Showing posts with label දැනුම පොත. Show all posts
Showing posts with label දැනුම පොත. Show all posts

  නිදි ලොක්කගේ මේ පෝස්ට් එකත් එක්ක මතකෙට ආව "පටු අදහස්   නම්   පවුරින්" ගීය ගැන.... කලකට පෙර බන්දුල නානායක්කාරවසම්   පත්තරේකට ඒ ගැන ලියපු article එකක් තමයි මේ. ඔන්න අමාරුවෙන්   හොයල අරං පබිලිස් කරා 😉


රිච්මන්ඩ් විදුහලේ අපගේ පන්ති භාර ආචාර්යවර ඩබ්ලියු. එස්. බණ්ඩාර මහතා, එතුමන් විසින් පාසල් වියේදී ලියන ලද රබින්ද්‍රනාත් තාගෝර් චරිතයේ අත් පිටපත මවෙත දුන්නේ, එය මගේ අත් අකුරින් යළි ලියවා ගැනීමටය. ඒ, මගේ අත් අකුරු හොඳ නිසාත්, එවක වසර 20 කට වඩා ගතව තිබූ නිසා ගුරුතුමන්ගේ මුල් පිටපත යම් දිරාපත් වන ස්වභාවයක තිබුණු නිසාත්ය. කිසිදු තොරතුරු තාක්ෂණයක් නොතිබුණු 1976 දී පමණ මේ කෘතියෙන් මා ලැබූ මිහිර, ආභාෂය, දැනුවත් වීම මේ අදත් නැවුම්ව සිහිපත් වේ. එහෙත් එම කෘතිය කිසිදා මුද්‍රණය නොවුණු අතර ඒ ගැන විමසූ විට ගුරුතුමා කියා සිටියේ 'මං ඒ දෙකම විසි කරල දැම්ම' යනුවෙනි. පුදුමය නම් ගුරුතුමාට 70 පැන්න පසු යටගියාවේ යටගිය තැන් (2007), දඬුවම් ලද්දෝ (රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය - 2012). විරාගිනීන්ගේ සැබෑ කතා සහ ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා (2015) මෙන්ම 'පිබිදුණු යාපනය (පරිවර්තන 2016) වැනි කෘති 4ක් එක දිගට ලියා පළ කිරීමට හැකිවීමයි. මේ කරුණ මා සඳහන් කළේ එම විසි කළ අත් පිටපතේ වටිනාකම සහ එකල ප්‍රේම් දිසානායක වැනි ප්‍රකාශකයෙකු ගුරුතුමන් හඳුනා නොසිටීම ගැන ඇති වූ කනගාටුවෙනි.

තාගෝර් වගේම මාර්ටින් වික්‍රමසිංහ කියන චරිත දෙකෙන් ඉගෙන ගන්න තියෙන මූලික දේ තමා හැබෑ අධ්‍යාපනය ලබන්නෙ කොහොමද කියල දැන ගැනීම.........තාගෝර් ඉගෙන ගත්තෙ ගෙදරමයි, වික්‍රමසිංහ ඉස්කෝලේ ගියේ කීයෙ පන්තියට ද කියල දැනගන්න, උපන් දා සිට කියවනව. තාගෝර් විශ්ව විද්‍යාලෙ තියා ඉස්කෝලෙත් නොගියට විශ්ව විද්‍යාලයක් දැම්ම.... ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ විශ්ව විද්‍යාලෙ නොගියට ඇවිදින විශ්ව විද්‍යාලයක්...'

අපි විමතියෙන් මෙන්ම ප්‍රබෝධයෙන් අසා සිටියෙමු. නිතරම බණ්ඩාර ගුරුතුමා කියූ, උගැන්වූ දේ අපේ වයසට වඩා ඉදිරියෙන්ම සිටියේය. එතුමන් තාගෝර් ගැන නිකමට කියූ විට, එහි තාගෝරයන්ගේ ශාන්ති නිකේතනය, රබීන්ද්‍ර සංගීතය, බෙංගාලි තනු සහ අපට ඒවායේ ඇති සුවඳවත් නෑකම, ගීතාංජලිය ආදී දහසක් දේ ගැබ් විනි.

තමුසෙල අහල තියෙනවද අමරදේවගේ සින්දුවක් තියෙනව පටු අදහස් නම් පවුරින් ලෝකය කියල.

හොඳ වෙලාවට අප කීප දෙනෙක්ම ගීතය අසා තිබුණි. බොරුවට හිස සැලුවේ නම් ගුරුතුමා එය ද කියවන්නට දන්නේය.

'සර් ඒක එච්. එම්. ගුණසේකරගේ ඉරිදා සංග්‍රහයේ යනව - සමූහ ගීතයක්'. සර්ගෙන් අපට ලකුණු වැටේ.

'හොඳයි මේකෙ ඉතිහාසය දන්නවද?'

 

ඉරිදා සංග්‍රහයේ එච්. එම්. ගුණසේකරයන් කවදා හෝ මේ ගැන කී අයුරු මට සිහි වේ. සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය තාගෝරයන්ට උදා කළ ගීතාංජලී කෘතියෙන් ගත් කවියක් මෙසේ සේකර පරිවර්තනය කළ බව ඒ වැඩසටහනේ කියවිණි.

සිංදු නිකං අහල දාන්නෙ නැතුව සුළු මුල හොයනවල...... ඒක සාහිත්‍ය කෘතියක් බව අමතක කරන්න එපා...'

   මේක පරිවර්තනයක් නොවෙයි. ඡායානුවාදයක් !

original එක නැත්නම් මූලික කෘතිය තමා තාගෝර්ගේ නොබෙල් තෑග්ග දිනපු ගීතාංජලිය. මේක ඒ පොතේ එක කවියක් විතරයි. 35 වැනි කවිය. ඒ කවියෙ නම 'WHERE THE MIND IS WITHOUT FEAR බලන්න adoption එකකයි, translation එකකයි තියෙන වෙනස'

මේ දේවල් අවුරුදු 15 දී පමණ ඇසුවේ සිහිනයෙන්දැයි දැන් සිතේ. ඒ යුගය මෙන්ම ගුරුවරුද අපට ගෙන එන්නේ අතිශය සාංකා පරවශ සිතුවිල්ලකි. එහෙම ගුරුවරු මතු නොව ගෝලයෝ ද නොවෙති.

