බයිසිකලය කෙටිකතාව


ගුණදාස අමරසේකරයන්ගේ රතුරෝස කෙටිකතා සංග්‍රහයේ එන "බයිසිකලය කෙටිකතාව"

 

 

''සියදෝරිස් බයිසිකලයක් අරගෙන වගෙයි" යි පාලම අසල වූ කිසිවකු ඔහු පාලම ළඟ වූ කඩ පිළට ගොඩවෙනු දැක කීවේ නළල රැළි ගන්වා සිනහ මුහුණින් යුතුව එදෙස බැලීමෙන් පසුවය. එවැන්නකුගේ දෙනෙතෙහි විස්මය මෙන්ම උපහාසාත්මක සිනහවක්ද විය.

 

ඔව් දැන් දවස් හතරකට පහකට ඉස්සෙල්ලා ගත්තා. මං හිතුවට වැඩිය ලාබෙට ලැබුණා" යි එවැනි විටක ඔහු කීවේ - තමා පළමුවර එ දෙස බලන්නාක් මෙන් විස්මයෙන් යුතුව බලමින් සිනහවෙන් ඉතිරෙන මුහුණිනි. ඔහුගේ කටහඬෙහි එවැනි වේලාවල ආඩම්බර ගතියක් වී යයි කිසිවකුට සිතෙනු ඇත.

හැබෑටම උඹට කීයක් විතර ගියාද? " යි එසේ කථාවට වැටෙන එකකු ඔහුගෙන් ඇතැම් විටක අසයි.

එවිට ඔහුගේ ස්වභාවයෙන් කුඩා දෙනෙත් තවත් කුඩා වෙයි. ඒවා දීප්තියෙන් දිලිසෙන්නට පටන් ගනී. ඔහු මඳක් කල්පනාකාරීව සිට ඇද පැද උත්තර දෙන්නේ ඒ සියල්ල ගැන මතක් වීම ඔහුගේ සිතට ප්‍රීතිය ගෙන දෙන කරුණක් නිසා විය හැක.

 

"මේකට සෑහෙන ගණනක් ගියාටිකක් ඔය පේන්ට් එක නරක් වුණාට පැදීම අනිත් ඒවා එහෙම බොහොම හොඳයි. "

 

"එහෙනම් රුපියල් හතලිහක් විතර වෙන්න ඇති පිටින් නම් වැඩි ඔපයක් නැහැ. "

 

"ඔව් එච්චර විතර ගියා" යි කී ඔහු නිශ්ශබ්ද වෙයි. කෙසේ වුවද තමා සමඟ පසුව කී කියමන ඔහුගේ සිත නොගනියි.

 

"පිට ඔපෙන් මොන වැඩක්ද මම කොහොමත් ඉන්නෙ මෙකෙ අලුත් පේන්ට් එකක් ගාලා අලුතෙන් කැලි දමන්න" යි ඉක්බිතිව පිළිතුරු දෙන ඔහු කඩය ඇතුළෙන් ගෙනා සිගරැට් ටින් එකෙහි වූ තෙල් ලාම්පුවට වත් කරයි.

 

"හා, උඹට මොකෝ රෑ වුණාට බයිසිකල් එකෙන් යන්න බැරිය" යි ඔහු මෙසේ කරනු දුටු කඩය ඇතුළෙහි වූ කිසිවකු කියන්නේ හඬනගා සිනහවෙමිනි. ඔවුන් සියල්ලම තමන් උපහාසයට ලක් කරමින් මෙන් සලකනු ලැබීම ගැන සියදෝරිස් කිසිවිටක නොතැකුවේය. ගෙදරින් පිටදී නෝන්ජලයෙකු වූ ඔහුට බොහෝ දෙනා මෙසේ සැලකුවේ ඔහු තුළ සහජයෙන්ම වූ දුර්වලකමක් නිසා විය හැක. එළලු පැහැති මුහුණක් හා දුඹුරු පැහැති හිසකේ ඇති ඔහු වයසින් අවුරුදු තිස් පහක් පමණ නමුදු, එතරම් වයසක් ගිය කෙනෙකු ලෙස නොපෙනෙයි. ඔහු දෙස බැලූ කිසිවකුට එසේ නොපෙනෙන්නේ, වයසට නොගැලපෙන බැගෑපත් පෙණුමක් ඔහුගේ මුහුණෙහි වූ බැවිනැයි සිතමි. ඔහුගේ මුහුණෙහි මෙන්ම කට හඬෙහිද ඒ බැගෑපත් බව මැනවින් දක්නට ලැබිණ. තමාට වඩා උසස් එකකු හා කථා කරන විට ඔහු ඉඳහිට නවත්වමින්ද සෙමෙන්ද එක්තරා බිය ගතියකින් ද යුතුව කථා කෙළේය.

 

තමා කියන දෙයෙහි තමාට පවා විශ්වාසයක් නැතැයි යන අදහස ඔහුගේ කථාව, ඇසුවකුට නිතැතින්ම සිතේ. මේ බැගෑපත් බව ඔහුට සහජයෙන්ම ආ දෙයක්ද නැත්නම් බොහෝ කලක් අනුන් යටතෙහි වැඩ කිරීම නිසා ලැබූ එකක් දැයි කීම පහසු නොවේ. ඔහු පසුගිය අවුරුදු කීපය තුළ කළේ අනුන්ගේ රබර් වත්තක් බලා ගැනීමය. අක්කර දහයක් පමණ වූ එහි රබර් කිරි කැපීම මෙන්ම වෙන නොයෙක් කටයුතු කිරීමටද ඔහුට සිදු විය. රබර් ගස් තවම සම්පූර්ණයෙන් වැඩී නැති බැවින් තව කල් යනතුරු කන්දෙහි වල් පැලෑටි සුද්ධ කිරීම, ගල් වැටි දැමීම ආදී නොයෙක් වැඩ ඇතැයි ද ඊට තමාගේ මුළු ජීවිතයම ගෙවෙනු ඇතැයිද ඔහු ඇතැම් මොහොතක කල්පනා කෙළේය. උදේ සිට හවස් වනතුරු වැඩ කළ ද එහි වැඩ සම්පූර්ණයෙන් නිම නොවන්නේ තමාත් තමාගේ බිරිඳත් පමණක් එහි වැඩ කරන නිසා විය යුතු යයි ද ඔහුට සිතිණ. ඔහු සිය පවුල හා ජීවත් වුයේ කන්ද පාමුල වූ මැටියෙන් සාදන ලද කුඩා ගෙයෙහිය. එය පාරෙන් මඳක් ගොඩට වන සේ සෑදුවකි. එහෙත් එහි ගෙමිදුලෙහි මෙහා කොනට පැමිණි විට පාරත් එය වරෙක ඇල අද්දරින්ද වරෙක වෙල් අද්දරින්ද දිව යන සැටිත් බලාගත හැක. සියදෝරිස් ගෙයි පිටුපස වූ කන්දෙහි වැඩ වේලාසනින් නිමකොට පැමිණි ඇතැම් සැන්දෑවක ගෙමිදුල ඒ කොණෙහි පාර දෙසට ඇල වී තිබුණු පොල් කඳ මත වාඩිවී සිය දරුවන් සුරතල් කෙළේය. එය පුදුම ලෙස නැවුණු පොල් ගසකි. එහි මුල කොටස අඩි කීපයක් යනතුරු පොළව හා සමාන්තරව වැඩී තිබුණේය. ඉන් පසුව එය අහස දෙසට වැඩී තිබුණේය. පොල් කඳ මත වාඩිවී සිටි ඔහු, දරුවන්ගෙන් බාලයා උකුලට ගෙන ඈත සිට එන පාරද, ඇතැම් විටක ඈත වූ වෙල් හා කඳු ගැනද කථා කළේය.

