වැව් දියෙන් වගේ නෙවේ වැහි දියෙන් ගොවිතැන් කරන රටවල්, පළාත්. ඒ අය වැහි දිය විස්සාස කරලයි උදලු මිට අතට ගන්නෙ. සුබාවදරුමෙ මාරු වෙච්චිකොට අහස බලලා වැස්ස එන දවසක් තීරණය කොරන්ට හරියටම බැහැ. එහෙව් දේසෙ, රේඩියෝව කන ළඟ තියං කාලගුණ විස්තරේ අහගෙන කාෂ්ටක රටේ ගොවිතැන් කරන ගොවියෙක්... ගොවි ගම්මානයක්.

මෙය අධ්‍යක්ෂණය කරමින් පියාගේ චරිතය රඟදක්වන්නෙ කවුරුත් දන්න 12 Years a Slave (2013) එකේ රඟපෑ Chiwetel Ejiofor.

සත්‍යය සිදුවීමක් පාදක කරගෙන 2019දී නිර්මාණය වුන The Boy Who Harnessed The Wind (2019) සිනමා පටය අද කාලෙට හොඳටම ගැලපෙනව. කුඩා දරුවෙක් තමුන්ගෙ පවුල හා ගම සාගතයෙන්, වතුර නැතිකමින්, දරිද්‍රතාවන්ගෙන් විඳින පීඩා ගැන සංවේදී වෙලා... ඉගෙනගත් දැනුමෙන් එයට පිළියමක් සොයන්න වෙහෙසෙන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

සංවේදී විලියම් ගම අතහැරලා යන්න අකමැති තාත්තටම ඔබින දරුවෙක්... හැබැයි දන්න දේවලුත් එක්ක අත්හදා බැලීම් කරමින් වෙනස් යමක් කරන්න ඔහු උත්සහ කරනව. නමුත් සාම්ප්‍රදායික පියාට අවශ්‍ය ශරීරය වෙහෙසලා වැඩ කිරීමත්, ළමයා ඉගෙනුමෙන් පස්සෙ තම වැඩවලට දායක වීමත් පමණයි. විශ්වාසය, පවුල, ආදරය, පරාර්ථකාමය... අත් නොහැරි විලියම් තම ප්‍රයත්නයද අත් හරින්න ලැහැස්ති නැහැ.

සාමානයෙන් අද කාලෙ... පවුලේ ප්‍රශ්න, අඩදබර වගේ කාරණා නිසා ළමයි පවුල අතහැරලා යන්නෙ බැරිම මොහොතෙ නෙමේ... පුළුවන් වෙන පළමු මොහොතෙ. ඒ කියන්නෙ... අද සමාජය පොඩි කාලෙ ඉඳල හුරු වෙලා තියෙන්නෙ ප්‍රශ්න, ගැටළු ආහම උත්තර / විසඳුම් හොයන්න නෙමේ ඒවයෙන් පැනලා යන්න. නැතිනං අත පිහදාන් පැත්තකට වෙන්න. අන්තිම විසඳුම ඒක නම් ඒකට කමක් නෑ. ඒත් පළමු විසඳුම ඒකම ද...?

දවසකට එක වේලක් කෑම / ආධාර ලැබෙන තුරු පෝලිමේ සිටීම

පැය දෙකකට ආසන්න ධාවන කාලයක් තියෙන මේ සිනමා පටය... වෙලාවක් තියෙනව නම් බලන්න වෙලාවක් වෙන්කර ගන්න.

ෆිලුමෙ බැතිබර අනුග්‍රහය - පංචතන්තුරේ නිදි තුමා


චෙස්. මං තුමා ආසම ක්‍රීඩාවක් තමයි චෙස් කියන්නෙ... සෙල්ලං කරන්න බැරි උනත්. මේක කැරම් වාගේ ලේෂි කෙලියක් නොවන නිසාත්, චෙස් දන්න පරානයකින් ඉගෙන ගන්නවා කියන එකත් මේ කපේදි වෙන වැඩක් නොවන නිසාත්, පොතක් බලාන චෙස් ඉගෙන ගන්න හදනවා කියන්නෙත් ඉතා කම්මැලි හා නීරස වැඩක් නිසාත්... චෙස් සෙල්ලං තාම මං නොදනී. ඒ එක්කම කාලයක් මං තුමා හිතාන හිටියෙ වන්සවත් රටෙන් චෙස් කෙලිය බිහිවුනාය කියල හිට. ඒ වගේම සමහර පිරිසක් අදටත් දන්නෙ සහ දරන්නේ ඒ මතයයි.

