Showing posts with label පොත් - කතා. Show all posts
Showing posts with label පොත් - කතා. Show all posts

ගුණදාස අමරසේකරයන්ගේ රතුරෝස කෙටිකතා සංග්‍රහයේ එන "බයිසිකලය කෙටිකතාව"

 

 

''සියදෝරිස් බයිසිකලයක් අරගෙන වගෙයි" යි පාලම අසල වූ කිසිවකු ඔහු පාලම ළඟ වූ කඩ පිළට ගොඩවෙනු දැක කීවේ නළල රැළි ගන්වා සිනහ මුහුණින් යුතුව එදෙස බැලීමෙන් පසුවය. එවැන්නකුගේ දෙනෙතෙහි විස්මය මෙන්ම උපහාසාත්මක සිනහවක්ද විය.

 

ඔව් දැන් දවස් හතරකට පහකට ඉස්සෙල්ලා ගත්තා. මං හිතුවට වැඩිය ලාබෙට ලැබුණා" යි එවැනි විටක ඔහු කීවේ - තමා පළමුවර එ දෙස බලන්නාක් මෙන් විස්මයෙන් යුතුව බලමින් සිනහවෙන් ඉතිරෙන මුහුණිනි. ඔහුගේ කටහඬෙහි එවැනි වේලාවල ආඩම්බර ගතියක් වී යයි කිසිවකුට සිතෙනු ඇත.

හැබෑටම උඹට කීයක් විතර ගියාද? " යි එසේ කථාවට වැටෙන එකකු ඔහුගෙන් ඇතැම් විටක අසයි.

එවිට ඔහුගේ ස්වභාවයෙන් කුඩා දෙනෙත් තවත් කුඩා වෙයි. ඒවා දීප්තියෙන් දිලිසෙන්නට පටන් ගනී. ඔහු මඳක් කල්පනාකාරීව සිට ඇද පැද උත්තර දෙන්නේ ඒ සියල්ල ගැන මතක් වීම ඔහුගේ සිතට ප්‍රීතිය ගෙන දෙන කරුණක් නිසා විය හැක.

 

"මේකට සෑහෙන ගණනක් ගියාටිකක් ඔය පේන්ට් එක නරක් වුණාට පැදීම අනිත් ඒවා එහෙම බොහොම හොඳයි. "

 

"එහෙනම් රුපියල් හතලිහක් විතර වෙන්න ඇති පිටින් නම් වැඩි ඔපයක් නැහැ. "

 

"ඔව් එච්චර විතර ගියා" යි කී ඔහු නිශ්ශබ්ද වෙයි. කෙසේ වුවද තමා සමඟ පසුව කී කියමන ඔහුගේ සිත නොගනියි.

 

"පිට ඔපෙන් මොන වැඩක්ද මම කොහොමත් ඉන්නෙ මෙකෙ අලුත් පේන්ට් එකක් ගාලා අලුතෙන් කැලි දමන්න" යි ඉක්බිතිව පිළිතුරු දෙන ඔහු කඩය ඇතුළෙන් ගෙනා සිගරැට් ටින් එකෙහි වූ තෙල් ලාම්පුවට වත් කරයි.

 

"හා, උඹට මොකෝ රෑ වුණාට බයිසිකල් එකෙන් යන්න බැරිය" යි ඔහු මෙසේ කරනු දුටු කඩය ඇතුළෙහි වූ කිසිවකු කියන්නේ හඬනගා සිනහවෙමිනි. ඔවුන් සියල්ලම තමන් උපහාසයට ලක් කරමින් මෙන් සලකනු ලැබීම ගැන සියදෝරිස් කිසිවිටක නොතැකුවේය. ගෙදරින් පිටදී නෝන්ජලයෙකු වූ ඔහුට බොහෝ දෙනා මෙසේ සැලකුවේ ඔහු තුළ සහජයෙන්ම වූ දුර්වලකමක් නිසා විය හැක. එළලු පැහැති මුහුණක් හා දුඹුරු පැහැති හිසකේ ඇති ඔහු වයසින් අවුරුදු තිස් පහක් පමණ නමුදු, එතරම් වයසක් ගිය කෙනෙකු ලෙස නොපෙනෙයි. ඔහු දෙස බැලූ කිසිවකුට එසේ නොපෙනෙන්නේ, වයසට නොගැලපෙන බැගෑපත් පෙණුමක් ඔහුගේ මුහුණෙහි වූ බැවිනැයි සිතමි. ඔහුගේ මුහුණෙහි මෙන්ම කට හඬෙහිද ඒ බැගෑපත් බව මැනවින් දක්නට ලැබිණ. තමාට වඩා උසස් එකකු හා කථා කරන විට ඔහු ඉඳහිට නවත්වමින්ද සෙමෙන්ද එක්තරා බිය ගතියකින් ද යුතුව කථා කෙළේය.

 

තමා කියන දෙයෙහි තමාට පවා විශ්වාසයක් නැතැයි යන අදහස ඔහුගේ කථාව, ඇසුවකුට නිතැතින්ම සිතේ. මේ බැගෑපත් බව ඔහුට සහජයෙන්ම ආ දෙයක්ද නැත්නම් බොහෝ කලක් අනුන් යටතෙහි වැඩ කිරීම නිසා ලැබූ එකක් දැයි කීම පහසු නොවේ. ඔහු පසුගිය අවුරුදු කීපය තුළ කළේ අනුන්ගේ රබර් වත්තක් බලා ගැනීමය. අක්කර දහයක් පමණ වූ එහි රබර් කිරි කැපීම මෙන්ම වෙන නොයෙක් කටයුතු කිරීමටද ඔහුට සිදු විය. රබර් ගස් තවම සම්පූර්ණයෙන් වැඩී නැති බැවින් තව කල් යනතුරු කන්දෙහි වල් පැලෑටි සුද්ධ කිරීම, ගල් වැටි දැමීම ආදී නොයෙක් වැඩ ඇතැයි ද ඊට තමාගේ මුළු ජීවිතයම ගෙවෙනු ඇතැයිද ඔහු ඇතැම් මොහොතක කල්පනා කෙළේය. උදේ සිට හවස් වනතුරු වැඩ කළ ද එහි වැඩ සම්පූර්ණයෙන් නිම නොවන්නේ තමාත් තමාගේ බිරිඳත් පමණක් එහි වැඩ කරන නිසා විය යුතු යයි ද ඔහුට සිතිණ. ඔහු සිය පවුල හා ජීවත් වුයේ කන්ද පාමුල වූ මැටියෙන් සාදන ලද කුඩා ගෙයෙහිය. එය පාරෙන් මඳක් ගොඩට වන සේ සෑදුවකි. එහෙත් එහි ගෙමිදුලෙහි මෙහා කොනට පැමිණි විට පාරත් එය වරෙක ඇල අද්දරින්ද වරෙක වෙල් අද්දරින්ද දිව යන සැටිත් බලාගත හැක. සියදෝරිස් ගෙයි පිටුපස වූ කන්දෙහි වැඩ වේලාසනින් නිමකොට පැමිණි ඇතැම් සැන්දෑවක ගෙමිදුල ඒ කොණෙහි පාර දෙසට ඇල වී තිබුණු පොල් කඳ මත වාඩිවී සිය දරුවන් සුරතල් කෙළේය. එය පුදුම ලෙස නැවුණු පොල් ගසකි. එහි මුල කොටස අඩි කීපයක් යනතුරු පොළව හා සමාන්තරව වැඩී තිබුණේය. ඉන් පසුව එය අහස දෙසට වැඩී තිබුණේය. පොල් කඳ මත වාඩිවී සිටි ඔහු, දරුවන්ගෙන් බාලයා උකුලට ගෙන ඈත සිට එන පාරද, ඇතැම් විටක ඈත වූ වෙල් හා කඳු ගැනද කථා කළේය.

 

ආන්න පුතා අන්න අර බලන්න, අන්න කවුද පාර දිගේ එනවා. අන්න දැක්කයි අර බයිසිකලෙන් එන්නෙ. අර ලොකු රෙදි මිටියකුත් පිටිපස්සේ බැඳගෙන එන්නේ... ආන්න බලන්න.

 

එවිට උකුලෙහි වූ කුඩා දරුවා ඔහුගේ පපුවට පයක් ගසා ඔහුගේ නැහැයෙන් හෝ උඩු තොලෙන් ඇද්දේය. ඇතැම් විටක කටේ අත දැම්මේය.

 

"ආන්න බලන්න බයිසිකලේ රෝද කරකැවෙන හැටි ආන්න රූ ගාල වංගුව කැපුව. ඕන්න... ඕන්න... දැන් ඒවි රූගාලා කඩේ ගාවට"

 

දරුවා ඔහු කී සියල්ල තේරුම් ගත්තාක් මෙන් උකුල උඩ නටමින් කෙළ බේරයි.

 

"අර බලන්න පුතා තාත්තටත් ඒ වගේ බයිසිකලයක් ඇත්නම් පුතත් වාඩි කරවගෙන රූ කියල යනවනේයි කී ඔහු දරුවා උස්සා සිය මුහුණට ළං කොට ඌ-ඌ- ඌ - ඌ කියමින් සිනහෙමින් හිස සලයි.

