Showing posts with label ගී - සිංදු. Show all posts
Showing posts with label ගී - සිංදු. Show all posts


කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නෙ ඇයි

බලේ අරන් මොලේ නැතුව වැඩ කරන්නෙ ඇයි

වැඩේ කාල රටත් කාල බලන් ඉන්නෙ ඇයි

ලංකාවේ ඔහොම තමයි I don’t know why

 

දිනපුවාම මෝරාවගේ මහත් වෙන්නෙ ඇයි

පැරදුනාම හූනා වගේ කෙට්ටු වෙන්නෙ ඇයි

හූනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නෙ ඇයි

මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why

 

I don’t know why //

එහෙම වෙන්නෙ ඇයි

මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why

 

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි

නැති එකාට දෙයියො මුකුත් දෙන්නෙ නැත්තෙ ඇයි

පෙර කල පව් පින් අනුවලු එහෙම වෙන්නෙ ඇයි

දෙයියො තමයි ඕව දන්නෙ I don’t know why

 

හිතුමතේ බැඳපු එවුන් සොමියෙ ඉන්නෙ ඇයි

නැකත් බලල කරපු මගුල් කැඩිල යන්නෙ ඇයි

ග්‍රහයො නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි

ග්‍රහයො තමයි ඕව දන්නෙ I don’t know why

 

ඉඩම් කඩම් උගස් තියල ඉගෙන ගන්නෙ ඇයි

ඉගෙන ගත්ත එවුන් පාරෙ හිඟා කන්නෙ ඇයි

අනේ නූගත් අය ලොකු පුටුවල රජ කරන්නෙ ඇයි

ලංකාවේ ඔහොම තමයි I don’t know why

 

සතුට සොයා පොඩි guest house වලට ගියේ ඇයි

ඒ ගියාම පොලීසියෙන් රේප් රේඩ් කෙරුවෙ ඇයි

5 stars හොටෙල් වලට පනින්නැත්තෙ ඇයි

පොලිස් ලොක්කො ඕව දන්නෙ I don’t know why

 

එකෙක් එක්ක දීග කන්න කියල කිව්වෙ ඇයි

අපේ රජගොල්ලෝ අන්තඃපුර දමන් හිටියෙ ඇයි

අනේ ඒ විදිහට දැන් කොරන්න දෙන්නෙ නැත්තෙ ඇයි

ඒ කාලෙන ඉන්න තිබ්බෙ I don’t know why

 

ඉඳල හිටල පොඩි අඩියක් ගහන්නැත්තෙ ඇයි

බීල බීල තව සමහරු සත්තු වෙන්නෙ ඇයි

ගානට අරගෙන මං වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි

මටත් ටිකක් වැඩිද මන්ද I don’t know why

 

බුදුන් වහන්සේ සාමයෙ අගය කිව්වෙ ඇයි

ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිව්වෙ ඇයි

අනේ ඒ කියලත් අපේ එවුන් මරාගන්නෙ ඇයි

යහගුණ දම් පිරිහිලාද මිනිසුන් වල්මත් වෙලාද

අද දෙවියන් අමතක වෙලාද

එහෙම වෙන්නෙ ඇයි I don’t know why


ගායනය - Sunil Perera & Gypsies

 


කළා කෘතියක පොඩි පොඩි කොටස් තුලින් වෙන වෙනම රස ජනිත වෙන්ට පුළුවන්. ඒ වගෙම කොටසක් වෙනම ගෙන රස විඳින්න/ කතා කරන්නත් ඇහැකි කියල... පුරාණ පඬිවරයෙක් අටපට්ටමට කියල තිව්න ☺️. ඔය සමහරු කියන්නෙ ආන් අර සිංදුවේ බටනලා part එක මරු, අර film ඒකෙ fight සීන් ටික මරු කියල...

 

ඒ වගෙ ලක්ෂ්මන් විජේසේකරගෙ 'සඳ කිනිති නැමී' කියන ගීතය අහද්දි එකපාරටම දෙවැනි පද පේළිය එක්ක වෙනස් අදහසක මයෙ ඔලුවට ආව. ඒ හන්ද මේ පෝස්ටුව ඒ ගීයෙ සම්පූර්ණ පද රචනාවත් සමග අදාළත්වයක් නැති වග කරුණාවෙන් තකන්න 😁

 

 " ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ "

 

ආදර සම්බන්ධයෙදී අපේ ආදරය අනෙකාට කියන්නද වඩා කැමති, නැතිනං එයා තමුන්ට ආදරේ කියල කියනවටද... වඩා කැමති?

 

ආදරේ කියන්නෙ ක්‍රියා පදයක්ය කියල අපේ උන්දලාම පාරම්බෑවට මොකද අපි වැඩිපුර කැමති එය ලබන්ට. ලැබෙනව කියල දැනෙනවට. එහෙම නෙ?. ඒක නිසා වෙන්න ඇති සම්බන්ධයක් පටන්ගත්ත ගමනෙ ඉඳල අනිකාගෙන් අහන්නෙ, මැසේජ් කරන්නෙ... ඔයා මට ආදරේ නේද කියල.

