පංචතන්ත්රේ
කියවා හා නිදි හමුවීමේ ප්රතිඵලයක් ලෙසින්, බ්ලොග් අපි කීප දෙනෙකුත් දැනහැඳිනගත්
නිමල් නිමල් දිසානායකයන්ගේ සමීප හිතමිත්ර... විශේෂඥ අයස්මන්ත පීරිස් දොස්තර
මහතාගෙ මුහුනුපොතෙන් උපුටාගත් සටහනක් post කර සිටින වග නම්...
(සතියකට පමණ පෙර දාපු මෙ FB පෝස්ටුව අපෙ සමහර අය දකින්නත් ඇති. ඒ හන්ද ඉතිං ඒ සටහන මෙහෙම පෝස්ටුගත කරන්න අවසර ගත්තෙත් නෑ හිටං... 😁).
පනින්න
පෙර සිතා බලනු/ සමාජ මාධ්යයේ අන්තරාධායක බව/ ඇවිලෙන ගින්නට පිදුරු ලෑම වගෙ පිරුළු
මතක් වෙන සටහනක්... හුදී ජන පහන් සංවේගය තකා!
✍️ ✍️ ✍️ ✍️ ✍️ ✍️ ✍️ ✍️
එක් අවස්ථාවක, අසාධ්යම අඩවියක මිය යමින් සිටි මි හට
ලැබෙන මන්දගාමී ප්රතිකාර වලින් නොපහන්ව, බලෙන් වාට්ටුවෙන් රැගෙන මහ පාර දිගේ
දිව්වාලු මගෙ අම්මා පිස්සියෙක් වගේ; එවකට රිජ්වේ ආර්යා ලමා රෝහලේ ලමා රෝග
විශේශඥ වෛද්ය තුමාගෙ නිවසට. ඒ යද්දි එතුමා සිය පවුල සමග කිසියම් ගමනක් යන්නට
වාහනයට නැග්ගා විතරයිලු. අම්මා එතකොට කිසාගෝතමී වෙන්න ඔන්න මෙන්න. අම්මා හෙමින්
ලොව අතහැර යන මාව එතුමාගේ කාරයේ බොනට්ටුව මත තැබුවාලු, කිසාගෝතමිය මල දරුවා බුදුන් වහන්සේ
අභියස තැබූ පරිද්දෙන්... එතුමා ඒ ගමන නවතා අප දෙදෙනා කාරයේ දමාගෙන රෝහලට ආවාලු.
අධික විජලනය අවස්ථා වල කරන cut down සැත්කමේ කැලල මේ ලියද්දි මගේ වම්
මැනික්කටුව සරසමින් ඇති හැටි පෙනෙනවා මට... ඉතින් අදටත් මම ජීවත් වෙනවා.
මේ කතාව මගෙ අම්මා නිතර සිහි කරනවා
පොඩි කාලෙදි. ඈ අන්තිමට කියන්නේ ‘ඔයත් කවදහරි ඒ වගෙ ලොකු දොස්තර මහත්තයෙක් වෙන්න; කවදාවත් ලෙඩ්ඩු හරවල යවන්න එපා පුතේ!’
සහානුභූතිය තදින් කාවැද්දූ ඔබ නිසා, මා වෛද්ය වෘත්තීය ඇරඹි දා සිට එහෙම
ලෙඩෙක් මග ඇරුනානම් කලාතුරකින්ම තමා අම්මේ. දැනුවත්ව, හැකියාව තියෙද්දි ලෙඩෙක්ගෙ ප්රතිකාර
කවමදාවත් මග ඇරලා නෑ මම. 1998 ඉඳලා මේ වනතුරු මේ ලංකාවෙ හැම පලාතකම
ලෙඩ්ඩු බලපු ප්රමානය ලක්ශ 17 ඉක්මවල ඇති! කර ඇති සැත්කම් පමන 70,000 විතර ඇති. ඒත් අද ඔයාට ඒවා කියල වැඩක්
නෑ. මම පාඩම් කරද්දී නිදි කිර කිරා හිටි ඔයා, දැනුත් මේ ලියද්දි මා ලඟම දැවටෙමින්
උන්නත් ඩිමෙන්ශියාවෙන් අමතක වෙන නිසා.
මගෙ වීරයා උනේ මගෙ තාත්තා. ඉතාම
දුශ්කර අමාරු ලමා හා තරුන කාලයක් ගක කරන ගමන් විශ්ව විද්යාල උපාධියක් ජය ගෙන, නවසිය හැට ගනන් වල ලංකාවෙ පුරෝගාමී
පරිගනක වෘත්තීකයෙක් උන ඔබ රස්සා දෙක තුනක් කරමින් මා හා සහෝදරියෝ මතු නොව, නෑදෑ ලමයින්ටත් සිප්කිරි පෙවූ සැබෑ
වීරයෙක්. මා පාඩම් කලේ එතුමාගෙ රාමු කල උපාධි සහතිකය පාඩම් මේසයේ හොඳින් ඇහැ
ගැටෙන්න තියාගෙන.
මට නම් ඔහු සරච්චන්ද්රයන් ගේ
සිංහබාහු නාඩගමේ සිංහයා:
- ඇවිදිමි නොලසා, සොයන ලෙසා,
වනයේ
අහාරා....
- තැන් තැන් වලම ලැගි සන්නන් මුවන් රැල ගන්මින් බුදින්නට රස අහරා
- වන්නෙත් අඳුන් බඳු දූ පුත් රුවන් දැක
මන් සන්තොසින් වලඳමි සමඟින්...
මා ඉගන ගත් කොලඹ නාලන්දා විද්යාලයේ
ආදර්ශ පාඨය අංගුත්තර නිකායේ තික නිපාතයේ කම්ම ලක්ඛන සූත්රයේ එන අපදාන සොභිනී
පඤ්ඤාති- ප්රඥාව චරිතාපදානයෙන් හොබනීය.... බලංගොඩ ආනන්ද මෛත්රීය මහ තෙරුන්
වහන්සේ යෙදූ මේ වැකිය ඉතා තදින් හිතට ගත් මා සිප් සයුර මැඩ ඉන් අති විශිශ්ටව උසස්පෙල සමත් වී කොලඹ වෛද්ය විද්යාලයට ඇතුලු උනා අම්මාගේ ප්රාර්ථනාව
ඉටු කරන්න.
නොයෙක් ගුරු දෙවිවරු අතර ඉතා සැර පරුශ
මෙන් පෙනුන, දැඩි
විනයගරුක ශල්ය වෛද්ය ෆිලිප් වීරසිංහම්, මහාචාර්ය ශෙරිෆ්ඩීන් අනාගතයට කමටහන්
දුන්නා කියන්න පුලුවන්. විශේශඥ පුහුනුවේ කොලඹ ජාතික ඇස් රෝහලේ ඉගැන්නූ විනය සහ
සුරුකම් අතින් ඊටත් එහා දැඩි විනයධාරීන් වූ විශේශඥ වෛද්ය චරිත් ෆොන්සේකා, අසෝක මකුලොලුව ගුරු දෙවිවරු මාව කෝවකට
දාලා මකලා හැදුවා වගේ! අවංකව වැඩ කිරීම, කිසි විටක මුදල් අවභාවිත නොකිරීම, රාජ්ය සේවය දේව කාරිය මෙන් සැලකීම මම
දුටුවා එතුමන්ලාගෙන්.
1998
පටන්ගත්
වෛද්ය පාද යාත්රාව ඉතාම විසිතුරු ගමනක් උනා අම්මේ, තාත්තේ, මගේ ගුරු දේව දේවතාවියනේ.. මගේ
දෙමවුපියෝ මගේ බිරිඳ සහ මගේ ලමයි තමන් වැදූ දරුවන් මෙන් ඇඟපත සෝදා කවා පොවා
ඉස්කෝලෙ- පන්ති හොඳින් උගන්වා වැදගත් වැඩිහිටියන් කරද්දී මම යාපනය, වවුනියාව, පොලොන්නරුව, කන්තලේ, සේරුවිල සිට නාවලපිටිය, රත්නපුර හරහා දකුනේ හම්බන්තොට දක්වා
හැම පසල් දනව්වක ඇවිදිමින් මගෙ රාජකාරිය දේවකාරිය කරගෙන වැඩ කලා අවුරුදු 28ක්! වැව් බැඳි රාජ්ජේ කාශ්ඨක පොලව
එක්ක හැප්පෙන අය, මේ දොලොස් දහස් රට දකුනේ මිනිස්සු මට
අම්මා තාත්තා උනා; කාර්ය මන්ඩල පවුලේම අය වෙලා. මේ වැඩ
කල හැම තැනකින්ම නික්ම යන්න උනේ සෝ කඳුලු ගංගා මැදින්
මම මේ කියන්නෙ මගෙ කතාවම නෙමේ. මේ තමා
ලංකාවෙ පර්යන්ත වෛද්යවරුන්ගෙ වෛද්යවරියන්ගෙ කතාව. අහිකුන්ඨික ජීවිතවල දුක
සතුටින් වලඳමින්, ඉන්න තැන් වල වාට්ටු,
ක්ලිනික්, ශල්යාගාර අපට හම්බ උන තත්ත්වයට වඩා
පොඩ්ඩක් හරි දියුනු කරමින්, ලෙඩ්ඩුන්ට මොන මට්ටමෙන් හරි සත්කාර
කරමින්, සෝමාලි වැටුපකට එක්සත් රාජධානි මට්ටමේ
රෝගී සත්කාර දෙන්නට කැස කවන්නන් අතරෙ මට ඉහලින් ඉන්න අය සංඛ්යාව හිතාගන්න බැරි
තරම්. ඒ වගේම තමා මේ දිවයිනේ වැඩ කරන හෙද- හෙදි නිලධාරීන්, පවුල් සෞඛ්ය, මහජන සෞඛ්ය පරීක්ශක, රසායනාගාර, සාත්තු සේවක, සුලු සේවක සුව විරුවන් වැඩි හරියක්
රෝගී සත්කාර මත්තේම නැහෙන අය. සිය පවුල් වගකීම් කැප කරමින් සිය රාජකාරිය දේව කාරිය
කරගත්ත අය. තමන්ගෙ බත් එක ලෙඩ්ඩුන්ට දෙන අය. මේ ගැන ඇමරිකන් කවියෙකු වන රොබර්ට් ෆ්රොස්ට්ගෙ
මනරම් කවියක පින්තූරයක් දාන්නම් මම රස විඳින්න.
ඒත් මේ ගොඩක් අය ‘වැරදි’ කරනවා! ක්රියාන්විත පලාත් වල වැඩ
කරද්දි කෘශ උන අසනීප ලමයි වාට්ටු වල බොරුවට නවත්තලා අපි එයාලාට high
protein diet දුන්නා.
ඒ වගේ ‘වැරදි’; මම ඒ කාලෙ ඒවට කියන්නෙ සම්යක් වැරදි
කියලා! තව ඒවගෙ වැරදි තියනවා කිව්වොත් සෞඛ්ය සේවයපකඩා වැටෙන!
මම කරපු ‘වැරදි’ බොහොමයි. මම කන්තලේ කැඩිච්ච ECG
machine හදලා
හැම පපුවෙ අමාරුවකටම ත්රිකුනාමලයට ලෙඩ්ඩු transfer කරන එක නැවැත්තුවා. ඒවා නැවැත්තුවාම
අසතුටට පත් වෙන අය හිටියා කීප දෙනෙක්!
නාවලපිටිය, හම්බන්තොට ඇස් ඒකක දෙකම මම යද්දි
පුංචි නිදන කාමර වගේ. අද ඒවා රූස්ස ගොඩනැගිලි! ඒවාට කල ‘වැරදි’ කවදහරි මට පල දේවි. විශේශයෙන්
නාවලපිටිය හදද්දි ඒකට මුල් උන නාවලපිටියෙ සිංහ සමාජය එක්ක අත්වැල් බැඳගෙන මට වසර
ගනනාවක් LCIF සහ
WHO සංවිධාන
සමග ලියුම් ගනුදෙනු කරන්න උනා. එතකොට මම හම්බන්තොට; LCIF පරීක්ශකයො නාවලපිටිය බලන්න එද්දි මම
හම්බන්තොටින් නාවලපිටියට ඇවිත් ඉන්න අක්ශි ශල්ය වෛද්යතුමා ‘වහන් කර’ තනියම සුද සැත්කම් 100
කරනවා.
එහෙම කරලා ඔවුන් නොමග ඇර විදෙස් ආධාර ‘සොරකම්’ කර අපි නාවලපිටිය, මහනුවර අක්ශි රෝහල කිට්ටුවටම දියුනු
කලා. හම්බන්තොට staff එකත් උදව් කලා නාවලපිටිය staff
එකට
ඒ හොර වැඩ වලට. ඒ ලිපි ලියද්දි මම කල සංඛ්යාන කපටිකම් වංචා එමටයි. මට යන්න අපායක්
නෑ ගුරු දෙගුරුනි!
රත්නපුරත් එහෙමයි. මම, ලලන්ත, සංජීව කරපු සම්යක් හරඹ නිසා අද ඒක
මහා වෘක්ශයක්, සිය දහස් ගනනකට පෙනුම දානය කරන.
අද හම්බන්තොට අක්ශි ඒකකය ලංකාවේ හොඳම
නැගීගෙන එන අක්ශි ඒකකය. ලංකා අක්ශි විශේශඥ විද්යාලයේ සබාපති විශේශඥ අක්ශි ශල්ය
වෛද්ය K. R. දයාවංශ
මැතිතුමා මගේ ඒකකයට ඇවිත් කිව්වේ ‘මෙහෙම eye unit එකක් ලංකාවෙම නෑ බං. උඹනම් මාර යකෙක්
මල්ලි!’ කියල. තව සති කීපයකින් රෝහල් අධ්යක්ශිකා
විශේශඥ වෛද්ය අයන්ති ජයවර්ධන සහ නියෝජ්ය අධ්යක්ශක
තිලිනගේ අප්රතිහත කැපවීම නිසා අති නවීන ලේසර් යන්ත්රයක් හම්බන්තොටට ලැබෙනවා. ඊලඟ
අවුරුද්දෙ අපි තුන් දෙනාගෙ සැලැස්ම OCT Scanner යන්ත්රයක් ගැනීම;
2028 දි
eye angiogram කලහැකි අංගසම්පූර්න viewing suite එකක්. ඒ වෙද්දි අපි ජාතික ඇස් රෝහල
වගේ. දකුනු පලාතෙ සහ යාබද පලාත් වාසීන් තවත් කොලඹ යවන්න ඕන නෑ. හැබැයි ඒවා ලැබෙන්න
නම් මම මේ ක්ලිනික් ලෙඩ්ඩු හා කරන සැත්කම් ප්රමානයන් මෙහෙමම තියාගන්න ඕන. නැත්නම්
ඒවා අවශ්ය ඇයි කියල justify කරන්න බැහැ.
ඒත්.... ඒ හීනය තවදුරටත් මම දකින්නෙ
නෑ. මගෙ ‘වැරදි’ එලි වෙලා! මේ පෝස්ටු වල ඒවා විස්තර
කරනවා! මට සංඛ්යා කපා දමන්න වෙලා. ඒ නිසා ඒ උපකරන වෙන පලාතක, වැරදි නොකරන අක්ශි වෛද්ය ඒකකයකට
යැවේවි!
නුවර එලිය සහ කොලඹ අක්ශි රෝහල් වල ඉතා
සාර්ථකව සුද සැත්කම් කල රෝගීන් ප්රමිතියක් නැති බෙහෙත් නිසා සදහටම අන්ධ වෙද්දිත්, අපේ සැත්කම් වල ආසාදන නිසා අන්ධ වූවන්
ගනන zero! එකම
එක්කෙනෙක්වත් නෑ!! ඒ මේ ඉකා සැරපරුශ යක්ශ මම, මට විශ්වාස බෙහෙත් විතරක් සැත්කම්
අවසානයේ පාවිච්චි කරන්න නියම කරන නිසා. දැන් දවස ගානෙ වෙනස් වෙන brand එකක් නිසා,
safety සහ
efficacy ඉතිහාස සැක සහිත බෙහෙත් නිසා සදහටම අන්ධ උනොත්...... ඒත් අර ‘වැරැද්ද’ කරන්න එපාලු. ජාතික රෝහලේ වගේ සිය
ගනන් අන්ධ උනොත් ඒ වැරැද්ද හරි ගස්සන්න බෑ. මම මොකද්ද ඉදිරියට කල යුත්තේ?
වැඩ තියෙද්දි වැඩම කරන, ගෙදර යන්න වෙලාවක් නැත්නම් theatre
එකෙම
මෙට්ටයක් එලාගෙන නිදාගන්න මගෙ කාර්ය මන්ඩලයෙ කාරුනික සත්කාර නිසා රත්නපුර, බලංගොඩ, වැල්ලවාය, බුත්තල, කොලොන්න, සූරියකන්ද, මාතර, අම්පාර වැනි පලාත් වලින් පවා ඇදී එන
අම්මලා තාත්තලා මට සමාවෙන්න. මාසෙට 600 සැත්කම් කල මට මින් මතුවට කරන්න
වෙන්නෙ මාසෙට 100 විතරක්
වෙන්න පුලුවන්. නැති බෙහෙත්, ශල්ය අයිතමයන් local
purchase කල
වේගෙට ලැබෙන්නෙ නෑ. ඉස්පිරිතාලෙ LP quota එක ඇස් වලට විතරක් නෙමේ ලමා- පිලිකා-
වකුගඩු- ආදී නොයෙක් අංශ වලට ප්රමුඛතා පරිපාටියකට අනුව බෙදෙන්න ඕන. කාච නැති එක, බෙහෙත් නැති එක තව දුරටත් මගෙ ප්රශ්නයක්
කරගන්න එපාලු; ‘කොහොම හරි’ ඒවා ලබාගෙන වැඩ කරන්න ගිහින් රස්සාව
නැති වෙයිලු.
මෙච්චර කාලෙකට කිසි කෙනෙක් කාචෙ නෑ
කියල මම නොකර ඉඳල නෑ. අපිට කාච ඒමේ ප්රමාදයක් තිබුනොත් එංගලන්තය, හොංකොං, මැලේසියානු රටවල මිතුරන් හරහා ලබාගෙන,
donation ලබා
දීමේ රජය නියම කල පරිපාටියට අනුව ඒවා ටිකක් කල් ගිහින් හරි කලා. ඒ විස්තර රෝහල්
රෙජිස්ටර වල තියනවා විගනනයකට විවෘතව. කැමති අයට, විශේශයෙන් තරුන අයට, සිය අභිමතය පරිදි දශක ගනනාවක් ලෝකයේ මිලියන් ගනනක් භාවිත කර ඇති ඉහල ප්රමිතියේ කාච ගෙනවිත් කරගන්න ඉඩ දුන්නා. සමහර කාච කිසි හේතුවක් නැතිව අවුරුදු ගනනාවකට පසු සුදු වෙලා යනවා. ඊටපස්සෙ ඒක අයින් කර අලුත් කාචයක් දැමීම ඉතා සංකීර්න වැඩක්; අසාර්ථක වෙන සම්භාවිතාව වැඩී. එහෙම
කාචයක් දාගන්න කවුද කැමති? අලුතෙන් එන කාච වල safety
& efficacy records සැක සහිත නම් අවුරුදු 25
අක්ශි
වෛද්යවරයෙක් වෙන මට ලෙඩ්ඩු වෙනුවෙන් තීරනයක් ගන්න බැරිද එතකොට?
රෝහලේ සියලු සැත්කම් කරන්නෙ මගෙ පුද්ගලික ඉස්තරම්ම උපකරන
වලින්; ඒවායෙ වටිනාකම ලක්ශ 120
ක්
විතර. ලෙඩ්ඩුන්ට කැමැත්තෙන් සිය සැත්කම් සඳහා වියදම් කරන්න තහනම් නම් මගෙ උපකරන
පාවිච්චි කරන්නත් මම බැඳිල නෑනෙ? කවදා හෝ උපකරන ලැබෙනකම් හැමදාම ශල්යාගාරයට
ගිහින් කරන්න වැඩ නැති නිසා සමාජ මාධ්ය වල කාට හරි හූනියම් කරකර ඉන්නම්?
හම්බන්තොට වැඩ කරන ගමන්, සෞඛ්ය අමාත්යාංශය විසින් අඳුනාගත්
පලාත් වල සුද සැත්කම් පොරොත්තු ලේඛන අඩු කරන්න රත්නපුර සහ හම්බන්තොට අපි ගියා
යාපනේ, කරාපිටිය, ගම්පොල, මාතර... ඉදිරියට අපි යන්න ඉන්නවා
කරාපිටිය, නුවර එලිය රෝහල් වලට. ඒ ඔක්කොම කරන්නේ
ගෙදර ආදරනීයයන් එක්ක ඉන්න ඉතුරු වෙලා තියන වටිනා සති අන්ත කැප කරමින්. ඒවට තව
දුරටත් උර නොදී ඉන්නම් නේද?
මින් මත්තට විශාල සංඛ්යාවක් සැත්කම්
කරන්න වෙන්නෙ නෑ සතිය ගානේ. එතකොට නොකලහම සදහටම අන්ධ වෙන අය නිසා මට පවු සිද්ධ වෙනවද?
හොඳටම
මොරපු සුද, ඉතා හොඳ බෙහෙත් නිසා ඔපරේශන් කල
හැටියේ මැජික් වගේ ඉස්තරම් පෙනුමක් ඉස්සරහට ගන්න බැරි
වෙයි ‘වැරදි’ නොකරන නිසා- හැබැයි එතකොට මුදල්
රෙගුලාසි හා අනෙකුත් අන පනත් වලට අනුගත අන්ධ වීමක් නිසා ලෙඩ්ඩු හිත හදා ගනීවිද- මේ
අන්ධභාවය නීත්යානුකූලයි කියල?
අඩු වයසේ රෝගීන්ට ඉස්තරම්,
clinical efficacy සහ safety records තියන Viscoat, Discovisc වැනි ඇමරිකානු බෙහෙත් පාවිච්චි නොකර
නොදන්න brand යොදලා, තව අවුරුදු විස්සකින් විතර කලු
ඉංගිරියාවට කෙලවුනාම එතකොට ඉන්න යූටියබර්ලා මට මොනව කරයිද?
ඇත්තටම මම මොකද්ද කල යුත්තේ?
ඒවා
ලැබෙනකම් රෝගීන් බලා සිටිය යුතුද?
මම සමාජ මාධ්ය වල සැරිසරන්නෙ බොහොම
කලාතුරකින්. දවසකට පැය 16-18 වැඩ කරන මට ඕවට වෙලාවකුත් නෑ වගේම
සමාජ සාධාරනය නාමයෙන් වෛරය වැපිරීම සහ හොඳින් කාර්යක්ශමව වැඩ කරන ආයතන විනාශ
කිරීමෙන් බඩ වියත රැකගන්නවුන්ට ඔවුන්ගේ පෝස්ටු දැකීමෙනුත් ප්රතිලාභ ගෙන දෙන
බැවිනුත් කොහෙමෙත් ඒවා බලන්නෙ නෑ. මේ පෝස්ටු සතේකට ගනන් නොගන්න මම මේ ටික හරි
ලිව්වේ කාරනා දෙකක් නිසා.
1.
