සුන්දර නතාෂා. කතෘ - මක්සිම් ගෝර්කි, අනුවාදනය - දැදිගම වී. රුද්රිගු

සුන්දර නතාෂා

සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.

මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම විකුණා දැමූ පසු මම නගරයෙන් පිට වී ඌස්තියෙ නමැති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව් සඳහා තොටුපළක් තිබුණි. නැව් ගමනාගමනය ඇති කාලවල දී එහි ලහිලහියේ වැඩ කෙරුණද, දැන් එහි පාලුය, කාන්තාරයක් මෙන් නිසල ය. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය.

තෙතමනය සහිත පස් ගොඩ පයෙන් හාරා අවුස්සමින්, ආහාරයට ගැනීම සඳහා සුදුසු යමක් එහි තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා බැලීමි. ජන ශුන්‍ය ගොඩනැගිලි සහ කඩ පිලවල් ගානේ ඇවිදිමින් බඩකට පුරා ආහාර ගිලීම කොතරම් යහපත් දෙයක් දැයි මම සිතන්නට වුයෙමි..

සංස්කෘතික වර්ධනයේ මේ අවධියේ දී ශාරීරික කුසගින්නට වඩා ලෙහෙසියෙන් ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කල හැකි ය. පිටත සිට බලන විට ලස්සන යයි කිව හැකි - වැරදීමකින් තොරව - ඇතුළත සැප පහසුයැයි කිව හැකි ගොඩනැගිලි සහිත වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද, සෞඛ්‍ය ගැනද තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටුපහටු මනෝ භාවයක් ඇතිකර ගත හැකිය. උණුසුම ගෙන දෙන සැප පහසු ඇඳුම ඇඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔවුහු ඉමහත් ආචාරශීලි ලෙස ඔබට යන්ට ඉඩ දී මග හැර ඔබේ කණගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලිවෙති. කුසගින්නෙන් පෙළෙන්නකුගේ ආධ්‍යාත්මය, බඩ පුරා ආහාර ගත එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කල හැකිය!.. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා ආහාර ගෙන සිටිනවුන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන!..

හවස්වත්ම වැසි වසින්නට පටන් ගත අතර උතුරු දෙසින් කුණාටු හමන්නට විය. කඩ පොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරින් හූ හඬක් පතුරුවමින් නැගී ආ කුණාටුව හෝටලවල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද ඇති කළේය. ගඟේ රැල්ල වඩාත් උස් වී පෙණ සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟාවී ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත්වෙතියි සිතමින් ඉවත පැන යාමට තැත්කලාක් මෙනි. අහස බැරෑරුම්ය, ඇඳිරිය, අහසේ සිට පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා වැහි බිංදු වැටිණි. මා අවට ඇති ශෝකාන්විත, ඛේදාත්මක පරිසරයට මුලින් උදුරා ලන ලද කැඩුණු විලෝ ගස් දෙකක් සහ ඒවා අසල උඩුයටිකුරු කොට පෙරළන ලද බෝට්ටුවක් ද අයත් විය.

අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද, දැඩි සීත සුළඟ විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකය මුසු ගතියක් ඇති කළේය... අවට හැම දෙයක්ම විනාශ වී, වඳ වී, මරණයේ සලකුණු පළ කළේය. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙනි, වැසි වැස්සේ. අවට හැම දෙයක්ම ඇඳිරිය, මරු කතරක මෙනි. හැම දෙයක්ම මියයනු ඇත. ඉතිරි වන්නේ මා පමණකි.

එකල මගේ වයස අවුරුදු දහ හතකි. අනගිතම කාලයයි!

මම සීතල, තෙතමනය සහිත වැලි පොළොවේ දිගටම ඇවිදින්නට වීමි. කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දත් ඇඳි එකිනෙකට ගැටෙන්නට විය. ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම, ස්ත්‍රී ඇඳුමකින් සැරසී ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටිමි. වැස්සට තෙමී තෙතබරි වී සිටි ඇගේ උරහිස් ඉදිරියට නැමී ඇත. මා ඇය ලඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය කුමක් කරන්නේ දැයි දන ගැනීම පිණිසය. වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑතින් ඈ වළක් හාරමින් සිටින බව පෙනිණි.

“නුඹ ඔය වැඩේ කරන්නේ මොකටද?”

ඈ සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියා ය. ඈ නැගිට සිට සිය අළු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට, ඇය මගේ වයසට සමාන තරුණියක් බව මම දුටිමි. ඇගේ මුහුණ ඉතා සුන්දරය. කනගාටුවකට මෙන් එහි නිල් පැහැති පැල්ලම් තුනක් ඇති බැවින්, එම මුහුණෙ පෙනුම තරමක් අයහපත් ය. මේ පැල්ලම් තුනම පුදුමාකාර ලෙස සමානත්වයක් දරයි. ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණය පැල්ලම් දෙකකි. අනික නළලේය. තරමක් විශාල එම පැල්ලම නහයට උඩින් තිබිණි. අනික් මිනිසුන්ගේ සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන් හැඟිණි.

තරුණිය මා දෙස බලත්ම, ඇගේ නෙත්වල තිබූ බිය ගතිය කෙමෙන් අතුරුදහන් විය.. මොහොතකින් ඈ අත්වල තිබූ පස් හා වැලි ගසා දමා, හිස බැඳි කපු ලේන්සුව සකස් කරගෙන, සුළං පහර නිසා හැකිලී ගෙන මෙසේ තෙපලාය.

“නුඹ බඩගින්නේ කෑම හොයනවා නේද? එහෙනම් නුඹත් හාරපන්, මගේ අත්දෙක රිදෙනවා. ඒක ඇතුළෙ පාන් තියෙන්නට ඕන.” ඈ හිස වනා වසා දමා ඇති කඩය පෙන්නුවාය... මේ කඩේ තවම වෙළඳාම් කරනවා...”

මම පොළොව හාරන්නට වීමි. ඈ තරමක් වෙලා මා දෙස බලා සිට අසලින් වාඩි වී හාරන්නට වුවාය. අපි නිහඬව පොළොව හෑරුවෙමු. ඒ වෙලාවේ දී මට, අප විසින් නිතර මතක තබා ගත යුතුයැයි කරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය, සදාචාරය, පුද්ගලික අයිතිය ආදී දේ ගැන කල්පනා වී දැයි කිව නොහැකිය. හැකි තරම් සත්‍යයට ලං වීමට පතන මා, හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන කල්පනා නොකළ බව පිළිගත යුත්තකි. එතරම් දැඩි ලෙසත්, ගැඹුරු ලෙසත් මම වල හැරීමෙහි නියුක්ත වී සිටියෙමි. ඇඳිරි වැටෙන්නට පටන් ගති. අඳුර, තෙතමනය, සීතල අප අවට වඩාත් දැඩි ලෙස පැතිරිණි. රැළි නගන හඬ තරමක් අඩු වුවද, කඩ මැස්සට වැටෙන වැහි බිඳු නගන හඬ වඩාත් වැඩිවිය... රාත්‍රී, මුරකරුවකුගේ ශබ්දය ඈතින් ඇසිණි...

“මේකට යටින් පොළොවක් තියෙනවද? එහෙම තියෙවනම් අපි කරන වැඩෙන් ඇති පලක් නැහැ. අපි වලක් හෑරුවයින් පස්සේ එතැන මහත ලෑල්ලක් තියෙන්ට පුළුවනි... එතකොට කඩ පෙට්ටිය  අරින්නේ කොහොමද? ඊට වැඩිය හොඳයි යතුරු ඉබ්බාව කඩනවා.. මේක පරණ ඉබ්බෙක්...”

යහපත් අදහස් ගැහැණියකගේ හිසෙහි ජනිත වන්නේ කලාතුරකිනි. එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස් ද ජනිත වෙයි.. යපහත් අදහස් හැමදාම උසස් ලෙස අගය කළ මම, ඒවායින් හැකි තරමින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ කළෙමි. දොර ලෑල්ලේ යතුර ඉබ්බා වෙත ගිය මම එහි වළලුත් සමග උදුරා දැමීමට සමත් වීමි. මවිසින් එලෙස විවෘත කරන ලද හිඩැස්ස තුළින් මගේ අත් උදව්කාරිය සැපින්නක සේ ඇතුළු වුණාය.

“හැබෑ දක්ෂයා!” ඈ මා අනුමත කරමින් පැවසුවාය.

ගැහැනියකගෙන් ලැබෙන එක පැසසුමකට මට පිරිමියෙකුගෙන් ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනේ ය. එම පිරිමියා ආදී කල විසූ සියලු චතුර කථිකයින් එකට ගත් විට ඔවුනට සමාන වුවද කම් නැත. එවැනි පුරුෂ පැසසුම් අසනවාට වඩා විශාල උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත. තරුණියගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට කාලයක් නොවූයෙන්, මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළෙමි.

“ඔතන මොනවා හරි තියෙනවද?”

එක්තානමය හඬකින් ඈ දකින දේ විස්තර කළාය. “හිස් බෝතල කූඩයක්, හිස් ගෝනි ගොඩක්... කුඩයක්... යකඩ බාල්දියල්...”

ඒවා ආහාර සඳහා සුදුසු දේ නොවේ. මගේ බලාපොරොත්තු සුන්වීමට පටන් ගති. එහෙත් හිටි හැටියේම ඈ ප්‍රාණවත් ගතියකින් කෑ ගැසුවාය. “මෙන්න! තියෙනවා...”

“මොනවද ?”. 

“පාන්... පාන් ගෙඩියක්... හැබැයි තෙතයි... ඉඳා ගනින්...” මගේ දෙපා ලඟට වටකුරු පාන් ගෙඩියක් විසි වී ආවත් සමග මගේ නිර්භීත අත් උදව්කාරියද මට ළං වූවා ය. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් කඩා කටේ දමා ගෙන සපන්නට වූයෙමි. “ඉතින් මටත් දීපන්... අපි මෙතැනින් පිටවෙන්නට ඕන. නමුත් අපි යන්නෙ කොහෙටද?” ඈ අඳුර රජ කරන අවට දෙස පිරික්සුම් බැලීමක් හෙළුවාය. අඳුර දසත පැතිර ඇත. අවට හැම තැනම තෙතය, විවිධ ශබ්ද ඇසේ... “අන්න අතන බෝට්ටුවක් පෙරළා දමා තියෙන්නෙ, එතනට යමුද?”