 

ඒ විතරක්ද... අඳින ඇඳුම තමන් කැමති එකක් වෙනව නම්, කොන්ඩේ පීරන, යන- එන තැන, ආශ්‍රය කරන අය, එකී මෙකී නොකී බොහෝ දේ තමන් කැමති සීමාවේ ඉඳන් අනෙකා අතින් සිදුවෙනව නම් අපි හරි කැමතියි!

 

අයිතිය කියමින් නීතිය, සමාජය ඉස්සරහ උත්සව ශ්‍රීයෙන් විවාහ වෙන්නෙත් ඉතින් ඒක නිසාම නෙ. (පහුව කෙහෙවලු පටලගන්න එකනං වෙනම දෙයක් 😄)

 

ඉතිං එහෙව් ආත්මාර්ථකාමී අපි අතරින් පිරිසිඳු, සුරම්‍යය ආදරයක් බොහොම දුරද මන්ද.




ඔය එක දේව කතාවකත් මං අහල තියෙනව... මුලින්ම තනි කෙනෙක් මවල පස්සෙ ඒ තනි අය අර්ධ දෙකක් කරාය. ඒකයි මේ ආදරය කියා කියා තමන්ගෙ අනික් අර්ධය හොයාගෙන යන්නෙ කියල.

 

ඒ වගෙම කියවපු එක වෛදික යෝගියෙක්ගෙ අදහසක සඳහන් වෙලා තිව්න 'තම සාරය සෙවීම තමයි මිනිසාගේ පරමාර්ථය විය යුත්තෙ/ වෙන්නෙ' කියල.

එහෙම බැලුවම... අපි භාහිර දේවල් වලින් දකින්න හදන්නෙත්, හොයන්නෙත් තමාවමද?

 

" ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ ..."

 

මේ අදහසම ද මන්ද සේනක බටගොඩගේ 'අපි කවුරුද?' පද පේළියේ තියෙන්නෙත් කියල හිතුන ඒ සිංදුව ඇහෙද්දි

 

 

සීසීකඩ විසිරුනු සිතිවිලි

දියබුබුලේ නලියන පෙනකැටි වාගේ

හුදකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වාගේ

නිමක් නෑ...

 

මෙහොතින් මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

ගීයකි ලොව.. සිතුවම් කල..

 

අතරේ අහනවා බලනව මේ අපි කවුරුද

 

ඉර බැසයන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ

ගලා හැලෙන රිද්මේ නැහැවි

ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලග සේ...

 

මොහොතට මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

 

ඕ.. ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

 රවිතුමාගේ මා ළඟටම තව ළංවෙලා පෝස්ටුව කියෙව්වාම හිටං, මට මේ සින්දුව මතක් උනා. ඒ හන්දා ලංකාදීපෙන් උස්සලා මේ ගී විචාරේ දැම්ම. ටටා ✋

 

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත් සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ හඬ මාධුර්යයෙන් ද ප්‍රවීණ සංගීතවේදී ආනන්ද පෙරේරාගේ මධුර මනෝහර ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මේ අනගි ගී මිණ ශෘංගාර රසය මෙන්ම ලලනා ලාවණ්‍ය ලෝලය ද දල්වයි.

මෑතකදී අප අතරින් වියෝ වූ ආචාර්ය අජන්තා රණසිංහයෝ මේ මනරම් ගීමිණිරුවනෙහි ගේය කාව්‍ය සිත්තරුවෝය. අජන්තා නම ඇසූ සැණින් අප මතකයට නැගෙනුයේ ඉන්දියාවේ අජන්තා ලෙන් හා ඒවායේ ඇති මනරම් බිතු සිතුවම්ය. අජන්තා රණසිංහයන්ගේ නමත් මෙරට ගීත සාහිත බිත මත සිත්තම් කළ සදා නොමැකෙන සුන්දර සිතුවමක් වැනිය. දෙරියන්, සිවුරියන්, නවරියන් පද රචකයන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ දහ අට රියන් ගේය කාව්‍ය සිත්තරුවෙක් වූහ. ගීපද රචකයෝ හතු පිපෙන තරමට බිහිවෙති. එහෙත් සුභාවිත ගීතයට පණ පොවන වාග් චාතුර්යයෙන් පොහොණි ගේය පද සිත්තරුවෝ සුදුර්ලභයෝය. ගීතය වඩාත් භාව පූර්ණ වූ සාහිත්‍ය භාෂණයක් බවට පරිවර්තනය කරමින් දශක ගණනාවක් පුරා සිංහල සුභාවිත ගීතයට ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉටුකළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වෙති.