චෙස් ක්‍රීඩාවේ මුල්... ඉතිහාසයේ වසර 1500කට ආසන්න කාලයක් තරමට දිවයන බව තමයි කරුණු කාරනා දන්න ඈයො කියන්නෙ.

මේ චෙස් කෙලියෙ මූලාරම්භය විදිහට සටහන් වෙන්නෙ ඉන්දියාවේ කියලා තමයි සොයාගැනීම් වලින් තහවුරු වෙන්නෙ හා බහුතර පිළිගැනීම. ඉන්දියාවේ එදා මේ ක්‍රීඩාව හඳුන්වල තියෙන්නෙ චතුරංගනීනමින්. චතුරංගනී කියන්නෙ සතර ඝනයා කියන එකනෙ. ඇත්, ඇස්, රිය, පාබල යන කොටස් හතරකින් යුත් සේනාව තමයි... රජ කෙනෙකුට අයත් චතුරංගනී සේනාව.

මේ ක්‍රීඩාව එදා යුධෝපායන් පුහුණුවන රජ කුමාරවරු ලද පුහුණුවක් විදිහටත් සමහරු හඳුන්වල තියෙනව. කොහොම උනත් එදා චතුරංගනී ක්‍රීඩාව අද තත්වයට ඇවිත් තියෙන්නෙ සමහර වෙනස්කම් සහිතවයි. එදා ඒ සඳහා කැට, දාදු වැනි ඉත්තන් භාවිත උනු බව තමයි දැනගන්නට තියෙන්නෙ. වෙළඳාම් සඳහා රට රටවල් අතර ඇතිවන ගමනාගමනය තුලින් ඉන්දියාවෙන් මේ ක්‍රීඩාව පර්සියාවට ගිය බවත්, අරාබිය පර්සියාව ආක්‍රමණයෙන් මේ ක්‍රීඩාව මුස්ලිම් ලෝකයටත්... පසුව දකුණු යුරෝපයටත් ගිය බව තමයි සඳහන් වෙන්නෙ. ඔහොම ව්‍යාප්ත වෙලා ලෝකේ පුරා මේ ක්‍රීඩාව ඒ රට රටවල්වල හැඩයනට ආදේශ වෙමින් ජනප්‍රිය වෙනවා. ඒ නිසා ක්‍රීඩාවේ විවිධ ප්‍රභේදයන් ඔවුනට ආවේනිකව බිහි වී තියෙනව.... අද චෙස් ලෙස භාවිත වන ලෝක සම්මත තත්වයට එන්නට කලියෙන්.

එදා මෙයට ඉන්දියාවේ බ්‍රහ්ම/හින්දු ආගමෙන් යම් බලපෑම් ඇති වී ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම යුරෝපයේදී ක්‍රිස්තියානි පල්ලි වලින්ද, අරාබියේදි මුස්ලිම් ආගමෙන්ද සම්බාධක ඇතිව තියෙනව. (බොහෝ විට මෙය සූදුවක් ලෙස ආගමික සංස්ථා දකින්නට ඇති නිසා).

10 වන සියවසේ රුසියාවේත් මුළු යුරෝපය පුරාමත් මෙය ව්‍යාප්තව තියෙනව. පසුව යුරෝපයේ මෙය වංශවත් හා උසස් සංස්කෘතිය සමඟ එකතු වු අතර කීර්තිමත් විනෝදාංශයක් ලෙස සැලකුම් ලබා රාජ්‍යය අවධානයද දිනා ගෙන තියෙනව. මුදල් ඔට්ටු හා පරාජයන් දරා ගැනීමට බැරි වීම, අභිමානය බිඳ වැටීම ආදී කාරණාවන් නිසා ප්‍රචණ්ඩත්වයද වර්ධනය විනි. ඒ වගේම ලන්ඩන් හි මරණයන්ද වාර්තාව ඇත.