 

තමා බයිසිකලයක් ගත යුතු යයි සියදෝරිස් අධිෂ්ඨාන කළේ දනට අවුරුදු ගණනකට පෙරය. බයිසිකලයක් නොමැතිව තම වැඩ කටයුතු කිරීම ඉතාමත් අපහසු යයිද, එය අත්‍යවශ්‍ය යයිද ඔහු බොහෝ විට තමාටම අවධාරණයෙන් කියා ගත්තේය. බයිසිකලයක් නොමැතිව සිය වැඩ කටයුතු කෙසේ කළ හැකිද? ඔහුට උදේට සැතැප්ම දෙක තුනක් ඇවිදීමට තිබේ. ගෙයි පිටිපස වූ කන්දෙහි රබර් කිරි එකතු කිරීමෙන් පසු ඔහු ඉක්බිතිව හැතැප්ම තුනක් පමණ පයින්ම යා යුතුය. හැම දිනම ගෙදරින් පිටවන විට උදේ අට පසුවී ඉවරය. එවිට පාරට සම්පූර්ණයෙන් අව්ව වැටී තිබේ. උදය නිසා තවම පාර රත්වී නැත. එහෙත් අහසට ඇරුණු පෙදෙසෙහි හිරු රැස් චණ්ඩ ලෙස විහිදී ඇත. මුවාවක් වනසේ ඒ පැත්තෙහි ගසක් කොලක් නොමැති වීම ගැන බොහෝ විට සියදෝරිස් දොස් නැගුවේය. "ගස් ටිකක් වවල තිබුණ නම් එහෙම පිටින්ම වැහෙනව නේ. මිනිසුන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එහෙත් දුෂ්කර, එහි සිට වැඩ ඉවර වූ පසු දවල් දොළහට පමණ ආපසු ඒමය. එවිට පාර රත් කළ යවටක් සේ රත්ය. හිරු රැස් නිසා අවට දිලිසෙයි. ඉරෙහි චණ්ඩ භාවය නිසා අවට වියළී ඇත. බැනියමකින් හෝ අන්කිසිවකින් ආවරණය නොවූ උඩු කයද, හිසද, දෙපාද එක ලෙස පිව්වෙයි. ඔහු ඇතැම් විටක තවත් දෙපා පිච්චෙනු ඉවසා ගත නොහැකිව දුඹුරු පැහැති තණකොල ගොම්ම දිගේ ගමන් කෙළේය. මෙසේ දුක සේ ජීවත්වීමට වඩා ගෙදර නිරාහාරව සිටීම යෙහෙකැයි ඔහුට එසේ ගමන් කරන බොහෝ වේලාවල සිතිණ. මෙසේ ගමන් කරන විට කිසිවකු බයිසිකලයකින් හෝ අන් කිසිවකින් යනු ඔහුට පෙනේ. ඔහු ඒ දෙස බැලුවේ ඊර්ෂ්‍යාවෙන් බව ඔවුනට ද තමාටද ශාප කර ගනිමිනි. ඒ සියල්ල තමා අඩි දහයක් යෑමටද පෙර අතුරුදහන් වෙයි. බයිසිකලයේ රෝද වේගයෙන් කරකැවී ගොස් අතුරුදහන්වන සැටි! එහි සිටින්නාට අව්වෙහි චණ්ඩ භාවය බිඳකුදු නොදැනෙනු ඇත. ඒ සියල්ල සුළඟෙහි ඉවත් වූවාක් මෙන් නොපෙනී යයි. ඔහුගේ ඊර්ෂ්‍යාව එයින් දියුණු විය. තමාට බයිසිකලයක් ගත හැක්කේ කවදාද? ඊට තව බොහෝ කල් යනු ඇත. ඊට අඩු ගණනේ රුපියල් හතලිස් පහක් පමණවත් අවශ්‍ය වනු ඇත. එහෙත් එතෙක් ඉතිරි කිරීමට කෙතරම් කල්යාද? ඉතිරි කරනු වෙනුවට ඔහුට බොහෝ මාස වල වැඩියෙන් රුපියල් දෙක තුනක් පමණ ණයට ගැනීමට සිදුවේ. එයද ගත යුත්තේ දවස් තුන හතරක් නිකම් වැඩ කොට කන පින්දම් කීමෙන් පසුවය. එහෙත් එසේ මුදල් එකතු කොට බයිසිකලයක් ගත් විට තමා එයින් යන සැටි ගැන ඔහු කල්පනා කෙළේය. එවිට කකුල් රිදීමක්වත්, අව්වෙහි පිච්චීමක්වත්, කාලය නාස්ති වීමක්වත් සිදු නොවේ. එවිට තමන්ද අන් අය මෙන් කිසිවක් ගැන නොතකා එය පැදයනු ඇත. දැන් අව්වෙන් වේලෙන මුළු පෙදෙසම පසු කිරීමට එවිට යන්නේ මිනිත්තු කීපයක් පමණකි. බයිසිකලය වංගුවල නැමෙමින්ද, සුළඟ මෙන් වේගයෙන්ද නොපෙනී යනු ඇත.

 

එහි රෝද දෙස බලා සිටින්නකුට ඒවා පොළොවට උඩින් යන්නාක් මෙන් පෙනෙණු ඇත. ඒ ගැන සිහි කරන ඔහුගේ සිත ප්‍රීතියෙන් නටයි. ඔහුට දුක්මුසු වර්තමානය ද එවිට අමතක වේ. තමා බයිසිකලයක් පැදගෙන 'රූං' කියා යන සැටිද ඈත සිට බලන්නකුට පුදුමයක් මෙන් එය වංගු ආදියෙහි නැමෙමින් නිමේෂයකින් නැති වී යන සැටිද ඔහු තමාගේ සිතෙහි මවා ගත්තේය. වේගයෙන් යන ඇතැම් මොහොතක දූවිල්ල ලාකඩක් මෙන් එය වසා පැතිරෙනු ඇත. ඒ සියල්ල කෙතරම් රමණීයද?

 

රුක්මලගොඩ සිට බොහෝ වෙහෙස වී පැමිණි ඇතැම් දිනයක ඔහු සිහිනෙන් දුටුවේද මෙවැනි දේය. බොහෝ හිරිහැර විඳිමින් සිටින තමාට හදිසියේ බයිසිකලයක් හමු වී තිබෙනු ඔහු දුටුවේය. එය වඩා අලුත් බයිසිකලයක් නොවුවද එහි ගාන ලද පාට නිසා එහි දිස්නයක් තිබුණේය. එහි ලේබලයේ වූ සිංහයාගේ රූපය රත්රන් පාටින් බැබලුණේය. එහි රතු පාට සීට් එකක් විය. රතු පාට සීට් එක ඔහුගේ සිත ගත්තේය. බයිසිකල් සිටි සියල්ලම රතු පාට විය යුතු යයිද ඔහු කල්පනා කළේය. ඉක්බිතිව තමා එහි නැඟී යන සැටිද ඔහු දුටුවේය. බයිසිකලය පාරෙහි පමණක් නොව කඳු අතරද වෙල් වල ද, වරක් ඒ දණ්ඩක් දිගේද වේගයෙන් ගියේය. මෙසේ යන අතර එය හදිසියේ නැවතුනාක් මෙන් ඔහුට දැනිණ. කවුදෝ පිටුපසින් වේගයෙන් තල්ලු කළේය. බයිසිකලයද ඔහු ද දඩස් ගා ඇලට ඇද වැටෙයි. එවැනි මොහොතක ඔහු බියෙන් හා ශෝකයෙන් කම්පිත වෙමින් නැගිට්ටේය. එහෙත් ඒ ගැන ඔහු පසු දින ද සන්තෝෂ විය.

 

උදේ නැගිට තේ වතුර බොන අතර ඔහු ඒ ගැන සිය බිරිඳ සමඟද කීවේය.

 

දන්නවද, මම ඊයෙ හීනෙන් දැක්ක බයිසිකලයකින් යනව. ඒක හොඳ අගේ ඇති අලුත් බයිසිකලයක් ඒකට...  පස්සෙ මමත් ඒකත් එක්කම ඇලට වැටුණා."

 

ඔහුගේ බිරිඳ ඔහුගේ සිතෙහි ස්වරූපය නො හඳුනයි.

 

"ඔය සෙම් කෝප වෙලා වෙන්න ඇති. වතුර පෙනෙන්නේ සෙම් කෝප වුණාම. ටික දවසකටවන් හේනේ වැඩ නවත්වන්න හොඳයි. මුළු දවසෙම ගිනි කට්ටේට පායලා හැන්දෑවට වහිනවා. ඕකෙන් තමයි සෙම් කෝප වෙන්නෙ. මාත් දැක්ක පෙරේද හැන්දෑවෙ වතුර ගලලා තියෙනවා."

 

ඔහුගේ බිරිඳ ඔහු හා කුලුපග බවෙන් යුතුව කථා කරන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් ඔහු සිය බිරිඳට සැලකුවේ තද පරුෂ ගතියෙනි. ඇ ගෙදර වැඩ කිරීමටද දරුවන් හැදීමටද නොදත් මෝඩ ගැහැනියකැයි ඔහු බොහෝ විට කීවේය. තමා ගෙදර එනතුරු කෑම නූයා හෝ දරුවන්ට කෑම නොදී තිබුණ ඇතැම් දවසක ඔහු ඈට තැලුවේය. තමාට ඈ බයෙන් හා ගෞරවයෙන් යුතුව සලකතියි යන හැඟුම ඔහුගේ ප්‍රීතියට කරුණක් විය. ඈ හුඟක් මෝඩ ගති ඇත්තේ ඈ ඉස්කෝලයේ තුන් වෙනි ප්‍රමාණය දක්වා ඉගෙන ගත් බැවිනි. ඉස්කෝලේ ඉගෙන ගැනීම ගෑනුන්ට හොඳ නැහැ" යි ඔහු බොහෝ විට සිතුවේය. එසේ වුවද ඈ ඔහු සිතන තරම් මෝඩ තැනැත්තියක් නොවූවාය.

 

"ඒක නොවෙයි මට බයිසිකලයක් ලැබෙන්න වෙන්න ඇති. මං දැනට මාසෙකට විතර ඉස්සෙල්ලත් හීනෙන් දැක්කා. ලේල්වල බයිසිකලයක් විකුණන්න තියෙනවලුයි" ඔහු කීවේ තමාගේ බිරිඳට තමා කියන කිසිවක් නොතේරෙතියි යන හැඟුමෙන් යුතුවය.

 

"බයිසිකලයක් ගන්න ඕන වුණාට කොහේද සල්ලි තියෙන්නේ. මම ඊයේ රුපියල් දෙකක් ණයට ඉල්ල ගෙනයි සමුපකාරෙන් බඩු ගෙනාවේ. ගිය මාසයේ මද්දුම මහත්තයගෙන් ගත්තු ණයත් දෙන්න තියෙනව.""

