ආකාසේ නිල් තරු කැට

පියාඹලා මහ පොළොවට

සේපාලිකා මල් ගහ උඩ

දිලිසෙනවා කදිම රුවට


මාල පොටක් පොඩි නංගිට

හදා දෙන්න පුළුවනි මට

නූල් පටක් අරන් අතට

හෙමින් ගියා ගහ ගාවට


සර සර ගා එක රෑනට

ඉගිල්ලුණා නිල් තරු කැට

කණාමැදිරියනි ආයෙත්

සමාවෙලා එන්න බිමට


රත්න ශ්‍රී විජේසිංහගේ සැළලිහිණියෝ පොතෙන් උපුටාගෙන තුන්වන ශ්‍රේණිය පොතෙහි පල වූ කවිය

 අන්තවාදී වීම මොනතරම් භයානක ද?. අන්තවාදය මොනතරම් භයානකද?. වචනය පවා භයානකයි වගේ.

අයෙක් /පිරිසක් තමුන් හරි යැයි සිතා ඒ මතයේ දැඩිව එල්බ අනෙකාටත් එය පැටවීම, තම මතයම ජය ගැනීමට හා එය පොදු බවට පත් කිරීමට යෑම, අන් මත දැඩිව නොයිවසීම හා පිළිකෙව් කිරීම මොනතරම් සාධාරණද යුක්ති සහගතද... නවීන ලෝකය යැයි පාරම්බාන අද පවා සිදුවන දෙයකි මෙය.. මේ මොහොතේ පවා. සෑම කෙනෙක් තුළම අඩු වැඩි වශයෙන් කිව්වොත්... ඔබ පිළිගනීවිද?. බොහෝ දෙනෙක් එය පිළිනොගනී. සමහර දාර්ශනික මතයන් වලට අනුව අප තුළ තවමත් ගෝත්‍රික, පරිණාමනය නොවූ හැසිරීම් මතු වීමේ හැකියාවක් තියෙනවා යැයි පවසයි... ජානමය වශයෙන් එනවයි කියන්නෙ. කොහොමින් උනත් මේ වගේ හැසිරීම් යම් ප්‍රමාණයක් හෝ තියෙන එක පුද්ගලයෙක්, පවුලක හිටියහොත් ඒ පවුලට ඔහුගෙ/ඇයගෙ ඒ හැසිරීම් මහ වදයක්, කරදරයක්...

අයෙක් තව අයෙක්ට කරනා මේ දෙය දුරදිග ගිහින්.. සමාජයේ යම් පිරිසක් සමස්තයට තම දැක්ම, මතවාදය පටවන්න හැදුවහොත් ?? එසේ කිරීම හෝ සිදුවීම පැහැදිලිවම අන්තවාදයකි. අන්තවාදී ක්‍රියාවකි. මෙය ආගමේ නාමයෙන් සිදුවුන හොත්... තමුන් අදහන ශාස්තෲ නාමයෙන් සිදුවුණ හොත් හෝ සිදුකල හොත්.. එය ආගමික අන්තවාදයකි. තම ආගමට නිගා දෙන අන්තවාදයකි.

රජයේ හමුදාවන්ට බැඳුණු තරුණයින් හසු කරගනිමින්

අද ලොව බලවත්ම ආගමික අන්තවාදී කණ්ඩායම් වන්නේ ඉස්ලාම් අන්තවාදී පිරිසයි. ඔවුන් තම අන්තවාදී ජිහාඩ් (ශුද්ධ යුද්ධය) වාදය පතුරවමින් තම පසු පරම්පරාවද ඒ වෙත ඇද දමයි. ඔවුන් ඒ සිදුකරනු ලබන්නේ ඉස්ලාම් දහම විනාස කිරීම බව ඔවුන්වත් නොදනී. ඒ ගැන දැක්වෙන වාර්තාමය සිනමා සිතුවමක් තමයි Of Fathers and Sons (2017). චිත්‍රපටය Rotten Tomatoesහි 95%ක් ද, IMDb 7.3ක අගයක් ද, Metacritic හි 70% ක ප්‍රතිශතක්ද ඇතුළුව සම්මාන උළෙලවල් බොහෝ ප්‍රමාණයක් නියෝජනය හා නිර්දේශිත වෙමින් ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපට තේරීම් ගොන්නටද එක් විය.

