වෛද්‍ය දිනපොතින්...

පංචතන්ත්රේ කියවා හා නිදි හමුවීමේ ප්‍රතිඵලයක් ලෙසින්, බ්ලොග් අපි කීප දෙනෙකුත් දැනහැඳිනගත් නිමල් නිමල් දිසානායකයන්ගේ සමීප හිතමිත්‍ර... විශේෂඥ අයස්මන්ත පීරිස් දොස්තර මහතාගෙ මුහුනුපොතෙන් උපුටාගත් සටහනක් post කර සිටින වග නම්... 

 

(සතියකට පමණ පෙර දාපු මෙ FB පෝස්ටුව අපෙ සමහර අය දකින්නත් ඇති. ඒ හන්ද ඉතිං ඒ සටහන මෙහෙම පෝස්ටුගත කරන්න අවසර ගත්තෙත් නෑ හිටං... 😁). 

 

පනින්න පෙර සිතා බලනු/ සමාජ මාධ්‍යයේ අන්තරාධායක බව/ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි/ ඇවිලෙන ගින්නට පිදුරු ලෑම වගෙ පිරුළු මතක් වෙන සටහනක්... හුදී ජන පහන් සංවේගය තකා!

✍️​  ✍️​  ✍️​  ✍️​  ✍️​  ✍️​  ✍️​  ✍️​



 ඉපදෙද්දී මම නොමේරූ බිලිඳෙක්ලු. නිතර අසනීප වෙන මම ගොඩක් කරදර දුන් කෙනෙක් මවුපියන්ට!

එක් අවස්ථාවක, අසාධ්‍යම අඩවියක මිය යමින් සිටි මි හට ලැබෙන මන්දගාමී ප්‍රතිකාර වලින් නොපහන්ව, බලෙන් වාට්ටුවෙන් රැගෙන මහ පාර දිගේ දිව්වාලු මගෙ අම්මා පිස්සියෙක් වගේ; එවකට රිජ්වේ ආර්යා ලමා රෝහලේ ලමා රෝග විශේශඥ වෛද්‍ය තුමාගෙ නිවසට. ඒ යද්දි එතුමා සිය පවුල සමග කිසියම් ගමනක් යන්නට වාහනයට නැග්ගා විතරයිලු. අම්මා එතකොට කිසාගෝතමී වෙන්න ඔන්න මෙන්න. අම්මා හෙමින් ලොව අතහැර යන මාව එතුමාගේ කාරයේ බොනට්ටුව මත තැබුවාලු, කිසාගෝතමිය මල දරුවා බුදුන් වහන්සේ අභියස තැබූ පරිද්දෙන්... එතුමා ඒ ගමන නවතා අප දෙදෙනා කාරයේ දමාගෙන රෝහලට ආවාලු. අධික විජලනය අවස්ථා වල කරන cut down සැත්කමේ කැලල මේ ලියද්දි මගේ වම් මැනික්කටුව සරසමින් ඇති හැටි පෙනෙනවා මට... ඉතින් අදටත් මම ජීවත් වෙනවා.

මේ කතාව මගෙ අම්මා නිතර සිහි කරනවා පොඩි කාලෙදි. ඈ අන්තිමට කියන්නේ ‘ඔයත් කවදහරි ඒ වගෙ ලොකු දොස්තර මහත්තයෙක් වෙන්න; කවදාවත් ලෙඩ්ඩු හරවල යවන්න එපා පුතේ!’

සහානුභූතිය තදින් කාවැද්දූ ඔබ නිසා, මා වෛද්‍ය වෘත්තීය ඇරඹි දා සිට එහෙම ලෙඩෙක් මග ඇරුනානම් කලාතුරකින්ම තමා අම්මේ. දැනුවත්ව, හැකියාව තියෙද්දි ලෙඩෙක්ගෙ ප්‍රතිකාර කවමදාවත් මග ඇරලා නෑ මම. 1998 ඉඳලා මේ වනතුරු මේ ලංකාවෙ හැම පලාතකම ලෙඩ්ඩු බලපු ප්‍රමානය ලක්ශ 17 ඉක්මවල ඇති! කර ඇති සැත්කම් පමන 70,000 විතර ඇති. ඒත් අද ඔයාට ඒවා කියල වැඩක් නෑ. මම පාඩම් කරද්දී නිදි කිර කිරා හිටි ඔයා, දැනුත් මේ ලියද්දි මා ලඟම දැවටෙමින් උන්නත් ඩිමෙන්ශියාවෙන් අමතක වෙන නිසා.

මගෙ වීරයා උනේ මගෙ තාත්තා. ඉතාම දුශ්කර අමාරු ලමා හා තරුන කාලයක් ගක කරන ගමන් විශ්ව විද්‍යාල උපාධියක් ජය ගෙන, නවසිය හැට ගනන් වල ලංකාවෙ පුරෝගාමී පරිගනක වෘත්තීකයෙක් උන ඔබ රස්සා දෙක තුනක් කරමින් මා හා සහෝදරියෝ මතු නොව, නෑදෑ ලමයින්ටත් සිප්කිරි පෙවූ සැබෑ වීරයෙක්. මා පාඩම් කලේ එතුමාගෙ රාමු කල උපාධි සහතිකය පාඩම් මේසයේ හොඳින් ඇහැ ගැටෙන්න තියාගෙන.

මට නම් ඔහු සරච්චන්ද්‍රයන් ගේ සිංහබාහු නාඩගමේ සිංහයා:

- ඇවිදිමි නොලසා, සොයන ලෙසා, වනයේ අහාරා....

- තැන් තැන් වලම ලැගි සන්නන් මුවන් රැල ගන්මින් බුදින්නට රස අහරා

- වන්නෙත් අඳුන් බඳු දූ පුත් රුවන් දැක මන් සන්තොසින් වලඳමි සමඟින්...

මා ඉගන ගත් කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදර්ශ පාඨය අංගුත්තර නිකායේ තික නිපාතයේ කම්ම ලක්ඛන සූත්‍රයේ එන අපදාන සොභිනී පඤ්ඤාති- ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනීය.... බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ තෙරුන් වහන්සේ යෙදූ මේ වැකිය ඉතා තදින් හිතට ගත් මා සිප් සයුර මැඩ ඉන් අති විශිශ්ටව උසස්පෙල සමත් වී කොලඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලු උනා අම්මාගේ ප්‍රාර්ථනාව ඉටු කරන්න.