 

උඹට මක්කටද සල්ලි වගක් මට තව රුපියල් දහයක් තියෙනව නම් බයිසිකලේ ගන්න හැටි මං දන්නවා යි ඔහු පිළිතුරු වශයෙන් අහංකාර ලීලාවෙන් කීවේය. ඉක්බිතිව ඔහු කිසිවක් මතක් වූවාක් මෙන් ගේ තුළට ගියේය. එය කුඩා ගෙයක් වුව ද එහි කාමරයක් තිබේ. එය මැද සාලය දෙකට වෙන් කිරීමෙන් සාදන ලද්දකි. ඊට තිබුණේ එක් ජනේලයකි. කෝටු හරහට හා දිගට බැඳීමෙන් ආවරණය කොට තිබීම නිසා ඉන් ඇතුළු වූයේ ස්වල්ප ආලෝකයකි. ජනේලය අසල බිත්තියෙහි කුප්පියක් ගසා තිබුණේය. ඊට උඩින් අවුරුදු ගණනක දැලි බැඳී තිබිණ. බයිසිකලය ගත් විට එය මෙහි තැබිය යුතු යයි ඔහු මුල සිටම කල්පනා කෙළේය. ඊට ඉබ්බෙක් දැමීය හැකි දොරක් වූ බැවින් එය ඊට ඉතා සුදුසුය. සාලයෙහි අනික් කොටසෙහි ඇඳක් තබා තිබුණේය. ඇඳෙහි තැන්දට රෙද්දක් දමා නොතිබුණේය. එහි රාත්‍රියට ඔහුගේ පටියද, ලේන්සුවද, දරුවන්ගේ රෙදි කැබලි ද දමනු ලැබේ. ඇඳ අසල වූ මේසයට උඩින් බිත්තියෙහි කවි කොලයක්ද, නූල් බෝලයක මුද්දරයක්ද, පාට ඡන්ද කොලයක්ද අලවා තිබුණේය. එහි "යූ. ඒ. කුලතිලක වෙද රාළහාමිට ඡන්දය දෙමු" යි රතු අකුරින් ලියා තිබුණේය. මේසය අසළට පැමිණි ඔහු ඉනෙහි සඟවා තිබූ යතුර ගෙන එය ඇරියේය. වට පිට බැලූ ඔහු එහි තබන ලද සිගරැට් ටින් එක සෙමෙන් එළියට ගෙන ගනින්නට විය. එහි ඇත්තේ අවුරුදු දෙක තුනක පමණ සිට ඔහු ඉතා අමාරුවෙන් එකතු කරන ලද මුදල්ය. හැම දිනම පඩි හම්බ වූ දිනයෙහි ඔහු එහි ශත පනහේ කාසියක් හෝ රුපියලක් දම්මේය. එය එහි වූ බව බිරිඳ හෝ අන් කිසිවකු නොදනියි. බිරිඳ එය දනිත් නම් කිසිවිටක එය ඉතිරි කරගත නොහැකි යයිද ඔහු සිතුවේය. සෙමෙන් වට පිට බලමින් ගණන් කළ ඔහු ඒවා යළිත් එහි දමා ලාච්චුව යතුරු ලා වැසුවේය. "රුපියල් තිස්පහයි. තව රුපියල් දහයක් ඇත්නම්" යි කාමරයෙන් එළියට පැමිණි ඔහු තමාටම කියා ගත්තේය.

 

මෙසේ මාස කීපයක් ගතවන්නට ඇත.

 

පසුගිය ඔක්තෝම්බර් මාසයේ රබර් මිල බෙහෙවින් නැග්ගේය. ඒ මාසයේ අන්තිමෙහි සියදෝරිස්ට රුපියල් දහයක් වැඩියෙන් ලැබුණේය. එදින ඔහු ගෙදර ආවේ ඊට පෙර කිසිවිටක නොවූ ප්‍රීතියකින්ද යුතුවය. ගෙදර එන අතර ඔහු කඩයටද ගොඩ නැග්ගේය. තමාගේ අභිමතාර්ථය ඉෂ්ට වන අයුරු දකින ඔහුගේ සිත ප්‍රීතියෙන් උදම් වෙයි. ඔහුට ඒ ගැන කඩයෙහිදී කථා කිරීමට උවමනා විය. එහෙත් කිසිවකු ඒ ගැන යමක් සිතතියි බියෙන් ඔහු එය කෙළින්ම නොකීවේය.

 

"හෙට ලේල් වලට යන බස් එකක් තියෙන්නේ කීයටද? " යි ඔහු කඩයෙහි වූවකුගෙන් ඇසුවේය.

 

"කොයි වෙලාවටත් තියෙනවා... මොකෝ යන්නද? "

 

"ඔව් මට උවමනාවක් තියෙනවා... "

 

ඉක්බිතිව ඔහු එහි වූ කිසිවකු සමඟ පොදුවේ බයිසිකල් ගැන කථා කරන්නට විය.

 

"මහත්තය හැබෑටම රැලේද හොඳම බයිසිකල් ජාතිය? ''

 

"ඔව්" එහි වූ තැනැත්තා නුවමනාවෙන් මෙන් පිළිතුරු දුන්නේය.

 

"ඔව් මාත් හිතනවා ඔය හම්බර්, හර්කියුලිස් බයිසිකල් වලට වැඩිය පරණ උනත් රැලේ බයිසිකලය හොඳයි. මහත්මයා ළඟ තියෙන්නේ රැලේ බයිසිකලයක්ද?"

 

නැහැ ඒක හම්බර් එකක්. රැලේ එක ඊට වැඩිය හොඳයි."

 

එයින් ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට විය. රැලේ බයිසිකල් ගමේ වැඩි දෙනෙකුට ද නොමැත. එයින් අලුත් එකක් ඇත්තේ තමාගේ ස්වාමියාට පමණකි. එය ගත් අලුත බොහෝ දෙන ඒ ගැන කථා කළ සැටි ඔහුට මතකය. තමාට රැලේ බයිසිකලයක් ගත්විට ඇතැම් විටක ඒ ගැන කථා කිරීමටද බැරි නැත.

 

එදින ගෙදර ගිය ඔහු බිරිඳ සමඟද කථා කළේ උඩඟු ලීලාවෙනි. ඔහු ගෙදර වූ කාමරයේ පැත්තක් අස් කෙළේය. කොනක වූ පැදුරු සහ බංකුවක් ද පැත්තකින් තැබූ ඔහු එහි බයිසිකලයක් තැබීමට සෑහෙන ඉඩ තරම් තුන් හතර ගුණයක් එළි කළේය. එදින රාත්‍රි නිදාගැනීමට ගිය ඔහු බිරිඳට තමාට උදයෙන් අවදි කරන ලෙසද කීවේය.

 

"හෙට උදෙන්ම කූද්දන්න ඕන. මට ලේල්වලට යන්න තියෙනවා."

 

"මොකටද?'' යි මඳක් නිශ්ශබ්දව සිටි බිරිඳ ඇසුවාය.

 

"ලොකු උවමනාවකට.... මට වරද්දන්නෙ නැතුව කූද්දන්න ඕන. හෙට උදේට වහින එකක් නැහැ නේද?"

 

"කියන්න බැහැ. මේ දවස්වල උදේට ටික ටික වහිනවා. අද හවස මීදුම තිබුණ නිසා මීට පස්සෙ ඉඳල මගේ හිතේ පායන්න පටන් ගනීවි" යි බිරිඳ පිළිතුරු දුන්නාය. ඔහු වෙනදාට වඩා සෞම්‍ය ලෙස කථා කරනු ඇසීම ඇගේ පුදුමයට හේතු විය.

 

"මෙයාට වැඩියෙන් රුපියල් දහයක් හම්බ වුණාය කියන්නේ ඇත්තද? අද මද්දුම මහත්මයා එහෙම කිව්වා"

 

"මොන බොරුද; ඒක බොරුවක්. "

 

"එහෙම නම් මම කියන්න හිටියේ හෙට ලේල්වල ඉඳල එනකොට මටත් හැට්ටෙක රෙදි ගේන්නය කියන්න. මේ දරුවන්ටත් අඳින්න මොකවත් නැහැ. මම ඊයේ රුක්මල්ගොඩින් පරණ පොඩි ගවුමක් ඉල්ලගෙන ආව.

 

පසුදින උදයෙහි ලේල්වල ගිය ඔහු ආපසු පැමිණියේ බයිසිකලයෙනි. එවිට ඔහුගේ සිතෙහිවූ ප්‍රීතිය කෙතරම්ද යත් ඔහු කීප විටක් ඇදගෙන වැටීමටද ගියේය. වෙනදා පයින් පසු කළ පෙදෙස් පසු කළ ඔහු එදෙස බැලුවේ මහත් අහංකාර ලීලාවෙනි.

 

පෙරට යන සැටිද, ඇතැම් වංගුවකදී එය තමා සමඟම නිමේෂයකින් ඇලවී යන සැටිද දකින ඔහුගේ සින ප්‍රීතියෙන් වියරු වැටෙන්නාක් මෙන් වෙයි. ඇතැම් තැනකදී ඔහු හිස කෙළින් කොට බයිසිකලය වේගයෙන් පැද්දේය. ඔහු කඩමණ්ඩිය පසුකර යනු දුටු කීප දෙනෙක් සිනහවෙමින් ඇතැම් දේ කීහ. 'අද සියදෝරිස්ට නින්ද යාවී' යි ඉන් ඇතැමෙකු කියනු ඔහුට ඇසිණ.

 

එදින ඔහු ගෙදර එන විට සවස් වීමට ආසන්න වී තිබුණේය. ඔහු බයිසිකලයෙන් එනු දුටු ඔහුගේ බිරිඳ පුදුම වූවාය. "මෙයා උදෙන්ම ගියේ බයිසිකලයක් ගේන්නද යි ඈ දෑස ඇදහිය නොහැක්කාක් මෙන් ඇසුවාය.

 

"ඔව් මෙන්න උඹටත් හැට්ට රෙද්දක් ගෙනාවා" යි ඔහු මෙතෙක් ඉනෙහි ගසාගෙන තිබුණු රෙදි කැබෙල්ල ගෙන ඈට දුන්නාය. වහා බිඳයන කිසිවක් ගන්නා මෙන් එය ගත් ඇගේ මුහුණ ප්‍රීතියෙන් ඉතිරෙන්නට විය. ' මං අද ලේනහතු වගයක් හැදුවා' යි ඉක්බිතිව ඈ කීවේ. ඔහුගේ සිත තවත් සතුටු කරන අටියෙනි. ඔහු ලේ නහතු කෑමට ප්‍රිය බව ඈ දනී. තේ වතුර බීමටත් පෙර සියදෝරිස් බයිසිකලය මිදුලට ගෙන පිස දමන්නට විය. ඇඳිරි වැටෙන තුරු ඔහු එය සෙමෙන්ද සීරුවෙන් ද පිස දැම්මේය. ඔහුගේ දරුවෝ ඔහු අසලට වී එදෙස බලා සිටියහ. බයිසිකල් රෝදයෙහි ස්පෝක් ඇල්ලීමට ඉන් එකකු තැත් කළ විට ඔහු වහා වළකාලුවේය.

 

උඹලා මේව අල්ලන්නේ නැතුව බලාගෙන ඉඳපල්ලා. පැය දෙකක් පමණ පිසදා ඉවර කළ පසු ඔහු එය රැගෙන ගොස් කාමරයෙහි තැබුවේය.

 

එදින රෑ නින්දට ගිය පසු ද ඔහු කථා කළේ ඒ ගැනය. අඳුරෙහි වැතිරී සිටි ඔහුගේ බිරිඳ ඔහුගේ කථාව අසා සිටියාය.

 

"රැලේ බයිසිකල් වැඩිය නැහැ. මේ ගමේ වුණන් තියෙන්නේ බොහොම ටිකයි" යි ඔහු ඈට සියල්ල විස්තර කිරීමට මෙන් කීවේය. ඔහුගේ කටහඬෙහි මොලොක් ගතියක් තිබුණේය. එය ඈ තුළ වූ ප්‍රීතිය දියුණු කරන සුළු විය.

 

අර දෙවරගෙදර තියෙන්නේ මොන බයිසිකලයක්- ද?" යි ඈ ඔහුගෙන් ඇසුවාය.

 

"ඒක රැලේ බයිසිකලයක් නෙවෙයි. වෙන මොකක්ද එකක්"

 

"ඒකෙ ඉස්සරහ කණ්ණාඩිය තියෙන්නේ මොකටද? අපේ බයිසිකලයේ එහෙම නැහැ නේද? " ඈ බයිසිකල් ගැන කථා කරනු ඇසීම ඔහුගේ ප්‍රීතියට හේතු විය. ඈ එතරම් මෝඩ නැතැයි ද ඔහුට සිතුනේය. ඔහු ඒ සියල්ල ද බයිසිකල් ගැන විස්තරයක්ද ඈට කීවාය.

 

"මේක මම හේනට යනකොට කාමරේ දාල දොර වහල යතුරු දාලයි යන්නේ. ඒකට පුංචි ඈයින්ට කිට්ටුවෙන්න දෙන්න එපා. "

 

" ඒ මොකෝ?"

 

"වෙන මොකටවත් නෙවෙයි, උන් ඒව මේව නැති කරල හුරලා දාවි. ඒ වගේම කවුරුත් ඉල්ලුවොත් කියන්න ඕන ඒක නරක් වෙලා කාමරේට දාලය කියල. එහෙම නැතුව බේරෙන්න බැහැ".  ඈ ඔහු කී සියල්ල අනුමත කළාය. ඉන්පසු සියදෝරිස් ජීවිතයේ ප්‍රධාන කාර්යය ලෙස සැලකුවේ තමාගේ බයිසිකලය රැක බලා ගැනීමය. ඔහු එය දිනපතා දෙතුන් වරක් පිස දම්මේය. ගමනක් ගොස් ආපසු පැමිණි විගස ඔහු පළමුවෙන්ම කළේ එය පිසදා කාමරයේ තැබීමය. ඔහු තම දරුවනට ඊට අතගැසීමට හෝ ඉඩ නුදුන්නේය.

 

වරක් ඔහුට රුක්මල ගොඩදී බයිසිකල් පිළිබඳ කොල වගයක් සම්බවිය. ඒවා එහි වූ රැලේ බයිසිකලය ගනිද්දී දෙන ලද පත්‍රිකාය. ඔහු ඒ සියල්ල ගෙදර ගෙනාවේය. ඔහුගේ ගෙදර ඉස්සරහ බිත්තියේ සීවලී පින්තූරයක්ද, ජෝජ් රජ්ජුරුවන්ගේ හා බිසොව කැලැන්ඩරයකින් කපාගත් පිංතූරයක්ද අලවා තිබේ. ඔහු තමා ගෙනා කොලද ඒ අසලම ඇලවූයේය. ඉන් එකක වූ කොට කලිසමක් හා කමිසයක් වැනි කිසිවක් හැඳගත් තරුණියක් බයිසිකලයක් අල්ලා ගෙන සිටිනු දක්වන රූපය ඔහුගේ සිත ඇද ගත්තේය.

 

කාමරයට යෑමට තම දරුවනට ඉඩ නුදුනද බයිසිකලය ඔවුන්ගෙන් ප්‍රවේසම් කරගත හැකි වූයේ ඉතා අමාරුවෙනි. දිනක් ඔහු දහවල හේනේ සිට ගෙදර පැමිණියේය. එදින ඔහුට බයිසිකලය වූ කාමරය යතුරු දා යෑමට නොහැකි විය. ඔහු ගෙදර එනවිට ඔවුන් සියලු දෙනම බයිසිකල් රෝදය කරකවමින් ද, අඟුරු කැබෙල්ලකින් එහි නොයෙක් දේ අඳිමින්ද සිටියහ. එය දුටු ඔහුගේ කෝපය නිම්හිම් නැති විය. ඔහු වහා ගොස් ඔවුන් ඇදගෙන වුත් කාමරයෙන් දොට්ට දම්මේය. ඉක්බිති ඔහු බිරිඳට කථා කෙළේය.

 

"මම නැති වුණාම උඹට බැරිද මේ කාමරේ දොර වහල තියන්න. මං නැත්නම් මේකෙ කිසි දෙයක් කෙරෙන්නෙ නැහැ" බිරිඳ කථා නොකර සිටියාය. ඔහුගේ කෝපය දියුණු විය. ඔහු ඈ අසලට පැමිණ ඇගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළේය. "තොට මේකෙ අගේ තේරෙන්නෙ නැහැ. අවුරුදු ගණනක් හම්බු කරල ගත්තු දේ පරිස්සම් කරන්න තාට ඕනකමක් නැහැ". ඔහුගේ කටහඬ යෙන් දෙදරුම් කෑවේය.

 

ඉක්බිතිව ඔහු බයිසිකලය සම්පූර්ණයෙන් පිසද කාමරයෙහි දමා දොර අගුලු ලෑවේය. ඔහු බැයිසිකලය පාවිච්චි කළේද හැම දිනම නොවේ. ඇතැම් දිනයක මුළු රාත්‍රියම වැස, පාර බෙහෙවින් මඩ වෙයි. පාරෙහි තැනින් තැන විශාල මඩ වලවල් සෑදේ. කරත්ත යෑම නිසා සෑදුනු ඇලිවල මඩවතුර එක්වී තිබේ. පාර දෙපසෙහි තණකොළ අසලද දුඹුරු පැහැති මඩ නිසා එරෙයි. එවැනි දිනයෙක ඔහු බයිසිකලය කාමරයෙන් එළියට නොගත්තේය. එදින ඔහු රුක්මල ගොඩ ගියේද පයිනි. එසේ යන ඔහු දුටු එකකු ප්‍රශ්න කරන්නේ තමා කාරණය සම්පූර්ණයෙන් නොදන්නා නිසා නොවේ.

 

මොකෝ සියදෝරිස් අද පයින්ම !

 

නැහැ. මම බයිසිකලය ගෙදර තියල ආවා.

 

"එහෙනම් පැව් එකක් වෙන්න ඇති" යි කී එසේ ඇසූ තැනැත්තා හඬ නගා සිනහ වෙන්නේ තමා සියල්ල දන්නා බව හඟවනු පිණිසය.

 

කල්යත්ම සියදෝරිස්ට බයිසිකලය පිළිබඳ තම සිතෙහි වූ ඇල්ම දියුණු විය. දැන් වෙනදා මුළු දවසම යන වැඩට ඔහුට යන්නේ පැය කීපයකි. බයිසිකලයෙහි නැගී වෙනදා පයින් පසු කළ පෙදෙස් කුරුල්ලකු මෙන් වේගයෙන් පසු කර යන විට ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිළෙයි. ඔහු ඇතැම් මොහොතක තමාට අයිතිවූ භාග්‍යය ගැන සිහිකර ප්‍රීති විය. ඔහු ඒ ගැන නොයෙක් දේද සිතුවේය. මිනිසුන්ට මේ ජාතියේ වැඩ කරන්නේ ගිය ජාතියේ ඔවුන්ගෙන් ණය ගත් උදවියයි. බයිසිකලයද ගිය ජාතියේ තමාගෙන් විශාල ණයක් ගත්තෙකු විය හැක. ඔහු මේ ගැන වරක් සිය බිරිඳ හා කිවිට ඈ ඔහු හා වාද කළාය. "

 

බයිසිකලයට ගිය ජාතියේ පණක් තියෙන්නේ කොහොමද?'' යි ඇසුවාය.

