එහෙකට ගියා. බඳවගන්න මහතැන් ඇහුව අර පුරුසයගෙන්... 'කොච්චර ගැඹුරකට කිමිදෙන්න පුලුහන්ද? ' කියල හිටන්.

අර පුරුසය ටිකක් කල්පනා කරල කිව්ව 'ඕන තරමක් ගැඹුරට ' කියල. ඒක අහපු මහතැන්ට ගොඩක් සතුටු ඇතිවෙලා... මේ පුජ්ජලය ගෙන් තව දුරටත් විස්තර ඇහැව්ව. 'ඒ කියන්නෙ ඕන ගැඹුරකට ගිහින් එන්න ඔයාට පුළුවන් නේ ?' කියල. අර හාදය ගත්කටටම කිව්ව...

'ඕන ගැඹුරකට යන්න නම් පුළුවන්. හැබැයි එන්න බෑ'

 

කොහොමහරි ඒ පුරුසයාම වෙන්ට ඇති... නාවුක හමුදාවේ interview එහෙකටත් ගියා. හිටිය ලොක්ක මෙයාගෙන් ඇහැව්ව 'තමුන්ට හොඳට පීනන්න පුළුවන්ද? ' කියල. කොලුව කිව්ව, පීනන්න බෑමයි කියල. කේන්ති ගිය ලොක්ක, කොල්ලට බැනල හිටන් එලෙව්ව. තියෙන කටකාරකමට මේ කොල්ලත් ඇහුව...

'එතකොට ගුවන් හමුදාවට බඳවගන්නෙ... පියාඹන්න පුළුවන් අයද? '

 

බියර් බීම

සැමියගේ බීම හන්ද ගොඩක් කේන්ති ගිය නෝනා එක දවසක් කනේ ඇඟිලි ගහගන්නත් එක්කලා උන්දට කතා කළා. සැමියත් පුලුහං හැටියට අතරින් පතර වචන දැම්ම. මේ ගෝරිය අහවර උන තැන... සැමියා තමන්ගේ බිරිඳව සේප් කරගන්නත් එක්කලා, බියර් කේස් එක මිදුලට අරන් ගිහින්... බීල ඉවර උන හිස් බෝතල් එකින් එක පොළේ ගගහ කැඩුව. කඩන ගමන් නෝනව සනසන කතා ඇහෙන්නත් එක්කලා කිව්ව.

'මේ හැම දේටම මුල උඹ. මං අද ඉතුරු කරන්නෙ නෑ'

'මගෙයි නෝනගෙයි රණ්ඩු හැම එකටම මුල උඹ '

'ආයේ ගෙට ගන්නෙ නෑ'.... මෙහෙම කියන ගමන්... අතට අහු උනා, නොකඩපු බෝතලයක්. උන්දට මේක පොළේ ගහන්නත් මොකක්ද වගේ.

'උඹ මොකද, උඹ මේ වැරදි වලට හවුල් නෑනෙ. උඹ පැත්තකට වෙලා හිටපන් ' කියලා ඒක පැත්තකින් තිව්ව.

 

දෙක එකට

පිට දේසෙක, දෙවියන්ට බොහොම ගරු කරන පවුලක මැදිවියේ කාන්තාවක් මැරණ. ඇය දේව නියමයන්ට අනුව යමින්, උපත් පාලනය බැහැර කල නිසා ළමයි රොත්තකුත් ලැබුව... මැරෙණකල්ම. පූජකයා දේව මෙහෙය අහවර කරල මෙහෙම කිව්ව. "At last, they are finally together." මේක අහන් හිටි වයසක මැහැල්ලක් පූජකයගෙන් ඇහුව 'ඔබ අදහස් කලේ ඇයගෙ සැමියත්, එක්කද නැතිනම් කලින් පෙම්වතා එක්කද?'

'මන් අදහස් කලේ. මේ ගෑණිගෙ කකුල් දෙක'

 

අරාබියේ බීම වෙළඳාම

අරාබියේ බීම වෙළඳාම් කරපු, මෙහෙ කොල්ලෙක් හැරෙන තැපෑලෙන්ම ලංකාවට ආව... බිස්නස් එක අසාර්ථක වෙච්චි නිසා. ආපුහාම යාලුවො ඇහුව ඉතීම් මොකෝ විස්තරේ හෙම කියල.

