විෂම භාග

 

කාලෙකට පස්සේ හොඳ සිංහල චිත්‍රපටියක් බලන්න පුළුවන් උනා. මේක බලද්දී මනෝරත්නයන්ගෙ ගුරු තරුව වේදිකා නාට්‍ය බලපු අයට මතක් වෙන්න ඇති සමහර විට.. පොඩි පොඩි film festival වල පෙන්නල සම්මානයක්, දෙකක් අරගෙන තමුන් වෙනස් විදිහෙ කෙනෙක් කියල පෙන්නන්න දඟලන රැල්ලෙනුත්, ඉතිහාසකතා වාර්තාකරණ රැල්ලෙනුත් හෙම්බත් උන අයට හොඳ චිත්‍රපටියක් දායාද කිරීම ගැන ඇත්තටම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට ඇතුළු සියලු දෙනාට... ඇත්තටම පින්. කන්න අතට ගන්න බත් පත ඇතුලෙ රසායන ද්‍රව්‍ය  හැට හුටහමාරක් තියෙන කොට ඒවත් එක්ක මුළු ජීවිතේම ඔට්ටුවෙන ජීවිත මොනවගේ ඇද්ද, ඒ අය මොකක් නිසා මේ දේවල් භාවිත කරන තත්වයට පත්උනාද කියල විතරක් නෙමේ ඒ වගේ පවුලක ඉපදුණු දරුවන් දෙදෙනෙකුගෙ අනාගතය කොහොම ගොඩනැගෙනවද කියල මනාවට පෙන්වන චිත්‍රපටියක්.. කලාත්මක දේශපාලනික චිත්‍රපටියක්. සමර චිත්‍රපටි දේශපාලනිකයි, රැඩිකල් කිව්වට ඒවයි මේ තරම්වත් දේශපාලන අර්ථගැන්වීමක් දකින්නට නෑ. ඒවායෙ තියෙන්නෙ පුහු රැඩිකල්, පෞද්ගලික මතවාද බලෙන් ප්‍රේක්ෂකයාට දමා ගැසීමක්.

දරිද්‍රතාවෙ පතුලෙම ඉන්න පවුලක නිවුන් දරුවන් දෙන්නෙක්. දෙසොයුරන්ගෙන් කෙනෙක් දැනුම, ගණිත ආදී විෂයනට දක්ෂ වෙද්දි අනෙක සෞන්දර්ය හැකියාවන්ට දක්ෂව එයට නැඹුරු වෙනව. රසාස්වාදය, රසවින්දනය, කලාව, ඉතිහාසය කප්පාදු කරපු රැකියා වෙළඳපොල සඳහා පමණක්ම ඉලක්කගත වෙච්ච අධ්‍යාපන මොඩලයට... ලෝකෙ ඉහලම තැනෙක තියෙනව යැයි පාරම්භාන ලංකාවේ වනපොත් අධ්‍යාපනයට මේ දරුවන් දෙන්නත් ඉතින් අකුරු කරන්න යනවා. එතැනදී ගණන් බැරි දරුවා මොට්ටය වෙද්දි කලාව මොට දරුව දක්ෂය වෙනව. තමන්ගෙ බාල සහෝදරයට වඩා පරිසරයට, පවුලට ආදරය කරන, කළා හැකියාව ඇති දරුව මේ අධ්‍යාපන රටාව ඇතුලෙ fail වෙනව... මේකද අපිට, අනාගත සමාජයට අවශ්‍ය අධ්‍යාපනය යැයි ප්‍රශ්නයක් ඉතිරි කරමින් චිත්‍රපටිය නිම වෙනව. පලිබෝධනාශක අවුලෙන් පටන් අරගෙන ගුරු කේන්ද්‍රගත අධ්‍යාපනයෙ ඇති අවුළ පෙන්වමින් චිත්‍රපටිය නිමවෙනව. හරියට මේ අධ්‍යාපනයත් දරුවන්ගෙ අනාගතයට පලිබෝධනයක්, විසක් වෙන්න බැරිදැයි යන හැඟීමක් මතු කරමින්. නමුත් අවසන් කරන්නෙ බලාපොරොත්තුවක් සහිතව (එය හොද සිනමා නිර්මාණයක් දකින්න ලැබෙන ලක්ෂණයක්). ඒ ගුරුවරය ගණන් හදන්නට බැරි දරුවගෙ කවියට හැඟීම්බර වෙලා වෙනද කරන දඬුවම් දීම අතෑරලා පාඩම් කියා දෙන්න පටන් ගැනීමත් එක්ක.. පරිමාව හා ධාරිතාව මාතෘකාව විදිහට ගනිමින්. මාතෘකාව පෙන්වමින්ම තිරය වැහෙනව.