“යමු!” අපි දෙදෙන පා නගමින් අපේ පාන් ගෙඩියෙන් කැබලි කඩා ගෙන කටේ දමා ගත්තෙමු. වැස්ස වැඩි විය, ගඟ හඬ නැගීය. කොහේදෝ සිට දීර්ඝ ලෙසත්, උපහාසාත්මක ලෙසත් සිවුරු හඬලන සැටියක් ඇසිණ. බිය යනු කුමක්දැයි නොදත් යෝදයෙකු වැන්නෙක් සරත් සමයේ අයපහත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද, හැම කෙනෙකුටම සහ හැම දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය... එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපණි. එසේ වුවද, මම ගිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම් පසින් ගමන් ගත් තරුණිය ද මට නොදෙවැනි වන සේ පාන් කන්නට වූවාය.

“නුඹේ නම මොකක් ද?” කුමක් නිසා හෝ මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“නටාෂා !” හඬක් පිටවන සේ පාන් කන ඈ පිළිතුරු දුන්නා ය. මම ඇය දෙස බැලීමි. මගේ හදවත වේදනාවෙන් හැකිළිණි. අනතුරුව මම අඳුරට නෙත් යොමු කලෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඥමය සේයා ගුප්ත ලෙසත්, හිරිවට්ටන සැටියකිනුත් මා දෙස බලා මද සිනා පායි.

ලී බෝට්ටුවේ වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ දොම්නසට පිරි අහදසක් ගෙනාවේය. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුර අස්සෙන් එහි වූ ලී පතුරක් නටවමින් හා ශබ්ද කරමින් සෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය හඬක් ඇතිකරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කළේය. විඳදරාගත නොහැකි තරම් කාන්සියක් හා දොම්නසකින් යුත් කතාවක් එය අපට කියන්නාක් මෙනි. එය කැමති වුවද, එසේ කීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස පිළිගත්තාක් මෙනි. ගඟේ දිය රැළි වැසි පොදවල ශබ්දයත් සමග එක්වේ. දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට, තෙතමනය සහ මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා අමනාපයට හා විඩාවට පත් මහා පොළොව උඩු යටි කුරු කොට පෙරළා ඇති බෝට්ටුවට ඉහළින් සුසුම් හෙළන්නාත් මෙනි. පාළු ගං ඉවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහලින් සුළං හමන්නා වූ අතර එය ශෝකාන්විත ගී ගැයීය...

බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ තදබදයකි. එය වැසී ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිංදු වැටිණි. සුළං ඇතුළු විය... නිහඬව වාඩි වී සිටි අපි ශීතල නිසා වෙවුලන්නට වීමු. මට නිදා ගැනීමට අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේත්තු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දණහිස් මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා ගෙන අල්ලාගෙන ගඟ දෙස බලාගත්වනම සිටියාය. අගේ දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති අගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුණේ ඒවාට යටින් ඇති කළු පැහැති ලප නිසාය. ඇය නොසැලෙන ගල් රුවක් මෙනි. අගේ නිසල බව හා නිහඬ බව විසින් මසිත තුල කෙමෙන් බියක් ඇති කරනු ලැබීය... ඇය සමග කතා කරන්නට මට උවමානාවක් ඇති වුණද, එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි.

ඈ අගේ කතාව පටන්ගත්තාය.

“කෙතරම් දුෂ්ට ජීවිතයක්ද!” දැඩි ලෙසත්, සුපැහැදිලි ලෙසත් ඇය එසේ කිව්වේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක් ගැලවිල්ලක් නොවීය. ඇගෙ කට හඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය. සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථිර නිගමනයකට එළඹුණු සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී, ඇයට විරුද්ධ වීමට මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි. ඈ මා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම උන්නාය.

“මකබෑවෙලා යන්ටයි, මගේ කල්පානාව...” නතාෂා යලිත් නිහඬතාවය බින්දාය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීවය. අගේ මුවින් පිට වූ වචනවල දුක්ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඈ, තමාගේ තත්ත්වය දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කර ගැනීමට “මක බෑ වී යාම” හැර අන් කිසි මගක් නොමැති බව, සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබුණි. අගේ කල්පනාවේ සුපැහදිලිතාවය නිසා මට විඳ දරාගත නොහැකි ඔක්කාරයක් දැනිණි. මා තවත් දුර නිහඬව සිටියහොත් මට ඇඬෙනු ඇතැයි සිතිණි... ගැහැනියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි, විශේෂයෙන්ම ඇය නොහඬා ඉන්නා විට... ඇය සමග කතා කිරීමට මම ඉටා ගතිමි.

“නුඹට ගැහුවේ කව්ද?” එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි අපොහොසත් වූ මම ප්‍රශ්න කළෙමි.

“මේවා ඔක්කොම කරන්නේ පාෂ්කා තමා...” සන්සුන්ව හඬ නගා ඈ පිළිතුරු දුන්නාය.

“ඔහු කවුද”

“මගේ පෙම්වතා... පාන් බක්කරේ කෙනෙක්..”

“ඔහු නුඹට නිතරම පහර දෙනවද”

බීගත්තම පහර දෙනවා..”

හිටි හැටියේම ඈ මට ලංවී තමා පිළිබඳ කතාව කියන්නට වුවාය. පාක්ෂා සහ ඇය අතර ඇති සම්බන්ධකම් ගැන විස්තර කළාය. “ඇය හැමතැනම ඇවිදින ජාතියේ අභිසාරිකාවකි...” ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි. ඇකෝඩිනය දක්ෂ ලෙස වාදනය කරයි. ඔහු ඇය හමු වීමට ‘ආයතනයට’ ගිය අතර, ඈ ඔහුට කැමති වුවාය. මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිඳු ඇඳුම් ඇන්ඳ බැවිනි. ඔහුගේ කබායේ වටිනාකම රූබල් පහළොවක් විය, ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි.. මේ හේතු නිසා ඈ ඔහුට ආලය කරන්නට වුවාය. ඔහු මුදල් නොගෙවා ඈ සමග සංවාසයෙහි යෙදෙමින් ඇගේ “ණයකාරයකු” බවට පත්විය. ඉතින් මේ ණයකාරයා ඇයට වෙනත් මිනිසුගෙන් ලැබෙන ‘සන්තෝස දීමනා’ රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය. එපමණක් නොව, අගේ ඇස් ඉදිරිපිටම වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය...

“ඒක මගේ අමනාපයට කරුණක් නොවෙයිද? අනිත් එවුන්ට වැඩිය මම නරක නැහැ.. ඌ මට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ, නීචයා. මම අපේ ආයතනයේ ලොක්කිගේ අවසරය ඇතුව නිවාඩුවක් දාල උගේ ගෙදර ගියා. මෙන්න එතැන ලුන්කා බීල වෙරි වෙලා ඉන්නවා. පාශ්කාත් හොඳට වෙරිවෙලා. මම ඔහුට මෙහෙම කිව්වා “යකෝ නුඹ නීචයෙක්, ජඩයෙක්, පල්හොරෙක්!” ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න. මට පයින් ගැහුව්වා... හිසකෙස් ඇද්දා.. ඒත් කමක් නැහැ! මගේ ඇඳුම් ටික ඉරා දැම්මා. මගේ සායයි හැට්ටෙයි ඉරලා දැම්මා. දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා අලුතෙන් ගත්ත ඇඳුම්.. මගේ හිස බැඳි ලේන්සුවත් උදුරා ගත්තා.. අනේ දෙවියනේ! දැන් ඉතින් මොනවා කරන්ටද?” ඇගේ කටහඬ බිඳී ගොස්, විලාප ගැසීමක් මතුවිය. සුළං හැමීම දැඩි වී සීතල තවත් වැඩිවිය. මගේ දත් දෙපළ යළිත් එකටෙක ගැටෙන්නට විය. ඈ සීතල නිසා ගුලි ගැසී මා ලඟට කෙතරම් ඇදුනාද යත්, අඳුර බිඳ මට ඇගේ දෙනෙතේහි කාන්තිය පවා පෙනිණි. “පිරිමි වන තොපි ජඩයෝ! තොපි ඔක්කොම මගේ පයට පාගලා තොපේ අත් පා ඉරා දමන්ට ඇත්නම්.. පණ අදින පිරිමියෙකුගේ මුහුණට කෙළ ගහන්නට මම ලෑස්තියි. කිසිම අනුකම්පාවක් නැතුව! වැදගැම්මකට නැති මී හරක්! හූල්ල හූල්ලා නීච බල්ලෝ වගේ ගෑණු ළඟ කරකැවෙනවා. ගෑණියෙක් එහෙම නුඹලාගේ උපායට යටවුනොත් උන්දෑ ඉවරයි, සිද්ධ වුනේ මොනවද කියල අවබෝධ කරගන්නටත් ඉස්සෙල්ලා ඒ ගෑණිව පාගලා ඉවරයි... ගඳ ගහන වල් සත්තු..” ඈ නොයෙකුත් විදිහට බැණ වැදුණු අතර ඒ බැණීම්වලට යෙදූ වචන ශක්තිය රහිත විය. ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවීය, පොදු වශයෙන් ගත්විට ඇගේ කට හඬෙහි සන්සුන් ගතියක් තිබිණි. ඇය කියන දේ සමග එය සමානුපාතික ලෙස කොහෙත්ම නොගැළපිණි. එමෙන්ම ඇගේ කතාවෙහි දොම්නස මුසු එකතානමයකි.

ඒ කෙසේ වුවද, මුල් කාලයේදී සහ පසු කාලයේදී මවිසින් අසන ලද සහ කියවන ලද සියලු සර්ව අශුභ කතා හා පොත්වලට වැඩියෙන්, අද වුවද එවැනි පොත්වලට හා අසන කතාවලට වැඩියෙන්, අගේ කතාව මා කෙරෙහි බලපෑවේය. මරණය පිළිබඳ ඉතා සම්පූර්ණ ලෙස ලියන ලද කළා කෘතීන්වලට වඩා මියයන පුද්ගලයා මරණ මොහොතේදී විදින දුක් වඩාත් ස්වභාවික වීමත් වඩාත් බලගතු වීමත් මෙයට හේතුවකි.

මගේ දොම්නස වඩාත් වැඩි වුයේ මා සමග ලැගුම් ගෙන සිටින තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකිය. මා සෙමෙන් සුසුම් ලෑ අතර මගේ දත් ගැටිණි. එවිටම මට කුඩා අත් දෙකක පහස දැනිණි. එකක් මගේ බෙල්ල ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳිණ. ඒ සමගම බියමුසු සුරතල් ප්‍රශ්න ඇසිණ.

“නුඹට මක් වෙලාද?”

මගෙන් එලෙස ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු බව සිතීමට මා සුදානම් ය. සියලු පිරිමින් දුෂ්ටයන් කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ දැන්ය. එහෙත් දැන් ඉක්මනින්ම හා හදිසියකින්ම ඈ කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට හීතල? වෙවුලනවද? මදෑ නුඹේ හැටි! කටවහගෙන ඉඳගෙන ඉන්නවා.. හරියට බස්සෙක් වගේ! නුඹට හීතලයි කියල මීට ඉස්සෙල්ලා නොකීවේ ඇයි.. ඉතින් නුඹ බිම දිගා වෙයන්.. දිග ඇදියන්.. මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම! දැන් මාව දෑතින් තදවෙන්ට බදාගනින්.. තදවෙන්ට.. අන්න එහෙම. දැන් නුඹට උණුසුමක් දැනෙනවා ඇති.. ඊට පස්සෙ අපි පිටට පිට දීල ඇලවෙමු. අපි කොහොමහරි මේ රෑ මෙහෙම ගත කරමු. නුඹට මක් වෙලාද, බොන්ට පටන් ගත්තද? රස්සාවෙන් පැන්නුවද? කමක් නැහැ! ඈ මා සැනසීමට උත්සාහ කළාය. ඈ මා දිරි ගැන්නුවාය.

මට තෙවරක්ම ශාප වේවා! මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක් ඇද්ද! කල්පනා කර බලන්න! ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම ගැන විශාල සැලකිල්ලක් දැක්වීමි, සමාජ ක්‍රමය ප්‍රතිසවිධාන කිරීම ගැන සිහින දුටිමි, දේශපාලන පෙරලි ගැන කල්පනා කලෙමි, කතුවරයන් පවා තමන් විසින් ලියන ලද පොත් වල ගැඹුර අවබෝධ කරගත නොහැකි තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒ වනවිට මා කියවා තිබිණි. ක්‍රියාකාරී විශාල බල වේගයක් ලෙස නැනී සිටීමට මම ඒකාලයෙදී උත්සහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ ගණිකාවකගෙනි, ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත්, පහකරනු ලැබූ ගැහැනියක ගෙනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා යට ආධාර කල යුතුව තිබුණද, මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණි. කලින් එය වටහා ගත්තද. එවැන්නක් කිරීමට තරම් මා සමත් වෙතිද!

මේ සියල්ල මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත්, එය අමන අවාසනාවත් සිහිනයක් නැවත සිතීමට මා සුදානම්ය.. එහෙත් එවැන්නක් සිතිය නොහැකිය. මන්දයත් මගේ සිරුර මත සීතල වැහිපොද වැටෙන බැවිනි. මගේ පපුවට ගැහැණියකගේ පපුවක් තදින් හේත්තු වී ඇත. අගේ උණුසුම් ප්‍රශ්වාස මට දැනෙයි. එහි තරමක් වොඩ්කා සුවඳක් තිබුණද, එය ජීවමය බවෙන් ආඩු නැත.. සුසුම් ලන්නාක් මෙන් සුළං හමයි. බෝට්ටුව මත පතිත වන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ රැළි ඝෝෂා කරයි. අපි දෙදෙන එකිනෙකා තදින් වැළඳගෙන සිටියද, සීතලෙන් ගැහෙන්නට වීමු. මේ හැම දෙයක්ම සැබවින්ම වාස්තවියකය. එම යථාර්ථය තරම් දුක්මුසු, අයහපත් සීනයක් කිසිවකු කිසි දිනෙක දැක නැතැයි මට සහතිකය. එහෙත් නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඈ සුරතල් ලෙසත්, මෘදු ලෙසත් කතා කරයි. ඇගේ කතාවේ ඇති ළාමක හා බොළඳ ගති නිසා මහද තුල කුඩා ආලෝකයක් පැන නැගිණි. ඉන් පැන නැගි උණුසුම නිසා මගේ හදවතෙහි ගොඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදිය සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය.. නතාෂා මට සැනසුම් බස් තෙපලන්නට විය.

“අනේ මගේ හොඳ කොල්ලෝ නාඩා ඉඳින්! ඔය ඇති! දෙවියන්ගේ පිහිටෙන් නුඹට ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් වේවී..” ඔවැනි සැනසුම් බස් ඈ කියුවාය. අනතුරුව ඈ මා සිපගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝ සේ ඈ මා සිපගත්තාය.

ජීවිත විසින් මට පළමුවැනි එමෙන්ම ඉතාමත් හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය. මන්දයත් ඉන්පසුව ඇති වූ චුම්බනවලට මට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිඳු පලක් නොවූ බැවිනි. “නුඹ පුදුම කොල්ලෙක්. අඬන්නට එපා. නුඹට යන එන මගක් නැති නම් මම නුඹට තැනක් හොයලා දෙන්නම..” ඈ මට සහතික කරමින් මුමුණන සැටි  ඇසුණේ සිහිනයකින් මෙනි. අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන එලෙස සිටියෙමු..”

එලිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට විත් නගරය දෙසට ගියෙමු... ඉක්බිතිව මිතුරන් සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය. මා මෙහි විස්තර කල සරත් සමයේ එක රැයක මා සමග ගතකල සුන්දර නතාෂා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය. ඈ මියගියා නම්, එය ඇයට කෙතරම් යහපත් දෙයක්ද! ඈට සදාකල් සමාදානය අත්වේවා! ඇය තවමත් ජීවතුන් අතර නම්, ඇගේ හදවතට සාමය උදාවේවා! ඇගේ ආත්මය කිසි විටෙක පාපය ඉදිරියේ දුබල නොවෙත්වා. මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඈ විඳින දුක් වලට එය අමතර බරක් වන බැවිනි.

    අද කාලේ ළමයින්ගෙ Reality Shows ඇතුළු බොහෝ ළමා වැඩසටහන් බැලුවහම හිතෙනවා... මේවා දරුවන්ට ඔබිනවද කියල. ඒ තරම් ඒ දේවල් දරුවන්ට නොගැළපෙනව කියලයි... මටනම් හිතෙන්නෙ. එහෙම හිතෙන අය නෑ කියල හොඳින්ම සක්සුදක් සේ පැහැදිලි ඉතීම්... අර කීව වැඩසටහනක් දෙකක් බැලුහම. මගෙ අදහස නම්... අපි දරුවන්ගෙ මානසිකත්වය, ඒ අයගෙ වපසරිය දැනගෙන... ඒ අයට ඔබින විදිහට දේවල් කියල දෙන්න, පහදලා දෙන්න ඕන. දේවල් කරන්න දෙන්න ඕන කියලයි.

   ඒ ගැන හිතන්න පෙළඹෙන විදිහේ ලස්සන කතාවක්, ලඟදි Facebook අඩවියෙන් කියවන්ට හම්බුනා. බොහෝ දුරට යාන් කතාවක් වෙන්නත් පුළුවන්. 

   අපි දරුවෙකුට කොහොමද සත්‍යය පහදල දෙන්න මුලපුරන්නෙ. නැත්තං වෙන්නෙ අර පූසා සහ ලොකු නෝනා post එකේ වගේ වැඩ තමයි. මේක Kafka සම්බන්ධ ලස්සන කතාවක්... සමහර විට ඔයාල මේක කියවලත් ඇති. කෝම උනත් ඒ post එකේ තිව්න කතාව එහෙමම මං දාන්නම්... ආයේ රසවිඳගන්නත් එක්කලා. 

************

   වයස අවුරුදු 40 දීත් අවිවාහක Franz Kafka ගේ ජීවිතයට ඇතුළු වූ දැරියකගේ කතාව, ඉන් පසුව මුළු ජීවිත කාලය පුරාම බලපෑ අයුරු ගැන සත්‍යයක් දැයි නොදන්නා නමුත් ඔහු පිළිබදව එක් අපූරු කතාවක් ලොව පුරා ප්‍රචලිත විය. එය Kafka and the travelling doll නමින් ලෝකයේ විවිධ භාෂා වලට පෙරළුණු අතර විශිෂ්ට, ළමා පොතක් ලෙස ස්පාඤ්ඤ කතුවරයෙකු වූ Jordi Sierra විසින් පසුව ලියන ලදි.

   කෆ්කා දිනක්, බර්ලින්හි පිහිටි සුන්දර උද්‍යානයක් වූ Steglitz Park හි ඇවිදිමින් සිටිද්දී… ඔහු දකිනවා කුඩා දැරියක හඬමින් සිටිනවා. ඔහු දැරිය ලඟට ගොස් ඇය හඬන්නට කාරණාව අහනවා. ඇය ඉකිබිඳිමින් කියනවා ඇයගේ කැමතිම බෝනික්කා නැති වූ බවට. ඉන් පසුව කෆ්කා එම දැරිය සමග එකතුව මෙම බෝනික්කා හොයා ප්‍රතිඵලයක් නොලද තැන කෆ්කා ඇයට කියනවා ඊළඟ දවසෙත් එතනට එන ලෙස බෝනික්කා සොයන්නට.

   කිව්ව විදිහට දෙදෙනාම පසුවදාත් බෝනික්කා හොයන අතර කෆ්කා විසින් දැරියට ලිපියක් දෙනවා බෝනික්කා විසින් දුන් බවට. පුංචි දැරියට හරි සතුටුයි. දැන් ඇයට ඇසෙන්නට කෆ්කා ලිපිය කියවනවා. එහි මෙසේ තියෙනවා…

   "බබා, කරුණාකර අඬන්න එපා, මම ලෝකය වටේ චාරිකාවක් ගිහිනුයි ඉන්නෙ. එහිදී මුහුණදෙන අත්දැකීම්, ත්‍රාසජනක දේ සියල්ල මම බබාට ලිපි මගින් දන්වන්නම්"

   මෙම කුඩා සිදුවීම… කෆ්කා ගෙ ජීවිතය අවසානය තෙක් ඉතාම වැදගත් සංධිස්ථානයකට ගෙන එනවා. ඔහු විටින් විට මෙම දැරියව මුණ ගැසෙද්දි, ඔහු විසින් ඉතාම පරෙස්සමට ලියන ලද දැරියගේ ආදරණීය බෝනික්කා ගෙ ත්‍රාසජනක ක්‍රියා ඇතුළත් ලිපි හා සංවාද ඇයට කියවනවා. දැරියට හරිම සතුටුයි මෙම අපූරු කතාන්දර වලට.

   අන්තිමට කෆ්කා තව ලිපියක් කියවනවා. චාරිකාව අවසන් කර බෝනික්කා බර්ලින්වලට නැවත එන බවට. දැරිය එය විශ්වාස කල අතර කෆ්කා දැරියට හොරෙන් වෙනත් බෝනික්කකු මිළදි ගෙන ඇය අතට දෙනවා. එහිදී ඇය මෙහෙම කියනවා...

   "මේ මගේ බෝනික්කා නෙවෙයිනේ, වෙනස් කෙනෙක් නේ ".

   මෙම අපූරු බොහිමියානුවා එවිට ඇයට බෝනික්කා එවූ තවත් ලිපියක් ශබ්ද නගා කියවනවා, එහි තියෙනවා මෙහෙම...

