18+ යම් යම් දේ ඇතුලත් වන නිසා ඔන්ට කළින්ම කිව්වා. ඔක්කොම අය එහෙම නිසා අවුලකුත් නෑ නෙ. කෝකටත් රේටින් කොරන එක ඇඟට සැපයි...

 

ඉස්කෝලේ යන්න බැහැ


උදෑහනින්ම අවදි වෙච්ච වයසක අම්ම තමන්ගෙ පුතා ඉස්කෝලේ යවන්නට ඕන හැම දෙයක්ම ලකලැහැස්ති කොරල ගිහින් කතා කෙරුව. පුතාට යන්ට සුදානම් වෙන්න කියල...

අනේ අම්මේ ඉන්න දෙන්න.. හෙට යන්නම්

එහෙම පුළුවන්ද පුතේ. කෝ එන්න.

අනේ මට බෑ. මට ඉස්කෝලේ යන්න කිසි කැමත්තක් නෑ..

වාර විභාගත් ළඟයි නේද.. හැම ලමයමත් එනව. වැඩ ගොඩයි. කෝ..

ළමයි.. ඕකුන් මට පේන්න බෑ..

බෑ නෙමේ.. ටීචර්ල ටිකත් බලන් ඇති ඔයා එනකම්..

හ්ම් ටීචර්ල. උන්ට මාව පේන්න බෑ..

එවර ටිකක් කේන්ති ගිය වයසක උන්දා තමුන්ගෙ ළමයට මෙහෙම කිව්වා. එහෙම කියල පුළුවන්ද.. ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් නැතුව කොහොමද වැඩ කෙරෙන්නෙ.. කෝ යන්න ලැහැස්ති වෙන්න..


රූපය - පාසල් ප්‍රේමය කියන්නෙ මේක වෙන්ටෑති  2 රූපය - අනාගත ජීවය උපත ලබතැයි සැලකෙන විදිහ   3 රූපය - සෙටිංස් වල අවුල සොයා යෑම


පෙම් ලියමන

 

ඔන්න එකෝමත් එක පුරාණ කාලෙක අමාරිස් නෙමේ අමර කියල ළමයෙක් හිටිය. එයාගෙ පන්තියේම හිටිය හැඩකාර ලමිසසියක් නයන කියල. දිනක් ඔන්න හැඩකාර නයන ගැන දඟකාර අමරගෙ හිත වැඩ කරන්ට පටාන් අරං, තමුන්ගෙ අත්අකුරු කැත නිසා වෙන කෙනෙක් ලව්වා ලිව්ව ලව් ලෙටර් එකක්. මේක අහුඋනා ප්‍රින්සිපල් තැනට. ඉතින් ලොකු තැන මේක පොඩිවට විසඳන්න කියල හිතාන අමර හා නයනගෙ මේ මල් කඩන සීන් එක දුන්න ඔවුන්ගේම පන්ති භාර යසවතී ගුරුතුමියට. ලඟකදි සැමියා මියගියපු අවුලෙන් ටිකක් ඩාම් ඩූම් වෙලා හිටපු යසවතී ගුරුතුමිය ලියමන ටයිප් කරපු ළමයව හොයා ගත්ත. ලිව්වේ ගාමිණි. ගෙන්නගත්තා එතුමිය ලියමනත්, ගාමිනීවත් ලඟට. දැන් පන්තියම උසාවියක් ගානට නිස්සද්දයි.

ඈ ගොනෝ තොට මන් සිංහල පන්තියේ ඉගැන්නුවේ, මෙහෙම ලියුම් ලියන්න ද..

නෑ ටීච. මන් ලිව්වේ අමරගේ බල කිරීමට.. මන් නෙමේ ඕක දුන්නෙ නයනට.

වහපිය කට.. එන්න එපා මාත් එක්ක එකට එක කියන්න..

හ්..ම්..

බලපන් බලපන් වාක්‍ය අවසානෙ තිත නෑ. න ණ ල ළ වැරදි. මෙහෙමද මං උඹලට ඉගැන්නුවෙ...

න්..නෑ ටී....ච

විභාගෙට ගියත් ඉතින් ඔය ටික තමයි උඹලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.. දන ගහන් හිටපන් පීරියඩ් එක ඉවර වෙනකං.. ආයේ එක වැරද්දක් ඇතුව හරි මෙහෙම ලියල මට අහුවෙනවකො..

න්.නෑ... ටී..ච.

  ඔහොම තමයි යස කැකිල්ලෙ නඩු තීන්දුව තීන්දු කරේ යසවතී ගුරුතුමිය.


ඔහොට්ටේලියාව කොහෙද ?


ඔන්ට පහල පන්තියකට එකෝමත් එක දවසක උදා වුනා ලෝක සිතියම් අධ්‍යන වාරය... ගුරුවරිය දැන් ළමයින්ට ලෝකේ රට රටවල් බෙදිලා තියෙන හැටි. සාගරයෙන්, දේශසීමා වලින් වෙන් වෙන හැටි ගැන කියල දෙනවා. ඔය අතරේ එක නසරානි පොඩි එකෙක් ළඟ ඉන්න අයට පැන්සල් විසික් කරකර විකාර නටනවා. ගුරුවරිය ඒ ළමයව නැගිට්ටුවල ඇහුව. ඔයා දැන් පාඩමට ඇහුන්කං දීගෙනද හිටියෙ කියල.. ළමයත් ඔව් ටීච කියල කිව්වා.

මේක ඇත්තද කියල බලා ගන්න ගුරුවරිය ඇහුව, එහෙනම් කියන්න ඔස්ට්‍රේලියාව තියෙන්නෙ කොහිද කියල.

ළමයත් දන්නවා වගේ කිව්වා ටීච 23 වෙනි පිටුවේ කියල.

 

තාත්ත මොකද කරන්නෙ?

 

සමහර පොඩිඋන් ඉන්නව. නසරානි එකේ උපරිම. කවුරුත් ඉන්න තැන මොනවා හරි රෙදි නැතිවෙලා යන උත්තරම තමා දෙන්නෙ. නැත්තන් අහන්නෙ ඒ වගේ එක්ක. දෙන්න උත්තර ලොවෙත් නෑ. ගහෙත් නෑ. ඔය වෙලාවට වහ කෑවනම් ඊට හොඳයි කියල හිතෙන වාර අපමණයි.

ඔහොමත් එක ළමයෙක් ගෙදර උන්දලා හිටපු පාසලෙන් අයින් කරන් වෙන පාසලට එක්ක ආව. වෙනසක් උනොත් දඟ අඩුවෙයි කියල හිතන්. බාලාංස පන්තියකට අලුත ළමයෙක් ඇතුල් උනහම එයාව නැගිට්ටවල විස්තර අහනව පන්තිභාර ගුරුතුමිය.. බොහෝ වෙලාවට. ඔන්න දැන් ගුරුවරිය මේ දඟකාර දරුවාගෙන් විස්තර අහගෙන යනවා. එතකොට ගුරුතුමියත් ලාවට තේරුණා ආවේ නම් ඇම්ඩගෙ සහෝදරයෙක්ද කොහිද කියල. දෙකට කපපු පණුව වගේ හිටන් ඉන්නෙත්. වැඩිය නැතුව අඩුවෙන් ප්‍රශ්න ටික අහගෙන ගියා ෂේප් එකේ.

 

ඔය පුතාගේ ගෙදර තව කවුද ඉන්නෙ..

දැන් ඉන්නෙ වැඩකරන නැනීයි, බල්ලයි විතරයි

ගුරුවරිය ආයේ ප්‍රශ්නෙ පැහැදිලිව ළමයාගෙන් ඇහුව.

මායි, අම්මයි, තාත්තයි, නැනීයි, බල්ලයි, අම්මගේ බඩේ ඉන්න නංගියි විතරයි.

දැන්නම් ඇති කියල අන්තිමට ඇහුව තාත්ත මොනවද කරන්නෙ කියල.

  මූ ගත් කටටම කිව්වා. අම්ම කියන දෙයක් තමයි ඉතින්.....




රෝමෙ 30 ලිව්වේ මෙහෙමයි

 

ගණිත ගුරුතුමිය සිසුන්ට පාඩම් පොතේ ඊළඟ පාඩම වෙච්චි රෝම ඉලක්කම් වලින් ගණන් ලියන හැටි කියා දුන්න. ළමයි එතකොට තිහ ලියන්නෙ මෙහෙමයි “ XXX ”. එහෙම කියල ඉවර වෙලා කතා කරමින් ඉන්න ළමයෙක් නැගිට්ටුවල ඇහුව මොකක්ක්ද ඔතන කතාව කියල.

නෑ ටීච මන් මේ කිය කිය හිටියෙ රෝම ඉලක්කමෙන් 30 ගහල google search කරොත් එන්නෙ වෙන උත්තරයක් කියල.

 

සර්ව නාම

 

ඔන්ට ගණිත නෙමේ සිංහල විෂය භාර ගුරුවරිය උගන්නන ගමන් ළමයි දෙතුන් දෙනෙක් කෑ ගහගන්නවා දැක්ක. කෑ ගගහ ඉන්නව. දැන් කියල දුන්න පාඩම මතකද... ගුරුතුමිය එක ළමයෙක්ට ඇඟිල්ල දික් කරලා කිව්වා ආ කියනව බලන්න සර්ව නාම දෙකක්.. ළමයට හරියටම ෂුවර් නෑ තමුන්ටද අත දික් කරේ කියල හරියටම. ඒ නිසා භාගෙට වගේ නැගිටලා

කවූද..? මම...?

හරි වාඩිවෙනවා... වාඩිවෙනවා.

ක්‍රැකෝෂියා රාජ්‍යයේ සිට ඇමරිකාවට එන වික්ටර් නවොස්කි පැටලෙන්නේ පඹ ගාලකය. තම රටෙන් නැගුණු ගුවන් යානය New York නුවර බලා එන අතරතුර, එහි සිවිල් යුද්ධයක් ඇතිවී තියෙනවා. එම නිසා ඇමරිකානු රජය විසින් ක්‍රැකෝෂියා (ප්‍රබන්ධ) රාජ්‍ය තන්ත්‍රය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරනවා. මේ සිදුවනා මොහොතේ ගුවන් යානයෙන් බැස New York ගුවන් තොටුපොළට ඇතුල්වන වික්ටර්ට තම රටට ඇතුල් වීමට හෝ නැවත පිටත්කර යැවීමට හැකියාවක් ඇමරිකානු බලධාරීන් සතුව නැහැ. කොටින්ම ඔහු වෙනුවෙන් පාලනාධිකාරියට ගන්න කිසිඳු ක්‍රියාමාර්ගයක් නැතුව යනව. මෙයට විසඳුමක් ලැබෙන තුරු පාලනාධිකාරියට සිද්ධ වෙනවා ඔහුව පර්යන්තයේම රඳවා ගැනීමට, තත්වය පහදා දීල. භාෂා ප්‍රශ්නයත් එක්ක එය ටිකක් අපහසු කාර්යයක් වුනත් නවොස්කි වෙන්නෙ මොකක්ද කියන එක, වෙන සිදුවීම් එක්ක තේරම් ගන්නවා. ඔහු ගුවන් තොටුපළෙ සිටින කාලෙ තුළ භාවිතයට කෑම සකාල පත්, තොටුපල පුරා ගමන් කරන්න අවසර පතක් පවා බලධාරීන් ලබා දෙනවා විසඳුමක් ලැබෙනකම් ඔහුව මුදාහරින්න බැරි නිසා.

 

Saving Private Ryan (1998), Catch Me If You Can (2002) කියන චිත්‍රපට දෙකට පස්සේ නැවතත් තම ශක්තිමත්ම සංකලන සගයා වන Tom Hanksව යොදා ගනිමි 2004 වසරේ නිකුත් කල මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Steven Spielberg. සත්‍යය කතාවක කොටසක් ගෙන එය ප්‍රතිනිර්මාණය කර මෙය නිපදවූ බවක් තමයි සඳහන් වෙන්නෙ. පෙර සිනමා ද්විත්වය වගේම මේ චිත්‍රපටයත් ඉතාම සාර්ථක වෙනවා වාණිජමය වශයෙන් හා විචාරක ප්‍රතිචාර යන දෙ අංශයෙන්ම. The Terminal සම්පූර්ණ දාවන කාලයෙන් 85% කටත් වැඩි ප්‍රමාණයක් ඇතුළත් වන්නෙ ගුවන් තොටුපොළක් ඇතුලේ වීම ප්‍රේක්ෂකයාට තවත් නවමු  අත්දීමක්ය. සියලු සිදුවීම් ඇත්තම පර්යන්තයක සේ පෙනුනත් එය සම්පූර්ණයෙන්ම චිත්‍රපටය සඳහා නිර්මාණය කරන ලද්දක් බව අපට නොපෙනෙන තරම්ය. රූපගත කිරීමට, විවිධ පැති ඔස්සේ කැමරා කාච මෙහෙයවීමට එය බෙහෙවින් ඉවහල් වී ඇති. කැමරාකරු Spielbergගේ දීර්ඝකාලීන සගයා වන Janusz Kaminskiය. ඒ වාගේම මේ ප්‍රබන්න්ධ රාජ්‍යය වන ක්‍රකොෂියාව සඳහා ජාතික ගීයක්ද ලියා තිබීම තවත් සුවිශේෂී කාරණයකි.

 

නාට්‍යමය හා ප්‍රහසන කාණ්ඩයට අයත් The Terminal (2004) චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වන නවොස්කිගෙ හරහට හිටින්නේ, වෙන්න බලන් ඉන්න ඉහල නිලධාරියා වන ඩික්සන්ය. ඔහු අනෙක් අයට දන්වනවා නවොස්කි ගැන ඇහැ ගහගෙන ඉන්න කියල. හොරෙන් රටට ඇතුල් වෙන්න හැදුවොත් නීතිමය පියවර ගෙන පොලිසියට භාර දීල ඔහුගෙ කරදරෙන් නිදහස් වෙන්න. මොකද තම පත්වීම ලබන්න තියෙන කාලය අතරතුර අවුලක් හදා ගන්න ඩික්සන්ට උවමනා නෑ. අනෙක පිටවන කාලයකුක් නොදන්න නිකරුනේ ඉන්න සිදුවුණ මේ සේවකයකුත් නොවන මුහුණක් ආරක්ෂක කැමරාවල නිතර නිතර පෙනෙන්නට වීම..  ඊළඟට මොහු මොකක් කරයිද? මෙවැනි මානසික සිතුවිලි වලින් පීඩාවට පත් ඩික්සන් හට නවොස්කි හිරිහැරයක්, මානසික වදයක්ය. ඉතින් නවොස්කිව තම දැලට හසු කරගන්න ඩික්සන් විවිධ උපක්‍රමත් යොදයි.

 

 ඒත් ඉංග්‍රීසිවත් හරිහැටි බැරි රටකජු කෑන් එකක් තියන් ඉන්න නවොස්කි ඉවෙන් මෙන්, තමා වටා සිදුවෙන මේ දේවල් තේරුම් ගන්න දක්ෂ වී ගැටලුව විසඳීමට කාලයට භාර දී බලා සිටි. ගුවන් තොටුපොල ඇතුලෙම ජීවත් වෙමින්... එයට අනුගතව. මේ අනුගත වීම කොහොමද කියනවනම් කෑමට දුන්නු සලාක පත් අහිමි වීම නිසා ගුවන් තොටුපොල ඇතුලේ රැකියාවක් පවා ඔහු හොයා ගනී. ඒ විතරක් නෙමේ සාමාන්‍යය පුද්ගලයෙක් එදිනෙදා කරන සෑම කටයුත්තක්ම ඔහු මේ අංගනය තුළ රැඳෙමින් කරනවා විතරක් නෙමේ කෙටි කාලීන පෙම්වතියකුත් සොයා ගන්න දක්ෂ වේ. මේ වෙනකොට නවොස්කි තොටුපොළේ හැම දෙනාගේම හිත හොඳ මිතුරෙක් වගේම පෙම්වතුන් එකතු කිරීමේ අනංගය විදිහට පවා ක්‍රියා කරමින් ඔවුන් සමග තම හිරවෙච්ච ජීවිතය මේ පර්යන්තයේ ගත කරනවා.... විඳවමින් නෙමේ විඳිමින්.

නවොස්කි ඇඟ සෝදමින් - පෙම්වතිය සමග රාත්‍රී ආහාර ගනිමින් - නිදා ගනිමින්


ඇත්තෙන්ම ප්‍රශ්නය ඇත්තෙ රටේ හා සංක්‍රමණික නීතිය, ප්‍රතිපත්තිය තුළ මෙවන් මොහොතක ක්‍රියාත්මක වන ආකාරය ගැන සඳහනක් නොමැති කමයි. ඒ හැර ඩික්සන් පවා මේ මොහොතේ අසරණය. ඒ නිසා ඔහු නවොස්කිගෙන් මිදීමට වෙහෙසෙයි, අසාධාරණ අත්අඩංගුවකට ගැනීමෙන් තොරව. මෙයින් මතුවන ඝට්ටනය මුළු චිත්‍රපටය පුරා විහිදේ.

 

කිසිඳු පාර්ශවයක්, පුද්ගලයෙක් වීරයා හෝ දුෂ්ටයා නොකර, ලේබල් නොගසා ප්‍රේක්ෂකයාට එය ඉතුරු කිරීම Steven Spielbergගේ බොහොමයක් චිත්‍රපට වල දැකිය හැකි එක් සුවිශේෂී කාරණයකි. (එත් කිතු දහම උසස් බව පෙන්වන එක නම් කරනවා ෂේප් එකේ). කලාකරුවා කළ යුත්තේද එයයි.  වීරයා හෝ දුෂ්ටයා තෝරා දීම කලාකරුවා සතු යුතුකමක් හෝ වගකීමක් නොවෙයි. ඔහු ප්‍රේක්ෂකයාට සිදුවීම හෝ සංසිද්ධි දැනීමට සැලැස්වීම, සංවේදවට පත් කිරීම තුලින් රසිකයාටම, ප්‍රේක්ෂකයාටම ප්‍රඥාගෝචර එය තේරුම් ගැනීමට හා මතයකට පැමිණීමට උදව් සැපයීමයි කළ යුත්තේ. එය ඉතා උසස් අන්දමින් ප්‍රධාන චරිත ද්විත්වය රඟපෑ Tom Hanks හා Stanley Tucci සිදුකර ඇත. විශේෂයෙන්ම Hanks වෙනස්ම තලයකට රංගනය රැගෙන ගොස් ඇත Forrest Gump චිත්‍රපටයේ අප දැකගත් භූමිකාව වාගේ. ඔහු විහිළු තහළු නොකරයි. චරිතය තුලින් හාස්‍යය මතු කිරීම නම් අති අමාරු කාර්යය විශිෂ්ට ලෙස සිදු කරයි. (Charlie Chaplin චිත්‍රපටවල ආකාරයෙන්). එය මුළු සිනමාපටය පුරාම ප්‍රේක්ෂකයා ඇද තබා ගැනීමට සමත් වේ.

 

වරක් ඩික්සන් ඔහුගෙන්, ඔබ තම රටට නැවත යන්න කැමති දැයි අසනවා. වර්තමානයේ එහි යුධ තත්වයක් තියෙන නිසා ඒ මත නැවත තම රටට යාමට ඇතිවන සාධාරණ බය හේතුකරගෙන ඔහුව ඇමරිකාවේ රැකවරණයට යටත් කර ගැනීමේ අදහසින්. ඒ මාර්ගයෙන් හෝ ඔහුව ගුවන් තොටුපොලින් ඉවත් කරගන්නට ගත් උත්සාහයත් වැළකෙන්නේ නවොස්කිගගේ සත්‍යවාදීබවද නැතිනම් ඉංග්‍රීසි හරිහැටි නොතේරුම් කමද.. නැතිනම් ඒ දෙකමද වන්නට පුළුවනි. ඔහු එහිදී සරවල පිළිතුරු දෙනවා නැහැ, එය මගේ රට... මේ කාමරයෙ ඉන්න නම් මන් දැන් ටිකක් බයයි... අවශ්‍ය පිළිතුර නොලැබෙන තැන ඩික්සන් ඔහුට පිටත් කරන්නට සැරසෙනවා. ඒත් සමග කෙසේ හෝ ඔවුන්ට අවශ්‍ය තමන් බය වෙන දෙයක් ගැන දැන ගන්නට යැයි සිත, නවොස්කි තමා හොල්මන් වලට, ඩ්‍රැකිව්ලාට, මෝරුන්ට බය බව පවසයි... මෙවන් සිතන්නට බොහෝ දේ ඉතිරි කරනා සිදුවීම් රැගත් සාර්ථක serious comedyයක් මේ දක්වා හොලිවුඩ් වල සිදු නොවූ තරම්ය.

 

නවොස්කි ගුවන් තොටුපොළින් පිටවෙන මොහොතේ එය දැක ගැනීමට සියලුම සේවකයින් පැමිණ.



  ඉතින් ක්‍රැකෝෂියා රාජ්‍යයේ සිටි වික්ටර් නවොස්කි රටකජු කෑන් එකක් අතැතිව ඇමරිකානු භූමියට ඇතුල් වන්නට හදන්නේ මන්දැයි දැන ගැනීමට නම් The Terminal (2004) සලරුව නැරඹීමටම සිදුවේ.

 

සීගිරි කාන්තා රූපවල ඉන්නෙ කවුද?. ලංකාවේ වෙනත් කිසිම තැනක දකින්න නොලැබෙන ශෛලියෙ මේ සිතුවම් කවුරුන් ඇන්ද වෙන්න බැරිද?. මේ ප්‍රශ්නය හිතේ දිගටම හොල්මන් කරේ ටික කාලෙකට කලින් සම්බන්ධ වෙලා හිටපු පොඩි ව්‍යාපෘතියක සීගිරි චිත්‍ර  හා කටු සටහන් බොහෝ ගානක් දකින්න හම්බුනු නිසා.

කාශ්‍යප රජතුමා සීගිරිය තම බලකොටුව කරගන්නත් පෙර ඉඳලම මේ ප්‍රදේශය ජනාවාස වෙලා තිබිල තියෙනවලු. කාශ්‍යප පියා මරා රජකම ගැනීමෙන් අනතුරුව රාජ්‍ය මෙහෙයවන්න තෝරගන්නෙ සීගිරිය. ආරක්ෂා වීමේ උපක්‍රමයක් විදිහටත්, බලකොටුවක් විදිහටත් සීගිරියෙ පිහිටීම උචිත බව සැලකිල්ලට ගෙන මේ තීරණය ගන්නෙ මොග්ගල්ලාන සහෝදරයගෙන් කැරැල්ලක් ආවොත් ඒකටත් මුණදෙන්න පුළුවන් විදිහට. හිතපු විදිහටම යුද්ධයක් ඇතිවෙලා සීගිරි කාශ්‍යප රජතුමා මියයනව. ඉන් අතුරුව මේ සීගිරිය ආරාම සංකීර්ණයක් බවට පත්වෙනව කියල තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නෙ. ඔය ඉතිහාසගත තොරතුරු ඇරෙන්න කවුරු විසින් මෙහෙයවා මේ සිතුවම් කරන්නට ඇද්ද, මොන හේතුවක් මත කරාද කියන ප්‍රශ්න වලට හරි පිළිතුරක් හම්බෙන්නෙ නැහැ, කුරුටු ගී හමුවුනත්. තේරුම් ගන්න පුළුවන් වුන කුරුටු ගී වල තියෙන්නෙත් ඒ ලලනාවන් ගැන කරන වර්ණනාවක් විතරයි.



ශාස්ත්‍රීය දැනුමක් සහිත විද්වතුන්ගෙ පරස්පරවූත් ප්‍රධානම මත කිහිපය දිහා බැලුවොත් මේ සිතුවම් සම්බන්ධයෙන් කර තිබෙන.... සෙනරත් පරණවිතාන සූරීන්ගෙ මතය මේ විජ්ජුලතා හා මේඝලතා බවයි. මාටින් වික්‍රමසිංහයන් කියන්නෙ මේ පරිවාර ස්ත්‍රීන් සමග දිය කෙළියට යන කාශ්‍යප රජුගෙ අන්තක්පුර ස්ත්‍රීන් කියල. එතකොට H.C.P බෙල් මහතා ටිකක් වෙනස් විදිහට ඒ අදහසම දක්වනවා, ඒ කිව් ස්ත්‍රී පිරිසම පිදුරංගල විහාරය වැඳගන්නට යන බවක් පේන්නට තියෙනව කියල. ආනන්ද කුමාරාස්වාමි මහතාගෙ අදහස මේ දිව්‍ය අප්සරාවියන් කියල. මීට පරිභාහිරවූ වෙනත් මත, අදහස්ද දක්වල තිබුනත් මේ  මත 4 තමා ප්‍රධාන වශයෙන් සීගිරි ඉතිහාස කතාව, හමුවෙන අවශේෂ පුරාවිද්‍යා සාක්ෂිත් සමග වඩාත් ගැළපෙන්නෙ. සමහර විට අනෙක් මතයක් හරි වෙන්නත් පුළුවන්... සාක්ෂි, සාධක මොක උනත්.

ඒ වගේම තමයි රාවණා පාක්ෂිකයන්, මේකටත් රාවණා රජතුමා සම්බන්ධ කරනව හැම දේටම වගේ. කොහොම උනත් චිත්‍ර ටික කාලයාගේ ඇවෑමෙන් හා කවුරුන්ද තීන්ත ගාල වෙච්ච හානිවීම් නිසාත් අද දකින්නට තියෙන්නෙ එදා සිතුවම්කල සම්පුර්ණ චිත්‍ර සංඛ්‍යාවම නෙමේ. ඉතින් මෙහෙම උනහම තවත් අමාරු වෙනවා හරිම අදහසකට එන්න...

කාශ්‍යප රජතුමා තමා කළ පීතෘ ඝාතනයත් එක්ක ඇතිවූ සිත් තැවුල නිවා ගැනීමේ උත්සහයක් විදිහට සීගිරි ගල මස්තකය ඇතුළු අවට ඉතා රමණීයව කරවගෙන වාසය කළා කියලත් මතයක් තියෙනව. ඒ මතයට අනුව බැලුවොත් රජතුමා දැකපු හෝ තම සිත් බැඳී කාන්තාවන් වෙන්නත් පුළුවන් මේ ඉන්නෙ. තම මව, තම බිසෝවරු, අන්තක්පුරා ස්ත්‍රීන් වගේ. නැත්තං සීගිරි මාලිගාවේ එදිනෙදා ඇස ගැටෙන ලලනාවන් චිත්‍ර ශිල්පියා තම කැමැත්තට අනුව හෝ නැතුව ඒ රූ සිතුවමට නැගුව වෙන්නත් පුළුවන්... මගෙ අදහස නම් ඒක. ඒත් වලාකුළු ඉන ප්‍රදේශය හරියෙන් දක්වල තියෙන නිසා ඒ අදහසට පොඩි බාධවක් ඇතිවෙනව. සමහර විට උඩ කොටස නිරාවරණය වෙලා තියෙන සිතුවම් පහළ කොටස දක්වාම ගෙනියන්න ශිල්පියාට පොඩි බයක් ඇති උනාද දන්නෙත් නෑ. අපෙ උන්දැල ගැන හිතිලා. ඒ කතාව පැත්තකට දාල බැලුවොත් තව ගැටළුවක් ඇති වෙනව ඇයි ආභරණ තියෙද්දී මේ කාන්තාවෝ නිරාවරණව ඉන්න විදිහට ඇන්දෙ කියලත්... වලාකුළු එක්ක ගත්තහම දිව්‍ය අඟනුන් වෙන්නත් පුළුවන්. ඒත් දිව්‍යලෝකේ රෙදි නැතිවෙන්න බෑනෙ. අනෙක මෙතන මැද වයසෙ ඉන්න කාන්තාවන්ගෙ ලක්ෂනත් දකින්න පුළුවන් (දෙවියන්ගෙ හම රැළි වැටෙන්නෙත් නෑ. දන්න විදිහට).

ඔය කිසි අවුලක් නෑනෙ ඇන්ද කලාකරුව මේකට මාතෘකාවක් දාලම වැඩේ පටන්ගත්තනම්. (සමහරවිට එකත් මැකිලද දන්නෑ). කොහොම උනත් ඉතින් තනි අදහසකට එන්න බැරි නිසා ඔලුව අවුල් කරගන්නෙ නැතුව මේ වගේ සින්දුවක් අහගෙන ඒ සිරි විඳගත්තනම් ඉවරයි කියල තමයි මං හිතන්නෙ (බැරිම තැන). කළා කෘතියකින් රසිකයාට වෙන්න ඕන දේවල් වලින් එකක්නෙ ඒක..

 

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ

මතකද අපි පාවුණා - පෙම් අම නදියේ

ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ

නාමය  ශ්‍රී ලංකාවේ රැව් දෙන්නෙ ඔබගෙනි සොඳුරේ.......

 

එක කාලෙක ඇහිච්ච, හොයාගෙන ඇහුව, තාමත් අහද්දි දැනෙන සුපිරි ඉංග්‍රීසි සින්දු දෙකක්.

No Promisesහි නිරූපිකාව

එකක් No Promises. Shayne Wardගෙ. ඔහුගෙ කඩවසම් බව වගේම රූප රචනයේ හිටපු යුවතියටත් ගොඩක් ඇලුම් කළා ඒ ගීතය නිසා. ඒ වගේම සරල රූප රචනය ඉතාම ලස්සනට ගීතයට එක් කර තියෙනවා.



 

Shania Twain රූප රචනයේ

අනික Shania Twainගෙ You're Still The One සින්දුව. අර සින්දුවට වගේම මෙයටත් ඉතාම ලස්සන හා සරල රූප රචනයක් යොදල තියෙනවා. මේ සින්දුව නිසාත් ඇයව රූප රචනයට යොදා ගත් විදිහ නිසාත් ඇයගෙ සින්දුව, රූප රචනයට මෙන්ම ඇයටත් මන් ගොඩක් ඇලුම් කරන්න හේතු උනා. අනෙක් කාරණේ රූප රචනාව වර්ණ නොමැතිව (තනි වර්ණයකින්) කර තිබීමත් ගීතයේ අර්ථයට වඩාත් දායකත්වයක් දක්වන බවයි මට හිතෙන්නෙ.


No Promises - රූප රචනය

You're Still The One - රූප රචනය

No Promises -



You're Still The One -




         මේ විරිඳු කවිය වෙන වැඩකට පරණ එකතුකරපු පත්තර ගොඩක් අදිද්දි තිබිල හම්බු උනේ. එදා තරුණයාගෙ ආදර හිත සරලව පැහැදිලි වෙනවා මේකෙන්. ගොඩක් අය දන්නවා මේක කියන්නෙ සහන් ජයවර්ධනව රූපෙන්. නමුත් ඇම් පී ගුණදාසගෙ ප්‍රවීණ කවියාගේ පුතා කියල ගොඩක් අය දන්නෙ නැහැ.

රූපය - අන්තර්ජාලයෙන්

ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බටදඬු නලා

ජයපැන් බොන සෙබල රැලක් - විලසට හඩ තල තලා

රසකර මම පවසනෙමි - මිණි කිංකිණි සොලවලා

අසනු මැනවි අසනු මැනවි - අසනු මැනවි තුටුවෙලා

 

පරයන ඉඳුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට

වසඟ නොවන් මෙහි කවුරුද - නෑනගෙ එක බැල්මට

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලි පෙරන්

පාසල් යන දෙවැට දිගේ - නෑනා මගෙ රත්තරන්

මම කැමතියි නෑනට //

 

මැල්ලුමකට වල් පළා - නෙලන්න සිහිනිඟ සලා

යන විට රණ මොණරි වගේ - මගෙ හද කුල්මත් කළා

අඩසඳ වන් නළලතේ - චන්දන තිලකය ඇතේ

සිකිපිල වැනි වැනි කෙස් කළඹද - කිතුල් රෑන පැරදෙතේ

මම කැමතියි නෑනට //

 

මුහුදෙහි රළ පෙල ගැසී - ගමන සදිසි යන ලැසී

ඇගෙයි මගෙයි ආදරයට - ආසිරි මල් වැසි වසියි

නහැඹුල් හද කිතිකැවී.. නව රසදුන් සරසවී

මගේ දුප්පත් පැලේ ඉන්න - එනවද මධු මාධවී

මම කැමතියි නෑනට //

 

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ

කිරි පැණියි වගේ ඉන්න - එන්නද මගෙ වස්තුවේ

කරදර බාධක මැද්දේ - දිවි ගග පහලට ඇද්දේ

ගල් පර දැක පෙරමුණේ - මොන නදිය ද නැවතුනේ

මම කැමතියි නෑනට //

 

හසරැලි නැත්තම් මුහුණේ - සිතුවිලි ලස්සන ද නැතේ

වේදනාව නැති ලොවේ - ජීවිත රසවත් නොවේ

ගන්නට ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්

හදමුද අපි කූඩුවක් - වෙමුද පරවි ජෝඩුවක්

මම කැමතියි නෑනට //

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්