Showing posts with label මේ දවස් වල. Show all posts
Showing posts with label මේ දවස් වල. Show all posts

එකෙක් FB එකේ post එකක් දාල තිව්න සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යනකොට අපිට හරි වියදම්නෙ කියල.

ඇත්ත. සැමරුම් වලට වටිනාකමක් තියෙයි. අතින්කයිට් නොවී සමරන්න නම් අඩුගානෙ කලින් ආණ්ඩුවල මන්ත්‍රී කෙනෙක් වෙලාවත් ඉන්ට තිව්න 😂.

පොතේ හැටියට නං අවුරුද්දට සිංහ ලේ- දමිල ලේ 😁 කස්ටියම... අවුරුද්ද සමරනව.

නාගරීකරණය, පැතිරුන පවුල සංවෘත වීම ආදී නොයෙක් කාරණා හන්ද වර්තමානේ නම් මේ චාරිත්‍ර සහ සැමරීම් කෙරෙන්නෙ ටිකක් අඩුවෙන්. ඒත් අතීතේ ගම්වල සිදුවුනාටත් වඩා සාර සොබාවට... ගැමි අවුරුදු events, TV චැනල් වලින් සංවිධානය කරනව නෙව!

ඔය අතරෙ අර බෞතිකවාදී ලයින් එකක යන අය සහ පොඩි රැඩිකල් මතයක ඉන්න අයනං... මේ චාරිත්‍ර සහ සැමරීම් දකින්නෙ මෝඩ පහේ වැඩ හැටියටයි. මයෙත් ඒ හැටි ඔය චාරිත්තර කෙරේ වැඩි ලැදියාවක් නැති උනත්, අනික් කස්ටිය මේ සැමරුම් කරන එකේ අගුණක් නම් දකින්නෙ නෑ.

මොකද... පොඩි අයට තෑගී හම්බෙනවා, යාළුවො සෙට් වෙනව, සෙල්ලං කරන්න හම්බු වෙනව. සල්ලි හම්බෙනව. පාඩම් කරන්නත් නෑ. ඒ හන්ද උන්දලාට වාසි.

වැඩිහිටි අය ගත්තම... stress ජීවිතෙන් පොඩ්ඩක් මිදිල restart එකක් කරගන්න හම්බුවෙනව. ගමේ යන්න, ටුවර් එකක් යන්න නිවාඩු හම්බෙනව. මහගෙදර තනි උන දෙමව්පියන්ට දරුවන් දකින්න හම්බ වෙනව. බෝනස් හම්බුවෙනව. (වියදමුත් වෙනව තමා). ජීවිතේට දැකල නැති ඤාති දැකගන්න හම්බුවෙනව. පරණ කෝන්තර වගේ දේවල් යටගිහින් දැනහැඳුනුම්කම් අලුත් වෙනව. EXට විශ් කරන්නත් හම්බෙනව 😂. කොල්ලන්ට, කෙල්ලන්ට ලව් එකක් පටන්ගන්න අවස්තාවක් හම්බවෙනව. අවුරුදු ගී අහන්න ලැබෙනව. පිරිමින්ට Wifeලගෙන් ගෙදරම බොන්න පර්මින්සන් ලැබෙනව. කාන්තා පාර්සවේට shopping කරන්න හම්බවෙනව. අලුත් ඇඳුම් අඳින්න හම්බෙනව. ඒවා ඇඳන් හෙම Social mediaවලට පේන්න අවුරුද්ද සමරන්න පුළුවන් වෙනව. නළුනිළියන් අවුරුදු කන හැටි TV එකේ දකින්න හම්බෙනව.

ඕන්නං අවුරුදු උත්සව වලට සහභාගී වෙලා... සැඟවුනු අලිය කොට්ටෙ තියල කිරි කවන්නත් අවස්තාව ලැබෙනව. ඒ ඇර තව කොච්චර ක්‍රීඩා තියේද. ඒවාට සහභාගී වෙලා තෑගී දිනන්නත් පුළුවන් නෙ.

කෙට්ටු අපි වාගේ අයට මහත් වෙන්න චෑන්ස් එකත් හම්බු වෙනව 😂 😂


සමාජෙම පොඩි සොමි ලයින් එහෙක යනව. ඉතිං දාර්සනිකව ඉඳන්... ඔය සොමි vibe එකට අකුල් හෙලන්ට පුලුවනෑ කියලයි මටනං හිතෙන්නෙ.

ඒ හන්ද FB, WhatsApp හැම එකේම ගොඩක් අයට අවුරුද්දට විශ් කරා. මොකද සමහරුට එක විශ් එකක් උනත් ඇති සතුටු වෙන්න... මේ සොසියිටියේ. (කාලෙකින් මිත්‍රයෙක් සුබපැතුමක් එද්දී නං අපි උනත් ඩාම් ඩූම් වෙනව තමා. ඒත් ඕන බම්බුවක් වෙද්දෙන් කියල විස් කරා)


එහෙනං... වාසනාව, සතුට සෞභාග්‍ය සපිරි සුබ උපන්දිනක් වේවා හැමෝට්ටම 😁🎉🙏


News එකෙ තියෙන හැටියටනං... Windows 10ට මේතාක් ඒ උන්දලා දෙමින් සිටින තාක්ෂණික-සේවා සහය නවත්වන බවක් තමයි කියැවෙන්නෙ. ඒ කියන්නෙ අලුතෙන් හැදෙන malware, security ආදී පුරස්නයක් ආවොත්... අදහන දෙයියෙක් සිහිකරගන්න එකයි ඇත්තෙ හිටං 😆.

Windows 10 ආවේ 2015 වගේ කාලෙකදී සහ Windows 11 නිකුත් උනෙත් 2021ක වසරේ.

කෝම උනත් අතීතේ... windows සමහර ඒවාට දෙන support එක නවත්වන බව වටින් ගොඩින් කියලත් තව ටික කලක් වැඩේ ඇදන් ගියා. (මේකනම් නවත්වයි කියපු දවසටම, officially කියා තියෙන හන්දත්).

පරණ ඒවාට සේවා සපයන්න ගියාම... යන කාලය, වියදම වගෙ ඒවත් සැලකුවොත් ඔවුන්ට ඒක අමතර පිරිවැයක්. ඒ උනත් අර කීව වගෙ ටික කාලයක් ඇදන් ගියා. මේ විදිහේ සේවා සලසන, උදව් දෙන සිදුවීම් කොයිතරම් නම් අපි යූ බටෙන්, ජාලෙන් දැකල ඇද්ද. ඒ අතිසය බහුතර සිද්දි ඉතිං වෙනත් දේස දේසාන්තරවල තමා. (ලංකාවේ නැතුවමත් නෙමේ)

උන්දලා කවුරු වෙනුවෙන්ද මේ කරන්නෙ. තම පාරිභෝගිකයා වෙනුවෙන්! මහා පතල කරුණාවකින් නෙවේ උනත් එහෙම හරි තම පාරිභෝගිකයා ගැන හිතන එකට අපි ඔවුන්ට ටැංක්ස් කරන්න ඕන. (අපිත් විදේශ භාණ්ඩ හා සේවාවල පහසුකම් ලබනවා නෙව... ටිකක් හරි 🤗 )

ඒ අස්සෙ මේ ටිකේ මතකෙ තිබ්බ තව දෙයක් තමයි ලාල් ඇමටි තම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කළ කතාව.

"අපි ඇඩම් ස්මිත්ව ප්‍රතික්ෂේප කරලා ගොඩක් කල්. එයාගේ මූලධර්මය රජය ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නෑ කියන එක. යුරෝපයෙන් හා එයාගේ ගෝලයන්ගෙන්ම ඒ න්‍යාය ප්‍රතික්ෂේප උනා. රනිල් කලේ රජය අකුළමින් ගිය එක. අපේ මූලධර්මය ඒක නෙමෙයි. අපේ ආර්ථික මූලධර්මය තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නෙ රජය යම් පමණකට ආර්ථිකයට සහභාගී වෙනව "

ඇඩම් කියලා තියෙනවයි කියල ඉගෙනගෙන/ අහල තියෙන්නෙ... රජය ඇඟිලි නොගහා නිදහස් ආර්ථිකයට ඉඩ දීල එයින් ඇතිවෙන වෙළඳපොළ තරඟකාරීත්වයෙන් ඵලදායිතාව, දියුණුව ඇතිවෙලා පාරිභෝගිකයට මිල සහ වටිනාකමේ වාසි ලැබෙනවා, රටත් දියුණු වෙනවා කියල නෙව. බටහිර මොක උනත් මේ දීපංකරේ නම් ඔය විජ්ජුම්බර වෙන්නෙ නෑ කියල තමයි දන්න කාලෙ ඉඳල මටනං හිතුනෙ. මොකද දේසේ හැටියට තමා ඔය කොයි දේත්, කොයි ප්‍රතිපත්තියත් ක්‍රියාවට නැංවෙන්නෙ. හොඳ බීජ උනත් නිසරු පසක ලැබෙන පළදාව අඩු වෙන්න පුලුහං.

එහෙම වෙන්න පුළුවන් කියලා හිතෙන උදාහරණ කීයක් නම් හැමදාම අපි news වලින් දකිනවද, අහනවද...

බැංකුවල, සුපිරි කඩවල parking එකේ වාහන නවත්තලා ගියොත් වගකියනු නොලැබේ. parking එක හරියෙන් සික්ක හිටියත් එමම තමයි.

කඩෙන් බඩුවක් අරන් අඩියක් එලියට ගිය ටිකට ඒක වැඩකරේ නැති උනත්... වගකියනු නොලැබේ.

OTP නොදී, තමන්ගේ ගිණුමේ මුදල් නැති වුනත් බැංකුව වගකියනු නොලැබේ.

මහජන මුදල් වියදම් වූවත් ගෙන්වූ අසූචි නැවට වගකියනු නොලැබේ.

Media බොරු news ගහනව. වගකීමක්, තැකීමක් නෑ.

වඳ කොත්තු, වඳ සැත්කම් ගැන ප්‍රචාරය කරපු අය හොයාගන්න නෑ.

පිපිරුණු ගෑස් වලට චූදිතයෙකුත් නෑ. වන්දිත් නෑ. ඒත් හිටපු රජයේ පිරිසේ හානි වූ ගෙවල් වල අයට පමණක් ප්‍රතිපාදන වහා හිමි වුනාවේ.

මේ සංසිද්දී එක්ක කම්පනා උන දේ තමා... ආවෙ දේසේ වෙනස් උනොත් වාසේ හොඳවෙයි කියල හිතෙනව කියන එක. ඩාම් ඩූම් තත්වයන් එක්ක දැන් උනත් මං වහන්දෑ මේ ආණ්ඩුව ගැන යං සුභවාදී අදහසකින් තමා ඉන්නෙ. මොකද රජය, නීතිය, රාජ්‍යය සේවය ක්‍රියාත්මක වන ආයතන වල් වැදිලා තියෙනකොට රටේ අර උඩින් කීව පහසුකම්වත්, සේවා තියා ගෙවාපු බිලේ හැටියට ලයිට් ටිකවත් නැහැ නෙ. ඒක නිසානෙ බැරිම තැන මිනිස්සු පාරට බැස්සෙ. ඒක ඉතිං අරගලයක් දක්වාම ගියා...

අරගලේ හිටි කොල්ලන්ට පොලු සංග්‍රහ, ගුටිබැට පූජා දීපු උන්දලාත් මේ පාර පළාත් සභාවට තරඟ කරනවා කියල දැක්කෙ ඒ අල්ලපනල්ලෙ.  අනේ සාදු!

ජේසු තුමාගේ කතාවක් තියෙනවනෙ "ඔබේ එක කම්මුලකට පහර දෙන අයට අනික් කම්මුල පාන්න" කියල. ඕකට පර සුද්දො විහිලුවට කතාවක් හැදුව. අනෙක් කම්මුලත් දුන්න මනුස්සය දත් දොස්තර ගාවට දෙසැරයක් යන්නව කියල හිටං 😁😁.

කවරේ කතාව අල්ලලා ඒක හොඳ විහිලුවක් උනත්... ඇතුලෙ කතාව එච්චර සරල එකක් නෙමේ කියල ඉතිං හැමෝම දන්නවනෙ.

ඔය අතරෙ සෝසල් මීඩියා එකේ නත්තල එක්ක අදහස් ගොන්නක් share වෙනව. තිව්න අදහස් 2,3ක් අමුනලා ගත්තහම...

"ආදරේට, ප්‍රේමයට හොඳ දවසක් තමයි නත්තල. හැමෝටම කරුණාව දක්වන්න. මොකද යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දීයි. ජීසස්ගේ 'අසල්වැසියාට ප්‍රේම කරන්න' සහ 'ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න' කියන පණිවිඩ දෙක ලොව සුපතල දේශනා පාඨ දෙකක්."



ඔය අස්සෙ බුකියෙ එක තැනක තිබ්බ... මෙදා සමරන්න ඕන දවසක් නෙවේය. ඒ වගේම ජේසු ඉපදුනේ 25 නෙවේය ඒ නිසාත් උත්සව, සැමරුම් එපා කියල හිටං.

මිනිස්සු පොඩ්ඩක් එකතු වෙලා කාල-බීල සතුටු උනාට නම් කමක් නෑ ඉතින්. මොකද වැඩිහරියක් මිනිස්සු කරන්නෙ ජීවත් වෙන්න ඕන නිසා රස්සාව එක්ක පැටලිලා ඉන්න එක, ඉගෙනීම එක්ක කාලය ගෙවන එක. ඒ අතරේ නිවාඩු පාඩුවක පොඩි පාටියක් දැම්මම මක් වෙනවද. ඉස්මුරුත්තාවට බීල, සිංදු අස්සෙ කුණුහරුපත් කියන් අවසානෙට ඇනකොටා නොගෙන... සාදයක් දැමීම, මිනිස්සු එකතුවෙලා සතුටු වෙන එක ඉතින් ස්වර්ග රාජ්‍යයෙන් දොට්ට දාන්න තරන් වරදක් නෙමේ නෙ 😁.

පාටි නොදැම්ම කියල උන් ඒ ඉතිරි උන වෙලාවෙන් ගැඹුරු මානසික පරිවර්තනයට, ජීවිතේ අරුත් හොයන්න වෙහෙසෙනව කියලයෑ. එහෙම වෙනවනම් විතරක් සැමරුම්, පාටි නැවත්තුවට කමක් නෑ. නැහ්නං වෙන්නෙ ජීවිතේ ලබපු සතුටකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඒ නිසා දෙපැත්තම බැලන්ස් වෙන ක්‍රමයක් හොයාගත්ත නං පංකාදුයි. නත්තලේ අරුත වටහා ගන්න අතරේ ප්‍රීති ප්‍රමොදේ වගේ එකක්!

ඒ වගේමයි කොහොමින් කවුරු, කොතැන, කවදා ඉපදුනාම මොකද සාමය වෙනුවෙන් පෙනී හිටිය නං, යුධ ගිණි වලට එරෙහි උනා නං.  (පස්සෙ ආගම කරපින්නගත්ත උන් යුද්ධ කරාට). ඉතිහාසය සෙවීම වෙනම දෙයක් වෙනකොට... යහපතක් අනුස්මරණයට හරියටම අදාළ දවස ඕනයෑ.

...නැද්ද මං අහන්නෙ 😊

 

හැපී කිස්මක්!




මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්, දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්, ඩීසල්, රසායනික පොහොර, සියලුම ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර, ගිලන් රථ ආනයනයේදී, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි, ස්වර්ණාභරණ, පාම් ඔයිල්, බිත්තර, තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද පනවනු ලබයි.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, තිරිඟු, සහල්, සහල් පිටි, පාන්, විදුලිය සහ විදුලි බෙදාහැරීම, බොරතෙල්, භූමි තෙල්, ශ්‍රවණාධාර උපකරණ, මූල්‍ය සේවා, අත් යන්ත්‍ර රෙදිපිළි ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් වැට් බද්දෙන් නිදහස්වන සේවා හා භාණ්ඩ අතර වේ.

* * * * * * *


ඕන්න ඔහොමයි 2024 පටාන් ගන්නෙ... හිටං.

සීයට තුන නගින්න කලින්... මං යන්න උනා පොඩි බඩු ටිකක් (ගෙදර නැති) ගන්න කඩේට. හරියටම දින වකවානු කීවොත් දෙසැම්බර් 07 (2023-12-07).

දැන් මං මේක ලියන්නෙ මට online backup එකක් විදිහට මට තියාගන්න 📂. (සහ අපිට වඩා පහළම ස්තරයේ වාසය කරන අය කොහොම එදාවේල පිරිමහ ගන්නව ඇති ද කියල idea එකක් ගන්න).

මොකද ඒක අපිට/මට තව අවුරුදු 5ක්, 10ක් ගියහම එදාට රටේ තියෙන ක්‍රය ශක්තිය, උද්ධමනය වගේ දේවල්, දැන් (2023) එක්ක සසඳගන්න. නැත්තං අනාගත පාර්ලිමේන්තුවේදීත් දැන් විදිහටම කියයි... ඉස්සර මේමයි, ආර්ථික වර්ධන වේගය මෙච්චරයි අච්චරයි ගගා බොරු අතාරී. අපිත් ඒවා මතක නැති කමටම පිළිගනී.

• ඒක නිසා bill දෙක තුනකුත් add කරල දානව. ඒ එක්කම පොඩි හෑල්ලක් දාන්නම් post එක පිරෙන්නත් එක්ක😉. (සහ බඩු දෙක තුනක ගණන් මිනුම් බලාගන්නත් එක්කම).

ගොඩක් වෙලාවට මට නෙමේ කාටත්, වෙල් තුනම ගෙදරින් කැවෙන්නෙ නැති තරම් නෙ. එහෙම වෙද්දීත් 1ක් හෝ 2දෙනෙකුට සතියකට 8,000ක් වත් අඩුම යනව කියලයි මට දැනුනෙ. (වැරදිනම් නිවැරදි කරන්න).

- හාල්, එළවලු, තුනපහ, පිටි-සීනි, බිස්කට්, බීම, ගෑස් ඇතුළු... සියලු කෑම බීම වියදම් වලට.

ඒ කියන්නෙ මාසෙට ඒ වගේ හතර ගුණයක් (තිස් දෙදහසක්) එක් කෙනෙක්ට. මත් වතුරක් කටේ ගාන්නෙ නැතුව 💀!

කඩෙන්ම කන, බෝඩිම් වෙලා ඉන්න, පොඩි ළමයි ඉන්න පවුලකට නම් අබම සරණයි!

