ඔන්ට අවුරුද්දෙ මුල් හරියේ දිග අරින්ට හිතුව ගජබින්නාලංකාරයක්.. හැබැයි බින්නයක් නෙමෙයි. හැබෑමයි.

ඩ්‍රැකියාට නොකිය මේ වචනෙ ගත්ත එකට උන්ද පරල වෙයිද මන්ද... කොහොමින් උනත් ගජබින්නාලංකාරය කියන වචනය අපට මුලින්ම දැක ගන්ට හම්බු වෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වල හරි බවයි මගේ මතකය.

දෙවියන් ත්‍රිත්වයක් පාරට ආ මොහොතක්


තමුන්ගෙ අන්තිමට ඉපදුණ එකම ගෑනු දැරිවිගෙ කොටහළු උත්සවේ ජයට නිමා කරපු ජෝඩුව.. නිවී හැනහිල්ලෙ විවේකයක් ගන්න හැදුවා විතරයි. ඒ දැරිවිට එදා දැම්ම රත්තරං චේන් පොට මිසින් වෙලා. ලස්ස ගානක් වටින මාලේ... දැන් ගෙදර මහ දෙන්න දෙලව රත්වෙලා ආවේ කවුද, ගත්තෙ කවුද කියල හිතනවා. පොඩි කෙලීට බනිනවා. හෙන ඉල්ලනවා.. ලොකු කෙලීටත්, කොල්ලටත් බනිනවා. දෙන්න තමතමන්ටත් දෙස් දෙවොල් තියා ගන්නවා.

හොයන එක කෙසේ වෙතත් වෙන්නෙ ඕකනෙ ගෙවල් වල. දැන් එක යුද්ධයයි.

ඔය අතරේ ගෑණු උන්දැට දිවයඤාණය  පහල වෙලා වගේ හිතුන.. අංජනමක් බලන්න. ගුරුන්නාන්සේ බොහොම බලගතු කෙනෙක්... පත්තරේ දාල තියෙන හැටියට. වෙන කරන්ට දෙයක් නැති තැන මහ ජෝඩුව ළමයි තුන්කට්ටුවත් කුදලං ගියා ගුරා හදි ගැහෙන්න. වන්නි වනපෙතේ වගේ දුර පැත්තක මේ අංජනම් අරින තැන බලන තැන තියෙන්නෙ.

මෙදා ඉරිද දවසක්. ගුරා හාෆ් ඩේ විතරලු වැඩ කොරන්නෙ. ඒත් දුර ඉඳල ආපු නිසා වැඩේ කොරමු කියල ගුරාගේ ගෝලයා අංජනම් දේවි හා හනුමා සම සේ වැඩම කරන දේවාල භූමියට එකක් ගියා කස්ටියව.

ඇයි යකෝ දැන් මිනිස්සු එක්ක ආවේ. තොට සිහිය නැද්ද අපි මහතුවගෙ ගෙදර ගිහින් එහෙ සෙට් වෙලා කරල ඉන්ට නෙව හැදුවෙ.

හරි හරි ගුරු.. දැන් මග වියදමට තඹ දොහිතුවක් තියෙනවද. ගිය පාර මතකනෙ දෙවෙනි වටේට සල්ලි මදිවෙලා ගෙනාපු දෙහි ගෝනිය කඩේට දීල සල්ලි කරේ.. අද බෝතලේට සල්ලි හොයා ගත්තෙත් පෙරේදා කපපු කොඩි විනෙන්. මේක ඉක්මනට කරල දාල ගන්න ගානත් අරං යං..

හරි එහෙනම්... එන්න කියාපංකො ඔය නර පණුවන්ට.... මේ.. මේ මොකටද ආවේ කියල අහගත්තද?.. ?

හදිස්සියට අමතක උනා.. ගේමක් ගහල ජාමේ බේර ගන්න ඈ.. එහෙම කියාගෙන ගිය ගෝලයා දේවාලේ ළඟ හිටන් උන්නු නරයින්ට කතා කරා.

ලොකු උන්ද වටේ තියෙන ගස්, ගෙවල් දිහා ඇහැ දානව. මේ පාරේ දිගටම ගියොත් කොහිට යන්න පුළුවන්ද කියල හිතනවා.  ගෑණු උන්ද දේවාලෙට වැඳ ගෙන සියලු දේව මණ්ඩලයම සිහි කර කර ඉන්නවා. ලොකු කෙලී අයි ෆොන් එක කනේ ගහන් බටහිර බෙරිහන් දෙන හඬින් කියන සින්දු අහනවා. කොලුවා අලුත ගත්ත ඇන්ඩ්රොයිඩ ෆොන් එකෙන් ෆුට්බොල් ගහනවා. මාලේ නැති කරගත්තු පොඩි කෙලී මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුව බකන්නිලං නෙමේ නිකං බලං ඉන්නව.

ආපු කාරණේ මොකක්ද කියල කිව්වනම් විගහට. තැනකට යන්නත් තියෙනවා.. බහිරව පූජාවකට. එහෙම කියලා ගුරා ගෝලයා දිහා බලල හීං හිනාවක් දැම්ම.

නැතිවෙච්ච දෙයක් හොයා ගන්න.. ගුරුන්න්නා..න්.සේ  ගෑණු උන්ද ආ කාරණාව ගරුසරුව පැහැදිලි කරා.

හ්ම්.. අංජනමක් බලන්න දැන් අපි රු. 4990.00 ගන්නවා. බුලත් කොලේ සල්ලි තියල ඔය මල් තට්ටුවට පූජ කරානම්.. ගෝලයා එහෙම කියල බුලත් කෙළ ගෑවුන රෙදි කෑල්ලෙන් පිහිද පිහිද හිටි පීරිසිය තට්ටුව උඩ තිව්ව.

දේවාලෙ ඇතුළටම ආපු එකේ දැන් හැරිල යන්නත් බැරි නිසා හූල්ලන හිතින් ගෑණු උන්ද දිහා රවාගෙනම 5000ක් දීල දැම්ම... ආයේ මොකට ඉතුරුව හොයනවද කියල. එත් ගෑණු උන්දගෙ දේව ගරුසරු බව නම් ඒකෙන් මැකුනෙ නෑ... කොහි මැකෙන්නද දෙයියන් මේ පරම්පරාගතව පැවත එන පුරුදු නෙව.

සතුටු සිතින් ගුරා මල් තට්ටුව ළඟට ඇවිත් නරයින්ටත් ඉඳගන්න පහසුකම්... ඒ කියන්නෙ පැදුර පඩංගුව දීල වැඳ ගන්ට කිව්වා. ඒ අතර, ගුරා ගමේ හිටිය කාලේ එකතු කරගත්ත මොනර පිහාටු ටිකකින් හදාගත් දූවිලි පිහන එකක් වගේ එකකින්, ආ නරයංගෙ ඔලුවේ හා උරහිස්වල තිබ්බ මකුණු දැල්ද කොහිද කඩන්න පටන් ගත්ත. කාන්සියට මොන මොනවදෝ කියන ගමන්. ගෝලයා එකට තාලේ අල්ලමින් සීනුවෙන් සංගීතය මුහු කරන්ට පටන් ගත්ත.

මහතැන ගිය සල්ලි හිතන් අතාරින්ට ට්‍රයි කරමින් අත් දෙක ලං කරා. ගෑණු උන්ද ගුරුන්නාන්සෙටත් වඳින්න වගේ ලඟම වැඩි උනා.. ඒ එක්කම පීරිසියෙන් පේන අංජනමෙ දසුනුත් හරි හැටි බලා කියා ගන්නත් එක්ක වාගේ. ලොකු කෙලී පෙර සිටන් කංදෙකේ ගහන් හිටි ඇබ දෙක එහෝම තියාගෙන වැඳගෙන ඇහෙන සිංදුවට පැද්දෙනවා. කොලුවා බැටරි බැස්ස ෆොන් එක සාක්කුවේ ඔබාගෙන මව් උන්ද ලඟින්ම ඉඳ ගත්ත. පේන දෙයක් තමුනුත් බලා ගන්නවා කියල හිතන්. පොඩි කෙලී තාත්ත ළඟ වාඩි ගත්ත. ඉස්කෝලේ සිල් ගන්න දවසෙ ඉන්න හැටි සිහිකොරන්. දැන් ගුරාත් මල් තටුව ඉස්සරින් වාඩි ගත්ත හෙමි හෙමීට තුනටියත් අල්ලං. ඒ කරලා කලින් අතේ තිබ්බ දිග මොනර පිල් ගසනය පැත්තකට කරන් ඒ වෙනුවට පොඩි කොහුමිටි කෑල්ලක් තියෙන ගසනයක් අරං මල් ආසනේ මකුණු දැල් කඩන්න වාගේ වනන්ට ගත්ත. ඒ අතර ගෝලයා මදුරු ටික යවන්ට වගේ මල් තට්ටුව ළඟ දුම් අල්ලන්ට ගත්ත. ගුරාගේ අහට දුම් යන්නෙ නැති විදිහට.

ඕඃ වර වර ඒස්වා පුන් - පුන්ම් පුක් වර ඕඃ

වර වර මුහුද දෙබා කර - අහස ගුගුරවා ගෙන

හ්ම්.. තමුන්ලට බැල්ම හෙලන මළගිය පරාණයක් ඉන්නව... හ්ම්.. බය වෙන්ට කාරී නෑ හොඳ තැනක ඉඳන් බැලුම් හෙලනවා.... ඒකයි අංජනම් දේවි වඩින්න පමා.

ඒ වෙලාවේ මහතැන බිරිඳට ලංවෙලා කිව්ව එකත් එකටම ඒ අපේ තාත්ත.. මං කලිනුත් කියල තියෙනවා නේ තමුසෙට.. දැන් අහගත්තද.

කට පියන් ඉන්නවද.. තමුසෙගෙ මහලොකු තාත්ත. අපිට එහෙම උදව් කරන්න ඕනකම තිබ්බ නම් පහළ කුඹුරු කෑල්ල නංගිට ලියයිද...

ඇයි යෝදියේ පාර අයිනෙන් දුන්න අක්කර 3න මදිද.. වික්ක පරණ මහගෙදර සල්ලි වලිනුත් කොටහක් දෙනකොට උඹට හොඳයි.

අනේ ඔහෙගෙ තාත්තගේ තුන.. ඉඩම්, කුඹුරු අහෝසේට. වැඩි හරිය කාටද දුන්නෙ, අර රට ගිය බාල මලයට.. මැරෙන්න ලංවෙලා ඉද්දිවත් ඌ ආවද බලන්න.. කියලවත් ගෙන්න ගන්න පුළුවන් උනාද.. ආ..

වර වර මුහුද දෙබා කර - අහස ගුගුරවා ගෙන.........

සී සයිඩ් එකෙන් ආවනම් ඉක්මනට එන්න පුළුවන් කියන්න ගුරු..න්නා.න්සේ. මහතැනට ඉබේම එහෙම කියවුනේ අවුරුදු 28ක රියදුරු ජීවිතේ නොගිය පාරක්, තොටක් නැති තරමේ නිසයි.

අහන දේට විතරක් උත්තර දෙන්න.... ගුරා සීරියස් මූඩ් එකකින් නරයින්ව දැනුවත් කරා.

කොල්ල අක්කට ලංවෙලා ඇහුව දැන් ඔය එන්නෙ ගෑණු කෙනාද නැත්තං අර වඳුරු ෆේස් තියෙන පිරිමි කෙනාද කියල. අක්ක කනේ ඇබ දෙක ගලවල හිට කිව්වා පිරිමියා මුළින් එයි නේ... කියල

ආව ආව... හනුම ආවා. ගුරා තාලයකට එහෙම කිව්වහම පොඩි කෙලී පිටිපස්ස හැරිලා දොර දිහා බැලුව හෙවනැල්ලක් හෙල්ලෙනව පෙනුණ නිසා. එහෙං එනවද කියලා. නෑ... බැලින්නං ගුරාගේ ගෝලයා. යන්න තියෙනවයි කිව්ව ගමන යන්න ලැහැස්ති වෙනවා.

ගෙයක් පෙන්නුම් කරනවා. පිටි පස්සෙ ලොකු තාප්පයක් පෙන්නුම් කරනවා.. තියෙනවද

එහෙමයි.. එහෙමයි තියෙනවා..   ගෑණු උන්ද කුලෑටි හඬින් කිව්වා.

කුස්සියෙන් ඔන්න දැන් හනුම ඇතුල් උනා... කුස්සිය තියෙන්නෙ ගේ පිටිපස්සට වෙන්න නේද.

ඔව්.. ඔව්

...............

..........

ඉස්සරහින් යන්න අවහිරයක් තියෙනවා... මං හිතන්නෙ අර බැල්ම.. වෙලාව නැති හින්ද හනුම වටේ යවන්න බෑ. ආපු කාරණය කියා හිටියනම්..

අපේ පොඩි කෙල්ලගෙ මාලේ නැතිඋනා... කොටහළු උත්සවේ දවසෙම. ඒක හොයා ගන්..න.යි

හරි.. හරි අංජනම් දේවි දැන් ආව.. හරි ඇයට කාරණය පේනව.. දේවිය ලොකු උත්සවයකට මැදි වෙලා ඉන්නෙ.. ඉන්නව ඉන්නව දුව පෙන්නුම් කරනවා..

ගුරුන්නාන්සේ මටත් ටිකක් බලන්න බැරිද... කුතුහලය වැඩි උන ගෑණු උන්ද බැරිම තැන ගුරාගෙන ඇහුව. ඒක ඇහුණ පුත්තරයත් ගෑණු උන්දට ලංව පීරිසිය දිහා ඇස් දැල්ලුව..

ඔය ඇත්තිට මේවා පේන්නෙ නෑ.. මේවා වරමින් විතරයි පේන්නෙ.. ගුරා සැර ස්වරයකින් කිව්වා.. ආ අංජනම් දේවි කියනව මාලේ ගෙදරින් පිට තාම ගිහින් නෑ කියල.      හනුමත් එක්ක අංජනම් දේවි නොපෙනී ගියා ඔන්න..

මං කිව්වෙ. මේ ගෑණිට පිස්සු.. රු. පන්දාහක් දීල මාලේ ගෙදර කියල අහං දැන් පලයනකො ආපහු... මේ වෙලාවට බස් තියෙයිද දන්නෙත් නෑ..

පිස්සු. අනේ මේ.. ඒ ගුරුන්නාන්සේ හරියටම කිව්ව. බලනව.. පිටිපස්සෙ තියෙන බිත්තිය ගැනත් හරියටම කිව්වා. ගෙදරට යන්න තියෙන්නෙ පොඩි පාර ගැනත් කිව්වා. කොහොමින් හරි උනේ සෙතක් නෙවේද.. හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් හම්බ උන එකම මදෑ. මටනම් ලොකු කෙලී ගැන කිව්ව එකම ඇති..

ඒක ඇහුන ලොකු දුව මල්ලිගෙන් ඇහුව මං ගැන මොකක්ද කිව්වෙ කියල.. මොකද ලොකු දුව සිංදුවලට සම වැදිලනෙ හිටියෙ හනුම, අංජනම් දේවි එක්ක ගෙදර කරක් ගහන වෙලේ.

ඇයි ඇහුනෙ නැද්ද. ඔයා යාළු වෙලානම් ඉන්නෙ, ඒක හොඳ එකක් ඒක කරලා දෙන්න කිව්වා..

අම්මෝ යන්තං ඇති... මේක දැම්ම මගෙ සුදු මහත්තාට කියන්න ඕන. මං නම් පොඩ්ඩක්වත් කැමැත්තකින් නෙමේ ආවේ. කට්ටඩියො බොරුමනෙ කරන්නෙ. මටත් ඇල්ලුවෙ ගෙදර විස්තර හරියට කියපු එකෙන්.. කොහොම උනත් මගේ සුදු මහත්තය හොඳ කෙනෙක් කියල දැන් දෙයියොත් දන්නවා..

ආන් බස් එක ටක් ගාල නගින්න.. දවසෙ ට්‍රිප් එක ඉවර වෙච්ච පවුල ගෙදර එන්න බසයට ගොඩ උනා.

ගෙදර උඩ යට ගහල හොයද්දි පොඩි කොල්ලට අල්මාරියයි, ඇඳයි ළඟ වැටිලා තියෙන මාලේ හම්බවුනා.

මහතැනට රු. පන්දාහ මතක් වෙලා ඉහිලුම් නැතුව ගියා.. එත් ඉතින් දැන් කොහොමින් හරි හම්බුනානෙ කියල කරබාගෙන හිටය.

********

දවසක් ඔන්න කට්ටියම, පොඩිම කෙළි බඩට එන්න කලින් ඉඳන් පෙන්නන ටීවී එකේ කතා ටික බල බල ඉන්න ගමන් දොරට තඩි බාන සද්දයක් ආව.

ඒ චැනල් එක බලන් අයට තෑගී දෙන වැඩසටහනෙන්... බඩු මල්ලක් දීල යන්න. ඒ අයගෙ ඒවා දිහා කරන්ට් පුච්චන් බලං හිටියට. බඩු මල්ල ගන්න ගමන් කියන්න ඕන හැබැයි අහවල් චැනලය බැලුවොත් දිනුම්, බඩුම තමයි කියල. එකත් බොහොම උජාරුවට කියල තෑගී මල්ලත් අරං සතුටෙන් නින්දට සැරසුණු ගෑණු උන්ද මහතැනට මෙහෙම කිව්ව.

මං කිව්ව නේද අර ගුරුන්නාන්සේ හොඳ කෙනෙක් කියල. බලනව තාප්පෙ ගැන කිව්වා. ලොකු කෙල්ල වාසනාවන්තයි කිව්වා. ඒ හින්ද අපිට හොඳ නාමේ ලැබෙනවයි කිව්වා... වාසනාව උදාවෙයි කිව්වා. දැන්.. ඒ සේරම වේගන නෙමේද යන්නෙ ආ.. ආයේ පාරක් ඒ දෙවාලෙට යන්න ඕන. එතන හරි අනුහස් තියෙන තැනක්.. මට ඒක යනකොටම දැනුන. එහෙම කියනකොට මහතැන ගොරෝද්දෙ ඇද ඇද හොඳටම නිදි. ගෑණු උන්ද දේවාලේ පැත්තට වැඳගෙනම නින්දට ගියා.

පහුවදා චැනල් එකෙන් දුන්නු බඩු මල්ල ගෑණු උන්ද දිග ඇරලා බලන්ට හැදුවෙ ඊයෙ හිතේ තිව්න සතුට එක්කමයි.

දෙහි ගෙඩි දෙකයි, සීනී 250යි, තේකොළ පැකට් එකයි, මාරි බිස්කට් පැකට් එකයි, ඇපල් ගෙඩියයි, චැනල් එකේ නම ගහල තියෙන ලොකු ලන්ච් බොක්ස් එකයි...

ඒ අතරේ පොඩි කෙලී දුවගෙන ගෑණු උන්ද ගාවට ඇවිත් කිව්වා අම්මේ අක්ක කාමරේ නැහැ. එයාගෙ ඇඳුම් කබඩ් එකත් ඇරලා දාල. ඇදුමුත් නෑ...

ගෑණු උන්දට දේවාලේ මතක් වෙන්ට කලින් දෙලොව රත්උනා...

උදේම කඩේට ගිය මහතැන පත්තරෙත් අරං ගෙට ගොඩ උනා විතරයි පොඩි කෙලී තාත්තටත් සම්පූර්ණ කතාන්දරය පැහැදිලි කරා..

ගෑණු උන්ද තක්බීරි වෙලා දෙයියො සිහි කර කර ඉන්නකොට මහතැන ආයෙම දෙස් දෙවොල් තියන්න ගත්ත, වෙච්ච නස්පැත්තිය ගැන කියව කියව. මේ සද්දෙට ඇහැරිලා සාලයට ආපු පුත්තරය දැක්ක තාත්ත ගෙනාපු පත්තරේ දැකල පුරුදු පින්තූරයක් තියෙන වග. ඒ අර ලඟදි ගියපු දේවාලේ පින්තූරෙ. පොඩි එකා ඒක කෑ ගහගෙන ගෙදර දෙවනත් කරන තාත්තටත්, ගල් ගැහිලා වගේ දුකින් ඉන්න අම්මටත් පෙන්නුවා..

අප දේවාලයේ රන් කඩුව සොරාගෙන ඇත. එය ගත් අය සතියක් ඇතුළත ගෙනත් දෙන්න. නැතිනම් දේව උදහසට ලක්ව මහත් කරදර විඳින්නට සිදුවේ. ඒ නිසා කරුණාකර කඩුව ලබා දී මෙය ගොඩින් විසඳා ගමු.

ඉන්දියාවේ කවට බිර්බල් ගැන ලඟදි පොස්ටුවකින් කියවන්ට හම්බුන නිසා හිතුන ලංකාවේ කවටය ගැන ලියන්ට.. කවුරුත් දන්ට අන්දරේ. ඉහළ තානාන්තර දරපු අන්දරේ. මෙව්වන්ම් ඉතිං වැඩ පෙන්නලා ගතපුව කියල තමා ඉතිහාස කතාවල රන් අකුරින් ටයිප් වෙලා තියෙන්ටෙ. අන්දරේ රජවාසලට සෙට් වෙන්නෙම ඔය නම්බුනාමයකුත් කර පින්නගෙන කියනවනෙ.. ඒ රජතුමාගෙ රාජකීය සැතපීමට බාධා දෙන කටහැකර ගෙම්බෙක් මෙල්ල කිරීමේ මෙලව පරිසංදුන් ආනිසංසයක් විදිහට. ගෙම්බ මැරීමේ ආනිසංසයද කියන්න දන්නෙ නෑ උන්ද මරුනෙත් හතරගාතෙන් ඉන්න තාලෙට.. අවසන් හිටපු විදිහ නිරූපණය කරමින් උන්දගෙ සොහොන යයි ප්‍රසිද්ධ තැන හදල තියෙන අනුරුව පෙන්වල දෙන්නෙ එහෙමයි. හැම රාජ සැපසම්පතක්ම වගේ විඳපු අන්දරේ තමුන්නැහෙගෙ කාලෙ හරි බව දැනන් අවසන් කාලේ ගමේ වාසයට කැමැත්තෙන් රජතුමාගෙන්ද අවසර අරං තමා, අවසන් ගමන පිටත් වෙලා තියෙන්නෙ... ඒත් හොඳට ඇඳපැළඳ ගෙන දෝලාවෙන්. අසනීප වැඩිකමේ අමාරුවෙන් වැව් ඉස්මත්තෙ පලු වීර ගහක් යට වාඩි උන කයිවැල් අන්දරේ මෙලොව හැර ගියේ කවුරුත් දන්න මේ කවිය තමුන්ගෙ අන්තිම කවිය කොරන්...

 

රිදී කළේ රන් කොතලේ බීපු මට

නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට

කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට

මෙහෙමත් කල යාද පළු වීර ගස්‌ යට

 

අන්දරේ ජීවත් වෙලා තියෙන්නෙ මුහුදුබඩ පෙදෙස් ලන්දේසි ආක්‍රමණය කර කාලෙ. ඒ කාලේ සෙංකඩගල මහනුවර රාජාධිරාජසිංහ රජු හිටි අවදිය කියලා කියනවනෙ. වර්ෂ දැක්වෙන්නේ ක්‍රි.ව. 1782- ක්‍රි.ව.1798 කාලය තුල කියලයි. රජවරුන්ට ආතති දුරුකොරන්ට, මානසික සුවය ලබන්ට අද වගේ දේවල් තිවුනද එදා. අඩු ගානේ funny video බලන්න කියල ඈ.. ඒකට ඉතින් එදා ඒ වැඩ පැවරිලා තිබ්බෙ රාජකීය කවටයන්ට.. අද ඒවගේ උන්දලා ඇමතිකං දැරුවට. කවටයා කිව්වට ඒක එක අතකින් නම්බුකාර රාජකාරියක්. අද ඈයො වගේ නෙමේ එදා උන්දලාට තිබුණ දැනුමක් හා එඩිතර කමක් හීං සැරේ හරි, හරි දේ මොකක්ද කියල රජතුමාට ඒත්තු ගන්නල දීමේ හැකියාවක්. එහෙම බැලුවොත් සමහර කවටයන් නිතැතින්ම පුරෝහිත රාජකාරිය පවා කරලා තිබිල තියෙනවා.

 

අන්දරේගෙ උපන් ගම විදිහට මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල වගේම දෙවුන්දර කිරලවැල්ල ගම් දෙකම සඳහන් වෙනවා. එහෙම උනත් කිරලවැල්ලේ ඉගෙන ගත් ගැමියෙකුට දාව එකම පුත්තර රතනය ලෙස අන්දරේ උපන් බව තමා වැඩි හා සාක්ෂි සහිත පිළිගන්ට පුළුවන් කාරණය. හීං සන්දියේ ඉඳන් නසරානි වැඩ තිබුන කියන අන්දරේ කොලුවා පතපොතේ වැඩ වලට වැඩි කැමැත්තක් තිබිල නෑ. ඒ උනත් පණ්ඩිතකමේ අඩුවක් තිබිලත් නෑ. දවසක් දාංගලේ වැඩි අන්දිරිස් කොලුවව ගෙදර මහ අය මගුල් ගෙදරක එක්ක ගිහින් තියෙන්නෙ දඟ වැඩ බෑ.. ගොනා වගේ ඉන්ට ඕන කියලා. කොලුවත් ගිහින් ඉතින් මගුල් ගෙදර ගොනා සේ ඉඳල.. බැරිම තැන ගෙදර උන්දලම ඕක නවත්තපං කියලා. ආයේ දවසක් පියාණෝ ගස්බැඳ තියල මට්ටු කොරන්ට හිතන් පුතාණෝව..

 

අසමානේ අම්මේ මේ අහපන්නේ

නොතෙමා මා මෙතනින් අහකට ගන්නේ

බුසමානේ තලපත ගෙන ඉහලන්නේ

ගැටමානට ගෙන ගොස් මා ඇරලන්නේ     මෙහෙම කවි කියල බලල අම්ම ඇවිත් බේර ගනීද බලන්ට. අම්ම බෙර ගන්ට හැදුවත් පියාණෝ එරෙහි වෙලා. පස්සෙ මේ විදිහට පියාවත් අමතල කොහොමින් හරි අනුකම්පාව අරං ගස් බැඳිල්ලෙන් මිදිලා.

 

වැස්ස තද නිසා සීතල වැඩි වෙච්චි

ඇඟපත වෙවුලාය සන්නිය ළං වෙච්චි

එලොව පොල් පෙනෙයි අද නම් වැරදිච්චි

හොඳ හැටි ගෙයි දොයිද මගෙ බුදු අප්පච්චී

 

ඔහොම කවියට දස්ස අන්දරේ අර කිව් විදිහට රාජ හිරිහැරයක් උන ගෙම්බ මට්ටු කරලා සද්ද විද්ද පලඟ පතිරගරු නම්බුනාමත් අරං තමා රාජකීය කවටකමට අත්පොත් තබන්නෙ. ඕකෙ තේරුම තමා සද්ද කළ මැඬියා මැරූ වීරයා. ඔය නම්බුනාමයට තව කෑල්ලක් එකතු වෙනවා රාජපක්ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ. (ඒක ඇහුවම නිකං තෝන්තු වෙනවා නෙ). අන්දරේ කවටයෙක් විතරක් නෙමේ අදිකාරම් කෙනෙක්ද වනවා. ඔහොම රාජ්‍යය සේවය කරන ගමන් අන්දරේ රජා ඇතුළු ඇමති, මහබිසව්ට, අනෙක් කාන්තාවන්ට කවටකම්, නොපනත්කම් තමා වැඩි හරියක් කොරල තියෙන්නෙ. ඒකෙන් බොහොම දන්න කියන එකක් නෙ උඹේ කටෙත් පස්. මගේ කටෙත් පස් කියල පුතත් එක්ක සීනි කාපු එක.

 

වප්මඟුල් උත්සවේ වැඩකටයුතු බලන අතරේ දවසක් රජතුමා සීසෑමට හරකුන්ට එන්න කියන්ට කියල අන්දෙර්ට කිව්වා. උත්සවේ දවසෙ එක හරකෙක් තියා හරක් අයිතිකාරයෙක්වත් නෑ.. රජතුමා කේන්තියෙන් මේ ගැන ඇහුව. අන්දරේ කිව්වා මං හරකුන්ගේ ඇඟත් අතගාල කාරණාව කිව්ව. එතකොට නැට්ටත් වැනුව රජතුමනි හාකියල. එතකොට තමයි රජාට මීටර් උනේ හරක් අයිතිකාරයින්ට දන්වන්න කියල නෙමේ කියඋනේ කියල. කොහොමින් හරි දඬුවමක් දුන්න. දන ගහගෙන හිටු... පාරේ නෙමේ කුඹුරේ කයි කිය කිය. අන්දරේ ඒකටත් ඉතින් තමුන්ගෙ කයි සත්තිය යොදවල

 

අප වැනි අයට කොච්චර දුක ද හිමි තුමා - මෙච්චර දුකට පිහිටක්‌ නූන කල කිමා

රිවි කුල රජුන් හට ඇත්තේ මේ පුදුමා - කවි කියවන්ට සැදු වේලාවක මහිමා   කියල මෙ කවියෙන්ම දඬුවම ලිහ ගත්ත.

 

දවසක් හොඳම බොරුව ගොතන්නැයි කියලා රජතුමා තරඟයක් තියද්දි ඒකෙන් අන්දරේ දින්නේ බෙල්ලත් උගසට තියල. වැඩේ වරදුනානම්... රජාට කේන්ති ගියානම් ඉවරනෙ. නමුත් රජත් බුද්ධිමත් කෙනෙක් හන්ද මේකට දඬුවම් කරේ නෑ. නැත්තන් ඒ කිව් කයිය ඇත්ත වෙනවානෙ..

 

රජකම් කළත් ඉඳගෙන සිහසුනක මත - ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත

ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත - මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

 

රජතුමාත් දක්ෂ කවියෙක් බවයි සඳහන් වෙන්නෙ. දවසක් රජු අන්දරේගෙන් තේරවිල්ලක් අහල කවියකින්ම. සමහර විට සබාව ඉදිරියේ අහපුහම අන් අය නිරුත්තර වෙද්දී අන්දරේ උත්තර දුන්න වෙන්ටත් පුළුවන්. මොකද රාජ සබාවේ වෙනත් කවි කීන උන්දැලත් හිටි බවයි පතපොතේ සඳහන් වෙන්නෙ. දැන් නම් ඉතින් පෙළපොත් වලින් මේ චරිත ගැන තිබුණ පාඩම් කටුගෑවෙලා යනවා.

 

දාර දෙකයි එක තැන මුල්කර තැනුවා - පාර තිහක්‌ ගැහුවට බයකුත් නැතුවා

කොන් හතරයි කණු හතරයි ගෙට ඇතුවා - තෝරාපන් ඊයේ මගදී දුටුවා

 

        පිළිතුරු කවිය -

 

දාර දෙකත් එක මැද එක ගැවසීය - වට පිට යන කලට කණු සතරෙන් යාය

ගෙට වැඩි කලට කිසි බයකුත් නැතුවාය - මට දැනෙනා ලෙසට මහ රජ ඉබ්බාය

 

මේ කවිය සම්බන්ධව යාන් කතාවක් තියෙනවා අන්තිම පද පෙලින් මහ රජ ඉබ්බා කියල එක එල්ලෙ රජුටම කියපු බවකුත්.. කොහොමින් නමුත් ඒ බව දන්නෙ අන්දරේම තමයි ඉතින්.

 

ඔය අතරේ රජාට විතරක් නෙමේ රජබිසවටත් කවටකම් කරා. මතකනේ තමුන්ගෙ නෝනාටයි, රජබිසවටයි කන් ඇහෙන්නේ නෑ කියලා එකිනෙක්කෙනාට ගාණ්ඨාර වයන්න සැලැස්සුව. ආයෙ දවසක් දියකෙළියට කලේ ඇන්න යන බිසව්තුමෝ දකිනව අන්දරේ.. කොහොමට ඇද්ද ආ.....

 

කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන - ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන

තඹත් පිත්තලත් දෙවගේ පැළඳ ගෙන - රොඩී කෙල්ල කොයි යනවද උදෑසන

 

මේක ඇහිච්ච බිසව්තුමෝ කේන්ති ගෙන ගතු කිව්ව රජතුමාට. අම්බානෙට කේන්ති යන්න ඇති රජටත්.. ඇයි ඉතින් රටේ ඉන්න සුපිරිම කඳ.. රන්කඳට ලොටතන අරව මේවා ගානකොට. කොහොමින් උනත් අන්දරේගෙ වැඩ දන්න රජතුමා අන්දරේව ගෙන්න ගෙන මේ ගැන විමසුව.. නෝනිගේ හිත සනසන්නත් එක්ක වෙන්ටෑ. අන්දරේ කිව්ව, කිව්ව කවිය ඕක නෙමේ මේක කියල පද වෙනස් කරා.

 

රන් කැටි කළේ දිය උකුලේ තබාගෙන - රන් කුඹු දෙකක්‌ සළු පටකින් වසාගෙන

රිදිත් රත්තරන් දෙවගේ පැළඳගෙන - මල් මද බිසව් කොයි යනවද උදැහන

 

 ලස්සන කෙල්ලන්ටත් අන්දරේගෙන් බේරුම් බොරු කියල තමයි සඳහන්. මේ කවියේ හැටියට නම් පෙළවහක් කරගන්න කං උන්දට හරියට නින්ද ගිහින් නැති හැඩයි.

 

වතට ලවනතට නුඹ බලන බැල්මට - වරලට ගෙලට නළලට නාසිකාවට

ගමනට බසට නුඹ හට ලොබ කළ මෙ මට - කුමකට කියමි නිදි නැත රැය තුන්‍ යමට

 

මේ කවියෙන් තේරෙනව අන්දරේ ලස්සන කෙල්ලන්ට කොච්චර කැමැත්තෙන් හිටියද සහ සෘන්ගාරය මතුකරලා එයින් හීන් සතුටක් ලැබුවද කියල. ඒ වගේම ඒ කාලේ කුල මල හොයන ඒවා එහෙමත් තිබිල තියෙනවා අන්දරේ ඒ ගැන තැකීමක් නොකරට.. උන්ද ඉතින් හොයල තියෙන්නෙ රුවේ වරුණ නෙව.

 

මහ මී කුඩා මී හිමයේ බොහොම ඇතී - කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන් ගනිති

කොතැන වුනත් හරි නෙද මැණික රුව ඇති - රුව ඇත්නම් අඩු කුලය ද කමක් නැති

 

            කෙකටිය ගලවන කෙල්ලෙක්ට අන්දරේ ගෙතු හිටිවන කවිය

 

පතුල ගසා අල උගුලන කලට ලියේ - මකුල සේම වත සුළඟට යාය ලියේ

මුකුලු සිනා අප දැක කෝඩු කාරියේ - කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

 


 ලඳුන් දුටුවම මේ වගේ හිටිවන කවි කියපු අන්දරේට සමහර තැන්වලදී පිළිතුරු කවිත් අහන්න ලැබුණ බවයි සඳහන් වෙන්නෙ. බිරිඳක් ඇන්න ආවට පස්සෙ වෙන ලමිස්සියන්ට කවි නොකිය හිටියද කියල නම් හිතන්ට අමාරුයි හිටන්. විවාහයෙන් පහු බිරිඳට කියපු කවි දෙකක් තියෙනවා. මේ සම්බන්ධව එන එක කතාවක් තමයි මුළින් අගේ රූපය වර්ණනා කරලා එක කවියක් කිව්වා. ඒත් කටවහ වදී ද හිතල රූපය කැතයි කියල අනෙක් කවිය කිව්වා කියනා එක. ඕක එක මතයක්.

 

නෝක්කාඩුවට ඇද කියල එක කවියක් කිව්වම හාමිනේ තරහ වෙලා අන්දරේ එක්ක... යාලු කරගන්න අර වර්ණනා කවිය කියලා කියන එක තමා අනෙක් මතය.

 

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා - බඳ දෙස බැලිමි හෙරළිය වැන්න මෝරනා

තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා - ලිය දෙස බැලිමි වැඳිරිය වැන්න දළුකනා

 

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා - බඳ දෙස බැලමි රන් කඳ වැන්න ආරනා

තන දෙස බැලිමි රන් කුඹුක් වැන්න එල්ලෙනා - ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

 

            ඒ වගේම විවාහයෙන් පස්සෙ නැන්දම්ම තුමියටත් කවි ගොතල අන්දර බෑන තුමා...

 

අලුත් පිටට බෑණා ගෙදර එනකොට - මලුත් පුදා දුව කැඳවා දෙති ළගට

කලක් ගොසින් බෑණා පරණ වෙනකොට - බලුත් නොවටීය බෑණා නැන්දාට

 

මොනවා උනත් බිරිඳ මියගිය තැන කියලා තියෙන මේ කවියෙන් තේරෙන්නෙ අන්දරේ ගෙදර උන්දැට ආදරෙන් හිටි බවයි. පස්සෙන් පහු දෙවැනි විවාහයක් කරගත් බව තමයි සඳහන් වෙන්නෙ.

 

පටු වන් නළල දිලිසෙන සුරතල් දිගැසේ - ඔටුවන් පුරඟණන් පරදන මැණික යසේ

කෙටුවෙන් ඉන්න පළ නැති ලෙස මගෙ හිතේ - දුටුවොත් මහ බබා මම කොටමි උගෙ හිසේ

 

ඔහොම ඉන්න අතරේ දවසක් රා ඉල්ලලා (කාසි නොදී බොන්න හදද්දී වෙන්ට ඇති) නොදීපු තැන රා මදින්නට සෙත් නමේ වින පතල වස් කවියක් ගොතල.

 

තියන තියන අඩි ලිස්‌සා වැටියන් - බඳින බඳින වැල වරපොට කැඩියන්

කපන කොටන මන්නේ ලේ ගැවියන් - මට රා නොදුන් තෝ ගහ මුල වැටියන්

 

මෙහෙම කිව්වම රා මැද්ද උන්ද වැලේ නෙමේ පොළොවේ අඩිය තියන්නත් බය වෙන්න ඇති එකසිය ගානට. ඉතින් දීල දාන්න ඇති, ඇති පදං බියන් කියල. අන්දරේත් බීල ඉවර වෙලා කොරපු උපකාරෙට සෙත් කවියකින් මුළින් කිව් වස් කවිය කැන්සල් කරලා දාල.. මෙන්න මෙහෙම.

 

කළුවන් කළු රුවයි අපෙ ගම මදින්නා - එන එන කැකුළු මල නෑරම තලන්නා

මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා - දෙයියෝ රැක දෙන්ට අපෙ ගම මදින්නා

 

අන්දරේ තමන් ගැනත් කවියක් කියාගෙන තියෙනවා... සමහර විට හිතෙන්න ඇති අනිත් උන්ට කවි ගොතන එකේ මටත් එකක් කියා ගත්තොත් නරකට හිටීද කියල.

 

යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට

මන්තරේ හොඳයි ඉඳ ජප කරන්නට

ගින්දරේ හොඳයි සීතට තපින්නට

අන්දරේ හොඳයි සීපද කියන්නට

 

 අන්දරේගේ මරණය ආරංචි වුන රජු දුකින් ඒ ස්ථානයට ආ බවත් අන්දරේගේ අවසන් ඉරියව්වද දැක අන්දරේ නුඹ මරණයෙන් පසුත් මා සිනහ ගන්වනවායනුවෙන් කියා ඇති බව ජනප්‍රවාද වල දැක්වේ.

 

අන්දරේ කියන්නෙ හැබෑ ලෙස හිටපු කෙනෙක් නොව එදා හිටි චරිත වල එකතුවක් බවත් එක් මතයක සඳහන් වෙනවා.


 

මට දුක ඒකයි

දිනක් තම දීර්ඝ කාලීන මිතුරන් දෙදෙනා හමුවූ අනෙක් මිතුරා තමන් හට ඇති මහත් දුක ඔවුන් හමුවේ කියා සිටියේය.

මචං උඹ දන්නවද අපේ ගෑණි මට කලින් දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳල තිබිල. දන්නවද.. දන්නවද උන් මටත් වඩා අඩුවෙන් ඉගෙන ගත්ත අය.

ඉතින් උඹේ ගෑණි උඹව තෝරගත්තෙ උන් දෙන්නට වඩා උඹ බුද්ධිමත් හින්ද නිසා සතුටු වෙයන්කො දුක් වෙන්නෙ නැතුව.

සතුටු වෙන්න.. කෙහෙම්මල. මෝඩයො වෙලත් උන් දෙන්නට අපේ ගෑණිගෙන් බේරෙන්න තරම් මොලේ තිබ්බ..

 

රජය, විපක්ෂය හා ජනතාව

රජය කියන වචනෙ අහන්න හම්බවුනු පොඩි එකා ඒකෙ තේරුම මොකක්ද කියල තාත්ත නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවක ඇහුව. තාම හුරතල් කොළුවනෙ... තුරුලට අරං ගෙදර වැඩ සිද්ධ වෙන හැටිත් ගළපල මේ වචනෙ තේරම් කරලා දුන්න මෙන්න මෙහෙම.

පුතේ බලපං මං තමා මේ ගෙදර ලොක්ක.. ඒ කියන්නෙ රට කරන රජය වගේ. එතකොට බලපං උඹේ අම්ම. මං කරන්න හදන වැඩේවත් කරන්න දෙන්නෙ නෑ.. කියවිල්ල විතරයි. රණ්ඩුවටමයි බර. හරියට විපක්ෂෙ කියන්නෙ, අන්න ඒක වගේ. ඒ වෙලාවට පීඩා විඳින්නෙ කවුද රටේ ජනතාව.. හරියට උඹ වගේ.

ඔහොම කියල දවස් දෙකක් විතර යද්දී රණ්ඩුවක් උනා පොඩි එකාගේ තාත්ත මහා රෑක ගෙදර ආ වෙලේ අම්මත් එක්ක. පහුවදා ආපහු අර විදිහට පොඩි කොලුවා තාත්ත ගාවට ඇවිත් මෙහෙම කිව්වා.

රජය දාගෙන ඊයෙ රෑ විපක්ෂයට ගැහුවා.. ඒත් ජනතාව හිටියෙ අවදියෙන්.

 

සල්ලි දීල ගන්න

අස්පයෙකුත් ගත්තනම් තමුන්ගෙ ගොවිපොළ හැම අතින්ම සම්පූර්ණයි කියල ගොයි මහත්තයෙක්ට දවසක් හිතුන. ඉතින් උන්දෑ පහුවදා තමුන්ගෙ ළමයවත් අරගෙන නගරෙට ගියා.. අස්පය ගන්ට තමයි ඉතින්. මුනුත් අස්ප ගණන් නෙව කියල හොඳම එකෙක් දැන් ගමය තෝරනවා. මේක දැකපු පුත්තරය ඇහුව

ඇයි තාත්තෙ අශ්වයා උඩ නැගල.. එහෙම බලන්නෙ?

පුතේ ගන්න කොට තෝරල හොඳ එකෙක් ගන්න එපෑ..

එහෙම කියල ටික වෙලාවක යන කොට ටිකක් දුකෙන් වගේ කොලුවා තාත්තට මෙහෙම කිව්වා.

තාත්තෙ මං හිතන්නෙ අර එහා ගෙදර මාම හදන්නෙ අපෙ අම්මව සල්ලිවලට ගන්න.

 

සේරප්පුවෙන් ගැහුවොත්

“මචන් මං.. මං මොකද කරන්නෙ මේක ගෙදරින් දැන ගත්තොත්.. විසුමක් වෙන්නෙ නෑ.

සාමාන්‍යයෙන් කොම්පැනි වල වාර අවසාන පාටි, ඇනුවල් මීටින් කියල එක එක ඒවා තියෙනවා. ගොඩක් ඒව ඉතින් බෝතල් සාදා තමා. බීල කෙලින් ඉන්න උන්දෑල ටික විතරක් මීටීම තියෙනවා. රට තොට, ගෙදර ගැන, ගෑනු හුටපට තමා ඉතින් ඔතන කතාව...

ඔහොම තිබ්බ night club පාටියක කෙල්ලෙක් එක්ක හොඳ හැටි නටල වෙරි බිංදුවටම වැටුන කෙනෙක්ට ගෙදර මතක් වෙලා තරු විසි උනා.

ඕ.. දැන් මං මොකෝ කරන්නෙ. ගෙදරින් දැන ගත්තොත්.. අපේ ගෑණි හරි දරුණුයි. මට.. මට සෙරප්පුවෙන් ගහල එලවයි.

එහෙනම් මං කියන්නද නියම වැඩක්.

මොකක්ද..

ටික දවසකට උඹ සේරප්පු දෙක හංගල තියපං..

 

කෝල් එක කාටද

ඔය වගේ ලොකු කොම්පැනි වල වැඩ ඉවර උනහම සුද්ධබුද්ද කොරන්ට වෙනම පත්කළ නිලධාරීන් ඉන්නවයි කියනවනෙ. cleaning service කස්ටිය කියලා තමා හින්ගලෙන් ඒ අයට කියන්නෙ. වැඩ කොරන වෙලාවෙන් පහුත් වැඩ කොරන උන්දලත් ඉන්නවනෙ, යන්න ගෙයක් නෑති ඈයො වගේ සමහරු. තට්ටු විස්සක් තියෙන උහ බිල්ඩිමේ 19 වෙනි තට්ටුවේ තිබ්බ මේ කොම්පැනියෙ එදා එහෙම හිටියෙ ලොකු තැන විතරයි. අනිත් අය කොරපු වැඩ බලන්න වෙන්ටෑ ඉතිං.

ඔන්ට දැන් සුද්ද කොරන ගෑණු උන්දෑ ඒක කොරගෙන යනවා. පහල guard room එකෙන් call එකක් එනව. ගත්ත ගෑණු කෙනා. අහගෙන... හිතට දහිරිය අරං වීදුරු කාමරේට ගියා මේ අසුබ පණිවිඩේ කියන්න.

කමල් මහත්තයා hospital එකෙන් පණිවිඩයක් එවල. මහත්තයගෙ ලමයයි, මැඩමුයි දෙන්නම වාහනේ යන අතරේ නැති වෙලා කියල..

දැන් මේ ලොක්කට ඉහිලුම් නෑ.. ඇයි මේ මැරීගෙන හම්බ කරන්නෙ, බිස්න්ක් කරන්නෙ පවුල වෙනුවෙන්... වෙන්න ඇතිනෙ. ඇරිය ජනේලේ. ජීවිතේ එපා කියල දරුණු හිත වේදනාවෙන් පැන්න..

ඔන්න දැන් 19වෙනි තට්ටුවේ ඉඳන් 12වෙනි එකට වගේ එනකොට උන්දැට සිහි උනා.. ළමයි. මට කොයින්ද ළමයි.

ඔන්න දැන් 8වෙනි තට්ටුව හරියට වැටීගෙන එකකොට සිහි උනේ මැඩම්. මැඩම් කියන්නෙ.. මං තාම බැඳලත් නෑනෙ.

ඔන්න දැන් 2වෙනි තට්ටුව හරියට එනකොට - කමල්. කමල් කියන්නෙ කවුද මං සුනිල් නෙ.......

 

පූසා සහ ලොකු නෝනා

ඔන්න එකෝමත් එක පෝසත් ගෙදරක් තිබ්බ. එකේ හිටිය වැඩකාර ගෑනු කෙනාට ටිකක් විතර පොඩි අප්සොට් එකක් තිබ්බ. වැඩියමත් අවුලක් නැහැ... දවසක් මෙයා ගේ අස්පස් කරකර ඉන්නකොට ලස්ස ගානක් දීල ගෙනාපු ඇල්ටෙස් පූසා වහළට නැගපි. වැඩකාරි වැන්දෙ නැති ටික විතරයි බිමට වඩින්න කියල. නැග්ගට බැහැගන්න බැරි පිටරට පූස් හවස් වෙනකම්ම ඉඳල දුක දරා ගන්න බැරුවද කොහිද මැරිලා පතබෑවුනා බලාගෙන හිටපු වැඩකාරිගේ ඉස්සරහම. කොරගන්න දෙයක් නැතුව බැරිම තැන හාමු මහත්තයට ටැලිපෝන් කරල විස්තරේ කිව්වා.

හාමු සැර දැම්ම, ඔහොම දෙයක් එකපාරට කියනවද කියල. නෝනට කිව්වනම් කලන්තේ දාල වැටෙන්නත් තිබ්බ. ටිකක් හෙමීට කාරණාව කියන්න එපා. අහන කෙනා කුලප්පු නොකර. පූසා ගහට නැග්ග. ඊට පස්සෙ වහලෙට ගියා සමනලයෙක් පස්සෙ.. කියල එහෙම එපෑ හිමීට කියන්න. ආයේ එහෙම මේ වගේ වැඩ කරනවා නෙමේ. securityට කියන්න සුද්ධ කරන්න. ආ.. නෝනට ටෙලිෆොන් කරනවා එහෙම නෙමේ. මංම හිමීට කියන්නම්..

ඔහොම කියල ටික කාලයක් යද්දින් නෝනා හාමුගේ මව් උන්ද එක්කන් ආව ගමේ ඉඳන්..අසනීපවෙලා බේත් කරන්න. දැන් සැප ගෙදර ඉඳන් වයසක උන්ද bed rest කරනවා. දවසක් ඔන්න ටිකක් අමාරු උනා. වැඩකාරී ඇඳ ළඟ.. ටිකක් වෙලා ගියහම මේ ගෑණි දුකෙන් කර කියා ගන්න දෙයක් නැතිව ගියා ටැලිපෝන් එක ගත්ත. එහා පැත්තෙන් හාමු ගත්ත.

මහත්තය.. ලොකු නෝනා එළියට ආව. ගහ වටේ ගියා. ව.හ..ළ.ට නැග්ග..

තියපන් ගෑණියේ ෆොන් එක... මං එනව දැන්ම. නෝනට එහෙම ගන්නවා නෙමේ.

 


              ඕන් නත්තල ළඟ හින්ද මේ කතාව.

 

ජේසු සහ මේරි කරපු දේ

 

නෝනා: ඇදුම් අල්මාරියත් ඇරගෙන මොකක්ද ඔයා කරන්න හදන්නෙ .. නත්තලත් ළඟ තියාගෙන

මහත්තය: ජේසුතුමා කළ දේම තමා.

නෝනා: ඒ මොකක්ද ?

මහත්තය: අද අතුරුදහන් වෙලා, ඉන් අනිද්දා ඔයා ඉස්සරහ පහල වෙනවා.

නෝනා: එහෙම උනොත් මට කරන්න වෙන්නෙ මේරි තුමිය කරපු වැඩේ.

මහත්තය: ඒ මොකක්ද ?

නෝනා: මහත්තයගෙ එක ඇඟිල්ලක්වත් ගාව නොගෙන ළමයෙක් බිහි කරපු එක..

ඉතින් මහත්තය හැම අවුරුද්දෙම නත්තල් සතිය නෝනත් එක්ක ගත කළා.


ගම යනු පීඩා විඳින්නවුන්ගේ අඳෝනාවයි. හදවත් නැත්තවුන්ගේ ලෝකයේ හදවතයි. ආත්ම විරහිත සමාජයේ ආත්මයයි. එය බහුතර ජනතාවගේ මත් උත්තේජකයි. මෙහෙම වැදෑරුවෙ කාල් මාක්ස්. සමහරුන්ට නම් මෙතුමා උතුමෙක්. (කාල් මාක්ස් නම් මේක කිව්වෙ ආගම එකම හිමිකමක කරගෙන විඳවන ජීවිත වල සමාජ පැතිකඩ දිහා බලලයි).

එතකොට සමහර භෞතිකවාදී, විද්‍යාව කරපින්නා ගත් අය කියන දෙයක් තමයි ‘මේ ජීවිතයෙන් එහා පැවැත්මක් තියෙන බවක් පිළිගන්න බෑ. වෙනත් හෝ නොපෙනෙන ලෝකයක් තියෙන බවක් තාම නවීන විද්‍යාවෙන් වත් තහවුරු වෙලා නැහැ. එතකොට තව කියනව මිනිසා ක්‍රියාත්මක වීම කියන්නෙ මොලයේ ක්‍රියාකාරිත්වය මත වන දෙයක් මිස අන් දෙයක් නෙවේ ’.... වගේ කතා.

මට හිතෙන විදිහට අපිට තේරුම් ගන්න බැරි දේවල් නැහැයි කියල ප්‍රතික්ෂේප නොකර, කළ යුත්තේ විමසා බාලා දෙයක් තියේ නම් ඒ දේ තේරුම් බේරුම් කර අවබෝධය පුළුල් කර ගැනීම උත්සුක වීම හෝ නොදන්න දේවල් ගැන කතා නොකර සිටීමයි හොඳ කියල. මොන භෞතිකවාදී, න්‍යායාත්මවාදී කතා කීවත් ඔය සමහරුන් කරවටක් එරී සිටින වෙලේ ආගම සිහියට ඒම වගේම, අවසන් මොහොතේ ඊළඟට මොනවා වෙයිද, අනිත් ආත්මය ගැන වගේ දේවල් ගැන හිතට එන්නෙ ඉබේමටම.

මොනවා තේරුම් නොගත්තත් අප අවට වන ලෝකයේ සංසිද්ධි වත් නිරුවත් දෑසින් බැලුවා නම් නිතැතින්ම කියවෙන එක දෙයක් තියෙනවා. මේ සසරක හැටි...

Samsara (2011) යනු ආඛ්‍යාන නොවන වාර්තාමය චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Ron Fricke වන අතර නිෂ්පාදනය Mark Magidson. ඒ වගේම ඔවුන් මේ නිර්මාණයට රීල් කැමරා හා ඩිජිටල් කැමරා වර්ග දෙකම භාවිතයට ගෙන තියෙනවා. ඒ තාක්ෂණයන් දෙකේ සංකලනයෙන් වඩා හොඳ නිමවුමක් ලබා ගන්නට. Rotten Tomatoes වල 76% අගයක්ද, Metacritic වල 65% ද, IMDb වල 8.5/10 ක අගයක්ද, Google පරිශීලකයන්ගේ 88% ක ප්‍රතිචාරයෙන් ද ඒ තාක්ෂණික සංකලනය මෙන්ම සිනමාපටයේ විශිෂ්ටතාව යන දෙ කාරණාවන්ගෙන්ම Samsara (2011) උසස් නිමවුමක් බව පෙන්වල දෙනවා. ඒ බව සිනමා සිත්තම විඳගත් පිරිසද එක සේ සාක්ෂි දරනවා.

ජීවත් වෙන්න රැකියා කිරීම, භාණ්ඩ මිලදී ගැනීම, ආහාර ගැනීම, කාපුවා අයින් කරන්න සැත්කම්


එක මාතෘකාවක් ඔස්සේ රූප රාමු පෙළගැස්වී නොතිබෙන මෙහි තේමාව ලෙස ‘ඉපදීම, ජීවිතය, ලෝකය, මරණය, වෙනස්වීම වගේ කාරණා ඔස්සේ ගලා යන බව දැක ගන්න පුළුවන්. ඒ ඔස්සේ ඔවුන් තම නිර්මාණය සම්පූර්ණ කිරීමට රටවල් 25ක් පුරා රූගත කිරීම් සිදු කර තියෙන බව සඳහන්. ඒ බව චිත්‍රපටයේ අපූරු රූප රාමු සාක්ෂි දරනවා. අපූරු විතරක්ම නොවේ මේ ජීවිතය ගැන ගෙවූ, ගෙවෙන කාලය ගැන නැවත සිතා බලන්න ඒ අපූරු රූප රාමු අපව යොමු කරනවා. ගැඹුරු ඇතුළාන්තයකට අපිව ගෙන යනවා. මෙතෙක් ගෙවූ ජීවිතය අර්ථවත්ද...... ජීවිතය කියන්නෙ කුමක්ද. අපට නොතේරෙන ජීවිතයේ, මනුෂ්‍යත්වයේ කොටස කුමක්ද..

ජීවත් වෙන්න රැකියා කිරීම, භාණ්ඩ මිලදී ගැනීම, ආහාර ගැනීම, කාපුවා අයින් කරන්න සැත්කම්

සලෙළු ලියක් තෝරාගන්න නැතිනම් කැමති අයුරින් නිර්මාණය කරගෙන රසවිඳින්න


ජීවිතයේ නොපෙනෙන, නොදකින පැතිකඩ ඔවුන් ප්‍රේක්ෂකයාට විවෘත කර දෙනවා... සිතා බැලීමට. මේ ගෙවල්, මං මාවත්, යාන වාහන, තාක්ෂණික උපකරණ, සුපිරි කඩ සාප්පු, නොනිදන නගර, රැකියා ස්ථාන, අහස සිඹින ගොඩනැගිලි අතර අප ගතකරන ජීවිතයට එපිටින්, ඉහළින් පවතින යමක් ඇද්දයි සිතන්නට යොමුවනව... සිනමාපටයට යොදාගෙන තිබෙන විශිෂ්ඨ සංගීතයද එයට මනාව ඉවහල් වෙනවා.

කාලයේ වැලි තලාවට සැඟව ගිය නිවාස, අහස සිඹින නිර්මාණ හා නොනිදන නගර

ආරක්ෂාවට නිපදවන අවිආයුධ, ආරක්ෂක අංශ, යුද්ධ හා හමුදා ඇතුළු රණ ශූරයන්


ඉතින් අපි මේ ගෙවන ජීවිතය ගැන “බලන් කඩතුරා හැර දෑසේ” වගේ කියමනක් රැගෙන එන හදවතට මෙන්ම බුද්ධියටත් ගැඹුරු සංවේදනා ඇති කරන්නට හැකි මේ සිනමාපටය නරඹන්න ඔයාලටත් ආරාධනා කරනවා.

සිරවුණු ජීවිත හා සිරගත ජීවිත, යන්නෙ කොහිදැයි නොදත් ජීවන මගීන්, කැමතිම මිනී පෙට්ටියේ අවසන් ගමන


      විචාරක සටහනක් -

සාම්ප්‍රදායික සංචාරක සටහනක් හෝ වාර්තා සිනමාපටයක් නොවන samsara වාචික නොවන මග පෙන්වන භාවනාවක හැඩයක් ගනී

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්