Where the mind is without fear and the head is held high

Where knowledge is free

Where the world has not been broken up into fragments

By narrow domestic walls

Where words come out from the depth of truth

Where tireless striving stretches its arms towards perfection

Where the clear stream of reason has not lost its way

Into the dreary desert sand of dead habit

Where the mind is led forward by thee

Into ever-widening thought and action

Into that heaven of freedom, my Father, let my country awake.

 

1913 දී තමා හීතාංජලියට නොබෙල් prize එක ලැබෙන්නෙ. දැන් බලන්න මේ නිර්මාණ දෙකේ වෙනස, ඇත්තටම මෙතන නිර්මාණ තුනක්. බෙංගාලි භාෂාවෙන් 1910 දී ලියපු මුල් කෘතිය විනාශ උනේ නෑ ඉංග්‍රීසියට එද්දි. මන්ද, තාගෝර්මයි 1912 දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නෙත්. ඒක අපට, සිංහලට ගේන්නෙ මහගම සේකර.

ගුරුතුමා ඊළඟ පන්තියට යයි. ඉන් පසු මේවා සෙවුමේ. පිරික්සුමේ, උමතු ලෙස විඳීමේ වගකීම ගුරුතුමාගේ නොව අපේය. ඒ උමතුවම මේ ගීතාත්ම තුළ නැතැයි කිව නොහැකි බව ඔබ දනී.

තාගෝර් ඉංග්‍රීසි පැදියේ 3 සහ 4 පේලි සේකරගේ ගීයේ එක පේළියකට එන සැටි බලන්න.

Where the world has not been broken up into fragments

By narrow domestic walls;

තාගෝරයනට පසුව ලියවෙන දේ සේකරට මුල වේ.

''පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී''

එමෙන්ම තාගෝරයන්ගේ 1 සහ 2 පේළි සේකරට එන්නේ 3 ලෙසය.

 

Where the mind is without fear and the head is held high;

Where knowledge is free;

'බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ,

ඥාණය නිවහල් වී'' කලින් තනි පේළියකට ඇවිත් හමාරය.

කවියෙකුගේ සැබෑ කවිත්වය මෙන්ම ඖචිත්‍යයත්, පරිනත බවත් ස්ඵුට කිරීමට මේ සුළු වචන පේලි පමණක් නොසෑහේද? සේකර කියූ ලියූ දේ කාල, යුග භේදයකින් තොරව අප වැළඳ ගන්නේ මේ විශ්වීය ගුණය ඔහු නිර්මාණ විලාශයේ හා චින්තනයේ අසහායත්වය නිසාය. සන්නාලියනේ, ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ. මුළු ලොවම සිහිනයයි....වන් අනුවර්තන අපේම යැයි හැගෙන්නේ ද මේ විශ්වීයත්වය නිසාය. සේකර 70 මුලදී කියා ඇත්තේ අද ගැන නොවේද ? පටු අදහස් හැම තැනම වැපිරි ඇත. කැබලි වලට බෙදී ඇත්තේ අදහස් නොව මුළු මහත් රටයි. වැරැද්ද නිවරදි දෙය වෙයි. නිවැරැද්ද වැරැද්ද වෙයි. ප්‍රඥාව සේදී ගොස් උගත්කම යැයි හඳුන්වන දෙය අප්‍රායෝගිකව ජන මනස අරා සැරි සරයි. රුචිකත්වය, රසඥතාව දේශනා හෝ පංති දමා උගන්වන්නට යයි. මේ සියල්ල වසර 45 කටත් පෙර මෙසේ සිදුවන බව සේකර ඔහු අන්‍යයෙකු වී අප වෙනුවෙන් ප්‍රශ්න කර ඇත.

'නොවැටහෙන මුත් ඔබ කියන දෙය හැගෙයි යන්තම් ඔබ කියන දෙය

වඩා පැහැදිලි ලෙස එය - කියා දිය නොහැකිද මට....? '

බලන්න සේකරම විසඳුම්කරුවා වී එයට පිළිතුරු දෙන විලාශය.

'කියා දිය නොහැක එය වචනයෙන් - පසක් කළ යුතුය එය හදවතින්

දැනුමක් නොවේ එය - අනෙකෙකුට වචනයෙන් ඉගැන්විය හැකි...!

අවබෝධයක් වේ එය - තමන්ම පසක් කොට උගත යුතු!'

 

මේ අවබෝධය නැතිකම කොයි තරම් දිගු කාලයක සිට අප වෙලා ඇත්ද ?

මහ රෑ දෙගොඩ හරිය වනතුරු කාලය කමින් දේශපාලන කරුම පෙන්වන්නේ නැතිව, දැන්වත් රජයේ සහ පෞද්ගලික නාලිකා, මිනිසුන් අතර සහානුභූතිය, සහකම්පනය (EMPATHY) ඇති කිරීමට මාවතක් විවර කරන්නේ නම් මේ දවස්වල කාගේත් සිත්හි ඇති වී ඇති පුනරුද හැඟුම ව්‍යාජයක් නොකොට සදාකාලිකයක් කරගත හැකි වනු ඇත.

 

ගේය පදරුත්: මහගම සේකර

මියැසි අරුත් විශාරද පණ්ඩිත් පද්ම ශ්‍රී අමරදේව

ගායන ලීලා විශාරද පණ්ඩිත් පද්ම ශ්‍රී අමරදේව සහ ගායන වෘන්දය

  රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගීතාංජලියේ සංග්‍රහ වූ where the mind is without fear කවියේ අනුවාදයකි.

19 වන සියවසෙහි පුරාවෘත්තයකට අනුව, දවසක් සත්‍යය සහ බොරුව එකිනෙකා මුණ ගැසුණ.

බොරුව, සත්‍යයට මෙලෙස පැවසුව.

 

"අද හරිම අපූරු දවසක් !"

දවස ඇත්තටම අපූරු නිසා සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළුව.

දවසෙ බොහෝ වේලාවක් දෙදෙනා එකට ගත කලා, ඔවුන් අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණියා

බොරුව, මෙහෙම කියනව සත්‍යට.

 

"මේ වතුර ටික නම් නියමයි, අපි දෙන්න නාගමු !"

 

නැවතත් සත්‍යයට සැක සිතී, ජලය පරීක්ෂා කර ඇත්තෙන්ම හොඳ බව දැන ගත්ත. ඔවුන් ඇඳුම් ගලවා තබා ළිඳට බැස නෑමට පටන් ගත්ත.

 

හදිසියේම, බොරුව ළිදෙන් එලියට පැමිණ, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යන්නට උනා.