මේ ඔක්කොම අස්සෙ සමහරු කියනව මේ මාසෙන් පස්සෙ රට බංකොලොත්භාවයෙන් නිදහස් වෙනව කියලත් 😵. ඔය විදිහේ සහ තව වෙන වෙන විදිහේ සුරංගනා කතා සම්මේලනයකුත් තියෙනව දෙසැම්බර් 15ව. එනවද යන්න... වැඩි දුරක නෙමේ අනේ, සුගතදාසෙ 😜



ඔන්න එක පරිසර සංවිධානයකින් ගොවි මහත්තයෙක්ගෙ සත්ත්ව ගොවිපළ බලන්ට ආව. ඇවිත් හොඳටෝම උපදෙස් දීල ගියා. සත්තුන්ට හොඳට කන්ට දෙන්න, විටමින් අරවා මේවා දීල හෙම නියමිත බර පවත්වන් යන්නය කියල. ගොයි මහත්තයත් කියාපු විදිහට කරගෙන ගියා. ටික දවසකින් තව සංවිධානයක් ඇවිත් කිව්ව... සත්තුන්ට food cityවල කෑම හොඳ නැතිය. මේ ගම්වල අහිම්සක සත්තුය. පරණ පුරුදු ගමේ කෑම හා තෙල් බේත් සාත්තුව දෙන්නය කියාල.

ආයෙම තව කාලයකින් වෙනත් සංවිධානයක් ඇවිදින් බයි මහත්තය ඉදිරියේ ප්‍රාදුර්භූත උනා... 'ඔබතුමා මොනාද මේ සත්තුන්ට කෑමට දෙන්නෙ ? '

බොහෝ දුරට කම්පනා කරපු බයි ගොයිය කිව්ව 'මහත්තයෝ මං සත්තුන්ව උදේට පෝලිං ගස්සනව'

'ගස්සල..? '

'එක එකාට සීය ගානේ දීල තමුන්ට හොඳ දෙයක් අරං කාපන් කියල කියනව'

 ****************


හුම්. සරි ඒ කතාව පැත්තක තියමුකෝ... මේ පෝස්ටුව නිල වසයෙන් මයේ 100 වෙනි බොලොග් පෝස්ටුව. Draft කරපු එක අතැරල තමා ඉතීම් මේ 100.

100ක් ලියාගෙන ආවාට මොකෝ කියවපු ඈයෝ... සැපිද, සැපි නැද්ද මන් දන්න එකක්යෑ 😉. ලියන්ට හිතන් හිටපු ටික නිදි, කොලොම්පූර් එක්ක පොඩි චැට් වලදී කතාවට ගත්තත්... ඒවා ලියවිලා නම් නැතිම තරම්. අඩුම වසයෙන් 30%ක අගයකටවත් ඇවිත් නෑ. හුම්! උන්න හැටියට මලා මදැයි.

හිතාන හිටි හැම දේම කරන්න ඇහැක් වෙන්නෙ කාටෙයි.

එහෙම කිව්වට ඔන්න චන්ද්‍රයාන් dream project එක නම් සාර්ථක උනා. ලෝකෙන්ම සඳට ගිය හතරවෙනි රට, අපට ලඟින්ම ඉන්න ඉන්දියාව. ඒ රෝවර් යානය ගිහින් තියෙන්නෙත් සඳේ අඳුරු කළාපෙට කියනව නෙ. මොන කුහක කමක් ඉන්දියාවට එක්ක තිබ්බත් සුබ පත්තන්න ඕන උන්දලාට... අපිට ණය අස්සේ බාල බෙහෙත් දෙන අතරේ උනත්. ටැංකිව් ඉන්දියා! ස්වස්ති සිද්ධම් 

පුළුවන් උනොත් මාත් චිචිගෙන් අහගෙන රොකට් එකක් හරි අරිනව... අල්ලපු ගෙදරට පේන්නත් එක්ක 😂😅


 

ඒකී කී දෙනෙක් එක්ක නම් ගියාද ආ. මහ වේ#siයක්. හතර අතේ යනව. සමහර දාට රෑටත් මග. එන්නෙ මහ පාන්දර. පිරිමි කීයක් නම් ඔය ගේ ලඟට ඇවිත් කෑ ගහල ඇද්ද ඈ. සමහර උන් එක්ක රණ්ඩු... මරාගන්නව. ළමයි; ළමයිම කීයක් හැදුවද. සමහර උන් මැරුණ. සමහර උන් ආගිය අතක් නැතුව ගියා. අන්තිමට ඒකිත් දැන් ඔන්න යන්න ගිහින්........

මිනිස්සු ඔහොම කයි කතන්දර කියන්න තිව්න අපේ ගෙදර හිටි පූස් හාමිනේ මිනිස් හාමිනේ කෙනෙක් උනානම්. කියන්නත් sad එයා මළා. ගෙදර අය වැඩි ආදරේට කිව්වෙ කිටි පුංචි. පුංචි කිව්වට ඇඟෙන් ඒ හැටි පුංචිමත් නෑ. වයසෙන් පුංචිත් නෑ. මගෙ පුංචි ජීවිතෙන් ගත්තොත්😃 භාගයකට කිට්ටු වෙන්ට වාගේ මේ පූස් ලලනාවව මං දැකල තියෙනව. ඇත්තටම පූසෝ අවුරුදු 12, 15 කට වඩා ජීවත් වෙනව කියල මං දැන ගත්තෙ අපේ එකාට පිංසිද්ධ වෙන්ට. විස දෙයක් කැවිලද මොක වෙලාද මන්ද, පෙරේද ඉතිං එයා ගියා. ඇත්තම කියන්න එපෑ ගියයි කියල එහෙමටම තියා කොහොමටමවත් ලොකු දෙයක් දැනුණේ නෑ මට. දැන් කස්ටිය හිතයිද දන්නෑ මං කිසි කරුණාවක් නෑය කියල. ඒත් ඇත්ත මං කිව්ව ඔන්. ඒ වගේම ඉන්න කාලෙ පුළුවන් හැටියට ඌට යහමින් සැලකුව.

කාලෙකට කලින්.........

අපේ ගෙදර හිටි පූසන්ගෙන් මට මතක මුල්ම එකත්... පූස් නාම්බියෙක්. අර army short වල වර්ණයේ ටිකක් saturation අඩු කළු වැඩි පැහැයක් තියෙන්නෙ, ආන් ඒ කලර් එක ඌට තිවනෙ. ඒකි සැරින් සැරේ ළමයි හැදුව. ඒ ළමයි අම්මට කලින් වාෂ්ප උනා. අන්තිමේ අම්මටත් මොක උනාද මන්ද... ආගිය අතක් නැතුව ගියා. මං එතකොට ඉක්කෝල යන පොඩි වයස. ගෙදරින් විපරම් කරත් මිනිය තියා හෝඩුවාවක්වත් හම්බුණේ නෑ මයෙ හිතේ. ඌගෙන් හම්බුණ ලාස්සනම පැටිය පිරිමි එකෙක්. කොටි typeමයි. මං කිව්වේ හමේ පාට ගැන😏. දැක්කොත් එකපාර අඳුරගන්නව බොරු... මූ පූසෙක් කියාල හිටං. ඌත් අම්මට කලින් අන්තරස්දාන උනා හෝඩුවාවක් නැතුවම. ලස්සන හන්ද කවුරුහරි ඉස්සුවද මන්දත්.

ඔහොම ඔහොම ගිහින් තමයි මේ දැන් කියන, ළඟදී නැති උන පූෂ් මොටා අපේ ගෙදරට ආවේ... කාලෙකට කලින්. ආවේ කිව්වට ඌම ආවද, ගෙදර කවුරුහරි ඇන්න ආවද කියල මට මතක නෑ. බොහෝ විට කවුරුහරි ගේන්න ඇති. මොකද ඌට, ලේන් එකෙන් අපේ ගේම තෝරගන්න විසේස හේතුවක් තියෙන්න විදිහක් නෑ නෙව. ගෙදරින් හරියටම විස්තර අහල මේකෙ ලියන්නය කියල හිතේ අදහසකුත් නෑ. ඒ හන්ද දන්න විදිහට ලියන්ටම්... ඇහැක් විදිහකට ඔයාල මේක කියවන්න.

ලියන්නම් කිව්වට ඉතිං ලියන්නයි කියල එහෙමට දෙයක් කම්පනා වෙන්නෙත් නැති තරම්. අර උඩහින්ම කියල තියෙන විදිහට අපේ එකාට වටෙන්ම පූසන්ගෙන් ඇල්ම බැල්ම. ඒක හන්දම වෙන්න ඇති කීප සැරයක්ම ඌත් බඩ උනේ. උගේ ළමයිත් විසිරුණා. අන්තර්දාන උනා. මැරුණා. ඒත් මව්තුමී... කාලයක් අල්ලල හිටිය. කාලයක් කිව්වට අවුරුදු 13කටත් වැඩී. මූ මැසිමක් වගේ පැටව් දාගෙන එන හින්දත්, ඒක ඌට කරදරයක් කියල අපේ අයට හිතුන හන්දත් වෙන්න ඇති... ගෙදර අය පූස් මමීව ගෙහින් ඔපරේසන් කෙරෙව්ව.

ඒක හොඳක් උනාද නොවුනද දන්නෙ නෑ... ඒත් පූසිට අනික් කරදර නම් එහෙමමයි. යන තැන සමහර පූස්ල වහලවල් උඩ හිට බලන් හිටිය. සමහරු ගේ ලඟට ඇවිල්ලත් කෑ ගහන්න ගත්ත. එහෙමත් කෑ ගැහිල්ලක් අම්මප. අවුරුදු 100කින් විතර රතිකෙලියේ යෙදිල නෑ වාගේ. සමහර වෙලාවට ඒ කෑගහන එවුන් ගැන දුකයිත් එක්කල. ඒ වගේම හිනත් යනව. මේ කෑගහන්නෙ වේදනාවට නෙව 😂😂. අපේ පූසි කාන්තාව, මිනිස් කාන්තාවන් වගේ පූස්ලට අගේ පෙන්නනව වත්ද. බුදියනව කියල ඉතිං හැම එකත් එක්කම වෙලාවක් කලාවක් නැතුව ඉන්න ඈ. නේද අනේ?

අහල පහල ගෙවල් මොනා හිතනව ඇතිද කියලත් හිතෙනව... ඇයි ඉතිං පූසෝ කෑගහනව කියන්නෙ මළගෙයක් අත ළඟ කියල මතයක් හෙමත් තියෙනවනෙ. කරුමෙට හෙට මොකෙක්හරි මැරුණොත්. අර මිනිහ මැරුණේ අපේ ගේ ළඟ පූසෝ කෑ ගහපු හන්ද. සමහර දවස්වල ඕව හිති හිති... හිනාවෙලාවම නින්දට යන වෙලාවලුත් නැතුව නෙමේ. බැ.රි.වෙ.ලා..වත් මං මැරුණොත්. නෑ නෑ තව කල් තියෙනව ඒවාට 😂😉

පූසි අපේ ගෙවල් ළඟම වෙන ගේක කාලයක් හිටිය. වැඩි හරියක් එහෙ, ටිකක් මෙහෙ. ඒකට අපේ බලු නාම්බෝ දෙන්නත් වග කියන්න ඕන ටිකක් හරි. ඒ ගෙදර ජෝඩුවට ළමයි නැති එකේ මූව ළමය කරන්. පස්සේ ජෝඩුවට ළමයෙක් හම්බුණා 😂. වැඩි සැලකිල්ල ළමයට යන එක බලන් ඉන්න බැරුවද කොහෙද ගෑණි අපේ ගෙදරට ආයෙම බින්න බැස්ස. හොඳම වැඩේ කියන්නෙ පහු කාලේ ඒ ගෙදර අක්ක පූසව හොයල, අපෙ අම්මට කෝල් කරල අහනව කෝ කියල. අහල අපේ දිහා හිටියොත් එක්කං යනව.

දන්න විදිහට පූස් සංහතියම කම්මැලි නෙ. වැඩි හරියක්ම නිදා ගන්නව. අපේ එකත් එහෙම්මම තමා. සමහර වෙලාවට කෑම එක තියල කතා කරාමත් එන්නැතුව කම්මැලිකමේ ඉන්නව. මොන කම්මැලිකම තිබ්බත් කකුලේ ඇතිල්ලෙන්න රුසිය. කතා කරල එන්නැත්තම් මං කරන්නෙ හිට... කකුලෙන් බිමට පොඩි තට්ටු දාන එක. ඒක දැක්කම ඌට ඉහිළුම් නැතුව එනව කකුල ගාවට. ඇතිල්ලෙන්නයි, කකුලේ පෙරලෙන්නයි. සමහර දවස්වලට ගේට්ටුව ගව ඉඳන් කෑ ගහනව... බලු තඩියෝ දෙන්න මුර හන්ද. ඉතිං අපි උස්සන් එන්න ඕන ගේට්ටුව ගාව ඉඳන් ගේ ඇතුළට. ඒත් මූ මේක හිතලම කරනවදත් මන්ද. මොකද බල්ලො දෙන්න කුලප්පු නොකර ගෙදරට එන හැටි ඌ දන්නව... දුවන්නැතුව හීන් සැරේ. පහු කාලෙනම් වයස හන්ද තාප්පෙ උඩින් පනින්න දෙතුන් සැරේ වාරු ගන්නව දැක්ක හින්දා තේරුණා වයස එක්ක පෙර සෙල්ලම් ඌට දැන් බැරිය කියලත්.


සමහර දාට ගේ අස්සෙ ඉඳල රෑ එළියට යන්න කෑ ගහගෙන එන්නෙ මයෙ කාමරේට. නින්ද කැඩුනත් ගහන්න කියලෑ. මොකද යකෝ කියල ඇහුවම.... ඤෑස් ගානව. ඉතිං දොර ඇරල දෙනව යන්න. ඒ කරලත් ලේසියෙන් යන්නෙ නෑ. දෙතුන් සැරේ මොනාහරි කියොල කකුලේ ඇතිල්ලිලා තමයි යන්නෙ.

මේ පාර ගියා... ගියා ගියාමයි. ආයේ ඒ ඤෑස් නෑ 😐

 ඈත නිවසකින් පිසගෙන ආ මුදු සුවඳක් නහයේ දැවටී රසකැවිලි රසයක මතකයක් අවදි කරවයි. මෑත මායිමේ ගහක බොහෝ කලකින් දැකගන්නට හැකිවුණු කුරුල්ලෙක් අවුදින් මියුරු තනුවක් වාදනය කරයි. ගස්, වැල්, මල්... නොයෙක් වර්ණයෙන් වඩ වඩා පැහැපත්ව ඇත. ඉර වෙනදාට නොදෙවෙනි දීප්තියක් ජනිත කරමින් අහස් කුසට වී බලා හිඳී. පොඩි දුවාදරුවන් මුවේ සතුට තවරාගෙන... දසත විසිරෙමින් ගමට අලුත් සිරියක් කැන්දාගෙන එයි. තරුණයන් රතිංඤ්ඤ......

 

රතිංඤ්ඤ..

රතිංඤ්ඤ තමයි... සෙද්ද. යකෝ වෙලාවක් කලාවක් නැති අපි වගේ උන් පාරේ යද්දි, රතිංඤ්ඤ සද්දෙට බයවෙච්ච බල්ලෝ පාර පුරා. කුලප්පුවෙච්ච උන් දැක්කම ඇඟේ මස් කලඳක් නැති අපිත් නිකම්ම බය වෙනව. ඒ අස්සෙ පිපිරුන්නැති බට්ටෙක්වත් පෑගුනොත්. ඔය හැම අටමගලකින්ම බේරිලා ගෙදර එනකොට... ගෙදර එකත් බයබිරාන්ත වෙලා. රතිංඤ්ඤ සද්දෙට බය වුන ඌ දොර හාරාගෙන ගේ අස්සට එන්න පුල් ට්‍රයි.

 

මොනා කරන්නද, මෛයින්ද මාත්තියගෙ සහෝදර රට්නය ජනපටි උනාමත් කිරිබත් කාල, රතිංඤ්ඤ පත්තු කරපු... දේස හිතයිසී ජාටිමාමක උන්දලත් එක්කනෙ අපි මේ වසන්නෙ. කෝමහරි කමක් නෑ පට්ටු කරන ඈයෝ හරි සතුටින් නම් එච්චරයි. සතුටින්, යහතින්, සාමෙන් ඉන්න නෙව මේ සෑම දේම කරන්නෙ හිට.


මොකද සාමේ තියෙනාව මෛයින්ද මාත්තිය යුද්ධෙ ඉවර හන්ද. මෛයින්ද නිසාම අල, ලූණුත් තියෙන හන්ද තවත් සතුටින්. ඉතීම් සාමය සතුට පිරි අවුරුද්දකට... කොහොමෙයි අපි අකුල් හෙළන්නෙ. (සිරන්ති කැවුමුත් හදල බම්)

 

හුම්... කියන්න ගියදේත් අමතක උනා.

අව්රුදු. අවුරුදු හැම තැනම. කොහෙ කියල අහන්න එපා. දැක්කෙ නැද්ද... ඇඳුම් කඩවල්, සුපර් මාර්කැට්, කේක් කඩ, බාර් වල පෝලිම. සෙනග සූ ගාල.

 

ඔය අවුරුදු සැමරුම් එනවය කියන්නෙ රජ කාලේ ඉදන්ය කියනවනෙ. නැකත් රාලලූ හරියටම මේ වෙලේ අහවල් කාරිය, මේ වෙලේ මෙන්න මේකය කියල දින-කාල තීන්දු කරන්නෙ. ඒ තීන්දු සටහන් පත්‍රවලට කියන්නෙ නැකැත් සීට්ටු කියල නෙ. ඒ කාලෙ ගම්වල අවුරුදු කිව්වහම... ආච්චිඅම්මගෙ, අම්මගෙ, බිරිඳගෙ, හොරගෑනිගෙ ඉඳල ලක ලැහැත්තිය... කැවුම්, මුන්කැවුම්, වැලිතලප ආදී නානාප්‍රකාර රසකැවිලි හදන්න. (කොකිස්, ආස්මි දේසීය ආහාරම බව දැනගත්තෙ TV එකේ නිවේදිකාවකගෙන්) මේව හදන්නෙත් අලුත් ලිප්වල, අලුත් හට්ටි මුට්ටිවල මයෙ හිතේ. දැන් කාලෙ නම් ready-made රසකැවිලි හැම කඩයකම. ඕනනම් online වලින් order කරතහැකි පිටසක්වලකට හරි. එතකොට කොල්ලෝ කුරුට්ටෝ පංච කෙලි, ඔන්චිල්ලා පැදිලි, අතුරු මිතුරු වාගේ ඒවා කරන අතරේ.. තරුණ කෙල්ලො කොල්ලෝ කොටු පනින්න හිට ඇති. තව තියෙන අවුරුදු ක්‍රීඩා ගත්තොත් අලියට ඇහැ තැබීම, බනිස් කෑම, කොට්ට පොර, කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, පොල් අතු විවීම, කනාමුට්ටි බිඳීම වගේ....

 

කනමුට්ටි කියද්දී මතක් උනේ. මං එකපාරක් ක්ලාස් යනකාලේ... ඒකෙන් අවුරුදු උත්සවයක් කළා. මහරගම පුවක්පිටිය පන්සලේ තිව්නෙ මේ ක්ලාස් එක. එතකොට මං 10 වසරෙ වාගෙ විතර ඇති. ඔක්කොම ක්ලාස් වල උන් උත්සවේ. ඔන්න දැන් මැද මුට්ටිය ඇර අනික් මුට්ටි දෙක බිඳලත් හුඟක් වෙලා. ඕනෑම එකට ළඟින්වත් පොලු පාර යන්නෙ නෑ. වැඩිමල් උනුත් හෙන ටයි එක... මැද, පස්ට් එකට ගහන්න. ටිකක් වෙලා ඉඳල ඉතීම් මාත් ගියා. ඇස් බඳින එකා පුල් ඩම් එකෙන් තද කළා. මං කියල ලිහිල්ව බැඳ ගත්ත. යකෝ යද්දී මෙන්න යටින් පේනවා කියහන්කො. මගුලයි. ආයේ ගිහින් කියන්න ඈ. මොනා කරන්නද... ගියා මැද තියෙන මුට්ටියට ගාවට, දෝත බදල දීල ඇරිය. ඕන් එදා තමයි දිනුවනම් තරඟෙකින් මේ නමිය දින්නෙ.

 

ඔය ආදී ක්‍රීඩාවනුත්, සූදු පොලවලුත්...... ලිප ගිනි මෙලවීම්, නිවීම්, කිරි ඉතිරවීම්, මල් කැඩීම්, හිස තෙල් ගෑම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභයව ආදී වැඩ කටයුතු අටෝරාසිය හමාර කරල, උස්සව නිමාකර වැඩට යන්නත් එපෑයැ....

 

එතැන් සිට ආයේ පරණ තැටියට අනුගත වෙන්නත් එපෑ. පරණ කෝන්තරයෙ ඉඳල ආයෙම පටන් අරන් හෙම... නේ. අලුත් අවුරුද්ද තියෙන්නෙ සතියයිනෙ හිටන්.

TV- තරු අවුරුදු උස්සව

 

සමහර සෝසල් මීඩියාවල උදවිය නම් මේ අවුරුදු උත්සව- චාරිත්‍ර බොරු විගඩම්ය, බිස්නස් මගුල් කියල හොඳටම බැනපු තැන් දැක්ක. හැබැයි මෙහෙම විවේචනය කරන සමහර අය රාකී බැඳන්, මෙහෙන්දි ගාන් ඉන්නවත් දැක්ක. කොන්ඩේ පාට කරන එක, නාහේ කරාබු දාන එකත් ඉතින් අර බිසිනොස්වලට අයිති නොවෙන්නෙ කොහොමදෑ කියල තමා හිතෙන්නෙ.


මං නම් ඔය චාරිත්තර පස්සේ යන්නෙ නැති උනත් කරන අයට නම් කරගන්න දෙනව.. කතාකලොත් සහභාගී වෙනව. ඒකෙන් ඒ අයට සතුටක් ලැබෙනවනම්, පරණ තරහමරහක් මකා ගන්නවනම්, සුහදතාව වැඩි වෙනවනම්... මගේ සාක්කුවෙන් සතයක්වත් යන්නෙත් නැත්තං, මට මොටෝ.

 

 ඔය හැම දේම කරන්නෙ අලුත් වෙන්න, වෙනස් වෙන්න කියල වෙනකොට... ඒ නිසි- අවැසි වෙනස වෙනුවෙන් අදිටන්ව මේ හැම දෙයක්ම වෙනවනම් තවත් හොඳයිනෙ හිට.

"නමියා ලඟදි ලියලා නෑ නේද.... " ලෝටස්තුමීට ටෑන්ක්ස්. ඒ කොමෙන්ට් එක කියෝලා ඊයේ බ්ලොග දිහා බලුහාම තමා මාත් දැක්කෙ මාසෙකට වැඩිය මුකුක්වත් ලියවිලා නෑ නේද කියල. ඒ නිසා ඔන්ට... බක් පෝදා (2023/04/05) පැවැත්වුන ගෙට්ටුව ගැනවත් හැකි පමණකින් අකුරු කරන්න හිතුව.


කහකුරුල්ලා මත පිරිස

තුන්වෙනිදා වෙනකම්වත් යන්ට වෙයිද නොවෙයි කියල තිබ්බ ඩාම් ඩූම් තත්ත්වය සමතයකට පත්කරගෙන යන්ට හරිබරි ගැහෙද්දී මතක්ක උනේ හක්බෙල්ලාව තියෙන්නෙත් සුළුපටු දුරකින්ද කියල හිටන්. මොනවිදිහකට ගියත් එන්න බස් කට්ටක්වත් නැති උනොත්... පෝය හන්ද. ඔහොම හිතමින් ඉන්නකොට කොලොම්පුරේ කතා කරලා කිව්ව 'මේ උඹත් වරෙන් අපිත් එක්ක යන්න' කියල. ඔන්න නමිය ඒ සාවියේ ඉඳ තට්ටයගෙ කොළම මංජුල ලොක්කගෙ, හක්බෙල්ලා අඩවියට ගොඩ උනා... අසංගයි උන්දගෙ නෝනායි, බට්ටො දෙන්නයි එක්කලා.


ගෙහුං... මංජුල ලොක්කගෙ සුහද පිළිගැනීමෙන් පහු ඝන පූර්ණය සම්පූර්ණ වේගන එද්දී, සුපුරුදු ලෙසම ලැවරියා සප්පායමත් ලැබුණේ උණු උණුවෙන්මයි. හොඳම හරිය පැමිණියේ පහුවයි. ඒ... බිහිසුණු, ගැස්සෙන පැද්දෙන කහකුරුල්ලා මත TeePee කෑම්ප් සයිට් එකට ගමන් ඇරඹීමයි. ලෑටි තට්ටම්හිමි අප වාගේ උදවියට ඒ ගමන දුෂ්කරය. කුරිරුය. එනමුත්... කටුපොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස කියා සිරිත්මල්දමේ සිංදු මතක්කර මං වහන්ස ගමනට එක්කාතු උනා... ඕන සෙද්දක් වෙද්දෙන් කියා.


ගිය පහුවයි දැනගත්තේ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මියවත්... මංජුල ලොක්කා මේ ගමනට සැට් කරන් තියෙන බව. අගෙයි, කදිමයි. පොත් අඩුවෙන් පරිහරණය කරන මං වහන්සේ එතුමියව දන්නේ පොතට හිතැති පේස්බුක් මිතුරියන් නිතර දෙවේලේ දමන රිප්ලයි, නොටිපිකෙසන්, මැසේජ් හරහායි. උන්දැල දැන ගත්තනම් ඇය හමුවුන වග... විසුමක් වෙන්ටෑ.


TeePee මංජුල ලොක්ක හා ප්‍රධාන ආරාධිත අමුත්තිය ශාන්ති මිය

 

     සහභාගී පිරිසේ නම් ලැයිස්තුව බැලුවොත් හිටන්...

 

ශාන්ති මහත්මිය හා ඇයගේ පුතා....

තට්ටයගේකොළමෙ මංජුල

නිදහස් සිතුවිලි රවී

ඩ්‍රැකීගෙ අඩවියේ ප්‍රභාත්, උන්දගෙ නෝනි හා පුට්ර රතනය

ඉයන්ගෙ අඩවියේ ඉයන්

තිලකසිතේතිලකසිරි

යාන්හෑල්ලේසුරංග හා ඔහුගේ බිරිය

කොලොම්පුරේඅසංග ඇතුළු පවුල

කැලේ පිපුණු මල්හි වත්සලා හා ඇගේ පුට්ර රතනේ හා සහෝදරී

වගේම කොමෙන්ට් අධිපතීන් වන ප්‍රාජේතුමා, ප්‍රසන්නතුමා

හා මං වහන්දෑ.

 

     පංචතන්තරේ නිදි ලොක්ක, කල්‍යාණ මිත්‍රේ කමි, ඉවාන් පවුලූෂ හිටියානම්....

     වගේම, කොහෙද මඟ අඩවියේ නවීන් සංදීපව අල්ලගන්න තිව්න අමාරුව

 

මහා සිරිබිරිසාගමනය හන්දා... සිරිබිරිස් - නිදි - ප්‍රා.ජේ සුහද හමුවක් යොදාගන්ට හිතපු හන්දා, කොලොම්පුරේ ගෙට්ටුවක් පවත්වන්නට ගෙනා යෝජනාව හන්දා, තට්ටයතුමා කෑම්ප් සයිට් එක හැමෝටම එක්රොක්වන තැනක් කළ හන්දා... සිදුවුණු යහපතක තරම.

 

     කොහොමින් උනත් මේ සුහද හමු අස්සේ මතක් වෙන තව කාරණා කීපයක් තියෙනවා....

 

අපි TeePeeයට ගොඩබහින්න කලියෙන් දින සිටම රවී ලොක්ක එහි සම්ප්‍රාප්ත වී සිටීම.

හමු තියන්න යොදාගන්න නියමිත හැම දිනයක්ම කොළොම්පුරයට පන්ති වැටී තිබීම.

මංජුල බොසාගෙ කහ කුරුල්ලා දර්ශනය වීම, ලැවරියා හා ස්නානය නියතයක් වීම.

 

ඒ අස්සේ මෙදා හමුවේ තට්ටයතුමා එක්කලා කෑම ගේන්න ගියහම ඒ ගෙදරත් බටයක් කැඩිල වතුර ගලන්න ගත්ත... මං හන්ද නෙමේ, බව් පොරයක් නිසා. කොහොම හරි වතුර බට එක්කලා මට තියෙන අවියෝජනීය ගස්ටනය ගැන සැක රවී ලොක්ක මේ පාර ටොයිලට් පැත්තේ යන්න හදනකොටත් සභා මජ්ජයේම ඇහුවෙ නැතෑ 'උඹ ආයේ මොනාහරි කඩයිද. කෝකටත් මාත් එන්නද' කියලා හිටන්.



 

විද්වත්, සුහද කතිකා අස්සේ සුපුරුදු දිය කෙලියත් හා මද පාන සංග්‍රහ වාගේම කාන්තා පරුවසයට තේපැන් සංග්‍රහයත් නියම උනා.

තව මොනාහරි කියන්න තියෙනවනම් තියෙන්නේ... හුම්, ශාන්ති මහත්මිය අතින් පිරිසට අත්සන හා සටහනක් සහිත පොත් පරිත්‍යාගය. ඒ අස්සේ මං වහන්දෑ හට ගුටි පරිත්‍යාගයක් ද සිදුවූ බව නොරහසකි.

 

ඒ අංගය අහවරව කතාබස්ද අඩුකොට... කාඩ් කුට්ටම් සෙල්ලමින් හමුව අහවර කරමුය කියා එය ආරම්භ කළා.  කළා තමයි... කාඩ් එකේ තියෙන දේ කරලා/කියලා පෙන්නන්න එපෑ හිටන්. මුලින්ම නොබියව ඉදිරිපත් වුනු පොඩ්ඩන් ජිරාෆ් අලියා අනුකරණය පෙන්නුවේය.

 

පහුව බ්ලොග්කරුවන්...

අයිසෙ නිව්ටන්ගේ ඔලුවට ඇපල් හෝ වෙන යමක් වැටුනොත් මොනවද වෙන්නේ, මාළු සද්ද නොකර පිහිනන්නේ කොහොමද, නයාට ටෝච් එකකින් පහර දීම, ඩ්‍රැකීගේ බොරු (නො)කීම, කොස්සෙන් ඇති ප්‍රයෝජන ආදී ඒවා සිදුවිණි.

මංතුමා කියවාපු පොත් දහයක නම් අභීතව ඉදිරිපත් කළ අතර නොහොඹිනා ඩ්‍රැකියා එය කඩාකප්පල් කිරීමට අමානුෂික වෙහෙසක් දැරූහ.

 

ඔය ඔක්කෝම අහවර වී අපි කහකුරුල්ලා මස්තකප්‍රාප්ත වී TeePee සයිට් එකෙන් එපිට බලා පිහාඹන්ට සැරසෙද්දී... වෙන තැන්වල පිටත්වන මොහොතේ සිදුවන ආකාරයේ මල් ඉසීමක්, වතුර ඉසීමක් නොව, බත් අහසට ඉස සෞභාග්‍යමත් ලංකාවක් ප්‍රාර්ථනා කිරීමට තට්ටය තුමා වගබලාගත් සේක.

 

පෝදා විකාසය ඉන් අහවරයි. සියල්ලෝ සතුටු සිතින් ගිය නමුත්... මා පාර වැරද්දුවාය කියමින් කොලොම්පුරයා පමණක් උරණ උනි.


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්