මගෙ
ආදරනීය හම්බන්තොට වෛද්යවරු සහ කාර්ය මන්ඩලය වෙනුවෙන්. මේ වීඩියෝවෙ පෙන්වන හෙද
නිලධාරිනීය ඉතාම වගකීමෙන් වැඩ කරන අවංක දක්ශ කෙනෙක්. එතුමිය මෙසේ අපවාදයට ලක්වීම
කිසිසේත් නොවිය යුත්තක්. මම එතුමිය වෙනුවෙන් කොන්දේසි විරහිතව හිටගන්නවා මගෙ
රස්සාවට මොනව උනත්. ඇය දෙන්නෙ මම දෙන්නැයි නියම කරන උපදෙස්. එතුමියට ගරහන්න එපා
මටම ගරහන්න.
2.
අපි
වගේ තමා ලංකාව පුරා වරෙක සුව විරුවන් වෙන වරෙක හතුරන් වෙන සියලුම සෞඛ්ය නිලයන් දරන අය. ටික දෙනෙක්
වෙනස් උනාට 95% වඩා
ඉන්නෙ මහත් කැප වීමෙන් මේ සේවය පවත්තගන්න, මටත් වඩා කැප වෙච්ච අය;
ඔයාලා
පරිස්සම් වෙන්න. ‘වැරදි’ කරන්න ගිහින් ලැබෙන නිර්වචනයක් නිසා
වෙන හානිය, සිත් තැවුල වටහාගන්න. කාටහරි
ගිනිගෙඩියක් පහත් උනහම ඒවා අභිරුචියෙන් විඳින, share කරන, කවදාවත් තමන්ට වැරැද්දක් නොකල, දැකලවත් නැතිකෙනෙක්ට පරුශ වචනයෙන්
බනින වෛරය ද්වේශය පතුරුවන එක අවිද්යාව නිසා කරන බව දැක සමාව දෙන්න; හැබැයි පරිස්සම් වෙන්න. හැම ගැරහීමක්ම
පිටුපස ඔබ අතරෙම ඔබට විරුද්ධ ඊරිසියාවෙන් අන්ධ වෙච්ච යුදාස්ලා පේතෘස්ලා ඉන්න බව
තේරුම් ගන්න. අවුරුද්දක පඩිය සතියට ලැබෙන විදෙස් රස්සා වලට අඬ ගහද්දී පවතින කුමන
රජයකට උනත් පක්ශපාතීව, මේ සේවය ‘නොවැටී අල්ලාගෙන’ යන ඔබ සියලු දෙනාටම මගෙ ගෞරවනීය ආචාරය
මා වෙනුවෙන් පෙනී සිටින, මා සහ මගේ කාර්යමන්ඩලය වෙනුවෙන් නිර්භීතව කතා කරන රත්නපුර අක්ශි කාර්ය මන්ඩලයට, සියලු අම්මලා තාත්තලාට, කිසිදා දැක අසා නැති මහත්ම මහත්මීන්ට, අමාත්යාංශයට මේ හම්බන්තොට අක්ශි ඒකකය සොහොනට යවන ප්රයත්නයේ ලඟදීම වෙන බියකරු විනාසය වලක්වන්න හදන ඔබ සියල්ලන්ටම පින්
ලංකාවෙ හැම අස්සකම දශක තුනක් අවංකව කාර්යක්ශමව වැඩ කල, දවසට පැය 10-12 වැඩ කල පහුගිය අවුරුදු 15ට මූලික වැටුප මිස අතිකාල වශයෙන් එක සතයක් වැටුපට නොගත් සෞඛ්ය සේවකයෙක්ගෙ චරිතය, කවදාවත් එහෙම සමාජයට කැප කිරීමක් නොකල, කැමරාවක් ඉස්සරහ කතා කරන එකත්, හොර රහසේ වීඩියෝ කිරීමත් එකම හැකියා උන කෙනෙක්ට විනාස කරන්න පුලුවන් නම්.... එක අතකට තව දුරටත් මේ රටට වැඩ කරන එකෙ තේරුමකුත් නෑ හැබැයි!