 

මෙයින් කෝප වූ සත්‍යය ළිඳෙන් එළියට පැමිණ තම ඇඳුම් නැවත ලබා ගැනීමට බොරුව සොයා සෑම තැනක ම දුවන්නට විය.

 

නිරුවතින් දුවන සත්‍යය දකින ලෝකය අවඥාවෙන් ඉවත බලා ගනිති.

අහිංසක සත්‍යය නැවතත් ළිඳට බැස එහි සදහටම සැඟව අතුරුදන් විය.

එතැන් පටන් සත්‍යය ලෙස ඇදුම් ඇදගත් බොරුව ලොව පුරා සංචාරය කරමින්, සමාජයේ සැරිසරයි.

මන්ද නිරුවත් සත්‍යය දකින්නට ලෝකය කැමැත්තක් නොදක්වන නිසා.

 

- සටහන පුරුදු විදිහටම ජාලයෙන් උපුටාගන්නා ලදී 😉

 

The world famous painting “The Truth coming out of the well” Jean-Léon Gérôme, 1896.


'සොක්‍රටීස්' පුරාණ ග්‍රීසියේ ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක්. දවසක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිල කතාවට වැටුණ.

- සොක්‍රටීස් ඔයා දන්නවාද මට ඔයාගේ යාළුවා ගැන ආරංචි වුන දේ?

පොඩ්ඩක් ඉන්න, සොක්‍රටීස් කිව්ව. ඔයා මට ඒක කියන්න කලින් මං ඔයාව පෙරන තුනේ පරීක්ෂාව ලක් කරන්න කැමතියි.

- පෙරන තුනේ පරික්ෂාව. ඒ මොකක්ද ඒ ?

ඔව් පෙරන තුනේ පරීක්ෂාව, සොක්‍රටීස් උත්තර දුන්න. කවුරුහරි මට අනිත් අය ගැන කියන්න කලින්, ඒ අය අදහස් කරන දේ පෙරලා ගන්න මම පරෙස්සම් වෙනව. මං ඒකට කියන්නේ පෙරන තුනේ පරීක්ෂණය කියල.

⋆ මුල්ම පෙරනය "සත්‍යය" ⋆

ඔයා මට කියන්න යන දේ ඇත්තද කියල ඔයා දන්නවද?

- නෑ, මට ඒක ඇහුණ එකක් විතරයි.

හොඳයි! ඉතින් ඔයා ඒක ඇත්තද දන්නෙත් නෑ. අපි දෙවන පෙරනයට යමු.

⋆ දෙවන පෙරනය "කරුණාව"⋆

ඔයාට  මගේ යාළුවා  ගැන මට කියන්න තියෙන්නෙ හොඳ දෙයක් ද?

- අයියෝ නැහැ නරක දෙයක්, කේලමක්!

ඉතින් සොක්‍රටීස් අහනව, ඔයාට එයා ගැන නරක දේවල් මට කියන්නත් ඕන... හැබැයි ඒවා ඇත්තද කියල ඔයාට විශ්වාසත් නෑ. කමක් නෑ අපි බලමු සමහරවිට ඔයාට තවමත් තුන්වන පෙරනයෙන් මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්.

⋆ තුන්වන පෙරනය "ප්‍රයෝජනවත් බව" ⋆

ඔයා යාළුවා ගැන කියන්න යන දේ මට ප්‍රයෝජනවත් දෙයක් ද?

- නැහැ, ඒක මම නිකන් කියන්නේ. වැදගත් නෑ.

ඉතින්, ඒ පුද්ගලයා දිහා අනුකම්පාවෙන් බලපු සොක්‍රටීස් කිව්ව. "ඔයා  මට කියන්න යන්නේ ඇත්තද දන්නෙත් නැති, අසුබවාදී, ප්‍රයෝජනයක් නැති දෙයක්. ඇයි එහෙනම් මට මේක කියන්න හිතුවේ? "

 

"ඕපාදූප යනු නරක දෙයකි. ආරම්භයේ දී එය විනෝදජනක වේ. විනෝදජනක ලෙස පෙනුණ ද, අවසානයේ එය අපගේ හදවත් දරුණු අඳුරකින් පුරවා අපව ද විනාශ  කරයි"

(සටහන මුල් අයිතිකරුවන් සතුයි!)

 

හෙහ්..හෙ. මේක දැන් වංචා පෝස්ටුවක් කියනෝ හෙම නෙමේ 😉😃.

 

ඇත්තටම අපි අහන දේවල් මේ විදිහට හලල කරලා ගන්නවනම් ගොඩක් පුරස්න, ඇඟේ ගෑවෙන කුණු අඩුවෙන බව දැනුන හන්ද, මේ කතාවේ විටින් විට FB එකේ දකින්න ලැබුනත්... වටිනාකම ගැන හිතල පබිලිස් කොලේ.

 

අහන ඒවා වගේම ආයේ අනෙක් පැත්තට කියද්දීත් මේ තියරිය පාවිච්චි කරානම්... ස්වස්ති සිද්ධම් නේ!

රාජ උදහස

ඩී. පී වික්‍රමසිංහ නම් ලේඛකයා විසින් මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවල ප්‍රචලිත ජනකතා 50 ක් පමණ අන්තර්ගත කොට " මගදිගට ජනකතා " නම් ග්‍රන්ථය රචනා කොට ඇත. එහි එන මහනුවර යුගයේ රජකළ ශ්‍රී විජය රාජසිංහ රජු තා සම්බන්ධ ජනතාවක් මේ පාඩමේ දැක්වේ.


ශ්‍රී විජය රාජසිංහ රජු දවස හැඟුරන්කෙත මහ මළුවේ දේවාලය ඉදිරිපිට අම්බලමක් තිබුණි.

දිනක් මෙහි රැස් වූ ගැමියන්ට දේවාල මළුවේ පැණිවරකා ගසෙහි වූ විශාල කොස් ගෙඩියක් සුදු රෙද්දකින් වසා වෙන්කර තිබෙන බැව් දකින්නට ලැබුණි. එය රාජ භෝජනය සඳහා වෙන් කරන ලද්දක් බව කවුරුත් දැනගත්හ. මේ කොස් ගෙඩිය ඉදී සුවඳ විහිදෙන බව හැමදෙනාට ම දැනුණි. එය ගැන අම්බලමේ සිටි අය අතරේ සාකච්ඡා ඇති විය. එම කොස් ගෙඩිය සොරකම් කළොත් හෝ කැඩුවොත් හෝ ඒ තැනැත්තාට ලැබෙන්නට පුළුවන් රාජ දඬුවම් ගැන ද කථාවක් ඇති විය. රාජ භෝජනය සඳහා නියමිත දේ විනාශ කළොත් නො අනුමානව ම උල හිඳුවීමේ දඬුවීමට භාජනය විය හැකි බව කවුරුත් විශ්වාස කළෝ ය.