 

ආන්න පුතා අන්න අර බලන්න, අන්න කවුද පාර දිගේ එනවා. අන්න දැක්කයි අර බයිසිකලෙන් එන්නෙ. අර ලොකු රෙදි මිටියකුත් පිටිපස්සේ බැඳගෙන එන්නේ... ආන්න බලන්න.

 

එවිට උකුලෙහි වූ කුඩා දරුවා ඔහුගේ පපුවට පයක් ගසා ඔහුගේ නැහැයෙන් හෝ උඩු තොලෙන් ඇද්දේය. ඇතැම් විටක කටේ අත දැම්මේය.

 

"ආන්න බලන්න බයිසිකලේ රෝද කරකැවෙන හැටි ආන්න රූ ගාල වංගුව කැපුව. ඕන්න... ඕන්න... දැන් ඒවි රූගාලා කඩේ ගාවට"

 

දරුවා ඔහු කී සියල්ල තේරුම් ගත්තාක් මෙන් උකුල උඩ නටමින් කෙළ බේරයි.

 

"අර බලන්න පුතා තාත්තටත් ඒ වගේ බයිසිකලයක් ඇත්නම් පුතත් වාඩි කරවගෙන රූ කියල යනවනේයි කී ඔහු දරුවා උස්සා සිය මුහුණට ළං කොට ඌ-ඌ- ඌ - ඌ කියමින් සිනහෙමින් හිස සලයි.

 

තමා බයිසිකලයක් ගත යුතු යයි සියදෝරිස් අධිෂ්ඨාන කළේ දනට අවුරුදු ගණනකට පෙරය. බයිසිකලයක් නොමැතිව තම වැඩ කටයුතු කිරීම ඉතාමත් අපහසු යයිද, එය අත්‍යවශ්‍ය යයිද ඔහු බොහෝ විට තමාටම අවධාරණයෙන් කියා ගත්තේය. බයිසිකලයක් නොමැතිව සිය වැඩ කටයුතු කෙසේ කළ හැකිද? ඔහුට උදේට සැතැප්ම දෙක තුනක් ඇවිදීමට තිබේ. ගෙයි පිටිපස වූ කන්දෙහි රබර් කිරි එකතු කිරීමෙන් පසු ඔහු ඉක්බිතිව හැතැප්ම තුනක් පමණ පයින්ම යා යුතුය. හැම දිනම ගෙදරින් පිටවන විට උදේ අට පසුවී ඉවරය. එවිට පාරට සම්පූර්ණයෙන් අව්ව වැටී තිබේ. උදය නිසා තවම පාර රත්වී නැත. එහෙත් අහසට ඇරුණු පෙදෙසෙහි හිරු රැස් චණ්ඩ ලෙස විහිදී ඇත. මුවාවක් වනසේ ඒ පැත්තෙහි ගසක් කොලක් නොමැති වීම ගැන බොහෝ විට සියදෝරිස් දොස් නැගුවේය. "ගස් ටිකක් වවල තිබුණ නම් එහෙම පිටින්ම වැහෙනව නේ. මිනිසුන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එහෙත් දුෂ්කර, එහි සිට වැඩ ඉවර වූ පසු දවල් දොළහට පමණ ආපසු ඒමය. එවිට පාර රත් කළ යවටක් සේ රත්ය. හිරු රැස් නිසා අවට දිලිසෙයි. ඉරෙහි චණ්ඩ භාවය නිසා අවට වියළී ඇත. බැනියමකින් හෝ අන්කිසිවකින් ආවරණය නොවූ උඩු කයද, හිසද, දෙපාද එක ලෙස පිව්වෙයි. ඔහු ඇතැම් විටක තවත් දෙපා පිච්චෙනු ඉවසා ගත නොහැකිව දුඹුරු පැහැති තණකොල ගොම්ම දිගේ ගමන් කෙළේය. මෙසේ දුක සේ ජීවත්වීමට වඩා ගෙදර නිරාහාරව සිටීම යෙහෙකැයි ඔහුට එසේ ගමන් කරන බොහෝ වේලාවල සිතිණ. මෙසේ ගමන් කරන විට කිසිවකු බයිසිකලයකින් හෝ අන් කිසිවකින් යනු ඔහුට පෙනේ. ඔහු ඒ දෙස බැලුවේ ඊර්ෂ්‍යාවෙන් බව ඔවුනට ද තමාටද ශාප කර ගනිමිනි. ඒ සියල්ල තමා අඩි දහයක් යෑමටද පෙර අතුරුදහන් වෙයි. බයිසිකලයේ රෝද වේගයෙන් කරකැවී ගොස් අතුරුදහන්වන සැටි! එහි සිටින්නාට අව්වෙහි චණ්ඩ භාවය බිඳකුදු නොදැනෙනු ඇත. ඒ සියල්ල සුළඟෙහි ඉවත් වූවාක් මෙන් නොපෙනී යයි. ඔහුගේ ඊර්ෂ්‍යාව එයින් දියුණු විය. තමාට බයිසිකලයක් ගත හැක්කේ කවදාද? ඊට තව බොහෝ කල් යනු ඇත. ඊට අඩු ගණනේ රුපියල් හතලිස් පහක් පමණවත් අවශ්‍ය වනු ඇත. එහෙත් එතෙක් ඉතිරි කිරීමට කෙතරම් කල්යාද? ඉතිරි කරනු වෙනුවට ඔහුට බොහෝ මාස වල වැඩියෙන් රුපියල් දෙක තුනක් පමණ ණයට ගැනීමට සිදුවේ. එයද ගත යුත්තේ දවස් තුන හතරක් නිකම් වැඩ කොට කන පින්දම් කීමෙන් පසුවය. එහෙත් එසේ මුදල් එකතු කොට බයිසිකලයක් ගත් විට තමා එයින් යන සැටි ගැන ඔහු කල්පනා කෙළේය. එවිට කකුල් රිදීමක්වත්, අව්වෙහි පිච්චීමක්වත්, කාලය නාස්ති වීමක්වත් සිදු නොවේ. එවිට තමන්ද අන් අය මෙන් කිසිවක් ගැන නොතකා එය පැදයනු ඇත. දැන් අව්වෙන් වේලෙන මුළු පෙදෙසම පසු කිරීමට එවිට යන්නේ මිනිත්තු කීපයක් පමණකි. බයිසිකලය වංගුවල නැමෙමින්ද, සුළඟ මෙන් වේගයෙන්ද නොපෙනී යනු ඇත.

