ඔන්න එක පරිසර සංවිධානයකින් ගොවි මහත්තයෙක්ගෙ සත්ත්ව ගොවිපළ බලන්ට ආව. ඇවිත් හොඳටෝම උපදෙස් දීල ගියා. සත්තුන්ට හොඳට කන්ට දෙන්න, විටමින් අරවා මේවා දීල හෙම නියමිත බර පවත්වන් යන්නය කියල. ගොයි මහත්තයත් කියාපු විදිහට කරගෙන ගියා. ටික දවසකින් තව සංවිධානයක් ඇවිත් කිව්ව... සත්තුන්ට food cityවල කෑම හොඳ නැතිය. මේ ගම්වල අහිම්සක සත්තුය. පරණ පුරුදු ගමේ කෑම හා තෙල් බේත් සාත්තුව දෙන්නය කියාල.

ආයෙම තව කාලයකින් වෙනත් සංවිධානයක් ඇවිදින් බයි මහත්තය ඉදිරියේ ප්‍රාදුර්භූත උනා... 'ඔබතුමා මොනාද මේ සත්තුන්ට කෑමට දෙන්නෙ ? '

බොහෝ දුරට කම්පනා කරපු බයි ගොයිය කිව්ව 'මහත්තයෝ මං සත්තුන්ව උදේට පෝලිං ගස්සනව'

'ගස්සල..? '

'එක එකාට සීය ගානේ දීල තමුන්ට හොඳ දෙයක් අරං කාපන් කියල කියනව'

 ****************


හුම්. සරි ඒ කතාව පැත්තක තියමුකෝ... මේ පෝස්ටුව නිල වසයෙන් මයේ 100 වෙනි බොලොග් පෝස්ටුව. Draft කරපු එක අතැරල තමා ඉතීම් මේ 100.

100ක් ලියාගෙන ආවාට මොකෝ කියවපු ඈයෝ... සැපිද, සැපි නැද්ද මන් දන්න එකක්යෑ 😉. ලියන්ට හිතන් හිටපු ටික නිදි, කොලොම්පූර් එක්ක පොඩි චැට් වලදී කතාවට ගත්තත්... ඒවා ලියවිලා නම් නැතිම තරම්. අඩුම වසයෙන් 30%ක අගයකටවත් ඇවිත් නෑ. හුම්! උන්න හැටියට මලා මදැයි.

හිතාන හිටි හැම දේම කරන්න ඇහැක් වෙන්නෙ කාටෙයි.

එහෙම කිව්වට ඔන්න චන්ද්‍රයාන් dream project එක නම් සාර්ථක උනා. ලෝකෙන්ම සඳට ගිය හතරවෙනි රට, අපට ලඟින්ම ඉන්න ඉන්දියාව. ඒ රෝවර් යානය ගිහින් තියෙන්නෙත් සඳේ අඳුරු කළාපෙට කියනව නෙ. මොන කුහක කමක් ඉන්දියාවට එක්ක තිබ්බත් සුබ පත්තන්න ඕන උන්දලාට... අපිට ණය අස්සේ බාල බෙහෙත් දෙන අතරේ උනත්. ටැංකිව් ඉන්දියා! ස්වස්ති සිද්ධම් 

පුළුවන් උනොත් මාත් චිචිගෙන් අහගෙන රොකට් එකක් හරි අරිනව... අල්ලපු ගෙදරට පේන්නත් එක්ක 😂😅


 හෙලෝ ළමායි... ඔයාල මගේ බ්ලොග් පෝස්ට් බල්නව නෙ. සත්තලං ඔයාලත මං අද අරගෙන ආව 😂

ඔන්න ඔහොම සමහර කෙල්ලො හුරතල් mood එකෙන් එක එක item විකුණනව, promote කරනව දැකල ඇති නෙ You-TubeFaceBookTikTok video වලින් හෙම. ඔය එකී මෙකී නොකී, වැදගත් - නොවැදගත්, කුණු- ඕපදූප... බලන එක platform එකක් තමයි ඉතීම් අපි පාවිච්චි කරන You-Tube. මුලින්ම අන්තර්ජාලයේ අපි තොරතුරු හෝ මොනව හරි දෙයක් හෙව්වේ ලිඛිතව හෝ රූපමය මාධ්‍යක් විදිහට නෙ. යූ බටේ ප්‍රචලිත වීම එක්ක ඒක වෙනස් වෙලා දැන් අපිට video හරහාත් හොයනප්‍රියතාව දක්වන දේ... දකින්න රස විඳින්න පුළුවන්.

මේ ඔබේ බටේ පටන් අරන් තියෙන්නෙ ස්ටීව් චෙන්චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් කියන කොල්ලො තුන්දෙනා එකතු වෙලා. ඒ 2005 පෙබරවාරි 14 දා. එතකොට 2006 ඔක්තෝම්බර් මේ You-Tube එක google සමාගම ඩොලර් බිලියන 1.65 කට අරගෙන තියෙනව.

අද You-Tube නොබලන කෙනක් නැති තරම්...

සංගීතය, කෙටි චිත්‍රපට, චිත්‍රපට, නර්තනාංග, සංදර්ශන ආදී කළා රසවින්ඳනයන්ගේ සිට වෙළඳ දැන්වී, වාර්තා වැඩසටහන්, vlogs, පෞද්ගලික වාර්තා, දේශපාලන සංවාද sex, porn ඇතුළු විවිධ සංවාද, වැඩසටහන්... අද මේ You-Tube වලින් අපිට නරඹන්න පුළුවන්. ඒ වගේම නිදහස් සමාජ මාධ්‍යයක් නිසා සිංහල හා වෙනත් භාෂා youtubersලත් ඕනෑ තරම් අද ඉන්නව. මේකෙදි දකින්න ලැබුණු ඉතාම හොඳ කාරණා 2ක් තියෙනව.

1) දැනුම, අධ්‍යාපනය හා තොරතුරු වලට තිබූ සීමාව ලිහිල් වීම.