උපතින් සිරියානුවෙක් වන තිර රචක හා අධ්‍යක්ෂ Talal Derki නිර්භීත හා රුදුරු අභියෝගයක් ගෙන තම රටේ සිදුවන ශුද්ධ වූ ඉස්ලාම් දේශයක් උදෙසා වන ම්ලේච්ඡ සිවිල් යුධ වැදීම කැමරා කාචයට හසුකරගෙන තිබේ. ඒ සඳහා ඔහු අවුරුද්දකට නොඅඩු කාලයක් අල් කයිඩාවට අනුබද්ධ බලකායක් සමග සම්බන්ධ සිරියානු අබු ඔසාමාගේ නිවසේ රැඳෙමින් සිට ඇත. ඒ ජිහාඩයට සහාය දක්වන යුද ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔවුන් හමුවේ පෙනී සිටිමිනි. එම නිසා මෙහි කිසිඳු රංඟන ශිල්පියෙක් නොමැති අතර සත්‍යයන්ම සිදුවූ අවස්ථා අපට දැක බලා ගැනීමට හැකි වේ.

වැඩිහිටි අඩි පාරේ යමින් ගහගන්න ළමෝ බිම්බෝම්බ හදා ඒවා පුපුරුවා සෙල්ලම් කරන අයුරු

දෙවියන් වහන්සේ අප හට ලබා දුන් ශක්තියට

කෘතගුණ සැලකීම වෙනුවෙන් අප නුඹලාගේ රුධිරයෙන් මේ බිම තෙත් කරලන්නෙමු //

චිත්‍රපටයේ අබු ඔසාමාගේ පවුලේ ඔහු හා පුතුන් අට දෙනා පමණක් දකින්නට හැක්කේ බිරිඳ හා ගැහැණු දරුවන් පිටස්තර ලොවෙන් ඔවුන් දුරස්ථව ජීවත් වන නිසා බව සඳහන් වේ. එය එහි සෑම පවුලකම සිදුවන දෙයකි.

චිත්‍රපටයේ තේමාව වන්නේ පියාගෙන් තම පුත්‍රයාට/දරුවන්ට ත්‍රස්තවාදය කෙසේ පැතිරෙනවාද යන කරුණයි.

තාත්තේ අපි කුරුල්ලෙක් මරල දැම්ම හරියට අර එදා ඔයා මිනිහෙකුට කරා වගේ...  කුරුල්ලෙක් මරණ එක තහනම්ද?

නෑ ඒක දෙවියන්ගේ නිර්මාණ මහිමය.. අපට අවසරයි.

ඒ කියන්නේ උන්ව මවල තියෙන්නෙ අපිට මරන්නද?

ඔව්. උන්ව මවල තියෙන්නෙ අපිට කන්න.

හමුදා පුහුණුව ලබන අතරේ පියාගේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පුරුදුවන ඔසාමා

 

අබු ඔසාමා තම සිහින මත යමින් දරුවන්ගෙන් එක් අයෙක් වන ඔසාමා ‘ෂරියා අධ්‍යයනය සහ හමුදා පුහුණුව’ සඳහා ඔහුගේ අකමැත්ත මත වුවත් යොමු කරයි. ඔහුද තම සංවිධානයට උදව් දෙමින් බිම්බෝම්බ නිෂ්ක්‍රිය හා සාදන්නෙකු වශයෙන්ද, පෙරමුණේ ස්නයිපර්වරයෙක් වශයෙන්ද කටයුතු කරමින් යුද්ධය පවත්වා ගෙන යෑමට කටයුතු කරයි... අනාගත සමාජයටත් එය දායාද කරමින්. එයට දෙවියන්ගේ උදව් ලැබෙන බව හා එය දේව නියමයක් බව ඔවුන් විශ්වාසයයි. ඒ අනුව කටයුතු කරමින් ඔහු තම එක් පාදයක් පවා අහිමි කරගනියි. අධ්‍යක්ෂ Talal Derki සිරියාවෙන් තම පටිගත කිරීම් අවසන්ව පැමිණෙමින් සිටියදී අබුගේ, ඔසාමා නම් දරුවා නොනවතින යුද්ධයකට පුහුණුව ලබමින් අනාගත ගමන් මග සොයා යයි. එය අන්තාවාදීද නැතිද කියා සිතා ගැනීමට අපට එතරම් අපහසු නැත..

අධ්‍යක්ෂ -

මේ රට තව දුරටත් මා කලින් දැන සිටි

මා වඩාත්ම ආදරය කල මගේ මව්බිම නොවේය...

 POWER CUT

රස්පුටින්. ගිරිගෝරි රස්පුටින් කියන්නෙ ගොඩක් අය දන්න, අහල තියෙන නමක්. Ra Ra Rasputin... සිංදුවෙත් කියල තියෙන්නෙ මෙයා ගැන තමා.

රස්පුටින් තම ආගමික ඇඳුමත් සමග. රස්පුටින්ගේ ගැඹුරු, ගූඩ දෑස් වලට කාන්තාවන් වශීව ඔහුකරා ආ බවට කතා පවතී. වර්තමානයේ ඔහුගේ විශාල ලිංගේන්ද්‍රය සංරක්ෂණය කර කෞතුකාගාරයක තබා ඇත.

ආගම් භක්තිකයෙක්, ආගම් පතුරුවන්නෙක්, දැඩි කාමාශා ඇත්තෙක්, සොරකම් කරන්නෙක්, අත්භූත ශක්ති ඇත්තෙක්, සුව කරන්නෙක්, බලවත් ලිංගික ශක්තිය ඇත්තෙක්, පූජකවරයෙක් අභිරස් ජීවිතයකට හිමිකම් කියන්නෙක් ආදී විවිධ විදිහට කතා රස්පුටින්ගෙ ජීවිතේ සමග බැඳිලා තියෙනවා.

ඔහු උපත ලබා තියෙන්නෙ රුසියානු අධිරාජ්‍යයේ සයිබීරියාවේ වත්මන් ටියුමන් ලෙස හඳුන්වන ප්‍රාන්තයේ පොක්රොව්ස්කෝයි නම් කුඩා ගම්මානයේදීයි. Yefim, Anna Parshukova දෙදෙනා පියා හා මව කරගනිමින් ගොවියෙක් පවුලක තමයි උපත ලබල තියෙන්නෙ. පළාතේ හැමදෙනාම මෙන් කුඩා වියේ වැඩි අධ්‍යාපනයක් නොලද ඔහු දඩබ්බර ළමා කාලයක් තමයි ගතකර තියෙන්නෙ. නාඹර ගිරිගොරිස් (1886 දී පමණ) කොලුව ගේදොර හැරදමා දඩාවතේ යන ගමන රුසියාවේ මොස්කව් වලට කිලෝමීටර් 2, 800 විතර එහායින් තියෙන ගමකින් කෙල්ලෙක් (Praskovya) දැන හැඳින ගෙන ටික කලකින් විවාහ වෙලා. තරුණවියට පත්වෙද්දීම වාගේ ඔහු ආගමික මතයකට නැඹුරුව සිටි බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔහු ඇවිදිමින් සිටි කාලයේ ජීවත්ව තිබෙන්නේ රෝග සුව කිරීමේ, අනාවැකි කීමේ හැකියාවක් පෙන්නුම් කරමින් මිනිසුන්ගේ උදව් ලබාගෙනයි. ඔය අතරේ විවාහයෙන් පසු 1903 දී පමණ ශාන්ත පීටර්ස්බර්ග් වෙත පැමිණ ඇති අතර ආගමික ඇකඩමියට සම්බන්ධ ව තිබෙනවා. ඒ වාගේම ගුප්ත විද්‍යාවන්, එවැනි කණ්ඩායම් සමග ඇසුරක් දැක්වූ බවත් සඳහන් වේ. මේ පීටර්ස්බර්ග් පැමිණීම ඔහුගේ මෙන්ම රුසියාවේ අනාගතයට දැඩි බලපෑම් ඇති කරන කාරණයක් විය. කොහොමින් හෝ තමා සදා ගත් සත්‍යය/ සත්‍යය මුසු සුව කිරීමේ හැකියාවේ ජනප්‍රියතාව මත එදා සාර් රජු හා පවුල හඳුනාගැනීමට රස්පුටින් හට හැකි වෙනව. ඒ රජුගේ එකම පුත්‍රයාගේ hemophilia රෝගයට උත්සන්නව ලේ ගැලු මොහොතක එය සමනය කිරීමකින්ය. නමුත් මෙය සුව කිරීමක් හෝ ප්‍රතිකාර කර රෝග සමනය කිරීමක් ලෙස නොපෙනේ. බොහෝ ඉතිහාසඥයින් පවා ඉදිරිපත් කරන්නෙ මේ මතයය.

Makary, බිෂොප් Theofan සහ සස්පුටින් 1909දී

දෙවැනි සාර් රජු බිරිය හා දරුවන් සමග

රස්පුටින් ඔහුගේ බිරිඳ Praskovya Fedorovna Dubrovina (වමේ සිට තුන්වන), දියණිය Matryona Grigorievna Rasputina (වමේ සිට සිව්වන) සහ හිතවතුන් පිරිසක්

1 රූපය - කර්නල් Dmitry Nikolaevich Loman, රස්පුටින්, මේජර් ජෙනරාල් මිහායිල් Sergeevich Putyatin කුමර. - ශා. පීටර්ස්බර්ග් 1904-1905
2 රූපය - රස්පුටින් අධිරාජිනිය, රාජකීය දරුවන් සමග

කොහොමින් නමුත් ඉන් පසු රජු හා ආර්යාව සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් තියා ගැනීමට රස්පුටින් හට හැකිව තිබෙනවා. මේ සමයේ ඔහුගෙන් සිදුවූ නොහොඹිනාකම් පවා රාජකීයන්ගේ කන්මත වැටුනත් එය ගණන් නොගත් බවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ නිදහසින් ඔහු බොහෝ ලිංගික සම්බන්ධකම් පවත්වාගෙන ගෙන ගිය බව සඳහන් වනවා... සමලිංගිකත්වයත් ඇතුළත්ව. විරුද්ධතාවකට නැගී අගමැති දක්වා යාමත් සමග රස්පුටින්ව රටින් නෙරපා දැමු මුත් නැවත ගෙන්වා ගැනීමට බිසවගේ බලවත් පෙරැත්ත නිසා සාර් රජුට සිදුව තිබනවා. ඒ තරමටම රස්පුටින් රාජ්‍යයේ යම් බලයක් ඒ වන විට තහවුරු කරගෙන තිබිණ. එය අධිකරණ ශේත්‍රරය දක්වා විහිදී තිබුණු බවක් පෙනෙන්නට තිබේ. මෙය වඩා වර්ධනය වන්නට ඇත පළමු ලෝක සංග්‍රාමයට රුසියාවත් මැදි වීමත් සමග. සාර් රාජු ප්‍රධාන අණදෙන්නා ලෙස හමුදාව සමග කාලය මිඩංගු කරන අතරතුර ඇලෙක්සැන්ඩ්‍රා ආර්යාවට රාජ්‍යය පාලනය භාර විය. ඒ ඉඩකඩින් රස්පුටින් බිසවව යහමින් පාලනය කරා වන්නටද පුළුවනි. ඒ වාගේම Boney M කණ්ඩායම කියනා සිංදුවේ තිබෙනා ලෙස ඔහු බිසව සමග අනියම් ඇසුරක් පැවැත්වූ බවට ප්‍රබල මතයක් ඇතත් එය සනාත කිරීමට සාක්ෂි නොමැති බව සමහර විද්වතුන් කියා සිටියි.

රස්පුටින් ඝාතන තැතක් වැරදී තුවාල ලබා රෝහල්ගතව. 1914 පමණ

මෙසේ ශක්තිමත් වූ රස්පුටින් හට රාජ්‍යය තුලින්ම සතුරන් ඇතිවීම ඉබේම සිදු විය. පල්ලිය තුළ පවා ඔහුට විරුද්ධත්වය ගොඩ නැගිණි. ඔහුගේ ක්‍රියා කලාපය නැවත්වීමට ඉහල තැන්වලින්ම (ෆීලික්ස් යූසුපොව්, ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් සහ දිමිත්‍රි පව්ලොවිච්) විසින් සැලැස්මවල් සෑදිනි. ඒ අනුව ඔහු මුලා කර ගෙන්වාගෙන සයිනයිඩ් මිශ්‍ර කේක් හා වයින් ආහාරයට දී ඇති මුත් එයින් ඔහුට කිසිඳු ආබාදයක් ඇති වී නැති අතර රස්පුටින් ගෙන්වාගත් පිරිස පසුව ඔහුට වෙඩි තබා ගෙන ගොස් මලයා නෙව්කා ගඟට විසි කර ඇත. සියවසේ බොහෝ අත්භූත හා මතභේදාත්මක චරිතයක් වන ගිරිගොරිස් රස්පුටින්ගේ අභිරහස් කතාව එසේ නිමවී ඇත.

රස්පුටින්ගේ වෙඩි වැදී ඇති හා සීතලට ගල් වී ඇති මෘත දේහය


ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච්, ෆීලික්ස් යූසුපොව්ගේ, දිමිත්‍රි පැව්ලොවිච් - රස්පුටින් ඝාතනය සිදුකර පුද්ගලයින්

There lived a certain man in Russia long ago

He was big and strong, in his eyes a flaming glow

Most people looked at him with terror and with fear

But to Moscow chicks he was such a lovely dear

He could preach the Bible like a preacher

Full of ecstasy and fire

But he also was the kind of teacher

Women would desire

Ra ra Rasputin....

    දික්කසාදයක හේතු මොනවද?.    බොනවා, කෑ ගහගත්ත ගමන්, වැරදීම හොයනවා, වෙන සම්බන්ධතා තියෙනව.. ඔය වගේ දේවල් තමා. ඒ කියන්නේ ගැලපීම් එක්කරන් කසාද බැඳලා ලං උනාට, නොගැලපීම් වැඩි වෙලා දැන් දුරස් වෙන්න හදනවා.

ඒක නෙමේ දික්කසාදය ප්‍රධානතම හේතුව කසාදය වෙන්න බැරිද......

ලංකාවේ පවා දැන් කලක පටන් දික්කසාද වැඩි වෙනෙ එක බොහොම වැඩි.  සමහර වෙලාවට හිතෙනවා කසාද බඳීනවට වඩා කස්ටියක් divorce වෙනවද කියල. එහෙම වෙන්න බෑනේ නේ. කෝම උනත් අර කිව්ව විදිහට නොගැලපීම් වැඩි තැන වෙන් වෙනකොට, වෙන් වෙන්න හදද්දි මතුවෙන ප්‍රශ්න මොනවද. ඒක ඉන්න ළමයින්ට කොහොම බලපායිද. ඕව ගැන සමහරු නම් තඹ සතේකට මායිම් නොකරන බව තමයි වැඩි හරියක් පේන්නෙ. කොහොමින් උනත් ඔය සියලු කාරණා ගැටගැහිච්ච ලස්සන film එකක් තියෙනව. A Separation (2012).

ඉරාන මධ්‍යම පාන්තික යුවලක් නීතියෙන් වෙන්වීම පතයි. බොහෝ දුරට මෙයට නැඹුරුතාව දක්වන්නෙ කාන්තාව වන Simin විසිනි. ඒ ඇයට රටින් පිටව ජීවත් වන්නට උවමනා නිසා. ඒ වගේම ස්වාමිපුරුෂයාත් තමා සමග ඒ ගමන ඒ නම් දික්කසාද වීම නැවත්වීමට පවා ඇය කැමති බව උසාවියේදී කියා සිටිනව. නමුත් ස්වාමිපුරුෂයා වන Nader එයට අකමැති වන්නේ, තම ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පියා හේතුවෙනි. ඉතින් දෙදෙනා එක මතකය නොසිට හටගත් විරසකය උසාවිය දක්වා ඇවිත්. නමුත් උසාවියෙන් පවා උපදෙස් ලබා දෙන්නේ දික්කසාදයකට යෑම තරම් දෙදෙනා අතර ගැටළුවක් නොමැති බවයි. ඇය හා ඔහුගේ වැඩ නිසා තැලෙන්නෙ අහිංසක දුව වන Termeh ය.

උසාවිය - දික්කසාද ඔයා ඉදිරිපත් කරන හේතු මදි. ඔහු ඔයාට අඩන්තේට්ටම් එහෙම වගේ කරනවද?

Simin - නෑ. ඔහු හොඳ වැදගත් පුද්ගලයෙක්.

A Separation (2011) වසරේ නිකුත් වූ සම්මානලාභි ඉරාන අධ්‍යක්ෂ Asghar Farhadiගේ තවත් සම්මානිත සිනෙමා සිතුවමක්. එය 2012 වසරේ හොඳම විදේශ චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයද, බර්ලින් උළලේ හොඳම චිත්‍රපටය (gold), ප්‍රධාන නළුවා, ප්‍රධාන නිළිය යන අංශ ත්‍රිත්වයෙන්ම සම්මානවලට පාත්‍ර උනා. සහ අනෙක් බොහෝ උළෙලවල් වල සම්මානවලටද පාත්‍ර උනා. සමහරෙක් විචාරකයෝ මෙය එම වසරේ ආ හොඳම නිර්මාණය බවට ප්‍රකාශ කර සිටිය. ඒ වාගේම IMDb හි 8.3/10 ද, Rotten Tomatoes 99% ද, google පරිශීලකයින්ගේ මනාප 91% ද ලබා ගෙන පමණක් නොව සාර්ථක ලෙස ප්‍රේක්ෂක ආකර්ශනයක්ද සමගින් Box office වාර්තා අතරටද මෙය එක් වී තියෙනව. සෑම නිර්මාණයක මෙන්ම අධ්‍යක්ෂ Asghar Farhadi යතාර්තවාදී රංගන කාර්යය නළු නිළියන්ගෙන් ලබා ගැනීම දක්ෂ වී තියෙන අතර ඒ සඳහා ඔවුන්ගේ දායකත්වයද ඉහලින්ම එයට ලැබී තියෙනව... ලැබුණු සම්මාන වලින් එය මනාවට පැහැදිලි වෙනවා.