 

එහි රෝද දෙස බලා සිටින්නකුට ඒවා පොළොවට උඩින් යන්නාක් මෙන් පෙනෙණු ඇත. ඒ ගැන සිහි කරන ඔහුගේ සිත ප්‍රීතියෙන් නටයි. ඔහුට දුක්මුසු වර්තමානය ද එවිට අමතක වේ. තමා බයිසිකලයක් පැදගෙන 'රූං' කියා යන සැටිද ඈත සිට බලන්නකුට පුදුමයක් මෙන් එය වංගු ආදියෙහි නැමෙමින් නිමේෂයකින් නැති වී යන සැටිද ඔහු තමාගේ සිතෙහි මවා ගත්තේය. වේගයෙන් යන ඇතැම් මොහොතක දූවිල්ල ලාකඩක් මෙන් එය වසා පැතිරෙනු ඇත. ඒ සියල්ල කෙතරම් රමණීයද?

 

රුක්මලගොඩ සිට බොහෝ වෙහෙස වී පැමිණි ඇතැම් දිනයක ඔහු සිහිනෙන් දුටුවේද මෙවැනි දේය. බොහෝ හිරිහැර විඳිමින් සිටින තමාට හදිසියේ බයිසිකලයක් හමු වී තිබෙනු ඔහු දුටුවේය. එය වඩා අලුත් බයිසිකලයක් නොවුවද එහි ගාන ලද පාට නිසා එහි දිස්නයක් තිබුණේය. එහි ලේබලයේ වූ සිංහයාගේ රූපය රත්රන් පාටින් බැබලුණේය. එහි රතු පාට සීට් එකක් විය. රතු පාට සීට් එක ඔහුගේ සිත ගත්තේය. බයිසිකල් සිටි සියල්ලම රතු පාට විය යුතු යයිද ඔහු කල්පනා කළේය. ඉක්බිතිව තමා එහි නැඟී යන සැටිද ඔහු දුටුවේය. බයිසිකලය පාරෙහි පමණක් නොව කඳු අතරද වෙල් වල ද, වරක් ඒ දණ්ඩක් දිගේද වේගයෙන් ගියේය. මෙසේ යන අතර එය හදිසියේ නැවතුනාක් මෙන් ඔහුට දැනිණ. කවුදෝ පිටුපසින් වේගයෙන් තල්ලු කළේය. බයිසිකලයද ඔහු ද දඩස් ගා ඇලට ඇද වැටෙයි. එවැනි මොහොතක ඔහු බියෙන් හා ශෝකයෙන් කම්පිත වෙමින් නැගිට්ටේය. එහෙත් ඒ ගැන ඔහු පසු දින ද සන්තෝෂ විය.

 

උදේ නැගිට තේ වතුර බොන අතර ඔහු ඒ ගැන සිය බිරිඳ සමඟද කීවේය.

 

දන්නවද, මම ඊයෙ හීනෙන් දැක්ක බයිසිකලයකින් යනව. ඒක හොඳ අගේ ඇති අලුත් බයිසිකලයක් ඒකට...  පස්සෙ මමත් ඒකත් එක්කම ඇලට වැටුණා."

 

ඔහුගේ බිරිඳ ඔහුගේ සිතෙහි ස්වරූපය නො හඳුනයි.

 

"ඔය සෙම් කෝප වෙලා වෙන්න ඇති. වතුර පෙනෙන්නේ සෙම් කෝප වුණාම. ටික දවසකටවන් හේනේ වැඩ නවත්වන්න හොඳයි. මුළු දවසෙම ගිනි කට්ටේට පායලා හැන්දෑවට වහිනවා. ඕකෙන් තමයි සෙම් කෝප වෙන්නෙ. මාත් දැක්ක පෙරේද හැන්දෑවෙ වතුර ගලලා තියෙනවා."

 

ඔහුගේ බිරිඳ ඔහු හා කුලුපග බවෙන් යුතුව කථා කරන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් ඔහු සිය බිරිඳට සැලකුවේ තද පරුෂ ගතියෙනි. ඇ ගෙදර වැඩ කිරීමටද දරුවන් හැදීමටද නොදත් මෝඩ ගැහැනියකැයි ඔහු බොහෝ විට කීවේය. තමා ගෙදර එනතුරු කෑම නූයා හෝ දරුවන්ට කෑම නොදී තිබුණ ඇතැම් දවසක ඔහු ඈට තැලුවේය. තමාට ඈ බයෙන් හා ගෞරවයෙන් යුතුව සලකතියි යන හැඟුම ඔහුගේ ප්‍රීතියට කරුණක් විය. ඈ හුඟක් මෝඩ ගති ඇත්තේ ඈ ඉස්කෝලයේ තුන් වෙනි ප්‍රමාණය දක්වා ඉගෙන ගත් බැවිනි. ඉස්කෝලේ ඉගෙන ගැනීම ගෑනුන්ට හොඳ නැහැ" යි ඔහු බොහෝ විට සිතුවේය. එසේ වුවද ඈ ඔහු සිතන තරම් මෝඩ තැනැත්තියක් නොවූවාය.

 

"ඒක නොවෙයි මට බයිසිකලයක් ලැබෙන්න වෙන්න ඇති. මං දැනට මාසෙකට විතර ඉස්සෙල්ලත් හීනෙන් දැක්කා. ලේල්වල බයිසිකලයක් විකුණන්න තියෙනවලුයි" ඔහු කීවේ තමාගේ බිරිඳට තමා කියන කිසිවක් නොතේරෙතියි යන හැඟුමෙන් යුතුවය.

 

"බයිසිකලයක් ගන්න ඕන වුණාට කොහේද සල්ලි තියෙන්නේ. මම ඊයේ රුපියල් දෙකක් ණයට ඉල්ල ගෙනයි සමුපකාරෙන් බඩු ගෙනාවේ. ගිය මාසයේ මද්දුම මහත්තයගෙන් ගත්තු ණයත් දෙන්න තියෙනව.""

 

උඹට මක්කටද සල්ලි වගක් මට තව රුපියල් දහයක් තියෙනව නම් බයිසිකලේ ගන්න හැටි මං දන්නවා යි ඔහු පිළිතුරු වශයෙන් අහංකාර ලීලාවෙන් කීවේය. ඉක්බිතිව ඔහු කිසිවක් මතක් වූවාක් මෙන් ගේ තුළට ගියේය. එය කුඩා ගෙයක් වුව ද එහි කාමරයක් තිබේ. එය මැද සාලය දෙකට වෙන් කිරීමෙන් සාදන ලද්දකි. ඊට තිබුණේ එක් ජනේලයකි. කෝටු හරහට හා දිගට බැඳීමෙන් ආවරණය කොට තිබීම නිසා ඉන් ඇතුළු වූයේ ස්වල්ප ආලෝකයකි. ජනේලය අසල බිත්තියෙහි කුප්පියක් ගසා තිබුණේය. ඊට උඩින් අවුරුදු ගණනක දැලි බැඳී තිබිණ. බයිසිකලය ගත් විට එය මෙහි තැබිය යුතු යයි ඔහු මුල සිටම කල්පනා කෙළේය. ඊට ඉබ්බෙක් දැමීය හැකි දොරක් වූ බැවින් එය ඊට ඉතා සුදුසුය. සාලයෙහි අනික් කොටසෙහි ඇඳක් තබා තිබුණේය. ඇඳෙහි තැන්දට රෙද්දක් දමා නොතිබුණේය. එහි රාත්‍රියට ඔහුගේ පටියද, ලේන්සුවද, දරුවන්ගේ රෙදි කැබලි ද දමනු ලැබේ. ඇඳ අසල වූ මේසයට උඩින් බිත්තියෙහි කවි කොලයක්ද, නූල් බෝලයක මුද්දරයක්ද, පාට ඡන්ද කොලයක්ද අලවා තිබුණේය. එහි "යූ. ඒ. කුලතිලක වෙද රාළහාමිට ඡන්දය දෙමු" යි රතු අකුරින් ලියා තිබුණේය. මේසය අසළට පැමිණි ඔහු ඉනෙහි සඟවා තිබූ යතුර ගෙන එය ඇරියේය. වට පිට බැලූ ඔහු එහි තබන ලද සිගරැට් ටින් එක සෙමෙන් එළියට ගෙන ගනින්නට විය. එහි ඇත්තේ අවුරුදු දෙක තුනක පමණ සිට ඔහු ඉතා අමාරුවෙන් එකතු කරන ලද මුදල්ය. හැම දිනම පඩි හම්බ වූ දිනයෙහි ඔහු එහි ශත පනහේ කාසියක් හෝ රුපියලක් දම්මේය. එය එහි වූ බව බිරිඳ හෝ අන් කිසිවකු නොදනියි. බිරිඳ එය දනිත් නම් කිසිවිටක එය ඉතිරි කරගත නොහැකි යයිද ඔහු සිතුවේය. සෙමෙන් වට පිට බලමින් ගණන් කළ ඔහු ඒවා යළිත් එහි දමා ලාච්චුව යතුරු ලා වැසුවේය. "රුපියල් තිස්පහයි. තව රුපියල් දහයක් ඇත්නම්" යි කාමරයෙන් එළියට පැමිණි ඔහු තමාටම කියා ගත්තේය.

 

මෙසේ මාස කීපයක් ගතවන්නට ඇත.

 

පසුගිය ඔක්තෝම්බර් මාසයේ රබර් මිල බෙහෙවින් නැග්ගේය. ඒ මාසයේ අන්තිමෙහි සියදෝරිස්ට රුපියල් දහයක් වැඩියෙන් ලැබුණේය. එදින ඔහු ගෙදර ආවේ ඊට පෙර කිසිවිටක නොවූ ප්‍රීතියකින්ද යුතුවය. ගෙදර එන අතර ඔහු කඩයටද ගොඩ නැග්ගේය. තමාගේ අභිමතාර්ථය ඉෂ්ට වන අයුරු දකින ඔහුගේ සිත ප්‍රීතියෙන් උදම් වෙයි. ඔහුට ඒ ගැන කඩයෙහිදී කථා කිරීමට උවමනා විය. එහෙත් කිසිවකු ඒ ගැන යමක් සිතතියි බියෙන් ඔහු එය කෙළින්ම නොකීවේය.

 

"හෙට ලේල් වලට යන බස් එකක් තියෙන්නේ කීයටද? " යි ඔහු කඩයෙහි වූවකුගෙන් ඇසුවේය.

 

"කොයි වෙලාවටත් තියෙනවා... මොකෝ යන්නද? "

 

"ඔව් මට උවමනාවක් තියෙනවා... "

 

ඉක්බිතිව ඔහු එහි වූ කිසිවකු සමඟ පොදුවේ බයිසිකල් ගැන කථා කරන්නට විය.

 

"මහත්තය හැබෑටම රැලේද හොඳම බයිසිකල් ජාතිය? ''

 

"ඔව්" එහි වූ තැනැත්තා නුවමනාවෙන් මෙන් පිළිතුරු දුන්නේය.

 

"ඔව් මාත් හිතනවා ඔය හම්බර්, හර්කියුලිස් බයිසිකල් වලට වැඩිය පරණ උනත් රැලේ බයිසිකලය හොඳයි. මහත්මයා ළඟ තියෙන්නේ රැලේ බයිසිකලයක්ද?"

 

නැහැ ඒක හම්බර් එකක්. රැලේ එක ඊට වැඩිය හොඳයි."

 

එයින් ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට විය. රැලේ බයිසිකල් ගමේ වැඩි දෙනෙකුට ද නොමැත. එයින් අලුත් එකක් ඇත්තේ තමාගේ ස්වාමියාට පමණකි. එය ගත් අලුත බොහෝ දෙන ඒ ගැන කථා කළ සැටි ඔහුට මතකය. තමාට රැලේ බයිසිකලයක් ගත්විට ඇතැම් විටක ඒ ගැන කථා කිරීමටද බැරි නැත.

 

එදින ගෙදර ගිය ඔහු බිරිඳ සමඟද කථා කළේ උඩඟු ලීලාවෙනි. ඔහු ගෙදර වූ කාමරයේ පැත්තක් අස් කෙළේය. කොනක වූ පැදුරු සහ බංකුවක් ද පැත්තකින් තැබූ ඔහු එහි බයිසිකලයක් තැබීමට සෑහෙන ඉඩ තරම් තුන් හතර ගුණයක් එළි කළේය. එදින රාත්‍රි නිදාගැනීමට ගිය ඔහු බිරිඳට තමාට උදයෙන් අවදි කරන ලෙසද කීවේය.

 

"හෙට උදෙන්ම කූද්දන්න ඕන. මට ලේල්වලට යන්න තියෙනවා."

 

"මොකටද?'' යි මඳක් නිශ්ශබ්දව සිටි බිරිඳ ඇසුවාය.

 

"ලොකු උවමනාවකට.... මට වරද්දන්නෙ නැතුව කූද්දන්න ඕන. හෙට උදේට වහින එකක් නැහැ නේද?"

 

"කියන්න බැහැ. මේ දවස්වල උදේට ටික ටික වහිනවා. අද හවස මීදුම තිබුණ නිසා මීට පස්සෙ ඉඳල මගේ හිතේ පායන්න පටන් ගනීවි" යි බිරිඳ පිළිතුරු දුන්නාය. ඔහු වෙනදාට වඩා සෞම්‍ය ලෙස කථා කරනු ඇසීම ඇගේ පුදුමයට හේතු විය.

 

"මෙයාට වැඩියෙන් රුපියල් දහයක් හම්බ වුණාය කියන්නේ ඇත්තද? අද මද්දුම මහත්මයා එහෙම කිව්වා"

 

"මොන බොරුද; ඒක බොරුවක්. "

 

"එහෙම නම් මම කියන්න හිටියේ හෙට ලේල්වල ඉඳල එනකොට මටත් හැට්ටෙක රෙදි ගේන්නය කියන්න. මේ දරුවන්ටත් අඳින්න මොකවත් නැහැ. මම ඊයේ රුක්මල්ගොඩින් පරණ පොඩි ගවුමක් ඉල්ලගෙන ආව.

 

පසුදින උදයෙහි ලේල්වල ගිය ඔහු ආපසු පැමිණියේ බයිසිකලයෙනි. එවිට ඔහුගේ සිතෙහිවූ ප්‍රීතිය කෙතරම්ද යත් ඔහු කීප විටක් ඇදගෙන වැටීමටද ගියේය. වෙනදා පයින් පසු කළ පෙදෙස් පසු කළ ඔහු එදෙස බැලුවේ මහත් අහංකාර ලීලාවෙනි.

 

පෙරට යන සැටිද, ඇතැම් වංගුවකදී එය තමා සමඟම නිමේෂයකින් ඇලවී යන සැටිද දකින ඔහුගේ සින ප්‍රීතියෙන් වියරු වැටෙන්නාක් මෙන් වෙයි. ඇතැම් තැනකදී ඔහු හිස කෙළින් කොට බයිසිකලය වේගයෙන් පැද්දේය. ඔහු කඩමණ්ඩිය පසුකර යනු දුටු කීප දෙනෙක් සිනහවෙමින් ඇතැම් දේ කීහ. 'අද සියදෝරිස්ට නින්ද යාවී' යි ඉන් ඇතැමෙකු කියනු ඔහුට ඇසිණ.

 

එදින ඔහු ගෙදර එන විට සවස් වීමට ආසන්න වී තිබුණේය. ඔහු බයිසිකලයෙන් එනු දුටු ඔහුගේ බිරිඳ පුදුම වූවාය. "මෙයා උදෙන්ම ගියේ බයිසිකලයක් ගේන්නද යි ඈ දෑස ඇදහිය නොහැක්කාක් මෙන් ඇසුවාය.

 

"ඔව් මෙන්න උඹටත් හැට්ට රෙද්දක් ගෙනාවා" යි ඔහු මෙතෙක් ඉනෙහි ගසාගෙන තිබුණු රෙදි කැබෙල්ල ගෙන ඈට දුන්නාය. වහා බිඳයන කිසිවක් ගන්නා මෙන් එය ගත් ඇගේ මුහුණ ප්‍රීතියෙන් ඉතිරෙන්නට විය. ' මං අද ලේනහතු වගයක් හැදුවා' යි ඉක්බිතිව ඈ කීවේ. ඔහුගේ සිත තවත් සතුටු කරන අටියෙනි. ඔහු ලේ නහතු කෑමට ප්‍රිය බව ඈ දනී. තේ වතුර බීමටත් පෙර සියදෝරිස් බයිසිකලය මිදුලට ගෙන පිස දමන්නට විය. ඇඳිරි වැටෙන තුරු ඔහු එය සෙමෙන්ද සීරුවෙන් ද පිස දැම්මේය. ඔහුගේ දරුවෝ ඔහු අසලට වී එදෙස බලා සිටියහ. බයිසිකල් රෝදයෙහි ස්පෝක් ඇල්ලීමට ඉන් එකකු තැත් කළ විට ඔහු වහා වළකාලුවේය.

 

උඹලා මේව අල්ලන්නේ නැතුව බලාගෙන ඉඳපල්ලා. පැය දෙකක් පමණ පිසදා ඉවර කළ පසු ඔහු එය රැගෙන ගොස් කාමරයෙහි තැබුවේය.

 

එදින රෑ නින්දට ගිය පසු ද ඔහු කථා කළේ ඒ ගැනය. අඳුරෙහි වැතිරී සිටි ඔහුගේ බිරිඳ ඔහුගේ කථාව අසා සිටියාය.

 

"රැලේ බයිසිකල් වැඩිය නැහැ. මේ ගමේ වුණන් තියෙන්නේ බොහොම ටිකයි" යි ඔහු ඈට සියල්ල විස්තර කිරීමට මෙන් කීවේය. ඔහුගේ කටහඬෙහි මොලොක් ගතියක් තිබුණේය. එය ඈ තුළ වූ ප්‍රීතිය දියුණු කරන සුළු විය.

 

අර දෙවරගෙදර තියෙන්නේ මොන බයිසිකලයක්- ද?" යි ඈ ඔහුගෙන් ඇසුවාය.

 

"ඒක රැලේ බයිසිකලයක් නෙවෙයි. වෙන මොකක්ද එකක්"

 

"ඒකෙ ඉස්සරහ කණ්ණාඩිය තියෙන්නේ මොකටද? අපේ බයිසිකලයේ එහෙම නැහැ නේද? " ඈ බයිසිකල් ගැන කථා කරනු ඇසීම ඔහුගේ ප්‍රීතියට හේතු විය. ඈ එතරම් මෝඩ නැතැයි ද ඔහුට සිතුනේය. ඔහු ඒ සියල්ල ද බයිසිකල් ගැන විස්තරයක්ද ඈට කීවාය.

 

"මේක මම හේනට යනකොට කාමරේ දාල දොර වහල යතුරු දාලයි යන්නේ. ඒකට පුංචි ඈයින්ට කිට්ටුවෙන්න දෙන්න එපා. "

 

" ඒ මොකෝ?"

 

"වෙන මොකටවත් නෙවෙයි, උන් ඒව මේව නැති කරල හුරලා දාවි. ඒ වගේම කවුරුත් ඉල්ලුවොත් කියන්න ඕන ඒක නරක් වෙලා කාමරේට දාලය කියල. එහෙම නැතුව බේරෙන්න බැහැ".  ඈ ඔහු කී සියල්ල අනුමත කළාය. ඉන්පසු සියදෝරිස් ජීවිතයේ ප්‍රධාන කාර්යය ලෙස සැලකුවේ තමාගේ බයිසිකලය රැක බලා ගැනීමය. ඔහු එය දිනපතා දෙතුන් වරක් පිස දම්මේය. ගමනක් ගොස් ආපසු පැමිණි විගස ඔහු පළමුවෙන්ම කළේ එය පිසදා කාමරයේ තැබීමය. ඔහු තම දරුවනට ඊට අතගැසීමට හෝ ඉඩ නුදුන්නේය.

 

වරක් ඔහුට රුක්මල ගොඩදී බයිසිකල් පිළිබඳ කොල වගයක් සම්බවිය. ඒවා එහි වූ රැලේ බයිසිකලය ගනිද්දී දෙන ලද පත්‍රිකාය. ඔහු ඒ සියල්ල ගෙදර ගෙනාවේය. ඔහුගේ ගෙදර ඉස්සරහ බිත්තියේ සීවලී පින්තූරයක්ද, ජෝජ් රජ්ජුරුවන්ගේ හා බිසොව කැලැන්ඩරයකින් කපාගත් පිංතූරයක්ද අලවා තිබේ. ඔහු තමා ගෙනා කොලද ඒ අසලම ඇලවූයේය. ඉන් එකක වූ කොට කලිසමක් හා කමිසයක් වැනි කිසිවක් හැඳගත් තරුණියක් බයිසිකලයක් අල්ලා ගෙන සිටිනු දක්වන රූපය ඔහුගේ සිත ඇද ගත්තේය.