පසු කාලයේ චෙස් සංගම්, සමාජ බිහිවී වෘත්තීය මට්ටමකට පත්ව තියෙනව. මේ සඳහා භාවිත වුනු නම්, නීතිරීති වෙනස් වෙමින්, තරඟ කරන කාලය වෙනස් වෙමින්, ඉත්තන්ගේ ස්වරූප වෙනස් වෙමින් අද තිබෙන තත්වයට පත්ව ඇත. කාලයත් සමග කොපි හල්, සමාජ කණ්ඩායම් එක්වන තැන්වලටද චෙස් සෙල්ලම් කිරීම එකතුව තියෙනව.

19 වන ශතවර්ෂයේ දෙවන භාගයේ දී, නවීන චෙස් තරඟාවලි ආරම්භ වී ඇති අතර... පළමු නිල ලෝක චෙස් ශූරතාවලිය 1886 දී පවත්වා ඇත.

1997දී ඒ සමයේ චෙස් ශූර ගැරී කැස්පරොව් පරදවා IBM සුපිරි පරිගණකයක් වන Deep Blue ජයග්‍රහණය කළේය. මෙයත් සමග තාක්ෂණය දියුණු පසු යුගයේ පරිගණක ක්‍රීඩාවක් ලෙසද චෙස් අද දක්වා ප්‍රචලිතව ඇත.


මේ චතුරංගනී (චෙස්) සහ ගණිත හැකියාව ගැන තිබෙන ඉතිහාස කතාවකි. මේ කතාවද විවිධ ආකාරයෙන් අපට හමුවේ. නමුත් ගණිතඥ ශේෂා කියා පුද්ගලයෙක් හා එදවස පැවතී රාජ්‍යය ගැන හමුවූ සාක්ෂි ඇත. (දින නම් වලට වඩා වැදගත් ඉතිහාස ප්‍රවෘත්තිය නෙව)

මේ අද තියෙන තැනට පරිවර්තනය වුනු චෙස් ක්‍රීඩාව එදා සොයා ගත්තා යැයි සැලකෙන්නෙ ඉන්දියාවේ අතීත රජ කෙනෙක් දවස හිටි හිටි ශේෂා පණ්ඩිතයන්ය. සමහර කතා වල ඔහු රජුගේ පුරෝහිතව සිටි බවත් සඳහන් වනවා.

ඔහුගේ මේ පාණ්ඩිත්‍යයට, අගනා ක්‍රීඩාවක් බිහි කල නිසා ඇතිවූ සතුට රජුට උවමනා වුනාලු ශේෂා පණ්ඩිතට තෑගීබෝග දී සතුටු කරන්න. රජු ඒ නිසා පණ්ඩිතයන්ට කියා හිටිය කැමති තෑග්ගක් මාගෙන් ඉල්ලා හිටින්නය කියල... වරයක් වගේ. ඒත් බොහොම සරල ජීවිතයක් ගත කළ මේ පණ්ඩිත තෑගී බෝග වලට නොකැමතිව එය ප්‍රතික්ෂේප කර හිටිය. තීරණයක් ආපසු හරවා නොගන්නා නිසා රජවරු... නැවත පණ්ඩිතයන්ට ඒ ඉල්ලීම සලකා බලන්ට වුනා. මගහැර සිටිය නොහැකි මේ අවස්ථාවේ රජතුමාටත් පාඩම් කියා දීමට සිතූ පණ්ඩිතයෝ අමුතු ආකාරයේ ත්‍යාගයක් ඉල්ලා සිටිය.

රජතුමනි, මං හැදූ පුවරුවේ පළමු කොටුවට එක ධාන්‍ය ඇටයකුත් දෙවැනි කොටුවට පළමු කොටුව මෙන් දෙගුණයක ධාන්‍ය ඇට ටිකකුත් ලෙස ඇට යොදා... අන්තිම කොටුව වන 64වන කොටුවට ලැබෙනා ධාන්‍ය ඇට ටික විතරක් මට ලබා දෙන්න’. කියා කිව්ව. එහිදී රජතුමා අසා සිටියේ පණ්ඩිත ඔබ මට විහිලු කරනවාද? මෙවන් අවස්ථා ලැබිලත්... ඔබ මගෙන් ධාන්‍ය ඇට ඉල්ලන්නේ ඇයි ද කියා ය. නැවතත් පණ්ඩිත රජුහට දන්වමින් කියා සිටියේ දෙනවා නම් තමාට ඒ ධාන්‍ය ප්‍රමාණය පමණක් ලබා දෙන්න කියාය.