 

උඹ දන්නේ නැහැ. ගස් ගල් වලටත් පණ තියෙනවා. බුදුහාමුදුරුවෝ හාමුදුරුවන්ට තණ කොළ ගහක්වත් කඩන්න එපයි කියල තියෙන්නෙ ඒකයි. අපේ කුඹුරු වතුපිටි වලට පණක් නැත්නම් ඒව අපිට හරිහම්බු කරල දෙන්නේ කොහොමද? ඒවාටත් අපිට වගේ නැති වුණාට පණක් තියෙනවා.

 

එය තමාගේ භාග්‍යය උදාකළේ යයිද ක්‍රමයෙන් සියදෝරිස්ට සිතෙන්නට විය. දැන් ඔහුගේ වතුවල පලදාව වැඩිය. ඔහුගේ කොරටුවෙහි මේ වාරයේ කෙසෙල් කැන් කීපයක් පිට පිට වැටුණේය. ඔහු එළි කළ කොටසෙහි ගොයම ද මේ වාරයේ බෙහෙවින් සාර වී තිබේ. දැන් එහි කරල් රන් පැහැ ගැන්වී පොළව දෙසට බරව ඇත.

 

මෙසේ මාස කීපයක් ගතවී ගියේය.

 

දැන් රබර් ගස්වල කොළ හැලෙන කාලයයි. කොළ හැලුනු රබර් ගස් පාලු මළානික ගතියකින් යුතුව අහස දෙසට ඇරී තිබේ. රබර් ගස්වලට පෝර දමමින් මුළු දවසම ගෙවන ඔහුට නග්න වූ අතුරිකිලි පාලු ගතියකින් යුතුව නිල් පැහැති හිස් අහස පසුබිම් කොට නැගී සිටින සැටි පෙනේ. දවල් කාලයෙහි තදින් පායයි. හවස්වන විට වැහිලිහිණියෝ හඬ දෙති. උදේ සිට සවස් වනතුරු පෝර දැම්මද, ඉවර කළ හැක්කේ කුඩා කොටසකි. සවස පෝර දැමීමෙන් පසු, පසුදින දමීම සඳහා පෝර ගෙනෙනු පිණිස රුක්මලගොඩ යායුතුය.

 

දිනක් සවස ඔහු පෝර මිටිය බයිසිකලයෙහි බැඳ තබා එය පාර අයිනෙහි නතර කොට කිසියම් උවමනාවක් සඳහා කඩයට ගොඩ නැග්ගේය. බයිසිකලය වූයේ පාර අද්දරය. කඩය තුළ මුදල් වගයක් ගෙවමින් සිටි ඔහුට කිසිවක් දඩස් ගා මහ හඬින් ඇද වැටෙනු ඇසිණ. ඔහු වහා පාර දෙසට දිව්වේය. එය තමාගේ බයිසිකලය විය යුතු යයි ඔහුට අනුමානයෙන් සිතිණ. ඔහුගේ ඇඟ වේගයෙන් ගැහෙන්නට වූවාසේ ඔහුට දැනුනේය. පාරෙහි බයිසිකලය පෙනෙන්නට නොවීය. ලොරියක් ඈත වේගයෙන් පාලම පසුකොට යනු පමණක් ඔහුට පෙනිණ. වහා පාලම අසලට පැමිණ බැලූ ඔහුට සිය දෑස ඇදහිය නොහැක්කාක් මෙන් විය. ඔහුගේ මද ඇස වහා විවෘත විය. දෙකම්මුල්හි මස්පිඬු ලේ පැහැ ගැන්විණ, හදවතෙහි ගැස්ම ඉවසිය නොහැකි තරම් වේගවත් විය. ඔහුට ඉබේටම කෑ ගැසිණ. බයිසිකලය වූයේ පාලම යට ඇලෙහිය. සිදුවූයේ කුමක් දැයි නොතේරුණාක් මෙන් ඔහු සැලෙන හදවතින් යුතුව එදෙස බලා සිටියේය. ඔහුට සිහි එළවා ගතහැකි වූයේද මෙසේ ස්වල්ප වේලාවක් ගල් ගැසී සිටීමෙන් පසුවය.

 

එහි අවට වූවෝ ඔහු හා සමඟ එක්ව, ඇලට බැස බයිසිකලය ගොඩ ගත්හ. එහෙත් එහි ඉතිරි වූයේ කැබලි පමණකි. බයිසිකලයෙහි ඉස්සරහ රෝදය සම්පූර්ණයෙන් නැමී බිඳී ගොස් තිබිණ. පස්ස රෝදය ඇලෙහි කණු අතර පටලැවීම නිසා ගතහැකි වුයේ බොහෝ වේලාවක් ඇදීමෙන් පසුවය. එහි කිසිවක් ඉතිරි වී නොතිබිණ.

 

කල්පනා විරහිතව මෙන් එදෙස බලා සිටි ඔහු එතැන නොරැදී ගෙදර දෙසට ගියේය. මගදී ද අවුල් කල්පනාවේ වැටී සිටි ඔහුට කිසිවක් ගැන සිතිය නොහැකි විය. ඔහුගේ සිතෙහි වූයේ හිස් බවකි. හැඟීමෙන් වියවුල් වු එය වියරු වැටීමට ආසන්න එකකුගේ මෙන් අරමුණෙන් තොරව වේගයෙන් ක්‍රියා කෙළේය. කථා කිරීම හෝ කල්පනා කිරීම ඔහුට රුචි නොවීය.

 

ඔහු ගෙදර එන විට රෑ බෝවීමට බෙහෙවින් ආසන්නවී තිබුණේය. ගෙමිදුලට පැමිණි ඔහු පොල් කඳ මත වාඩිවී අහස දෙසට විහිදූ දෑසින් යුතුව බලා සිටියේය. ඔහුගේ මුහුණෙහි වූ රත් පැහැය වන විට වැඩි වී තිබිණ. ඔහු කල්පනා විරහිතව එදෙස බොහෝ වේලා බලා සිටියේය. සැඳෑ අඳුර සෙමෙන් ගෙමිදුල අවටද වසා පැතිරි ගෙන එයි. තද රන් පැහැයට හා දම් පැහැයට හුරු වූ වලාකුල් කීපයක් ඈත පාළු වෙල්යායක් උඩින් පාවෙමින් තිබුණේය.

 

එදින රාත්‍රී ඔහුට නින්ද නොගියේය. ඔහුගේ බිරිඳ බියෙන් ඔහු හා කථා නොකළාය. වරක් ඇ ඔහු අස්වැසීමට තැත් කළ විට ඔහු ඈට කෝපයෙන් බැන වැදුණේය. පැය කීපයක් කල්පනා විරහිත වූවාක් මෙන් සිටි ඔහුට ක්‍රමයෙන් සියල්ල ගැන සිහිවන්නට විය. ඒ හා සමඟම ඔහු තුළ තද ශෝකයක් ඇති විය. මෙතෙක් ගොළුව සිටි ඔහුගේ සිනට පළමු වරට ශෝකයක් ඇතිවූයේ එවිටය. තමා අවුරුදු කීපයක් දුකසේ වෙහෙස වී ලබාගත් එකම දෙය නැති විය. එයින් තමාගේ ජීවිතයේ වැදගත් කොටසක්ද නැති වී යැයි ඔහුට සිතිණ. ඔහු දෑස නොපියා අඳුර දෙස බලා සිටියේය. ඔහුගේ සිතෙහි වූ ශෝකය මඬමින් දඩි කෝපයක් නැගගෙන එයි. එය ඔහුගේ ඇඟ රත්කරවන සුළුය. තමා කෝප විය යුත්තේ කා සමඟද? එය කිසිවකු විසින් කරන ලද්දක් නොවේ. එසේ වුව ද මේ සියල්ල පිටු පසෙහි, තමාට නොවැටහෙන කිසියම් බියකරු බලයක් විය යුතුයි ඔහු කෝපයෙන් දෙනෙත් පියාගත්තේය.

 

පසුදින ඔහු ගෙදරින් බැහැර නොගියේය. එහෙත් ගෙදර සිටීමද ඔහු වෙහෙස කරවන සුළු විය. ඔහුගේ බිරිඳ බිය නිසා ඔහු හා කථා නොකළාය. මුළු දවසම ගෙදර සිටි ඔහු එදින ඇඳිරි වැටෙත්ම ගෙදරින් පිට විය.

 

එදින ඔහු ආපසු ආවේ මැදියම් රැයද පසු වූ පසුය. මෙතෙක් කිසි දිනක මත්පැන් දෙතොලෙක නොතිබූ ඔහු ඉන්පසු සිහි නැතිවන තුරු බීමට පටන් ගත් බව ගමෙහි ආරංචි විය.

 

* * * * *

 

පසු සටහන 😄 - මේක අපෙ අක්ක lamp shade එළියෙන් මද එළියවුනු කාමරේ, එයයිගෙ පොත් මේසෙට වෙලා සද්දෙට කියවද්දී... මං වහන්දෑ යහනෙ සැපට දිගෑදීල ඉන්නකොට මේ කෙටි කතාව කන ලඟින් ගියා වාගේ මතකයි. අර සියදෝරිස් බයිසිකලය ගැන හීන මවන හරියයි, බයිසිකලය ගෙනත් ඒ ගැන හිතන හරියයි තමා මීටර්.

ඒ කාලේ කතාව ඇහිච්ච කොටස් එක්ක හිතට අමුතු හැඟීමක් ආව!. පස්සෙ මේක හොයන් කියවන්න අදහසක් ආවෙත් ඒ හින්දමයි.

නරියා රජ වුණා වාගේ!


මහ ආරලු - බුරලු නැති නරියෙක් උන්න. මේකා කළේ නරින්ට ඔබින රාජකාරි නෙමේ.



ඕන් දවසක් එක්තරා ගෙදරකට වැදුණා. ඒ මොනාහරි මුට්ටියක් හට්ටියකට ඔළුව දාලා බඩ වේල පිරිමහගන්ඩ. එදා ඒ ගෙදර තීන්ත ගානව. මේකා තීන්ත සුවඳට රැවටිලා හිට එක්තරා මුට්ටියකට හොස්ස දැම්ම. හපොයි!