 

කාමරයට යෑමට තම දරුවනට ඉඩ නුදුනද බයිසිකලය ඔවුන්ගෙන් ප්‍රවේසම් කරගත හැකි වූයේ ඉතා අමාරුවෙනි. දිනක් ඔහු දහවල හේනේ සිට ගෙදර පැමිණියේය. එදින ඔහුට බයිසිකලය වූ කාමරය යතුරු දා යෑමට නොහැකි විය. ඔහු ගෙදර එනවිට ඔවුන් සියලු දෙනම බයිසිකල් රෝදය කරකවමින් ද, අඟුරු කැබෙල්ලකින් එහි නොයෙක් දේ අඳිමින්ද සිටියහ. එය දුටු ඔහුගේ කෝපය නිම්හිම් නැති විය. ඔහු වහා ගොස් ඔවුන් ඇදගෙන වුත් කාමරයෙන් දොට්ට දම්මේය. ඉක්බිති ඔහු බිරිඳට කථා කෙළේය.

 

"මම නැති වුණාම උඹට බැරිද මේ කාමරේ දොර වහල තියන්න. මං නැත්නම් මේකෙ කිසි දෙයක් කෙරෙන්නෙ නැහැ" බිරිඳ කථා නොකර සිටියාය. ඔහුගේ කෝපය දියුණු විය. ඔහු ඈ අසලට පැමිණ ඇගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළේය. "තොට මේකෙ අගේ තේරෙන්නෙ නැහැ. අවුරුදු ගණනක් හම්බු කරල ගත්තු දේ පරිස්සම් කරන්න තාට ඕනකමක් නැහැ". ඔහුගේ කටහඬ යෙන් දෙදරුම් කෑවේය.

 

ඉක්බිතිව ඔහු බයිසිකලය සම්පූර්ණයෙන් පිසද කාමරයෙහි දමා දොර අගුලු ලෑවේය. ඔහු බැයිසිකලය පාවිච්චි කළේද හැම දිනම නොවේ. ඇතැම් දිනයක මුළු රාත්‍රියම වැස, පාර බෙහෙවින් මඩ වෙයි. පාරෙහි තැනින් තැන විශාල මඩ වලවල් සෑදේ. කරත්ත යෑම නිසා සෑදුනු ඇලිවල මඩවතුර එක්වී තිබේ. පාර දෙපසෙහි තණකොළ අසලද දුඹුරු පැහැති මඩ නිසා එරෙයි. එවැනි දිනයෙක ඔහු බයිසිකලය කාමරයෙන් එළියට නොගත්තේය. එදින ඔහු රුක්මල ගොඩ ගියේද පයිනි. එසේ යන ඔහු දුටු එකකු ප්‍රශ්න කරන්නේ තමා කාරණය සම්පූර්ණයෙන් නොදන්නා නිසා නොවේ.

 

මොකෝ සියදෝරිස් අද පයින්ම !

 

නැහැ. මම බයිසිකලය ගෙදර තියල ආවා.

 

"එහෙනම් පැව් එකක් වෙන්න ඇති" යි කී එසේ ඇසූ තැනැත්තා හඬ නගා සිනහ වෙන්නේ තමා සියල්ල දන්නා බව හඟවනු පිණිසය.

 

කල්යත්ම සියදෝරිස්ට බයිසිකලය පිළිබඳ තම සිතෙහි වූ ඇල්ම දියුණු විය. දැන් වෙනදා මුළු දවසම යන වැඩට ඔහුට යන්නේ පැය කීපයකි. බයිසිකලයෙහි නැගී වෙනදා පයින් පසු කළ පෙදෙස් කුරුල්ලකු මෙන් වේගයෙන් පසු කර යන විට ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිළෙයි. ඔහු ඇතැම් මොහොතක තමාට අයිතිවූ භාග්‍යය ගැන සිහිකර ප්‍රීති විය. ඔහු ඒ ගැන නොයෙක් දේද සිතුවේය. මිනිසුන්ට මේ ජාතියේ වැඩ කරන්නේ ගිය ජාතියේ ඔවුන්ගෙන් ණය ගත් උදවියයි. බයිසිකලයද ගිය ජාතියේ තමාගෙන් විශාල ණයක් ගත්තෙකු විය හැක. ඔහු මේ ගැන වරක් සිය බිරිඳ හා කිවිට ඈ ඔහු හා වාද කළාය. "

 

බයිසිකලයට ගිය ජාතියේ පණක් තියෙන්නේ කොහොමද?'' යි ඇසුවාය.

 

උඹ දන්නේ නැහැ. ගස් ගල් වලටත් පණ තියෙනවා. බුදුහාමුදුරුවෝ හාමුදුරුවන්ට තණ කොළ ගහක්වත් කඩන්න එපයි කියල තියෙන්නෙ ඒකයි. අපේ කුඹුරු වතුපිටි වලට පණක් නැත්නම් ඒව අපිට හරිහම්බු කරල දෙන්නේ කොහොමද? ඒවාටත් අපිට වගේ නැති වුණාට පණක් තියෙනවා.

 

එය තමාගේ භාග්‍යය උදාකළේ යයිද ක්‍රමයෙන් සියදෝරිස්ට සිතෙන්නට විය. දැන් ඔහුගේ වතුවල පලදාව වැඩිය. ඔහුගේ කොරටුවෙහි මේ වාරයේ කෙසෙල් කැන් කීපයක් පිට පිට වැටුණේය. ඔහු එළි කළ කොටසෙහි ගොයම ද මේ වාරයේ බෙහෙවින් සාර වී තිබේ. දැන් එහි කරල් රන් පැහැ ගැන්වී පොළව දෙසට බරව ඇත.

 

මෙසේ මාස කීපයක් ගතවී ගියේය.

 

දැන් රබර් ගස්වල කොළ හැලෙන කාලයයි. කොළ හැලුනු රබර් ගස් පාලු මළානික ගතියකින් යුතුව අහස දෙසට ඇරී තිබේ. රබර් ගස්වලට පෝර දමමින් මුළු දවසම ගෙවන ඔහුට නග්න වූ අතුරිකිලි පාලු ගතියකින් යුතුව නිල් පැහැති හිස් අහස පසුබිම් කොට නැගී සිටින සැටි පෙනේ. දවල් කාලයෙහි තදින් පායයි. හවස්වන විට වැහිලිහිණියෝ හඬ දෙති. උදේ සිට සවස් වනතුරු පෝර දැම්මද, ඉවර කළ හැක්කේ කුඩා කොටසකි. සවස පෝර දැමීමෙන් පසු, පසුදින දමීම සඳහා පෝර ගෙනෙනු පිණිස රුක්මලගොඩ යායුතුය.