පණ්ඩිතගේ හැටි දන්නා නිසාද කොහිදෝ රජතුමා වහාම මේ සඳහා අවශ්‍ය පිරිස් කැඳවා මේ ධාන්‍ය ඇට ප්‍රමාණය ගනන් කර පණ්ඩිතයන්ට දෙන්නට තබන ලෙස දැනුම් දුනි. අවසානයේ බොහෝ කාලයක් ගතකරමින් රජතුමා වෙත පැමිණි ගණිතඥයින්, සේවකයින් කියා සිටියේ එය නම් කෙසේවත් කරන්නට බැරි බවය.

කේන්ති ගිය රජතුමා ඒ මොකදැයි උස් හඬින් අසා සිටි විට පිරිස කරුණු පැහැදිලි කර සිටි අතර ඒ සියලු දෙනාම පණ්ඩිතගේ ගණිත හැකියාව ගැනද විශ්මිත විය.... සහ පණ්ඩිත ඉදිරියේ මුළු රාජ්‍යයක් බාර රජුට තම වචනය ක්‍රියාත්මක කරගැනීමට බැරි විය.

පළමු කොටුව - ධාන්‍ය ඇට 1යි.

දෙවැනි කොටුව - ධාන්‍ය ඇට 2යි. පළමු කොටුවේ මෙන් දෙගුණයක් 1 X 2 = 2

තෙවැනි කොටුව - ධාන්‍ය ඇට 4යි. දෙවැනි කොටුවේ මෙන් දෙගුණයක් 2 X 2 = 4

             මෙහෙම හදන් ගියහම.....

1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024, ….. ලෙස 64 වෙනි කොටුව දක්වා යද්දී එන අගය වෙන්නෙ 18,446,744,073,709,551,615 යන සංඛ්‍යාවයි.

මේ දැක්වෙන තරම් ධාන්‍ය සංඛ්‍යාවක් ලබා දීමට නොහැකි බව සේවකයින් රජතුමාට දන්වා සිටිය. වැඩි දුරටත් සේවකයින් කියා සිටියේ සියලුම ගොඩබිම් වල හා සාගයර තියෙන තැන කඳු කඩා පස් අතුරා... මුළු පෘථිවියම එකම වගා භූමියක් කලද මෙතරම් ධාන්‍ය ප්‍රමාණයක් ලබා ගත හැකි වේදැයි සැක සහිත බවයි.

තවද විසල් ගබඩාවක මේ ධාන්‍ය ගොඩගසා සිටියහොත් එය අහස සිඹින තරම් දුරකට මේ ගබඩාවේ උස ඇතිවන බවයි.

අද වර්තමාන ලෝකයේ ගුණනය වීමේ ක්‍රමය භාවිතා කරනවා. ගුණන වීමේ අගයන් ගැන සොයා බලනවා. විශ්ලේෂණ තියෙනව.

උදා - පිරමීඩ ක්‍රම, පොන්සි සෙල්ලම, බැක්ටීරියා වර්ධනය වීම වගේම කොවිඩ් වෛරසය පැතිරීමේ/ ගුණනය වීම

ඒ වගේම බෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි විෂයන් තුල ගුණනය ගැන විමසන Exponential Growth නම් ඝාතීය වර්ධනය විමසා බලනවා.

 

මේ කතාවේ අවසන් සංඛ්‍යා පරාසය ගත්තොත් අද නවීන ලෝකේ පවා මෙය භාවිත වීම අඩු මට්ටමක තියෙන්නෙ. එදිනෙදා භාවිත නවීන ඩිජිටල් ඝනක යන්ත්‍රයක පවා සංඛ්‍යා 15කට එහා ගණනක් දක්වන්න සකස්කර නැහැ. (Googolplex සංකල්පයක් ලෙස ලෙස පවතී).

බිංදුව (අගය ශුන්‍ය) පවා ගණිතයට ඇතුලත් වෙන්නෙ ඉන්දියාවෙන්.

ඒ වගේම එකයි බිංදු එකසීය හතළිහක් ඇති සංඛ්‍යාවක් ගැන බුදු දහමේ දක්වා තිබෙනවා. (එක සහ ඊට පසු බිංදු 140ක්).

