බැලූ අංජනම..

 

ඔන්ට අවුරුද්දෙ මුල් හරියේ දිග අරින්ට හිතුව ගජබින්නාලංකාරයක්.. හැබැයි බින්නයක් නෙමෙයි. හැබෑමයි.

ඩ්‍රැකියාට නොකිය මේ වචනෙ ගත්ත එකට උන්ද පරල වෙයිද මන්ද... කොහොමින් උනත් ගජබින්නාලංකාරය කියන වචනය අපට මුලින්ම දැක ගන්ට හම්බු වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වල හරි බවයි මගේ මතකය.

දෙවියන් ත්‍රිත්වයක් පාරට ආ මොහොතක්


තමුන්ගෙ අන්තිමට ඉපදුණ එකම ගෑනු දැරිවිගෙ කොටහළු උත්සවේ ජයට නිමා කරපු ජෝඩුව.. නිවී හැනහිල්ලෙ විවේකයක් ගන්න හැදුවා විතරයි. ඒ දැරිවිට එදා දැම්ම රත්තරං චේන් පොට මිසින් වෙලා. ලස්ස ගානක් වටින මාලේ... දැන් ගෙදර මහ දෙන්න දෙලව රත්වෙලා ආවේ කවුද, ගත්තෙ කවුද කියල හිතනවා. පොඩි කෙලීට බනිනවා. හෙන ඉල්ලනවා.. ලොකු කෙලීටත්, කොල්ලටත් බනිනවා. දෙන්න තමතමන්ටත් දෙස් දෙවොල් තියා ගන්නවා.

හොයන එක කෙසේ වෙතත් වෙන්නෙ ඕකනෙ ගෙවල් වල. දැන් එක යුද්ධයයි.

ඔය අතරේ ගෑණු උන්දැට දිවයඤාණය  පහල වෙලා වගේ හිතුන.. අංජනමක් බලන්න. ගුරුන්නාන්සේ බොහොම බලගතු කෙනෙක්... පත්තරේ දාල තියෙන හැටියට. වෙන කරන්ට දෙයක් නැති තැන මහ ජෝඩුව ළමයි තුන්කට්ටුවත් කුදලං ගියා ගුරා හදි ගැහෙන්න. වන්නි වනපෙතේ වගේ දුර පැත්තක මේ අංජනම් අරින තැන බලන තැන තියෙන්නෙ.

මෙදා ඉරිද දවසක්. ගුරා හාෆ් ඩේ විතරලු වැඩ කොරන්නෙ. ඒත් දුර ඉඳල ආපු නිසා වැඩේ කොරමු කියල ගුරාගේ ගෝලයා අංජනම් දේවි හා හනුමා සම සේ වැඩම කරන දේවාල භූමියට එකක් ගියා කස්ටියව.

ඇයි යකෝ දැන් මිනිස්සු එක්ක ආවේ. තොට සිහිය නැද්ද අපි මහතුවගෙ ගෙදර ගිහින් එහෙ සෙට් වෙලා කරල ඉන්ට නෙව හැදුවෙ.

හරි හරි ගුරු.. දැන් මග වියදමට තඹ දොහිතුවක් තියෙනවද. ගිය පාර මතකනෙ දෙවෙනි වටේට සල්ලි මදිවෙලා ගෙනාපු දෙහි ගෝනිය කඩේට දීල සල්ලි කරේ.. අද බෝතලේට සල්ලි හොයා ගත්තෙත් පෙරේදා කපපු කොඩි විනෙන්. මේක ඉක්මනට කරල දාල ගන්න ගානත් අරං යං..

හරි එහෙනම්... එන්න කියාපංකො ඔය නර පණුවන්ට.... මේ.. මේ මොකටද ආවේ කියල අහගත්තද?.. ?

හදිස්සියට අමතක උනා.. ගේමක් ගහල ජාමේ බේර ගන්න ඈ.. එහෙම කියාගෙන ගිය ගෝලයා දේවාලේ ළඟ හිටන් උන්නු නරයින්ට කතා කරා.

ලොකු උන්ද වටේ තියෙන ගස්, ගෙවල් දිහා ඇහැ දානව. මේ පාරේ දිගටම ගියොත් කොහිට යන්න පුළුවන්ද කියල හිතනවා.  ගෑණු උන්ද දේවාලෙට වැඳ ගෙන සියලු දේව මණ්ඩලයම සිහි කර කර ඉන්නවා. ලොකු කෙලී අයි ෆොන් එක කනේ ගහන් බටහිර බෙරිහන් දෙන හඬින් කියන සින්දු අහනවා. කොලුවා අලුත ගත්ත ඇන්ඩ්රොයිඩ ෆොන් එකෙන් ෆුට්බොල් ගහනවා. මාලේ නැති කරගත්තු පොඩි කෙලී මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුව බකන්නිලං නෙමේ නිකං බලං ඉන්නව.

ආපු කාරණේ මොකක්ද කියල කිව්වනම් විගහට. තැනකට යන්නත් තියෙනවා.. බහිරව පූජාවකට. එහෙම කියලා ගුරා ගෝලයා දිහා බලල හීං හිනාවක් දැම්ම.

නැතිවෙච්ච දෙයක් හොයා ගන්න.. ගුරුන්න්නා..න්.සේ  ගෑණු උන්ද ආ කාරණාව ගරුසරුව පැහැදිලි කරා.

හ්ම්.. අංජනමක් බලන්න දැන් අපි රු. 4990.00 ගන්නවා. බුලත් කොලේ සල්ලි තියල ඔය මල් තට්ටුවට පූජ කරානම්.. ගෝලයා එහෙම කියල බුලත් කෙළ ගෑවුන රෙදි කෑල්ලෙන් පිහිද පිහිද හිටි පීරිසිය තට්ටුව උඩ තිව්ව.

දේවාලෙ ඇතුළටම ආපු එකේ දැන් හැරිල යන්නත් බැරි නිසා හූල්ලන හිතින් ගෑණු උන්ද දිහා රවාගෙනම 5000ක් දීල දැම්ම... ආයේ මොකට ඉතුරුව හොයනවද කියල. එත් ගෑණු උන්දගෙ දේව ගරුසරු බව නම් ඒකෙන් මැකුනෙ නෑ... කොහි මැකෙන්නද දෙයියන් මේ පරම්පරාගතව පැවත එන පුරුදු නෙව.

සතුටු සිතින් ගුරා මල් තට්ටුව ළඟට ඇවිත් නරයින්ටත් ඉඳගන්න පහසුකම්... ඒ කියන්නෙ පැදුර පඩංගුව දීල වැඳ ගන්ට කිව්වා. ඒ අතර, ගුරා ගමේ හිටිය කාලේ එකතු කරගත්ත මොනර පිහාටු ටිකකින් හදාගත් දූවිලි පිහන එකක් වගේ එකකින්, ආ නරයංගෙ ඔලුවේ හා උරහිස්වල තිබ්බ මකුණු දැල්ද කොහිද කඩන්න පටන් ගත්ත. කාන්සියට මොන මොනවදෝ කියන ගමන්. ගෝලයා එකට තාලේ අල්ලමින් සීනුවෙන් සංගීතය මුහු කරන්ට පටන් ගත්ත.

මහතැන ගිය සල්ලි හිතන් අතාරින්ට ට්‍රයි කරමින් අත් දෙක ලං කරා. ගෑණු උන්ද ගුරුන්නාන්සෙටත් වඳින්න වගේ ලඟම වැඩි උනා.. ඒ එක්කම පීරිසියෙන් පේන අංජනමෙ දසුනුත් හරි හැටි බලා කියා ගන්නත් එක්ක වාගේ. ලොකු කෙලී පෙර සිටන් කංදෙකේ ගහන් හිටි ඇබ දෙක එහෝම තියාගෙන වැඳගෙන ඇහෙන සිංදුවට පැද්දෙනවා. කොලුවා බැටරි බැස්ස ෆොන් එක සාක්කුවේ ඔබාගෙන මව් උන්ද ලඟින්ම ඉඳ ගත්ත. පේන දෙයක් තමුනුත් බලා ගන්නවා කියල හිතන්. පොඩි කෙලී තාත්ත ළඟ වාඩි ගත්ත. ඉස්කෝලේ සිල් ගන්න දවසෙ ඉන්න හැටි සිහිකොරන්. දැන් ගුරාත් මල් තටුව ඉස්සරින් වාඩි ගත්ත හෙමි හෙමීට තුනටියත් අල්ලං. ඒ කරලා කලින් අතේ තිබ්බ දිග මොනර පිල් ගසනය පැත්තකට කරන් ඒ වෙනුවට පොඩි කොහුමිටි කෑල්ලක් තියෙන ගසනයක් අරං මල් ආසනේ මකුණු දැල් කඩන්න වාගේ වනන්ට ගත්ත. ඒ අතර ගෝලයා මදුරු ටික යවන්ට වගේ මල් තට්ටුව ළඟ දුම් අල්ලන්ට ගත්ත. ගුරාගේ අහට දුම් යන්නෙ නැති විදිහට.

ඕඃ වර වර ඒස්වා පුන් - පුන්ම් පුක් වර ඕඃ

වර වර මුහුද දෙබා කර - අහස ගුගුරවා ගෙන

හ්ම්.. තමුන්ලට බැල්ම හෙලන මළගිය පරාණයක් ඉන්නව... හ්ම්.. බය වෙන්ට කාරී නෑ හොඳ තැනක ඉඳන් බැලුම් හෙලනවා.... ඒකයි අංජනම් දේවි වඩින්න පමා.

ඒ වෙලාවේ මහතැන බිරිඳට ලංවෙලා කිව්ව එකත් එකටම ඒ අපේ තාත්ත.. මං කලිනුත් කියල තියෙනවා නේ තමුසෙට.. දැන් අහගත්තද.

කට පියන් ඉන්නවද.. තමුසෙගෙ මහලොකු තාත්ත. අපිට එහෙම උදව් කරන්න ඕනකම තිබ්බ නම් පහළ කුඹුරු කෑල්ල නංගිට ලියයිද...

ඇයි යෝදියේ පාර අයිනෙන් දුන්න අක්කර 3න මදිද.. වික්ක පරණ මහගෙදර සල්ලි වලිනුත් කොටහක් දෙනකොට උඹට හොඳයි.

අනේ ඔහෙගෙ තාත්තගේ තුන.. ඉඩම්, කුඹුරු අහෝසේට. වැඩි හරිය කාටද දුන්නෙ, අර රට ගිය බාල මලයට.. මැරෙන්න ලංවෙලා ඉද්දිවත් ඌ ආවද බලන්න.. කියලවත් ගෙන්න ගන්න පුළුවන් උනාද.. ආ..

වර වර මුහුද දෙබා කර - අහස ගුගුරවා ගෙන.........

සී සයිඩ් එකෙන් ආවනම් ඉක්මනට එන්න පුළුවන් කියන්න ගුරු..න්නා.න්සේ. මහතැනට ඉබේම එහෙම කියවුනේ අවුරුදු 28ක රියදුරු ජීවිතේ නොගිය පාරක්, තොටක් නැති තරමේ නිසයි.

අහන දේට විතරක් උත්තර දෙන්න.... ගුරා සීරියස් මූඩ් එකකින් නරයින්ව දැනුවත් කරා.

කොල්ල අක්කට ලංවෙලා ඇහුව දැන් ඔය එන්නෙ ගෑණු කෙනාද නැත්තං අර වඳුරු ෆේස් තියෙන පිරිමි කෙනාද කියල. අක්ක කනේ ඇබ දෙක ගලවල හිට කිව්වා පිරිමියා මුළින් එයි නේ... කියල

ආව ආව... හනුම ආවා. ගුරා තාලයකට එහෙම කිව්වහම පොඩි කෙලී පිටිපස්ස හැරිලා දොර දිහා බැලුව හෙවනැල්ලක් හෙල්ලෙනව පෙනුණ නිසා. එහෙං එනවද කියලා. නෑ... බැලින්නං ගුරාගේ ගෝලයා. යන්න තියෙනවයි කිව්ව ගමන යන්න ලැහැස්ති වෙනවා.

ගෙයක් පෙන්නුම් කරනවා. පිටි පස්සෙ ලොකු තාප්පයක් පෙන්නුම් කරනවා.. තියෙනවද

එහෙමයි.. එහෙමයි තියෙනවා..   ගෑණු උන්ද කුලෑටි හඬින් කිව්වා.

කුස්සියෙන් ඔන්න දැන් හනුම ඇතුල් උනා... කුස්සිය තියෙන්නෙ ගේ පිටිපස්සට වෙන්න නේද.

ඔව්.. ඔව්

...............

..........

ඉස්සරහින් යන්න අවහිරයක් තියෙනවා... මං හිතන්නෙ අර බැල්ම.. වෙලාව නැති හින්ද හනුම වටේ යවන්න බෑ. ආපු කාරණය කියා හිටියනම්..

අපේ පොඩි කෙල්ලගෙ මාලේ නැතිඋනා... කොටහළු උත්සවේ දවසෙම. ඒක හොයා ගන්..න.යි

හරි.. හරි අංජනම් දේවි දැන් ආව.. හරි ඇයට කාරණය පේනව.. දේවිය ලොකු උත්සවයකට මැදි වෙලා ඉන්නෙ.. ඉන්නව ඉන්නව දුව පෙන්නුම් කරනවා..

ගුරුන්නාන්සේ මටත් ටිකක් බලන්න බැරිද... කුතුහලය වැඩි උන ගෑණු උන්ද බැරිම තැන ගුරාගෙන ඇහුව. ඒක ඇහුණ පුත්තරයත් ගෑණු උන්දට ලංව පීරිසිය දිහා ඇස් දැල්ලුව..

ඔය ඇත්තිට මේවා පේන්නෙ නෑ.. මේවා වරමින් විතරයි පේන්නෙ.. ගුරා සැර ස්වරයකින් කිව්වා.. ආ අංජනම් දේවි කියනව මාලේ ගෙදරින් පිට තාම ගිහින් නෑ කියල.      හනුමත් එක්ක අංජනම් දේවි නොපෙනී ගියා ඔන්න..

මං කිව්වෙ. මේ ගෑණිට පිස්සු.. රු. පන්දාහක් දීල මාලේ ගෙදර කියල අහං දැන් පලයනකො ආපහු... මේ වෙලාවට බස් තියෙයිද දන්නෙත් නෑ..

පිස්සු. අනේ මේ.. ඒ ගුරුන්නාන්සේ හරියටම කිව්ව. බලනව.. පිටිපස්සෙ තියෙන බිත්තිය ගැනත් හරියටම කිව්වා. ගෙදරට යන්න තියෙන්නෙ පොඩි පාර ගැනත් කිව්වා. කොහොමින් හරි උනේ සෙතක් නෙවේද.. හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් හම්බ උන එකම මදෑ. මටනම් ලොකු කෙලී ගැන කිව්ව එකම ඇති..

ඒක ඇහුන ලොකු දුව මල්ලිගෙන් ඇහුව මං ගැන මොකක්ද කිව්වෙ කියල.. මොකද ලොකු දුව සිංදුවලට සම වැදිලනෙ හිටියෙ හනුම, අංජනම් දේවි එක්ක ගෙදර කරක් ගහන වෙලේ.

ඇයි ඇහුනෙ නැද්ද. ඔයා යාළු වෙලානම් ඉන්නෙ, ඒක හොඳ එකක් ඒක කරලා දෙන්න කිව්වා..

අම්මෝ යන්තං ඇති... මේක දැම්ම මගෙ සුදු මහත්තාට කියන්න ඕන. මං නම් පොඩ්ඩක්වත් කැමැත්තකින් නෙමේ ආවේ. කට්ටඩියො බොරුමනෙ කරන්නෙ. මටත් ඇල්ලුවෙ ගෙදර විස්තර හරියට කියපු එකෙන්.. කොහොම උනත් මගේ සුදු මහත්තය හොඳ කෙනෙක් කියල දැන් දෙයියොත් දන්නවා..

ආන් බස් එක ටක් ගාල නගින්න.. දවසෙ ට්‍රිප් එක ඉවර වෙච්ච පවුල ගෙදර එන්න බසයට ගොඩ උනා.

ගෙදර උඩ යට ගහල හොයද්දි පොඩි කොල්ලට අල්මාරියයි, ඇඳයි ළඟ වැටිලා තියෙන මාලේ හම්බවුනා.

මහතැනට රු. පන්දාහ මතක් වෙලා ඉහිලුම් නැතුව ගියා.. එත් ඉතින් දැන් කොහොමින් හරි හම්බුනානෙ කියල කරබාගෙන හිටය.

********

දවසක් ඔන්න කට්ටියම, පොඩිම කෙළි බඩට එන්න කලින් ඉඳන් පෙන්නන ටීවී එකේ කතා ටික බල බල ඉන්න ගමන් දොරට තඩි බාන සද්දයක් ආව.

ඒ චැනල් එක බලන් අයට තෑගී දෙන වැඩසටහනෙන්... බඩු මල්ලක් දීල යන්න. ඒ අයගෙ ඒවා දිහා කරන්ට් පුච්චන් බලං හිටියට. බඩු මල්ල ගන්න ගමන් කියන්න ඕන හැබැයි අහවල් චැනලය බැලුවොත් දිනුම්, බඩුම තමයි කියල. එකත් බොහොම උජාරුවට කියල තෑගී මල්ලත් අරං සතුටෙන් නින්දට සැරසුණු ගෑණු උන්ද මහතැනට මෙහෙම කිව්ව.

මං කිව්ව නේද අර ගුරුන්නාන්සේ හොඳ කෙනෙක් කියල. බලනව තාප්පෙ ගැන කිව්වා. ලොකු කෙල්ල වාසනාවන්තයි කිව්වා. ඒ හින්ද අපිට හොඳ නාමේ ලැබෙනවයි කිව්වා... වාසනාව උදාවෙයි කිව්වා. දැන්.. ඒ සේරම වේගන නෙමේද යන්නෙ ආ.. ආයේ පාරක් ඒ දෙවාලෙට යන්න ඕන. එතන හරි අනුහස් තියෙන තැනක්.. මට ඒක යනකොටම දැනුන. එහෙම කියනකොට මහතැන ගොරෝද්දෙ ඇද ඇද හොඳටම නිදි. ගෑණු උන්ද දේවාලේ පැත්තට වැඳගෙනම නින්දට ගියා.

පහුවදා චැනල් එකෙන් දුන්නු බඩු මල්ල ගෑණු උන්ද දිග ඇරලා බලන්ට හැදුවෙ ඊයෙ හිතේ තිව්න සතුට එක්කමයි.

දෙහි ගෙඩි දෙකයි, සීනී 250යි, තේකොළ පැකට් එකයි, මාරි බිස්කට් පැකට් එකයි, ඇපල් ගෙඩියයි, චැනල් එකේ නම ගහල තියෙන ලොකු ලන්ච් බොක්ස් එකයි...

ඒ අතරේ පොඩි කෙලී දුවගෙන ගෑණු උන්ද ගාවට ඇවිත් කිව්වා අම්මේ අක්ක කාමරේ නැහැ. එයාගෙ ඇඳුම් කබඩ් එකත් ඇරලා දාල. ඇදුමුත් නෑ...

ගෑණු උන්දට දේවාලේ මතක් වෙන්ට කලින් දෙලොව රත්උනා...

උදේම කඩේට ගිය මහතැන පත්තරෙත් අරං ගෙට ගොඩ උනා විතරයි පොඩි කෙලී තාත්තටත් සම්පූර්ණ කතාන්දරය පැහැදිලි කරා..

ගෑණු උන්ද තක්බීරි වෙලා දෙයියො සිහි කර කර ඉන්නකොට මහතැන ආයෙම දෙස් දෙවොල් තියන්න ගත්ත, වෙච්ච නස්පැත්තිය ගැන කියව කියව. මේ සද්දෙට ඇහැරිලා සාලයට ආපු පුත්තරය දැක්ක තාත්ත ගෙනාපු පත්තරේ දැකල පුරුදු පින්තූරයක් තියෙන වග. ඒ අර ලඟදි ගියපු දේවාලේ පින්තූරෙ. පොඩි එකා ඒක කෑ ගහගෙන ගෙදර දෙවනත් කරන තාත්තටත්, ගල් ගැහිලා වගේ දුකින් ඉන්න අම්මටත් පෙන්නුවා..

අප දේවාලයේ රන් කඩුව සොරාගෙන ඇත. එය ගත් අය සතියක් ඇතුළත ගෙනත් දෙන්න. නැතිනම් දේව උදහසට ලක්ව මහත් කරදර විඳින්නට සිදුවේ. ඒ නිසා කරුණාකර කඩුව ලබා දී මෙය ගොඩින් විසඳා ගමු.

19 comments:

  1. "එකම ගෑනු දැරිවි" වෙන්න බෑ, තව ලමයි දෙන්නෙක් ඉන්න කොට.
    "ඇයි යෝදියේ පාර අයිනෙන්...." මෙතන අවුලක් තියනවා නේද? මේක බිරිඳගෙ දෙබසක් වගෙයි පේන්නෙ. එතකොට "යෝදියේ"???

    කොහොම වුනත් කතාව හොඳයි. අර උඩ පින්තූරෙ නියමෙට ගැලපෙනවා. නමිය මේ ෂානරයට බැහිම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉපදුනු එකම ගෑණුදැරිවි බස්පා.
      පිරිමියා තමා ඒක ගෑණු උන්දැට කියන්නෙ.. බස්පා.

      Delete
    2. අර තියෙන්ටෙ අවුරුදු දාස් ගානක් පරණ උදැල්ලක් බස්පා. එක සැරයක් තලේ මාරු කරනවා. අනිත් සැරේ මිට මාරු කරනවා. එත් උදැල්ල පරණයි අවුරුදු ගානක්. අන්න ඒ සෑම්පලේ

      Delete
  2. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුනේ
    නමියා තමුන්නැහැලට කරනවා විනේ
    දඬුවම් දෙන්න ඒකට, නැති විලස සෙනේ
    දිගටම ලියන සේ 'ශාපය' කරනු මැනේ

    ReplyDelete
    Replies
    1. හත්තික්කේ දිගට ලියන දඬුවම් නම් එපා නිදියො..

      Delete
  3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි, මැතිවරණ ප්‍රකාශනයි, ඩ්‍රැකී ගේ අඩවියයි හැරුනාම, තවත් ගජබින්නාලංකාරයක් තියනවා. චන්ද්‍ර අනගීරත්න මහත්තයා ලියාපු 'නවීන ගජබින්නාලංකාරය'.

    අංජනං බලන්න දෙවියන් චාර්ජස් නියම කොරන කොට, VAT, GST, වගේ බදු වලට අමතරව දිවිය ලෝකෙට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න වෙන හින්දා currency exchange tax එකකුත් අය කරන්න වෙයි නේද??

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව් නෙව... ගොඩවැදුනට ස්තූතියි samතුමෝ...

      Delete
  4. //ඩ්‍රැකියාට නොකිය මේ වචනෙ ගත්ත එකට උන්ද පරල වෙයිද මන්ද//

    නෑ නෑ. මගෙ නෑනෙ වචනවලට පේටන්ට්.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඩ්‍රැකී දීමත් සතුටක්... එහෙමනම් තවත් සතුටුයි

      Delete
  5. සුපිරි ලිවීමක් නමී. බලමු අපේ ජහමනයාට මෙහෙම කිවුමවවත් තේරෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. තේරෙයි. තේරෙනකොට කල් ගිහින් තියෙයි හැබැයි චමින්ද......

      Delete
  6. මරු, මරු, කපුව හොඳ වෙලවට දුවලයි මහගෙයි විතරක් ඇතුලට ගත්තේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ අජිත්තුමෝ ඕක කිව්වහම වෙච්ච ඇත්තම ඔය වගේ දෙයක් මතක් උනා..

      Delete
  7. CCTV පීරිසි මෙහෙත් දැන් ඕසෙට. හරි ලස්සනට ලියලා. 👍👍👍

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලිණි.. බැරිමත් ඔය ලස්සනට ලියන එක

      Delete
  8. නියමෙට ලියල තියෙනවා, ඔහොම යං ........

    ReplyDelete
    Replies
    1. හ්ම්.. බල්මුකෝ අනුරුද්ධ තුමෝ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්