ඔහේ විවිධ දේවල් මුදාහරින්නන් වගේම... වෘත්තිය නිපුණයින්, අධ්‍යාපනඥ පිරිසත් මේ youtubers ගොඩට එක්ව ඉන්නව. ඒ මෙම platform එක ඔස්සේ සමාජ ක්‍රියාකාරී/ දැන හඳුනන කෙනෙක් වෙන්න අන් අයට තියෙන අවශ්‍යතාව නිසාම වෙන්නට පුළුවන්. ඒත් ඔවුන් බෙදාගන්න දැනුම, අත්දැකීම්, උපදෙස්... ඒවා නරඹන්න කැමති ඕනෑම අයෙකුට නිදහසේ ලබා ගන්නත්, ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්න අවස්ථාවත් ඒ හරහා ලැබිල තියෙනව. මේක ඉතාම හොඳ දෙයක්.

2) දැනුම, අධ්‍යාපනය හා තොරතුරු වලට තිබූ අනවශ්‍ය වටිනාකම් පැනවීම් නැති වීම.

දශකයකට කලින් ඉඳල ඊට ඈත කාලය දක්වා... දැනුමශිල්පීය ඥානය වගේ ඒවාට තිබ්බෙ අනවශ්‍යය වටිනාකමක්. සමහර ටියුෂන් ගුරුවරු/ අධ්‍යාපන ආයතන පවා හිටියේ දෙවිවරුන් ගානට... ගානත් කපාගෙන. සල්ලි නැති දුප්පත් ළමයෙක්ට තාක්ෂණික දැනුම ලබා ගන්න, උසස් අධ්‍යාපන දැනුමක් ලබා ගන්න බැරි තරම්. මේ නිසාම පන්ති පරතරය තවතවත් වැඩි උනා.

ඒත් අද... ළමයින්, විද්‍යාර්ථයින් තියා ගෘහණිය ආදී හැම කෙනෙක්ටම තම දැනුම දියුණු කරගන්නඅලුත් දැනුම, ව්‍යාපාර තොරතුරු ලබා ගන්න, නව ප්‍රවණතා දැනගන්න තැනක් බවටත් මේ You-Tube ඇතුළු සමහරෙක් වෙනත් platform ද උදව්වක් උනා.

ඕනනං වඩු මඩුවක අත් උදව්වට ඉන්න ගමේ කොල්ලට You-Tube අවකාශයෙන් දේශපාලන විද්‍යාව /තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පුළුවන්. TV බලබල හිටිය ගෘහණියට ඕනෙනං... ළඟ තියෙන phone එකෙන් ගෙවතු වගාවඅත්කම් නිර්මාණ වෘත්තීය මට්ටමක් දක්වා දියුණු කරන්න අවශ්‍ය ඒ දැනුම ලබා ගන්නත් පුළුවන් තත්ත්වයක් අද තියෙනව.

ඒ වගේම ඕනෑම කෙනෙක්ට තමන්ගේ video මේ platform වල බෙදා හරිනවාට අමතරව ඒවායින් යම් මුදලක් උපයගන්න පුළුවන් වීම (monetization) තවත් වාසියක් හා නොමිලේ දැනුම, ශිල්පීය ඥානය බෙදා දෙන අයට එය හොඳ දිරිගැන්වීමක් වෙනව.

අපි search කරන දේ හෝ වැඩි නැරඹුම් වාර සහිත මාතෘකාවන්ට අදාළ දේ වැඩියෙන් පෙළ ගැස්වීමට එකතු වීම කරන්න AI තාක්ෂණය You-Tube යොදා ගන්න බව පේන්න තියෙනව. ඒ වගේම තමන් කැමති වර්ගයේ youtubersල follow කරලා තියා ගන්න එකෙනුත්... ඔවුන් දාන video ඉක්මනට දැනගන්න පුළුවන්. මේ AI වැඩේ හා Follow වගේ දේවල් එක්ක තමුන් කැමතිම විෂය ක්ෂේත්‍ර වලට අදාළ නව හා වැදගත්ම video විතරක් පෙලගැස්වෙන වැඩෙන් අපේ කාලේ ඉතිරි වෙනව... අදාළ නැති විකාර වලට යන එකෙනුත් වැළකිලා.

නිකමට හිතන්න දවල්ටත් නොකා, ගෙදර කරමින් ඉන්න වැඩකට ඕන දෙයක් You-Tube එකේ බලලා අහවර වෙනකොට ඊළඟ videoව රස කෑම ගැන තියෙන එකක් නම්. නැත්තං සෙනගක් මැද්දේ ඉන්ට ගමන් video එකක් බලබල අවසානෙට auto-play mode එකේදී porn video එකක් play උනොත්... කොහොමද ආතල් එක 😜. වැඩිහිටි දර්ශන You-Tube එකේ තිබ්බත් porn නම් ඇතුල් නොකරන බවක් තමයි පේන්නෙ. තව ඉතීම් පොඩි ඈයොන්ට නම් You-Tube Kids තියෙනව.

තව Add play වෙන එකත් නවත්තන්න ඕනනම් ගෙවල හිට premium අරං ඒ කරදරෙනුත් නිදහස් වෙන්න පුළුවන්.

ගොඩක් දිග විශ්ව විද්‍යාල දේශණ, සංවාද වගේ video බලනවා නම් data ඉතිරියට qulityය අඩු කරලා play කරන්න පුළුවන්. ඒ වගේම playback speed එක වැඩි කරලත් ඕන නම් කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. මමනම් මේ දෙකම කරනවා. මොකද පැය දෙකතුනේ දේශණ, කතා වල බලන්න දේකුත් නෑනෙ වැඩිය... ඒ නිසා අඩු resolution අවුලක් නෑ. අහන්න පුළුවන් තරමට speed වැඩි කාරාට අවුලකුත් නෑනෙ.

අනික දෙසැරේ තුන්සරේ එකම video එක බලන්න වෙන වෙලාවලුත් තියෙන නිසා එහෙම ඒවා You-Tube එකෙන්ම download කරගන්න පුළුවන්. සමහර video නම් බෑ. ඒකට third-party software එකක් හරි site එකක් යොදා ගන්න පුළුවන්. IDM ඒ වගේ software එකක්.

 Gen You-Tube ඒ විදිහේ site එකක්. මේ site එකේ නම් විවිධ format හා quality වලින් download කරගන්න පුළුවන්. එහෙම download කරගත්ත video එකේ playback speed, brightness, sound Equalizer වගේ setting වෙනස් කරගෙන phone එකෙන් video බලන්න නම් VLC වගේ හොඳ App එකක් බාගන්නත් වෙනව.

ඒ වගේම subtitle තියෙන You-Tube video එකේ ඒ subtitle එක අපිට text එකක් විදිහට ගන්නත් පුළුවන්. video එකට පහල name bar එකේ පැත්තෙන් තියෙන dot හතර chick කරලා එන show transcript එකෙන්. ඊට පස්සෙ side එකෙන් එන text එක... අපිට timeline එක එක්ක හරි, නැතුව හරි copy කරගන්න පුළුවන්. නැත්තං අරවගේම transcript එක දෙන site එකකින් ගන්න පුළුවන්.

රජ- අතීත සිනමාව... දැන් දශක දෙකක විතර වාගේ ඉඳල පෙළට සැරින් සැරේ එනව.

මට මතක විදිහයට... මේ දක්වා ඇදි ඇදී එන, මේ ඉතිහාස සිනමාව පටන් ගන්නෙ ජැක්සන් ඇන්තනීගේ අබා (2008) චිත්‍රපටියත් එක්ක. මම සා/.පෙළ කරන කාලේ තමයි අබා ආවේ. ඉස්කෝලෙන් එක්කං ගිහින් තමයි බැලුවේ. ඒ කාලේ හැටියට අබා ලංකාවේ දින 100ත් පහුකරන් දුවපු, box office ෆිලුමක්. අබා පටන් ගන්නෙ බබා හම්බෙන්න සීන් එකකින් වගේ තමයි මට මතක. ඒ නැතත් film එක පුරාවට ළමයි හම්බෙන සීන් දෙක තුනක් නම් තිබ්බ. ඒක නිසාද, නැත්තං අබාගේ සාර්ථකත්වය නිසාද මන්දා එතැන් සිට ලාංකේය සිනමාවේ, ඉතිහාස කතා පෙන්වන්න ගත්ත වැල නොකැඩී... අබා එකේ බබාල හම්බුවෙන ගානට 😂😉.

යුද්ධය ඉවරවුණු කාලයක සිංහලකම, හෙළ අභිමානය, අතීත ශ්‍රී විභූතිය ගැන කතා වෙන අස්සේ... අනික් අධ්‍යක්ෂක/නිෂ්පාදක කස්ටියටත් හිතුනද දන්නෙ නෑ, අබාත් හිට් එකක් උන එකේ, මේ තැටියම ඉස්සරහට play කරන් ගියානම් හොඳයි කියල වගේ එකක්. කොහොමත් මිනිස්සු රැල්ලට යන එක නෙ. ඒ මොනා උනත් මට තේරෙන්නෙ නෑ අවශ්‍යතාවයට අනුව සැපයුම ලැබුණද, නැත්තං සැපයුමට අනුව අවශ්‍යතාව පෙලගැහුවද කියලා. කොහොමහරි මේ දක්වා රජ- අතීත සිනමාව තියෙනව. මං ඉපදෙන්න කලින් තිබ්බ රැලි මං දන්නෑ හොඳේ ඕන්☺. මේවට දේශපාලන පෙළඹවීම්, අත පෙවීම තියෙනවද නැද්ද කියලත් මං නම් දන්නෙ නැතිවා. ඒත් කොහොමින් හරි ගජරාමෙට අතීතය රිදී තිරයේ රජ උනා.

එදිනෙදා හිරවුණු ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා... චිත්‍රපටියක්, සංගීතයක් වගේ කළා මාධ්‍යකට මිනිස්සු එක් වෙන්නෙ පොඩි නිදහසක්, රසවින්ඳනයක්, විනෝදයක් ලබා ගන්න. එහෙම එකේ බලන චිත්‍රපටිවලින් අති බහුතරය රජ - අතීත කතා උනොත්. ඒත් කමක් නෑ කියමුකෝ... අපූරු පිටපතකට, හොඳ අංග රචනා, දෙබස් එක්ක රසවිඳින්න පුළුවන් නිර්මාණ/ කළා නිර්මාණ නම්. ඒත් බහුතරයක උනේ අපේ මතකයේ තියෙන ජාතක කතාවක්, අතීත රජ කතාවක්,  එහෙම්ම ම ඒ විදිහට චිත්‍රපටි ශාලාවෙන්... සිනමාවක් ලෙස පෙන්වීම යාම. හෝ ඒ විදිහට නිපදවන්න දරපු උත්සාහය. මේ බොහෝ උත්සහ හරිම නීරසයි. ප්‍රේක්ෂකයන්ට වතුරයි බතුයි ගානට උනා.

කටෝර ලිඛිත භාෂාව, පිටපතේ හා අංග රචනා වල දෝෂ, සිනමාත්මක බවේ අඩුපාඩු, රංගන දුර්වලතා, යොදාගත් දෘශ්‍ය ප්‍රයෝග වල දුර්වලතා, වෙනත් තාක්ෂණික දුර්වලතා... ආදිය මේ බොහෝ ඒවායේ දැක ගන්න තිබුණ. එහෙම උනේ අඩු බජට් නිසාද, අදාළ ක්ෂේත්‍රවල දක්ෂයන් යොදා නොගැනීමද, නැත්තං නිෂ්පාදකගේ/ අධ්‍යක්ෂකගේ ටකා ටිකා ටුකා කියල කස්ටිය තෝරණ ක්‍රමයද මන්ද.

මේ හැම කරුණක්ම එකතුවෙන් නිමවුණු රජ- අතීත සිනමාව හන්ද ද මන්ද ටිකෙන් ටික වැහෙමින් යන චිත්‍රපටි ශාලා... තවතවත් වැහෙන එක වේගවත් කරන්නේ. ඉතිරි චිත්‍රපටි ශාලා කීපයෙත් ඉංග්‍රීසි, දෙමළ, හින්දි වගේ චිත්‍රපට තමයි වැඩි හරියක් තිරගත කරන්නේ. ඉඩ තියෙන වෙලාවක සිංහල චිත්‍රපටියක් දෙකක් දුවන්නට දානව ඇති... නැත්තං අපේ අයට සිංහල සිනමාවක් ගැන අමතක වෙන නිසා. එහෙම මට හිතෙන්නෙ. ඒ අතරින් පතර මේ තේමාවෙන් වෙනස් උන චිත්‍රපටි කීපයක්ම සාර්ථක උනා. වර්තමානෙ නම් ලොකු hit එකක් උනා ගජමෑන් 3D  චිත්‍රපටිය.

ඒකෙන් කියවෙන්නෙ මිනිස්සුන්ට මේ රජ- අතීත සිනමාව වහකදුරු වගේ ද? නැත්තං මේ චිත්‍රපටි හදන විදිහේ අවුලක් ද? නැත්තං මේ විදිහෙම චිත්‍රපටි එක දිගටම නරඹල එපා වෙලාද? නැත්තං මේ හේතු ඔක්කොමද?

මේ රජ- අතීත සිනමාවේ රැල්ලක් බිහිකරන්න... දැනුවත්ව හෝ නොදැනුවත්ව ආරම්භකරු වුණු ජැක්සන් මහතාත් පහුව ඒ රැල්ලටම එකතු වෙනව. ඊටත් පහුව, එය ඉහටත් උඩින් ගෙනියන්න දායක වුනු සහ වෙන කෙනෙක් තමයි ආචාර්ය සනත් ඔබේසේකරයන්. අප්පේ එතුමා මේ විදිහේ සිනමා හා රූපවාහිනී බොහෝ නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනව. ඒ වගේම කෙනෙක් තමයි සිංහල ඇදුරිඳු සුනිල් ආරියරත්නයනුත්. තව කීප දෙනෙක්මත් මේ පෝලිමේ ඉන්නව. සමහරු නම් එමින් යමින් ඉන්නව.

කොහොමින් හරි ආචාර්ය සනත් ඔබේසේකර මාධ්‍යයට මේ රජ-අතීත සිනමාව ගැන වෙනස් විදිහේ කතාවක් කියල තියෙනව 'චිත්‍රපටි ශාලා බණ මඩු උනාට කමක් නෑ' වාගේ කතාවක්. ඇත්තටම එහෙම උනාට මටත් ඇත්තටම කමක් නෑ. ඒත් මිනිස්සු හෝල් එකට එන්නෙ චිත්‍රපටි බලන්න.

අනික මේ කරන/ හරිහමන්ව නොකරන චිත්‍රපටි තැනිල්ලෙන් වෙන්නෙ කාරණා දෙකයි... මගේ දැනීමේ හැටියට නම්.

🔽චිත්‍රපටි ශාලාවලට දමිල, මුස්ලිම් පිරිස අඩු වෙනව. එයින් සිනමා කර්මාන්තයට සෘජු බලපෑමක් සිදුවෙනව.


🔽බුදු දහමේ හරයට, දාර්ශනික අදහස් වලට පහර වැදීම.

සුන්දර නතාෂා - මැක්සිම් ගෝර්කි

 

සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.

මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම විකුණා දැමූ පසු මම නගරයෙන් පිට වී ඌස්තියෙ නමැති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව් සඳහා තොටුපළක් තිබුණි. නැව් ගමනාගමනය ඇති කාලවල දී එහි ලහිලහියේ වැඩ කෙරුණද, දැන් එහි පාලුය, කාන්තාරයක් මෙන් නිසල ය. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය.

තෙතමනය සහිත පස් ගොඩ පයෙන් හාරා අවුස්සමින්, ආහාරයට ගැනීම සඳහා සුදුසු යමක් එහි තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා බැලීමි. ජන ශුන්‍ය ගොඩනැගිලි සහ කඩ පිලවල් ගානේ ඇවිදිමින් බඩකට පුරා ආහාර ගිලීම කොතරම් යහපත් දෙයක් දැයි මම සිතන්නට වුයෙමි..

සංස්කෘතික වර්ධනයේ මේ අවධියේ දී ශාරීරික කුසගින්නට වඩා ලෙහෙසියෙන් ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කල හැකි ය. පිටත සිට බලන විට ලස්සන යයි කිව හැකි - වැරදීමකින් තොරව - ඇතුළත සැප පහසුයැයි කිව හැකි ගොඩනැගිලි සහිත වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද, සෞඛ්‍ය ගැනද තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටුපහටු මනෝ භාවයක් ඇතිකර ගත හැකිය. උණුසුම ගෙන දෙන සැප පහසු ඇඳුම ඇඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔවුහු ඉමහත් ආචාරශීලි ලෙස ඔබට යන්ට ඉඩ දී මග හැර ඔබේ කණගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලිවෙති. කුසගින්නෙන් පෙළෙන්නකුගේ ආධ්‍යාත්මය, බඩ පුරා ආහාර ගත එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කල හැකිය!.. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා ආහාර ගෙන සිටිනවුන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන!..

හවස්වත්ම වැසි වසින්නට පටන් ගත අතර උතුරු දෙසින් කුණාටු හමන්නට විය. කඩ පොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරින් හූ හඬක් පතුරුවමින් නැගී ආ කුණාටුව හෝටලවල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද ඇති කළේය. ගඟේ රැල්ල වඩාත් උස් වී පෙණ සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟාවී ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත්වෙතියි සිතමින් ඉවත පැන යාමට තැත්කලාක් මෙනි. අහස බැරෑරුම්ය, ඇඳිරිය, අහසේ සිට පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා වැහි බිංදු වැටිණි. මා අවට ඇති ශෝකාන්විත, ඛේදාත්මක පරිසරයට මුලින් උදුරා ලන ලද කැඩුණු විලෝ ගස් දෙකක් සහ ඒවා අසල උඩුයටිකුරු කොට පෙරළන ලද බෝට්ටුවක් ද අයත් විය.

අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද, දැඩි සීත සුළඟ විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකය මුසු ගතියක් ඇති කළේය... අවට හැම දෙයක්ම විනාශ වී, වඳ වී, මරණයේ සලකුණු පළ කළේය. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙනි, වැසි වැස්සේ. අවට හැම දෙයක්ම ඇඳිරිය, මරු කතරක මෙනි. හැම දෙයක්ම මියයනු ඇත. ඉතිරි වන්නේ මා පමණකි.

එකල මගේ වයස අවුරුදු දහ හතකි. අනගිතම කාලයයි!

මම සීතල, තෙතමනය සහිත වැලි පොළොවේ දිගටම ඇවිදින්නට වීමි. කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දත් ඇඳි එකිනෙකට ගැටෙන්නට විය. ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම, ස්ත්‍රී ඇඳුමකින් සැරසී ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටිමි. වැස්සට තෙමී තෙතබරි වී සිටි ඇගේ උරහිස් ඉදිරියට නැමී ඇත. මා ඇය ලඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය කුමක් කරන්නේ දැයි දන ගැනීම පිණිසය. වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑතින් ඈ වළක් හාරමින් සිටින බව පෙනිණි.

“නුඹ ඔය වැඩේ කරන්නේ මොකටද?”

ඈ සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියා ය. ඈ නැගිට සිට සිය අළු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට, ඇය මගේ වයසට සමාන තරුණියක් බව මම දුටිමි. ඇගේ මුහුණ ඉතා සුන්දරය. කනගාටුවකට මෙන් එහි නිල් පැහැති පැල්ලම් තුනක් ඇති බැවින්, එම මුහුණෙ පෙනුම තරමක් අයහපත් ය. මේ පැල්ලම් තුනම පුදුමාකාර ලෙස සමානත්වයක් දරයි. ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණය පැල්ලම් දෙකකි. අනික නළලේය. තරමක් විශාල එම පැල්ලම නහයට උඩින් තිබිණි. අනික් මිනිසුන්ගේ සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන් හැඟිණි.

තරුණිය මා දෙස බලත්ම, ඇගේ නෙත්වල තිබූ බිය ගතිය කෙමෙන් අතුරුදහන් විය.. මොහොතකින් ඈ අත්වල තිබූ පස් හා වැලි ගසා දමා, හිස බැඳි කපු ලේන්සුව සකස් කරගෙන, සුළං පහර නිසා හැකිලී ගෙන මෙසේ තෙපලාය.

“නුඹ බඩගින්නේ කෑම හොයනවා නේද? එහෙනම් නුඹත් හාරපන්, මගේ අත්දෙක රිදෙනවා. ඒක ඇතුළෙ පාන් තියෙන්නට ඕන.” ඈ හිස වනා වසා දමා ඇති කඩය පෙන්නුවාය... මේ කඩේ තවම වෙළඳාම් කරනවා...”

මම පොළොව හාරන්නට වීමි. ඈ තරමක් වෙලා මා දෙස බලා සිට අසලින් වාඩි වී හාරන්නට වුවාය. අපි නිහඬව පොළොව හෑරුවෙමු. ඒ වෙලාවේ දී මට, අප විසින් නිතර මතක තබා ගත යුතුයැයි කරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය, සදාචාරය, පුද්ගලික අයිතිය ආදී දේ ගැන කල්පනා වී දැයි කිව නොහැකිය. හැකි තරම් සත්‍යයට ලං වීමට පතන මා, හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන කල්පනා නොකළ බව පිළිගත යුත්තකි. එතරම් දැඩි ලෙසත්, ගැඹුරු ලෙසත් මම වල හැරීමෙහි නියුක්ත වී සිටියෙමි. ඇඳිරි වැටෙන්නට පටන් ගති. අඳුර, තෙතමනය, සීතල අප අවට වඩාත් දැඩි ලෙස පැතිරිණි. රැළි නගන හඬ තරමක් අඩු වුවද, කඩ මැස්සට වැටෙන වැහි බිඳු නගන හඬ වඩාත් වැඩිවිය... රාත්‍රී, මුරකරුවකුගේ ශබ්දය ඈතින් ඇසිණි...

“මේකට යටින් පොළොවක් තියෙනවද? එහෙම තියෙවනම් අපි කරන වැඩෙන් ඇති පලක් නැහැ. අපි වලක් හෑරුවයින් පස්සේ එතැන මහත ලෑල්ලක් තියෙන්ට පුළුවනි... එතකොට කඩ පෙට්ටිය  අරින්නේ කොහොමද? ඊට වැඩිය හොඳයි යතුරු ඉබ්බාව කඩනවා.. මේක පරණ ඉබ්බෙක්...”

යහපත් අදහස් ගැහැණියකගේ හිසෙහි ජනිත වන්නේ කලාතුරකිනි. එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස් ද ජනිත වෙයි.. යපහත් අදහස් හැමදාම උසස් ලෙස අගය කළ මම, ඒවායින් හැකි තරමින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ කළෙමි. දොර ලෑල්ලේ යතුර ඉබ්බා වෙත ගිය මම එහි වළලුත් සමග උදුරා දැමීමට සමත් වීමි. මවිසින් එලෙස විවෘත කරන ලද හිඩැස්ස තුළින් මගේ අත් උදව්කාරිය සැපින්නක සේ ඇතුළු වුණාය.

“හැබෑ දක්ෂයා!” ඈ මා අනුමත කරමින් පැවසුවාය.

ගැහැනියකගෙන් ලැබෙන එක පැසසුමකට මට පිරිමියෙකුගෙන් ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනේ ය. එම පිරිමියා ආදී කල විසූ සියලු චතුර කථිකයින් එකට ගත් විට ඔවුනට සමාන වුවද කම් නැත. එවැනි පුරුෂ පැසසුම් අසනවාට වඩා විශාල උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත. තරුණියගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට කාලයක් නොවූයෙන්, මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළෙමි.

“ඔතන මොනවා හරි තියෙනවද?”

එක්තානමය හඬකින් ඈ දකින දේ විස්තර කළාය. “හිස් බෝතල කූඩයක්, හිස් ගෝනි ගොඩක්... කුඩයක්... යකඩ බාල්දියල්...”

ඒවා ආහාර සඳහා සුදුසු දේ නොවේ. මගේ බලාපොරොත්තු සුන්වීමට පටන් ගති. එහෙත් හිටි හැටියේම ඈ ප්‍රාණවත් ගතියකින් කෑ ගැසුවාය. “මෙන්න! තියෙනවා...”

“මොනවද ?”. 

“පාන්... පාන් ගෙඩියක්... හැබැයි තෙතයි... ඉඳා ගනින්...” මගේ දෙපා ලඟට වටකුරු පාන් ගෙඩියක් විසි වී ආවත් සමග මගේ නිර්භීත අත් උදව්කාරියද මට ළං වූවා ය. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් කඩා කටේ දමා ගෙන සපන්නට වූයෙමි. “ඉතින් මටත් දීපන්... අපි මෙතැනින් පිටවෙන්නට ඕන. නමුත් අපි යන්නෙ කොහෙටද?” ඈ අඳුර රජ කරන අවට දෙස පිරික්සුම් බැලීමක් හෙළුවාය. අඳුර දසත පැතිර ඇත. අවට හැම තැනම තෙතය, විවිධ ශබ්ද ඇසේ... “අන්න අතන බෝට්ටුවක් පෙරළා දමා තියෙන්නෙ, එතනට යමුද?”

“යමු!” අපි දෙදෙන පා නගමින් අපේ පාන් ගෙඩියෙන් කැබලි කඩා ගෙන කටේ දමා ගත්තෙමු. වැස්ස වැඩි විය, ගඟ හඬ නැගීය. කොහේදෝ සිට දීර්ඝ ලෙසත්, උපහාසාත්මක ලෙසත් සිවුරු හඬලන සැටියක් ඇසිණ. බිය යනු කුමක්දැයි නොදත් යෝදයෙකු වැන්නෙක් සරත් සමයේ අයපහත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද, හැම කෙනෙකුටම සහ හැම දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය... එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපණි. එසේ වුවද, මම ගිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම් පසින් ගමන් ගත් තරුණිය ද මට නොදෙවැනි වන සේ පාන් කන්නට වූවාය.

“නුඹේ නම මොකක් ද?” කුමක් නිසා හෝ මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“නටාෂා !” හඬක් පිටවන සේ පාන් කන ඈ පිළිතුරු දුන්නා ය. මම ඇය දෙස බැලීමි. මගේ හදවත වේදනාවෙන් හැකිළිණි. අනතුරුව මම අඳුරට නෙත් යොමු කලෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඥමය සේයා ගුප්ත ලෙසත්, හිරිවට්ටන සැටියකිනුත් මා දෙස බලා මද සිනා පායි.

ලී බෝට්ටුවේ වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ දොම්නසට පිරි අහදසක් ගෙනාවේය. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුර අස්සෙන් එහි වූ ලී පතුරක් නටවමින් හා ශබ්ද කරමින් සෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය හඬක් ඇතිකරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කළේය. විඳදරාගත නොහැකි තරම් කාන්සියක් හා දොම්නසකින් යුත් කතාවක් එය අපට කියන්නාක් මෙනි. එය කැමති වුවද, එසේ කීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස පිළිගත්තාක් මෙනි. ගඟේ දිය රැළි වැසි පොදවල ශබ්දයත් සමග එක්වේ. දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට, තෙතමනය සහ මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා අමනාපයට හා විඩාවට පත් මහා පොළොව උඩු යටි කුරු කොට පෙරළා ඇති බෝට්ටුවට ඉහළින් සුසුම් හෙළන්නාත් මෙනි. පාළු ගං ඉවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහලින් සුළං හමන්නා වූ අතර එය ශෝකාන්විත ගී ගැයීය...

බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ තදබදයකි. එය වැසී ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිංදු වැටිණි. සුළං ඇතුළු විය... නිහඬව වාඩි වී සිටි අපි ශීතල නිසා වෙවුලන්නට වීමු. මට නිදා ගැනීමට අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේත්තු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දණහිස් මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා ගෙන අල්ලාගෙන ගඟ දෙස බලාගත්වනම සිටියාය. අගේ දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති අගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුණේ ඒවාට යටින් ඇති කළු පැහැති ලප නිසාය. ඇය නොසැලෙන ගල් රුවක් මෙනි. අගේ නිසල බව හා නිහඬ බව විසින් මසිත තුල කෙමෙන් බියක් ඇති කරනු ලැබීය... ඇය සමග කතා කරන්නට මට උවමානාවක් ඇති වුණද, එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි.

ඈ අගේ කතාව පටන්ගත්තාය.

“කෙතරම් දුෂ්ට ජීවිතයක්ද!” දැඩි ලෙසත්, සුපැහැදිලි ලෙසත් ඇය එසේ කිව්වේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක් ගැලවිල්ලක් නොවීය. ඇගෙ කට හඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය. සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථිර නිගමනයකට එළඹුණු සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී, ඇයට විරුද්ධ වීමට මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි. ඈ මා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම උන්නාය.

“මකබෑවෙලා යන්ටයි, මගේ කල්පානාව...” නතාෂා යලිත් නිහඬතාවය බින්දාය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීවය. අගේ මුවින් පිට වූ වචනවල දුක්ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඈ, තමාගේ තත්ත්වය දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කර ගැනීමට “මක බෑ වී යාම” හැර අන් කිසි මගක් නොමැති බව, සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබුණි. අගේ කල්පනාවේ සුපැහදිලිතාවය නිසා මට විඳ දරාගත නොහැකි ඔක්කාරයක් දැනිණි. මා තවත් දුර නිහඬව සිටියහොත් මට ඇඬෙනු ඇතැයි සිතිණි... ගැහැනියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි, විශේෂයෙන්ම ඇය නොහඬා ඉන්නා විට... ඇය සමග කතා කිරීමට මම ඉටා ගතිමි.