'බිස්නස් එකට වැඩියෙම ඕන මා(ර්)කටින්නේ. ඒ නිසා ඉතුරු හැම සතේම ඒකට වියදම් කරා. ඒත් හරිගියේ නෑ'

'ඒ ඇයි බං. උඹ හොඳට මා(ර්)කටින් වැඩේ කරේ නැද්ද?'

'කරා... එක බැනර් එකක් හදල හැම තැනම ගැහුව. මුල් පින්තූරේ ඉන්නවා තිබහෙන් ඉන්න මිනිහෙක්. දෙවෙනි පින්තූරේ ඉන්නවා, ඌ අපේ බීම එකක් අතේ තියන් ඉන්න එකක්. තුන්වෙනි පින්තූරේ ඌ බීල සතුටින් ඉන්න එකක්'

ඉතිං මචං... ඒකෙ වැරද්ක් නෑනේ?

'ඔව් බන්... ඒත් අරාබි උන් කියවන්නෙ අග ඉඳල මුලටනෙ'

 

බය වීම

ඔන්න එක මගියෙක් කැබ් එකට නැගල ටිකක් දුර යනගමන් රියදුරාගෙ පිටට පොඩි තට්ටුවක් දැම්ම. ඒ පොඩි තට්ටුවෙන් තිගැස්සුණ රියදුරා ලඟම තිබුණ ලයිට් කණුවෙයි, ඉස්සරහ ලොරියකයි හප්පලා තමා නතර උනේ.

-         සමාවෙන්න මං හිතුවෙ නෑ. පොඩි තට්ටුවකින් ඔයා මෙච්චර බයවෙලා, කලබල වෙයි කියල.

නෑ ඇත්තටම ඒක මගේ වරද. මේ රැකියාවේ පලවෙනි දවස අද.

-         ඒත් මෙච්චර තිගැස්සෙන්න හේතුව මොකක්ද?

මං කලින් පැද්දෙ හ(ර්)ස් එකක්.

 

බිරින්දෑගේ පොරොන්දු රැකීම

ඔන්න මහ භයානක ලෙඩකින් මර ඇඳට වැටුණ බිරිඳ, සැමියාගෙන් ඇහුව... 'ඔයා මං මැරුණම කොච්චර කල් දුක් වෙනවද. මැරුණ ගමන් වෙන කෙනෙක් බඳිනවද? ' කියල.

'නෑ ඩාලින්, ඔයාගෙ සොහොන උඩ, ගහක් හැදුණ කාලයක් ආවොත්, එදාට වෙන කසාදයක් ගැන හිතන්නම් ' සැමියා එහෙම කිව්ව. බිරිඳත් ඔහුව ඒකට පොරොන්දු කරගත්ත. බොහොම ටික කලකින් බිරිඳ මැරුණ. ඉඩ තියෙන වෙලාවක සැමිය ඇයගෙ සොහොන බලන්නත් ගියා. ඒ අතර හොඳ කාන්තාවකුත්... ඇසුරට ඔහුට ලැබුණ. ඒත් පොරොන්දුව නිසා සැමිය, විවාහයක් ගැන හිතුවෙම නෑ.

මෙහෙම අවුරුදු 10ක් විතර ගිය දවසක බිරිඳගෙ සොහොන ගාව... පුද්ගලයෙක් ඉන්නව සැමියා දැක්ක. ඔහු ඒ පුද්ගලයාගෙන් ඇහුව 'තමුන් මොකද මෙතැන කරන්නෙ? ' කියල.

'මේ නෝනා මැරෙන්න කලින්... අවුරුදු 50කට හරියට මුදලක් දීල කිව්ව, මගේ සොහොන උඩ ගහක් තියා වල් පැලයක්වත් පැල වෙන්න නොදී බලා ගන්න' කියල.

 

නොසිතූ (අ)වාසියක්

පලමු හෘදයාබාධයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑ හැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදී තිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැල කරසිටීමේ අවධානම පිලිබද සාකච්ඡා කළ දූදරු පිරිස, අවසානයේදී අදාළ කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන් තුළ දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේසම් සහගතව සිදුකිරීමේ වගකීම භාර කළා.

ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

"ඈ මහත්තයා..... දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිනුමක් ඇදුනයි කියල.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"

"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකු දෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල"

යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ... හදිසි හෘදයාබාධයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්වය.

(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් කතාවකි)

ආදරේ කරන කාලේ... ජෝඩු, කොච්චර නම් parkවල,


මුහුදු වෙරවල්  දිගේ ඇවිදින්න ඇද්ද. අත් අල්ලගෙන, හීන මාළිගා හදාගෙන, සිප වැළඳගෙන... ඒවයේ ගමන් කරන්න ඇද්ද. ඒ පාරේම, ඒ තැනමට තමන්ගෙ ප්‍රේම සහකරු/ සහකාරියගෙන් වෙන් උන දවසක යන්න උනොත්. එකක්... ඒක නීරසම අත්දැකීමක් වෙයි. නැත්තං විරහ මුහුවුණු, ආදරණීය සැමරුම් සිහිකැඳවන අත්දැකීමක් වෙයි. ඔය දෙකෙන් කෝක උනත් වියෝග දුක හදවතේ කොනක තියෙනව.

තුරුල් වෙලා යනකොට ඇයගෙන්/ ඔහුගෙන් දැනුණ... ආදරණීය සුවඳ, ආදරණීය ස්පර්ශය මතක් වෙන්න පුළුවන්. ප්‍රිය තෙපුල්, මුදු වදන් මතක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම දැන් අතීතයෙ කොටසක් වෙනකොට වියෝ දුක නිතැතින්ම මතුවෙනව.

------

එහෙම වියෝ දුක දැනිල... රාගය, අයිතිවාසිකම් විතරක් හොයපු, තම පෞර්ෂයට හානි උනා කියලා හිතපු පිරිමින්ට තමයි පිහි - මන්න, මාන්නන්න හිතෙන්නෙ. එහෙම නැතුව ඇය වෙන් උනහම... විකසිත පෙම් පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාදෙන් කියල විරහව දරාගන්න හැකියාවක් තියේද.

වෙන්වීම, පරාජය, ලැජ්ජාව අකැප දෙයක් විදිහට පොඩි කාලේ ඉඳල ඉතින් හුරු වෙනව. සිස්සත්තෙ පැරදුනොත්, ලකුණු අඩු උනොත්, ළමය එදා ගෙදර වසල හමාරයි. එහා ගෙදර ළමයා පාස් උනොත්... මෙහා ගෙදර දෙමව්පියන්ට ඒක අවුල්. අටලෝ දහම ගැන විෂයක් විදිහට බුදුදහමෙන් ඉගෙන ගත්තට... ජීවිතේට බද්ද නෑ. ඉතින් පොඩි එකා කාලේ ඉඳලම පැරදුම පසෙක තැබේවා කියල රේස් දුවනව. ඒ අස්සෙ, පුරුද්දට... මිනිස් බැඳීම් ඇතුළෙත් පරාජය, අහිමිවීම එක්ක දරාගැනීම් හීන වෙලා යනව.

* * * * * * * *

ඉතින් අර කියපු විදිහේ ළමයෙක්ගෙ යෞවනයගෙ කාලේ වගේ නෙමේ... මේ සිංදුව කියන තරුණයගෙ හැඟීම්, අදහස්. අද ඔහු තාරුණ්‍යය එළිපත්තේ ඉන්නේ. සරසවියේ අනන්තවත් පෙම් හබ, දියරැළි ඇති වෙලා නැති වෙනව වගේ... ඇති- නැති වෙන්න පුළුවන් බව දැනන් හිටපු ඔහු හිමි - අහිමිවීම් දෙකම දරා ගන්නව. සොබාදහමෙත් මේ රටාව නේද කියල හිත හදා ගන්නව.

ඒ මොනව උනත් පහු කාලෙ විවාපත් වෙච්ච බිරිඳ එක්ක, තම ළමය එක්ක... අර ආගිය ප්‍රේමනීය තැන්වල යද්දී පෙර ස්මරණ සිහි වෙනව. වෙන් වුණු ආදරේ දුක දැනෙනව. ඒත් ඒ තරුණය... ඒ වියෝවුණු ආදරේටත් ආදරේ කරනව.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්