ආදරේ කරන කාලේ... ජෝඩු, කොච්චර නම් parkවල,


මුහුදු වෙරවල්  දිගේ ඇවිදින්න ඇද්ද. අත් අල්ලගෙන, හීන මාළිගා හදාගෙන, සිප වැළඳගෙන... ඒවයේ ගමන් කරන්න ඇද්ද. ඒ පාරේම, ඒ තැනමට තමන්ගෙ ප්‍රේම සහකරු/ සහකාරියගෙන් වෙන් උන දවසක යන්න උනොත්. එකක්... ඒක නීරසම අත්දැකීමක් වෙයි. නැත්තං විරහ මුහුවුණු, ආදරණීය සැමරුම් සිහිකැඳවන අත්දැකීමක් වෙයි. ඔය දෙකෙන් කෝක උනත් වියෝග දුක හදවතේ කොනක තියෙනව.

තුරුල් වෙලා යනකොට ඇයගෙන්/ ඔහුගෙන් දැනුණ... ආදරණීය සුවඳ, ආදරණීය ස්පර්ශය මතක් වෙන්න පුළුවන්. ප්‍රිය තෙපුල්, මුදු වදන් මතක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම දැන් අතීතයෙ කොටසක් වෙනකොට වියෝ දුක නිතැතින්ම මතුවෙනව.

------

එහෙම වියෝ දුක දැනිල... රාගය, අයිතිවාසිකම් විතරක් හොයපු, තම පෞර්ෂයට හානි උනා කියලා හිතපු පිරිමින්ට තමයි පිහි - මන්න, මාන්නන්න හිතෙන්නෙ. එහෙම නැතුව ඇය වෙන් උනහම... විකසිත පෙම් පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාදෙන් කියල විරහව දරාගන්න හැකියාවක් තියේද.

වෙන්වීම, පරාජය, ලැජ්ජාව අකැප දෙයක් විදිහට පොඩි කාලේ ඉඳල ඉතින් හුරු වෙනව. සිස්සත්තෙ පැරදුනොත්, ලකුණු අඩු උනොත්, ළමය එදා ගෙදර වසල හමාරයි. එහා ගෙදර ළමයා පාස් උනොත්... මෙහා ගෙදර දෙමව්පියන්ට ඒක අවුල්. අටලෝ දහම ගැන විෂයක් විදිහට බුදුදහමෙන් ඉගෙන ගත්තට... ජීවිතේට බද්ද නෑ. ඉතින් පොඩි එකා කාලේ ඉඳලම පැරදුම පසෙක තැබේවා කියල රේස් දුවනව. ඒ අස්සෙ, පුරුද්දට... මිනිස් බැඳීම් ඇතුළෙත් පරාජය, අහිමිවීම එක්ක දරාගැනීම් හීන වෙලා යනව.

* * * * * * * *

ඉතින් අර කියපු විදිහේ ළමයෙක්ගෙ යෞවනයගෙ කාලේ වගේ නෙමේ... මේ සිංදුව කියන තරුණයගෙ හැඟීම්, අදහස්. අද ඔහු තාරුණ්‍යය එළිපත්තේ ඉන්නේ. සරසවියේ අනන්තවත් පෙම් හබ, දියරැළි ඇති වෙලා නැති වෙනව වගේ... ඇති- නැති වෙන්න පුළුවන් බව දැනන් හිටපු ඔහු හිමි - අහිමිවීම් දෙකම දරා ගන්නව. සොබාදහමෙත් මේ රටාව නේද කියල හිත හදා ගන්නව.

ඒ මොනව උනත් පහු කාලෙ විවාපත් වෙච්ච බිරිඳ එක්ක, තම ළමය එක්ක... අර ආගිය ප්‍රේමනීය තැන්වල යද්දී පෙර ස්මරණ සිහි වෙනව. වෙන් වුණු ආදරේ දුක දැනෙනව. ඒත් ඒ තරුණය... ඒ වියෝවුණු ආදරේටත් ආදරේ කරනව.

 දරිද්‍ර අප්‍රිකාවේ... සහනයාත්‍රා වැඩසටහනක් සඳහා පුණ්‍යාධාර එකතු කිරීමට පැවැත්වූ 'Live Aid' සංගීත ප්‍රසංගයේ කොටසක් ප්‍රතිනිර්මාණය වෙයි කියල, එදා ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයින්ගෙ හිතේ කොනකවත් තියෙන්න නැතුව ඇති.

ඒ වගේම මේ ගැන ලියන්න මගෙ හිතේ කොනකවත් තිව්නේ නෑ. මේ අලබෝලෙ මට සැට් කරේ... Lotus.

නිදී, ඩ්‍රැකී Thirteen Lives ලිව්ව වගේ නමීට මේ ගැනත් ලියන්නට පුළුවන් නෙ කියල... We Will Rock You පොස්ටුවට ලෝටස්තුමී කොමෙන්ට් කළා. bucket list එකට ඒ වැඩේ දාන් ඉන්න තිවන, වෙන බ්ලොගක ඒ කොමෙන්ටුව දාල තිවන නම්. ඒ හන්ද හිතහදන් මට සප් එකක් ගන්න කවුද ඉන්නෙ බැලුව. නයා.. උහුම්. Pra Jay, අජිත් බොසා. ඔක්කෝම ඇහැව්වොත් බිසී කියයි. කොලොම්පුරයත් ගත්කටටම බිසී කියන එකේ. ඒ නිසා මං තනීම මේ පෝස්ටුව ලියන්ට හිතාගත්ත... ඇහැක් තරමින් සාරාංන්සව, පොඩිවට.

 Freddie ලොක්කට AIDS හැදෙනවා (හැමෝම දන්න විදිහට)... විශ්වාසදායී ලිංගික සහකරුවන් එකකට හෝ දෙතුන්දෙනෙකුට පමණක් සීමා නොවුන නිසා. මේ කාලෙම වාගේ දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වෙනව ලන්ඩනේ අර සහනයාත්‍රා අදහසින්. දිනවකවානු ගත්තොත්... 1985 ජූලි 13. බිලියන ගණනක් වූ රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් වගේම සජීවී ප්‍රේක්ෂක පිරිසේ ප්‍රමාණයත්... අති විශාලයි. ඒ හේතුවෙන් මෙතක් පවත්වපු ප්‍රසංග අතුරින් දැවැන්තම එකක් ලෙස 1985හේ Live Aid සංගීත ප්‍රසංගය ගැනෙනව. මෙහි කොටසක් නැවත ප්‍රතිනිර්මාණයට ඉඩ සැලසෙන්නේ... Live Aidහි Freddieගේ ප්‍රාසාංගික කොටස, ඔහුගේ ජීවිත කතාවේ... වැදගත් සිදුවීම් බව Bohemian Rhapsody (2018) නිෂ්පාදකයන්, අධ්‍යක්ෂකවරුන් තේරුම් ගත් නිසයි.

ඒ වගේම නිෂ්පාදන අංශ/ කැමරාශිල්පී මෙයට green screens තාක්ෂණය භාවිතා නොකර ඒ සජීවී රසවින්දනය, තාත්විකත්වය චිත්‍රපටියෙන් මතුකරලන්න අදහස් කරල. ඒ වගේම වේදිකාව පිටුපස/ ඒ මත සිදුවන කුඩා වූ හෝ සංසිද්ධියක් රූප රාමුවට ගෙන ඒමටත් උත්සහ කර තියෙනව. ඒ නිසා එදා Wembley ක්‍රීඩාංගනය තුළ ඉදිකර තිබූ සියල්ල ඒ ආකාරයෙන්ම දර්ශන තලයට ගෙන ඒමේ අසීරු කාර්යට ඔවුන් මුල පුරල. එක් පැත්තකින් එය කැමරාශිල්පී Newton Thomas Sigelට නිදහසේ අවශ්‍ය අවස්ථා/ පැති දර්ශන ලබා ගැනීමට විශාල උදව්වක්ද වෙන්නට ඇති.

"අපිට වැඩි යථාර්ථයක් ගැනීමට හැකි වන අතර, නළුවන්ට හා කැමරාවට දර්ශන තලය වඩා ලං කළ හැකි තරමට, ප්‍රේක්ෂකයන්ට රූපරාමුවල යථාර්ථය සහ බර වැඩි වැඩියෙන් දැනෙනු ඇත." - නිෂ්පාදන නිර්මාණකරු Aaron Haye

 


Wembley Stadium එක ප්‍රතිනිර්මාණයට තෝරා ගැනුණේ... එහි සැබෑ පරිමාණයන්ට සමාන වූ උතුරු ලන්ඩනයේ පැරණි හා දැවැන්ත ගුවන් තොටුපලක්. (වර්ග අඩි 70,000ක ඉඩකඩක්, උස අඩි 70ක ප්‍රමාණයක්). රූපගතකිරීමේ සිටි 2,000ක ප්‍රේක්ෂක පිරිස 70,000ක් බවට පත් කිරීම සඳහා ඔවුන් GCI තාක්ෂණය භාවිත කර තියෙනව.

කැමරාශිල්පී Sigel නළුනිළියන් පෙරහුරු කරන මොහොතේ පවා ඒවා අධ්‍යනය කරමින් සිට තිබුණ.

'මම පෙරහුරු ගණනාවක් දැක්ක, ඒවා අධ්‍යයනය කරන්නට පුළුවන් වන විදිහට මගේ iPhone එකේ පටිගත කරගත්ත'

ඒ පෙරහුරු දැකීම ලොකු උදව්වක් උනා, මොකද එය වඩා හොඳින් සැලසුම් කිරීමට ඉඩ සලසන නිසා සහ ඒවායින් ආශ්වාදයක් ලැබෙනව. ඔවුන් කරන දේවල් දකින අතර කැමරා කෝණ සොයා ගන්නත් හැකි වෙනව, නැත්තං 'අනේ, මට ඒක අතපහු නොවෙන්න වග බලා ගන්නට ඕන' කියල හැම දේ ගැනම හිතන්න වෙනව.

චිත්‍රපටයේ මේ ප්‍රාසාංගික කොටස වෙනුවෙන් Freddie Mercury ට රඟපෑ Rami Malek හා සංගීත කණ්ඩායමේ අනෙක් පිරිසද වෙනම සති හයක පෙරහුරුවක් ලබා ඇති අතර අංග රචක Polly Bennett සමග ඔවුන් ගැඹුරින් තමතමන්ගේ කාර්යයන් අධ්‍යනය කර තියෙනව.

එමෙන්ම MalekFreddieගේ ඒ දත් ඉදිරියට නෙරා ඇතිබව පෙන්වන, කෘතීම සැකැස්ම... ප්‍රතිනිර්මාණය වන ප්‍රසංගයේ පටිගත කිරීම් වලදීද පැළඳගෙන ඉඳල තියෙනව. (චිත්‍රපටයේ මුල සිටම Malek මෙය පැළද කතා බහ කිරීමට වෙනම පුරුදු පුහුණුව තිබේ).

* * * * * * *

මේ සියල්ලෙන්ම චිත්‍රපට කණ්ඩායමට ඕන කර තිබුණේ... හුදෙක් සිදුවීමකට එහා ගායකයකුගේ ප්‍රාසාංගික හැඩය, ඒ මොහොතේ ඔහුගේ/ඔවුන්ගේ මනෝභාවයන්, අංගචලනයන්වල හා රසිකයන් අතරත් Freddie අතරත් අන්‍යොන්‍ය ඒකාත්මික වීම තාත්විකව කැමරාවට හසු කරගැනීමටයි.

කොහොමින් උනත් කරුණු හොයද්දී තමා දැනගත්තේ මේ ෆිලුමත් ඇදි ඇදී කෙරිච්ච එකක් බව. තිරගත වුනේ 2018 අග උනත්, සිනමාවට නගන්න පටන්ගෙන තියෙන්නෙ 2010 වගේ කාලයකදී බවයි කියවෙන්නෙ. ඒ වගේම Sacha Baron Cohen තමා Freddieට මුල්ම තේරීම වෙලා තිබිල තියෙන්නෙ. අර The Dictator (2012) එකේ හාදය. කෝමෙන් හරි දෙපැත්තේ අදහස් නොගැලපීම් මත එයා මේක ප්‍රතික්ෂේප කරල. ඒ විතරක් නෙමේ මේක අගක් වෙනකම් අධ්‍යක්ෂකව හිටි Bryan Singerත් අන්තිම හරියේ වැඩේ කර ඇරල. (අපි නිකම් හෝල් එකේ, කොම්පීතරේ ඉස්සරහා ලගා ගහන් බැලුවට ඇතුළේ කොච්චර ඩාම් ඩූම් සිද්ධි වෙනවාද නේ... හිටන්).

ඕම ඕම ඇවිත් තමා 2018 හදල පෙන්නගෙන... හොඳම නළුවා ඇතුළු විවිධ සම්මාන රාශියකට හිමිකම් කියල තියෙන්නෙ. ආයේ ඉතීම් Ramiයට ඔස්කාව මේකට හම්බෙන්නැතුව තිබුනොත් තමා පුදුමේ. කොල්ල ඒ තරම් දස්ස විදිහට වැඩේ කරල. ඒත් මේකට හොඳම චිත්‍රපට සංස්කරණයට හිමි ඔක්සාව ලබන්න සුදුසු නෑ කියල තමා සමහරුන්ගේ අදහස. (මගේ මතෙත් ඒක). ඒ වගේම මේ චිත්‍රපට ස්ටොරිය සත්‍යයෙන් පරිභාහිරව ගිය තැන ටිකක් බහුලයි කියල... දන්නෝ කියනව.

එතකොට LGBTQ+ ගැන දැක්වෙන ෆිලුම් අතරින් වැඩිම Box Office ආදායමක් හා අවධානයක් ලබා ගත් ප්‍රධානම චිත්‍රපටිය තමයි Bohemian Rhapsody (2018).

ඔය විදිහට තමයි ඉතීම් Farrokh Bulsara තමන්ගෙ නම Freddie Mercury බවට හරෝගෙන ගෙව්ව ජීවිත කතාව සිනමාවට ගෙන ඒමේ... තිරේ පුටුපහ ස්ටොරිය. Short & sweet ලෙස.

 

ඕන්, කැලැන්ඩරේ පෙන්නුම් කරන විදිහට 2022 අන්තිම දවසටත් ආවා. දවස් 365ක් ඉවර ගෙවල කරලා... අලුත් අවුරුද්දකට ඔන්න මෙන්න. ගෙවුණු දින ගැන නම් කස්ටියට විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා ඇති.

කොරෝනා තිව්නා, ඉන්ජස්සන් ගැහුවා, ඡන්ද දුන්න, අරගල කරා, අරගල ගල් උනා, මරාගත්ත... බැන්ඳ, ලිහුව, ළමයි හැදුව, පන්සල්- පල්ලි ගියා.

කෑවා, බිව්ව...

හම්බ කරා, රස්සා කරා, අංචි ඇද්ද, ලොක්කන්ට ගොටු ඇල්ලුව, ප්‍රමෝසන් ගත්ත, ඔපිස් එකෙන් මාටිය ගැහුවා, ඩ්‍රින්ක්ස් ගත්ත, හොර ගෑණු පස්සෙ ගියා, sex කරා, රණ්ඩු කරා, අනුන්ගෙ කුණු හෙව්ව, කේලම් කිව්ව, වයිරල් හුටපට බැලුව - හෙව්ව, trip ගියා, ජොලි කරා, කාලේ ගෙව්ව, වයසට ගියා, තාම මැරුන්නෑ

ඕම ඇවිත් දැන් හැමෝටම 2023ත් එක එක plan, ප්‍රාර්ථනා ඇති.

 

ඒ අතරින්... සමාජයටත් තමාටත් යහපතක් වෙන plan, ප්‍රාර්ථනා පමණක් සඵල වේවා කියල wish කරනවා ඕන් හැමෝට්ම..!




සුන්දර නතාෂා. කතෘ - මක්සිම් ගෝර්කි, අනුවාදනය - දැදිගම වී. රුද්රිගු

සුන්දර නතාෂා

සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.

මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම විකුණා දැමූ පසු මම නගරයෙන් පිට වී ඌස්තියෙ නමැති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව් සඳහා තොටුපළක් තිබුණි. නැව් ගමනාගමනය ඇති කාලවල දී එහි ලහිලහියේ වැඩ කෙරුණද, දැන් එහි පාලුය, කාන්තාරයක් මෙන් නිසල ය. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය.

තෙතමනය සහිත පස් ගොඩ පයෙන් හාරා අවුස්සමින්, ආහාරයට ගැනීම සඳහා සුදුසු යමක් එහි තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා බැලීමි. ජන ශුන්‍ය ගොඩනැගිලි සහ කඩ පිලවල් ගානේ ඇවිදිමින් බඩකට පුරා ආහාර ගිලීම කොතරම් යහපත් දෙයක් දැයි මම සිතන්නට වුයෙමි..

සංස්කෘතික වර්ධනයේ මේ අවධියේ දී ශාරීරික කුසගින්නට වඩා ලෙහෙසියෙන් ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කල හැකි ය. පිටත සිට බලන විට ලස්සන යයි කිව හැකි - වැරදීමකින් තොරව - ඇතුළත සැප පහසුයැයි කිව හැකි ගොඩනැගිලි සහිත වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද, සෞඛ්‍ය ගැනද තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටුපහටු මනෝ භාවයක් ඇතිකර ගත හැකිය. උණුසුම ගෙන දෙන සැප පහසු ඇඳුම ඇඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔවුහු ඉමහත් ආචාරශීලි ලෙස ඔබට යන්ට ඉඩ දී මග හැර ඔබේ කණගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලිවෙති. කුසගින්නෙන් පෙළෙන්නකුගේ ආධ්‍යාත්මය, බඩ පුරා ආහාර ගත එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කල හැකිය!.. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා ආහාර ගෙන සිටිනවුන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන!..

හවස්වත්ම වැසි වසින්නට පටන් ගත අතර උතුරු දෙසින් කුණාටු හමන්නට විය. කඩ පොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරින් හූ හඬක් පතුරුවමින් නැගී ආ කුණාටුව හෝටලවල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද ඇති කළේය. ගඟේ රැල්ල වඩාත් උස් වී පෙණ සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟාවී ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත්වෙතියි සිතමින් ඉවත පැන යාමට තැත්කලාක් මෙනි. අහස බැරෑරුම්ය, ඇඳිරිය, අහසේ සිට පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා වැහි බිංදු වැටිණි. මා අවට ඇති ශෝකාන්විත, ඛේදාත්මක පරිසරයට මුලින් උදුරා ලන ලද කැඩුණු විලෝ ගස් දෙකක් සහ ඒවා අසල උඩුයටිකුරු කොට පෙරළන ලද බෝට්ටුවක් ද අයත් විය.

අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද, දැඩි සීත සුළඟ විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකය මුසු ගතියක් ඇති කළේය... අවට හැම දෙයක්ම විනාශ වී, වඳ වී, මරණයේ සලකුණු පළ කළේය. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙනි, වැසි වැස්සේ. අවට හැම දෙයක්ම ඇඳිරිය, මරු කතරක මෙනි. හැම දෙයක්ම මියයනු ඇත. ඉතිරි වන්නේ මා පමණකි.

එකල මගේ වයස අවුරුදු දහ හතකි. අනගිතම කාලයයි!

මම සීතල, තෙතමනය සහිත වැලි පොළොවේ දිගටම ඇවිදින්නට වීමි. කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දත් ඇඳි එකිනෙකට ගැටෙන්නට විය. ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම, ස්ත්‍රී ඇඳුමකින් සැරසී ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටිමි. වැස්සට තෙමී තෙතබරි වී සිටි ඇගේ උරහිස් ඉදිරියට නැමී ඇත. මා ඇය ලඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය කුමක් කරන්නේ දැයි දන ගැනීම පිණිසය. වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑතින් ඈ වළක් හාරමින් සිටින බව පෙනිණි.

“නුඹ ඔය වැඩේ කරන්නේ මොකටද?”

ඈ සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියා ය. ඈ නැගිට සිට සිය අළු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට, ඇය මගේ වයසට සමාන තරුණියක් බව මම දුටිමි. ඇගේ මුහුණ ඉතා සුන්දරය. කනගාටුවකට මෙන් එහි නිල් පැහැති පැල්ලම් තුනක් ඇති බැවින්, එම මුහුණෙ පෙනුම තරමක් අයහපත් ය. මේ පැල්ලම් තුනම පුදුමාකාර ලෙස සමානත්වයක් දරයි. ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණය පැල්ලම් දෙකකි. අනික නළලේය. තරමක් විශාල එම පැල්ලම නහයට උඩින් තිබිණි. අනික් මිනිසුන්ගේ සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන් හැඟිණි.

තරුණිය මා දෙස බලත්ම, ඇගේ නෙත්වල තිබූ බිය ගතිය කෙමෙන් අතුරුදහන් විය.. මොහොතකින් ඈ අත්වල තිබූ පස් හා වැලි ගසා දමා, හිස බැඳි කපු ලේන්සුව සකස් කරගෙන, සුළං පහර නිසා හැකිලී ගෙන මෙසේ තෙපලාය.

“නුඹ බඩගින්නේ කෑම හොයනවා නේද? එහෙනම් නුඹත් හාරපන්, මගේ අත්දෙක රිදෙනවා. ඒක ඇතුළෙ පාන් තියෙන්නට ඕන.” ඈ හිස වනා වසා දමා ඇති කඩය පෙන්නුවාය... මේ කඩේ තවම වෙළඳාම් කරනවා...”

මම පොළොව හාරන්නට වීමි. ඈ තරමක් වෙලා මා දෙස බලා සිට අසලින් වාඩි වී හාරන්නට වුවාය. අපි නිහඬව පොළොව හෑරුවෙමු. ඒ වෙලාවේ දී මට, අප විසින් නිතර මතක තබා ගත යුතුයැයි කරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය, සදාචාරය, පුද්ගලික අයිතිය ආදී දේ ගැන කල්පනා වී දැයි කිව නොහැකිය. හැකි තරම් සත්‍යයට ලං වීමට පතන මා, හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන කල්පනා නොකළ බව පිළිගත යුත්තකි. එතරම් දැඩි ලෙසත්, ගැඹුරු ලෙසත් මම වල හැරීමෙහි නියුක්ත වී සිටියෙමි. ඇඳිරි වැටෙන්නට පටන් ගති. අඳුර, තෙතමනය, සීතල අප අවට වඩාත් දැඩි ලෙස පැතිරිණි. රැළි නගන හඬ තරමක් අඩු වුවද, කඩ මැස්සට වැටෙන වැහි බිඳු නගන හඬ වඩාත් වැඩිවිය... රාත්‍රී, මුරකරුවකුගේ ශබ්දය ඈතින් ඇසිණි...

“මේකට යටින් පොළොවක් තියෙනවද? එහෙම තියෙවනම් අපි කරන වැඩෙන් ඇති පලක් නැහැ. අපි වලක් හෑරුවයින් පස්සේ එතැන මහත ලෑල්ලක් තියෙන්ට පුළුවනි... එතකොට කඩ පෙට්ටිය  අරින්නේ කොහොමද? ඊට වැඩිය හොඳයි යතුරු ඉබ්බාව කඩනවා.. මේක පරණ ඉබ්බෙක්...”

යහපත් අදහස් ගැහැණියකගේ හිසෙහි ජනිත වන්නේ කලාතුරකිනි. එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස් ද ජනිත වෙයි.. යපහත් අදහස් හැමදාම උසස් ලෙස අගය කළ මම, ඒවායින් හැකි තරමින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ කළෙමි. දොර ලෑල්ලේ යතුර ඉබ්බා වෙත ගිය මම එහි වළලුත් සමග උදුරා දැමීමට සමත් වීමි. මවිසින් එලෙස විවෘත කරන ලද හිඩැස්ස තුළින් මගේ අත් උදව්කාරිය සැපින්නක සේ ඇතුළු වුණාය.

“හැබෑ දක්ෂයා!” ඈ මා අනුමත කරමින් පැවසුවාය.

ගැහැනියකගෙන් ලැබෙන එක පැසසුමකට මට පිරිමියෙකුගෙන් ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනේ ය. එම පිරිමියා ආදී කල විසූ සියලු චතුර කථිකයින් එකට ගත් විට ඔවුනට සමාන වුවද කම් නැත. එවැනි පුරුෂ පැසසුම් අසනවාට වඩා විශාල උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත. තරුණියගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට කාලයක් නොවූයෙන්, මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළෙමි.

“ඔතන මොනවා හරි තියෙනවද?”

එක්තානමය හඬකින් ඈ දකින දේ විස්තර කළාය. “හිස් බෝතල කූඩයක්, හිස් ගෝනි ගොඩක්... කුඩයක්... යකඩ බාල්දියල්...”

ඒවා ආහාර සඳහා සුදුසු දේ නොවේ. මගේ බලාපොරොත්තු සුන්වීමට පටන් ගති. එහෙත් හිටි හැටියේම ඈ ප්‍රාණවත් ගතියකින් කෑ ගැසුවාය. “මෙන්න! තියෙනවා...”

“මොනවද ?”. 

“පාන්... පාන් ගෙඩියක්... හැබැයි තෙතයි... ඉඳා ගනින්...” මගේ දෙපා ලඟට වටකුරු පාන් ගෙඩියක් විසි වී ආවත් සමග මගේ නිර්භීත අත් උදව්කාරියද මට ළං වූවා ය. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් කඩා කටේ දමා ගෙන සපන්නට වූයෙමි. “ඉතින් මටත් දීපන්... අපි මෙතැනින් පිටවෙන්නට ඕන. නමුත් අපි යන්නෙ කොහෙටද?” ඈ අඳුර රජ කරන අවට දෙස පිරික්සුම් බැලීමක් හෙළුවාය. අඳුර දසත පැතිර ඇත. අවට හැම තැනම තෙතය, විවිධ ශබ්ද ඇසේ... “අන්න අතන බෝට්ටුවක් පෙරළා දමා තියෙන්නෙ, එතනට යමුද?”

“යමු!” අපි දෙදෙන පා නගමින් අපේ පාන් ගෙඩියෙන් කැබලි කඩා ගෙන කටේ දමා ගත්තෙමු. වැස්ස වැඩි විය, ගඟ හඬ නැගීය. කොහේදෝ සිට දීර්ඝ ලෙසත්, උපහාසාත්මක ලෙසත් සිවුරු හඬලන සැටියක් ඇසිණ. බිය යනු කුමක්දැයි නොදත් යෝදයෙකු වැන්නෙක් සරත් සමයේ අයපහත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද, හැම කෙනෙකුටම සහ හැම දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය... එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපණි. එසේ වුවද, මම ගිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම් පසින් ගමන් ගත් තරුණිය ද මට නොදෙවැනි වන සේ පාන් කන්නට වූවාය.

“නුඹේ නම මොකක් ද?” කුමක් නිසා හෝ මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“නටාෂා !” හඬක් පිටවන සේ පාන් කන ඈ පිළිතුරු දුන්නා ය. මම ඇය දෙස බැලීමි. මගේ හදවත වේදනාවෙන් හැකිළිණි. අනතුරුව මම අඳුරට නෙත් යොමු කලෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඥමය සේයා ගුප්ත ලෙසත්, හිරිවට්ටන සැටියකිනුත් මා දෙස බලා මද සිනා පායි.

ලී බෝට්ටුවේ වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ දොම්නසට පිරි අහදසක් ගෙනාවේය. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුර අස්සෙන් එහි වූ ලී පතුරක් නටවමින් හා ශබ්ද කරමින් සෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය හඬක් ඇතිකරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කළේය. විඳදරාගත නොහැකි තරම් කාන්සියක් හා දොම්නසකින් යුත් කතාවක් එය අපට කියන්නාක් මෙනි. එය කැමති වුවද, එසේ කීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස පිළිගත්තාක් මෙනි. ගඟේ දිය රැළි වැසි පොදවල ශබ්දයත් සමග එක්වේ. දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට, තෙතමනය සහ මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා අමනාපයට හා විඩාවට පත් මහා පොළොව උඩු යටි කුරු කොට පෙරළා ඇති බෝට්ටුවට ඉහළින් සුසුම් හෙළන්නාත් මෙනි. පාළු ගං ඉවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහලින් සුළං හමන්නා වූ අතර එය ශෝකාන්විත ගී ගැයීය...

බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ තදබදයකි. එය වැසී ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිංදු වැටිණි. සුළං ඇතුළු විය... නිහඬව වාඩි වී සිටි අපි ශීතල නිසා වෙවුලන්නට වීමු. මට නිදා ගැනීමට අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේත්තු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දණහිස් මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා ගෙන අල්ලාගෙන ගඟ දෙස බලාගත්වනම සිටියාය. අගේ දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති අගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුණේ ඒවාට යටින් ඇති කළු පැහැති ලප නිසාය. ඇය නොසැලෙන ගල් රුවක් මෙනි. අගේ නිසල බව හා නිහඬ බව විසින් මසිත තුල කෙමෙන් බියක් ඇති කරනු ලැබීය... ඇය සමග කතා කරන්නට මට උවමානාවක් ඇති වුණද, එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි.

ඈ අගේ කතාව පටන්ගත්තාය.

“කෙතරම් දුෂ්ට ජීවිතයක්ද!” දැඩි ලෙසත්, සුපැහැදිලි ලෙසත් ඇය එසේ කිව්වේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක් ගැලවිල්ලක් නොවීය. ඇගෙ කට හඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය. සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථිර නිගමනයකට එළඹුණු සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී, ඇයට විරුද්ධ වීමට මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි. ඈ මා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම උන්නාය.

“මකබෑවෙලා යන්ටයි, මගේ කල්පානාව...” නතාෂා යලිත් නිහඬතාවය බින්දාය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීවය. අගේ මුවින් පිට වූ වචනවල දුක්ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඈ, තමාගේ තත්ත්වය දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කර ගැනීමට “මක බෑ වී යාම” හැර අන් කිසි මගක් නොමැති බව, සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබුණි. අගේ කල්පනාවේ සුපැහදිලිතාවය නිසා මට විඳ දරාගත නොහැකි ඔක්කාරයක් දැනිණි. මා තවත් දුර නිහඬව සිටියහොත් මට ඇඬෙනු ඇතැයි සිතිණි... ගැහැනියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි, විශේෂයෙන්ම ඇය නොහඬා ඉන්නා විට... ඇය සමග කතා කිරීමට මම ඉටා ගතිමි.

“නුඹට ගැහුවේ කව්ද?” එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි අපොහොසත් වූ මම ප්‍රශ්න කළෙමි.

“මේවා ඔක්කොම කරන්නේ පාෂ්කා තමා...” සන්සුන්ව හඬ නගා ඈ පිළිතුරු දුන්නාය.

“ඔහු කවුද”

“මගේ පෙම්වතා... පාන් බක්කරේ කෙනෙක්..”

“ඔහු නුඹට නිතරම පහර දෙනවද”

බීගත්තම පහර දෙනවා..”

හිටි හැටියේම ඈ මට ලංවී තමා පිළිබඳ කතාව කියන්නට වුවාය. පාක්ෂා සහ ඇය අතර ඇති සම්බන්ධකම් ගැන විස්තර කළාය. “ඇය හැමතැනම ඇවිදින ජාතියේ අභිසාරිකාවකි...” ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි. ඇකෝඩිනය දක්ෂ ලෙස වාදනය කරයි. ඔහු ඇය හමු වීමට ‘ආයතනයට’ ගිය අතර, ඈ ඔහුට කැමති වුවාය. මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිඳු ඇඳුම් ඇන්ඳ බැවිනි. ඔහුගේ කබායේ වටිනාකම රූබල් පහළොවක් විය, ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි.. මේ හේතු නිසා ඈ ඔහුට ආලය කරන්නට වුවාය. ඔහු මුදල් නොගෙවා ඈ සමග සංවාසයෙහි යෙදෙමින් ඇගේ “ණයකාරයකු” බවට පත්විය. ඉතින් මේ ණයකාරයා ඇයට වෙනත් මිනිසුගෙන් ලැබෙන ‘සන්තෝස දීමනා’ රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය. එපමණක් නොව, අගේ ඇස් ඉදිරිපිටම වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය...

“ඒක මගේ අමනාපයට කරුණක් නොවෙයිද? අනිත් එවුන්ට වැඩිය මම නරක නැහැ.. ඌ මට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ, නීචයා. මම අපේ ආයතනයේ ලොක්කිගේ අවසරය ඇතුව නිවාඩුවක් දාල උගේ ගෙදර ගියා. මෙන්න එතැන ලුන්කා බීල වෙරි වෙලා ඉන්නවා. පාශ්කාත් හොඳට වෙරිවෙලා. මම ඔහුට මෙහෙම කිව්වා “යකෝ නුඹ නීචයෙක්, ජඩයෙක්, පල්හොරෙක්!” ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න. මට පයින් ගැහුව්වා... හිසකෙස් ඇද්දා.. ඒත් කමක් නැහැ! මගේ ඇඳුම් ටික ඉරා දැම්මා. මගේ සායයි හැට්ටෙයි ඉරලා දැම්මා. දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා අලුතෙන් ගත්ත ඇඳුම්.. මගේ හිස බැඳි ලේන්සුවත් උදුරා ගත්තා.. අනේ දෙවියනේ! දැන් ඉතින් මොනවා කරන්ටද?” ඇගේ කටහඬ බිඳී ගොස්, විලාප ගැසීමක් මතුවිය. සුළං හැමීම දැඩි වී සීතල තවත් වැඩිවිය. මගේ දත් දෙපළ යළිත් එකටෙක ගැටෙන්නට විය. ඈ සීතල නිසා ගුලි ගැසී මා ලඟට කෙතරම් ඇදුනාද යත්, අඳුර බිඳ මට ඇගේ දෙනෙතේහි කාන්තිය පවා පෙනිණි. “පිරිමි වන තොපි ජඩයෝ! තොපි ඔක්කොම මගේ පයට පාගලා තොපේ අත් පා ඉරා දමන්ට ඇත්නම්.. පණ අදින පිරිමියෙකුගේ මුහුණට කෙළ ගහන්නට මම ලෑස්තියි. කිසිම අනුකම්පාවක් නැතුව! වැදගැම්මකට නැති මී හරක්! හූල්ල හූල්ලා නීච බල්ලෝ වගේ ගෑණු ළඟ කරකැවෙනවා. ගෑණියෙක් එහෙම නුඹලාගේ උපායට යටවුනොත් උන්දෑ ඉවරයි, සිද්ධ වුනේ මොනවද කියල අවබෝධ කරගන්නටත් ඉස්සෙල්ලා ඒ ගෑණිව පාගලා ඉවරයි... ගඳ ගහන වල් සත්තු..” ඈ නොයෙකුත් විදිහට බැණ වැදුණු අතර ඒ බැණීම්වලට යෙදූ වචන ශක්තිය රහිත විය. ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවීය, පොදු වශයෙන් ගත්විට ඇගේ කට හඬෙහි සන්සුන් ගතියක් තිබිණි. ඇය කියන දේ සමග එය සමානුපාතික ලෙස කොහෙත්ම නොගැළපිණි. එමෙන්ම ඇගේ කතාවෙහි දොම්නස මුසු එකතානමයකි.

ඒ කෙසේ වුවද, මුල් කාලයේදී සහ පසු කාලයේදී මවිසින් අසන ලද සහ කියවන ලද සියලු සර්ව අශුභ කතා හා පොත්වලට වැඩියෙන්, අද වුවද එවැනි පොත්වලට හා අසන කතාවලට වැඩියෙන්, අගේ කතාව මා කෙරෙහි බලපෑවේය. මරණය පිළිබඳ ඉතා සම්පූර්ණ ලෙස ලියන ලද කළා කෘතීන්වලට වඩා මියයන පුද්ගලයා මරණ මොහොතේදී විදින දුක් වඩාත් ස්වභාවික වීමත් වඩාත් බලගතු වීමත් මෙයට හේතුවකි.

මගේ දොම්නස වඩාත් වැඩි වුයේ මා සමග ලැගුම් ගෙන සිටින තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකිය. මා සෙමෙන් සුසුම් ලෑ අතර මගේ දත් ගැටිණි. එවිටම මට කුඩා අත් දෙකක පහස දැනිණි. එකක් මගේ බෙල්ල ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳිණ. ඒ සමගම බියමුසු සුරතල් ප්‍රශ්න ඇසිණ.

“නුඹට මක් වෙලාද?”

මගෙන් එලෙස ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු බව සිතීමට මා සුදානම් ය. සියලු පිරිමින් දුෂ්ටයන් කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ දැන්ය. එහෙත් දැන් ඉක්මනින්ම හා හදිසියකින්ම ඈ කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට හීතල? වෙවුලනවද? මදෑ නුඹේ හැටි! කටවහගෙන ඉඳගෙන ඉන්නවා.. හරියට බස්සෙක් වගේ! නුඹට හීතලයි කියල මීට ඉස්සෙල්ලා නොකීවේ ඇයි.. ඉතින් නුඹ බිම දිගා වෙයන්.. දිග ඇදියන්.. මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම! දැන් මාව දෑතින් තදවෙන්ට බදාගනින්.. තදවෙන්ට.. අන්න එහෙම. දැන් නුඹට උණුසුමක් දැනෙනවා ඇති.. ඊට පස්සෙ අපි පිටට පිට දීල ඇලවෙමු. අපි කොහොමහරි මේ රෑ මෙහෙම ගත කරමු. නුඹට මක් වෙලාද, බොන්ට පටන් ගත්තද? රස්සාවෙන් පැන්නුවද? කමක් නැහැ! ඈ මා සැනසීමට උත්සාහ කළාය. ඈ මා දිරි ගැන්නුවාය.

මට තෙවරක්ම ශාප වේවා! මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක් ඇද්ද! කල්පනා කර බලන්න! ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම ගැන විශාල සැලකිල්ලක් දැක්වීමි, සමාජ ක්‍රමය ප්‍රතිසවිධාන කිරීම ගැන සිහින දුටිමි, දේශපාලන පෙරලි ගැන කල්පනා කලෙමි, කතුවරයන් පවා තමන් විසින් ලියන ලද පොත් වල ගැඹුර අවබෝධ කරගත නොහැකි තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒ වනවිට මා කියවා තිබිණි. ක්‍රියාකාරී විශාල බල වේගයක් ලෙස නැනී සිටීමට මම ඒකාලයෙදී උත්සහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ ගණිකාවකගෙනි, ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත්, පහකරනු ලැබූ ගැහැනියක ගෙනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා ඇයට ආධාර කල යුතුව තිබුණද, මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණි. කලින් එය වටහා ගත්තද. එවැන්නක් කිරීමට තරම් මා සමත් වෙතිද!

මේ සියල්ල මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත්, එය අමන අවාසනාවත් සිහිනයක් නැවත සිතීමට මා සුදානම්ය.. එහෙත් එවැන්නක් සිතිය නොහැකිය. මන්දයත් මගේ සිරුර මත සීතල වැහිපොද වැටෙන බැවිනි. මගේ පපුවට ගැහැණියකගේ පපුවක් තදින් හේත්තු වී ඇත. අගේ උණුසුම් ප්‍රශ්වාස මට දැනෙයි. එහි තරමක් වොඩ්කා සුවඳක් තිබුණද, එය ජීවමය බවෙන් ආඩු නැත.. සුසුම් ලන්නාක් මෙන් සුළං හමයි. බෝට්ටුව මත පතිත වන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ රැළි ඝෝෂා කරයි. අපි දෙදෙන එකිනෙකා තදින් වැළඳගෙන සිටියද, සීතලෙන් ගැහෙන්නට වීමු. මේ හැම දෙයක්ම සැබවින්ම වාස්තවියකය. එම යථාර්ථය තරම් දුක්මුසු, අයහපත් සීනයක් කිසිවකු කිසි දිනෙක දැක නැතැයි මට සහතිකය. එහෙත් නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඈ සුරතල් ලෙසත්, මෘදු ලෙසත් කතා කරයි. ඇගේ කතාවේ ඇති ළාමක හා බොළඳ ගති නිසා මහද තුල කුඩා ආලෝකයක් පැන නැගිණි. ඉන් පැන නැගි උණුසුම නිසා මගේ හදවතෙහි ගොඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදිය සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය.. නතාෂා මට සැනසුම් බස් තෙපලන්නට විය.

“අනේ මගේ හොඳ කොල්ලෝ නාඩා ඉඳින්! ඔය ඇති! දෙවියන්ගේ පිහිටෙන් නුඹට ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් වේවී..” ඔවැනි සැනසුම් බස් ඈ කියුවාය. අනතුරුව ඈ මා සිපගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝ සේ ඈ මා සිපගත්තාය.

ජීවිත විසින් මට පළමුවැනි එමෙන්ම ඉතාමත් හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය. මන්දයත් ඉන්පසුව ඇති වූ චුම්බනවලට මට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිඳු පලක් නොවූ බැවිනි. “නුඹ පුදුම කොල්ලෙක්. අඬන්නට එපා. නුඹට යන එන මගක් නැති නම් මම නුඹට තැනක් හොයලා දෙන්නම..” ඈ මට සහතික කරමින් මුමුණන සැටි  ඇසුණේ සිහිනයකින් මෙනි. අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන එලෙස සිටියෙමු..”

එලිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට විත් නගරය දෙසට ගියෙමු... ඉක්බිතිව මිතුරන් සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය. මා මෙහි විස්තර කල සරත් සමයේ එක රැයක මා සමග ගතකල සුන්දර නතාෂා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය. ඈ මියගියා නම්, එය ඇයට කෙතරම් යහපත් දෙයක්ද! ඈට සදාකල් සමාදානය අත්වේවා! ඇය තවමත් ජීවතුන් අතර නම්, ඇගේ හදවතට සාමය උදාවේවා! ඇගේ ආත්මය කිසි විටෙක පාපය ඉදිරියේ දුබල නොවෙත්වා. මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඈ විඳින දුක් වලට එය අමතර බරක් වන බැවිනි.

    අද කාලේ ළමයින්ගෙ Reality Shows ඇතුළු බොහෝ ළමා වැඩසටහන් බැලුවහම හිතෙනවා... මේවා දරුවන්ට ඔබිනවද කියල. ඒ තරම් ඒ දේවල් දරුවන්ට නොගැළපෙනව කියලයි... මටනම් හිතෙන්නෙ. එහෙම හිතෙන අය නෑ කියල හොඳින්ම සක්සුදක් සේ පැහැදිලි ඉතීම්... අර කීව වැඩසටහනක් දෙකක් බැලුහම. මගෙ අදහස නම්... අපි දරුවන්ගෙ මානසිකත්වය, ඒ අයගෙ වපසරිය දැනගෙන... ඒ අයට ඔබින විදිහට දේවල් කියල දෙන්න, පහදලා දෙන්න ඕන. දේවල් කරන්න දෙන්න ඕන කියලයි.

   ඒ ගැන හිතන්න පෙළඹෙන විදිහේ ලස්සන කතාවක්, ලඟදි Facebook අඩවියෙන් කියවන්ට හම්බුනා. බොහෝ දුරට යාන් කතාවක් වෙන්නත් පුළුවන්. 

   අපි දරුවෙකුට කොහොමද සත්‍යය පහදල දෙන්න මුලපුරන්නෙ. නැත්තං වෙන්නෙ අර පූසා සහ ලොකු නෝනා post එකේ වගේ වැඩ තමයි. මේක Kafka සම්බන්ධ ලස්සන කතාවක්... සමහර විට ඔයාල මේක කියවලත් ඇති. කෝම උනත් ඒ post එකේ තිව්න කතාව එහෙමම මං දාන්නම්... ආයේ රසවිඳගන්නත් එක්කලා. 

************

   වයස අවුරුදු 40 දීත් අවිවාහක Franz Kafka ගේ ජීවිතයට ඇතුළු වූ දැරියකගේ කතාව, ඉන් පසුව මුළු ජීවිත කාලය පුරාම බලපෑ අයුරු ගැන සත්‍යයක් දැයි නොදන්නා නමුත් ඔහු පිළිබදව එක් අපූරු කතාවක් ලොව පුරා ප්‍රචලිත විය. එය Kafka and the travelling doll නමින් ලෝකයේ විවිධ භාෂා වලට පෙරළුණු අතර විශිෂ්ට, ළමා පොතක් ලෙස ස්පාඤ්ඤ කතුවරයෙකු වූ Jordi Sierra විසින් පසුව ලියන ලදි.

   කෆ්කා දිනක්, බර්ලින්හි පිහිටි සුන්දර උද්‍යානයක් වූ Steglitz Park හි ඇවිදිමින් සිටිද්දී… ඔහු දකිනවා කුඩා දැරියක හඬමින් සිටිනවා. ඔහු දැරිය ලඟට ගොස් ඇය හඬන්නට කාරණාව අහනවා. ඇය ඉකිබිඳිමින් කියනවා ඇයගේ කැමතිම බෝනික්කා නැති වූ බවට. ඉන් පසුව කෆ්කා එම දැරිය සමග එකතුව මෙම බෝනික්කා හොයා ප්‍රතිඵලයක් නොලද තැන කෆ්කා ඇයට කියනවා ඊළඟ දවසෙත් එතනට එන ලෙස බෝනික්කා සොයන්නට.

   කිව්ව විදිහට දෙදෙනාම පසුවදාත් බෝනික්කා හොයන අතර කෆ්කා විසින් දැරියට ලිපියක් දෙනවා බෝනික්කා විසින් දුන් බවට. පුංචි දැරියට හරි සතුටුයි. දැන් ඇයට ඇසෙන්නට කෆ්කා ලිපිය කියවනවා. එහි මෙසේ තියෙනවා…

   "බබා, කරුණාකර අඬන්න එපා, මම ලෝකය වටේ චාරිකාවක් ගිහිනුයි ඉන්නෙ. එහිදී මුහුණදෙන අත්දැකීම්, ත්‍රාසජනක දේ සියල්ල මම බබාට ලිපි මගින් දන්වන්නම්"

   මෙම කුඩා සිදුවීම… කෆ්කා ගෙ ජීවිතය අවසානය තෙක් ඉතාම වැදගත් සංධිස්ථානයකට ගෙන එනවා. ඔහු විටින් විට මෙම දැරියව මුණ ගැසෙද්දි, ඔහු විසින් ඉතාම පරෙස්සමට ලියන ලද දැරියගේ ආදරණීය බෝනික්කා ගෙ ත්‍රාසජනක ක්‍රියා ඇතුළත් ලිපි හා සංවාද ඇයට කියවනවා. දැරියට හරිම සතුටුයි මෙම අපූරු කතාන්දර වලට.

   අන්තිමට කෆ්කා තව ලිපියක් කියවනවා. චාරිකාව අවසන් කර බෝනික්කා බර්ලින්වලට නැවත එන බවට. දැරිය එය විශ්වාස කල අතර කෆ්කා දැරියට හොරෙන් වෙනත් බෝනික්කකු මිළදි ගෙන ඇය අතට දෙනවා. එහිදී ඇය මෙහෙම කියනවා...

   "මේ මගේ බෝනික්කා නෙවෙයිනේ, වෙනස් කෙනෙක් නේ ".

   මෙම අපූරු බොහිමියානුවා එවිට ඇයට බෝනික්කා එවූ තවත් ලිපියක් ශබ්ද නගා කියවනවා, එහි තියෙනවා මෙහෙම...

   "බබා දන්නවද ලෝකෙ වටේ ගිය චාරිකා මාව වෙනස්ම කෙනෙක් කලා". 

   එය පිළිගන්නා පුංචි කෙල්ල, බෝනික්කාව ආදරයෙන් තුරුළු කරගෙන ගෙදර යනවා. ඊට අවුරුද්දකට පස්සේ කෆ්කා මියයනවා. අවුරුදු ගනනකට පස්සේ දැරිය තරුණියක වන අතර ඇයට අර කෆ්කා මිලට ගෙන දුන් පැරණි බෝනික්කාගේ ඇතුළු කුහරය තුළ තිබී කුඩා ලිපියක් හමුවෙනවා. එහි තියෙනවා මෙහෙම...

   "ඔබ ආදරය කරන සෑම දෙයක්ම නැති වීමට බොහෝ දුරට ඉඩ තියෙනව. නමුත් අවසානයේ දී ආදරය වෙනත් ආකාරයකින් නැවත පැමිණේ".


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්