අම්බලමේ කොනක කණුවකට හේත්තු වී කල්පනාවේ යෙදී සිටි එක් පුද්ගලයෙකි. උක්කුරාල නම් වූ ඔහු කවදත් අම්බලමේ ප්‍රධාන කථිකයා මෙන් ම විකටයා ද විය. නමුත් ඔහු මෙදින නිශ්ශබ්ද ව කල්පනා සහගත ව ඉඳීම ගැමියන්ට තේරුම් ගත නොහැකි කරුණක් විය.

    එක් ගැමියෙක් ඔහුට කථාකොට 'ඇයි රාලේ! උඹ අද කරබාගෙන ඉන්නේ? ගෙදර ඇත්ති සමග දබර කරගෙන ආවාදැ'යී කවට බසින් ඇසී ය. 'නැහැ. අපේ උන්දෑ සමග දබර කර ගන්ට කරුණක් යෙදුණේ නැත. මා කල්පනා කෙළේ පැණිවරකා ගෙඩිය දෙස බල බල කෙළ හළ හළා සිටින නුඹලා ගැනයි. නුඹලා පැණිවරකා ගෙඩියෙහි ඇති රසයටත් සුවඳටත් ආශා කරනවා. නමුත් කිසිවකුටවත් එය කඩා කන්ට තරම් ආත්ම ශක්තියක් නැත. සෑහෙන ඔට්ටුවක් උඹලා අල්ලන්නේ නම් මම ගසට නැගී එයින් පළුවක් කප ගෙනැවිත් නුඹලාට ද දී මමත් කන්නම්'යි උක්කු රාල කී ය. එබසින් අම්බලමේ සිටි ගැමියෝ විස්මයටත් භීතියටත් පත් වූහ. කරන්ට තබා හිතන්ටවත් භයානක දෙයකි ඔහු කීවේ. පණට ආදරේ ඇත්තෙක් පැණිවරකා ගෙඩිය කනවා තබා අතවත් නො තබති. ඒ නිසා 'මොහු පිස්සුවෙන් නන් දොඩවති' යි එහි සිටියෝ සිතූ හ.

පැණිවරකා ගෙඩිය කා මෙලොව පණ පිටින් සිටින්නට කිසිවකුට ඉඩ නොලැබෙන බව හොඳාකාර දත් එක් ගැමියෙක් 'නුඹ පැණිවරකා ගෙඩියෙන් මදුලක්වත් කෑවොත් මා නුඹට හොඳ මී නාම්බකු තෑගි කරනවා. හැබැයි නුඹ ජීවතුන් අතර සිටියොත් පමණයි ඒ තෑග්ග ලැබෙන්නේ' යි කීය. 'නුඹ ඒ තෑග්ග දෙන බව සත්‍යයක් නම් දේවාලයට අත ගසා දිව්රුම් දෙනු, එසේ දිවුරූ විට මම පැණිවරකා ගෙඩිය කන්නෙමි' යි උක්කුරාල කී ය. ඊට එකඟ වූ ගැමියා එලෙස දේවාලය දෙසට අත නඟා දිවුරුම් දුන්නේය.

ස්ථානෝචිත ප්‍රඥාවක් හා ජම්ම දායාදයකින් මෙන් ලත් මුඛරි බවත් ඇති නිර්භීත උක්කුරාල සැණෙකින් කැසපොට කවාගෙන පිහියක් අතින් ගෙන පැණිවරකා ගසට නැඟ, වරකා ගෙඩියෙන් පලුවක් කපාගෙන බිමට බැස එය කෑමට පටන් ගත්තේ ය. අම්බලමේ සිටි අයට ද ඔහු පැණිවරකා දුන් නමුත් පණ බියේ ගැහි ගැහී සිටි ඔවුහු ඒවා ප්‍රතික්‍ෂ්ප කළෝ ය.

රාජ භෝජනය සඳහා වෙන්කොට තිබූ පැණිවරකා ගෙඩිය උක්කුරාල නම් ගැමියෙකු කඩා කෑ බව නගරය පුරා ම පතළ විය. රජවාසල රාජපුරුෂයන්ට ද මෙය දැනගන්නට ලැබී ඔවුහු රජු වෙත ගොස් ඒ බව පැමිණිලි කර සිටියෝය. රජතුමා ද කිසිවක් විභාග නො කර 'මහවාසලට එවැනි අවනම්බුවක් කළ එම ද්‍රෝහියා අල්වා උල හිඳුවා මරව' යි අණ දුන්නේ ය. රාජාඥාව පරිදි උක්කුරාල රාජ පුරුෂයන් විසින් අල්වන ලදුව රතු මල් වඩම් කර ලා කටු සැමිටියෙන් තළතළා වදකයින් විසින් වදක භූමියට ගෙන යන ලද්දේ ය.

වදයක කැපවූ උක්කුරාල අතර මඟ දී මහ හයියෙන් විලාප ගසමින් අඬන්නටත් අනතුරුව මහ හයියෙන් කොක්හඬ දී සිනාසෙන්නටත් පටන් ගත්තේ ය. මෙසේ නොකඩවා වරින් වර අඩන්නා වූ ද, සිනාසෙන්නාවූ ද, වදයට කැප වූ මේ පුරුෂයාගෙන් රාජ පුරුෂයෝ 'එසේ අඩන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක්දැ' යි ඇසුවෝ ය. 'ඊට හේතුවක් තිබේ. එය මම නුඹලාට නො කියමි. මහා වාසලින් ඇසුවොත් පමණක් කියන්නෙමි' යි උක්කුරාල නිර්භීත ව පිළිතුරු දුන්නේ ය. කෙසේ ඇසුවත් පළමු සේ ම කියන බැවිනුත්, නොනවත්ව ම ඇඬීමත් සිනාසීමත් කරන බැවිනුත්, එක් රාජපුරුෂයෙක් රජවාසලට දුවගොස් මේ බව රජතුමාට සැලකර සිටියේ ය.

ඒ බව අසා රජතුමා ද පුදුම වී 'වහා ඔහු ආපසු රජවාසල කරා කැඳවා ගෙන එය'යි අණ කෙළේ ය. එසේ රජු ඉදිරියට පැමිණ වූ එම පුරුෂයාගෙන් 'තා වදක භූමියට ගෙනයන අතරතුර අඬන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක් දැයි' යි ප්‍රශ්ණ කළේය. 'අහෝ ! දේවයන් වහන්ස! මම බඩගින්න නිසා පැණිවරකා ගෙඩිය කෑවෙමි. ඒ නිසා ම වදයට ගෙදුරු වීමි. මගේ බඩ ගින්න නිසා මට අකාලයේ අත්වූ මරණය ද, මගේ අඹු දරුවන් ද සිහි වී ඇති වූ ශෝකාග්නිය උසුලාගත නොහී ඇඬුවෙමි' යි ඔහු කීය.

'ඒ එසේය, තා මරණ භයින් අඩන ඇඩීම සුදුස්සක් සේ මම පිළිගනිමි. මෙවැනි මරණයකට ගොදුරු වී සිටින තා සිනාසෙන්නේ මක්නිසා ද? තට කවර නම් ප්‍රීතියක් ඇත්තේ ද? වහා කියවයි රජ අණ කෙළේය. 'අහෝ!! දේවයන් වහන්ස! එසේ මරණයට පත් වුවත් මට එයින් එක සැනසීමක් ප්‍රීතියක් ගෙන දෙන කරුණක් ඇත්තේ ය. 'අසවල් රජ්ජුරුවෝ කොස් බෑයටත් මිනී මැරවූයේ ය'යි යන අපවාද සහගත කථාවක් අනාගත ලෝකයාට ද දැනගත හැකිසේ ඉතිහාස ගත වන්නේ ය. වර්තමාන ලෝකයා ද ඒ එසේ ම කියමින් මහවාසලට අපහාස නඟන්නෝ ය. එය සිහි වූ මට සිනා පහළ වන්නේ ය'යි උක්කුරාල පිළිතුරු දුන්නේ ය.


මේ ඇසූ රජ්ජුරුවන්ට තරු පෙනුණි. අනාගතය ගැන සිහියට නැගුණි. ගැමියාගේ කියමනෙහි සත්‍යතාව වැටහුණි. බඩ සාගින්නට වරකා පලුවක් කෑ ගැමියා පවා අසුවල් රජ්ජුරුවෝ 'මරණයට පත්කරවූහ' යි ලෝකාපවාදයකට තමා ගොදුරු වන බැව් පෙනී ගියේ ය. එබැවින් මෙය කළ යුතු දෙයක් නොවේ. මොහුට අභය දුන මැනව යි සිතා ගැමියා අමතා 'තගේ ස්ථානෝචිත ප්‍රඥානුබද්ධ මුඛරි බව නිසා මට වන්ට තිබූ නින්දාවෙන් ගැළවුණෙමි. එසේ ම තට වන්ට තිබූ මරණයෙන් ද තා ගැළවුණෙහි ය'යි කියා උක්කුරාලට අභය දානය කෙළේ ය.

වන්නේ කුමක් දැයි බලාගෙන එතෙක් අම්බලමේ සිටි තම යහළුවන් කරා උක්කුරාල සිනාසෙමින් ගොස් පොරොන්දු ප්‍රකාර මීගොන් නාම්බා තෑගි ලබා ගත්තේ ය.

 කහ පාටයි. පොඩි හුරුබුහුටි ගතියකුත් තියෙනව. පිට දේසෙකින් නෙ මෙහෙට එක්කරාන ඇවිත් තියෙන්නෙ. ඒ නිසා හැන්ඩියට, ජේත්තුවට ඉන්න පොර කැමතියි හිටන්. හැබැයි මහ එපා කරපු එකා. දවස තිස්සෙම පාරේ. සමහර දවස්වලටනම් ඇඟේ කුණු පෙරාගෙන ජරා වෙලා... ගන්දස්කාරේ බැරුවා. හොරකමේ යන... මහ නැහැදිච්ච පූසෙක් මූ. කුණු බක්කි, ගෙවල්ය කියල ඌට ඒ හැටි වෙනසක් නෑ. ඌටම හරියන සැට් එහෙකුත් හොයාගෙන, අන්දල කරලා හෙම තියන් ඉන්නෙ. සේරෝම එකතුවෙලා පැත්තමට සුද්දෙ දෙනව. පොලෝසියටවත් බෑ උන්ව මට්ටු කරන්න. හැබැයි එහෙමෙයි කියල... මේ පූෂ නරකමත් නෑ.

කාලෙකට කලින් විස්තරේ ඔහොමයි. දැන් උදවියනම්... ඌ ගැන දන්නෙ නැති තරම්. මේ නසරානි පූසව ගෙන්නගෙන තියෙන්නෙ... සූප පෙට්ටියේ කන්තෝරුවකින් නෙව. එකදාස් බරගණන්වල.

හරියටම මේ පූෂ්ගේ වතගොත කියනව නම් 1961 තමා මේ මූ ඉපදිලා තියෙන්නෙ. ඒ හැනා සහ බාබරා කියන නිෂ්පාදන ආයතනයෙන්. එහෙම කියද්දි නම් කස්ටිය දැනගන්න ඇති... මේ කියන්නේ අර ඇමරිකන් Top Cap කාටූන් එක ගැන වෙන්ටෑති කියල.


Top Cap ලංකාවේ හඬකවා රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කරන්නේ කවුරුත් දන්න 'පිස්සු පූසා' කියන නමින්. එය භාරව කටයුතු කර තියෙන්නෙ... ටයිටස් තොටවත්තයන් නෙව. මේ කාටුන් වැඩසටහනට නම දැමීම වගේම, එහි 'පිස්ස මූ' කියන තේමා ගීතයට ඒ පද යොදාගැනීම හරිද කියල පොඩි කසුකුසුවක් ඇවිදින්... මොකද මේක ළමා වැඩසටහනක් නිසා. ඒ කොහොමින් උනත් කාටුන් එක වගේම තේමා ගීයත්, ළමා- වැඩිහිටි කා අතරත් එක විදිහට ජනප්‍රියත්වය උනා. තාමත් සින්දුවේ හඬ ඇහුණ ගමන් මතකෙට එන්නෙ ඒක නෙව.

ඉන්න කස්ටිය ගත්තොත්... ප්‍රධාන, කහපාට සූට් බූට් දාගත්ත උජාරුවට ඉන්න පිස්සු පූස්. මේ පූස් මොටා පස්සෙ පන්නන අවංක- නීතිගරුක රාලහාමි. ඊට පස්සෙ... පිස්සු පූස්ගෙ සහචර පිරිවර, පූස් වසන ගමේ මිනිස්සු සැට් එක. ගම වටේ නැටුන් නටාගෙන, දහන් ගැට දාන පූස් සහ රැල මට්ටු කරන්න එන්ටර් වෙන රාලහාමී කතා වස්තුව තමා ඉතීම් වැඩිහරියක කතා සාරය. ඉඳල හිටල පූස්- රාලහාමී සාමදාන වෙන තැනුත් නැතුවාම නෙමේ. කොහොමින් උනත් ඉක්මනටම හිත් උණු වෙන ඩබලක්... පූස්- රාලහාමී දෙනම.

දැන් ළමයින් මේවා නොදන්නව උනාට අපි ඔයයිලා බලපු/ දන්න ඒව නෙව මේව. කෝමින් උනත් ජාතික රූපවාහිනියේ පස්සෙන් පහු මේක විකාසය කළා, දැන් අත්හිටුවලද දන්නෙ නෑ හිටන්.

පළවෙනි දිගහැරුමේ තේමාව, පූස් රංචුවේ සගයෙක්ට ඇදෙන ලොතරැයි දිනුමකින් කට්ටියම හවායි බලා යන සංචාරයක්. මේ විදිහට එකිනෙකට වෙනස් තේමාවන් වටා ගෙතුණු කතා ඇතුළත්ව... 1961 සැප්තැම්බර් 17දා සිට 1962 අප්‍රේල් 18වනදා දක්වා කොටස් 30කින් යුතුව පළමු දිගහැරුම ඇමරිකාවේදී විකාශය වෙලා තියෙනව. මේ වෙනකම් විවිධ රටවල්වල භාෂාවන්ට පරිවර්තනය වෙලා ඇවිදින් 2023 වෙන කොට එහි 62නි වසර පහුකරනව. මේ අතරතුරේ චිත්‍රකතා, සඟරා, චිත්‍රපට දක්වා Top Cat වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනව. ඒත් සිනමාව ආක්‍රමණය කරන්නනම් ඒ හැටි සමත් වෙලා නෑ.

* * * * * * *

කෝම උනත් ටයිටස් තොටවත්ත ඔය... ගැති නැති,
 කියන්ට ඕන දේ අදාළ වෙන විදිහට කියාපු කෙනෙක්ය කියල කියනවා නෙව. එහෙම හිටිය ටයි බොසා මේ පිස්සු පූසා එකේ සිංහල තේමා ගීය මොන දෙයක් හිත් ලාල අකුරු කරාද දන්නෑ හිටන්.
 

සූට් බූට් දිග කලිසම් - රෝල්ස් රොයිස් ගමන් බිමන්

අද මැදුරේ හෙට පැදුරේ - පිස්සු පූසා මේ

 

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //

 

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා

මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා

දෙස් පළුවක් ගේ විලසා - කුණු කූඩෙන් බෙල්ල දමා

බොරු බේගල් ඇද බාලා - සහචරයින් කරයි මුලා

 

අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා

මීයා කටට වැටුණු වහා සිල්ගත් සේමා

තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා

බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා

 

හොරා කෑම බැරිවුන දා - දත් විලිසා නිය විහිදා

කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා

 

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //

  

ගී පද - ටයිටස් තොටවත්ත

තනු සහ සංගීතය - සෝමසිරි ඉලේසිංහ

ගායනය - ගැමුණු විජේසූරිය

   යූ බටෙන් සිංදුවට......... 


    අද කාලේ ළමයින්ගෙ Reality Shows ඇතුළු බොහෝ ළමා වැඩසටහන් බැලුවහම හිතෙනවා... මේවා දරුවන්ට ඔබිනවද කියල. ඒ තරම් ඒ දේවල් දරුවන්ට නොගැළපෙනව කියලයි... මටනම් හිතෙන්නෙ. එහෙම හිතෙන අය නෑ කියල හොඳින්ම සක්සුදක් සේ පැහැදිලි ඉතීම්... අර කීව වැඩසටහනක් දෙකක් බැලුහම. මගෙ අදහස නම්... අපි දරුවන්ගෙ මානසිකත්වය, ඒ අයගෙ වපසරිය දැනගෙන... ඒ අයට ඔබින විදිහට දේවල් කියල දෙන්න, පහදලා දෙන්න ඕන. දේවල් කරන්න දෙන්න ඕන කියලයි.

   ඒ ගැන හිතන්න පෙළඹෙන විදිහේ ලස්සන කතාවක්, ලඟදි Facebook අඩවියෙන් කියවන්ට හම්බුනා. බොහෝ දුරට යාන් කතාවක් වෙන්නත් පුළුවන්. 

   අපි දරුවෙකුට කොහොමද සත්‍යය පහදල දෙන්න මුලපුරන්නෙ. නැත්තං වෙන්නෙ අර පූසා සහ ලොකු නෝනා post එකේ වගේ වැඩ තමයි. මේක Kafka සම්බන්ධ ලස්සන කතාවක්... සමහර විට ඔයාල මේක කියවලත් ඇති. කෝම උනත් ඒ post එකේ තිව්න කතාව එහෙමම මං දාන්නම්... ආයේ රසවිඳගන්නත් එක්කලා. 

************

   වයස අවුරුදු 40 දීත් අවිවාහක Franz Kafka ගේ ජීවිතයට ඇතුළු වූ දැරියකගේ කතාව, ඉන් පසුව මුළු ජීවිත කාලය පුරාම බලපෑ අයුරු ගැන සත්‍යයක් දැයි නොදන්නා නමුත් ඔහු පිළිබදව එක් අපූරු කතාවක් ලොව පුරා ප්‍රචලිත විය. එය Kafka and the travelling doll නමින් ලෝකයේ විවිධ භාෂා වලට පෙරළුණු අතර විශිෂ්ට, ළමා පොතක් ලෙස ස්පාඤ්ඤ කතුවරයෙකු වූ Jordi Sierra විසින් පසුව ලියන ලදි.

   කෆ්කා දිනක්, බර්ලින්හි පිහිටි සුන්දර උද්‍යානයක් වූ Steglitz Park හි ඇවිදිමින් සිටිද්දී… ඔහු දකිනවා කුඩා දැරියක හඬමින් සිටිනවා. ඔහු දැරිය ලඟට ගොස් ඇය හඬන්නට කාරණාව අහනවා. ඇය ඉකිබිඳිමින් කියනවා ඇයගේ කැමතිම බෝනික්කා නැති වූ බවට. ඉන් පසුව කෆ්කා එම දැරිය සමග එකතුව මෙම බෝනික්කා හොයා ප්‍රතිඵලයක් නොලද තැන කෆ්කා ඇයට කියනවා ඊළඟ දවසෙත් එතනට එන ලෙස බෝනික්කා සොයන්නට.

   කිව්ව විදිහට දෙදෙනාම පසුවදාත් බෝනික්කා හොයන අතර කෆ්කා විසින් දැරියට ලිපියක් දෙනවා බෝනික්කා විසින් දුන් බවට. පුංචි දැරියට හරි සතුටුයි. දැන් ඇයට ඇසෙන්නට කෆ්කා ලිපිය කියවනවා. එහි මෙසේ තියෙනවා…

   "බබා, කරුණාකර අඬන්න එපා, මම ලෝකය වටේ චාරිකාවක් ගිහිනුයි ඉන්නෙ. එහිදී මුහුණදෙන අත්දැකීම්, ත්‍රාසජනක දේ සියල්ල මම බබාට ලිපි මගින් දන්වන්නම්"

   මෙම කුඩා සිදුවීම… කෆ්කා ගෙ ජීවිතය අවසානය තෙක් ඉතාම වැදගත් සංධිස්ථානයකට ගෙන එනවා. ඔහු විටින් විට මෙම දැරියව මුණ ගැසෙද්දි, ඔහු විසින් ඉතාම පරෙස්සමට ලියන ලද දැරියගේ ආදරණීය බෝනික්කා ගෙ ත්‍රාසජනක ක්‍රියා ඇතුළත් ලිපි හා සංවාද ඇයට කියවනවා. දැරියට හරිම සතුටුයි මෙම අපූරු කතාන්දර වලට.

   අන්තිමට කෆ්කා තව ලිපියක් කියවනවා. චාරිකාව අවසන් කර බෝනික්කා බර්ලින්වලට නැවත එන බවට. දැරිය එය විශ්වාස කල අතර කෆ්කා දැරියට හොරෙන් වෙනත් බෝනික්කකු මිළදි ගෙන ඇය අතට දෙනවා. එහිදී ඇය මෙහෙම කියනවා...

   "මේ මගේ බෝනික්කා නෙවෙයිනේ, වෙනස් කෙනෙක් නේ ".

   මෙම අපූරු බොහිමියානුවා එවිට ඇයට බෝනික්කා එවූ තවත් ලිපියක් ශබ්ද නගා කියවනවා, එහි තියෙනවා මෙහෙම...

   "බබා දන්නවද ලෝකෙ වටේ ගිය චාරිකා මාව වෙනස්ම කෙනෙක් කලා". 

   එය පිළිගන්නා පුංචි කෙල්ල, බෝනික්කාව ආදරයෙන් තුරුළු කරගෙන ගෙදර යනවා. ඊට අවුරුද්දකට පස්සේ කෆ්කා මියයනවා. අවුරුදු ගනනකට පස්සේ දැරිය තරුණියක වන අතර ඇයට අර කෆ්කා මිලට ගෙන දුන් පැරණි බෝනික්කාගේ ඇතුළු කුහරය තුළ තිබී කුඩා ලිපියක් හමුවෙනවා. එහි තියෙනවා මෙහෙම...

   "ඔබ ආදරය කරන සෑම දෙයක්ම නැති වීමට බොහෝ දුරට ඉඩ තියෙනව. නමුත් අවසානයේ දී ආදරය වෙනත් ආකාරයකින් නැවත පැමිණේ".


මේ ගමත්, අනෙක් ගම්මාන වගේමයි. කිසි වෙනසක් නෑ. තියෙන එකම වෙනස... උපදින බොහෝ දරුවන් නිවුන්නු වීමයි. එයිනුත් වැඩි පිරිසක් සර්වසම නිවුන් ගණයට තමා අයත් වෙන්නෙ.

නිවුන් උපත් දර්ශකයේ ඉහළ තැනක, ඉන්දියාවෙ නම සඳහන් වෙලා නැතන්... මේ ඉන්දියානු ගමට නම් ඒක වලංඟු නෑ වාගෙ. බලන බලන හැම තැනම නිවුන්නු. විද්‍යාවටත් හරිහැටි තේරුම් බේරුම් කරගන්න බැරි මේ ගම්මානයේ නම කොඩින්හි (Kodinhi). පිහිටා තියෙන්නෙ කේරළයේ. වාර්තාවල සඳහන් වෙන හැටියට එහි පවුල් 2000 තියෙන අතර ඒ පවුලවල් වලින් නිවුන් යුගල 400ක්වත් සිටී. කලකට ඉහත සඳහන් මේ වාර්තා නිසා දැන් තත්වය වෙනස් ඇති. ඒත් ඇති තරම් නිවුන්නු නම් අඩුවක් නැතුවම ඇති.

කෘතීම සංසේචන ආදිය නිසා බටහිර නිවුන් දරුවන් ලැබීමේ යම් වර්ධනයක් තිබුනත්... මේ ගමේ නම් එය වෙන්නෙ ස්වාභාවිකමයි. පරීක්ෂකයින් ඔවුනගේ ආහාර වේල්, ජල සැපයුම්... ඇතුළු දේවල් ගැන හිට පරික්ෂා කළත් මෙයට හේතුවක්, මෙතුවක් ලැබී නැති බවයි දකින්ට තියෙන්නෙ. ඒ උනත් ජානමය සාධක ඇතුළු දේවල් ගැන පරීක්ෂකයෝ, විද්‍යාඥයො මේ දක්වා සොයා බලන බව කියවෙනව.

 (තවමත් ඇත්තෙන්ම, මෙහි ප්‍රධාන පිළිතුර ලැබී නැත. කොඩින්හි අභිරහස දැනට අභිරහසක්ව පවතිනු ඇත. පර්යේෂක කණ්ඩායමක සාමාජිකයෙක් එලෙස අදහස් දක්වලා තියෙනවා).

ඒ වගේම කලකට කලින් කේරලයේ දොස්තරවරයෙකු වන ක්‍රිෂ්ණන් ශ්‍රීබිජු... “අවුරුද්දක් පාසාම නිවුන් ප්‍රතිශතය එහි වැඩිවන බවත්, පසුගිය අවුරුදු දහයක් පුරා කොඩින්හි ගැන අවධානයෙන් හිටි තම නිගමනය... මේ ප්‍රමාණය දෙගුණ වෙන්නට පුළුවන් බවයි.” ක්‍රිෂ්ණන් දොස්තර මහතා එසේ කියා ඇත.

කොඩින්හි වැඩිහිටියන්ට අනුව නම් මෙහි ආරම්භය වැඩි ඈතක නොව... මීට පරම්පරා තුන හතරකට පෙර බවයි. (මීට අවුරුදු 70 – 80කට පෙර). ලෝකේ සියලු දේ විද්‍යාවට හසු නොවන බව පෙන්වන මේ නිවුන් ගමේ... නිවුන් සමාජයක් ද පිහිටුවාගෙන තියෙන අත‍ර මුළු සාමාජිකයින් පිරිස 600ද ඉක්මවා තියෙනව.

බර්බල් සැලකෙන්නෙ ඉන්දියානු ඉතිහාසයේ හිටිය, තවත් එක් දක්ෂ පුරෝහිතයෙක් හැටියට. ඔහු හිටියෙ... මෝගල් අධිරාජ්‍යයේ, මහා අක්බාර් රජු අධිරාජයා ගෙන යන සමයෙ. ඒවගේම අක්බාර් අධිරජුගේ අගමැති තනතුර ඔහු දැරූ බවත්... නව රත්න නමින් හැඳින්වූ නව දෙනෙකුගෙන් යුත් දක්ෂ ඇමති මණ්ඩලයේ වටිනාම රත්නය... මේ බර්බල් බවත්, සමහරෙක් තැන්වල සඳහන්ව තියෙනව. ඒ වගේම අක්බාර් රජු එතරම් උගතෙක් (ලිවීමට වගේ හෙම) නොවූ බවත්... ප්‍රායෝගිකව ලද අවබෝධ හා දක්ෂයන් ඒ ඒ තනතුරුවලට පත් කරන්, රාජ්‍යය ඉතා දක්ෂ ලෙස ගෙන ගිය බවත් සඳහන්.

බර්බල්. ඔහුගෙ... නම බර්බල්, බර්බිල්, බිර්බල් වගේ එක එක විදිහට පාවිච්චි වෙනව. බර්බිල් /බිර්බල්ගෙ කතා කීපයක්... Litseekerගෙ blog එකෙත් පළ වෙලා තියෙනව. කොහොම උනත් නස්රුදීන්, ඊසොප්, අන්දරේලට උනා වගේ... එකිනෙකාගේ කතා එකිනෙක මිශ්‍රව තියෙනව. ඒ නිසා 100%ම මේ කතාව කාගේදැයි කියන්න බැරි තරම්. කොහොම උනත් ඉතිං ඉතිහාසය කියන්නෙ... 100% සත්‍යය හෝ 100% අසත්‍යය දෙයක් නෙවේ නෙ... නේ.

********

 

ඔන්න දවසක් අපේ වවුල්මොටා වැඩට යනවා වගේ...😄 වෙලාව පහුවෙලා බර්බල් රාජසභාව ඉදිරියේ පෙනී හිටිය. කේන්ති ගිය රජතුමා කාරණා ඇහුවමත්, වවුලා විදිහටම... ඒ ගැන ගණන් නොගෙනම උත්තර දුන්න.

රජතුමනි, දරුවා හොඳටම ඇඬුව. නළවගන්න බොහොම අමාරු උනා.

හුම්.... මට හිතෙන්නෙ ඔබ පිය පදවිය ලැබුවට මොකද දරුවෙක්වත් නළවගන්න බැරි හැඩයි. රජතුමා නෝක්කාඩුවට වාගේ... රාජ තේජසින්ම කිව්ව.

අනේ රජතුමනි, දරුවො නළවනව කියන්නෙ පොඩි සෙල්ලමක් ද. ඔබත් පිය රජෙක් නෙ. ඒ නිසා මොහොතකට... මං දරුවා කියල හිතාගෙන කටයුතු කරන්න. එතකොට ඔබටම තේරෙයි ඒකෙ බරපතළ කම.

බර්බල් මෙහෙම කිව්වම රජතුමා එයට එකඟ උනා. එය එහෙම නෙවේ කියල පෙන්නන්නත් එක්කලා.

තාත්තෙ... මට එළදෙනක් ඕන.   - වහාම රාජ අනින් එළදෙන එතැන.

මට උගෙන් කිරි බොන්න ඕන.   - රාජ අණින් එයත් ඉටු උනා.

මට මේ කිරි එපා... මේවා තිබ්බ තැනින්ම ආපහු තියන්න.

(මේක නස්රුදීන්ගෙ කතාවලත් තියෙන්නව.. එකේ එළදෙන වෙනුවට ඔටු දෙනක් තමා ඉන්නෙ). (ඔටුවගේ ගෑනු සතා මොකාද...😂).

********

 

තව දවසක බර්බල් රාත්‍රී බෝජන සංග්‍රහයක් සඳහා එක්වන්න... මිතුරු ඇරයුමක් ලැබුණ. බර්බල් සාද වලට එතරම් කමැති කෙනෙක් නෙමේ උනත් ඇරයුමට බෑ කියන්න බැරි කමටම එය බාර ගත්ත. එහෙම කරලා ඉතිං... වෙලාවට එයට සහභාගී උනා.

ඔයාට බොහොමයක් යාළුවො ඉන්න හැඩයි. බර්බල් තමාට ඇරයුම් කළ මිතුරට කිව්ව.

ඔව්. ඒත් මේ හැම කෙනෙක්ම මගෙ අමුත්තො නෙමේ. මෙතැන ඉන්නෙ එක අමුත්තයි. අනික් හැමෝම මගෙ සේවකයො. පුළුවන් නම් ඒ කෙනා හොයා ගන්න. මිතුර බර්බල්ට අභියෝගයක් ඉදිරිපත් කළා.

හොදයි. ඔයා ඒ වෙනුවෙන් එක දෙයක් කරන්න. මේ පිරිස ඉදිරියේ එක විහිළුවක් කරන්න. ඉල්ලීම ඉටු උනහම... බර්බල් හරියටම ඒ අමුත්තව මිතුරාට පෙන්නුවා. ඉන් පුදුම උන මිතුර ඇහුව... කොහොමද ඔබ එයාව හඳුන ගත්තෙ කියල.

මේකනෙ මිත්‍රය, තමන්ගෙ හාම්පුතා කියන ඕන මෝඩ විහිළුවකට ඒ සේවකයො හිනා වෙනව. ඒත් අමුත්තෙක් එහෙම නෑ. 

බස්ස නොලියන එකේ අඩුව පිරවීම පිණිස... යූබටේ එකකකුත් දැව ඔන්න.




වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්