අද ඇත්තටම වෙන post එකක් දාන්න බාගෙට හදලා හෙම හිටියේ. ඒත් පෝය කියලා
මතක් උනහම අදහස වෙනස් උනා!
ඉස්සර blog වල මෙයාකාර දහම් post පල වුන මතකයි. මාර
විවිධාංගීකරනයක් තිබ්බෙ! බස්සානම් කියයන්නේ ඉතින් blog
ලොව උනත් අනිත්‍යය දහමට යටයි කියල හිටං. ඔන්න ඒ පෙර බරණැස් blog පුරවර සිහිවීම පිණිස මෙහෙව් ධාර්මික පෝස්ටුවක් පබිලිස් කරන්නම්.
පෝස්ටුට හේතුභූත උනේ බුකියේ ඉහළ පහල යද්දී එකපෙලට හමුවුන
video කීපයක්. ඔක්කොම වල
සාරාංශය අහිමිවීම - දුක. බල්ලා අසනීප වෙලා අඬනවා. සැමියා මැරිල, බිරිද අඬනවා.
දරුවා මැරිලා අම්ම අඬනවා. ඔයාකාර අඬන video list එකක් අස්සේ නමකුත් ඔලුවට ගියා... මල්ලිකා 🧠
එකපාරටම මතක අතරින් කෝසල මල්ලිකා දේවිය එක්ක මේ දුක
සම්බන්ධව අහලා තියෙන කතාවක් මීටර් උනා!
ඒ වගේම කොසොල් රජු පහු කාලෙක ශාක්‍යය ජනපදයෙනුත්
කුමාරිකාවක් ඕනෙමයි කියල ඉල්ලලා තියෙනව. ඒ ශාක්‍යය කුලේ වංශවත්භාවය තම නමට ගාවගන්න
තිබිච්ච උවමනා, රාජ්‍යය අතර සහයෝගීතාව වැඩිකරගන්න වගේ කාරණා වෙන්නට පුළුවන්. ඒත් තමන්ගේ
වංශය හෑල්ලු නොවෙන්න වගබලාගන්න ශාක්‍යයෝ උපායෙන්... නියම කුමාරිකාවක් නොවන, ඒත් බොහොම
රූපවත් කාන්තාවක් කොසොල් දනව්වට ලබා දෙනව. ඇයගේ නම තමයි වාසභ කත්තියා.
වාසභකත්තියාට දාව ඉපදෙන විඩූඪහ කුමාරයා
වැඩිවියට ඇවිත් මේ ගැන දැනගෙන තමයි අර කරාය කියන ශාක්‍යය සංහාරයෙන්... ඒකට
පළිගන්නෙ. එයින් ඉතුරු වුන ශාක්‍යය සුළු පිරිසෙන් මෞර්ය වංශය ගොඩනැගුන බව තමයි කියවෙන්නෙ.
ඒ මෞර්යය අධිරාජ්‍යයේ උසස්ම පාලකයා විදිහට සඳහන් වෙන්නෙ ධර්මාශෝක රජුනෙ. ඒ උනාට
අශෝකගේ සීයත් ඇවිල්ල එසේමේසේ පුද්ගලයෙක් නෙමේ. ඔහු තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මුළු
දඹදිවම තනි පාලනයකට ගන්න සමත්වුනු චන්ද්‍රගුප්තට අපූරු උපදේශකකුත් ඉඳල
තියෙනව. ඔහු තමයි කෞටිල්‍යය නමින් හඳුන්වන චාණක්‍යය බ්‍රාහ්මණයා (විෂ්ණුගුප්ත
කියලත් කියනවාද මන්ද). කවුරුත් දන්න කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය කියන රාජ්‍යය පාලනය
ගැන ඉගෙන ගත හැකි වටිනා පොතේ රචකයාද ඔහුයි. ඔහුගේද උදව් එක්ක විශාල යුධ සංහාර මතින් තමා චන්ද්‍රගුප්ත දීප
චක්‍රවර්තී කිරුළ දරන්නෙ.
(එතකොට මට ඇතිවෙන ගැටළුවක් තමයි ලෝකේ වැඩිම යුධ ජයග්‍රාහකයා චින්ගීස් ඛාන්ද, නැත්තම් චන්ද්‍රගුප්තද කියල. මොකද ඒ තරමටම යුද්ධ කරල
තමයි චන්ද්‍රගුප්ත මෞර්යය අධිරාජ්‍යය ගොඩනගන්නෙ. එයට නොදෙවැනි වෙන්න තිබුනා අශෝකත්
යුධ මාරගයේ දිගටම ගියානම් !)
ආයෙම කතාවට
ගියොත් 😉
ඔය අතරේ තවත් මල්ලිකා කෙනෙක් ඉන්නවා කොසොල් දනව්වේ. ඒ
තමයි කොසොල් රජතුමාගේ සෙන්පති වෙච්ච බන්දුල මල්ලගේ බිරිඳ... බන්දුල මල්ලිකා. එතකොට
මේ මල්ලිකාට ඇතිවෙච්ච දොළදුකක් සංසිඳවන්න, තනියෙම ලිච්චවී රාජ්‍යයට ඇයවත් එක්කරන්
ගියා කියනවානෙ මේ බන්දුල සෙන්පති. දොළදුක තමයිලු ලිච්චවී රාජකුමාරයන් විතරක්
පරිහරණය කරන ජල තටාකයෙන් ස්නානය කිරීම. කුමාරවරු පිරිසකට සටනකුත් දීල තමයි බන්දුලමල්ලට
ආපහු එන්න හම්බෙලා තියෙන්නෙ. ඔයාකාර එඩිතර කොසොල් රජතුමා, බන්දුල මල්ල වගේ අය හන්ද
රාජ්‍යයත් බොහොම ශක්තිමත්ව තියෙන්න ඇති.
ඔන්න ඉතින් ඔහොම රට ශක්තිමත්ව, සාමකාමීව යද්දී... කොසොල්
රජතුමාට දවසක් අහන්න හම්බවෙනව බුදුහාමුදුරුවෝ කිව්වාය කියල “ප්‍රිය දෙයින් තමයි
දුක උපදින්නේ” කියල.
රජතුමා කල්පනා කරනව... මේ හරුපේ තේරුම මොකක්ද! කැමති
දේවල් වලින්නෙ සැප, සතුට උපදින්නෙ. අපේ මල්ලිකාට මොලේ තිබ්බට මොකද බණ අහන්න යන්නේ
මෙහෙමත් අයගෙන් නෙ කියල අගමෙහෙසියට ඉතින් විහිලු කරාලු. මල්ලිකා දේවියත් එකපාරටම
මේකට උත්තර නොදී බුදුන් හමුවට කෙනෙක් යවලා මේ කතාවේ අගමුල අහගත්තා.
ඉතින් රජතුමාත් නිදහස් වෙලාවක් බලලා නුවණක්කාර මල්ලිකා
ගිහින් අහනවලු ‘රජතුමනී ඔබතුමා පණ වගේ ආදරේ කරන දුව නැතිවුනොත් එහෙම...?’. රජතුමාට
කේන්ති ගිහින් ‘දූ කුමාරි නැති උනොත් හොඳට තියෙයි. අගබිසව මොනවද මේ කියන්නෙ’ කියල
ඇහුවලු. ආයෙම බිසව ‘එහෙනම් වාසභ කත්තියා මැරුනොත්...... නැත්තම් මට මොනවා හරි
උනොත්’ කියල අහල.
රජතුමාට ඒ වෙලාවෙත් කේන්ති ගිහින් ‘මගේ ප්‍රාණසම අයට
කරදර, මරණ එද්දී මම කොහොමද
දරාගෙන ඉන්නෙ’ කියල, ඔය කතානම් තවත් කතා කරන්න එපා කිව්වලු.
එතකොට මල්ල්ලිකා දේවි රජතුමාට කියනව “ඔය ගැන තමයි ඉතින් බුදුහාමුදුරුවෝ
කියල තියෙන්නෙ”.
පෝදා විකාශය නිමි.
ස්වස්ති සිද්ධම් 😇!