   "බබා දන්නවද ලෝකෙ වටේ ගිය චාරිකා මාව වෙනස්ම කෙනෙක් කලා". 

   එය පිළිගන්නා පුංචි කෙල්ල, බෝනික්කාව ආදරයෙන් තුරුළු කරගෙන ගෙදර යනවා. ඊට අවුරුද්දකට පස්සේ කෆ්කා මියයනවා. අවුරුදු ගනනකට පස්සේ දැරිය තරුණියක වන අතර ඇයට අර කෆ්කා මිලට ගෙන දුන් පැරණි බෝනික්කාගේ ඇතුළු කුහරය තුළ තිබී කුඩා ලිපියක් හමුවෙනවා. එහි තියෙනවා මෙහෙම...

   "ඔබ ආදරය කරන සෑම දෙයක්ම නැති වීමට බොහෝ දුරට ඉඩ තියෙනව. නමුත් අවසානයේ දී ආදරය වෙනත් ආකාරයකින් නැවත පැමිණේ".


මේ ගමත්, අනෙක් ගම්මාන වගේමයි. කිසි වෙනසක් නෑ. තියෙන එකම වෙනස... උපදින බොහෝ දරුවන් නිවුන්නු වීමයි. එයිනුත් වැඩි පිරිසක් සර්වසම නිවුන් ගණයට තමා අයත් වෙන්නෙ.

නිවුන් උපත් දර්ශකයේ ඉහළ තැනක, ඉන්දියාවෙ නම සඳහන් වෙලා නැතන්... මේ ඉන්දියානු ගමට නම් ඒක වලංඟු නෑ වාගෙ. බලන බලන හැම තැනම නිවුන්නු. විද්‍යාවටත් හරිහැටි තේරුම් බේරුම් කරගන්න බැරි මේ ගම්මානයේ නම කොඩින්හි (Kodinhi). පිහිටා තියෙන්නෙ කේරළයේ. වාර්තාවල සඳහන් වෙන හැටියට එහි පවුල් 2000 තියෙන අතර ඒ පවුලවල් වලින් නිවුන් යුගල 400ක්වත් සිටී. කලකට ඉහත සඳහන් මේ වාර්තා නිසා දැන් තත්වය වෙනස් ඇති. ඒත් ඇති තරම් නිවුන්නු නම් අඩුවක් නැතුවම ඇති.

කෘතීම සංසේචන ආදිය නිසා බටහිර නිවුන් දරුවන් ලැබීමේ යම් වර්ධනයක් තිබුනත්... මේ ගමේ නම් එය වෙන්නෙ ස්වාභාවිකමයි. පරීක්ෂකයින් ඔවුනගේ ආහාර වේල්, ජල සැපයුම්... ඇතුළු දේවල් ගැන හිට පරික්ෂා කළත් මෙයට හේතුවක්, මෙතුවක් ලැබී නැති බවයි දකින්ට තියෙන්නෙ. ඒ උනත් ජානමය සාධක ඇතුළු දේවල් ගැන පරීක්ෂකයෝ, විද්‍යාඥයො මේ දක්වා සොයා බලන බව කියවෙනව.

 (තවමත් ඇත්තෙන්ම, මෙහි ප්‍රධාන පිළිතුර ලැබී නැත. කොඩින්හි අභිරහස දැනට අභිරහසක්ව පවතිනු ඇත. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයෙක් එලෙස අදහස් දක්වලා තියෙනවා).

ඒ වගේම කලකට කලින් කේරලයේ දොස්තරවරයෙකු වන ක්‍රිෂ්ණන් ශ්‍රීබිජු... “අවුරුද්දක් පාසාම නිවුන් ප්‍රතිශතය එහි වැඩිවන බවත්, පසුගිය අවුරුදු දහයක් පුරා කොඩින්හි ගැන අවධානයෙන් හිටි තම නිගමනය... මේ ප්‍රමාණය දෙගුණ වෙන්නට පුළුවන් බවයි.” ක්‍රිෂ්ණන් දොස්තර මහතා එසේ කියා ඇත.

කොඩින්හි වැඩිහිටියන්ට අනුව නම් මෙහි ආරම්භය වැඩි ඈතක නොව... මීට පරම්පරා තුන හතරකට පෙර බවයි. (මීට අවුරුදු 70 – 80කට පෙර). ලෝකේ සියලු දේ විද්‍යාවට හසු නොවන බව පෙන්වන මේ නිවුන් ගමේ... නිවුන් සමාජයක් ද පිහිටුවාගෙන තියෙන අත‍ර මුළු සාමාජිකයින් පිරිස 600ද ඉක්මවා තියෙනව.

බර්බල් සැලකෙන්නෙ ඉන්දියානු ඉතිහාසයේ හිටිය, තවත් එක් දක්ෂ පුරෝහිතයෙක් හැටියට. ඔහු හිටියෙ... මෝගල් අධිරාජ්‍යයේ, මහා අක්බාර් රජු අධිරාජයා ගෙන යන සමයෙ. ඒවගේම අක්බාර් අධිරජුගේ අගමැති තනතුර ඔහු දැරූ බවත්... නව රත්න නමින් හැඳින්වූ නව දෙනෙකුගෙන් යුත් දක්ෂ ඇමති මණ්ඩලයේ වටිනාම රත්නය... මේ බර්බල් බවත්, සමහරෙක් තැන්වල සඳහන්ව තියෙනව. ඒ වගේම අක්බාර් රජු එතරම් උගතෙක් (ලිවීමට වගේ හෙම) නොවූ බවත්... ප්‍රායෝගිකව ලද අවබෝධ හා දක්ෂයන් ඒ ඒ තනතුරුවලට පත් කරන්, රාජ්‍යය ඉතා දක්ෂ ලෙස ගෙන ගිය බවත් සඳහන්.

බර්බල්. ඔහුගෙ... නම බර්බල්, බර්බිල්, බිර්බල් වගේ එක එක විදිහට පාවිච්චි වෙනව. බර්බිල් /බිර්බල්ගෙ කතා කීපයක්... Litseekerගෙ blog එකෙත් පළ වෙලා තියෙනව. කොහොම උනත් නස්රුදීන්, ඊසොප්, අන්දරේලට උනා වගේ... එකිනෙකාගේ කතා එකිනෙක මිශ්‍රව තියෙනව. ඒ නිසා 100%ම මේ කතාව කාගේදැයි කියන්න බැරි තරම්. කොහොම උනත් ඉතිං ඉතිහාසය කියන්නෙ... 100% සත්‍යය හෝ 100% අසත්‍යය දෙයක් නෙවේ නෙ... නේ.

********

 

ඔන්න දවසක් අපේ වවුල්මොටා වැඩට යනවා වගේ...😄 වෙලාව පහුවෙලා බර්බල් රාජසභාව ඉදිරියේ පෙනී හිටිය. කේන්ති ගිය රජතුමා කාරණා ඇහුවමත්, වවුලා විදිහටම... ඒ ගැන ගණන් නොගෙනම උත්තර දුන්න.

රජතුමනි, දරුවා හොඳටම ඇඬුව. නළවගන්න බොහොම අමාරු උනා.

හුම්.... මට හිතෙන්නෙ ඔබ පිය පදවිය ලැබුවට මොකද දරුවෙක්වත් නළවගන්න බැරි හැඩයි. රජතුමා නෝක්කාඩුවට වාගේ... රාජ තේජසින්ම කිව්ව.

අනේ රජතුමනි, දරුවො නළවනව කියන්නෙ පොඩි සෙල්ලමක් ද. ඔබත් පිය රජෙක් නෙ. ඒ නිසා මොහොතකට... මං දරුවා කියල හිතාගෙන කටයුතු කරන්න. එතකොට ඔබටම තේරෙයි ඒකෙ බරපතළ කම.

බර්බල් මෙහෙම කිව්වම රජතුමා එයට එකඟ උනා. එය එහෙම නෙවේ කියල පෙන්නන්නත් එක්කලා.

තාත්තෙ... මට එළදෙනක් ඕන.   - වහාම රාජ අනින් එළදෙන එතැන.

මට උගෙන් කිරි බොන්න ඕන.   - රාජ අණින් එයත් ඉටු උනා.

මට මේ කිරි එපා... මේවා තිබ්බ තැනින්ම ආපහු තියන්න.

(මේක නස්රුදීන්ගෙ කතාවලත් තියෙන්නව.. එකේ එළදෙන වෙනුවට ඔටු දෙනක් තමා ඉන්නෙ). (ඔටුවගේ ගෑනු සතා මොකාද...😂).

********

 

තව දවසක බර්බල් රාත්‍රී බෝජන සංග්‍රහයක් සඳහා එක්වන්න... මිතුරු ඇරයුමක් ලැබුණ. බර්බල් සාද වලට එතරම් කමැති කෙනෙක් නෙමේ උනත් ඇරයුමට බෑ කියන්න බැරි කමටම එය බාර ගත්ත. එහෙම කරලා ඉතිං... වෙලාවට එයට සහභාගී උනා.

ඔයාට බොහොමයක් යාළුවො ඉන්න හැඩයි. බර්බල් තමාට ඇරයුම් කළ මිතුරට කිව්ව.

ඔව්. ඒත් මේ හැම කෙනෙක්ම මගෙ අමුත්තො නෙමේ. මෙතැන ඉන්නෙ එක අමුත්තයි. අනික් හැමෝම මගෙ සේවකයො. පුළුවන් නම් ඒ කෙනා හොයා ගන්න. මිතුර බර්බල්ට අභියෝගයක් ඉදිරිපත් කළා.

හොදයි. ඔයා ඒ වෙනුවෙන් එක දෙයක් කරන්න. මේ පිරිස ඉදිරියේ එක විහිළුවක් කරන්න. ඉල්ලීම ඉටු උනහම... බර්බල් හරියටම ඒ අමුත්තව මිතුරාට පෙන්නුවා. ඉන් පුදුම උන මිතුර ඇහුව... කොහොමද ඔබ එයාව හඳුන ගත්තෙ කියල.

මේකනෙ මිත්‍රය, තමන්ගෙ හාම්පුතා කියන ඕන මෝඩ විහිළුවකට ඒ සේවකයො හිනා වෙනව. ඒත් අමුත්තෙක් එහෙම නෑ. 

බස්ස නොලියන එකේ අඩුව පිරවීම පිණිස... යූබටේ එකකකුත් දැව ඔන්න.




 



ස රි ග ම ප ද නි

ස රි ග ම ප ද නි

ස රි ග ම ප ද නි

මේ වැස්ස අස්සෙ හීතලට ගුලි ගැහෙන්න..... නෙවේ, ඇඟේ හිරිමැලි හිරිඔතප් කඩාගෙන පොඩ්ඩක් hot වෙන්නත් එක්කලා සිංදුවක් අහමු. සිංහල එකක් නෙවේ ඉංගිරීසි සිංදුවක්J. රැජිනගෙ රටේ... රැජින group එක කියපු.


We Will Rock You... මේ සිංදුව අහපු නැති කෙනෙක් නැති තරම්. අමතක අයට සිංදුවේ හඬ ඇහුණ ගමන්ම මතක් වෙන තරමේ ලොව පුරා එකසේ ජනප්‍රිය ගීයක්. මේ ගීයේ පද මාලාව ගැන (විචාර) මතත් දෙක තුනක් තියෙනව. ඒත් ඒ එක අර්ථයක්වත්, පදමාලාවේ උචිත බවවත්... වැඩි තේරීමකින් තොරව, ගීය බොහෝ ක්‍රීඩා තරඟ, ප්‍රසංග සඳහා භාවිත කර තියෙනව... ඒ "We Will Rock You" වැකියත්, වේගවත් ආකර්ෂණීය හා ජවසම්පන්න සංගීත රටාවත්, ගායනයත් නිසා.

ජාතික පාපන්දු ලීගය, ජාතික හොකී ලීගය සහ මේජර් ලීග් බේස්බෝල් හි 2008-2009 වාර වලදී වැඩිපුරම වාදනය වූ ගීය... We Will Rock You ගීයයි. සහ වර්තමානයේ දී ද වෙනත් අනුවාද සහිතව හෝ රහිතිව වැඩිම වාදනය වන ගී අතුරින් එකක් වන්නේ මෙයයි.


Buddy, you're a boy, make a big noise

Playing in the street, gonna be a big man someday

You got mud on your face, you big disgrace

Kicking your can all over the place, singin'

We will, we will rock you

We will, we will rock you

 

Buddy, you're a young man, hard man

Shouting in the street, gonna take on the world someday

You got blood on your face, you big disgrace

Waving your banner all over the place

We will, we will rock you, sing it!

We will, we will rock you

 

Buddy, you're an old man, poor man

Pleading with your eyes, gonna make you some peace someday

You got mud on your face, big disgrace

Somebody better put you back into your place

We will, we will rock you, sing it

We will, we will rock you, everybody

We will, we will rock you, hmm

We will, we will rock you

Alright


ගීයේ පද රචකයා වන්නේ 'Queen' band එකේ guitarist Brian Mayගයන්නෙ Queenහිම නායක කවුරුත් දන්න Freddie Mercury. බලලා ඇති නේ Bohemian Rhapsody (2018) ෆිල්ම් එක... Rami Malek ඉන්න.

Queenඑයාලගෙ ඇල්බම් එකක් වන News of the World සඳහා 1977දි තමයි මේ සිංදුව පටිගත කරල තියෙන්නෙ. Brian මේක ලියල තියෙන්නෙ සරල වචන ටිකක් යොදාගෙන. කුඩා - තරුණ - මහළු යන පිරිමියෙක්ගෙ අවධින් තුනක් තමයි මේ පදමාලාවට ඇතුළත්. මේ පිරිමි ළමය පොඩි කාලේ ඉඳල අමාරු ජීවිතයක් ගත කළ බවයි පේන්න තියෙන්නෙ... ඒත් ඔහු නොනවතින ජීවය ඇත්තෙක්.

කොහොම උනත් මේ පද මාලාවට... සංගීතය හා ගායනය යොදා ගෙන තියෙනවා උචිත ද නැති ද කියා පවතින්නේ අසන්නා, විඳින්නා එය දිහා බලන විදිහ මත තමයි.

 

Official music video එකට වඩා ලයිව් sing කරපු Live Aid show එකේ කියපු එකේ පොඩි ගැම්මක් තියෙනව. අනික Freddie කියන්නෙ ඉතින් ප්‍රසංගයකදි රසිකය වඩාත්ම ඇදබැඳ ගන්න හා තම ගායනයට රසිකය එකතුකරගන්න දක්ෂතමයනෙ. මේක බලන්න.

Commercial වලින් ගත්තොත් Pepsi ඇඩ් එක ගොඩක් ජනප්‍රිය එකක්. Britney Spears, Beyonce, Pink & Enrique Iglesias ඉන්න මෙන්න මේක. කොම උනත් අර චිත්‍රාල්ගෙ 'නදී ගංගා' එකට වෙච්ච වැඩේ තරම් නම් සවුත්තුවක් නෑ. එකේ බේබද්දවයි බොන එකයි, සිංහයවයි සිංහලෝකයටයි සමාන කරානෙ.

 අද ලොව පුරා ප්‍රචලිත සෙන් කතා ඇතුළත් ව ඇති සෙන් දහම හට ගැනීමට අඩිතාලම වැටෙන්නේ... ඉන්දියාවෙන් අන් රටවල් වෙත බුදු දහම ප්‍රචාරය වීමත් සමගයි.

ඉන්දියාවෙන් එහෙම ආ බුදු දහම කාලයේ වෙනස්කම් වලින් යුතුව චීනයේ ආරම්භ වෙමින් වියට්නාමය, කොරියාව හරහා ජපානයට ද සේන්දු උනා. ජපානයේ මේ විදිහට ව්‍යාප්ත වූ බොහෝ සම්ප්‍රදායින් අයත් වූයේ මහායානයටයි. ඒ මහායාන සම්ප්‍රදායන් අතරින් ජපානයේ ඇති ප්‍රකට, එක් දහමක් වන්නේ... මේ සෙන් ය.


සෙන් වචනයේ උත්පත්තිය චීන වචනයක් වන චෑන් (chán) හි ජපන් උච්චාරණ විලාසය ලෙස ඇවිත් ඇති බව කියවෙයි. එය සංස්කෘත ධ්‍යාන වචනයෙන් පැන නැගී ඇත.

සෙන්, මහායාන ඇතුළු ජපාන දහමවල් ගැන අවධානය යොමු කිරීමේදී අපට දැක ගත හැකි වෙනස්කම් කීපයක් තිබේ. ඒ අපි බුදු දහම පිළිපදින ක්‍රමයත්, එහි ඇති ක්‍රමයත් අතරය. කරුණු කීපයක් -

• තමා තුළින් තමාව දැකීම (ආත්මාවබෝධය), විමුක්තිය තමාම සාක්ෂාත් කිරීම

• ප්‍රඥාවට වඩා ලැදි බව

• භාවනාව හා ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම

• ගැළපෙන ගුරුවරයෙක් ඇසුරේ පුරුදු පුහුණුව

• සරල දිවි පෙවෙතක් ගත කිරීම

මෙවැනි කරුණු මත පදනම් වූ  ජීවිතයක් ගෙවන වැඩිමහල් භික්ෂුවක් හා... ආධුනික භික්ෂුවක්, ගෝල භික්ෂුවක් හෝ සමුරායිවරයෙක්... ආදී කිසිවෙක් සමග අතර ඇති වන සංවාදය, කතා බහ සෙන් කතා ලෙස ගැනේ. මේවායේ අර්ථ රසය ඉතා ඉහල තැනක තිබෙන අතර සමහරෙක්ට ආත්මාවබෝධයට මාර්ගයක් හෝ තවෙකෙක්ට හුදු වචන හරඹයක් පමණක්ම වන්නට පුළුවනි. කොහොමින් නමුත් ගුරු හෝ වැඩිමල් භික්ෂුවක්ගේ අදහස් සහිත මේ සෙන් කතා, හුදු කතාවක් පමණ කොට දැකිය නොහැක්කේ ඔවුන්ගේ ජීවන පරිචය ද ඒ තුළ ගැබ්ව ඇති නිසායි.

මේ කතා ඔවුන් ජපන් බසින් 'සතෝරි' (satori) ලෙස හඳුන්වයි. එනම් 'ක්ෂණික අවබෝධය' (sudden awaking) ලෙස සිංහලෙන් ගත හැකියි. බටහිර එක් සම්ප්‍රදායක් වන Brilliant Nonsense (විශිෂ්ට ප්‍රලාප) වලට දා සෙන් කතා බැලිය හැකි බව සමහර විද්වතුන්ගේ මතය වුවත්, විශිෂ්ට ප්‍රලාප ගණයේ ලා පමණක්ම මේවා දැකිය නොහැකි බව කියවීමේ දී අපට පෙනී යයි. මන්ද මේවා යථාර්ථය මතු කරමින් දිග හැරෙනවා මිස යථෝක්ත සන්දර්භ හමුවේ පමණක් උත්කර්ෂවත් වන ඒවා නොවන නිසායි.

කලින් නස්රුදීන්ගෙ පෝස්ට් එකෙත් සඳහන් කළ විදිහට කතා වල හෝ සෙන් වල මූලාශ්‍ර සෙවීමට වඩා මේ කතා සාරය වැදගත් නිසා සෙන් හෝ මහයාන සම්ප්‍රදායේ විස්තර මේ පොස්ටුවට ඇතුළත් කරන්නේ නෑ. ඒ නිසා....

මං බ්ලොග් කියවන්න පටන් ගත් කාලෙ දැකපු 'පාදඩයාගේ අසපුවේ' සෙන් හා ජපන් බුදු දහම ගැන විස්තර එහි විස්තරාත්මක ව සඳහන් කරල තියෙනව. ඇමිණුම් පහලින් දාන්නම්. ඒවත් අනිවාර්යයෙන් ගිහින් බලන්න... හරිම රසවත්.

ලබු කට්ටෙන්අන්කුට්ටෙක් ඇල්ලීම

ජපානයේ බුදු දහම

ජපන් සංස්කෘතියවිදහාපාන වචන - 6 (වබි සහ සබී)

* * * * * *

 

 කේන්තිය පාලනය කර ගන්න ඕන.. ඕන කියලා හිට උපදෙස් ලැබෙනවා නෙ අපට. ඒත් ඉතීම් කේන්ති නොගෙනත් බෑ සමහර වැඩ වලදි... වගේ නෙ. කෝම උනත් කේන්තිය නිසා ලස්සන අඩු වෙනවය, ඉක්මන් තීරණ ගන්නවය, හැමෝම ඒ නිසා නැසෙනවය කියල තමා තේරුම් බේරුම් ඇති උදවිය කියන්නෙ.

කේන්තිය එක්ක ගැටගැච්ච කතා තුනක් තිවන... ඉතින් ඔන්න ඔහෙ post එකක් විදිහට දාන්න හිතුන ඒ කතා තුන.

 

ගුවන් ගමනින් ඇතිවුන වෙහෙස නිසා, ඇය ඉක්මනින් ගෙදර ගිහින් මහන්සි නිවාගන්න කියල හිතාගෙන සීඝ්‍රගාමී දුම්රියට ගොඩ වුනා. ඇයගෙ යාබද අසුනෙ වාඩි වෙලා හිටියෙ ප්‍රියමනාප මහල්ලක්. ගමන පොඩ්ඩක් දිග නිසා ඈ තම අලුත් නවකතාව කියවන්නට හිතා ගෙන එය බෑගයෙන් එළියට ගත්ත. පොත ගන්න මොහොතෙ ඈට පොඩි බඩගින්නකුත් දැනුණ නිසා... මිල දී ගත් බිස්කට් පැකට් එකත් එළියට ගන්න හිතුණ. ඒ එකක්ම යාබද අසුනෙ හිටි ගමන් සගයා..... ඒ මහල්ලා බිස්කට් පැකට් එක කඩා ගෙන පළමු බිස්කට් එකේ රහ බලනවා. බෑග් එකත් ඇරලා ඒ විදිහටම තියෙනව. ඇයට ඉවසුම් නැතුව ගියා.

ඒත් එක්කම... ඔහු ඈ දිහා බලලා තම අත තිබුණ බිස්කට් පැකට් එක ඇය වෙත දිගු කළා. කේන්තියෙන් හිටියත් බඩගිනි නිසා ඈ බිස්කට් එකක් අරගෙන පැකට්ටුව ආසන දෙකට මැදි වෙන්න තිබ්බ.

දැන් දෙදෙනාම බිස්කට් මාරුවෙන් මාරුව කා... අවසන් බිස්කට් එක විතරක් පැකට් එකේ ඉතිරිව තිබෙන මොහොත. ඈ බලාගෙන හිටිය මේ බොරු ප්‍රියමනාප බවක් පෙන්වමින් ඉන්න කපටි මහල්ල අන්තිම බිස්කට් එක ගනීද, නැතිද කියල. මොහොතකින් ඔහු අන්තිම බිස්කට් එක අරගත්ත. ඒත් එක්ක ඈ මහල්ලා වෙත නපුරු මුහුණක් පෙන්වා තමන්ගෙ කේන්තිය පල කළා.

මහල්ලා, අතේ තියාගෙන හිටි බිස්කට් එක දෙකට කඩා ඇයට කෑල්ලක් දික් කළා. එයින් ඇගේ කේන්තිය මදක් අඩු උනත්, මහල්ලා කෙරේ තිබ්බ අකමැත්ත නම් අඩු උනේ නෑ. ඒ වගේම ඇය අතින් සංඥා කරමින් බිස්කට් බාගය එපා කියල කිව්වා. තමන් බහින ස්ථානයට දුම්රිය ලඟා වූ හැටියෙ, තමන්ගෙ නොරිස්සුම පේන්නනුත් එක්කලා ඈ මහල්ලාට ගස්සාගෙනම නැගිට යන්න ගියා.

ගමන් මහන්සියට නිසා ආ හැටියෙම ඈ ඇඳට වැටුණ. හවස නාගෙන ඇවිදින් බෑග් එක අස් කරන කොට ඈ දැක්ක තමන් මිලදී ගත් බිස්කට් පැකට් එක එහෙමම එහි තිබෙන බව.

ඇයට මහල්ලා ගැන පුදුම අනුකම්පාවක්, කරුණාවක් ඇති උනා. තමන්ගෙ බිස්කට් පැකට් එකෙන් කොටසක්, නපුරුකම් කළ තරුණියකට ලබා දෙන්න පවා ඔහු කෙතරම් හික්මුණු පුද්ගලයෙක් ද කියා සිහි වී. ඒ මුහුණේ ප්‍රියමනාප බව කොයිම නිසාවකවත් ඔහුගෙන් ගිලිහී නොගිය බව ඇයට මතකයන් අතරින් තේරුම් ගියා. තමන්ගෙ හදිසි වැඩ නිසා, වැඩි දුර හිතා මතා නොගන්න තීරණ නිසා... ඈ කම්පා උනා. ඒත් ඔහුගෙන් සමාව ගන්න බැරි බව ඇයට දැනුණ නිසා ලොකු දුකක් ද හිතේ හටගත්තා. ඒ වගේම ආයෙත් මේ විදිහට හොයා බලන්නෙ නැතුව ඉක්මන් තීරණ, හදිසි කෝප ගැනීම නොකරන්න ඇය වග බලා ගත්ත.



දවසක් තමන්ගෙ ‘චූටි දුව’ එක්ක සුපිරි වෙළඳ සැලට ගොඩ උන අගේ මව, බඩු තෝරා බලමින් හොඳම දේවල් මිලදී ගත්ත. ඒ අතර චූටි දුවට ඕන කරන සෙල්ලම් බඩුව වගේම කෑම බීමත් එතන තිබුණ. ඇය ගෙදර ඇවිත් බඩු අස්පස් කරන ගමන්, මිලදී ගත්ත ඇපල් ගෙඩි දෙක පෙන්නමින් ‘මටත් එකක් දීල ඔයත් එකක් කන්න කියල කිව්වා.

ඒත් දූ කර දෙයින් ඇයට හොඳටම කේන්ති ගියා. එක ඇපල් ගෙඩියකින් කෑල්ලක් කඩාගෙන කෑ චූටි දූ, අනෙක් ඇපල් ගෙඩියේ කෑල්ලකුත් කඩාගෙන කෑවා.

කේන්තියෙන් පාරක් ගහල ඈ ‘අම්මටත් එකක් දෙන්න කිව්වම දෙකම එක සැරේ කනවාද?’ කියල පොඩි තරවටුවක් කළා.

“මට ඕන උනේ අම්මට රසම ඇපල් ගෙඩිය දෙන්න. ඒකයි දෙකේම කෑල්ලක් කාල බැලුවෙ” කඳුළු අතරින් දූ, ඇයට අදහාගත නොහැකි කතාවක් කියමින් ඇයවත් හැඬෙව්වා.

 

* * * * * *

සාර ඉපදුණේ එක් ඇසක් අඳව. ඒ වගේම ඉපදී ටික දවසකින්ම සාරාවත්, අගේ මවත් තනිකරමින් අගේ බීමත් පියා ඔවුන්ව අතහැර ගියා. ඒ නිසා සාරව හදා ගන්න ඇගේ මව ගොඩක් මහන්සි උනා. සාරට තේරුම් යන කාලේ එනකොට තමන්ට අනෙක් ළමයි විහිළු කරන බව ඇයට දැනුණ. ඒ නො පෙනෙන එක ඇස නිසා. ඇය ගෙදර ඇවිදින් එදා හොදටම ඇඬුවා. අගේ මව නගරෙ වෛද්‍යවරයෙක් ගාවට සාරව අරන් ගියා. සාරට ටික කලකින් සැත්කමක් කරා. සාර වැඩිවියට එද්දී ලස්සන ඇස් දෙකම හොඳට පේන තරුණියක්.

ඒත් ඇගේ මව දැන් කාලයක ඉඳල එක ඇහැක් පේන්නෙ නැති අනෙක් ඇහැත් දුර්වර්ණවී ගිය, නිතරම වැරහැලි වලට හුරු උන කෙනෙක් බව සාරට එක් වරම හැඟී ගියා. සාර මවට පාසල ගාවට එන එක තහනම් කරා. ඇයට එය ලැජ්ජාවක් උනා. දවසක් මේ නිසා සාර මවට හොඳටම දොස් කිව්වා. ඒත් දැන් ඇයට වැඩි මතකයක් ද නැති නිසා සාරට තවත් කේන්තියි.

එදා රෑ සාරගෙ මව මියගිහින් තිබුණා. ඇයගේ ලාච්චුවේ තිබී සාරට අවුරුදු 10කට කලින් මව ලියූ ලියමනක් හමුවුනා.

“සාර නිතරම ගෙදර එන්නෙ දුකෙන්. ඈ ඉපදුණු දා පටන් දුකින්. අද හමුවූ ලොකු දොස්තර මහතා කිව්වා ඇහැක් කවුරු හෝ පරිත්‍යාග කරනවා නම් සාරට ආලෝකමත් අනාගතයක් ලබා ගත හැකි බව. මං ඒ නිසා තීරණය කරා... මගේ ඇහැක් ඇයට ලබා දෙන්න.”

සාර හැඬූ කඳුළින් තමන්ගේ වැරදි හැසිරීම් සිහි කරන්නට උනා. තමා දැන් හඬන්නේ ද මවගේ ඇසක උපකාරයෙන් නේදැයි කියා ඇයට තේරුම් ගියා. ඒ නිසා ඈ බොහෝ කම්පා උනා.


බස්සාත් මේ ටික දොහේ අන්තර්හාන වෙලා හන්ද මංවත් යූ බටේ videoවක් බලන්නට දාන්නම්... ඔහෙල්ලට J


 නත්තල් සීය

එක දවසක් තෝමස් අල්වා එඩිසන්, හෙන්රි ෆෝ(ර්)ඩ් සහ හාවේ ෆය(ර්)ස්ටෝන් යන මිතුරන් තිදෙනා ගමනක් අතරතුරේදී පිරවුම් හළකට ගොඩ උනා වාහනයට ඉන්ධන ලබාගන්න. වාහනයෙන් එළියේ හිටි ෆය(ර්)ස්ටෝන් ඉන්ධන ලබා දෙන සේවකයත් එක්ක කතාබහක නිරත උනා. ඒ අතර ඔහු තමා කවුද කියල සේවකයාට හඳුන්වා දුන්න. “එතකොට අර කවුද?” ඔහු රථයේ පිටුපස සිටි එක් අයෙක් පෙන්වමින් ඇහුව. ෆය(ර්)ස්ටෝන් ඒ හෙන්රි ෆෝ(ර්)ඩ් බව සේවකයාට කිව්වා.

යම් නොරිස්සුමකින් සේවකයා රථයේ සිටි අනෙක් පුද්ගලයා කවුද කියාත් ඇහුව. ඒ තෝමස් අල්වා එඩිසන් බව ෆය(ර්)ස්ටෝන් කියා හිටිය. රථයේ ඉදිරිපස සිටි අනෙක් පුද්ගලයාට ඇඟිල්ල දිගු කරමින් සේවකයා “එතකොට මේ නත්තල් සීයා ද” කියා ඇහුව. එහි සිට ඇත්තේ ස්වභාව විද්‍යාඥ ජෝන් බරෝය. සුදු දිග රැවුල නිසා ඔහු මිතුරන් අතර ප්‍රකටව සිටියේ ද නත්තල් සීයා ලෙසයි.

 

හෝ චි මිංගේ අළු

හෝ චි මිංග් සැලකෙන්නේ වියට්නාමයේ නිර්මාතෘවරයා විදිහටයි. මියගිය පසු තමන්ගේ අළු බඳුනක බහා උස් කඳු මුදුන් තුනක භූමදානය කළ යුතු යයි ඔහු කියා තිබේ. “මේ වගේ ආදාහනයක් සනීපාරක්ෂාව පැත්තෙන් විතරක් නෙවෙයි වගා බිම් වලටත් හොඳයි” කියා හෝ චි මිංග් එය පැහැදිලි කර ඇත. (එහෙත් ඔහුගේ කැමැත්තට අනුව අවසන් කටයුතු සිදුව නැති අතර මොස්කව්හි ලෙනින්ගේ සොහොන අනුකරණය කරමින් හෝ චි මිංගේ මළ සිරුරද ස්මාරකයක ඔහුගේ දේහය තන්පත් කර ඇත).

 

මාරි කියුරිගේ අවවාදය

මාධ්‍යවේදියෙකු මාරි කියුරි  සොයා පැමිණෙන විට ඇය බ්‍රිතාන්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටියෙ. නිවසේ ඉදිරිපස, වෙනදා සිටින ඇඳුමෙන්ම සැරසී සිටි නිසා මාධ්‍යවේදියා සිතුවේ ඇයගේ සේවිකාව තමා මේ ඉන්නෙ කියල.

මාධ්‍යවේදියා - ඔබද ගෙදර බලා ගන්නෙ ?             මාරි කියුරි - ඔව්

මාධ්‍යවේදියා - ඔබේ ස්වාමි දියණිය ගෙදර ඉන්නවද ?       මාරි කියුරි - නැහැ

මාධ්‍යවේදියා - ඇය ඉක්මනට එයිද ?            මාරි කියුරි - නැහැ

එවිට මාධ්‍යවේදියා ඇයගෙන් තම ස්වාමි දියණිය ගැන යමක් කියන්න කියා ඉල්ලා සිටිය.

“කියුරි මැඩම් පත්තර වාර්තාකාරයින්ට ලබා දෙන එකම පණිවිඩය මේකයි. මිනිස්සු ගැන ඒ තරම් කුතුහලයක් ඇතිකර ගන්න එපා. ඒත් මිනිස්සු කියන දේවල් ගැන පරිස්සමින්!”

 


මොලේ චීස් වගේ

හොලිවුඩයේ ගිණිසිළුව.. මැර්ලින් මොන්රෝ ගැනද සඳහන් වන්නේ අසාමාන්‍ය ගති තිබූ තැනැත්තියක් ලෙසයි. Some like it hot (1959) චිත්‍රපටයේ ඇතැම් දර්ශන නැවත නැවත බොහෝ වාරයක් රූපගත කිරීමට සිදුව තිබේ. “කමක් නැහැ. ඔයා දුක් වෙන්න එපා” රූගත කිරීම් වලින් පසු අධ්‍යක්ෂ බිලී ඇය අස්වසන්නට කී විට “දුක් වෙන්න මොනවද?” යනුවෙන් මැර්ලින් අසා ඇත. ඒ වගේම ඇය රූපගත කිරීම් වලට පමා වී එන හැම වාරයකම කියා තිබෙන්නේ “සමාවෙන්න, මට ඔබගේ ස්ටුඩියෝ එක හොයා ගන්න බැරි උනා” යන එකම බොරුවයි. මේ හැසිරීම් නිසා අධ්‍යක්ෂ සමස්ත රූගත කිරීම් අවසානයේ මෙහෙම කියල තියෙනව. “මැරිලින්ගෙ මොළේ හරියට ස්විස් චීස් එකක් වගේ. සිදුරුවලින් පිරිලා..!”

 

සාර්ථක ගැහැණිය

ලැනා ටර්නර් ද ඇයගේ කාලයේ සිටි ප්‍රකට, සුරූපී නිරූපිකාවකි, නිළියකි. සත් වරක් විවාහ වී ඇති ඇය සාර්ථක ගැහැණිය හා විවාහය ගැන මෙහෙම කියා තියෙනව.

“සාර්ථක මිනිසෙක් කියන්නෙ තම බිරිඳට වියදම් කළ හැකි ප්‍රමාණයට වඩා උපයන පුද්ගලයායි. සාර්ථක ගැහැණියක් කියන්නෙ එහෙම පිරිමියෙක් හොයා ගන්න පුළුවන් කෙනයි”

 

වේගවත්ම අවුරුද්ද

ක්ලිෆ් රොබ(ර්)ට්සන් ද ඔහුගේ කාලයේ සිටි දක්ෂ හා ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්. අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පාදකයෙක්. ඒ වාගේම එකල ධනවත්ම නළුවන්ගෙන් ඉහලින්ම සිටි කෙනෙක්. විනෝදාංශය විදිහට පැරණි ගුවන් යානා එක්රැස් කිරීම් කළ ක්ලිෆ්ව  PT 109 (1963) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එක් වූයේ ජෝන් එෆ්. කෙනඩිගේ ඇරයුමින් බව කියවෙනව. ඒම චිත්‍රපටයේ තේමාව වෙන්නෙත් කෙනඩිගේ හමුදා දිවියේ පැතිකඩ ගැනයි. ඔස්කා සම්මානය ලැබූ පසු ඔහු මෙහෙම කියා තියෙනව.

“නළුවෙකුගෙ ජීවිතේ වේගයෙන්ම ගෙවිල යන වසර තමයි ඔස්ක සම්මානය ලබා ගත් වසර. කොයි තරම් ඉක්මනට ගෙවිල යනවද කිව්වොත් ඊළඟ වසරෙදි සම්මානය ගත්ත කෙනාම අහන්න පුළුවන් ගිය අවුරුද්දෙ ඔස්කා සම්මානය ගත්තෙ කවුද කියල”.

 


මරන්නෙ කාවද

රුසියාව, ස්වීඩනය සමග යුධ වදිමින් සිටි කාලයේ රුසියානු අධිරාජිනී එළිසබෙත් මැතිනිය කොසාක් සෙබළ නායකයට පින්ලන්තයට යන අතරතුරේ රජ මැදුරට ද එන ලෙස දැන්නුව.

“ඔබතුමියගෙ පියරජු මං කීව අවවාදය පිළිගත්තා නම් අද මෙහෙම යුද්ධයක් වෙන්නෙ නැහැ” ඔහු කතාව අතරතුර ඇයට කිව්ව. “ඔබේ උපදෙස උනේ මොකක් ද” රාජිනිය ඇහුව. “හැම ශ්‍රේෂ්ඨ මිනිහෙක්ම මරන්න. සාමාන්‍ය මිනිසුන් රුසියාවට අරන් එන්න” ඔහු තම උපදෙස නැවත මතක් කළා. “ඒත් ඒක මහා සාහසික උපදේශයක් නෙ” අධිරාජිනිය කියා හිටිය.

“මටනම් ඒක එහෙම පේන්නෙ නැහැ. මොකද දැන් වෙන්නෙ ඕකේ අනෙක් පැත්ත” සෙබළ නායකයා කීව.

 

වෙනස

ඉන්දියාවේ බිහි වූ දාර්ශනික සුළු පිරිස අතුරෙන් කෙනෙක් ලෙස ස්වාමි විවේකානන්දව ද හඳුන්වන්න පුළුවන්. තම ජීවිතය දුප්පතුන් වෙනුවෙන් කැප කළ ඔහු අවුරුදු 39ක් වැනි තරුණ වයසේම ගිහි ජීවිතයෙන් ඈත්ව යෝගී ජීවිතයකට හුරු උනා. එහෙම වෙමින් තම මතය අන් අය වෙතද ගෙන ගිය විවේකානන්ද තම අදහස් ප්‍රකාශ කරමින් සිටියදී පිරිසේ එක් අයෙක් තමන් හෙලා දකින්න කටයුතු කරන බව දැක්ක. එතුමා සමග කතාබහක් ඇති වී “ස්වාමී ජී, වඳුරෙකුගෙයි, ශ්‍රමණයෙකුගෙයි අතර වෙනස මොනවගේ ද?” කියා ඔහු අසා සිටිය.

එවිට ස්වාමි විවේකානන්ද මෙහෙම කිව්ව. “ඇත්තෙන්ම ඉතාම සුළු වෙනසයි තියෙන්නෙ. මේ වෙලාවේ ඉන්නෙ එකම මේසෙ දෙපැත්තෙ”

 

වික්ට(ර්) හියුගෝගේ ලියුම

ලේ මිසරාබලලේ (Les misarables) කෘතිය රචනා කළේ ප්‍රංශ නවකතාකරුවෙකු වන වික්ට(ර්) හියුගෝ. සිංහල අනුවාදනය ‘මනුතාපය’ නමින් ප්‍රකාශ කරේ ඇමතිවරයෙකුද වූ ඊරියගොල්ල මහතා. හියුගෝ සාමාන්‍යය ලේඛකයන් මෙන් නොව සිටගෙන තම ලිවීම කළ බව සඳහන් වෙන්නෙ. ඔහු ‘ලේ මිසරාබලලේ’ ලියා ප්‍රකාශන සමාගමට භාර දී ටික කලකින් එහි විකුණුම් තත්ත්වය දැන ගැනීමට ලිපියක් යවා තියෙනව. එහි සඳහන්ව තිබුණේ “?” ප්‍රශ්නාර්ථ ලකුණ පමණයි. ප්‍රකාශකයා හියුගෝට පිළිතුරු ලිපියේ යවා තියෙන්නෙ “!” විස්මයාර්ථ ලකුණ සටහන් කරමින්. ඒ නොසිතූ ලෙස විකුණුමක් පෙන්වන බව අදහස් කරගෙන.

මේ ලිපි දෙක ලොව මෙතෙක් ලියැවුන කෙටිම ලිපි දෙක ලෙස ගිනස් පොතටද ඇතුළත් ව තියෙනව.

 


වයස හොරකම් කරන්න බැහැ

වරක් හංගේරියානු යුද්ධයේ සිටි කර්නල්වරයෙක් සමග නැපෝලියන් කතාබහක යෙදුනා. ඔහු තමා මරිය තෙරේසා හමුදාවේ සේවය කළ බව කියා හිටිය. එවිට නැපෝලියන් “එහෙනම් ඔබේ ජීවිතේ බොහෝ කලක් එයට ගත කරන්න ඇති නේද” කියා ඇහුව. “ඔව්. අවුරුදු හැට හැත්තෑවක් විතර” කර්නල්වරයා පිළිතුරු දුන්නා. “මොනව.. ඔබ මුළු ජීවිත කාලේම ගණන් තියා ගෙන වෙගයි” නැපෝලියන් කුතුහලයෙන් කිව්ව.

“මේ බලන්න මහත්තයා.. මට තියෙන සල්ලි මං ගණන් කරනවා. තියෙන කමිස ගණන් කරනවා. ඉන්න අශ්වයෝ ගණන් කරනවා. ඒත් මම කවදාවත් ජීවිතේ අවුරුදු ගණන ගණන් කරන්නෙ නෑ. මොකද කාටද පුළුවන් ඒක හොරකම් කරන්න” කර්නල්වරයා කියා හිටිය.

ප්‍රංශ අධිරාජ්‍යයා වශයෙන් හැඳින්වෙන නැපෝලියන් බොනපාට් හැඳින්වෙන්නේ විශිෂ්ටතම යුධ සෙනවියෙකු. ඔහුගේ යුද උපක්‍රම අදටත් මිලිටරි පාසල් වල උගන්වන අතර ඔහුගේ නීති සංග්‍රහය, ලිබරල් ප්‍රතිසංස්කරණ ආදිය ගැනද දාර්ශනික පැතිකඩකින් විමසා බලයි. මේ ඔහුගේ ප්‍රකට කියමන් කීපයක්...

බැහැ යන්න මෝඩයන්ගේ ශබ්ධ මාලාවේ පමණක් සොයා ගත හැකි වචනයකි.

ඔබ නිතරම එක් සතුරෙක් සමග සටන් නොකළ යුතුයි. එමගින් සිදුවනුයේ ඔබ ඔහුට ඔබගේ යුද උපක්‍රම සියල්ලම ඉගැන්වීමයි.

සිහසුන යනු වෙල්වට් වලින් ආවරණය කළ බැංකුවකි.

ඔබට ලොව සාර්ථක පුද්ගලයෙකු වීමට අවශ්‍ය නම් දස වසරකට වරක් ඔබේ උපක්‍රම වෙනස් කරන්න.

මා විටෙක සිවලෙකි. විටෙක සිංහයෙකි. ආණ්ඩුව පවත්වාගෙන යාමේ ප්‍රමුඛතම රහස නම් ඒ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය පුද්ගලයා වීමයි.

 

ඇරිස්ටෝටල්ගේ කියමන්...

නීතිය යනු පීඩාවෙන් නිදහස් වීමයි.

අපි සාමය අපේක්ෂා කරමින් යුද්ධය ඇති කරන්නෝ වෙමු.

මිනිසා ඔහුගේ උසස්ම තත්ත්වයේදී අන් සියලු ම දෙනාට වඩා උතුම් වුවද නීතියෙන් හා යුක්තියෙන් වෙන් කල විට වඩාත්ම නරකම හා දරුණුම සත්වයා වනුයේ ද මනුෂ්‍යයා ය.

යමෙකු යහපත් පාලකයෙකු වීමට නම් ඔහු තවකෙකු යටතේ පාලනය විය යුතුය.

දේශපාලකයන්ට ද නිදහසක් නැත, ඔවුහූ ද දේශපාලනයෙන් තොර යමක් ඉලක්ක කරගෙන සිටිති. බලය, කීර්තිය, හෝ සතුට ඒ අතර වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ දී දුප්පතාට වඩා පොහොසතා වඩා බලවත් මක්නිසාද යත් බහුතරය දුප්පත් වන නිසාය.

මිනිසා ස්වභාව ධර්මයෙන්ම දේශපාලන සත්වයෙකි.

 

මා(ර්)ටින් ලූතර්ගේ කියමන්...

සතුරෙකු මිනිසෙකු කළ හැකි එකම බලවේගය ආදරයයි.

සහෝදරයන් සේ එකට ජීවත් වීමට අප ඉගෙන ගත යුතුය. එසේ නැතිනම් මෝඩයන් සේ වැනසී යා යුතුය.

කිසි දිනෙක අමතක කරන්න එපා හිට්ලර් ජර්මනියේ දී කළ සියල්ල නීත්‍යනුකූල බව.

සෑම විටම.. සම්පූර්ණයෙන්ම වාගේ, ලෝකය ලස්සන කළෝ නිර්මාණශීලී කැපවීම් කළ සුළුතරයෝ ය.

සැබෑ නායකයෙකු යනු පොදු එකඟත්වයක් සොයන්නෙකු නොව පොදු එකඟතාව නිර්මාණය කරන්නෙකි.

අප විවිධ නැව් වලින් පැමිණියෙමු. එහෙත් දැන් අප සිටින්නේ එකම බෝට්ටුවකය.

අවසානයේ දී අපේ මතකයේ ඉතිරි වන්නේ සතුරන්ගේ වචන නොව මිතුරන්ගේ නිශ්ශබ්දතාවයයි.

 

අවසන් වදන්


එඩ්ගා(ර්) ඇලන් පෝ

ලොව පුරා ජනප්‍රිය සාහිත්‍යධරයෙක් වන ඔහු කුඩා කළ සිට අනේක දුක් කරදර විඳි අයෙක්. කුඩා කළ ම මව මිය ගොස් ඇති අතර පසුව පියාද ඔහුව අතැර ගොස් තිබේ. ඇලන් යන නාමය ඇත්තෙක් ඔහුව හදාවඩා ගත් නිසා ඒ නාමයත් තම නමට එක් කරගෙන තිබේ. ප්‍රබන්ධ, කාව්‍ය, කෙටි කතා ආදියෙන් සාහිත්‍යයට සේවය කළ එඩ්ගා(ර්) ඇලන් පෝ ගේ අවසන් වදන ලෙස සැලකෙන්නේ...

Lord help my poor soul” (දෙවියනි මගේ අසරණ ආත්මයට පිහිට වේවා).

 

ඩයනා ස්පෙන්සර්

වේල්සයේ කුමරිය ලෙසින් හඳුන්වන ඈ ලොවම දන්නෙ ඩයනා යන නමිනි. චාල්ස් කුමරු හා ඇතිකරගෙන තිබූ රාජකීය විවාහය නවතා ඈ තනිකඩ දිවියක් ගත කළ අතර ඩොඩී අල්ෆයිඩ් නම් පෙම්වතා සමග යමින් සිටි සුපිරි වාහනය ලක් වූ අනතුරින් දෙදෙනාම මිය ගියහ. සමාජ සේවිකාවක් ලෙසත්, මානව හිතවාදිනියක් ලෙසත් නම් දරා හිටි ඩයනාගේ අවසන් වදන ලෙස සැලකෙන්නේ...

My god.. What’s happen?” (දෙවියනේ මොකක්ද වුණේ?)

 

විලියම් ශේක්ෂ්පියර්

ඉංග්‍රීසි සාහිත්‍යයේ නියමුවා විදිහට හඳුන්වන ශේක්ෂ්පියර් කවියා, මහා නාට්‍ය 38ක්, සොනෙටා 154ක් ඇතුළු විශාල නිර්මාණ ප්‍රමාණයක් කළ බව කියවේ. ශේක්ෂ්පියර් 18 දී පමණ විවාහ වී ඇති අතර පෞද්ගලික තොරතුරු වැඩිය ලෝකයට විවෘත වී නැති තරම්ය. ඒ වාගේම ඔහුගේ යයි සඳහන් නිර්මාණ ඔහුගේම දැයි පවා මතභේද තිබේ. නමුත් ඔහුව වන්දනාමාන කළ අය ඒ යුගයේ සිටි බව කියවේ. අද ඔහුගේ නිර්මාණ දාර්ශනික අර්ථයකින් ලෝකයා විමසන අතර මහා නාට්‍යවේදියා ලෙසඳ හඳුනා ගැනේ. ඒ ඔතෙලෝ, මක්බෙත්, හැම්ලට් ආදී නිර්මාණ අදටත් විවිධ රටරටවල් වල වේදිකාගත කරමිනි. ශේක්ෂ්පියර් අවසන් වදන ලෙස සැලකෙන්නේ...

“සියල්ලන්ටම ආදරය කරන්න. කිහිප දෙනෙක් පමණක් විශ්වාස කරන්න”

 


බීතෝවන්

ලුඩ්විග් වෑන් බීතෝවන් ජර්මන් ජාතික මහා සංගීතවේදියා. ඔහුගේ සංගීත හැකියාව මුළු ලොව පුරාම ප්‍රසිද්ධ වුණත් ජීවිත කතාව ඒ තරම් ප්‍රසිද්ධ නැත. බීතෝවන්ගේ හැකියාව මෙන්ම ගතිගුණද අසාමාන්‍ය බව ජීවිත කතාව අධ්‍යනයේ දී පෙනී යයි. දොර ජනේල වසා දමා තිබූ විට හරින්නටත්, හැර දමා තිබූ විට ඒවා වසන්නටත් ඔහු ගෝරනාඩු කළ බව පැවසේ. ඒ වගේම අධික මත්පැන් පානයටත් හුරු ව සිටි අතර ඒ නිසා හටගත් අක්මා රෝගයෙන් මරණය තවතවත් ළඟ කරගත් කෙනෙකි. රෝගය උත්සන්නව හා කන් ඇසීම නැති වූ කාලයේ ද සංගීත කටයුතු එකසේ කරගෙන ගිය බවත් 1827 වසරේ දී මිය ගිය බව සඳහන් වේ. බීතෝවන්ගේ අවසන් වදන් කීපයක් හමුවේ. (හරි එක කුමක්දැයි ස්ථීර නැත)

It's a shame, a shame — too late!" ("Schade, schade, zu spät!" in German). ("එය ලැජ්ජාවකි, ලැජ්ජාවකි - ප්‍රමාද වැඩියි!")

මට දිවය ලෝකෙදි ඇහේවි...

මම ස්වර කීපයකට වඩා ලියා නැහැ වගේ හිතෙනවා. මා කළ දෙයක් නැති හැඩයි...

 

මෝසා(ර්)ට්

සම්භාව්‍ය සංගීතයේ ප්‍රබලෙක් වන මෝසා(ර්)ට් පියානෝ, ඔපෙරා, ප්‍රසාංගික නිර්මාණ ආදී 600 කට අධික නිර්මාණ ප්‍රමාණයක් කළ බව වාර්තා වේ. බීතෝවන්ගේ මුල් නිර්මාණවලට ආභාෂයක් මෝසා(ර්)ට්ගෙන් ලැබුණු බවද කියවේ. කෙටි ජීවිතයක් ගත කළ මෝසා(ර්)ට් තරුණ අවදියේම (අවුරුදු 35) මරණයට පත්ව ඇත.

The taste of death is upon my lips.. I feel something that is not of this earth” (මරණයේ මිහිර දැන් මගේ දෙතොල් මත.. මෙලොවෙන් පරිබාහිර යමක් මට දැනෙනවා)

 

බ(ර්)නාඩ් ෂෝ

ප්‍රශස්ත නාට්‍යකරුවන් අතුරින් කෙනකේ ලෙස ප්‍රචලිත මොහු සංගීතයට, සාහිත්‍යයට ද දස්කම් දක්වා තිබේ. ඒ වාගේම ලන්ඩන් ආර්ථික විශ්ව විද්‍යාලය බිහි කිරීමේ පුරෝගාමියෙක් ද වේ. 1925 දී බ(ර්)නාඩ් ෂෝ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය ලබා ගන්නට පවා වාසනාවන්ත විය. ඔහු මිය ගොස් ඇත්තේ ගෙවත්තේ සිටිය දීයි.

I want to sleep..” (මට නිදා ගැනීමට අවශ්‍යයි..)

Popular Posts

Followers List

Contact Form

Name

Email *

Message *

Translate

Maathalange Sindiya

Sandhakadapahana

Weediye Sindiya

syndi365