එදා මෙතරම් ගණිතමිනිත ක්‍රම, සංඛ්‍යා භාවිතාව තිබුණා/ දැනගෙන තිබුණා නම් ඒවා කුමක් සඳහා භාවිතා කරන්න ඇතිද?. මේ දැනුම තිබුණ අය අපට වඩා බුද්ධිමත් වෙන්නට ඇති නේද...? ශේෂා අංක 20කින් යුත් සංඛ්‍යාවේ සීමා මායිම් අවබෝධ කරගෙන සිටියේ කොහොමද?

අද නවීන විද්‍යාඥයින්, සමාජ විශ්ලේෂකයින්, පරිණාමය ගැන මත පළ කරන්නන්... මිනිසා පරිනාම ක්‍රියාවලියේ ඉදිරියට යමින් බුද්ධිමත්ව වර්ධනය වන බව කීවත් මට හිතෙන්නෙ අපි බුද්ධියෙන්, මානසික ශක්තියෙන් පිරිහෙමින් යන බවයි. ඒ සිතුවිල්ලට/මතයට මේ අතීත කතා සාක්ෂි දරනවා නෙවෙද. 

චෙස් ගැනයි, තවත් විදිහකට ලියවුනු ඉතිහාස කතාවයි ගැන.... කියවන්න මේකත්

 

කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ කරට්ටුව ගැන විවිධ කතා කීපයක් ජනවහරෙන් පැවත එනවා සේම එකම කතාව විවිධ විදිහටත් දකින්නට හැකි වේ. මේ එවන් කතා දෙකකි.


ඔන්න එකෝමත් එක කාලෙක කැකිල්ලේ රජ්ජුරුවෝ කියල රජ කෙනෙක් හිටිය. ඔහොම ඉන්නකොට රජුට පැමිණිල්ලක් ආව. පැමිණිල්ල තමා... හොරෙක්ගේ ඇඟට ගෙයි බිත්තියක් කඩා වැටී මිය යෑම. වැරදිකරු ගෙයි හිමිකරු කරලා පැමිණිල්ල දමා තිබුණේ හොර රැලේ නායකතුමා විසින්.

රජතුමා වහාම මේ සිද්ධියට අදාලව නීතිය පසිඳලන්ට කටයුතු කර හිටිය. තීන්දුව නම් ඒ ගෙයි අයිතිකරුට මරණ දඬුවම. වහා ක්‍රියාත්මක වූ රාජපුරුෂයෝ අර ගෙයි හිමිකරු කුදලාන රජුගේ දෙපතුල ලඟට ගෙනාව. කෝකටත් නිදහසට කාරණා අහන එක කළ යුත්තක් නිසා රජතුමා ගෙයි හිමිකරුගෙනුත් ඒ ගැන අසා හිටිය. ‘රජතුමනි, බිත්තිය සවිශක්තිමත් නොවුනේ ගෙයි හැදූ බාස්ගේ වරදිනි ’ ගෙයි හිමිකරු මරණ බයින් කියා හිටිය. රජතුමා බැලුවා එකත් අත්ත නෙව... ‘එහෙනං ගෙයි හැදූ බාස්ට මරණ දඬුවම ’ රජු නැවත තීන්දු කළා. රාජපුරුෂයෝ ඔහුවත් රාජ දෙපතුලට කුදලාන ආව. රජා ඔහුටද දඬුවම පෙර නිදහසට කාරණා විමසා හිටිය. ‘රජතුමනි බිත්ති බඳින්ට මැටි අනා දුන් උදව්කරුගේ වරද නිසයි බිත්තිය කඩන් වැටුණේ’ බාස්ද කියා හිටිය. නැවත කාරණා තේරුම් ගත් රජු මරණ දඬුවම අත් උදව්කරුට නියම කළා. දැන් අත් උදව්කරුගේ වෙලාව... නිදහසට කරුණු කියන. ‘රජතුමනී, මාගේ වරදක් නොමැත, බදාම අනන්නට ගත් කට කැඩි කලයේ දෝසය නිසයි මැටි පදමට නාවේ ’. රජතුමා කළ සාදන්නාවද ගෙනත් හිටිය... කට කැඩි කළය නිසා බිත්තියක් ඇඟ මත වැටී සිදුවූ මරණයේ දඬුවම ඔහුට තීන්දු විය.

කළ සාදන කුඹලාද තම අවසානයට පෙර නිදහසට කරුණු කියා හිටිය. ‘රජතුමනී, මම කළ සාදන මොහොතේ ස්තිරියාවක් කෑ ගහමින් ගිය නිසයි කළ හැදීම හරියට කරගන්න බැරිව ගියේ... වරද ඇයගේයි ’. රාජපුරුෂයෝ ස්තිරියාවද මාලිගාවට කුදලාන ආව. ‘රජතුමනී... මේ මොන නස්පැත්තියක්ද, මං කෑ මොර දීගෙන පාරේ ගියේ රන්කරුවා නිසයි. ඔහුට වළල්ලක් සාදන්නට රන් දී බොහෝ කල්, තවමත් එය ඉටුකර දී නැහැ’ ස්තිරියාවද තම නිදහසට කරුණු කියා හිටය. දිගින් දිගටම යන නඩුව නිසා මහත් වෙහෙසටත්, කොපයටත් පත් රජ වහාම රන්කරුවා ගෙන්වා හෙට මඟුල් ඇතු ලවා මරවා... නඩුව හමාර කිරීමට තීන්දු කලා.

රන්කරු මේ මොහොතේ තමාට ගැලවීමක් නම් නොවන බව දැන... රජු ඉදිරියේ තම නිදහසට කාරණා කියා හිටිය කෙසේ හෝ මරණින් ගැලවෙන අදහසින්.

‘පස්වාන් දහසකට බුදුවන්න රජතුමනී, මම වරද පිළිගනිමි. ඒත් ඉතා කෙසඟ මා මඟුල් ඇතු ලවා මරා දැමීම ඔබවහන්සේට මොන තරම් නින්දා සහගත කටයුත්තක් නොවේද. සද්දන්ත ඇතු ඉදිරියේ මේ කෙසඟ මා.. මඟුල් ඇතුගේ පය පවා වේදනාවක් ලබයි මගෙ කටු සිරුර ඇනී. ඒ නිසා රජතුමනී මේ නින්දා සහගත ක්‍රියාව වලක්වා අපේ ගමේ කඩේ කරනා මහත දෙහෙත මුදලාලීව මඟුල් ඇතු හමුවට යවන්න... මා නිදහස් කර’.

අවසානයේ රජුගේ අනින් තර මුදලාලි මඟුල් ඇතුට බිලි විය... ඒ බිත්තිය කඩා වැටීමෙන් සිදුවූ මරණයට වගකිවයුත්තා ලෙස නඩු විභාගයේදී තීන්දු වීම නිසායි.




දිනක් කැකිල්ලේ රජතුමා නඩු තීන්දුවක් මගින් වරදකරුවෙක් බවට පත්කළ රටවැසියෙක් එල්ලා මැරීමට නියෝග ලබා දුන්න. රාජපුරුෂයන් ඔහුව රැගෙන ඒමට ගියත් මේ තැනැත්තා ගෙදර නොහිටි නිසා ආවේ හිස් අතින්මයි. හිස් අතින් ආ රාජපුරුෂයන් දුටු රජු කේන්තියෙන් ගුගුරමින් කියා සිටියේ ‘ඒ මිනිහා ගෙදර නැතිනම් එහා ගෙදර මිනිහාව හරි ගෙන එන්නට එපෑ’ කියාය.

එහා ගෙදර මිනිහා රැගෙන ආ රාජපුරුෂයින් වදකයාට ඔහුව ලබා දුන්න... නියෝගය අනුව එල්ලා මැරීමට. බොහොමත්ම කෘශ මිනිසෙක් වූ මේ රැගෙන ආ පුද්ගලයා එල්ලුම් ගසේ තොණ්ඩුවට හසු නොවිණි. මේ බව සැල කර විට රජතුමා කියා සිටියේ ‘එහෙනම් ඉතින් මහත මිනිහෙක් හරි එල්ලන එකයිනෙ ඇත්තෙ ’ කියයි. ඔය අන්දමින්... එදින කැකිල්ලේ රජුගේ රාජ්‍යයේ දඬුවමක් ක්‍රියාත්මක වුනි.


ඒ වගේම මේ ලිපියත් කියවල බලන්න. වදගත් කරුණු ටිකක් තියෙනව කැකිල්ලේ රජ කතා ගැන....

කැකිල්ලේ රජතුමාගේ කතාව මනඃකල්පිතයක් නොවේ

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්