 

දිනක් සවස ඔහු පෝර මිටිය බයිසිකලයෙහි බැඳ තබා එය පාර අයිනෙහි නතර කොට කිසියම් උවමනාවක් සඳහා කඩයට ගොඩ නැග්ගේය. බයිසිකලය වූයේ පාර අද්දරය. කඩය තුළ මුදල් වගයක් ගෙවමින් සිටි ඔහුට කිසිවක් දඩස් ගා මහ හඬින් ඇද වැටෙනු ඇසිණ. ඔහු වහා පාර දෙසට දිව්වේය. එය තමාගේ බයිසිකලය විය යුතු යයි ඔහුට අනුමානයෙන් සිතිණ. ඔහුගේ ඇඟ වේගයෙන් ගැහෙන්නට වූවාසේ ඔහුට දැනුනේය. පාරෙහි බයිසිකලය පෙනෙන්නට නොවීය. ලොරියක් ඈත වේගයෙන් පාලම පසුකොට යනු පමණක් ඔහුට පෙනිණ. වහා පාලම අසලට පැමිණ බැලූ ඔහුට සිය දෑස ඇදහිය නොහැක්කාක් මෙන් විය. ඔහුගේ මද ඇස වහා විවෘත විය. දෙකම්මුල්හි මස්පිඬු ලේ පැහැ ගැන්විණ, හදවතෙහි ගැස්ම ඉවසිය නොහැකි තරම් වේගවත් විය. ඔහුට ඉබේටම කෑ ගැසිණ. බයිසිකලය වූයේ පාලම යට ඇලෙහිය. සිදුවූයේ කුමක් දැයි නොතේරුණාක් මෙන් ඔහු සැලෙන හදවතින් යුතුව එදෙස බලා සිටියේය. ඔහුට සිහි එළවා ගතහැකි වූයේද මෙසේ ස්වල්ප වේලාවක් ගල් ගැසී සිටීමෙන් පසුවය.

 

එහි අවට වූවෝ ඔහු හා සමඟ එක්ව, ඇලට බැස බයිසිකලය ගොඩ ගත්හ. එහෙත් එහි ඉතිරි වූයේ කැබලි පමණකි. බයිසිකලයෙහි ඉස්සරහ රෝදය සම්පූර්ණයෙන් නැමී බිඳී ගොස් තිබිණ. පස්ස රෝදය ඇලෙහි කණු අතර පටලැවීම නිසා ගතහැකි වුයේ බොහෝ වේලාවක් ඇදීමෙන් පසුවය. එහි කිසිවක් ඉතිරි වී නොතිබිණ.

 

කල්පනා විරහිතව මෙන් එදෙස බලා සිටි ඔහු එතැන නොරැදී ගෙදර දෙසට ගියේය. මගදී ද අවුල් කල්පනාවේ වැටී සිටි ඔහුට කිසිවක් ගැන සිතිය නොහැකි විය. ඔහුගේ සිතෙහි වූයේ හිස් බවකි. හැඟීමෙන් වියවුල් වු එය වියරු වැටීමට ආසන්න එකකුගේ මෙන් අරමුණෙන් තොරව වේගයෙන් ක්‍රියා කෙළේය. කථා කිරීම හෝ කල්පනා කිරීම ඔහුට රුචි නොවීය.

 

ඔහු ගෙදර එන විට රෑ බෝවීමට බෙහෙවින් ආසන්නවී තිබුණේය. ගෙමිදුලට පැමිණි ඔහු පොල් කඳ මත වාඩිවී අහස දෙසට විහිදූ දෑසින් යුතුව බලා සිටියේය. ඔහුගේ මුහුණෙහි වූ රත් පැහැය වන විට වැඩි වී තිබිණ. ඔහු කල්පනා විරහිතව එදෙස බොහෝ වේලා බලා සිටියේය. සැඳෑ අඳුර සෙමෙන් ගෙමිදුල අවටද වසා පැතිරි ගෙන එයි. තද රන් පැහැයට හා දම් පැහැයට හුරු වූ වලාකුල් කීපයක් ඈත පාළු වෙල්යායක් උඩින් පාවෙමින් තිබුණේය.

 

එදින රාත්‍රී ඔහුට නින්ද නොගියේය. ඔහුගේ බිරිඳ බියෙන් ඔහු හා කථා නොකළාය. වරක් ඇ ඔහු අස්වැසීමට තැත් කළ විට ඔහු ඈට කෝපයෙන් බැන වැදුණේය. පැය කීපයක් කල්පනා විරහිත වූවාක් මෙන් සිටි ඔහුට ක්‍රමයෙන් සියල්ල ගැන සිහිවන්නට විය. ඒ හා සමඟම ඔහු තුළ තද ශෝකයක් ඇති විය. මෙතෙක් ගොළුව සිටි ඔහුගේ සිනට පළමු වරට ශෝකයක් ඇතිවූයේ එවිටය. තමා අවුරුදු කීපයක් දුකසේ වෙහෙස වී ලබාගත් එකම දෙය නැති විය. එයින් තමාගේ ජීවිතයේ වැදගත් කොටසක්ද නැති වී යැයි ඔහුට සිතිණ. ඔහු දෑස නොපියා අඳුර දෙස බලා සිටියේය. ඔහුගේ සිතෙහි වූ ශෝකය මඬමින් දඩි කෝපයක් නැගගෙන එයි. එය ඔහුගේ ඇඟ රත්කරවන සුළුය. තමා කෝප විය යුත්තේ කා සමඟද? එය කිසිවකු විසින් කරන ලද්දක් නොවේ. එසේ වුව ද මේ සියල්ල පිටු පසෙහි, තමාට නොවැටහෙන කිසියම් බියකරු බලයක් විය යුතුයි ඔහු කෝපයෙන් දෙනෙත් පියාගත්තේය.

 

පසුදින ඔහු ගෙදරින් බැහැර නොගියේය. එහෙත් ගෙදර සිටීමද ඔහු වෙහෙස කරවන සුළු විය. ඔහුගේ බිරිඳ බිය නිසා ඔහු හා කථා නොකළාය. මුළු දවසම ගෙදර සිටි ඔහු එදින ඇඳිරි වැටෙත්ම ගෙදරින් පිට විය.

 

එදින ඔහු ආපසු ආවේ මැදියම් රැයද පසු වූ පසුය. මෙතෙක් කිසි දිනක මත්පැන් දෙතොලෙක නොතිබූ ඔහු ඉන්පසු සිහි නැතිවන තුරු බීමට පටන් ගත් බව ගමෙහි ආරංචි විය.

 

* * * * *

 

පසු සටහන 😄 - මේක අපෙ අක්ක lamp shade එළියෙන් මද එළියවුනු කාමරේ, එයයිගෙ පොත් මේසෙට වෙලා සද්දෙට කියවද්දී... මං වහන්දෑ යහනෙ සැපට දිගෑදීල ඉන්නකොට මේ කෙටි කතාව කන ලඟින් ගියා වාගේ මතකයි. අර සියදෝරිස් බයිසිකලය ගැන හීන මවන හරියයි, බයිසිකලය ගෙනත් ඒ ගැන හිතන හරියයි තමා මීටර්.