මුට්ටිය ඔළුවේ - ඒකේ තිබ්බ නිල් පාට තීන්ත ඇඟ පුරාම. දැන් මුට්ටි නරියා දුවනව - ඇයි යන එන මං පේන්නේ නෑනේ. දඩාං ගාලා වැදිච්චි ඔළු ගෙඩිය ගහක.

මුට්ටිය බිඳුණ. හැබැයි පරහක් තියෙනව. මුට්ටිය බිඳුණාට මුට්ටි කට නරියාගේ බෙල්ල වටේට මාලයක් වාගේ වැටුණ. දැන් බොලේ නිල්පාට නරියෙක්. බෙල්ලේ වළල්ලක් නිසා හරියට රජෙක් වාගේ අමුතුම සතෙක් මේක. ගියා අනෙක් සත්තු අතරට. මේක මොකා දෑ බැලුවා සත්තු වට වෙලා. අමුතු පාටක් - බෙල්ලේ මාලයක්.

නරියා නේද? බැලුවා සත්තු දිහා උජාරු ලීලාවෙන්.

උඹලා දන්නවාද මං කව්ද කියලා - මම තමයි - සක්කර මුත්ත උඹලාගේ රජ විදිහට පත් කරල මේ වනාන්තර අඩවියට එව්වේ.

හැග් - දිව්‍ය ලෝකෙන් ආවා කීවා...

අනේ උත්තමයාණෙනි! - ඔබතුමා අද පටන් මේ වන පෙතේ අගරජතුමා - සත්තු දණින් වැටිල බැගෑපත් වුණා. දැන් රජ අණ පතුරවනවා නරිය. ඌට උවමනා ආහාර පාන වාගේ දේවල් සත්තු ගෙනවිත් දුන්න. මේ ආරලු - බූරලු නැති නරියා දන්නැති උජාරු පාන්නට වුණා.

දවසක් කැලේට ආවා සිංහයෙක්. ඌට බයවෙලා සත්තු ටික නරි රජාට කාරණාව වහ වහා වාර්තා කළා. නරියාට ජම්ම පුරුද්ද හන්දා හූ කියවුණා.

මේකා මේ මෙච්චර දවසක් වෙස්මාරු කරන් අපි රවටාපු නරි ගෙඩියෙක්නේ කියලා සත්තු එකතු වෙලා කැලෙන් පන්නලා දැම්ම නරියාව.

එදා හිටන්, මේවාගේ වෙස් මාරු කරන් නාටක නටන අය අඳුනා ගනිද්දිත්, ආං ඒ කොයි කාටත් කියන්ට හුරු වුණා:


  "හරියට, නරියා රජ වුණා වාගේ?"



දොම්පෙට යන ගමන්...



සුන්දර නතාෂා - මැක්සිම් ගෝර්කි

 

සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.

මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම විකුණා දැමූ පසු මම නගරයෙන් පිට වී ඌස්තියෙ නමැති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව් සඳහා තොටුපළක් තිබුණි. නැව් ගමනාගමනය ඇති කාලවල දී එහි ලහිලහියේ වැඩ කෙරුණද, දැන් එහි පාලුය, කාන්තාරයක් මෙන් නිසල ය. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය.

තෙතමනය සහිත පස් ගොඩ පයෙන් හාරා අවුස්සමින්, ආහාරයට ගැනීම සඳහා සුදුසු යමක් එහි තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා බැලීමි. ජන ශුන්‍ය ගොඩනැගිලි සහ කඩ පිලවල් ගානේ ඇවිදිමින් බඩකට පුරා ආහාර ගිලීම කොතරම් යහපත් දෙයක් දැයි මම සිතන්නට වුයෙමි..

සංස්කෘතික වර්ධනයේ මේ අවධියේ දී ශාරීරික කුසගින්නට වඩා ලෙහෙසියෙන් ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කල හැකි ය. පිටත සිට බලන විට ලස්සන යයි කිව හැකි - වැරදීමකින් තොරව - ඇතුළත සැප පහසුයැයි කිව හැකි ගොඩනැගිලි සහිත වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද, සෞඛ්‍ය ගැනද තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටුපහටු මනෝ භාවයක් ඇතිකර ගත හැකිය. උණුසුම ගෙන දෙන සැප පහසු ඇඳුම ඇඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔවුහු ඉමහත් ආචාරශීලි ලෙස ඔබට යන්ට ඉඩ දී මග හැර ඔබේ කණගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලිවෙති. කුසගින්නෙන් පෙළෙන්නකුගේ ආධ්‍යාත්මය, බඩ පුරා ආහාර ගත එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කල හැකිය!.. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා ආහාර ගෙන සිටිනවුන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන!..

හවස්වත්ම වැසි වසින්නට පටන් ගත අතර උතුරු දෙසින් කුණාටු හමන්නට විය. කඩ පොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරින් හූ හඬක් පතුරුවමින් නැගී ආ කුණාටුව හෝටලවල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද ඇති කළේය. ගඟේ රැල්ල වඩාත් උස් වී පෙණ සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟාවී ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත්වෙතියි සිතමින් ඉවත පැන යාමට තැත්කලාක් මෙනි. අහස බැරෑරුම්ය, ඇඳිරිය, අහසේ සිට පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා වැහි බිංදු වැටිණි. මා අවට ඇති ශෝකාන්විත, ඛේදාත්මක පරිසරයට මුලින් උදුරා ලන ලද කැඩුණු විලෝ ගස් දෙකක් සහ ඒවා අසල උඩුයටිකුරු කොට පෙරළන ලද බෝට්ටුවක් ද අයත් විය.

අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද, දැඩි සීත සුළඟ විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකය මුසු ගතියක් ඇති කළේය... අවට හැම දෙයක්ම විනාශ වී, වඳ වී, මරණයේ සලකුණු පළ කළේය. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙනි, වැසි වැස්සේ. අවට හැම දෙයක්ම ඇඳිරිය, මරු කතරක මෙනි. හැම දෙයක්ම මියයනු ඇත. ඉතිරි වන්නේ මා පමණකි.

එකල මගේ වයස අවුරුදු දහ හතකි. අනගිතම කාලයයි!

මම සීතල, තෙතමනය සහිත වැලි පොළොවේ දිගටම ඇවිදින්නට වීමි. කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දත් ඇඳි එකිනෙකට ගැටෙන්නට විය. ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම, ස්ත්‍රී ඇඳුමකින් සැරසී ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටිමි. වැස්සට තෙමී තෙතබරි වී සිටි ඇගේ උරහිස් ඉදිරියට නැමී ඇත. මා ඇය ලඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය කුමක් කරන්නේ දැයි දන ගැනීම පිණිසය. වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑතින් ඈ වළක් හාරමින් සිටින බව පෙනිණි.

“නුඹ ඔය වැඩේ කරන්නේ මොකටද?”

ඈ සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියා ය. ඈ නැගිට සිට සිය අළු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට, ඇය මගේ වයසට සමාන තරුණියක් බව මම දුටිමි. ඇගේ මුහුණ ඉතා සුන්දරය. කනගාටුවකට මෙන් එහි නිල් පැහැති පැල්ලම් තුනක් ඇති බැවින්, එම මුහුණෙ පෙනුම තරමක් අයහපත් ය. මේ පැල්ලම් තුනම පුදුමාකාර ලෙස සමානත්වයක් දරයි. ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණය පැල්ලම් දෙකකි. අනික නළලේය. තරමක් විශාල එම පැල්ලම නහයට උඩින් තිබිණි. අනික් මිනිසුන්ගේ සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන් හැඟිණි.

තරුණිය මා දෙස බලත්ම, ඇගේ නෙත්වල තිබූ බිය ගතිය කෙමෙන් අතුරුදහන් විය.. මොහොතකින් ඈ අත්වල තිබූ පස් හා වැලි ගසා දමා, හිස බැඳි කපු ලේන්සුව සකස් කරගෙන, සුළං පහර නිසා හැකිලී ගෙන මෙසේ තෙපලාය.

“නුඹ බඩගින්නේ කෑම හොයනවා නේද? එහෙනම් නුඹත් හාරපන්, මගේ අත්දෙක රිදෙනවා. ඒක ඇතුළෙ පාන් තියෙන්නට ඕන.” ඈ හිස වනා වසා දමා ඇති කඩය පෙන්නුවාය... මේ කඩේ තවම වෙළඳාම් කරනවා...”

මම පොළොව හාරන්නට වීමි. ඈ තරමක් වෙලා මා දෙස බලා සිට අසලින් වාඩි වී හාරන්නට වුවාය. අපි නිහඬව පොළොව හෑරුවෙමු. ඒ වෙලාවේ දී මට, අප විසින් නිතර මතක තබා ගත යුතුයැයි කරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය, සදාචාරය, පුද්ගලික අයිතිය ආදී දේ ගැන කල්පනා වී දැයි කිව නොහැකිය. හැකි තරම් සත්‍යයට ලං වීමට පතන මා, හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන කල්පනා නොකළ බව පිළිගත යුත්තකි. එතරම් දැඩි ලෙසත්, ගැඹුරු ලෙසත් මම වල හැරීමෙහි නියුක්ත වී සිටියෙමි. ඇඳිරි වැටෙන්නට පටන් ගති. අඳුර, තෙතමනය, සීතල අප අවට වඩාත් දැඩි ලෙස පැතිරිණි. රැළි නගන හඬ තරමක් අඩු වුවද, කඩ මැස්සට වැටෙන වැහි බිඳු නගන හඬ වඩාත් වැඩිවිය... රාත්‍රී, මුරකරුවකුගේ ශබ්දය ඈතින් ඇසිණි...

“මේකට යටින් පොළොවක් තියෙනවද? එහෙම තියෙවනම් අපි කරන වැඩෙන් ඇති පලක් නැහැ. අපි වලක් හෑරුවයින් පස්සේ එතැන මහත ලෑල්ලක් තියෙන්ට පුළුවනි... එතකොට කඩ පෙට්ටිය  අරින්නේ කොහොමද? ඊට වැඩිය හොඳයි යතුරු ඉබ්බාව කඩනවා.. මේක පරණ ඉබ්බෙක්...”

යහපත් අදහස් ගැහැණියකගේ හිසෙහි ජනිත වන්නේ කලාතුරකිනි. එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස් ද ජනිත වෙයි.. යපහත් අදහස් හැමදාම උසස් ලෙස අගය කළ මම, ඒවායින් හැකි තරමින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ කළෙමි. දොර ලෑල්ලේ යතුර ඉබ්බා වෙත ගිය මම එහි වළලුත් සමග උදුරා දැමීමට සමත් වීමි. මවිසින් එලෙස විවෘත කරන ලද හිඩැස්ස තුළින් මගේ අත් උදව්කාරිය සැපින්නක සේ ඇතුළු වුණාය.

“හැබෑ දක්ෂයා!” ඈ මා අනුමත කරමින් පැවසුවාය.

ගැහැනියකගෙන් ලැබෙන එක පැසසුමකට මට පිරිමියෙකුගෙන් ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනේ ය. එම පිරිමියා ආදී කල විසූ සියලු චතුර කථිකයින් එකට ගත් විට ඔවුනට සමාන වුවද කම් නැත. එවැනි පුරුෂ පැසසුම් අසනවාට වඩා විශාල උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත. තරුණියගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට කාලයක් නොවූයෙන්, මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළෙමි.

“ඔතන මොනවා හරි තියෙනවද?”

එක්තානමය හඬකින් ඈ දකින දේ විස්තර කළාය. “හිස් බෝතල කූඩයක්, හිස් ගෝනි ගොඩක්... කුඩයක්... යකඩ බාල්දියල්...”

ඒවා ආහාර සඳහා සුදුසු දේ නොවේ. මගේ බලාපොරොත්තු සුන්වීමට පටන් ගති. එහෙත් හිටි හැටියේම ඈ ප්‍රාණවත් ගතියකින් කෑ ගැසුවාය. “මෙන්න! තියෙනවා...”

“මොනවද ?”. 

“පාන්... පාන් ගෙඩියක්... හැබැයි තෙතයි... ඉඳා ගනින්...” මගේ දෙපා ලඟට වටකුරු පාන් ගෙඩියක් විසි වී ආවත් සමග මගේ නිර්භීත අත් උදව්කාරියද මට ළං වූවා ය. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් කඩා කටේ දමා ගෙන සපන්නට වූයෙමි. “ඉතින් මටත් දීපන්... අපි මෙතැනින් පිටවෙන්නට ඕන. නමුත් අපි යන්නෙ කොහෙටද?” ඈ අඳුර රජ කරන අවට දෙස පිරික්සුම් බැලීමක් හෙළුවාය. අඳුර දසත පැතිර ඇත. අවට හැම තැනම තෙතය, විවිධ ශබ්ද ඇසේ... “අන්න අතන බෝට්ටුවක් පෙරළා දමා තියෙන්නෙ, එතනට යමුද?”

“යමු!” අපි දෙදෙන පා නගමින් අපේ පාන් ගෙඩියෙන් කැබලි කඩා ගෙන කටේ දමා ගත්තෙමු. වැස්ස වැඩි විය, ගඟ හඬ නැගීය. කොහේදෝ සිට දීර්ඝ ලෙසත්, උපහාසාත්මක ලෙසත් සිවුරු හඬලන සැටියක් ඇසිණ. බිය යනු කුමක්දැයි නොදත් යෝදයෙකු වැන්නෙක් සරත් සමයේ අයපහත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද, හැම කෙනෙකුටම සහ හැම දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය... එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපණි. එසේ වුවද, මම ගිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම් පසින් ගමන් ගත් තරුණිය ද මට නොදෙවැනි වන සේ පාන් කන්නට වූවාය.

“නුඹේ නම මොකක් ද?” කුමක් නිසා හෝ මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“නටාෂා !” හඬක් පිටවන සේ පාන් කන ඈ පිළිතුරු දුන්නා ය. මම ඇය දෙස බැලීමි. මගේ හදවත වේදනාවෙන් හැකිළිණි. අනතුරුව මම අඳුරට නෙත් යොමු කලෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඥමය සේයා ගුප්ත ලෙසත්, හිරිවට්ටන සැටියකිනුත් මා දෙස බලා මද සිනා පායි.

ලී බෝට්ටුවේ වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ දොම්නසට පිරි අහදසක් ගෙනාවේය. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුර අස්සෙන් එහි වූ ලී පතුරක් නටවමින් හා ශබ්ද කරමින් සෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය හඬක් ඇතිකරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කළේය. විඳදරාගත නොහැකි තරම් කාන්සියක් හා දොම්නසකින් යුත් කතාවක් එය අපට කියන්නාක් මෙනි. එය කැමති වුවද, එසේ කීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස පිළිගත්තාක් මෙනි. ගඟේ දිය රැළි වැසි පොදවල ශබ්දයත් සමග එක්වේ. දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට, තෙතමනය සහ මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා අමනාපයට හා විඩාවට පත් මහා පොළොව උඩු යටි කුරු කොට පෙරළා ඇති බෝට්ටුවට ඉහළින් සුසුම් හෙළන්නාත් මෙනි. පාළු ගං ඉවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහලින් සුළං හමන්නා වූ අතර එය ශෝකාන්විත ගී ගැයීය...

බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ තදබදයකි. එය වැසී ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිංදු වැටිණි. සුළං ඇතුළු විය... නිහඬව වාඩි වී සිටි අපි ශීතල නිසා වෙවුලන්නට වීමු. මට නිදා ගැනීමට අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේත්තු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දණහිස් මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා ගෙන අල්ලාගෙන ගඟ දෙස බලාගත්වනම සිටියාය. අගේ දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති අගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුණේ ඒවාට යටින් ඇති කළු පැහැති ලප නිසාය. ඇය නොසැලෙන ගල් රුවක් මෙනි. අගේ නිසල බව හා නිහඬ බව විසින් මසිත තුල කෙමෙන් බියක් ඇති කරනු ලැබීය... ඇය සමග කතා කරන්නට මට උවමානාවක් ඇති වුණද, එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි.

ඈ අගේ කතාව පටන්ගත්තාය.

“කෙතරම් දුෂ්ට ජීවිතයක්ද!” දැඩි ලෙසත්, සුපැහැදිලි ලෙසත් ඇය එසේ කිව්වේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක් ගැලවිල්ලක් නොවීය. ඇගෙ කට හඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය. සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථිර නිගමනයකට එළඹුණු සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී, ඇයට විරුද්ධ වීමට මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි. ඈ මා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම උන්නාය.

“මකබෑවෙලා යන්ටයි, මගේ කල්පානාව...” නතාෂා යලිත් නිහඬතාවය බින්දාය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීවය. අගේ මුවින් පිට වූ වචනවල දුක්ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඈ, තමාගේ තත්ත්වය දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කර ගැනීමට “මක බෑ වී යාම” හැර අන් කිසි මගක් නොමැති බව, සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබුණි. අගේ කල්පනාවේ සුපැහදිලිතාවය නිසා මට විඳ දරාගත නොහැකි ඔක්කාරයක් දැනිණි. මා තවත් දුර නිහඬව සිටියහොත් මට ඇඬෙනු ඇතැයි සිතිණි... ගැහැනියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි, විශේෂයෙන්ම ඇය නොහඬා ඉන්නා විට... ඇය සමග කතා කිරීමට මම ඉටා ගතිමි.

“නුඹට ගැහුවේ කව්ද?” එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි අපොහොසත් වූ මම ප්‍රශ්න කළෙමි.

“මේවා ඔක්කොම කරන්නේ පාෂ්කා තමා...” සන්සුන්ව හඬ නගා ඈ පිළිතුරු දුන්නාය.

“ඔහු කවුද”

“මගේ පෙම්වතා... පාන් බක්කරේ කෙනෙක්..”

“ඔහු නුඹට නිතරම පහර දෙනවද”

බීගත්තම පහර දෙනවා..”

හිටි හැටියේම ඈ මට ලංවී තමා පිළිබඳ කතාව කියන්නට වුවාය. පාක්ෂා සහ ඇය අතර ඇති සම්බන්ධකම් ගැන විස්තර කළාය. “ඇය හැමතැනම ඇවිදින ජාතියේ අභිසාරිකාවකි...” ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි. ඇකෝඩිනය දක්ෂ ලෙස වාදනය කරයි. ඔහු ඇය හමු වීමට ‘ආයතනයට’ ගිය අතර, ඈ ඔහුට කැමති වුවාය. මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිඳු ඇඳුම් ඇන්ඳ බැවිනි. ඔහුගේ කබායේ වටිනාකම රූබල් පහළොවක් විය, ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි.. මේ හේතු නිසා ඈ ඔහුට ආලය කරන්නට වුවාය. ඔහු මුදල් නොගෙවා ඈ සමග සංවාසයෙහි යෙදෙමින් ඇගේ “ණයකාරයකු” බවට පත්විය. ඉතින් මේ ණයකාරයා ඇයට වෙනත් මිනිසුගෙන් ලැබෙන ‘සන්තෝස දීමනා’ රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය. එපමණක් නොව, අගේ ඇස් ඉදිරිපිටම වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය...