නොයෙක් ගුරු දෙවිවරු අතර ඉතා සැර පරුශ මෙන් පෙනුන, දැඩි විනයගරුක ශල්‍ය වෛද්‍ය ෆිලිප් වීරසිංහම්, මහාචාර්ය ශෙරිෆ්ඩීන් අනාගතයට කමටහන් දුන්නා කියන්න පුලුවන්. විශේශඥ පුහුනුවේ කොලඹ ජාතික ඇස් රෝහලේ ඉගැන්නූ විනය සහ සුරුකම් අතින් ඊටත් එහා දැඩි විනයධාරීන් වූ විශේශඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා, අසෝක මකුලොලුව ගුරු දෙවිවරු මාව කෝවකට දාලා මකලා හැදුවා වගේ! අවංකව වැඩ කිරීම, කිසි විටක මුදල් අවභාවිත නොකිරීම, රාජ්‍ය සේවය දේව කාරිය මෙන් සැලකීම මම දුටුවා එතුමන්ලාගෙන්.

1998 පටන්ගත් වෛද්‍ය පාද යාත්‍රාව ඉතාම විසිතුරු ගමනක් උනා අම්මේ, තාත්තේ, මගේ ගුරු දේව දේවතාවියනේ.. මගේ දෙමවුපියෝ මගේ බිරිඳ සහ මගේ ලමයි තමන් වැදූ දරුවන් මෙන් ඇඟපත සෝදා කවා පොවා ඉස්කෝලෙ- පන්ති හොඳින් උගන්වා වැදගත් වැඩිහිටියන් කරද්දී මම යාපනය, වවුනියාව, පොලොන්නරුව, කන්තලේ, සේරුවිල සිට නාවලපිටිය, රත්නපුර හරහා දකුනේ හම්බන්තොට දක්වා හැම පසල් දනව්වක ඇවිදිමින් මගෙ රාජකාරිය දේවකාරිය කරගෙන වැඩ කලා අවුරුදු 28ක්! වැව් බැඳි රාජ්ජේ කාශ්ඨක පොලව එක්ක හැප්පෙන අය, මේ දොලොස් දහස් රට දකුනේ මිනිස්සු මට අම්මා තාත්තා උනා; කාර්ය මන්ඩල පවුලේම අය වෙලා. මේ වැඩ කල හැම තැනකින්ම නික්ම යන්න උනේ සෝ කඳුලු ගංගා මැදින්

මම මේ කියන්නෙ මගෙ කතාවම නෙමේ. මේ තමා ලංකාවෙ පර්යන්ත වෛද්‍යවරුන්ගෙ වෛද්‍යවරියන්ගෙ කතාව. අහිකුන්ඨික ජීවිතවල දුක සතුටින් වලඳමින්, ඉන්න තැන් වල වාට්ටු, ක්ලිනික්, ශල්‍යාගාර අපට හම්බ උන තත්ත්වයට වඩා පොඩ්ඩක් හරි දියුනු කරමින්, ලෙඩ්ඩුන්ට මොන මට්ටමෙන් හරි සත්කාර කරමින්, සෝමාලි වැටුපකට එක්සත් රාජධානි මට්ටමේ රෝගී සත්කාර දෙන්නට කැස කවන්නන් අතරෙ මට ඉහලින් ඉන්න අය සංඛ්‍යාව හිතාගන්න බැරි තරම්. ඒ වගේම තමා මේ දිවයිනේ වැඩ කරන හෙද- හෙදි නිලධාරීන්, පවුල් සෞඛ්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ශක, රසායනාගාර, සාත්තු සේවක, සුලු සේවක සුව විරුවන් වැඩි හරියක් රෝගී සත්කාර මත්තේම නැහෙන අය. සිය පවුල් වගකීම් කැප කරමින් සිය රාජකාරිය දේව කාරිය කරගත්ත අය. තමන්ගෙ බත් එක ලෙඩ්ඩුන්ට දෙන අය. මේ ගැන ඇමරිකන් කවියෙකු වන රොබර්ට් ෆ්‍රොස්ට්ගෙ මනරම් කවියක පින්තූරයක් දාන්නම් මම රස විඳින්න.

ඒත් මේ ගොඩක් අය ‘වැරදි’ කරනවා! ක්‍රියාන්විත පලාත් වල වැඩ කරද්දි කෘශ උන අසනීප ලමයි වාට්ටු වල බොරුවට නවත්තලා අපි එයාලාට high protein diet දුන්නා. ඒ වගේ ‘වැරදි’; මම ඒ කාලෙ ඒවට කියන්නෙ සම්‍යක් වැරදි කියලා! තව ඒවගෙ වැරදි තියනවා කිව්වොත් සෞඛ්‍ය සේවයපකඩා වැටෙන!

මම කරපු ‘වැරදි’ බොහොමයි. මම කන්තලේ කැඩිච්ච ECG machine හදලා හැම පපුවෙ අමාරුවකටම ත්‍රිකුනාමලයට ලෙඩ්ඩු transfer කරන එක නැවැත්තුවා. ඒවා නැවැත්තුවාම අසතුටට පත් වෙන අය හිටියා කීප දෙනෙක්!

නාවලපිටිය, හම්බන්තොට ඇස් ඒකක දෙකම මම යද්දි පුංචි නිදන කාමර වගේ. අද ඒවා රූස්ස ගොඩනැගිලි! ඒවාට කල ‘වැරදි’ කවදහරි මට පල දේවි. විශේශයෙන් නාවලපිටිය හදද්දි ඒකට මුල් උන නාවලපිටියෙ සිංහ සමාජය එක්ක අත්වැල් බැඳගෙන මට වසර ගනනාවක් LCIF සහ WHO සංවිධාන සමග ලියුම් ගනුදෙනු කරන්න උනා. එතකොට මම හම්බන්තොට; LCIF පරීක්ශකයො නාවලපිටිය බලන්න එද්දි මම හම්බන්තොටින් නාවලපිටියට ඇවිත් ඉන්න අක්ශි ශල්‍ය වෛද්‍යතුමා ‘වහන් කර’ තනියම සුද සැත්කම් 100 කරනවා. එහෙම කරලා ඔවුන් නොමග ඇර විදෙස් ආධාර ‘සොරකම්’ කර අපි නාවලපිටිය, මහනුවර අක්ශි රෝහල කිට්ටුවටම දියුනු කලා. හම්බන්තොට staff එකත් උදව් කලා නාවලපිටිය staff එකට ඒ හොර වැඩ වලට. ඒ ලිපි ලියද්දි මම කල සංඛ්‍යාන කපටිකම් වංචා එමටයි. මට යන්න අපායක් නෑ ගුරු දෙගුරුනි!

රත්නපුරත් එහෙමයි. මම, ලලන්ත, සංජීව කරපු සම්‍යක් හරඹ නිසා අද ඒක මහා වෘක්ශයක්, සිය දහස් ගනනකට පෙනුම දානය කරන.

අද හම්බන්තොට අක්ශි ඒකකය ලංකාවේ හොඳම නැගීගෙන එන අක්ශි ඒකකය. ලංකා අක්ශි විශේශඥ විද්‍යාලයේ සබාපති විශේශඥ අක්ශි ශල්‍ය වෛද්‍ය K. R. දයාවංශ මැතිතුමා මගේ ඒකකයට ඇවිත් කිව්වේ ‘මෙහෙම eye unit එකක් ලංකාවෙම නෑ බං. උඹනම් මාර යකෙක් මල්ලි!’ කියල. තව සති කීපයකින් රෝහල් අධ්‍යක්ශිකා විශේශඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන සහ නියෝජ්‍ය අධ්‍යක්ශක තිලිනගේ අප්‍රතිහත කැපවීම නිසා අති නවීන ලේසර් යන්ත්‍රයක් හම්බන්තොටට ලැබෙනවා. ඊලඟ අවුරුද්දෙ අපි තුන් දෙනාගෙ සැලැස්ම OCT Scanner යන්ත්‍රයක් ගැනීම; 2028 දි eye angiogram කලහැකි අංගසම්පූර්න viewing suite එකක්. ඒ වෙද්දි අපි ජාතික ඇස් රෝහල වගේ. දකුනු පලාතෙ සහ යාබද පලාත් වාසීන් තවත් කොලඹ යවන්න ඕන නෑ. හැබැයි ඒවා ලැබෙන්න නම් මම මේ ක්ලිනික් ලෙඩ්ඩු හා කරන සැත්කම් ප්‍රමානයන් මෙහෙමම තියාගන්න ඕන. නැත්නම් ඒවා අවශ්‍ය ඇයි කියල justify කරන්න බැහැ.

ඒත්.... ඒ හීනය තවදුරටත් මම දකින්නෙ නෑ. මගෙ ‘වැරදි’ එලි වෙලා! මේ පෝස්ටු වල ඒවා විස්තර කරනවා! මට සංඛ්‍යා කපා දමන්න වෙලා. ඒ නිසා ඒ උපකරන වෙන පලාතක, වැරදි නොකරන අක්ශි වෛද්‍ය ඒකකයකට යැවේවි!


නුවර එලිය සහ කොලඹ අක්ශි රෝහල් වල ඉතා සාර්ථකව සුද සැත්කම් කල රෝගීන් ප්‍රමිතියක් නැති බෙහෙත් නිසා සදහටම අන්ධ වෙද්දිත්, අපේ සැත්කම් වල ආසාදන නිසා අන්ධ වූවන් ගනන zero! එකම එක්කෙනෙක්වත් නෑ!! ඒ මේ ඉකා සැරපරුශ යක්ශ මම, මට විශ්වාස බෙහෙත් විතරක් සැත්කම් අවසානයේ පාවිච්චි කරන්න නියම කරන නිසා. දැන් දවස ගානෙ වෙනස් වෙන brand එකක් නිසා, safety සහ efficacy ඉතිහාස සැක සහිත බෙහෙත් නිසා සදහටම අන්ධ උනොත්...... ඒත් අර ‘වැරැද්ද’ කරන්න එපාලු. ජාතික රෝහලේ වගේ සිය ගනන් අන්ධ උනොත් ඒ වැරැද්ද හරි ගස්සන්න බෑ. මම මොකද්ද ඉදිරියට කල යුත්තේ?

වැඩ තියෙද්දි වැඩම කරන, ගෙදර යන්න වෙලාවක් නැත්නම් theatre එකෙම මෙට්ටයක් එලාගෙන නිදාගන්න මගෙ කාර්ය මන්ඩලයෙ කාරුනික සත්කාර නිසා රත්නපුර, බලංගොඩ, වැල්ලවාය, බුත්තල, කොලොන්න, සූරියකන්ද, මාතර, අම්පාර වැනි පලාත් වලින් පවා ඇදී එන අම්මලා තාත්තලා මට සමාවෙන්න. මාසෙට 600 සැත්කම් කල මට මින් මතුවට කරන්න වෙන්නෙ මාසෙට 100 විතරක් වෙන්න පුලුවන්. නැති බෙහෙත්, ශල්‍ය අයිතමයන් local purchase කල වේගෙට ලැබෙන්නෙ නෑ. ඉස්පිරිතාලෙ LP quota එක ඇස් වලට විතරක් නෙමේ ලමා- පිලිකා- වකුගඩු- ආදී නොයෙක් අංශ වලට ප්‍රමුඛතා පරිපාටියකට අනුව බෙදෙන්න ඕන. කාච නැති එක, බෙහෙත් නැති එක තව දුරටත් මගෙ ප්‍රශ්නයක් කරගන්න එපාලු; ‘කොහොම හරි’ ඒවා ලබාගෙන වැඩ කරන්න ගිහින් රස්සාව නැති වෙයිලු.

මෙච්චර කාලෙකට කිසි කෙනෙක් කාචෙ නෑ කියල මම නොකර ඉඳල නෑ. අපිට කාච ඒමේ ප්‍රමාදයක් තිබුනොත් එංගලන්තය, හොංකොං, මැලේසියානු රටවල මිතුරන් හරහා ලබාගෙන, donation ලබා දීමේ රජය නියම කල පරිපාටියට අනුව ඒවා ටිකක් කල් ගිහින් හරි කලා. ඒ විස්තර රෝහල් රෙජිස්ටර වල තියනවා විගනනයකට විවෘතව. කැමති අයට, විශේශයෙන් තරුන අයට, සිය අභිමතය පරිදි දශක ගනනාවක් ලෝකයේ මිලියන් ගනනක් භාවිත කර ඇති ඉහල ප්‍රමිතියේ කාච ගෙනවිත් කරගන්න ඉඩ දුන්නා. සමහර කාච කිසි හේතුවක් නැතිව අවුරුදු ගනනාවකට පසු සුදු වෙලා යනවා. ඊටපස්සෙ ඒක අයින් කර අලුත් කාචයක් දැමීම ඉතා සංකීර්න වැඩක්; අසාර්ථක වෙන සම්භාවිතාව වැඩී. එහෙම කාචයක් දාගන්න කවුද කැමති? අලුතෙන් එන කාච වල safety & efficacy records සැක සහිත නම් අවුරුදු 25 අක්ශි වෛද්‍යවරයෙක් වෙන මට ලෙඩ්ඩු වෙනුවෙන් තීරනයක් ගන්න බැරිද එතකොට?

රෝහලේ සියලු සැත්කම් කරන්නෙ මගෙ පුද්ගලික ඉස්තරම්ම උපකරන වලින්; ඒවායෙ වටිනාකම ලක්ශ 120 ක් විතර. ලෙඩ්ඩුන්ට කැමැත්තෙන් සිය සැත්කම් සඳහා වියදම් කරන්න තහනම් නම් මගෙ උපකරන පාවිච්චි කරන්නත් මම බැඳිල නෑනෙ? කවදා හෝ උපකරන ලැබෙනකම් හැමදාම ශල්‍යාගාරයට ගිහින් කරන්න වැඩ නැති නිසා සමාජ මාධ්‍ය වල කාට හරි හූනියම් කරකර ඉන්නම්?

හම්බන්තොට වැඩ කරන ගමන්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අඳුනාගත් පලාත් වල සුද සැත්කම් පොරොත්තු ලේඛන අඩු කරන්න රත්නපුර සහ හම්බන්තොට අපි ගියා යාපනේ, කරාපිටිය, ගම්පොල, මාතර... ඉදිරියට අපි යන්න ඉන්නවා කරාපිටිය, නුවර එලිය රෝහල් වලට. ඒ ඔක්කොම කරන්නේ ගෙදර ආදරනීයයන් එක්ක ඉන්න ඉතුරු වෙලා තියන වටිනා සති අන්ත කැප කරමින්. ඒවට තව දුරටත් උර නොදී ඉන්නම් නේද?

මින් මත්තට විශාල සංඛ්‍යාවක් සැත්කම් කරන්න වෙන්නෙ නෑ සතිය ගානේ. එතකොට නොකලහම සදහටම අන්ධ වෙන අය නිසා මට පවු සිද්ධ වෙනවද? හොඳටම මොරපු සුද, ඉතා හොඳ බෙහෙත් නිසා ඔපරේශන් කල හැටියේ මැජික් වගේ ඉස්තරම් පෙනුමක් ඉස්සරහට ගන්න බැරි වෙයි ‘වැරදි’ නොකරන නිසා- හැබැයි එතකොට මුදල් රෙගුලාසි හා අනෙකුත් අන පනත් වලට අනුගත අන්ධ වීමක් නිසා ලෙඩ්ඩු හිත හදා ගනීවිද- මේ අන්ධභාවය නීත්‍යානුකූලයි කියල?

අඩු වයසේ රෝගීන්ට ඉස්තරම්, clinical efficacy සහ safety records තියන Viscoat, Discovisc වැනි ඇමරිකානු බෙහෙත් පාවිච්චි නොකර නොදන්න brand යොදලා, තව අවුරුදු විස්සකින් විතර කලු ඉංගිරියාවට කෙලවුනාම එතකොට ඉන්න යූටියබර්ලා මට මොනව කරයිද?

ඇත්තටම මම මොකද්ද කල යුත්තේ? ඒවා ලැබෙනකම් රෝගීන් බලා සිටිය යුතුද?

මම සමාජ මාධ්‍ය වල සැරිසරන්නෙ බොහොම කලාතුරකින්. දවසකට පැය 16-18 වැඩ කරන මට ඕවට වෙලාවකුත් නෑ වගේම සමාජ සාධාරනය නාමයෙන් වෛරය වැපිරීම සහ හොඳින් කාර්යක්ශමව වැඩ කරන ආයතන විනාශ කිරීමෙන් බඩ වියත රැකගන්නවුන්ට ඔවුන්ගේ පෝස්ටු දැකීමෙනුත් ප්‍රතිලාභ ගෙන දෙන බැවිනුත් කොහෙමෙත් ඒවා බලන්නෙ නෑ. මේ පෝස්ටු සතේකට ගනන් නොගන්න මම මේ ටික හරි ලිව්වේ කාරනා දෙකක් නිසා.

1. මගෙ ආදරනීය හම්බන්තොට වෛද්‍යවරු සහ කාර්ය මන්ඩලය වෙනුවෙන්. මේ වීඩියෝවෙ පෙන්වන හෙද නිලධාරිනීය ඉතාම වගකීමෙන් වැඩ කරන අවංක දක්ශ කෙනෙක්. එතුමිය මෙසේ අපවාදයට ලක්වීම කිසිසේත් නොවිය යුත්තක්. මම එතුමිය වෙනුවෙන් කොන්දේසි විරහිතව හිටගන්නවා මගෙ රස්සාවට මොනව උනත්. ඇය දෙන්නෙ මම දෙන්නැයි නියම කරන උපදෙස්. එතුමියට ගරහන්න එපා මටම ගරහන්න.

2. අපි වගේ තමා ලංකාව පුරා වරෙක සුව විරුවන් වෙන වරෙක හතුරන් වෙන සියලුම සෞඛ්‍ය නිලයන් දරන අය. ටික දෙනෙක් වෙනස් උනාට 95% වඩා ඉන්නෙ මහත් කැප වීමෙන් මේ සේවය පවත්තගන්න, මටත් වඩා කැප වෙච්ච අය; ඔයාලා පරිස්සම් වෙන්න. ‘වැරදි’ කරන්න ගිහින් ලැබෙන නිර්වචනයක් නිසා වෙන හානිය, සිත් තැවුල වටහාගන්න. කාටහරි ගිනිගෙඩියක් පහත් උනහම ඒවා අභිරුචියෙන් විඳින, share කරන, කවදාවත් තමන්ට වැරැද්දක් නොකල, දැකලවත් නැතිකෙනෙක්ට පරුශ වචනයෙන් බනින වෛරය ද්වේශය පතුරුවන එක අවිද්‍යාව නිසා කරන බව දැක සමාව දෙන්න; හැබැයි පරිස්සම් වෙන්න. හැම ගැරහීමක්ම පිටුපස ඔබ අතරෙම ඔබට විරුද්ධ ඊරිසියාවෙන් අන්ධ වෙච්ච යුදාස්ලා පේතෘස්ලා ඉන්න බව තේරුම් ගන්න. අවුරුද්දක පඩිය සතියට ලැබෙන විදෙස් රස්සා වලට අඬ ගහද්දී පවතින කුමන රජයකට උනත් පක්ශපාතීව, මේ සේවය ‘නොවැටී අල්ලාගෙන’ යන ඔබ සියලු දෙනාටම මගෙ ගෞරවනීය ආචාරය

මා වෙනුවෙන් පෙනී සිටින, මා සහ මගේ කාර්යමන්ඩලය වෙනුවෙන් නිර්භීතව කතා කරන රත්නපුර අක්ශි කාර්ය මන්ඩලයට, සියලු අම්මලා තාත්තලාට, කිසිදා දැක අසා නැති මහත්ම මහත්මීන්ට, අමාත්‍යාංශයට මේ හම්බන්තොට අක්ශි ඒකකය සොහොනට යවන ප්‍රයත්නයේ ලඟදීම වෙන බියකරු විනාසය වලක්වන්න හදන ඔබ සියල්ලන්ටම පින්

ලංකාවෙ හැම අස්සකම දශක තුනක් අවංකව කාර්යක්ශමව වැඩ කල, දවසට පැය 10-12 වැඩ කල පහුගිය අවුරුදු 15ට මූලික වැටුප මිස අතිකාල වශයෙන් එක සතයක් වැටුපට නොගත් සෞඛ්‍ය සේවකයෙක්ගෙ චරිතය, කවදාවත් එහෙම සමාජයට කැප කිරීමක් නොකල, කැමරාවක් ඉස්සරහ කතා කරන එකත්, හොර රහසේ වීඩියෝ කිරීමත් එකම හැකියා උන කෙනෙක්ට විනාස කරන්න පුලුවන් නම්.... එක අතකට තව දුරටත් මේ  රටට වැඩ කරන එකෙ තේරුමකුත් නෑ හැබැයි!


52 comments:

  1. හ්ම්....කියන්න දේ බොහොමයි. ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. මේක හැදෙන රටක් නෙමෙයි, අරටුවටම කුණු වෙච්ච රටක්
      ඉන්න අවංක මිනිස්සු ගැන දුකයි. සොරි.

      Delete
    2. කමෙන්ට් අකුරු කුඩා වැඩියි. හදපං.

      Delete
    3. නිවුස් ප්ලාන්ට් කරන, දකින පැතිකඩට විතරක් ආවේගයෙන් ක්‍රියාකරන, එතෝට ගොබෙල්ස් න්‍යාය කරපින්නාගෙන යන ක්‍රමය වෙනදටත් වඩා ගොඩක් වැඩි. ගින්න පැතිරෙන්න සමාජ මාධ්‍යයේ වේගවත් බවත් මහෝපකාරී.
      තොරතුරුවල නිරවද්‍යතාව, එතික්ස් වගෙ දේ ඕනෙද අනෙ අපෙ ආවේග පිටකරන්න! මළවිකාර

      හැදෙන රටක් නෙමෙයි/ - අපි අපි පුලුහං තරම් හරියාකාරව ඉන්න හිටින්න බලන එක තමා මූලික දේ කියලයි මට හිතෙන්නෙ. ඒක බලපානවා ඒ අවට ඉන්න අයට. අඩුවැඩි වසයෙන් මේක තමා රටේ සුබසිද්ධියට දායක විය හැකි හොඳම කරමය.

      පරණ ටෙම්පලේට්ටුවම දෑව 😁

      Delete
    4. ආන්න ජන්සං! නියමයි දැන් 100% වලින් පොස්ටුව, කමෙන්ට් දෙකට ගාණට පේනවා🙏👌

      Delete
    5. හෙහ්..හෙ. ඔබෙ සැප මයෙ සතුටයි. ස්වස්ථි සිද්ධම්! යහපතක්මැ වේවා 😁​🙌​🤓🤞

      Delete
    6. නමි: කමෙන්ට් ෆොන්ට් විතරක් වැඩි කරන්න නම්, පොඩි වැඩක් කරන්න පුලුවන්.
      //how to change blogger blog comment font size// ගූගල් සර්ච් කරන්න, තීම්, ඇඩ්වාන්ස් සෙටප් එකෙන් කරන හැටි ස්ටෙප් බයි ස්ටෙප් කියලා දේවි.

      Delete
    7. ටැංක්ස් ඔත්තුවට. ඒක ගැනත් හොයලා බලන්නම්!

      බසූ කොමෙන්ට්වල අකුරැ පොඩී කීව නිසා පරන තීම් එකම දැම්ම. මේක ෆෝන් එකෙන් බලද්දී පෝස්ට්, කොමෙන් අකුරැ ලොකු වැඩිත් වාගෙ. අනෙ මන්ද 😣

      Delete
    8. ඊයක් විදින්න, මම විස්තරේ, ක්‍රමය හා කෝඩ්ස් යවන්නම් galmal.coral@gmail.com

      Delete
    9. අඩේ... ආන්න තව දාහක් වටිනවා. එවන්නම් එවන්නම් 🙏🤗🙏

      Delete
  2. කමෙන්ට් වැටුනාම ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. බුද්ධිමතුන් රටහැර යන්නත් මේවා හේතු වෙනවත් ඇති නේද?🤔

      Delete
    2. හුම්. රට ඉන්න ඈයොත් එන්ට අදිමදි කරන එක තමා අනික් කාරණය. යාලුවෙක් කියාපි දැන්නං මෙහෙ එනවට වැඩිය හොඳයි ඒ වියදමෙන් තවත් රටක ට්‍රිප් එකක් යන එක කියල 🤐

      Delete
  3. කමෙන්ට් වැටුනාම ආයෙ එන්නම්. 2x

    මං ලියන්න හිටි post එකක්නෙ නමියෝ ඔහේ ලියල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලියන්ට. මම කෙරුවෙ copy & paste විතරයි නෙව 😁😁
      නිදි ලොක්කත් එකමනං කරන්න හිටියෙ මේ පෝස්ටුව අකුලොගන්නං හිටං 🤭

      Delete
    2. අපොයි එපා!
      හොඳ සාකච්ඡාවකුත් පටන් ගෙන තියෙන එකේ...

      Delete
  4. වැඩක් කරන කෙනාට බාල්දි පෙල්ලන එක සීලාංකේය අනන්‍යතාවයනෙ.

    ReplyDelete
    Replies
    1. ආන්න අවයවෙ! සිරිලාංකේය අභිමානය.

      මට මතක් වුනා කාලෙකට කලින් කියෝපි විස්තරයක් පිටරටක. අපෙ හාදයෙක් ඒ රටේ යමරෙට වැඩලු. මේක දැකපු එහෙ ලොකු මහත්තුරු උන්දැට බුදු සැලකිලි දීල, සිටිසන් හදාගන්ට උදව්කරලා, තැනකට එන්න හෙම දීල කනට කරල කියල තෝ ආපහු ලංකාවෙ පදිංචියට යනව හෙම නෙමේ කියල 😅

      Delete
  5. අයෙස්මන්ත දොස්තර මහත්තයාට වෙලා තියනදේ එතුමා සද්භාවයෙන් කරන ලද දෙයක ප්‍රථිපලයක් බව පේනවා. මීට ඉස්සර ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය තුමියට හෙන ඉල්ලපු සමාජ මාධ්‍ය ඇයව දැක්කේ ඖෂධ මාෆියාව එක්ක ඩිල් දාපු කෙනෙක් විදහට. එතුමියව රිමාන්ඩ් කරලා පරීක්ෂණ කරන්න තරම් අල්ලස් ලොක්කෝ උනන්දු වුනා. ඒකෙන් පස්සේ ඔය කියන local purchase ක්‍රමය විතරක් නෙමෙයි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයත් වැහුන.( ඔය ටික වෙන බව මම කලින්ම post එකක ලිව්වා) අල්ලස් ලොක්කොත් සද්භාවයෙන් කරපු වැඩක් වෙන්න ඇති.එතකොට මරුන ලෙඩ්ඩු ගාන ගැන කව්ද අල්ලස් ලොක්කට පැමිණිලි කරන්නේ ? you tube කාරෝයෝද . අනෙක් අතට අද හැමෝම පැමිණිලි කරන්න යන්නේ චමුදිත ගාවටනේ. උන්නැහේනේ නඩු අහන්නේ. අර වෛද්‍යවරිය වගේම අයෙස්මන්ත මහත්මයවත් මම පෞද්ගලිකව දන්නේ නැහැ. හැබැයි එතුමා උදෑසන බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර කියලා පාසලේ උසස්පෙළ ශිෂ්‍යයෙක් වෙලා ගයනා කරනකොට මම කනිෂ්ට ගායන කණ්ඩායමේ ඉන්ඩ ඇති. එතුමා බ්ලොම් නිවාසිකාගාරයේ අවසන් වසරට පාඩම් කරනකොට මම පලවෙනි දෙවැනි වසරවල ඉන්ඩ ඇති. එතුමා ගැන බොහොම දේ දැනගත්තේ නිදි මාර්ගයෙන්.

    ReplyDelete
    Replies
    1. හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
      බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
      වහලා දාමු රෝහල් වල ශල්‍ය ඒකක ටික
      නිවන් දකිත්වා අපගේ ජන නායක කැල

      Delete
    2. නිහඬපාලතුමා ශල්‍ය වෛද්‍ය තුමියක් ගැන කියද්දී මට ආයෙම මතක් වෙන්නෙ වඳ සාපෙ 🥺😭. ෂාෆි දොස්තරට වෙච්ච සන්තැසිය. මහපොළොව නුහුලන අපරාධ. අන්තිමට මේවා සමාජේ ඉස්සරහට ගෙනා කවුරුවත් නෑ. ගුටි කාපු කෙනෙක් ඉන්නව. ගහපු කෙනෙක් නෑ වගෙ තමා!

      "නඩු නැති රටට මොට පායාද සූරියා"

      Delete
    3. සාෆි දොස්තර මහත්තයට වෙච්ච දේ ගැන කණගාටුයි. ඒකට වගකියන්න ඕනේ රෝහලේ අධ්‍යක්ෂක වෙච්ච වීරබංඩාර. මේවගේ පැමිණිලි ආපුවහම ආයතන මට්ටමින් පරීක්ෂණ කරන්නේ නැතුව සමාජ මාධ්‍යයෙන් දඩුවම් කීරීම නිසා ගින්නක් ඇතිවෙන්න පුළුවනි. ඔය චෝදනාවම කිසිමවිටක ඔප්පු කරන්න පුළුවන් එකක් නෙමෙයි. සැත්කමක් අතරතුර පැලෝපීය නාලය තදින් artery frocep එකකින් තද කරනවා එහෙම සිංහල මව්වරු වඳ කරනවා කියලා කිව්වට කිසිම විටක විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි චෝදනාවක්. අනවශ්‍ය දෙයක්. මට හිතෙන්නේ අධ්‍යක්ෂක සමග තිබුන පෞද්ගලික ප්‍රශ්න නිසා මාධ්‍ය සහ දේශපාලන සම්බන්ධතා උඩ ඇතිවුන කුලප්පුවක්.
      නමුත් ඔහුට තවත් චෝදනාවක් තිබුනා ඒක මුල්‍යම අපරාධ පිළිබඳව. වෛද්‍ය ෂාෆිට 2019දී රුපියල් මිලියන 400ක් පමණ වටිනා වත්කම් සැකකටයුතු ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වුණා. පාස්කු කොමිසම හමුවේ හිටපු පොලිස් නිලධාරියකු සාෆිගේ බැංකු ගිණුමකට රුපියල් මිලියන 40ක් බැරවී තිබූ බවත්, මුදල් මූලාශ්‍රය සොයාගැනීමට නොහැකි වූ බවත් සාක්ෂි දුන්නා. එම මුදල් ත්‍රස්ත සංවිධානයකින් ලැබුණු බවට සැකයක් ද ඉදිරිපත් වුණා.
      නමුත් 2024 නොවැම්බර් 6 වැනිදා CID විසින් එම මුදල් ඔහුට ත්‍රස්ත සංවිධානයකින් ලැබුණු බවට ප්‍රමාණවත්සාක්ෂි නොමැති බව වාර්තා කිරීම හේතුවෙන් ඔහුට එරෙහි සියලු චෝදනාවලින් අධිකරණය නිදහස් කළා. පොඩි පරහකට තියෙන්නේ ඔහු සතුව මේ වත්කම් ඇත්තටම තිබුනාද නැතිනම් මේ වත්කම් ලැබුනේ ත්‍රස්ත සංවිධානයකින් කියලා ඔප්පු කරගන්න බැරිවුනාද කියන අපැහැදිලිබව . සාමාන්‍යයෙන් මේසා රුපියල් මිලියන 40ක් වෛද්‍යවරයෙක් ළඟ තියෙන්න විදිහක් නැහැ.( ඔය කියන ගණන් ඇත්තද දන්නේ CID ම තමයි)

      Delete
    4. (ඔය ටික වෙන බව මම කලින්ම post එකක ලිව්වා) - හොයාගෙන කියවන්නම්. පුළුවන් නං post ලින්කුව දාන්න.

      සල්ලි කේස් එකක් ගියත් වගෙ මතකයි.
      ඒත් මිලියන 40ක් නම්... ඒ වෛද්‍යවරයාගේ සේවා කාලය, ශල්‍ය වෛද්‍යකමයි, පෞද්ගලික වැඩයි එක්ක ගැටළුවක් නැහැ. ඒත් 400ක්. බාගවිට පරම්පරා දේපල, අතිරේක බිස්නස්. අනෙ මම මන්ද.

      කෝම උනත් වඳ සැත්කම් ගින්න ලොකුවට ගියා නෙව. කී දෙනෙක් ඕක උඩට අරන් දේසපාලන වාසිත් ගත්තද.
      හුම්! කොටිය කනො, කනො ගාල ඇත්ත කොටිය මිස්වෙන සීන් එකක් තියෙන්නෙ!

      Delete
  6. //. දැන් දවස ගානෙ වෙනස් වෙන brand එකක් නිසා, safety සහ efficacy ඉතිහාස සැක සහිත බෙහෙත් නිසා සදහටම අන්ධ උනොත්...... ඒත් අර ‘වැරැද්ද’ කරන්න එපාලු. ජාතික රෝහලේ වගේ සිය ගනන් අන්ධ උනොත් ඒ වැරැද්ද හරි ගස්සන්න බෑ. මම මොකද්ද ඉදිරියට කල යුත්තේ?//

    මේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ඇතිකරගත්ත ගිවිසුම් අතර මගේ අවධානයට ලක්වෙන ප්‍රධාන කාරණයක් තමයි ඖෂධ ප්‍රමිතීන් සම්බන්ධ ගිවිසුම.

    ඉන්දියානු ඖෂධ ප්‍රමිතීන් පිළිගැනීමෙන් අඩු මිලට ඖෂධ ලබාගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි ඒ ඖෂධවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියන එක.

    ඉන්දියාවෙන් එන හැම බෙහෙතක්ම බාලයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි කුමන රටකින් ආවත් ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු නොවන බවට සහතිකයක් තියෙන්න ඕනෑ. ඒ සඳහා ස්වාධීන පරීක්ෂණ සහ දැඩි නියාමනයක් අවශ්‍යයි.

    මට මෙතන තියෙන ලොකුම බය මේ තීරණ කලාපීය බල දේශපාලනයත් එක්ක ගැටගැහෙන එකයි. එහෙම වුණොත් අනාගතයේ වෙනත් ආණ්ඩුවකට වුණත් මේ තීරණ නැවත සලකා බලන්න දේශපාලනික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.

    ඒ නිසා ආණ්ඩුව ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ මේ ගිවිසුම්වලින් ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීනත්වයට සහ ඖෂධ පරීක්ෂා කිරීමේ බලයට කිසිම බාධාවක් නොවන බව.

    මොකද මේක නිකම්ම ඉන්දියාවත් එක්ක කරන වෙළෙඳ ගනුදෙනුවක් නෙමෙයි. මේ තීරණවල අවසාන ප්‍රතිඵලය බලපාන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට.

    ReplyDelete
    Replies
    1. //අවසාන ප්‍රතිඵලය බලපාන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට// ඒ විතරක්ද මයියතුමා. ලංකාවේ හිටි විසාලම වන අලියා කාවන්තිස්ස ඇතාත් බලධාරීන්ගෙ අමන ක්‍රියාවලිය නිසා මියැදිල... 💔

      අහෝ දුකකි. ඉරකි. තිතකි!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ලංකාවේ රාජ්‍ය වෛද්‍ය සේවයට මට දෙන්න පුළුවන් හොඳම ප්‍රශංසාව තමයි, මගේ දරුවන්ගේ ජීවිත සම්බන්ධ බරපතළ අවස්ථාවකදී මම කිසිම පැකිළීමකින් තොරව තෝරාගත්තේ ලංකාවේ රජයේ රෝහලක් කියන එක.

    විශේෂයෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ගැන මට තියෙන්නේ පුදුමාකාර විශ්වාසයක්. දරුවන්ගේ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ඒ රෝහලෙන් ලැබුණු සේවය මට නම් අතිවිශිෂ්ටයි.

    එක් අවස්ථාවක මගේ දරුවන් ඩෙංගු හැදිලා බරපතළ තත්ත්වයකට පත්වුණා. පෞද්ගලික රෝහලකට යන්න මට හැකියාව තිබුණා. ඒ විතරක් නෙමෙයි, මම සේවය කළ ආයතනයත් පෞද්ගලික රෝහලක සියලු වියදම් දරන්න ඉදිරිපත් වුණා.

    නමුත් මම තෝරාගත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහල. දරුවෝ රෝහල්ගත වෙලා ඉන්නකොට අපිත් ඔවුන් එක්කම රෝහලේ හිටියා. ඒ දවස්වල අපේ මුළු පවුලම හිටියේ රෝහලේ කිව්වොත් හරි.

    ඒ තීරණය ගත්තේ මුදල් ඉතිරි කරගන්න නෙමෙයි. එතැන හිටපු වෛද්‍යවරුන්ගේ දැනුම, පළපුරුද්ද සහ ප්‍රතිකාර ක්‍රමය ගැන මට තිබුණු විශ්වාසය නිසයි.

    ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ අඩුපාඩු නැතුවා නෙමෙයි. නමුත් ඒ සේවය තුළ ඉන්න දක්ෂ, කැපවුණු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගැන අපි අගය කළ යුතුයි.

    මගේ දරුවන්ගේ ජීවිත භාරදෙන්න තරම් මම ඒ සේවය විශ්වාස කළා. මට නම් ලංකාවේ රාජ්‍ය වෛද්‍ය සේවයට දෙන්න පුළුවන් ඊට වඩා ලොකු සහතිකයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපිත් ඇතුලු සුවහසක් බහුතරය බේත් ගන්න යන්නෙ වැඩිහරිය රජයේ රෝහලකට නෙව.

      සේවය, වගවීම, කැපවීම... තැනින් තැනට, කෙනාගෙන් කෙනාට වෙනස්. පෞද්ගලිකද, රජයේද කියල නෑ තමා.

      Delete
  9. අනවබෝධය ඇති තැන අවබෝධය ඇතිකරන්නට වෙහෙසෙමු. එවිට ඔබ පිටුපස ශක්තියක් ගොඩනැගෙයි.

    ReplyDelete
  10. අඩුලුහුඩු කම් අකා මකා ගෙන ඉදිරියටම යන එක නම් හොඳම දේ

    ReplyDelete
  11. Replies
    1. මම තනියෙම බාගයක් අනුමත වුනොත් තමා 😂

      Delete
  12. අනේ මංදා අපේ රටේ වැඩක් කරද්දී බාල්ලි පෙරලීම කකුලෙන් ඇදීම උදැල්ලදැමීම පෙත්සන් ගැහීම වාගේ වැඩ ගොඩයි ඒවාට හොදටම සූරයි නේද?

    ReplyDelete
  13. නිර්ධන පංතියේ ඇමතිලත් සිංගප්පුරු යයි , ඒ දුක විඳින්න වෙන්නේ ජහමනයාට විතරයි

    ReplyDelete
    Replies
    1. ඔව් බම් 💔.
      මෙහෙම ගිහින් මං විතරක් මෙහෙ ඉතිරි වෙයිද 🙈

      Delete
  14. මෙ රටේ කැපවීමෙන් වැඩකරන අයට කොක්ක තමයි ඉතිරි වෙන්නේ. විශේෂයෙන් වෛද්‍ය ක්ශේත්‍රයේ ලියන්න විස්තර බොහෝමයි, ඒත් නම නොලිව්වත් විස්තර ලිවීම ඒ උත්තමයන්ට කරන වින්නැහියක් වෙන්න පුලුවන් නිසා නොලියමි.

    රුහුණු වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් අවුරුදු පහක පර්යේෂණ වලින් පසුව සාර්ථක වූ ටයිප් 2 ඩයබිටීස් වලට ප්‍රතිකාරයක් වෙන කෝවක්කා වලින් නිපදවූ කරලට මොකද වුනේ? පේටන්ට් ලැබෙන්නේ 2022. //diabetes capsule invented by ruhunu medical college// ගූගලයාගෙන අහන්න.

    රුහුණු වෛද්‍ය පීඨය පටන් ගන්නේ කරාපිටිය රෝහලේ ඉදිකිරීම් කරන 80 මුල් කාලේ. 83 වෙද්දි බොහෝම දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එතැනට සෙට් වුනේ. ඔවුන් බොහෝ දෙනෙක් වෛද්‍ය පීඨය ගොඩනැගීමට, එහි ඉගැන්වීම් වලට බොහෝ කැපවීමෙන් වැඩකර අය. ඒ ඉගැන්වීම කටයුතුවලට උපයෝගී කරගන්න කොම්පියුටරයක්වත් නොතිබුණ කාලේ ඔවුන් තමන්ගේ වියදමින් පුද්ගලික කොම්පියුටර් ගෙනැල්ල පාවිච්චි කරා, විශේෂයෙන් වෛද්‍ය සිසුන්ගේ විභාග කටයුතු වෙනුවෙන්. 83-86 කාලේ මම ඒ කණ්ඩායමට වෙලන්ටියර් IT resource එකක් හැටියට උදව් කරා, සිස්ටම්ස් ගනනාවක් හැදුවා. ඔවුන්ගෙන් පමණක් අයට රට අතහැර යන්න වුනා අසූව අන්තිම වෙද්දි, වෙන දෙයක් හින්දා නෙවෙයි එපා කියද්දී වැඩකරපු නිසා.

    මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ පි.පි. නොකරන විවිධ විශේෂඥ්යින් බොහෝම ඉන්නවා. අනෙක් ක්ශේත්‍ර වලත් එහෙමයි. හැබැයි සිස්ටම් එක විසින් ඔවුන්ව තල්ලු කරනවා ඉවතට, දුරට හා ඈතට.

    ReplyDelete
    Replies
    1. හුම්. තවත් දුක හිතෙන සිදුවීම්... 💔😪

      ගල්මල්තුමා, උඩුගං බලා යන අයට තමා වතුර පහරට මූන දෙන්න වෙන්නෙ නෙ!

      Delete
  15. මං හෙන කාලෙකින් ආවෙ. කොහොම ද නමී?

    ReplyDelete
    Replies
    1. අඩේ. ආයෙත් අහල!
      කොහොම උනත් ආයෙ ආ එකට මයෙ හදපිරි මෙව්ව එක 🥂🎉

      ස්වස්ථි සිද්ධම් 👻⚰️

      Delete
    2. වජ්‍රපානි සිද්ධම්!

      Delete
    3. දන්ඩපානි කියන්නෙ දන්ඩුවක් අතින් ගත්, එහෙම වෙනකොට වජ්‍රපානි කියන්නෙ වජ්‍රය අතින්ගත් වගෙ වෙන්ට ඕන. අපිදන්න වජ්‍රායුදේ අතින් ගත් කෙනා තමයි සක්‍රදෙවියො. මහායාන පැත්තෙංනං බෝධිසත්ත වගෙ කෙනෙක්.
      වැඩෙ කියන්නෙ මෛයින්ද මාත්තිය අතෙ ගුලිකරාන ඉන්නෙත් වජ්‍රායුදෙ වාගෙ ඩමී සුරයක් 😂🤣🤣

      Delete
  16. සිංහල-බූතයො බය කරන්න
    හොල්මං කතාවක් ලියන්න
    රැල්ලට ගහ ගෙනම යන්න
    දැක්ක අමුතු දේ කියන්න

    https://hotchocolatedays.blogspot.com/2026/11/blog-post.html

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්

Search This Blog