“නුඹට ගැහුවේ කව්ද?” එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි අපොහොසත් වූ මම ප්‍රශ්න කළෙමි.

“මේවා ඔක්කොම කරන්නේ පාෂ්කා තමා...” සන්සුන්ව හඬ නගා ඈ පිළිතුරු දුන්නාය.

“ඔහු කවුද”

“මගේ පෙම්වතා... පාන් බක්කරේ කෙනෙක්..”

“ඔහු නුඹට නිතරම පහර දෙනවද”

බීගත්තම පහර දෙනවා..”

හිටි හැටියේම ඈ මට ලංවී තමා පිළිබඳ කතාව කියන්නට වුවාය. පාක්ෂා සහ ඇය අතර ඇති සම්බන්ධකම් ගැන විස්තර කළාය. “ඇය හැමතැනම ඇවිදින ජාතියේ අභිසාරිකාවකි...” ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි. ඇකෝඩිනය දක්ෂ ලෙස වාදනය කරයි. ඔහු ඇය හමු වීමට ‘ආයතනයට’ ගිය අතර, ඈ ඔහුට කැමති වුවාය. මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිඳු ඇඳුම් ඇන්ඳ බැවිනි. ඔහුගේ කබායේ වටිනාකම රූබල් පහළොවක් විය, ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි.. මේ හේතු නිසා ඈ ඔහුට ආලය කරන්නට වුවාය. ඔහු මුදල් නොගෙවා ඈ සමග සංවාසයෙහි යෙදෙමින් ඇගේ “ණයකාරයකු” බවට පත්විය. ඉතින් මේ ණයකාරයා ඇයට වෙනත් මිනිසුගෙන් ලැබෙන ‘සන්තෝස දීමනා’ රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය. එපමණක් නොව, අගේ ඇස් ඉදිරිපිටම වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය...

“ඒක මගේ අමනාපයට කරුණක් නොවෙයිද? අනිත් එවුන්ට වැඩිය මම නරක නැහැ.. ඌ මට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ, නීචයා. මම අපේ ආයතනයේ ලොක්කිගේ අවසරය ඇතුව නිවාඩුවක් දාල උගේ ගෙදර ගියා. මෙන්න එතැන ලුන්කා බීල වෙරි වෙලා ඉන්නවා. පාශ්කාත් හොඳට වෙරිවෙලා. මම ඔහුට මෙහෙම කිව්වා “යකෝ නුඹ නීචයෙක්, ජඩයෙක්, පල්හොරෙක්!” ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න. මට පයින් ගැහුව්වා... හිසකෙස් ඇද්දා.. ඒත් කමක් නැහැ! මගේ ඇඳුම් ටික ඉරා දැම්මා. මගේ සායයි හැට්ටෙයි ඉරලා දැම්මා. දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා අලුතෙන් ගත්ත ඇඳුම්.. මගේ හිස බැඳි ලේන්සුවත් උදුරා ගත්තා.. අනේ දෙවියනේ! දැන් ඉතින් මොනවා කරන්ටද?” ඇගේ කටහඬ බිඳී ගොස්, විලාප ගැසීමක් මතුවිය. සුළං හැමීම දැඩි වී සීතල තවත් වැඩිවිය. මගේ දත් දෙපළ යළිත් එකටෙක ගැටෙන්නට විය. ඈ සීතල නිසා ගුලි ගැසී මා ලඟට කෙතරම් ඇදුනාද යත්, අඳුර බිඳ මට ඇගේ දෙනෙතේහි කාන්තිය පවා පෙනිණි. “පිරිමි වන තොපි ජඩයෝ! තොපි ඔක්කොම මගේ පයට පාගලා තොපේ අත් පා ඉරා දමන්ට ඇත්නම්.. පණ අදින පිරිමියෙකුගේ මුහුණට කෙළ ගහන්නට මම ලෑස්තියි. කිසිම අනුකම්පාවක් නැතුව! වැදගැම්මකට නැති මී හරක්! හූල්ල හූල්ලා නීච බල්ලෝ වගේ ගෑණු ළඟ කරකැවෙනවා. ගෑණියෙක් එහෙම නුඹලාගේ උපායට යටවුනොත් උන්දෑ ඉවරයි, සිද්ධ වුනේ මොනවද කියල අවබෝධ කරගන්නටත් ඉස්සෙල්ලා ඒ ගෑණිව පාගලා ඉවරයි... ගඳ ගහන වල් සත්තු..” ඈ නොයෙකුත් විදිහට බැණ වැදුණු අතර ඒ බැණීම්වලට යෙදූ වචන ශක්තිය රහිත විය. ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවීය, පොදු වශයෙන් ගත්විට ඇගේ කට හඬෙහි සන්සුන් ගතියක් තිබිණි. ඇය කියන දේ සමග එය සමානුපාතික ලෙස කොහෙත්ම නොගැළපිණි. එමෙන්ම ඇගේ කතාවෙහි දොම්නස මුසු එකතානමයකි.

ඒ කෙසේ වුවද, මුල් කාලයේදී සහ පසු කාලයේදී මවිසින් අසන ලද සහ කියවන ලද සියලු සර්ව අශුභ කතා හා පොත්වලට වැඩියෙන්, අද වුවද එවැනි පොත්වලට හා අසන කතාවලට වැඩියෙන්, අගේ කතාව මා කෙරෙහි බලපෑවේය. මරණය පිළිබඳ ඉතා සම්පූර්ණ ලෙස ලියන ලද කළා කෘතීන්වලට වඩා මියයන පුද්ගලයා මරණ මොහොතේදී විදින දුක් වඩාත් ස්වභාවික වීමත් වඩාත් බලගතු වීමත් මෙයට හේතුවකි.

මගේ දොම්නස වඩාත් වැඩි වුයේ මා සමග ලැගුම් ගෙන සිටින තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකිය. මා සෙමෙන් සුසුම් ලෑ අතර මගේ දත් ගැටිණි. එවිටම මට කුඩා අත් දෙකක පහස දැනිණි. එකක් මගේ බෙල්ල ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳිණ. ඒ සමගම බියමුසු සුරතල් ප්‍රශ්න ඇසිණ.

“නුඹට මක් වෙලාද?”

මගෙන් එලෙස ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු බව සිතීමට මා සුදානම් ය. සියලු පිරිමින් දුෂ්ටයන් කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ දැන්ය. එහෙත් දැන් ඉක්මනින්ම හා හදිසියකින්ම ඈ කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට හීතල? වෙවුලනවද? මදෑ නුඹේ හැටි! කටවහගෙන ඉඳගෙන ඉන්නවා.. හරියට බස්සෙක් වගේ! නුඹට හීතලයි කියල මීට ඉස්සෙල්ලා නොකීවේ ඇයි.. ඉතින් නුඹ බිම දිගා වෙයන්.. දිග ඇදියන්.. මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම! දැන් මාව දෑතින් තදවෙන්ට බදාගනින්.. තදවෙන්ට.. අන්න එහෙම. දැන් නුඹට උණුසුමක් දැනෙනවා ඇති.. ඊට පස්සෙ අපි පිටට පිට දීල ඇලවෙමු. අපි කොහොමහරි මේ රෑ මෙහෙම ගත කරමු. නුඹට මක් වෙලාද, බොන්ට පටන් ගත්තද? රස්සාවෙන් පැන්නුවද? කමක් නැහැ! ඈ මා සැනසීමට උත්සාහ කළාය. ඈ මා දිරි ගැන්නුවාය.

මට තෙවරක්ම ශාප වේවා! මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක් ඇද්ද! කල්පනා කර බලන්න! ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම ගැන විශාල සැලකිල්ලක් දැක්වීමි, සමාජ ක්‍රමය ප්‍රතිසවිධාන කිරීම ගැන සිහින දුටිමි, දේශපාලන පෙරලි ගැන කල්පනා කලෙමි, කතුවරයන් පවා තමන් විසින් ලියන ලද පොත් වල ගැඹුර අවබෝධ කරගත නොහැකි තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒ වනවිට මා කියවා තිබිණි. ක්‍රියාකාරී විශාල බල වේගයක් ලෙස නැනී සිටීමට මම ඒකාලයෙදී උත්සහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ ගණිකාවකගෙනි, ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත්, පහකරනු ලැබූ ගැහැනියක ගෙනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා යට ආධාර කල යුතුව තිබුණද, මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණි. කලින් එය වටහා ගත්තද. එවැන්නක් කිරීමට තරම් මා සමත් වෙතිද!

මේ සියල්ල මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත්, එය අමන අවාසනාවත් සිහිනයක් නැවත සිතීමට මා සුදානම්ය.. එහෙත් එවැන්නක් සිතිය නොහැකිය. මන්දයත් මගේ සිරුර මත සීතල වැහිපොද වැටෙන බැවිනි. මගේ පපුවට ගැහැණියකගේ පපුවක් තදින් හේත්තු වී ඇත. අගේ උණුසුම් ප්‍රශ්වාස මට දැනෙයි. එහි තරමක් වොඩ්කා සුවඳක් තිබුණද, එය ජීවමය බවෙන් ආඩු නැත.. සුසුම් ලන්නාක් මෙන් සුළං හමයි. බෝට්ටුව මත පතිත වන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ රැළි ඝෝෂා කරයි. අපි දෙදෙන එකිනෙකා තදින් වැළඳගෙන සිටියද, සීතලෙන් ගැහෙන්නට වීමු. මේ හැම දෙයක්ම සැබවින්ම වාස්තවියකය. එම යථාර්ථය තරම් දුක්මුසු, අයහපත් සීනයක් කිසිවකු කිසි දිනෙක දැක නැතැයි මට සහතිකය. එහෙත් නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඈ සුරතල් ලෙසත්, මෘදු ලෙසත් කතා කරයි. ඇගේ කතාවේ ඇති ළාමක හා බොළඳ ගති නිසා මහද තුල කුඩා ආලෝකයක් පැන නැගිණි. ඉන් පැන නැගි උණුසුම නිසා මගේ හදවතෙහි ගොඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදිය සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය.. නතාෂා මට සැනසුම් බස් තෙපලන්නට විය.

“අනේ මගේ හොඳ කොල්ලෝ නාඩා ඉඳින්! ඔය ඇති! දෙවියන්ගේ පිහිටෙන් නුඹට ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් වේවී..” ඔවැනි සැනසුම් බස් ඈ කියුවාය. අනතුරුව ඈ මා සිපගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝ සේ ඈ මා සිපගත්තාය.

ජීවිත විසින් මට පළමුවැනි එමෙන්ම ඉතාමත් හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය. මන්දයත් ඉන්පසුව ඇති වූ චුම්බනවලට මට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිඳු පලක් නොවූ බැවිනි. “නුඹ පුදුම කොල්ලෙක්. අඬන්නට එපා. නුඹට යන එන මගක් නැති නම් මම නුඹට තැනක් හොයලා දෙන්නම..” ඈ මට සහතික කරමින් මුමුණන සැටි  ඇසුණේ සිහිනයකින් මෙනි. අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන එලෙස සිටියෙමු..”

එලිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට විත් නගරය දෙසට ගියෙමු... ඉක්බිතිව මිතුරන් සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය. මා මෙහි විස්තර කල සරත් සමයේ එක රැයක මා සමග ගතකල සුන්දර නතාෂා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය. ඈ මියගියා නම්, එය ඇයට කෙතරම් යහපත් දෙයක්ද! ඈට සදාකල් සමාදානය අත්වේවා! ඇය තවමත් ජීවතුන් අතර නම්, ඇගේ හදවතට සාමය උදාවේවා! ඇගේ ආත්මය කිසි විටෙක පාපය ඉදිරියේ දුබල නොවෙත්වා. මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඈ විඳින දුක් වලට එය අමතර බරක් වන බැවිනි.

- නිමි - 

සුන්දර නතාෂා - මැක්සිම් ගෝර්කි

අනුවාදය - දැදිගම වී රුද්රිගු

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්