දිව්‍යමය අපාය


මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ" සඳහා පිටත් ව යමි. මා නැවත කාමරයට පැමිණෙන විට මධ්‍යම රාත්‍රි එක දෙක වුවත් ප්‍රසන්න මා එන තුරු අවදි ව බලා සිටින්නේ ය.

මා වැඩ කළ ආපන ශාලාව සුකුබාවල ජනාකීර්ණ එකක් වූයෙන් දිනකට තුන් හාරසීයයක් පමණ කෑමට පැමිණෙති. ඒ ඒ සෘතුවල එකිනෙකට වෙනස් කෑම කට්ටල හා භාජන භාවිත වන බැවින් පිඟන් දාහක් දෙදාහක් සේදීමටත් පිස දැමීමටත් අපට සිදු වේ.

ප්‍රසන්න රාජකාරි කළේ සුකුබා නගර කාර්යාලයේ සනීපාරක්ෂක සේවයේ කසළ එකතු කරන්නකු ලෙසයි. රාත්‍රි සේවා මුර අවසන් ව නිවසට පැමිණෙන අපගේ ප්‍රධාන ම මාතෘකාව ශ්‍රී ලංකාවයි. මේ තරම් ලෞකික - භෞතික සැප සම්පත් මැද අප ලංකාව ගැන සිතන්නේ කුමකට ද? ඒත් අපේ ජනප්‍රිය ම මාතෘකාව වූයේ අපේ මව්බිමයි.

ප්‍රසන්න ජපානයට පැමිණි කතාව මා පැමිණි කතාවට වඩා වෙනස් දුක්මුසු වූවකි. උසස් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබ ආවත් මගේත් මූලික අරමුණ මුදල් ඉපයීමය. අප සමග ඉගෙන ගන්නා බොහෝ අය තවත් වසරක් හෝ ජපානයේ නැවතීමට කැමැත්තෙන් සිතා මතා විභාගවලින් අසමත් වූවෝ වෙති. ප්‍රසන්නත් මමත් ඉරිදාට ඇවිදින්නට යති. ප්‍රසන්න ජපානය දකිනුයේ මට වඩා සුභවාදී ආකාරයකට ය. ඔහුගේ කල්පනාවේ හැටියට ලාංකිකයින්ට වඩා ජපනුන් විවෘත ය. ස්ත්‍රී සිරුර කිසිඳු තහනමකින් තොර ව විකිණේ. කාන්තා නිරුවතක් නැති පත්තරයක්, සඟරාවක් නැත. ප්‍රසන්න සිතන හැටියට ස්ත්‍රී නිරුවත පුරුෂ සමාගමට තහංචි නැත. නිල් චිත්‍රපට, ගණිකා සේවය තහනමකින් තොර ව ක්‍රියාත්මක වේ. ප්‍රසන්න මේවා නිරීක්ෂණය කොට ජපනා කුහක නැතැයි කියයි. ප්‍රසන්නගේ ඇතැම් තර්ක වලට මට පිළිතුරක් නැත. ඔහු නිදන රෑ යම ඔහුගේ නිහඬ සිරුරෙහි ගැබ් ව ඇති අනන්ත සිතුවිලි මම සිතින් ස්පර්ශ කරමි. ඔහු ජපානයට පැමිණියේ දෛවෝපගත සිදු වීම් අභියෝගයට ලක් කරමිනි. කොලොම්බස්ගේ ඇමරිකාව සොයා ගැනීමට වඩා ප්‍රසන්නට ජපානය සොයා ගැනීම වැදගත් විය. ප්‍රසන්න ජපානයට ආවේ ගුවනින් නො වේ. ගුවන් සේවිකාවන් පැමිණ හිස තබන්නට කොට්ටත්, සිංදු අහන්නට පුංචි ශබ්ද විකාශන පුඩුත් සැපයුවේ නැත. ප්‍රසන්න ගේ ඇත රැඳී 'පාස් පෝට්' එක 'පූස් පාට්' එකක් පමණකි. ලංකාවේ ජපන් තානාපති කාර්යාල නිල මුද්‍රාව, වීසා බලපත්‍ර, වලංගු දින, අවලංගු දින ඒ කිසිවක් එහි නැත. ලංකාවේ සිටින ජපන් තැරැව්කරුවන් මගින් විවෘත බෝට්ටුවක නැගී අති දුෂ්කර සමුද්‍ර යාත්‍රාවක ඔහු යෙදී තිබේ. ප්‍රසන්න ඇතුළු කණ්ඩායම ජපානයට පැමිණි මොහොත නිතර ඔහුගේ ආවර්ජනයට ලක් විය.

එදා වැහි බර අඳුරු දිනයකි. බෝට්ටුව මීගමුවෙන් පිටත් වීම පැයකින් කල් දමන්නට ප්‍රසන්නට අවශ්‍ය ව තිබුණි. මන්ද යත්, ඒ මොහොත රාහු කාලය වූ බැවිනි. නැකත් හා රාහු කාලය පිළිබඳ ව ප්‍රසන්න දැඩි ස්ථාවරයක සිටියේ ය. සෙසු පිරිස නිසා තම සිතැඟි සඟවාගෙන රාහු කාලයේ ම ගමනාරම්භ කිරීමට ප්‍රසන්නට සිදු විය. ලංකාවේ සිට ගුවන් යානයක් ජපානයට ඒමට පැය නවයක් ගනී. ඒ ද අධික වේගයෙන් ගමන් කිරීමෙනි. ප්‍රසන්න අප මෙන් ම ලංකාව ගැන කලකිරී සිටියේ ය. නිදහසින් පසු පාලනය භාර ගත හා නොගත් සියලු කණ්ඩායම්වලට ශාප කරමින් තමන් බෝට්ටුවට ගොඩ වූ බව ප්‍රසන්න පසු දවසක මට පැවසී ය. මුහුදු ගමන අතිශය වෙහෙසකර වූවකි. ප්‍රසිද්ධියේ කළ යුතු මළ පහ කිරීම් ආදී සකල විධ අපා දුක් මැද ප්‍රසන්න සීතල දිවයලෝකය බලා පැමිණ ඇත. පිරිසිදු කෑමක්, හොඳ නින්දක්, බේත් හේත් ආදී කිසිවකුත් නැති ව පැමිණි පිරිස කෙසේ හෝ ජපන් වෙරළට ගොඩ බැස්සවීමට බෝට්ටුකරුවා සමත් වී තිබේ. ජපනා කෙතෙක් සූක්ෂ්ම වූවත් ඔවුන්ගේ සියලු ආරක්ෂක උපක්‍රම සුන් කරමින් වෙරළෙන් ගොඩබිමටත් එතැනින් රට මැදටත් ඔවුහු සේන්දු වූහ.

රාහුගේ බල පරාක්‍රමය ක්‍රියාත්මක ව ඇත්තේ ඉන් පසුව ය. අධික කුසගින්න නිසා ඔවුහු ආපන ශාලාවකට ඇතුල් වූහ. බෝට්ටුවේ අපිරිසිදු චාරිකාව නිසා ඔවුන්ගේ ඇඳුම් දුර්වර්ණ ව ගොසිනි: කිලිටි ය. කණ්ඩායම එකටම ගමන් කිරීම නිසා ජපනුන්ගේ සූක්ෂම දෙනෙතට ඔවුන් හසු වී තිබේ. කිසිදු හේතුවක් නැති ව ඇවිදින සිරිතක් ජපනුන්ගේ නැත. මාර්ග කම්කරුවෙකු වුවත් ඇඳුමෙන් හඳුනාගත හැකිය. ඒ නිසා මේ පිරිස දුටු ජපනුන් විමතියට පත් ව ආහාර දීමට පෙර පොලිසියට දන්වා ඇත. තම මිතුරන් ආහාර පිළිබඳ ව අතින් හිසින් සංඥා කරමින් ජපනුන් හා මුහු වද්දී ප්‍රසන්න වැසිකිළියට ගියේ ය. පැය කාලකින් පමණ ආපසු එන විට ප්‍රසන්න දුටුවේ තම මිතුරන් පටවා ගෙන යන ජපන් පොලිස් වාහනයයි. නිහඬව පැමිණි ප්‍රසන්න දුරකථන කුටියකින් ජපානයේ සිටින ලාංකිකයෙකුට ඇමතුවේ ය. ප්‍රසන්නගේ වෙලාවට ලාංකික මිතුරාට එදා නිවාඩු දිනයකි. ඔහු වහා ම පැමිණ ප්‍රසන්න තම කාමරයට ගෙන ගොස් තිබේ. රාහු කාලයේ මහිමය කියන්නට ඔහු නිතර ඉදිරිපත් කලේ මේ නිදසුනයි. රාහු කාලය ඇත්තක් නම් උඹ විතරක් බේරුණේ මන්දැයි මා නගන ප්‍රශ්නයට ද ඔහුට උත්තරයක් තිබුණි.

"තව ම මගේ කතාව ඉවර නෑනේ කොයි වෙලාවෙ Immigration එකෙන් මාව අල්ලයි ද කවුද දන්නෙ"

සද පායා තිබුණි. සඳට පහළින් සීතල වලාකුළු එල්ලේ. සඳ කිරණ ජපන් භූමියට වැටෙන්නේ සීතල වලාකුළු අතරිනි. සඳ ලංකාවට මේ තරම් සුන්දර නැත. 'සඳ' ජපනුන් මැද තනි ව වෙසෙන අප මෙන් ම අහිංසකය.

ප්‍රසන්න පවුලේ වැඩිමලා ය. ඔහුට බොහෝ ප්‍රශ්න තිබුණි. ගේ දොර ඉඩකඩම් විකුණා මෙහි පැමිණි බැවින් සෑම මසක ම ඉතා විශාල මුදලක් ඔහු ලංකාවට යැව්වේ ය. 'වීසා' හෝ 'ඒලියන්' වැනි කිසි දු නිල බලපත්‍රයක් ඔහුට නොවූයෙන් ඔහු වෙනුවෙන් ඒ සියල්ල කල යුතු වූයේ මාහටය. ඔහුට ලියුම් ලැබුණේත් ,මගේ ලිපිනයටයි. නංගිලා දීග දීමටත් උන්ට දෑවැද්ද සෙවීමටත්, ගේ දොර උකස බේරීමටත් ඔහුට මුදල් රාශියක් අවශ්‍ය විය. ඒ නිසා ම උදේ 7 සවස 4 රැකියාවට අමතර ව රාත්‍රී 6 සිට 12 දක්වා තවත් රැකියාවක් ඔහු සොයා ගත්තේ ය. මා වැඩ අරී රාත්‍රී දෙකට පමණ එන විට ප්‍රසන්න උණු වතුර ස්නානය කොට හිස උණුසුම් කරමින් කියන වදන් මට නිතර සිහිපත් වේ.

"මචං මේ කෙස් යන්නෙ යෙන්වලට, සීතලට නෙවෙයි". උදේ සිට සවස් වන තෙක් කසල අදින ප්‍රසන්නට කතා බහ කරන්නට කෙනෙකු දවස පුරාම හමු නොවේ. රාත්‍රී 12 සිට 2 තෙක් පුරා පැය දෙකක් ඔහු මා එන තුරු අවදි ව සිටී. දවල් සිදු වූ සිදුවීම් පවසන්නේ මේ වෙලාවට ය. වෙනත් වචනවලින් කිවහොත් අප දෙදෙනා ජීවත් වූයේ රාත්‍රී 2 සිට 4 දක්වා පැය දෙක පමණි. සෑම උදයකම වීදිවල කුණු ගොඩවල තබා ඇති ශීතකරණ, හොඳ ඇඳුම් පැළඳුම්, ඇඳ පුටු මේස, අල්මාරි, සපත්තු, ගෘහ විදුලි උපකරණ ආදී මිල කළ නොහැකි භාණ්ඩ ගැන ඔහු මට විස්තර කරයි. ඒවා තමන් සතු කර ගැනීමට නොව ලංකාවේ දුප්පත් ගම්වලට සහනාධාර ලෙස දීමට ජපානයට නොහැකි දැයි ඔහු ප්‍රශ්න කරයි. මහ මග අතහැර දමා ඇති ලක්ෂ ගණනක් බයිසිකල්, මෝටර් රථ ගැන දුක්වන ප්‍රසන්න ඉන් ලංකාවේ දුප්පත් ගම්මානවල ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙතැයි තර්ක කරයි. එවිට ලංකාව ජපානයේ කුණුගොඩ වේ වී යැයි මා කියන විට ප්‍රසන්න ඊටත් එරෙහි වෙයි.

"උඹ පලයන් ලංකාවෙ වලපනේ රූපහ නිල්දණ්ඩාහින්න. ඔය කොළඹ තියෙන වාහන තදබදය පාරවල් පුරා වාහන එහෙ නැහැ. කොළඹයි නුවරයි ගාල්ලයි දිහා බලන විදිහට දුප්පත් ගම්මාන මනින්න එපා බං"

"ප්‍රසන්න උඹ දැකල නැද්ද මෙහෙ T.V. එකේ ලංකාව පෙන්නන හැටි"

ජපානයේ රූපවාහිනිය ලංකාව පෙන්වන විට එහි සුන්දර බව නොපෙන්වීමට වග බලා ගනී. වැරහැලි ඇඳගත් මිනිසුන් මුඩුක්කු පැල්පත් වෙරළේ මළ පහ කරන දර්ශන ඔව්හු නිතර පෙන්වති. එබඳු වාතාවරණයක දී ජපානයේ ඉවත ලබා දෑ ලංකාවට යැව්වොත් ජපනා අප ව තවත් පහත් කොට සලකතැයි මම කිව්වෙමි. එහෙත් ප්‍රසන්නගේ අදහස්වල ද ඇත්තක් තිබේ. ප්‍රසන්න කතා කරන්නේ මට වඩා දැඩි පීඩාකාරී හැඟීමකිනි. ඔහු පදවන රථයේ පසු පස කොටසේ විදුලි බොත්තමකින් ක්‍රියා කරන ද්‍රව්‍ය පොඩි කරන යන්ත්‍රයක් ඇත. මග දෙපස ජපනා තබා යන ඔවුන්ට අනවශ්‍ය අලුත් භාණ්ඩ ප්‍රසන්න දිනපතා අර යන්ත්‍රයට තබා පොඩි කර දමයි. මේ අනුභූතිය මටත් දෛනිකව ලැබේ නම් ප්‍රසන්නගේ සිතිවිලිවල සාධාරණ බව මටත් දැනෙන්නට තිබුණි. ඒවා තබා පොඩි කර දමන විට තම හදවත දැවී යන බව ප්‍රසන්න කිහිප වාරයක් ම කියා තිබුණි. "මුන්ට හිතක් පපුවක් නැහැ. මුන් දන්නව ලෝකෙ දුප්පත් රටවල්වල හැටි. මුන් පුදුම ආත්මාර්ථකාමියො. මේක සම්පත් නාස්තියක්.. "

මට ප්‍රසන්න ගැන සිහිපත් වන විට වාවා ගත නොහැකි දුකක් ඇති වන්නේ ඔහු තම දෙමාපියන්ට වඩා රට ගැන දුක් වූ නිසා ය. ඔහුට බලාපොරොත්තු රැසක් තිබිණ. තමා උපන් දේශයේ වහල් බව දීන බව ඔහුගේ උදහසට ලක් විය. ජපන් බස දේවත්වයේ ලා සලකන ජපනා ගැන ආඩම්බර විය. සිංහලයන් සිංහලයන් සමග ජපන් බසින් දෙඩීම ඔහුගේ පිළිකුලට හේතු විය. රටක් නගන්නට නම් "සිය බස" මුල් තැනට ගත යුතු බව ප්‍රසන්නගේ තර්කය විය. ප්‍රසන්න ගැන ඔබට කී තොරතුරු සමාප්ත කරන්නට මට සිදු වී තිබේ. මෙය කෙටිකතාවක් හෝ චරිත විස්තරක් දැයි මම නොදනිමි.

එදා දවස වෙනදාටත් වඩා සීතල දවසක් විය. හිරු ජපානයට පිටු පා සිටියේ ය. සුකුබා ගිරි ශිඛරය හිම තට්ටුවකින් වැසී තිබුණි. පාන්දර පහට ප්‍රසන්න අවදි ව ආහාර පිළියෙළ කළේ ය. මට තේ කෝප්පයක් සාදා මගේ පසෙකින් වාඩී වී එය මට පිළිගැන්විය. එදා තරම් සුන්දර මුහුණක් ප්‍රසන්නට වෙන කවරදාවත් නොතිබුණි.

"මචං බත් ලෑස්තියි උදේටයි දවල්ටයි දෙකටම... මචං මේ මගේ මාසෙ පඩිය. උඹට ඕන තරම් අරගෙන ඉතිරිව අපේ ගෙදරට යවපන්. මේ මාසෙන් පස්සෙ ණය ඔක්කොම ඉවරයි. නංගිලත් බැඳල, ලබන මාසෙ ඉඳල යැව්වොත් යවන්න වෙන්නෙ ලාභය".

"එතකොට උඹ කසාද බඳින්නෙ නැද්ද?"

"කවුද බං ජපානේ නාකි වෙච්ච මේ ඌරව කසාද බඳින්නෙ... "

එදින රාත්‍රීත් පසු දා උදෑසනත් අන් කවරදාකවත් ඔහු නැවත පැමිණියේ නැත. ප්‍රසන්න තම රථයට කුණු ඔබා පිටුපසට ගොස් විදුලි බොත්තම ක්‍රියාත්මක කරයි. කුණු ඇඹරෙන දැති රෝදය ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවයි. මගේ කල්පනාවේ හැටියට ණය පියවීම නිසා ප්‍රසන්න සිටියේ දැඩි සතුටකිනි. පිටිපස දැති රෝදයට කුණු තබා බොත්තම එබූ පසු දැති රෝදය ක්‍රියාත්මක ව ඇත්තේ එය ක්‍රියාත්මක කළ ප්‍රසන්නත් මස් පිඬක් බවට පත් කරමිනි. ගොමි වාහනයක සිටින්නේ එක් පුද්ගලයෙකි. පුරා පැය තුනක් ම කුණුත් සමග එකට ඇඹරෙමින් දැති රෝදය ක්‍රියාත්මක ව තිබේ.

රාහු වේලාවෙන් පැමිණ අසුබ නිමිත්ත සුබ නිමිත්ත කර ගැනීමට ඔහු දැරූ ආයාසයත් ඔහුගේ එක් ප්‍රාර්ථනාවකුත් මට සිහිවේ.

"මචං කවදාවත් ජපානෙදි මැරෙන්න හොඳ නෑ. මොකද දන්නවද ජපනෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් මැරෙනකල් වැඩ කරන්නයි වෙන්නෙ. මේක මචං දිව්‍යමය අපාය."


-           අත්තනායක එම්. හේරත් මහතාගේ කෙටිකතා පොතකින්.

අවසේස කරුණු- මේ පොත මා හට ලබා දුන්නෙ පංචතනතුරේ නිමල් දිසානායක මහතායි.

37 comments:

  1. Replies
    1. ඔව්. ලස්සන... අනුවේදනීය කතාවක් අනුරුද්ධතුමෝ

      Delete
  2. කතාව දැම්මට ස්තුතියි. නමුත් මට නම් දැනෙන්නෙ මේක ඍනාත්මක හා වැරදි අවබෝදයක් ඇති කරන කතාවක් කියලා.

    මෙහෙනම් පාරෙ ඒ විදිහට තියන්නෙ 'ඔවුන්ට අනවශ්‍ය අලුත් භාන්ඩ' නෙවෙයි, පාවිච්චි කල, අනවශ්‍ය භාන්ඩ. ඒ සමහර ඒවා සෞඛ්‍ය හා ආරක්ශාව පිලිබඳ හේතු නිසා වෙනත් අයට පාවිච්චි කරන්න නොහැකි දේවල් වෙන්න පුලුවන්. ඒ නිසා ඒවා විනශ කල යුතුයි. ඒ වගේම සමහර දේවල් council yards හෝ recycling centres වලදි නැවත තෝරා ගැනීමකට ලක්වෙලා ප්‍රතිචක්‍රීයකරනය වෙනවා. මම කියෙව්ව ජපානයෙ එහෙම zero waste ගමක් තියෙනවා කියලා https://reasonstobecheerful.world/kamikatsu-japan-zero-waste-recycling-town/ සමහරවිට මේ කතාව ගොඩක් ඉස්සර ලියපු එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් ලෝටස්තුමී. ඒත් ඕව වැඩිය දන්න කෙනෙක් නෙමේනේ 'කතානායක ප්‍රසන්න'. ඔහොම දේවල් දකිද්දී මටත් නිතැතින්ම හිතෙන්නෙ, ඒ වන දේ අපරාධයක් හැටියටයි.
      පොතේ පළමු මුද්‍රණය විදිහට සඳහන් වෙන්නෙ 2000 වසර.

      පොත ගැන මට හිතුන දෙයක් තමයි... කතුවරයා වින්ද, අහපු දේවල් පිටකරගන්නත්, හිතා හෝ නොහොතා මේ පොත ලියන්නැතිය/ ලියවෙන්නතිය කියන හැඟීම. මීට සමාන ජපානයේ ගෙවූ ජීවිතය පදනම් වූ කෙටි කතා 10ක් තියෙන පොඩි පොතක් මේක.

      Delete
  3. ලෝටස් කියන එකට එකඟයි. මම කාලයක් අපි පාවිච්චී කරපු භාණ්ඩ ලංකාවට යැව්වා. එව්වා හොඳ තත්වයෙන් තියෙන නිසා. දැන් ඒක කරන්නේ නැහැ. ලංකාවට ඕව පුරවන්නේ මොකටද කියල හිතල. බිරින්දෑ කරන්නේ එක්කෝ චැරිටි එකට දෙනවා. නැත්නම් රිසයිකල් එකට. සමහර වෙලාවට එළියේ තිබ්බම කවුරුහරි අරන් යනවා. හුඟක් වෙලාවට එහෙම අරන්යන්නේ නැගෙනහිර යුරෝපිය රටක කෙනෙක් හෝ අප්‍රිකාවේ කෙනෙක්.ඒවා අර යන්ත්‍රයෙන් පොඩි කරලා කාටවත්ම අනවශ්‍ය නම් පමණයි. ඒත් ඒ පොඩි කරන ද්‍රව්‍යත් පස්සේ රිසයිකල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් බොසා. ඒත් අපි වගේ ඈයොන්ට... නිතැතින්ම එන අදහසක් නෙව ඒ වන දේ අපරාධයක් කියන හැඟීම.

      Delete
    2. ඔය කතාව නිසාම පැහැදිලි වෙන තව පැත්තක් තියනව. ලංකාව ගැන ඇත්ත කියනවට අපේ මිනිස්සු කැමති නැහැ //වැරහැලි ඇඳගත් මිනිසුන් මුඩුක්කු පැල්පත් වෙරළේ මළ පහ කරන දර්ශන ඔව්හු නිතර පෙන්වති.// ඒ කාලේ එහෙම තමයි. ඕක සම්පුරන් ඇත්ත. දැන් තමයි අඩු. කොම්පඤ්ඤවිදියේ ඉඳන් අඟුලාන , ලුනාව පහුවෙනකන්ම (ගල්කිස්සේ හෝටලේ හරිය ඇර 0 වෙරළට පය තියන්න බැහැ කක්කා. එක පාරක් මෝදර නාන්න ගිහින් අසූචි පාවෙනවා මූන ගාවම. අසූ ගණන්වල මුල. මට වමනේ ගියා. ඊට පස්සේ ආයේ ලංකාවේ මුහුදට බැස්සේ නැහැ 2006 හෝ 08 උණවටුන පැත්තේ යනකම්ම. ජන වාර්ගික අර්බුදය යන කාලේ බ්‍රිතාන්‍යයේ පෙන්නන්නෙම 84 ජූලි. ඉතින් මෙහෙ ලංකාවේ අය බනිනවා. හැබැයි අනිත් වෙලාවට ලංකාවේ ලස්සන , හොඳ දේවල් පෙන්වනවා. කවුරුත් කතා කරන්නේ හැබැයි වැරැද්ද පෙන්වන එක. වැරැද්ද හදා ගත්තම ඉවරනේ.

      Delete
    3. ඇත්ත. වැරදි හදාගන්නෙ නැතුව... ඒක පෙන්නන එක ගැන වාදවිවාද කරනව. අඟුලාන ලුනාව පැතිවල තාමත් අරවයේ අවශේෂ ලක්ෂණ තියෙනවා නෙව

      Delete
    4. උඩ දාපු මගේ පිළිතුර ආපහු කියෙව්වහමයි තේරෙන්නේ අපි ටයිප් කරන වේගයට වචන වදින්නේ නැහැ කියල ගුගල් වල. මේ ලිපිය කියවපු නිසාම ගෙදර තියෙන පරණ බයිසිකල් දෙකක් එලියට දාන්න හිතුන කාටහරි ගෙනියන්න දෙන්න. නැමිය චිත්‍රපටයක් තියනවා හොඳ. "මට කතා කරන්න චිහිරා කියල " "call me Chihira " ජපන් ෆිල්ම් එකක්. අපිට සාමාන්‍යයෙන් පෙන්වන සශ්‍රික , ෆොසත් පිරිසිදු ජපානය නෙමේ ඒකෙ පෙන්වන්නේ. සමනය ජපානය. හෙමින් පැය දෙකක් තිස්සේ ගලාගෙන යන කතාවක්. කලාත්මක චිත්‍රපටයක්.. හිටපු සෙක්ස් වර්කර් කෙනෙක් බෙන්ටෝ කඩේක වැඩට යනව. තමන්ගේ තනිකම නිසාම එයාට අනිත් අයගේ තනිකම තේරෙනවා. පුලුවන්නම් බලල මොකක් හරි ලියන්න.

      Delete
    5. https://www.imdb.com/title/tt21825858/

      Delete
    6. //පරණ බයිසිකල් දෙකක් එලියට දාන්න හිතුන// අන්න ඒවා හොඳ වැඩ... 🙏
      ඒ නිසයි, ආයේම ඇවිදින් කොමෙන්ට් කරපු හන්දයි ෆිලුම හොයන් බාගතවෙන්ට දෑව. බලමු හිතට වැදුනොත් ලියන්ටම්. ඔත්තුවට ටැංක්ස්.

      Delete
    7. අජිත් මාමෙ, call me chihiro නියම ෆිල්ම් එක. It makes me cry😫🥺🥺🥺🥺

      Delete
    8. නවිය... ඒ ටයිප් ඒවාට කැමතිනම් ඉතාලි සිනමාකරු ෆෙල්නිගෙ Nights Of Cabiria (1957) බලන්න. නියම ක්ලැසිකක්. මාස්ටර්පීස්!

      Delete
    9. නවින් , ඔව් මම නමියට කීවෙත් අන්තිම කොටසේ ඒ කෙල්ල කියනවා මොකද්ද කලින් කරපු රස්සාව කියල. ඇහුවම - බෙන්ටෝ ෂොප් එකක කියල. . ඒක මාර සහනයක්. නැත්නම් කියන්නේ වෙන්නේ සෙක්ස් වර්කර් කෙනෙක් කියල. එතකොට කිසියම් විධිහකින් වෙන ප්‍රශ්න එනවා. අනික තමයි එයාගේ තනිකම සහ ඒ නිසාම ඒ වගේ තනිකමින් නොසලකා හැරීමෙන් පිඩා විනිදනා අය එයාට දැනීම

      Delete
    10. නමි, ඒකේ trailor එක බැලුවා. ඒච්චරම set උනෙ නෑ..

      අජිත් මාමෙ, ඔව් අනිත් එක එයා තව ජීවිත ටිකක් ලස්සන කරලා ඒ ටික අත ඇරලා ගියපු එක එහෙම🥺

      Delete
    11. උඹ මං කියනවට බාගෙන බලහංකො

      Delete
    12. නමියට මම මේක ලීවද කොහෙද. රුසියානු භාෂාවෙන් ඉදි ස්මත්‍රී -කියල චිත්‍රපටයක් තියනව. come and see . ඉංග්‍රීසි සබ්ස් තියනව. ටිකක් අමාරුයි බලන්න. නමුත් දැන් රුසියානුන් යුක්රේන් වල මරාගෙන මැරෙන එකට පොඩි හේතුවක් හොයා ගන්නත් පුළුවන්. ඇත්ත කතාවක්. ජර්මන් හමුදා රුසියානු හමුදා පරාජය කරමින් යනකොට පිටු පසින් ගියේ SS නට්සි හමුදාව. (පැන එන ජරම්න් සොල්දාදුවන්ට වෙඩි තැබීමට අමතරව "මුදාගත් " ප්‍රදේශ භාරව හිටියේ SS හමුදා. නට්සි පක්ෂයේ හමුදාව. උන් ගම් 628 ක මිනිස්සු පල්ලි වලට ගාල් කරලා ගිනි තිබ්බ. ඉන් එක ගමක් ගැන කතාව. චිත්‍රපටියේ SS භටයෝ එක්ක කළු ඇඳගෙන ඉන්නේ යුක්‍රෙනියන් එවුන්. යුක්රේනියන් නැෂනලිස්ට් ලා තමා පරිවර්තන කලේ හා අතුරු හමුදාව ලෙස හිටියේ. https://www.youtube.com/watch?v=zjIiApN6cfg

      Delete
  4. කතාව රසවින්ඳා. "ඔන්න ඕකෙ නෙව, මම නොයන්නෙ?" කියල හිත හදාගන්න නං අපූරු කතාව.🤔
    https://www.youtube.com/watch?v=THcKJpXwqVM

    ReplyDelete
    Replies
    1. එක හුස්මට කියෙව්වා. පෝස්ට් එකක් විදිහට නං ඉහලින්ම සාර්ථකයි නමියො. ස්තූතියි. 👌🙏😊

      Delete
    2. ස්තූතියි බස්සතුමෝ!🙏 ඒකෙන් කොටහක්... නිදි ලොක්කටත් යනවා හිටං

      Delete
  5. දන් දුන් නිසා පොත හිතවත් නමියාට
    ලොකු සේවයක් සැලසී ඇත රසිකයට
    පෙළඹේවා ඔවුන් තව තව කියවන්ට
    ස්තුතියි නමී මා ගැන සඳහනට

    ReplyDelete
    Replies
    1. නමී, ඒ පොතේ නමත් දිව්‍යමය අපාය නේද?

      Delete
    2. ඔව් නිදිතුමෝ. ස්තූතියි කයියටත් 🙏

      Delete
  6. සෘණාත්මක කතාවක්. මට පේන්ඩ බෑ ඔය අත්තන ඇට හේරතය...!

    ReplyDelete
    Replies
    1. හ්ම්. පොඩි සෘණාත්මක ගතියක් තියේ තමා ඩ්‍රැකීතුමෝ. ඒත් මට මේවයෙන් එක දෙයක් පේනව. ලෝකෙ මිනිස්සු කොටහක් ජීවත් වෙන්න, තම හීන වලට යන්න කොයිතරම් දුක්ගැහැට විඳිනවද කියලත්

      Delete
    2. ඒක වෙනයි. නමුත් ප්‍රසන්න හරහා මතු කරන්නෙ (හැබෑට ඔයිට වඩා හොඳ නමක් තිබුණෙ ම නැද්ද?) දියුණු රටවල් තුන්වෙනි ලෝකය දිහා බලන අවතක්සේරු බැල්ම එක්ක එන කළකිරීම නෙ. ග්‍රේඩරයකට තමන්ව ම විසි කරගන්න තරම් කළකිරීමක්...!

      Delete
    3. (හුම්. ප්‍රසන්න නම වෙනුවට වෙන ආදේසකයක් හරි දාන්ට තිව්න හිටන් 😂).
      ඇත්ත. පොඩි... නෙගටිව් අස්පට් එකක්නම් තියෙනව තමා.

      Delete
    4. ප්රසඥ්ඥ,
      https://www.google.com/imgres?imgurl=https%3A%2F%2Fmedia.tenor.com%2FnCOq-EcHKXoAAAAC%2Fpush-push-me.gif&imgrefurl=https%3A%2F%2Ftenor.com%2Fview%2Fpush-push-me-pushmepullyou-gif-23839945&tbnid=vAJ6hlh3XxfA5M&vet=1&docid=n8-C9FwXgyzDAM&w=498&h=498&itg=1&source=sh%2Fx%2Fim

      Delete
    5. නමි, මොන එකක් ද මංදා, මට සමහර දේවල් පේන්නෙ ම හරහට. මගෙ කමෙන්ට් එකත් සෘණාත්මකයි කියල දැන් හිතෙනව.

      Delete
    6. ප්රසඥ්ඥ 😂 - ඒක මාර පොටෝ එකක් නෙව

      එහෙම එකක් නෑ ඩ්‍රැක්ස්. දැනුන දේ නෙව කීවෙ. මටත් පොඩි සෘණාත්මක ගතියක් තියෙනව නේද කියල හරියටම දැනුණේ... Lotus, අජිත් ඔහේ කියපු කොමෙන්ට් ගැන හිතපුහාම. මේ පොඩි පොතේ කතා 10මත් ඒ වාගේ.

      Delete
  7. එන්ඩ් එක ටිකක් අවුල් වගේ මේකෙ.
    මොනව උනත් අර බෝට්ටු කාරයනං වැඩ්ඩෙක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්.
      අපේ ඇම්ඩලා... රේඩාර්වලටත් අහුවෙන්නෙ නෑනෙ පෂාබොෂා 😂

      Delete
  8. Replies
    1. බස්සෙකුත් බ්ලොගෙ මකුළුදැල් කඩලා ගත්තු එකේ... නවීන්තුමත් ඒ සාවිය අස්පස් කරල ගත්ත නම් මොකෑ

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්