ඒ කාලේ කතාව ඇහිච්ච කොටස් එක්ක හිතට අමුතු හැඟීමක් ආව!. පස්සෙ මේක හොයන් කියවන්න අදහසක් ආවෙත් ඒ හින්දමයි.

22 comments:

  1. චිත්‍රපටියක් ආවා "බයිසිකලේ" හරි "දන්ඩුමොණරේ" හරි කියලා. ඒකේත් තියෙන්නේ ඔය වගේ කථාවක්. බයිසිකලේ හින්දා පවුල අවුල් වෙලා ආයේ අන්තිමේ එකතුවෙනවා. ප්‍රධාන චරිතය ජෝ අබේවික්‍රම!

    ReplyDelete
    Replies
    1. විජය ධර්මශ්‍රී ගේ දඬු මොනර 1980 ආවේ. 1948 ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ Vittorio De Sicaගේ Bicycle Thieves මේ තේමාවමයි.

      Delete
    2. ටැංක්ස් මංජුල බොසා & Litseeker ඔත්තුවට.

      Delete
  2. හොඳයි පැරණි මිණි කැට යළි මතු කෙරුම
    ඒත් හොඳයි තියෙනව නං තිරිත්තම
    'බ්ලොග්කරුවන් ගොඩක් එක වගෙ ලිපි දැමුම
    පාඨක රුචිය අඩු කරවයි', කියමි මම

    මෑත කාලයේ බ්ලොග් posts ගොඩක්ම පැරණි පත-පොතට බර වෙන්න අරගෙන තිබ්බා. දිගටම එහෙම ඒකාකාරී වුණොත්... අපේ දයාබර බ්ලොග් කියවන්නන්ගේ රුචිය අඩු වෙතියි කියා මට හිතෙනවා. ඉතින් මට දැනුණු හැඟීම ඔන්න අවංකවම ලිව්වා. මං වැරදියි නං කරුණාකර සමාවෙන්න. මගේ අදහස නොතකා හරින්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් මෙහෙම සුමානෙට එක ගාණෙ දෙන නිසා, ඔන්න ඔහේ කමක් නෑ කියලත් හිතෙනවා. නිකන් ඉන්න අපට අහල ගියත් මඳෑ, නේද?

      හැබැයි මේ කතා, අපි ඉස්සර ආසාවෙන කියවපු සිහිවටන. ආයෙ කියවනකොට, මට නං අමුතුම කික් එකකුත් එනවා.

      Delete
    2. මොනාට කමන්නද නිදිතුමෝ. හිතුන දේ අවංකව කියන එකනෙ යුතුකම.

      හ්ම්. ඉලඟ පෝස්ටුව වෙනස් එකක් වේවි... බස්, නිදි!

      Delete
  3. හ්ම්....මට මතකයි මේ කතාව. සියදෝරිස් බයිසිකලය ගැන හීන මවන හරියයි, බයිසිකලය ගෙනත් ඒ ගැන හිතන හරියයි තමයි හොඳම කොටස. ඒත් මම අවසානයට කැමති නෑ.
    ගුණදාස අමරසේකර මහත්තයගෙ, ගැමි කතා ලස්සන වුනාට, පාළු හුදකලා සහ දුක්ඛිත ගතියක් තියනවා. ඒවා කියෙව්වාම එන ඩිප්‍රෙසින් හැඟීමට මගේ එච්චර කැමැත්තක් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙමද. මං වැඩිය උන්නැහෙගෙ එව කියවල නැ.

      Delete
  4. කලින් කියවලා තිබුනෙ නෑ.ඒ නිසාම,කියෙව්ව.හැබැයි කීප පාරක් ඇවිත් නවත්ත නවත්ත ටික ටික.

    ReplyDelete
    Replies
    1. යහපති. යහපති සොදුරැ සද 👌

      Delete
  5. මදෑ බයිසිකලයක් නිසා වෙච්ච අලකලංචියක්. ඕනම දේකට ඕනවට වඩා ආස වෙන්න හොඳ නෑ කියන්නෙ ඕක තමයි.

    තට්ටය කියල තියෙනව වගේ මටත් මතකයි මේ කතාවට ළඟින් යන ෆිල්ම් එකක් පොඩිකාලෙ බලල තියෙනව කියල.

    ReplyDelete
    Replies
    1. නයෙක් හිටියෙ නැතෙයි ඒ ෂිංගල පිලුම 😁🙈

      ඇත්ත. ඔන දේකට වැඩිය ඇලෙන්න නාකයි

      Delete
    2. // වැඩිය ඇලෙන්න නාකයි//
      හහ් කියන්න නං ලේසියි. ඉන්ටනෙට් නැතුව දවස් දෙකක් හිටලා බලහං.😁

      Delete
    3. ඇත්ත. ඇත්ත ඉතිම් 😁😁

      Delete
  6. කෙටි කතාවක climax එක ඛේදවාචකයකින් ඉවර වෙන එකෙන් කියවන්නා කම්පනයට පත්වීම එක කාලයක තිබුණු රටාව කියලා හිතෙනවා. මේක හා වෙසක් පහන වැනි කතා ඒ ගොඩට වැටෙනවා. ඒ අවසානයෙන් පස්සේ ආලෝකයක් ද කතාවට එකතු කරන්න පුළුවන්. මේකෙත් එහෙම තියෙනවා. බයිසිකලය විනාශ වීම ස්වභාවය බව කියලා. ඒත් කතාව කියන්නා බීමට ඇබ්බැහි වුණා කීමෙන් ඒ එළිය නැවත බිදී යනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්.
      මේක අමරසේකර උන්නැහෙගෙ මුල් කාලෙ ආව එකක්ද මන්ද. බාසාව ගලායෑමත් ටිකක් හරිමදි... මටනං

      Delete
  7. කලින් කියවල තිබුණ වගේ ලාවට මතකයි..
    හරි වේදනයි අන්තිමට💔

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි... නවී. අවසන වේදනාව 💔

      Delete
  8. මමත් කලින් කියවලා නෑ මේ කතාව. සියදෝරිස් බයිසිකලේට තිබ්බ ඇලීම වැඩියි තමයි, ඒ වුණාට අපරාදෙ අන්තිමට එහෙම කරේ. අහිංසක මනුස්සයෙකුට පොඩි සතුටක් හරි තියෙන්න එපැයි.

    'දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත්, කවදාවත් උඩට එන්න බෑ' වගේ ආකල්ප අපේ රටේ තියෙන්නෙ සමහරවිට මේ වගේ කතා වැඩිය කියවලාද දන්නෙ නෑ 😏

    ReplyDelete
    Replies
    1. නෙගටිව් මයිනඩ් නම් අප්සැට් තමයි... ලෝටස්තුමි

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්