“ඒක මගේ අමනාපයට කරුණක් නොවෙයිද? අනිත් එවුන්ට වැඩිය මම නරක නැහැ.. ඌ මට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ, නීචයා. මම අපේ ආයතනයේ ලොක්කිගේ අවසරය ඇතුව නිවාඩුවක් දාල උගේ ගෙදර ගියා. මෙන්න එතැන ලුන්කා බීල වෙරි වෙලා ඉන්නවා. පාශ්කාත් හොඳට වෙරිවෙලා. මම ඔහුට මෙහෙම කිව්වා “යකෝ නුඹ නීචයෙක්, ජඩයෙක්, පල්හොරෙක්!” ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න. මට පයින් ගැහුව්වා... හිසකෙස් ඇද්දා.. ඒත් කමක් නැහැ! මගේ ඇඳුම් ටික ඉරා දැම්මා. මගේ සායයි හැට්ටෙයි ඉරලා දැම්මා. දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා අලුතෙන් ගත්ත ඇඳුම්.. මගේ හිස බැඳි ලේන්සුවත් උදුරා ගත්තා.. අනේ දෙවියනේ! දැන් ඉතින් මොනවා කරන්ටද?” ඇගේ කටහඬ බිඳී ගොස්, විලාප ගැසීමක් මතුවිය. සුළං හැමීම දැඩි වී සීතල තවත් වැඩිවිය. මගේ දත් දෙපළ යළිත් එකටෙක ගැටෙන්නට විය. ඈ සීතල නිසා ගුලි ගැසී මා ලඟට කෙතරම් ඇදුනාද යත්, අඳුර බිඳ මට ඇගේ දෙනෙතේහි කාන්තිය පවා පෙනිණි. “පිරිමි වන තොපි ජඩයෝ! තොපි ඔක්කොම මගේ පයට පාගලා තොපේ අත් පා ඉරා දමන්ට ඇත්නම්.. පණ අදින පිරිමියෙකුගේ මුහුණට කෙළ ගහන්නට මම ලෑස්තියි. කිසිම අනුකම්පාවක් නැතුව! වැදගැම්මකට නැති මී හරක්! හූල්ල හූල්ලා නීච බල්ලෝ වගේ ගෑණු ළඟ කරකැවෙනවා. ගෑණියෙක් එහෙම නුඹලාගේ උපායට යටවුනොත් උන්දෑ ඉවරයි, සිද්ධ වුනේ මොනවද කියල අවබෝධ කරගන්නටත් ඉස්සෙල්ලා ඒ ගෑණිව පාගලා ඉවරයි... ගඳ ගහන වල් සත්තු..” ඈ නොයෙකුත් විදිහට බැණ වැදුණු අතර ඒ බැණීම්වලට යෙදූ වචන ශක්තිය රහිත විය. ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවීය, පොදු වශයෙන් ගත්විට ඇගේ කට හඬෙහි සන්සුන් ගතියක් තිබිණි. ඇය කියන දේ සමග එය සමානුපාතික ලෙස කොහෙත්ම නොගැළපිණි. එමෙන්ම ඇගේ කතාවෙහි දොම්නස මුසු එකතානමයකි.

ඒ කෙසේ වුවද, මුල් කාලයේදී සහ පසු කාලයේදී මවිසින් අසන ලද සහ කියවන ලද සියලු සර්ව අශුභ කතා හා පොත්වලට වැඩියෙන්, අද වුවද එවැනි පොත්වලට හා අසන කතාවලට වැඩියෙන්, අගේ කතාව මා කෙරෙහි බලපෑවේය. මරණය පිළිබඳ ඉතා සම්පූර්ණ ලෙස ලියන ලද කළා කෘතීන්වලට වඩා මියයන පුද්ගලයා මරණ මොහොතේදී විදින දුක් වඩාත් ස්වභාවික වීමත් වඩාත් බලගතු වීමත් මෙයට හේතුවකි.

මගේ දොම්නස වඩාත් වැඩි වුයේ මා සමග ලැගුම් ගෙන සිටින තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකිය. මා සෙමෙන් සුසුම් ලෑ අතර මගේ දත් ගැටිණි. එවිටම මට කුඩා අත් දෙකක පහස දැනිණි. එකක් මගේ බෙල්ල ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳිණ. ඒ සමගම බියමුසු සුරතල් ප්‍රශ්න ඇසිණ.

“නුඹට මක් වෙලාද?”

මගෙන් එලෙස ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු බව සිතීමට මා සුදානම් ය. සියලු පිරිමින් දුෂ්ටයන් කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ දැන්ය. එහෙත් දැන් ඉක්මනින්ම හා හදිසියකින්ම ඈ කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට හීතල? වෙවුලනවද? මදෑ නුඹේ හැටි! කටවහගෙන ඉඳගෙන ඉන්නවා.. හරියට බස්සෙක් වගේ! නුඹට හීතලයි කියල මීට ඉස්සෙල්ලා නොකීවේ ඇයි.. ඉතින් නුඹ බිම දිගා වෙයන්.. දිග ඇදියන්.. මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම! දැන් මාව දෑතින් තදවෙන්ට බදාගනින්.. තදවෙන්ට.. අන්න එහෙම. දැන් නුඹට උණුසුමක් දැනෙනවා ඇති.. ඊට පස්සෙ අපි පිටට පිට දීල ඇලවෙමු. අපි කොහොමහරි මේ රෑ මෙහෙම ගත කරමු. නුඹට මක් වෙලාද, බොන්ට පටන් ගත්තද? රස්සාවෙන් පැන්නුවද? කමක් නැහැ! ඈ මා සැනසීමට උත්සාහ කළාය. ඈ මා දිරි ගැන්නුවාය.

මට තෙවරක්ම ශාප වේවා! මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක් ඇද්ද! කල්පනා කර බලන්න! ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම ගැන විශාල සැලකිල්ලක් දැක්වීමි, සමාජ ක්‍රමය ප්‍රතිසවිධාන කිරීම ගැන සිහින දුටිමි, දේශපාලන පෙරලි ගැන කල්පනා කලෙමි, කතුවරයන් පවා තමන් විසින් ලියන ලද පොත් වල ගැඹුර අවබෝධ කරගත නොහැකි තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒ වනවිට මා කියවා තිබිණි. ක්‍රියාකාරී විශාල බල වේගයක් ලෙස නැනී සිටීමට මම ඒකාලයෙදී උත්සහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ ගණිකාවකගෙනි, ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත්, පහකරනු ලැබූ ගැහැනියක ගෙනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා යට ආධාර කල යුතුව තිබුණද, මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණි. කලින් එය වටහා ගත්තද. එවැන්නක් කිරීමට තරම් මා සමත් වෙතිද!

මේ සියල්ල මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත්, එය අමන අවාසනාවත් සිහිනයක් නැවත සිතීමට මා සුදානම්ය.. එහෙත් එවැන්නක් සිතිය නොහැකිය. මන්දයත් මගේ සිරුර මත සීතල වැහිපොද වැටෙන බැවිනි. මගේ පපුවට ගැහැණියකගේ පපුවක් තදින් හේත්තු වී ඇත. අගේ උණුසුම් ප්‍රශ්වාස මට දැනෙයි. එහි තරමක් වොඩ්කා සුවඳක් තිබුණද, එය ජීවමය බවෙන් ආඩු නැත.. සුසුම් ලන්නාක් මෙන් සුළං හමයි. බෝට්ටුව මත පතිත වන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ රැළි ඝෝෂා කරයි. අපි දෙදෙන එකිනෙකා තදින් වැළඳගෙන සිටියද, සීතලෙන් ගැහෙන්නට වීමු. මේ හැම දෙයක්ම සැබවින්ම වාස්තවියකය. එම යථාර්ථය තරම් දුක්මුසු, අයහපත් සීනයක් කිසිවකු කිසි දිනෙක දැක නැතැයි මට සහතිකය. එහෙත් නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඈ සුරතල් ලෙසත්, මෘදු ලෙසත් කතා කරයි. ඇගේ කතාවේ ඇති ළාමක හා බොළඳ ගති නිසා මහද තුල කුඩා ආලෝකයක් පැන නැගිණි. ඉන් පැන නැගි උණුසුම නිසා මගේ හදවතෙහි ගොඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදිය සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය.. නතාෂා මට සැනසුම් බස් තෙපලන්නට විය.

“අනේ මගේ හොඳ කොල්ලෝ නාඩා ඉඳින්! ඔය ඇති! දෙවියන්ගේ පිහිටෙන් නුඹට ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් වේවී..” ඔවැනි සැනසුම් බස් ඈ කියුවාය. අනතුරුව ඈ මා සිපගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝ සේ ඈ මා සිපගත්තාය.

ජීවිත විසින් මට පළමුවැනි එමෙන්ම ඉතාමත් හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය. මන්දයත් ඉන්පසුව ඇති වූ චුම්බනවලට මට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිඳු පලක් නොවූ බැවිනි. “නුඹ පුදුම කොල්ලෙක්. අඬන්නට එපා. නුඹට යන එන මගක් නැති නම් මම නුඹට තැනක් හොයලා දෙන්නම..” ඈ මට සහතික කරමින් මුමුණන සැටි  ඇසුණේ සිහිනයකින් මෙනි. අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන එලෙස සිටියෙමු..”

එලිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට විත් නගරය දෙසට ගියෙමු... ඉක්බිතිව මිතුරන් සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය. මා මෙහි විස්තර කල සරත් සමයේ එක රැයක මා සමග ගතකල සුන්දර නතාෂා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය. ඈ මියගියා නම්, එය ඇයට කෙතරම් යහපත් දෙයක්ද! ඈට සදාකල් සමාදානය අත්වේවා! ඇය තවමත් ජීවතුන් අතර නම්, ඇගේ හදවතට සාමය උදාවේවා! ඇගේ ආත්මය කිසි විටෙක පාපය ඉදිරියේ දුබල නොවෙත්වා. මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඈ විඳින දුක් වලට එය අමතර බරක් වන බැවිනි.

- නිමි - 

සුන්දර නතාෂා - මැක්සිම් ගෝර්කි

අනුවාදය - දැදිගම වී රුද්රිගු

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්