මෙහි දකින්නට පුලුවන් තවත් ඉතාම හොඳ දෙයක් තමා සංගීතයට, කලාවට ලැදි වැඩිමලා සෙනෙහස, ආදරයට හිත ඇති කෙනෙක් වෙලා අනෙකා ඒකෙ ප්‍රතිවිරුද්ධ පාර්ශවය විදිහට නොදක්වපු එක. ඒ කියන්නෙ ඔහු අකාරුණික, සංගීතයට අකමැති කෙනෙක් විදිහට නොදක්වපු එක... හාමුදුරුවො දැක්කම අයින් වෙලා වැඩිමලා වඳීද්දී, බාලය කිසිම ගෞරවයක් නැතුව යන කෙනෙක් කරේ නෑ. ඔහු වැන්දේ නැති උනත් පාරේ ඉඩ දීල හිටිය. සංගීත පන්තියට ගොඩ නොවැදුනත් ගෙදරදී සිංදු මිමිනුව. ලෝකෙත් එහෙම තමා. අපිට කවුරුවත් මෙයා හොඳයි, මෙයාගෙ නරක විතරමයි කියල වෙන් කරන්න බැහැ. ඉන්නෙ හොඳ අඩු හෝ නරක අඩු හොඳ වැඩි පිරිසක් විතරයි.. චිත්‍රපටියෙ ප්‍රධාන චරිත දෙකේ සංකලනය මේ කාරණාවත් එක්ක බලද්දී ඉතාම ප්‍රශස්තයි. මොකද දරුවන් කොහොමත අහිංසක අය. ඒ නිසා මෙයා නරකයි, මුරණ්ඩුයි කියල හංවඩු ගැසීම උචිත නැහැ. ඒක හොඳින්ම ප්‍රකට වෙනව මේ චිත්‍රපටිදි තැනක තමුන්ගෙ අයියට ගුටිකන්න වෙයිද කියල හිතිලා පාඩමට දක්ෂ මල්ලි ඇස්වල කඳුළු පුරෝගෙන අඬන සිද්ධියෙන්. මේක එන්නෙ අර කවිය කියන හරියෙ. ළමයි කවදත් අහිංසකයි. අහිංසක, අංගුලිමාල වෙන්නෙ.. ඒ අහිංසක බව නැති වෙන්නෙ සමාජසංස්ථාව නිසාමයි.

මේ  චිත්‍රපටියෙ ප්‍රධාන භූමිකාව විදිහට දකින නිවුන් දරුවෝ දෙන්නෙත් අනෙත් ජැක්සන් ඇතුළු අය තරම්ම දක්ෂ රංගනයක නිරත වෙනව. නවකයො උනත්. ඒ වගේම සිනමාත්මක බව, රූපක භාවිතය, නාද සංකලනය වගේම ඇඳුම්පැළඳුම් හා වේශනිරූපණයත් ඉතාම උසස්. ඒ වගේම චිත්‍රපටිය අතරතුරදී සීය වගේම, අන්තිම හරියෙදි දරුවත් ඉදිරිපත් කරන කවි පෙළ ඉතාම හැඟීම්බරයි.. මේ කවි පෙළ ගැන මහමෙව්නාවෙ වලිමඩ ශ්‍රද්ධාසීල ස්වාමින් වහන්සේ අරුත් ගැන්වීමක් කරල තිබුණ මෙන්න මෙහෙම -

මෙය ජනාප්‍රවාදයෙ තියෙන කතාවක්. කෑම නැති කාලයක කොබෙයි කිරිල්ලියක් පැටියට කන්න මී මල් ගේනව. දවසක් කොබෙයි අම්ම එනකොට මල් ටිකයි. පැටියට කිව්ව උඹ ටිකක් කන්න කියල.. අහල නෑ තව දවසක එද්දීත් මල් ටිකයි. කේන්ති ගිය කොබෙයි අම්ම කොටාගෙන කොටාගෙන ගියා. පැටිය මරුන. කොබෙයියත් බලං හිටිය කරන්න දෙයක් නැතිව. වෙලා තිබිල තියෙන්නෙ අව්වට වේලිලා මල් මැලවිලා, ටිකක් වෙලා. පමාවෙලා වැස්සක් වහිද්දි මල් ආයෙත් දිගහැරෙන්න අරන්. මල් අඩු උනෙ පැටියගෙ වරදක් නිසා නෙමේ. ඉතින් අඬන කොබෙයි ලියව සනසගන්න, කොබෙයිය කියනවලු ‘උබේ අතේ වරද නැහැ ඒ මේ සංසාරෙ හැටි ’ කියල. ඉතින් අනිත් කොබෙයියෝ පුබ්බුරුම් පුතා කෝ කෝ කියල කෑ ගහද්දීන් මටත් වෙනදට වඩා තනිකම වැඩි. උඹත් අඬනවා.. ඒ නිසා මං ලඟම කියව කියව ඉන්නේ නැතුව ඕක නොදන්න අයට ගිහින් කියන්න  කියල කොබෙයිය, කොබෙයි ලියට කියනවලු.. (ඕක තමා කවියෙ අන්තර්ගතය)


2 comments:

  1. නමියගෙ විචාර කලාවත් නරක නෑ. ඔය අනිත් ඒව අතරට, මෙහෙම එකක් දෙකක් ලියමුකො, වෙනසකටත් එක්ක.🙏👌😉

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ටොමි වෙලාවක් තියෙන්නත් එපෑ..

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *