කයිවැල් අන්දරේ...

ඉන්දියාවේ කවට බිර්බල් ගැන ලඟදි පොස්ටුවකින් කියවන්ට හම්බුන නිසා හිතුන ලංකාවේ කවටය ගැන ලියන්ට.. කවුරුත් දන්ට අන්දරේ. ඉහළ තානාන්තර දරපු අන්දරේ. මෙව්වන්ම් ඉතිං වැඩ පෙන්නලා ගතපුව කියල තමා ඉතිහාස කතාවල රන් අකුරින් ටයිප් වෙලා තියෙන්ටෙ. අන්දරේ රජවාසලට සෙට් වෙන්නෙම ඔය නම්බුනාමයකුත් කර පින්නගෙන කියනවනෙ.. ඒ රජතුමාගෙ රාජකීය සැතපීමට බාධා දෙන කටහැකර ගෙම්බෙක් මෙල්ල කිරීමේ මෙලව පරිසංදුන් ආනිසංසයක් විදිහට. ගෙම්බ මැරීමේ ආනිසංසයද කියන්න දන්නෙ නෑ උන්ද මරුනෙත් හතරගාතෙන් ඉන්න තාලෙට.. අවසන් හිටපු විදිහ නිරූපණය කරමින් උන්දගෙ සොහොන යයි ප්‍රසිද්ධ තැන හදල තියෙන අනුරුව පෙන්වල දෙන්නෙ එහෙමයි. හැම රාජ සැපසම්පතක්ම වගේ විඳපු අන්දරේ තමුන්නැහෙගෙ කාලෙ හරි බව දැනන් අවසන් කාලේ ගමේ වාසයට කැමැත්තෙන් රජතුමාගෙන්ද අවසර අරං තමා, අවසන් ගමන පිටත් වෙලා තියෙන්නෙ... ඒත් හොඳට ඇඳපැළඳ ගෙන දෝලාවෙන්. අසනීප වැඩිකමේ අමාරුවෙන් වැව් ඉස්මත්තෙ පලු වීර ගහක් යට වාඩි උන කයිවැල් අන්දරේ මෙලොව හැර ගියේ කවුරුත් දන්න මේ කවිය තමුන්ගෙ අන්තිම කවිය කොරන්...

 

රිදී කළේ රන් කොතලේ බීපු මට

නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට

කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට

මෙහෙමත් කල යාද පළු වීර ගස්‌ යට

 

අන්දරේ ජීවත් වෙලා තියෙන්නෙ මුහුදුබඩ පෙදෙස් ලන්දේසි ආක්‍රමණය කර කාලෙ. ඒ කාලේ සෙංකඩගල මහනුවර රාජාධිරාජසිංහ රජු හිටි අවදිය කියලා කියනවනෙ. වර්ෂ දැක්වෙන්නේ ක්‍රි.ව. 1782- ක්‍රි.ව.1798 කාලය තුල කියලයි. රජවරුන්ට ආතති දුරුකොරන්ට, මානසික සුවය ලබන්ට අද වගේ දේවල් තිවුනද එදා. අඩු ගානේ funny video බලන්න කියල ඈ.. ඒකට ඉතින් එදා ඒ වැඩ පැවරිලා තිබ්බෙ රාජකීය කවටයන්ට.. අද ඒවගේ උන්දලා ඇමතිකං දැරුවට. කවටයා කිව්වට ඒක එක අතකින් නම්බුකාර රාජකාරියක්. අද ඈයො වගේ නෙමේ එදා උන්දලාට තිබුණ දැනුමක් හා එඩිතර කමක් හීං සැරේ හරි, හරි දේ මොකක්ද කියල රජතුමාට ඒත්තු ගන්නල දීමේ හැකියාවක්. එහෙම බැලුවොත් සමහර කවටයන් නිතැතින්ම පුරෝහිත රාජකාරිය පවා කරලා තිබිල තියෙනවා.

 

අන්දරේගෙ උපන් ගම විදිහට මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල වගේම දෙවුන්දර කිරලවැල්ල ගම් දෙකම සඳහන් වෙනවා. එහෙම උනත් කිරලවැල්ලේ ඉගෙන ගත් ගැමියෙකුට දාව එකම පුත්තර රතනය ලෙස අන්දරේ උපන් බව තමා වැඩි හා සාක්ෂි සහිත පිළිගන්ට පුළුවන් කාරණය. හීං සන්දියේ ඉඳන් නසරානි වැඩ තිබුන කියන අන්දරේ කොලුවා පතපොතේ වැඩ වලට වැඩි කැමැත්තක් තිබිල නෑ. ඒ උනත් පණ්ඩිතකමේ අඩුවක් තිබිලත් නෑ. දවසක් දාංගලේ වැඩි අන්දිරිස් කොලුවව ගෙදර මහ අය මගුල් ගෙදරක එක්ක ගිහින් තියෙන්නෙ දඟ වැඩ බෑ.. ගොනා වගේ ඉන්ට ඕන කියලා. කොලුවත් ගිහින් ඉතින් මගුල් ගෙදර ගොනා සේ ඉඳල.. බැරිම තැන ගෙදර උන්දලම ඕක නවත්තපං කියලා. ආයේ දවසක් පියාණෝ ගස්බැඳ තියල මට්ටු කොරන්ට හිතන් පුතාණෝව..

 

අසමානේ අම්මේ මේ අහපන්නේ

නොතෙමා මා මෙතනින් අහකට ගන්නේ

බුසමානේ තලපත ගෙන ඉහලන්නේ

ගැටමානට ගෙන ගොස් මා ඇරලන්නේ     මෙහෙම කවි කියල බලල අම්ම ඇවිත් බේර ගනීද බලන්ට. අම්ම බෙර ගන්ට හැදුවත් පියාණෝ එරෙහි වෙලා. පස්සෙ මේ විදිහට පියාවත් අමතල කොහොමින් හරි අනුකම්පාව අරං ගස් බැඳිල්ලෙන් මිදිලා.

 

වැස්ස තද නිසා සීතල වැඩි වෙච්චි

ඇඟපත වෙවුලාය සන්නිය ළං වෙච්චි

එලොව පොල් පෙනෙයි අද නම් වැරදිච්චි

හොඳ හැටි ගෙයි දොයිද මගෙ බුදු අප්පච්චී

 

ඔහොම කවියට දස්ස අන්දරේ අර කිව් විදිහට රාජ හිරිහැරයක් උන ගෙම්බ මට්ටු කරලා සද්ද විද්ද පලඟ පතිරගරු නම්බුනාමත් අරං තමා රාජකීය කවටකමට අත්පොත් තබන්නෙ. ඕකෙ තේරුම තමා සද්ද කළ මැඬියා මැරූ වීරයා. ඔය නම්බුනාමයට තව කෑල්ලක් එකතු වෙනවා රාජපක්ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ. (ඒක ඇහුවම නිකං තෝන්තු වෙනවා නෙ). අන්දරේ කවටයෙක් විතරක් නෙමේ අදිකාරම් කෙනෙක්ද වනවා. ඔහොම රාජ්‍යය සේවය කරන ගමන් අන්දරේ රජා ඇතුළු ඇමති, මහබිසව්ට, අනෙක් කාන්තාවන්ට කවටකම්, නොපනත්කම් තමා වැඩි හරියක් කොරල තියෙන්නෙ. ඒකෙන් බොහොම දන්න කියන එකක් නෙ උඹේ කටෙත් පස්. මගේ කටෙත් පස් කියල පුතත් එක්ක සීනි කාපු එක.

 

වප්මඟුල් උත්සවේ වැඩකටයුතු බලන අතරේ දවසක් රජතුමා සීසෑමට හරකුන්ට එන්න කියන්ට කියල අන්දෙර්ට කිව්වා. උත්සවේ දවසෙ එක හරකෙක් තියා හරක් අයිතිකාරයෙක්වත් නෑ.. රජතුමා කේන්තියෙන් මේ ගැන ඇහුව. අන්දරේ කිව්වා මං හරකුන්ගේ ඇඟත් අතගාල කාරණාව කිව්ව. එතකොට නැට්ටත් වැනුව රජතුමනි හාකියල. එතකොට තමයි රජාට මීටර් උනේ හරක් අයිතිකාරයින්ට දන්වන්න කියල නෙමේ කියඋනේ කියල. කොහොමින් හරි දඬුවමක් දුන්න. දන ගහගෙන හිටු... පාරේ නෙමේ කුඹුරේ කයි කිය කිය. අන්දරේ ඒකටත් ඉතින් තමුන්ගෙ කයි සත්තිය යොදවල

 

අප වැනි අයට කොච්චර දුක ද හිමි තුමා - මෙච්චර දුකට පිහිටක්‌ නූන කල කිමා

රිවි කුල රජුන් හට ඇත්තේ මේ පුදුමා - කවි කියවන්ට සැදු වේලාවක මහිමා   කියල මෙ කවියෙන්ම දඬුවම ලිහ ගත්ත.

 

දවසක් හොඳම බොරුව ගොතන්නැයි කියලා රජතුමා තරඟයක් තියද්දි ඒකෙන් අන්දරේ දින්නේ බෙල්ලත් උගසට තියල. වැඩේ වරදුනානම්... රජාට කේන්ති ගියානම් ඉවරනෙ. නමුත් රජත් බුද්ධිමත් කෙනෙක් හන්ද මේකට දඬුවම් කරේ නෑ. නැත්තන් ඒ කිව් කයිය ඇත්ත වෙනවානෙ..

 

රජකම් කළත් ඉඳගෙන සිහසුනක මත - ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත

ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත - මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

 

රජතුමාත් දක්ෂ කවියෙක් බවයි සඳහන් වෙන්නෙ. දවසක් රජු අන්දරේගෙන් තේරවිල්ලක් අහල කවියකින්ම. සමහර විට සබාව ඉදිරියේ අහපුහම අන් අය නිරුත්තර වෙද්දී අන්දරේ උත්තර දුන්න වෙන්ටත් පුළුවන්. මොකද රාජ සබාවේ වෙනත් කවි කීන උන්දැලත් හිටි බවයි පතපොතේ සඳහන් වෙන්නෙ. දැන් නම් ඉතින් පෙළපොත් වලින් මේ චරිත ගැන තිබුණ පාඩම් කටුගෑවෙලා යනවා.

 

දාර දෙකයි එක තැන මුල්කර තැනුවා - පාර තිහක්‌ ගැහුවට බයකුත් නැතුවා

කොන් හතරයි කණු හතරයි ගෙට ඇතුවා - තෝරාපන් ඊයේ මගදී දුටුවා

 

        පිළිතුරු කවිය -

 

දාර දෙකත් එක මැද එක ගැවසීය - වට පිට යන කලට කණු සතරෙන් යාය

ගෙට වැඩි කලට කිසි බයකුත් නැතුවාය - මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය

 

මේ කවිය සම්බන්ධව යාන් කතාවක් තියෙනවා අන්තිම පද පෙලින් මහ රජ ඉබ්බා කියල එක එල්ලෙ රජුටම කියපු බවකුත්.. කොහොමින් නමුත් ඒ බව දන්නෙ අන්දරේම තමයි ඉතින්.

 

ඔය අතරේ රජාට විතරක් නෙමේ රජබිසවටත් කවටකම් කරා. මතකනේ තමුන්ගෙ නෝනාටයි, රජබිසවටයි කන් ඇහෙන්නේ නෑ කියලා එකිනෙක්කෙනාට ගාණ්ඨාර වයන්න සැලැස්සුව. ආයෙ දවසක් දියකෙළියට කලේ ඇන්න යන බිසව්තුමෝ දකිනව අන්දරේ.. කොහොමට ඇද්ද ආ.....

 

කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන - ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන

තඹත් පිත්තලත් දෙවගේ පැළඳ ගෙන - රොඩී කෙල්ල කොයි යනවද උදෑසන

 

මේක ඇහිච්ච බිසව්තුමෝ කේන්ති ගෙන ගතු කිව්ව රජතුමාට. අම්බානෙට කේන්ති යන්න ඇති රජටත්.. ඇයි ඉතින් රටේ ඉන්න සුපිරිම කඳ.. රන්කඳට ලොටතන අරව මේවා ගානකොට. කොහොමින් උනත් අන්දරේගෙ වැඩ දන්න රජතුමා අන්දරේව ගෙන්න ගෙන මේ ගැන විමසුව.. නෝනිගේ හිත සනසන්නත් එක්ක වෙන්ටෑ. අන්දරේ කිව්ව, කිව්ව කවිය ඕක නෙමේ මේක කියල පද වෙනස් කරා.

 

රන් කැටි කළේ දිය උකුලේ තබාගෙන - රන් කුඹු දෙකක්‌ සළු පටකින් වසාගෙන

රිදිත් රත්තරන් දෙවගේ පැළඳගෙන - මල් මද බිසව් කොයි යනවද උදැහන

 

 ලස්සන කෙල්ලන්ටත් අන්දරේගෙන් බේරුම් බොරු කියල තමයි සඳහන්. මේ කවියේ හැටියට නම් පෙළවහක් කරගන්න කං උන්දට හරියට නින්ද ගිහින් නැති හැඩයි.

 

වතට ලවනතට නුඹ බලන බැල්මට - වරලට ගෙලට නළලට නාසිකාවට

ගමනට බසට නුඹ හට ලොබ කළ මෙ මට - කුමකට කියමි නිදි නැත රැය තුන්‍ යමට

 

මේ කවියෙන් තේරෙනව අන්දරේ ලස්සන කෙල්ලන්ට කොච්චර කැමැත්තෙන් හිටියද සහ සෘන්ගාරය මතුකරලා එයින් හීන් සතුටක් ලැබුවද කියල. ඒ වගේම ඒ කාලේ කුල මල හොයන ඒවා එහෙමත් තිබිල තියෙනවා අන්දරේ ඒ ගැන තැකීමක් නොකරට.. උන්ද ඉතින් හොයල තියෙන්නෙ රුවේ වරුණ නෙව.

 

මහ මී කුඩා මී හිමයේ බොහොම ඇතී - කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන් ගනිති

කොතැන වුනත් හරි නෙද මැණික රුව ඇති - රුව ඇත්නම් අඩු කුලය ද කමක් නැති

 

            කෙකටිය ගලවන කෙල්ලෙක්ට අන්දරේ ගෙතු හිටිවන කවිය

 

පතුල ගසා අල උගුලන කලට ලියේ - මකුල සේම වත සුළඟට යාය ලියේ

මුකුලු සිනා අප දැක කෝඩු කාරියේ - කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

 


 ලඳුන් දුටුවම මේ වගේ හිටිවන කවි කියපු අන්දරේට සමහර තැන්වලදී පිළිතුරු කවිත් අහන්න ලැබුණ බවයි සඳහන් වෙන්නෙ. බිරිඳක් ඇන්න ආවට පස්සෙ වෙන ලමිස්සියන්ට කවි නොකිය හිටියද කියල නම් හිතන්ට අමාරුයි හිටන්. විවාහයෙන් පහු බිරිඳට කියපු කවි දෙකක් තියෙනවා. මේ සම්බන්ධව එන එක කතාවක් තමයි මුළින් අගේ රූපය වර්ණනා කරලා එක කවියක් කිව්වා. ඒත් කටවහ වදී ද හිතල රූපය කැතයි කියල අනෙක් කවිය කිව්වා කියනා එක. ඕක එක මතයක්.

 

නෝක්කාඩුවට ඇද කියල එක කවියක් කිව්වම හාමිනේ තරහ වෙලා අන්දරේ එක්ක... යාලු කරගන්න අර වර්ණනා කවිය කියලා කියන එක තමා අනෙක් මතය.

 

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා - බඳ දෙස බැලිමි හෙරළිය වැන්න මෝරනා

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා - ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළුකනා

 

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා - බඳ දෙස බැලමි රන් කඳ වැන්න ආරනා

තන දෙස බැලිමි රන් කුඹුක් වැන්න එල්ලෙනා - ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

 

            ඒ වගේම විවාහයෙන් පස්සෙ නැන්දම්ම තුමියටත් කවි ගොතල අන්දර බෑන තුමා...

 

අලුත් පිටට බෑණා ගෙදර එනකොට - මලුත් පුදා දුව කැඳවා දෙති ළගට

කලක් ගොසින් බෑණා පරණ වෙනකොට - බලුත් නොවටීය බෑණා නැන්දාට

 

මොනවා උනත් බිරිඳ මියගිය තැන කියලා තියෙන මේ කවියෙන් තේරෙන්නෙ අන්දරේ ගෙදර උන්දැට ආදරෙන් හිටි බවයි. පස්සෙන් පහු දෙවැනි විවාහයක් කරගත් බව තමයි සඳහන් වෙන්නෙ.

 

පටු වන් නළල දිලිසෙන සුරතල් දිගැසේ - ඔටුවන් පුරඟණන් පරදන මැණික යසේ

කෙටුවෙන් ඉන්න පළ නැති ලෙස මගෙ හිතේ - දුටුවොත් මහ බබා මම කොටමි උගෙ හිසේ

 

ඔහොම ඉන්න අතරේ දවසක් රා ඉල්ලලා (කාසි නොදී බොන්න හදද්දී වෙන්ට ඇති) නොදීපු තැන රා මදින්නට සෙත් නමේ වින පතල වස් කවියක් ගොතල.

 

තියන තියන අඩි ලිස්‌සා වැටියන් - බඳින බඳින වැල වරපොට කැඩියන්

කපන කොටන මන්නේ ලේ ගැවියන් - මට රා නොදුන් තෝ ගහ මුල වැටියන්

 

මෙහෙම කිව්වම රා මැද්ද උන්ද වැලේ නෙමේ පොළොවේ අඩිය තියන්නත් බය වෙන්න ඇති එකසිය ගානට. ඉතින් දීල දාන්න ඇති, ඇති පදං බියන් කියල. අන්දරේත් බීල ඉවර වෙලා කොරපු උපකාරෙට සෙත් කවියකින් මුළින් කිව් වස් කවිය කැන්සල් කරලා දාල.. මෙන්න මෙහෙම.

 

කළුවන් කළු රුවයි අපෙ ගම මදින්නා - එන එන කැකුළු මල නෑරම තලන්නා

මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා - දෙයියෝ රැක දෙන්ට අපෙ ගම මදින්නා

 

අන්දරේ තමන් ගැනත් කවියක් කියාගෙන තියෙනවා... සමහර විට හිතෙන්න ඇති අනිත් උන්ට කවි ගොතන එකේ මටත් එකක් කියා ගත්තොත් නරකට හිටීද කියල.

 

යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට

මන්තරේ හොඳයි ඉඳ ජප කරන්නට

ගින්දරේ හොඳයි සීතට තපින්නට

අන්දරේ හොඳයි සීපද කියන්නට

 

 අන්දරේගේ මරණය ආරංචි වුන රජු දුකින් ඒ ස්ථානයට ආ බවත් අන්දරේගේ අවසන් ඉරියව්වද දැක අන්දරේ නුඹ මරණයෙන් පසුත් මා සිනහ ගන්වනවායනුවෙන් කියා ඇති බව ජනප්‍රවාද වල දැක්වේ.

 

අන්දරේ කියන්නෙ හැබෑ ලෙස හිටපු කෙනෙක් නොව එදා හිටි චරිත වල එකතුවක් බවත් එක් මතයක සඳහන් වෙනවා.


18 comments:

  1. සමහර ඒවා කලි අහලා තිබුනත්, ආසාවෙන් කියෙව්වා.🙏👌😊

    ReplyDelete
    Replies
    1. එහෙමද බස්ප. ඔහෙගෙ පොස්ටුවක් ආවෙත් නෑ නෙ ලඟදි..

      Delete
  2. //රජකම් කළත් ඉඳගෙන සිහසුනක මත - ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත//
    //මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය//
    කවි පද ඇතුළු රසාලිප්ත කවි ගායනා අලුත් අරුත් නංවමින් 'ජයලත් මනෝරත්න'යන් 'අන්දරේලා' වේදිකා නාට්‍යයට උපයෝගී කරගෙන තිබුණා.

    /රොඩී කෙල්ල කොයි යනවද උදෑසන/
    සිදුවීම අපූරු සින්දුවක තියෙනවා. ජෝති- ඇන්ජි දෙන්නා ගයන/ නමීට ඒක දාන්න නොහිතුනා පුදුමයි.
    https://www.youtube.com/watch?v=sORGiROgN9A

    නමීගේ post එක රසවත් ගීතාත්මක පරිපූර්ණ කවියක් නිසා මාත් කවියක් ලිව්වේ නෑ!

    ReplyDelete
    Replies
    1. මනොරත්නයන්ට අන්දරේ චරිතයම කටපාඩම්. දොම්පෙට යන පාර කොයිබදෝ නිර්මානයත් අන්දරේ රජගෙදර ඇතිකරපු කාලගෝට්ටිය හින්ද ඇතිවෙච්ච එකක් කියනවනෙ

      Delete
  3. නමියා ඔබ මේ සටහනට සෑහෙන වෙහෙස වෙලා තියෙනවා. ඒ වගේම නිතර ඇහෙන්නේ නැති කවි රැසකුත් එකතු කරලා තියෙනවා. ඔබත් කට්ටකාඩුවේ ලොකු මල්ලීත් කරන මේ ඉතිහාස ගවේෂණය හරියට වටිනවා. තවත් මේ වගේ ලිපි ලියන්න. එක හුස්මට කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බලමුකො අනුරුද්ධතුමෝ. ඉතිහාස සම්බන්ධ ලියමන් කීපයක්ම තියේ අදහස් කරන් පෝස්ටුගත කරන්න. කම්මැලිකොම තමා සේරෝටම පරහට හිටින්නෙ.

      Delete
  4. කලින් අහලා නැති කවි කීපයක්ම තියනවා. මුංකොටුවෙරාළ කියලා කවියෙකුත් රාජසිංහ රජතුමාගේ රාජසභාවේ හිටිය කියලා අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. වඩුගොඩ හා කැකිරි ගමයා, මුං කොටුවේ රාල ඇතුළු සෙට් එකක්ම ඉඳල තියෙනවා..

      Delete
  5. //එදා හිටි චරිත වල එකතුවක්//
    ආතර් රජු, රොබින් හුඩ් වගේ ජනප්‍රවාදත් වසර ගණනාවක පරාසයක් තුල හිටපු චරිත කීපයක්, ප්‍රබන්ධත් එක්ක හැදුන කතා.

    ඒත් අන්දරේ බොහොම මෑත ඉතිහාසයේ නිසා ඇත්තටම ඒ නමින් කවටයෙක් හිටපු බව හිතන්න පුලුවන්, වෙන අයගේ කතා සහ ප්‍රබන්ධත් ඔහුගේ ගිණුමට එකතු වෙලා ඇති

    ReplyDelete
    Replies
    1. ඔය ගිණුම්ගතවීම නම් මේ මෑතකදිත් වෙන්ටෙ.. ඉසොප් ගැන ලියන්ට බැලුහමත් එහෙමයි වෙන එවත් එකතුවෙලාPra Jay

      Delete
  6. ඒ පෝස්ට් එක නං නමියගෙ ආව සුපිරිම සුපිරියක්. සෑහෙනුට මහන්සි වෙලා තයෙනව කියල පේනව.
    ඉස්සරහටත් මේ වගේ අපූරු පෝස්ට් එක්ක එමු.

    ඒක නෙවී රංජන් රාමනායක ට අන්දරේ ගෙ ඥාතීත්වයක් තියේද.
    මම දැකල තියේ පොරගෙ නමටත් ඔය සද්ද විද්ද පළඟපතිර සීන් එක තියේ

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මාත් අහල තියෙනවා මහේෂ්. වෙන්ටත් බැරි නෑ. කොමත් රන්ජන්ට ගොඩක් අයගෙ ඥාතිත්ව තියෙනවා මව් හා පිය පාර්ශව වලින්

      Delete
  7. ඔක්කොම වගේ කියවල තියනවා. මගේ දුවල දෙන්න තවමත් මතක් කරනවා අන්දරේ සීනි කාපු හැටි. මම කියල දුන්න කතා අතරින් ඒ දෙන්න වැඩියෙන්ම හිනා වුනෙත් ඒකට. පොඩි දුව කියන්නේ ඇන්ඩ්රූ ගේ කතා කියල. තව කොස් ගෙඩියක් කපා ගත්ත කතාවකුත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ලන්දේසි ඇන්ඞෘ වචනය සිංහලට අන්දරේ ලෙස පරිවර්තනය උනා කියල මතයකුත් තියේ. ඒ කාලේ සීනි තිබිල නෑ උක් තමා තිබිල තියෙන්නෙ. අන්දරේව අන්දන්න රජා පස් කියනව. ඇත්ත දැනගත්ත අන්දරේ සීනි කනවා අර විධිහට. කොස්කතාව කියන්නෙ රාජ උයනෙ තිබ්බ කොස් කාපු එක.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Andries

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *