මට මේ ලඟදි අපි හැමෝම දන්න කතාවක් වගේම කියන්න මගහරින/ අමතක කරන කතාවක් ගැන ආයෙ මතක් වුනා. SEX FACULTYයේ චින්තනගෙ බලපු podcast එකකින් තමයි මේක ආයෙම මතකෙට ආවෙ. චින්ත ඒකෙ කතාව යන ගමන් Populism ගැනත් කතා වුනා. සර්වජන ඡන්දය, ප්‍රජාතන්ත්‍රවාදය, බහුතර මතය.

මේ වචන වල අයිසිං ඒකට යටින් වහල තියෙන බොරුව කොච්චර විසාලද...

උසාවියක නඩුකාර උන්නාන්සෙලාගෙ ඔළුගෙඩි ගානද වැඩි , මෙලෝ අලබෝලයකට නැති උදවියගෙ ඔළුගෙඩි ගානද. පාසලක, සරසවියක වැඩි සිසුන්ද- ගුරුවරුද. ලෝකෙ වැඩි... චින්තකයින්/ මුනිවරු කියන කොටහද, නැහ්නං සාමාන්‍යය ජහමනයද

හුම්! ලංකාවේ ජනගහනය කොටි 2 පන්නලා බවයි කියවෙන්නෙ. ඔය දෙකෝටියක් ඉන්න රටේ ඊයේ දිනයේ, ඒ කියන්නෙ 2026 සැප්තැම්බර් 12 පක්ෂ රැළි දෙකක්.  මහ රැළි කියලයි එයයි කියන්නෙ.

එක් පසෙකින් රට බේරාගත් නරපතියාගේ කඳවුරය. අනෙක් පසින් චෝර දණ්ඩන කඳවුරය.

එක් පසෙකින් සිරගත, අනාගත යුවරජුගේ රැළියය. අනෙක් පසින් වර්තමාන ජනපතිගේ රැළියය.

දෙපසම තම ගැලවුම්කාර ස්වාමියා දැකගනු රිසියෙන් රැස්වූ... හිස් ගෙඩිය!

 

මගෙන් මේ දෙකෙන් කොයිකටද ආස කියල ඇහුවොත් එකහෙලාම කියන්නෙ අනුර ජනපතිගෙ රැළිය... කියල නෙවෙයි, නාමල් බේබිගෙ එළකිරි රැළිය කියල. ඇයි කියන්නෙ... ගොඩක් මිනිස්සු කානිවල් එහෙකට ගියා වගෙ නෙ.


අර සිංදුවක් තියෙන්නෙ. එන්න කන්න බොන්න මිහිරේ, සැමටයි ආරාධනා කියල. ආන් ඒකෙ වගෙ. කස්ටියට හිතේ සංකා දුක් අඩුකරගන්න, ලල් එකක් ගන්න, කට්ටිය එක්ක සිංදුවක් කියන්න, ජීවිතේ විඳින්න, සෙට් වෙන්න, බොන්න, කන්න, රටට HUඛන්න... ඇතුළු තවත් බොහෝ දේ කරගන්න හම්බෙන්නෙ ඉතිං මේ වගෙ රැළියකින් නෙව. අනෙත් රැළියෙ මේවා නැහැයි කියල නෙමේ මෙ කියන්නෙ. අරට වඩා මේක බොහොම සාර සොබාවට, ලකේට තිබිල තියෙනව. කොටින්ම හාංදුරුවො පන්සිල් දෙනකම්වත් ආතල්නං පමා වෙලා නෑ. සුරාමේරය ආගමික වතාවත් වලටත් කලින් සම්මාදමේ ගිහින්.

ඊට පහු තමා ආතල්ම කොටස. ගමෙන් සංවිධානය කරල, බස් එකෙන් ඇවිත්... සූර් වෙලා ඉන්න  සින්හිල බයි සෙට් එක අඩ සිහියෙන්ස්ටේජ් එකට බැලුම් හෙලනව. හම්මට! මෙන්න ඉන්නව බඩු කෑලි සෙට් එකම. කොටි එක්ක හැප්පුන මෛන්ද මහරජානන් වහන්සේයි, මං කොටියය කියල බෙරිහන්දෙන මන්ත්‍රීයි... එකම අසුනෙ ඉඳගෙන යනව. ඊට එහා අසුන්වල විජාතික බලවේග/ ඩයස්පෝරා හෙලා දැකපු වීරවංස, ගම්මන්පිල උපාසක දෙනාම.

සැදැහැති ජාතිමාමකත්වය හිරු රැසින් වාෂ්ප වෙන්න ඇති. නැත්තං අරවගේ අට්ටාලයක් ඉස්සරහ රෙද්දක් ඇඳගෙන ඉන්න පුලුවනෑ මෙලො මිනිහෙකුට. රජා ඉස්සරහ තියාගෙන අරුන්ද කියනව අපි ඩයස්පෝරා තමයි හිටං කියල. මෙහෙමත් නාලාගිරි දමනයක්. මිනිස්සු සූ ගාල ඕසේට අප්පුඩි ගහනව. ඒක අතකට හිතන්න ඇති බුලත්කොලේ උප සභාපතිකම කරුණා අම්මාන්ට හොඳයිනං... මේ හාදය අපෙ අප්පච්චි ගාව ඉඳගත්තම මොකද හිටං කියල.


පක්ෂ රැස්වීමකට පැමිණි ඔළු ගෙඩි ගණනින්ම රටේ ඉදිරි දේශපාලනය කොයි වගේද කියල කියන්ට බැරි නමුත් මේ සියලු දෙනා හා මෙයාකාර මොඩලයේ අන් සිරි ලාංකිකයින් සියලු දෙනාට ඡන්ද බලය හිමිවීම... රටේ වාසනාවකි.

පාණ්ඩුව නඩු කරේ තියන් යනව. බේබිගෙ විපක්සෙ මිදි කරේ තියන් යනව.

අවසන ගහපු බේරෙත් නැතුව බෙරේ පලුවකුත් නැති නොවේවායි පතනව හිටං

සුබ අනාගතයක්!

Blog නිර්මාණය කලේ පිරිසිඳු හෙළයන්ය. “බ්ලොග්” පද නිරුක්තිය බ් - බලන්නා. ලොග - ලගින්නා. බලලා හොඳනං ලැගගෙන ඉන්නවා අර්ථය ඇතිව... ආන් ඒ විදිහට තමා බ්ලොග් කියන එක ලෝකෙට නිර්මාණය වුනෙ 😁. පස්සෙ විදේශිකයන් අපෙ තාක්ෂනයත් එක්ක බ්ලොගේ අයිතිකාරීත්වයක් හොරාගත්ත නෙ 😪. හුම්, මොනා වුනත් සාඩම්බර අතීතයක් හිමි උන්දල අපි!

මාත් බ්ලොගක් පටන්ගන්න හිත හිතා ඉන්නකොට ඒකට පොඩි උත්තේජනයක් ලැබුවේ හිටං ඔය විදිහෙ... නිසරු රසකතා ලියා තියෙන වර්ගපූර්ණිකාබ්ලොග හන්ද.

ඔඩ්ඩි යක්කු, ක්ලෝන් හෙළ තාක්සනය, හෙළ මුස්ලිම්වරු, දේශීය මිසයිල, ඇබොරුන්ගේ නිජබිම, නීට්ටෑවන්ගේ ජාන, කන්‍යාවියක් ලවා පයින් ගස්සවා ගැනීම... මරු ආතල් එකක් දුන්නෙ 😂 😂

ලඟදි මේව ආයෙම මතකෙට ආවේ වර්ගපූර්ණිකාව FB එකෙ දාල තිව්න පෝස්ටුවකින්. ඒ එක්කම මම කියව කියවා හිටි ලිපි, බලාන හිටි vlog / Podcasts වල කතා වුන මාතෘකා කීපයක්  තමයි... විශ්වයේ පැවැත්ම, පරමාණුව, පෙර - අපරදිග දැනුම. මේවා ගැන ඉතිං මං දන්න ඇටි කෙහෙලක්නම් නෑ. ඒත් වඳුරු සිරිතද මන්ද මේව කරලියට එනකොට ඉඳල හිටලා පොඩි ඇහැක්, කනක් දාල බලනව 🤭

broadcasting සිට narrowcasting දක්වා ආවයි කියල තමයි කාරනා දන්න අය කියන්නෙ.

හැමෝටම බලන්න, කියන්න තිබ්බ ප්‍රධාන නාලිකා වෙනුවට ජාලේට පින්සිද්ධ වෙන්න, තනිවම / කුඩා කණ්ඩායම් විදිහට කස්ටිය... දැන් ඒ අයගේ අදහස්, මතවාද ප්‍රචාරය/ විකාශනය කරනව. ඇත්තටම ඒක එකඅතකට ඉතාම හොඳ ප්‍රවනතාවක්. මොකද යම් විෂයක් ගැන හොඳ ප්‍රාමාණිකයෙක් T.V- Radio එකේ කතා කරනකම් හෝ ඔහුට කතා කරන්න අවස්තාව හම්බුවෙනක්ම් ඉන්ට ඕන නෑ. ගත්ත තමන් ළඟ තියෙන පෝන් කටුව. හැදුව වීඩියෝවක්/ පොස්ටුවක්. දැම්ම Internet- YouTube. තමන් දන්න දැනුම අනික් අය අතරෙ බෙදාගන්න පුළුවන් වෙන අතරම එයින් ආදායමක් උපයගන්න පුළුවන්කමත් දැන් තියෙනව නෙව.

උතුරැකුරැ දිවයින හා Atlantis දේශය

ය්‍රටෝපියාව හා කේතුමතී

පරමාණුව හා ශුද්ධ අංශුව

ත්‍රිමූර්තිය හා Trinity

සියුස් හා මහාබ්‍රහ්ම

මැමත් සහ සද්ධන්ත ඇතුන්

සෛන්දව අශ්ව සහ unicorn

ශිවලිංගය හා ආදම් උයනේ ඇපල් ගෙඩිය

දෙයියෝ සහ Aliens

 

කාලයකට කලින් ඉංග්‍රීසි හා ඉන්දියානු podcast කීපයක්ම දැකගන්ට හම්බුනා ඉතාම හොඳට... භාරත ඉතිහාසය, වේද - වේදාන්ත, එතකොට ආගමික සංස්ථාවෙන් යටපත්වුනු එහි දාර්ශනික පසුබිම, ශිවලිංග හා පැවැත්මේ හටගැනීම සහ තවත් මාතෘකා ගැන විද්‍යාත්මක හා විශ්ලේෂණ කරන ඒව. දැන් සිංහලෙනුත් මේ දේවල් ගැන කතාබහ කෙරෙන podcast හිටං තියෙනව නෙව. ඉස්සරම නම් ඉතිං ජාලේ මේවා ගැන බලන්න/ කියවන්න තිබුනෙ ටිකක් අඩුවෙන්. හැබැයි ඉතිං ඉස්සරත්, දැනුත්... අයිසිං තලිය අතෑරල කේක් කෑල්ල හොයාගන්න එක ටිකක් විතර අපහසුයි.

සත්‍යය පසු පස්සෙන්ද, සත්‍යය පහුකරගෙන යමින්ද මන්ද... බොරුවත් ඒ එක්ක එන සිරිතක් තියෙනවනෙ කොහොමත්. අර කතාවක් තියෙන්නෙ සත්‍යයට හෙළුවෙන් ගමන් කරන්න පුළුවන් වුනත්, බොරුව ඊට කලියෙන් සත්‍යයේ සළු ඇඳගෙන දුවන් යනවයි කියල.

Parody, සුරඟනා කතා, Bullshit, යාන් කතා, ගොතන කතා ඇතුළු අටෝරාසියක් කතා වලට ලේ කෝපකරගන්නෙ නැතුව, ගහමරාගන්නෙ නැතුව, ඇත්තට හෙළුවෙන් හරි යන්න දීල... ගඟ දෙබෑකරගෙන එන නයි රෙද්ද අස්සෙ දාගන්නැතුව, දේව අනුහසින් පමණක් ලෙඩ සුව කරගන්න යන අයට පාර වහන්න පුළුවන් නං නෙ.

පස්සෙ අපේ රටටත් ආවත්... සකුරා මල් පිපෙනව කියල කියමනට අපි කියන්නෙ ජපන් රටේ කියලයි. එතකොට කොහොමෙයි සකුරා මේ දේසේ හටගන්නෙ. ගීතයේ පද පෙළ ගත්තොත් මුල ඉඳලම අපබ්‍රංසයක්!


මුළු සොබාදහම කණපිට හැරිල... සාගර පතුලෙන් පටන්ගෙන පොළොවේ ඉඳල හඳ, තරු අතරට යනකම්. නෑ ඊටත් එහා... දිව්‍යලෝකෙ වෙනකම්. මුලු ලෝකෙම විපරිත වෙලා! ගස්, මල්, කුරුල්ලො, සතා සීපාවා, හඳ, තරු, මිනිස්සු ඔක්කොම රුයිතෙට. කොටින්ම කියනවනම් දෙව්ලොව දහම් සාකච්ඡා කරන... සුදම් සභාවෙත් ගැටලු.

 

ලෝක විනාසයක් ගැනද, සමාජයේ තියෙන අවුල ගැනද ??

 

ගීතය ලියාපු සුනිල් ආරියරත්නතුමා නං කියලා තියෙන්නෙ එකම සාම්පලේ වට්ටෝරුවට විරුද්ධව වගේම කවුරුත් නොලියපු පන්නෙ එකක් ලියන්න ඕන නිසා මේ පද පෙළ ලියවුනාය කියල. විප්ලවීය මතවලට උදව්දෙන විදිහට ලියවුනු බවකුත් ඒ අතරේ කියවෙනව. ඔහුගෙ පළවෙනි ජනප්‍රිය ගීය මෙය බවත් සහ මේ පදරචනාව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවත් සඳහන්. ඒ වගේම සිංහල ගී ක්ෂේතයට මේ වෙනස අලුත් උනත් ජනකවි වල මේ වාගේ අභව්‍ය සිද්දි ගැන කියවෙන ආරේ ඒවා ලියවිලා තියෙන බව තමයි එතුමානං කියල කියන්නෙ.

 

හුම් ඒ කෝම උනත් පිට දීපංකරවල මේ ආදී මායා යතාර්තවාදයට/ ෆැන්ටසියට වැටෙන... චිත්‍රපට, ගීත, චිත්‍ර, කෙටි - දිග කතා ආදී කළා නිර්මාණ බොහොමයි. ඒ නිසා මේ වගේ රාමුවෙන් එපිට වෙන නිර්මාණ වෙනසකටත් එක්ක අගෙයි. සහ මම දන්න හැටියට මේ ගණයට වැටෙන තවත් සිංහල ගීත නැහැ හෝ නැතිම තරම්.

 

ගීතය පටන් ගන්නෙ අර කීව වගේ ලංකාවේ හට නොගන්න මලකින්. එතන ඉඳන් අර කලින් කියාපු විදිහට පද රචනාවේ  හැම පේලියකින්ම කියවෙන්නෙ විකාර රූපී සිදුවීම් පෙළක්. ඒ හැර අදහසක් හෝ නිසි අර්ථයක් පද පේලියේ නෑ.


 

සකුරා මල් පිපිලා, ඒකත් නිලට තියෙන වනයේ. උදේට පායන ඉර, රෑ අහසට ඇවිදින්. - සොබාදහම විපරිතයි.

 මාලු වෙරළේ ඇවිදිනව. නයි, පිඹුරෝ, සිංහයෝ ආදී ගොඩබිම වාසී සත්තු අහසෙ නටනව - සත්තු විපරිතයි.

 බෝනික්කෝ පාසල් යන අතරේ, පොඩි කුරුල්ලො වර්ගයක් කූඹි ළමයින්ට උගන්වනව. - සමාජයේ system එක විපරිතයි. 

අහස කඩාගෙන වැටෙනව. හඳ වයසට ගිහින්. දහම කතාකරන දිව්‍යලෝකෙ ගැටුම් - ලෝක පාලක ධර්.ම විපරිතයි.

 

රූපක, සංකේත භාවිතයෙන් කියාපාන්න ඕන... ව්‍යවුල් බව/ විපරිත බව පද පෙළට අපූරුවට එකතු කරල තියෙනව. ඒ වගේම ඊට හරියනම විදිහේ සරල තනුවකින්, වාද භාණ්ඩ කීපයකින් සංගීතවත් කරලා ගායනා කරන නන්දා මාලිනීයන්ට හැකි වෙලා තියෙනව. වෙනස් තාලේ, කවුරුත් දන්න සිංදුවක් නිවාඩු පාඩුවක රස විඳිමු.

 

සමහර විට, අහස අතුරුදහන් වුන දවසක... සකුරා මලක් හුළඟට පාවෙලා ඇර තියෙන කවුළු පියන් දිගේ එන්න බැරිකමක් නෑ!

පව් කමා කිරීම

පල්ලියේ පාපොච්චාරණයට ගිය තරුණයට එදා father වෙනුවට sister කෙනෙක් ඉස්සරහා තමයි තම පව් කමා කරන්න වුනේ.

"සිස්ටර්, එක වැහිබර දවසක සීතල වැඩි කමට අපේ තරුණ ඉංග්‍රීසි ටීචර් එක්ක මගේ අතින් වරදක් වුණා. තවත් වැස්ස දවසක මම විතරක් ඉන්න වෙලාවක  ගෙදරට ආපු නෑදෑ ඇන්ටි කෙනෙක් එක්කත් ඒ වගේම වරදක් වුණා.

පස්සේ දවසක ඉස්පිරිතාල වාට්ටුවේ නර්.ස් කෙනෙක් එක්ක තනිවුන වෙලාවකත් මට හැඟීම් ඇවිස්සිලා ඇයත් එක්ක වරදේ බැඳුනා!

කොල්ලා තව විස්තර කියන්න හදනකොටම, එළියේ අහස ගොරවන සද්දේ ඇහුණු සිස්ටර් කලබල වෙලා මෙහෙම කිව්වා..

“හරි හරි... ඔය කරපු පව්වලට මම දිගටම යාඤා කරන්නම්. කරුණාකරලා ඔයා වහින්න කලින් ගෙදර යන්න!”

 


ගව රෝගය

පිස්සු ගව රෝගය ගැන පශු වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡාවක් කරන්න නිවේදිකාවකට සිදුවුනා.

නිවේදිකාව: ඩොක්ටර්, ඇත්තටම මේ අහිංසක එළදෙනුන්ටත් පිස්සු හැදෙනව නේ. ඇයි ඒ?

ඩොක්ටර්: ඊට කලින් මට කියන්න බලන්න එළදෙනෙක්ගෙන් දවසකට කී පාරක් එළදෙනුන්ගෙන් කිරි දොවනවාද?

 නිවේදිකාව: දවසට එකපාරක් හරි දෙපාරක් හරි වගේ...

ඩොක්ටර්: හරි, එළදෙන්නු පට්ටි දාන්නේ කී පාරක්ද?

නිවේදිකාව: අවුරුද්දකට එක පාරක් වගේ නේ..

ඩොක්ටර්: ඉතින් හිතන්නකෝ... දවසට දෙපාරක් තනේ අතගාලා, අවුරුද්දටම එක පාරක් පට්ටි දැම්මම මොන වැස්සිටද පිස්සු නොහැදී තියෙන්නේ?


සෑම දෙයකම මුල... නව ආරම්භයක් කියනව නෙව. ඒත් ඔය නව ආරම්භ කියන ඒවා මහ අමාරු වැඩ. ලොකු ජවයක් ගන්න ඕන අලුත් වෙනසකට. පාඩම් නොකර ඉන්ට හාදයෙක් පාඩම් කරන්න පටන් ගන්න එක කොච්චර අමාරුද කියල අපි හොඳ හැටි දන්නව නෙව.


ඒවාගේම ජීවිතේට ජිම් එකක් ලඟින්වත් නොයන කෙනෙක් ජිම් එකට යන්න පටන් ගන්නත්, කෑම ලෝලියෙක් එක වේලක් නොකා ඉන්න දරන උත්සහයත්, බේබද්දෙක්ට නොබී එක දවසක් ඉන්නත්..... ආදී ඔය කීව නොකීව හැම එකක්ම හරි අමාරු වැඩ. ඒ කියන්නෙ දෙයක් අලුතින් පටන් ගන්න එක අමාරු කටයුත්තක්ම තමා! ඒත් දෙයක් අලුතින් පටන්ගන්නවටත් වඩා අමාරු කටයුත්තක්ද මන්ද... ඒ දෙය පවත්වාගෙන යෑම. දවසක් කොහොම හරි තටමල තටමලා, අමාරුවෙන් පැයක් වේලපහ නැටිට්ටට මොකද මේක දිගටම කරන එක ඊට සමාන නෑ. ඒ කියන්නෙ ඊට අමාරුයි. අමාරුයි කියන්නෙ මාරම අමාරුයි. අම්මප!

බොරුද කියන්නෙ? දැන් මේ blog එකක් පටන්ගත්ත වගේද මේක nonstop ලියාගෙන යන එක. මාර අමාරුයි!

මේක ගැන නිකමට ලියලවත්, බැඳිල තියෙන මකුලුදැල් ටික කඩලා දාන්න කියල හිතුන... මේ ලඟදි ඇතුවත් බැරි නැතුව කොහොමත්ම බැරි, වැඩක් ගන්න මනුස්සයෙක්ට නිදානයක් වෙන social media එකේ සැරිසරදී මුණගැහුණු ඉංගිරිසි වචනයක් හන්ද. කොන්සිස්ටැන්සි. Consistency.

මේ consistency/ අඛණ්ඩතාවයට මානසික උත්තේජනයට විතරක් තිබීම නොසෑහෙන බව තමයි විද්‍යාත්මක සටහනක තිවනෙ. වැඩිදුරටත් කියල තිවන ක්‍රමවත් system එකක් තිබීම තමයි පිළියමක් කිරීමේ ආරම්භය කියලත්. ආයෙ කියල තිබ්බ දිගට එකම ක්‍රියාව එකම වෙලාවේ නැවත නැවත කරද්දී මොලයේ Habit Loop එකක් හැදෙනව කියල හිටං. මේක වර්.ධනය උනහම නිරුත්සාහිකවම ඒ දේ කරන්න ඇහැකිලු.

 

ආන්න ඊටත් පස්සෙ පුලුහං අර ලූප් එක ගලෝගන්න පුප දාගෙන ආයෙම වෙන අඛණ්ඩතාවයක් පවත්වාගෙන යන්න. ඊටත් පස්සේ පුලුහං ඒ ගලවන්න ගත්ත අඛණ්ඩතාව ගලව ගන්න තව අඛණ්ඩතාවයක් පවත්වාගන්න. ආයෙම....... 😂

කෝම උනත් කියන්ට ඕන අඛණ්ඩතාවය පවත්වාගැනීම අපහසුයි. කරොත් මරු!


පෙරදා මහ රෑ, මා සිහිලැල් උර මඩලේ, මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන...

 

ලඟදි නන්දා මාලනියගෙ සින්දු කීපයක් එකදිගට වාගෙ, නිදහස් වෙලාවල play උනා. ඇයගෙ ගොඩක් කතාබහට ලක්වුණ ගීත ගත්තොත්... ඒවා රැඩිකල්, වාමාංශික මතවාදී/ දේශපාලනික අදහස් තියෙන ඒවා කියල තමයි පරසිද්ධ අදහස. ඒත් අරතරමින් කතා නොවී යටගිය ඒවා අතරේ ලස්සන love songs ටිකකුත් තියෙනව. මේ පොකුරේ තමයි නන්දා මාලනියගෙ ලස්සනම/ හිතට වදිනම ගායනයන් තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ. දෙකතුනක් මතක් කරොත්...

 

ගජමන් නෝනාගෙ ඇහින් ලියවුන... ආදරේ කවියක්, සැඳෑ කලුවර කුර ගගා විත්,  ඔබයි රම්‍ය සඳ කිරණ, කඩමණ්ඩියේ, හදවිල කළඹන, ලොවම එපාවී, යොවුන් වසන්තයේ, අරලිය ලන්ඳට වගේ ටිකක් තියෙනව.

 

ඒ අතරේ ගීයක් තමයි මේ ස්ටැන්ලි පීරිස්ගේ මියුරු සංගීතය එක්වුනු සුනිල් ආරියරත්න පබැඳුව... පෙරදා මහ රෑ.

 

මේ සිංදුවේ පද එක්ක ඔලුව වැඩ කරද්දී මුලින් හිතට ආවේ මේක පිරිමි ගායකයෙක්ට ලියපු සිංදුවක් කියලයි. එහෙමත් නැත්තං පිරිමි ඇහැකින් ලියවිච්ච පද පෙළක් කියලයි. මොකද "උර මඩලේ... මුහුණ හොවාගෙන ළසොවින් වැළපුන... ඔබ" කොටස කියන්නෙ සාමාන්‍යයෙන් පිරිමියෙක්, කාන්තාවකටනෙ.

 

මූණ උරහිසේ ගහගෙන අඬන්නෙ ගෑනුනෙ හිටං... 😆

 

හුම්: අඬන්නෙ ගෑනු විතරමද හිටං. දෙතුන් සැරයක් මේ සිංදුව කන ළඟ repeat වුනාට පස්සෙ අර මුලින් ආව අදහස ටිකක් යටගිහින් මෙහෙම හිතුන. දීපියාගේ සිංදුවකත් තියෙන්නෙ... වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද කියල. ආන් ඒ වගෙ අඬන්නෙ කාන්තා පාර්.සවය විතරද කියල ඊළඟට හිතුන. ඇත්ත නෙවෙන්න.

 

ළමයෙක් උපදිනකොට ඕක බලන් ඉන්න කොහෙ හරි කාන්තවක් ඇස්වල කඳුළු පුරෝගන්නව. ළමයාගෙ අම්ම හරි අඬනව. ආයෙ ළමයෙක්ට ලෙඩක් දුකක් හැදුනමත් අඩන්නෙ කාන්තාවක්. කවුරුහරි මැරුණමත් ඉකි ගගහා අඬනව දකින්න හම්බෙන්නෙ කාන්තාවන් පිරිසක්ම තමයි. මේ ඇතුලු හැම හැඟීම්බර අවස්ථාවකටම ඇස් තෙමාගන්න ඉස්සර වෙන්නෙ කාන්තාවක්.

 

එතකොට දුක දැනෙන්නෙ අංගජාතයක් නැති පාර්.ශවයට විතරද. හිනාවෙන්න, සතුටුවෙන්න, ලව් කරන්න, sex කරන්න, කෑම උයන්න මේ දෙකොටසටම පුළුවන් වෙනකොට පිරිමිය අඬන්නෙ, දුක් වෙන්නෙ නැද්ද. ඇත්ත... පිරිමි හිතක් හරි හයියයි කියල ලේබල් වෙච්ච සමාජේ, මේ සිංදුවේ පද පෙළ එකපාර ඇහෙද්දී එකපාරටම කාට උනත් සැකයක් එන්න පුළුවන් තමා...

 

ඒත් ඉතිං මේ විදිහට අඬපු පිරිමි පරානත් මේ ලෝකෙ කොහේ හරි ඇති නේ හිටං.

 

හැංගිලා, කළුවරේ අඬන පිරිමි හිත්. හයිය පිරිමි හිත් සමහර විට මේ වගේ සුකොමළ ලඳක්, ආදරියක් ළඟ ලෝකෙට රහසේම දුක දිගහරින්න පුළුවන්. මොකද ජීවිතේ වෙහෙස දැනෙන්නෙ කාන්තාවන්ට විතරක්යැ!

  

පෙරදා මහ රෑ

මා සිහිලැල් උර මඬලේ

මුහුණ හොවාගෙන ළසොවින් වැලපුණ

ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය

කඳුලක කැළලක් ඉතිරි වෙලා


උරහිස තැවරී වියළුණු කඳුලෙන්

ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත

සදා දැවෙනෙමි ඒ ගින්නෙන්


ඔබ හට පෙම් කල යුගය නිමා කර

වෙන්වී යන්නට දවස පැමිණ ඇත

සමාව දෙන් මට සෙනෙහෙ සිතින්


පෙරදා මහ රෑ...

 

ගායනය - නන්දා මාලිනී

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ස්ටැන්ලි පීරිස්


රැස්ව සිටින දහසක් හදවත් එකම සමාධියකට සමවදින මොහොතයි මේ. මුලු ශාලාවම ඉඳිකටු තුඩක් බිම වැටුනත් එය හෙන හඬක් වන තරම් නිහඬය. මහා සංගීතඥයා වාදනය පටන් ගැනීමට තව ඇත්තේ නිමේශයක් පමණි. රසිකයන් මහත් උද්යෝගයෙන් ඔහුගේ වාදනයට සමවදීමට බලා සිටී. ඒ මොහොතේම... ශාලාව දෙදරවමින් අසුන්ගෙන සිටි අයෙක්ගේ දුරකතනය නාද වන්නට විය.

“මේ මොනවගේ මෝඩයෙක්ද, මේ වගේ ස්ථානයක මොහු හැසිරෙන්නටවත් දන්නෙ නැති හැටියක්...” ශාලාවේ සිටි දහසකගේ රෞද්‍ර ඇස් ඔහුවෙත එල්ල විය. මුලු සිරුරින්ම නැගුනු ලැජ්ජාවත්, බයත් සමග වෙව්ලන ඇඟිලි තුඩු අතරින් වහා දුරකථනය ක්‍රියාවිරහිත කළ ඔහු... අසරණ සිනහවකින් ආසනයේ හැකිලෙන්නට වුනි. සුලු විරාමයකින් නැවතත් සභාවේ පෙර නිහඬ බව ඇතිවිය.

මොහොතකින් නැවතත් එම දුරකථන නාදය ඇසෙන්නට විය!

නැත... මෙවර එය ආවේ වේදිකාවෙනි. මහා සංගීතඥයා පෙර ඇසුණු දුරකථන නාදයම නැවත ප්‍රතිවාදනය කරයි.

ශාලාවේ රැස්ව සිටි පිරිස මොහොතක් ගල්ගැසී සිදුවන දෙය බලා සිටියහ. සියල්ලෝම ඒ කෙටි වාදන කණ්ඩය අවසානයේ මහත් හඬින් අත්පොලසන් දුනි. ඔවුන්ගේ හදවත්වල කෝපය වෙනුවට විස්මය මුසු සතුටක් තැවරී තිබිණි. ඒ අතර දුරකථනය හිමිකරුවාද කඳුලු පිරි දෙනෙතින් හා උතුරායන සිනහවෙන් අන් අයගේ අත්පොලසන් නාදයට හදවතින්ම එකතු විය.

සංගීතය ඇතුලු මුලුමහත් කලාවේ උත්තරීතර අරමුණ විනිශ්චය නොව අවබෝධ කරගැනීමයි... එකිනෙකා අතර පරතරය තබන්නට හෝ වෛරය, ක්‍රෝධය ඇතිකරන්නට නොව.

මේ බව එදා රාත්‍රියේ මහා සංගීතඥයා සියල්ලන්ටම ඒත්තු ගැන්විය.

ප.ලි. - නිර්මාණයක් පමණි. සත්‍යය සිදුවීමක් නොවේ. ස්වස්ති සිද්ධම් 😁🙏


කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නෙ ඇයි

බලේ අරන් මොලේ නැතුව වැඩ කරන්නෙ ඇයි

වැඩේ කාල රටත් කාල බලන් ඉන්නෙ ඇයි

ලංකාවේ ඔහොම තමයි I don’t know why

 

දිනපුවාම මෝරාවගේ මහත් වෙන්නෙ ඇයි

පැරදුනාම හූනා වගේ කෙට්ටු වෙන්නෙ ඇයි

හූනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නෙ ඇයි

මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why

 

I don’t know why //

එහෙම වෙන්නෙ ඇයි

මැති ඇමතිල ඕව දන්නෙ I don’t know why

 

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි

නැති එකාට දෙයියො මුකුත් දෙන්නෙ නැත්තෙ ඇයි

පෙර කල පව් පින් අනුවලු එහෙම වෙන්නෙ ඇයි

දෙයියො තමයි ඕව දන්නෙ I don’t know why

 

හිතුමතේ බැඳපු එවුන් සොමියෙ ඉන්නෙ ඇයි

නැකත් බලල කරපු මගුල් කැඩිල යන්නෙ ඇයි

ග්‍රහයො නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි

ග්‍රහයො තමයි ඕව දන්නෙ I don’t know why

 

ඉඩම් කඩම් උගස් තියල ඉගෙන ගන්නෙ ඇයි

ඉගෙන ගත්ත එවුන් පාරෙ හිඟා කන්නෙ ඇයි

අනේ නූගත් අය ලොකු පුටුවල රජ කරන්නෙ ඇයි

ලංකාවේ ඔහොම තමයි I don’t know why

 

සතුට සොයා පොඩි guest house වලට ගියේ ඇයි

ඒ ගියාම පොලීසියෙන් රේප් රේඩ් කෙරුවෙ ඇයි

5 stars හොටෙල් වලට පනින්නැත්තෙ ඇයි

පොලිස් ලොක්කො ඕව දන්නෙ I don’t know why

 

එකෙක් එක්ක දීග කන්න කියල කිව්වෙ ඇයි

අපේ රජගොල්ලෝ අන්තඃපුර දමන් හිටියෙ ඇයි

අනේ ඒ විදිහට දැන් කොරන්න දෙන්නෙ නැත්තෙ ඇයි

ඒ කාලෙන ඉන්න තිබ්බෙ I don’t know why

 

ඉඳල හිටල පොඩි අඩියක් ගහන්නැත්තෙ ඇයි

බීල බීල තව සමහරු සත්තු වෙන්නෙ ඇයි

ගානට අරගෙන මං වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි

මටත් ටිකක් වැඩිද මන්ද I don’t know why

 

බුදුන් වහන්සේ සාමයෙ අගය කිව්වෙ ඇයි

ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිව්වෙ ඇයි

අනේ ඒ කියලත් අපේ එවුන් මරාගන්නෙ ඇයි

යහගුණ දම් පිරිහිලාද මිනිසුන් වල්මත් වෙලාද

අද දෙවියන් අමතක වෙලාද

එහෙම වෙන්නෙ ඇයි I don’t know why


ගායනය - Sunil Perera & Gypsies

 

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්