ගීතය වූ කලි අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකි. ගේය පද රචකයකුගේ සංකල්පනාවකට සංගීතයෙන් හා ගායනයෙන් නව අර්ථකථන ද සම්පාදනය කොටගත හැකිය. එහෙත් ගීතය තුළින් අර්ථය අතික්‍රමණය කළ පුළුල් ආර්ථික, දේශපාලන හා සමාජ පැතිකඩක් නිරූපණය කිරීමේ ශක්‍යතාව සෑම ගේය පද රචකයකුටම නැත. සරල නොගැඹුරු හරසුන් විවරණ වෙනුවට නවීන අර්ථ විවරණ සපයන හුදු ප්‍රකාශන වාගාලාප වෙනුවට සියුම් රස ජනනයට මුලපුරන සාහිත්‍ය රසයෙන් අනූන ගේය කාව්‍ය රචකයෝ ද අද විරල වෙති.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර ආදී පුරෝගාමී සුවිශිෂ්ට ගේය කාව්‍යක්කාරයන්ගේ පෙකෙණිවැල කපාගෙන ලාංකේය ගීත කේෂ්ත්‍රයට පිළිපන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී ඛණ්ඩාර, ධර්මසිරි ගමගේ, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රී විජේසිංහ, වසන්ත කුමාර කොබවක, සුනිල් ආර්.ගමගේ, බන්දුල නානයක්කාරවසම්, බණ්ඩාර ඇහැළියගොඩ ආදීන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉහළින්ම වැජඹෙති. සිංහල ගීත වංශයේ අවිච්ඡින්නව ගලා යන ප්‍රේම ගීතාවලිය පිළිබඳ කතා කරන විට අජන්තා රණ සිංහයන් අමතක කළ නොහැකිය. අජන්තා ගීතාවලිය සැබැවින්ම අනභිභවනීයය. විචිත්‍රෝපශෝභිතය. සබුද්ධිකය. ප්‍රේමයේ විරහා වේදනාව මෙන්ම විපුලම්භ ශෘංගාරය දනවන ගීත ගොන්නක උරුමකරුවෝ ද අජන්තාවෝය.

මේ ගීතයේ කථකයා සිය මංගල රාත්‍රියට මුහුණදී සිටියි. කාම සම්භෝග සම්පර්කයට නොතින් ආසාවෙන් භාවලීලානු රාගයෙන් බලා සිටින ඔහු සිය මනාලියගේ රූපශෝභාව අරබයා උපන් ලෝලයත් එය පාදක කරගෙන නිපන් ශෘංගාරයත් ප්‍රකාශ කරයි. ගීතයකින් සිදුවිය යුත්තේ භාව ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය. එහෙත් අද ඇසෙන බොහෝ ගීත තුළින් සිදුවන්නේ ජුගුප්සිත හැඟීම් ඇති කොට භාව භංග කිරීමය. අජන්තා රණසිංහයන්ගේ විශිෂ්ට පද හරඹ සහිත මේ ගීතයේ පැදි පෙළ හැදෑරීමකින් තොරව සාමාන්‍ය රසිකයාට තේරුම්ගත නොහැකිය. අපි මුලින්ම ගීතයේ ස්ථායි කොටස දෙස අවධානය යොමු කරමු.

 

මුව මුක්තා ලතා - පිපි හංසාන්ගනා

විල් නෙළුමාසනෙන් ආ ළඳේ - නුඹ භාග්‍යා සරෝජාවියේ

ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ

 

මුතුවන් දත් දෙපළක් හිමි මේ හසඟන පැමිණ ඇත්තේ අඟහරු ලෝකයෙන් නොව විල් නෙළුමාසනයකිනි. නෙළුමාසනය හෙවත් පද්මාසනය යනු පාරිශුද්ධත්වයේ සංකේතයකි. මේ කාන්තාවගේ නිර්මලත්වය සුවිශද කිරීමට රචකයා එබඳු බහු අරුත් දනවන වචන යොදාගෙන ගෙන ඇත. සාහිත්‍යයේදී ස්ත්‍රී වර්ණනයට නෙළුම් මල යොදාගැනීම ගතානුගතිකය. එහෙත් ආචාර්ය අජන්තා රණසිංහයෝ අවස්ථාවෝචිතව විවිධත්වයෙන් යුතුව නෙළුමක මහිම කාව්‍යොක්තියට නගති. නම් සියයකින් විතර හැඳින්වෙන මේ අරුම පුදුම පියුම පිළිබඳ මහා කවි කාලිදාසයෝ ද වර්ණනය කරති. ඔහුගේ මහාකාව්‍ය කෘති වන මේඝ දූතය, රඝුවංශය ඊට දෙස් දෙයි. අජන්තා රණසිංහයන්ට අනුව ඇය උපන්නේ විල් නෙළුමාසනයකිනි. මේ වූ කලි නිකන්ම නිකන් හංස දෙනෙක නොව රන් වන් පැහැයෙන් සුදිළෙන ස්වර්ණ වර්ණ හංසදේනුවකි. මෙහිදී කථකයා ඇයට භාග්‍යා සරෝජා යනුවෙන් ද ආමන්ත්‍රණය කරයි. සකු භාෂාවෙන් නෙළුම් මලට සරෝජා යන අරුත දෙයි. මේ වූකලි වාසනාවන්ත නෙළුමක් නොවේද ? සියපත, තඹර, රතුපුල්, අරවින්ද, පංකජ යන යෙදුම් ද කවියෝ නෙළුම්මල අරුත් ගැන්වීම සඳහා යොදා ගනිති. ස්ත්‍රී සෞන්දර්ය තරම් පුරුෂයාගේ නෙත් සිත් වශී කරන මන දොළ වඩන අන්‍ය සුකුමාර සෞන්දර්යයක් මේ විස්මිත විශ්වයේම නැත. මෙයට හේතුව ජීව විද්‍යාත්මක යැයි ඇතමෙක් කියති. එහෙත් එය හුදෙක් ජීව විද්‍යාත්මක කරුණක් පමණක්ම නම් කාන්තාවන්ට නෙත් සිත් වශී කරන රූප ශෝභාව අවශ්‍ය නොවේ. හුදු ස්ත්‍රීත්වය පමණක් ප්‍රමාණවත් වේ.

 

මා හද ප්‍රේමාංගනේ - රෑ නුඹ රහසින් ළඳේ

බඳ මණිමේඛලාව මුදා - අනුරා නෙත් නගන් නොනිදා

 

මෙහිදී කථකයා මනාලියට පවසන්නේ තමන්ගේ හදවත නමැති ප්‍රේමාංගණය රංජනය කරමින් ඉණ බැඳී මිණි මෙවුල තවත් කල්යල් නොබලා ගලවා දමා කාම සම්භෝගයට සුදානම් වන ලෙසයය. එපමණක් නොව රැය පහන්වන තුරුම අනුරාගය දල්වමින් නිදිවර්ජිතව කාමාස්වාදයෙන් කුල්මත් වන ලෙසට ද ඔහු ඉඟි මරයි. මේ ගීතය ශෘංගාර රසයෙන් සුපෝෂණය කිරීමට ආචාර්ය අජන්තා රණසිංහයෝ ලිංගික මෙවලමක් ( Sexual Device) ද භාවිතයට ගනිති. මණි මේඛලාව හෙවත් පතිවත තීරය ( Chastity Belt) යනු ඉපැරැණි සමාජයේ රජ බිසවුන්, කුමාරිකාවන් ඉණට මඳක් පහළින් පැළඳි ලෝහයෙන් තැනු ආභරණයකි. කාන්තාවන් පතිවත සුරැකීමට මෙම ආභරණය භාවිත කළ බවත් එය ඉණ පැළඳි කතුන්ගේ තුනටිය මඳක් සිහින් වන බවත් පැරැන්නෝ කියති. එහෙත් යකඩයකින් තැනු මෙවලමක් රහසඟ එල්ලා සිටීමෙන් ඇතිවන පීඩාකාරී අපහසුව කාන්තාව කෙසේ නම් විඳදරා ගන්නේ දැයි මම නොදනිමි. මණිමේඛලාව පිළිබඳ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ කියති. මණිමේඛලාව යනු ගැහැනුන්ගේ ඉඟටිය මඳක් සිහිකර සුන්දරත්වය පෙන්වීම සඳහා යොදා ගන්නා ආභරණයකි. එය Griddle (දැලක් ) එකක් වැනිය. වික්‍රමසිංහයන් පවසන පරිදි ඉඟසුඟ මිටින් ගත හැකි හැඩැති රුවැති ලලනාවකට අකමැති පිරිමිහු කවරහුද ?

 

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ - තනි වෙන්න යං පෙම් රසෝජාවේ

රූ සිරු කල්‍යාණියේ - මා සැතපෙන්නම් ප්‍රියේ

තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී - මනසානන්ද මන්දෝදරී

 

සම්භාව්‍ය සාහිත්‍ය මැනවින් ප්‍රගුණ කොට ඇති ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙහිදී අහස් ගඟක් ගැන ද වර්ණනය කරති. අහස් ගඟ යනු කුමක්ද? නිල්වන් අහස් කුස මතින් දිවෙන සුදු පැහැති ආලෝක තීරයකට පැරැන්නෝ අහස් ගඟ යැයි කීහ. හිමාලයේ අනෝතප්ත විල දකුණු දිශාව ඔබ්බෙන් අහස් ගඟ පටන් ගන්නා බවද ඔවුහු කියති. එහි සිටින්නෝ කවරහුද? ඇතැම් පක්ෂීහු සහ දිව්‍යාංගනාවෝ අහස් ගඟට බැස දිය කෙළියේ යෙදෙති. මේ ගීතයේ කථකයා සිය මනාලියට මධුසමය ගත කිරීමට යාමට කතා කරනුයේ මෙකී සුන්දර අහස් ගඟටය. පිරිසිදු ධවල වර්ණනයෙන් ශෝභමාන සුගන්ධවත් අහස් ගං දියේ බැබළෙන සඳවතිය නමැති නැවට ගොඩවී එහි තනි වීමට ඔහු ඇයට ඇරියුම් කරයි. මෙබඳු මනස්කාන්ත පරිසරයක තම වල්ලභයා සමඟ මංගල රාත්‍රිය ගත කිරීමට අකමැති මනාලිය කවුරුන් ද?

 

රූ සිරු කල්‍යාණියේ - මා සැතපෙන්නම් ප්‍රියේ

තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී - මනසානන්ද මන්දෝදරී

 

මධු සමය නමැති සොඳුරු සුයාමය අබිමුව සිටින මේ කථකයා සිය මනාලියගේ නව යෞවන ලලනා සෞන්දර්යයෙන් කුල්මත්වී, වල්මත් වී සිටියි. ඔහු ඇගේ තුරුණු රූසපුව වර්ණනා කරමින් චමත්කාරයෙන් ඔජ වඩයි. චමත්කාරය නම් සිත පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. මේ විස්මයට හේතුව සරෝජාගේ අපරිමිත අභිරූපි රූප කල්‍යාණයම නොවේද? මනාලයා ඇගේ සුන්දර සිරුර මත සැතපීමට පවා සූදානම්. මේ සොඳුරු කත පිරිමි මනස ආනන්දයෙන් මුසපත් කරන මන්දෝදරියකි. මෙහිදී ආචාර්ය අජන්තා රණසිංහයෝ ප්‍රථමවරට සිංහල ගීත ශබ්ද කෝෂයට අලුත් වචනයක් ද හඳුන්වා දෙති. ඒ මන්දෝදරී නමිනි. මන්දෝදරී යනු සිහින් උදරයක් සහිත කාන්තාවයි. කෝට්ටේ විසූ මහා කවියකු වන ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සඳසෙහි ජයවද්දන පුර වැනුමෙහි කාන්තා සිරුර මෙසේ වනති.

 

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින - නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන

දිසි රන් ලියෙව් රූසිරි යුත් මෙපුරඟන - ඇසි පිය හෙළන තරමින් නොවෙති දෙවඟන

 

මේ කවිය ලලනා වර්ණනයක් නොවුද එදා ජයවර්ධන පුර නගරයේ සුන්දරත්වය ක්‍රියා පෑමට රාහුල හිමියෝ රූප කල්‍යාණියකගේ සුන්දර සිරුර උපහැරණයට ගත්හ. එබඳු අසාමාන්‍ය නාරිසෞන්දර්යය කවි ඇසින් කලා නෙතින් දැක්ම මනසානන්දනීය නොවේද?

 

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ - හා හා ගයන් සෞම්‍ය සංගීතේ

ඒ හිරු නොනගීවා - රෑ තව දිගු වේවා

ඔබෙ නළලේ සඳුන් තිලකේ - අද ඉහිරේද දෙතොලින් මගේ

 

ගීතයේ අවසාන අන්තරා කොටසෙන් කථකයා ඇයට මියුරු මියැසිය නඟන සුමිහිරි ගීතයක් ගැයුමට ද ආයාචනා කරයි. සුර්යයා උදාවීමට පෙර රැය පහන් වනතුරු ප්‍රේමයෙන් රාගයෙන් මුසපත්වීමට නොවේද මේ ඇරියුම? නිදිවර්ජිත මේ රාත්‍රිය තවත් දිගුවී හිරු නොපායන ලෙස ද ඔහු අයදියි. මේ ගීතයේ අන්තිම පැදි පෙළ ද අතිරමණීය වෙයි.

 

ඔබෙ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ

 

මේ පද ගීතයේ හද මෙනි. මෙහිදී කථකයා විචිකිච්ඡාවෙන් පවසන්නේ ඇගේ අඩසඳ සදිසි නළල්තලයේ රුව වඩවා දිදුළන සඳුන් තිලකය තම දෙතොලේ චුම්බන පහසින් මුව මීවලින් සේදී මැකී යාමට ඉඩ ඇති බවයි. මේ කෙතරම් රමණීය කාව්‍යොක්තියක් ද? ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අති විශිෂ්ට පද සංයෝජනය ද විශාරද එඩ්වඩ් ජයකොඩිගේ භාවපූර්ණ හඬ මාධූර්ය ද ආනන්ද පෙරේරාගේ නාද සංයෝජනය ද සමග්‍රව සුසැදි මේ ගීමිණ කාමී ජනහද අමන්දානන්දයට පත්කරයි.

-         විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


හුම්! සනිදා දහයට මාත් post එකක් දාන්න හිතුව. සමහරු දැන් ඒක ටිකක් මග ඇරලත් තියෙන හන්ද##. ඒත් කොහෙ... වැඩයි, කම්මැලිකමයි අස්සෙ ඕවට ඉඩක් ##. ඒ හන්ද මේ ඊයේ පෙරේදාවක, කලක් නොඇසුන සිංදුවක් මතක්ක උනා. ඒක මෙහෙම පබිලිස් කරන්නම්... හුදී ජන පහන් සංවේගය සලකලා.

 

හදිසියේ post එක දාන හන්ද ඉතීම් වැඩි විස්තරයක් නෑ ඕන්!

 

බොහොම සරල වචන ටිකක්... යටි හෝ ගැඹුරු අරුත්ගැන්වීමක් නැතිව, තාලයට කියන්ට පුලුහං විදිහට පද ටික ලස්සන රටාවකට ගලපලා තමා ලියල තියෙන්නෙ. පද මාලාවෙ අයිතිකරු කැළුම් ශ්‍රීමාල්. පද වැලට හරියන සංගීතය පොඩි වේග රිද්මයට මුසු කපිරිඤ්ඤ හැඩයක් වගේ නෙ?. සංගීතය මහින්ද බණ්ඩාරයන්ගෙන්. ගායනය ඉමාන් පෙරේරා. වැඩිය සිංදු කරල නැති ගායකයෙක්!

 

සරල සුගම ස්ටොරියේ හැටියටනම් ලාස්සන කෙල්ලෙක්ට තදින්ම ලව් කරන කොල්ලෙක්. කෙල්ල වෙන්ට නිළිය. අල්මෝස්ට් ඩාන්සින් ලේඩි.

 

ඉතීම් කෙලී ඩාන්ස් කරන හැම තැනටම මේ බෝයිපෙන්ඩ් හෝ වෙන්ඩ බලාන ඉන්න බෝයිපෙන්ඩ් කොලුවත් යනව. ගිහින්... ඇය කරළිය මන්මත් කරමින් නර්තනයෙ යෙදෙන ඒවත් එකක් නෑර බලාන ඉන්නව. පපුව කීස් ගානවත් ඇති, අනික් එවුනුත් මයෙ කෙම්ලගෙ හැඩ බලනව නේදත් කියල හිටං. මේ අස්සෙ අඹුව කරගන්නයි කම්පනාව..... මේ ලාස්සන නිළියව!

 

* * ** * *

 

ලස්සන නිළියේ

නුඹ රඟනව දැන් කරළියේ

නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ

මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ

ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ....

 

මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ

එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ

ලෙළදෙන දේහේ රහස් ඔසුව හෙරලියේ

ඒ වගක් මොටද නේද කෝල දැරිවියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දම මං ඉන්නව මේ ගැලරියේ...

 

හොඳ බයිස්කෝප් ලැබුණෝතින් හදිසියේ

උඹ වෙනස් වෙලා යාවිද පැණි මුරුසියේ

ඉඩ තියන්නෙපා ලගින්න මට පොලිසියෙ

නුඹ නැතිනම් මට මරණෙ සැපයි කුරුසියේ

 

ලස්සන නිළියේ

නුඹ හින්දම මං මැරෙනව මේ ගැලරියේ...



  සිංදුව අහන්න මෙතැනින් 👉

  නිදි ලොක්කගේ මේ පෝස්ට් එකත් එක්ක මතකෙට ආව "පටු අදහස්   නම්   පවුරින්" ගීය ගැන.... කලකට පෙර බන්දුල නානායක්කාරවසම්   පත්තරේකට ඒ ගැන ලියපු article එකක් තමයි මේ. ඔන්න අමාරුවෙන්   හොයල අරං පබිලිස් කරා 😉


රිච්මන්ඩ් විදුහලේ අපගේ පන්ති භාර ආචාර්යවර ඩබ්ලියු. එස්. බණ්ඩාර මහතා, එතුමන් විසින් පාසල් වියේදී ලියන ලද රබින්ද්‍රනාත් තාගෝර් චරිතයේ අත් පිටපත මවෙත දුන්නේ, එය මගේ අත් අකුරින් යළි ලියවා ගැනීමටය. ඒ, මගේ අත් අකුරු හොඳ නිසාත්, එවක වසර 20 කට වඩා ගතව තිබූ නිසා ගුරුතුමන්ගේ මුල් පිටපත යම් දිරාපත් වන ස්වභාවයක තිබුණු නිසාත්ය. කිසිදු තොරතුරු තාක්ෂණයක් නොතිබුණු 1976 දී පමණ මේ කෘතියෙන් මා ලැබූ මිහිර, ආභාෂය, දැනුවත් වීම මේ අදත් නැවුම්ව සිහිපත් වේ. එහෙත් එම කෘතිය කිසිදා මුද්‍රණය නොවුණු අතර ඒ ගැන විමසූ විට ගුරුතුමා කියා සිටියේ 'මං ඒ දෙකම විසි කරල දැම්ම' යනුවෙනි. පුදුමය නම් ගුරුතුමාට 70 පැන්න පසු යටගියාවේ යටගිය තැන් (2007), දඬුවම් ලද්දෝ (රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය - 2012). විරාගිනීන්ගේ සැබෑ කතා සහ ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා (2015) මෙන්ම 'පිබිදුණු යාපනය (පරිවර්තන 2016) වැනි කෘති 4ක් එක දිගට ලියා පළ කිරීමට හැකිවීමයි. මේ කරුණ මා සඳහන් කළේ එම විසි කළ අත් පිටපතේ වටිනාකම සහ එකල ප්‍රේම් දිසානායක වැනි ප්‍රකාශකයෙකු ගුරුතුමන් හඳුනා නොසිටීම ගැන ඇති වූ කනගාටුවෙනි.

තාගෝර් වගේම මාර්ටින් වික්‍රමසිංහ කියන චරිත දෙකෙන් ඉගෙන ගන්න තියෙන මූලික දේ තමා හැබෑ අධ්‍යාපනය ලබන්නෙ කොහොමද කියල දැන ගැනීම.........තාගෝර් ඉගෙන ගත්තෙ ගෙදරමයි, වික්‍රමසිංහ ඉස්කෝලේ ගියේ කීයෙ පන්තියට ද කියල දැනගන්න, උපන් දා සිට කියවනව. තාගෝර් විශ්ව විද්‍යාලෙ තියා ඉස්කෝලෙත් නොගියට විශ්ව විද්‍යාලයක් දැම්ම.... ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ විශ්ව විද්‍යාලෙ නොගියට ඇවිදින විශ්ව විද්‍යාලයක්...'

අපි විමතියෙන් මෙන්ම ප්‍රබෝධයෙන් අසා සිටියෙමු. නිතරම බණ්ඩාර ගුරුතුමා කියූ, උගැන්වූ දේ අපේ වයසට වඩා ඉදිරියෙන්ම සිටියේය. එතුමන් තාගෝර් ගැන නිකමට කියූ විට, එහි තාගෝරයන්ගේ ශාන්ති නිකේතනය, රබීන්ද්‍ර සංගීතය, බෙංගාලි තනු සහ අපට ඒවායේ ඇති සුවඳවත් නෑකම, ගීතාංජලිය ආදී දහසක් දේ ගැබ් විනි.

තමුසෙල අහල තියෙනවද අමරදේවගේ සින්දුවක් තියෙනව පටු අදහස් නම් පවුරින් ලෝකය කියල.

හොඳ වෙලාවට අප කීප දෙනෙක්ම ගීතය අසා තිබුණි. බොරුවට හිස සැලුවේ නම් ගුරුතුමා එය ද කියවන්නට දන්නේය.

'සර් ඒක එච්. එම්. ගුණසේකරගේ ඉරිදා සංග්‍රහයේ යනව - සමූහ ගීතයක්'. සර්ගෙන් අපට ලකුණු වැටේ.

'හොඳයි මේකෙ ඉතිහාසය දන්නවද?'

 

ඉරිදා සංග්‍රහයේ එච්. එම්. ගුණසේකරයන් කවදා හෝ මේ ගැන කී අයුරු මට සිහි වේ. සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය තාගෝරයන්ට උදා කළ ගීතාංජලී කෘතියෙන් ගත් කවියක් මෙසේ සේකර පරිවර්තනය කළ බව ඒ වැඩසටහනේ කියවිණි.

සිංදු නිකං අහල දාන්නෙ නැතුව සුළු මුල හොයනවල...... ඒක සාහිත්‍ය කෘතියක් බව අමතක කරන්න එපා...'

   මේක පරිවර්තනයක් නොවෙයි. ඡායානුවාදයක් !

original එක නැත්නම් මූලික කෘතිය තමා තාගෝර්ගේ නොබෙල් තෑග්ග දිනපු ගීතාංජලිය. මේක ඒ පොතේ එක කවියක් විතරයි. 35 වැනි කවිය. ඒ කවියෙ නම 'WHERE THE MIND IS WITHOUT FEAR බලන්න adoption එකකයි, translation එකකයි තියෙන වෙනස'

මේ දේවල් අවුරුදු 15 දී පමණ ඇසුවේ සිහිනයෙන්දැයි දැන් සිතේ. ඒ යුගය මෙන්ම ගුරුවරුද අපට ගෙන එන්නේ අතිශය සාංකා පරවශ සිතුවිල්ලකි. එහෙම ගුරුවරු මතු නොව ගෝලයෝ ද නොවෙති.

Where the mind is without fear and the head is held high

Where knowledge is free

Where the world has not been broken up into fragments

By narrow domestic walls

Where words come out from the depth of truth

Where tireless striving stretches its arms towards perfection

Where the clear stream of reason has not lost its way

Into the dreary desert sand of dead habit

Where the mind is led forward by thee

Into ever-widening thought and action

Into that heaven of freedom, my Father, let my country awake.

 

1913 දී තමා හීතාංජලියට නොබෙල් prize එක ලැබෙන්නෙ. දැන් බලන්න මේ නිර්මාණ දෙකේ වෙනස, ඇත්තටම මෙතන නිර්මාණ තුනක්. බෙංගාලි භාෂාවෙන් 1910 දී ලියපු මුල් කෘතිය විනාශ උනේ නෑ ඉංග්‍රීසියට එද්දි. මන්ද, තාගෝර්මයි 1912 දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නෙත්. ඒක අපට, සිංහලට ගේන්නෙ මහගම සේකර.

ගුරුතුමා ඊළඟ පන්තියට යයි. ඉන් පසු මේවා සෙවුමේ. පිරික්සුමේ, උමතු ලෙස විඳීමේ වගකීම ගුරුතුමාගේ නොව අපේය. ඒ උමතුවම මේ ගීතාත්ම තුළ නැතැයි කිව නොහැකි බව ඔබ දනී.

තාගෝර් ඉංග්‍රීසි පැදියේ 3 සහ 4 පේලි සේකරගේ ගීයේ එක පේළියකට එන සැටි බලන්න.

Where the world has not been broken up into fragments

By narrow domestic walls;

තාගෝරයනට පසුව ලියවෙන දේ සේකරට මුල වේ.

''පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී''

එමෙන්ම තාගෝරයන්ගේ 1 සහ 2 පේළි සේකරට එන්නේ 3 ලෙසය.

 

Where the mind is without fear and the head is held high;

Where knowledge is free;

'බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ,

ඥාණය නිවහල් වී'' කලින් තනි පේළියකට ඇවිත් හමාරය.

කවියෙකුගේ සැබෑ කවිත්වය මෙන්ම ඖචිත්‍යයත්, පරිනත බවත් ස්ඵුට කිරීමට මේ සුළු වචන පේලි පමණක් නොසෑහේද? සේකර කියූ ලියූ දේ කාල, යුග භේදයකින් තොරව අප වැළඳ ගන්නේ මේ විශ්වීය ගුණය ඔහු නිර්මාණ විලාශයේ හා චින්තනයේ අසහායත්වය නිසාය. සන්නාලියනේ, ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ. මුළු ලොවම සිහිනයයි....වන් අනුවර්තන අපේම යැයි හැගෙන්නේ ද මේ විශ්වීයත්වය නිසාය. සේකර 70 මුලදී කියා ඇත්තේ අද ගැන නොවේද ? පටු අදහස් හැම තැනම වැපිරි ඇත. කැබලි වලට බෙදී ඇත්තේ අදහස් නොව මුළු මහත් රටයි. වැරැද්ද නිවරදි දෙය වෙයි. නිවැරැද්ද වැරැද්ද වෙයි. ප්‍රඥාව සේදී ගොස් උගත්කම යැයි හඳුන්වන දෙය අප්‍රායෝගිකව ජන මනස අරා සැරි සරයි. රුචිකත්වය, රසඥතාව දේශනා හෝ පංති දමා උගන්වන්නට යයි. මේ සියල්ල වසර 45 කටත් පෙර මෙසේ සිදුවන බව සේකර ඔහු අන්‍යයෙකු වී අප වෙනුවෙන් ප්‍රශ්න කර ඇත.

'නොවැටහෙන මුත් ඔබ කියන දෙය හැගෙයි යන්තම් ඔබ කියන දෙය

වඩා පැහැදිලි ලෙස එය - කියා දිය නොහැකිද මට....? '

බලන්න සේකරම විසඳුම්කරුවා වී එයට පිළිතුරු දෙන විලාශය.

'කියා දිය නොහැක එය වචනයෙන් - පසක් කළ යුතුය එය හදවතින්

දැනුමක් නොවේ එය - අනෙකෙකුට වචනයෙන් ඉගැන්විය හැකි...!

අවබෝධයක් වේ එය - තමන්ම පසක් කොට උගත යුතු!'

 

මේ අවබෝධය නැතිකම කොයි තරම් දිගු කාලයක සිට අප වෙලා ඇත්ද ?

මහ රෑ දෙගොඩ හරිය වනතුරු කාලය කමින් දේශපාලන කරුම පෙන්වන්නේ නැතිව, දැන්වත් රජයේ සහ පෞද්ගලික නාලිකා, මිනිසුන් අතර සහානුභූතිය, සහකම්පනය (EMPATHY) ඇති කිරීමට මාවතක් විවර කරන්නේ නම් මේ දවස්වල කාගේත් සිත්හි ඇති වී ඇති පුනරුද හැඟුම ව්‍යාජයක් නොකොට සදාකාලිකයක් කරගත හැකි වනු ඇත.

 

ගේය පදරුත්: මහගම සේකර

මියැසි අරුත් විශාරද පණ්ඩිත් පද්ම ශ්‍රී අමරදේව

ගායන ලීලා විශාරද පණ්ඩිත් පද්ම ශ්‍රී අමරදේව සහ ගායන වෘන්දය

  රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගීතාංජලියේ සංග්‍රහ වූ where the mind is without fear කවියේ අනුවාදයකි.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්