මේ රටයෑම අවශ්‍ය බව පෙන්වීමට Simin ගෙදරින් පිටව යනවා. ඒ නිසා Naderට සිදුවෙනවා තමුන් රැකියාව කරන අතරතුර, තම පියා බලාගැනීමට හා ගෙදර වැඩ කරගැනීමට සේවකයෙක් ගන්න. ඉතින් ඒ තැනට එන්නෙ එක්දරු මවක් වන Razieh. ඇය වැඩකරන්න ආපු පළමු දවසෙම Naderගෙ තාත්ත ඇඳ තෙමාගන්නවා. වැසිකිලියට යැව්වත් වැඩි සිහිකල්පනාව නැති ඔහු සෝදාගන්න, කලිසම මාරු කරගන්න තරම්වත් අපොහොසත්. සේවයට ආපු Razieh ඇමතුම් දී Siminව දැනුවත් කරනවා. එහෙත් ඇයට එන්න විදිහකුත් නැහැ, ඒ සිසුන්ට උගන්වන ගමන් ඉන්න නිසා. Simin මහත්තයව සම්බන්ධ කරගෙන මොකක් හෝ පිළියමක් කරගන්න කියා ඔහුගේ දුරකථන අංකය දුන්නත්.. ඔහු එහෙ ඉඳන් මොනා කරන්නද.

ඉතින් වෙන කරන්න දෙයක් නැති තැන Razieh තම ආගමික දැනුවත් කරන්නිය අමතල අහනව වයසක පිරිමි පුද්ගලයෙක්ට උදව් කිරීම සඳහා ඔහුව ස්පර්ශ කරාට කමක් නැද්ද කියල......

 

මිනිසා වග කිව යුත්තේ, අනුගත විය යුත්තේ තම ආගමටද, නීතියටද, ගුණධර්ම හෝ යුක්තියටද....

ඉතින් දවසේ වැඩකර ඉවරඋන ඇය Naderට දන්වා හිටිනවා තවදුරටත් රැකියාවට එන්න විදිහක් නෑ, මේ අසීරු තත්වය යටතේ කියල. Naderටත් තේරුම් යනවා තාත්තව කාන්තාවකට බලාගන්න බැහැ කියල. ඉතින් ඔහු හොයා ගන්න වෙන සේවකයෙක් නැති උනත් Raziehට දවසේ වේතනය ලබා දී යන්න සලසනවා. නමුත් Razieh තම ස්වාමිපුරුෂයාට ඒ රැකියාව ලබා ගැනීම සඳහා Naderන් ගෙන් අවසර ගෙන හෙට පමණක් වැඩට ඒමට එකඟ කරගන්නවා... එතකොට එදින ඇයගේ සැමියාට හැකියි Nader හමුවී ඔහු හා කතාබස් කර රැකියාව තහවුරු කර ගැනීමට. ඔහු Nader හමුවුනත් පසු දින එන්නෙ නැහැ. ඒ ණය එකතු කරන්නන් ඔහුව පොලිසියට ගෙන ගොස් ඇති නිසා. පසු දවසත් ඔහු නොවේ, Raziehයි වැඩට එන්නේ.. දින කීපයක් මෙහෙම Razieh වැඩට ඒමත් සමග ඇතිවන සිදුවීම් මාලාවකින් පසුව නවතින්නේ NadarRazieh අතර ආරවුලක් ඇතිවී එය නඩුවක් දක්වා දුරදිග යෑමෙන්..

දිනක් Razieh වැඩකරන කාලය අතරතුර Naderගේ පියා ඇඳේ ගැටගසා එලියට ගිහින්.

තම පියාට කළ දෙයත්, රැකියාව හරියට නොකිරීමත් නිසා Nader, Raziehව රැකියාවෙන් නෙරපනවා.

Nader ගැබිණි Raziehව තල්ලු/ පිටමන් කිරීමෙන් ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙනවා.

මුදල් ගනුදෙනුවකින් ගැටලුව නිරාකරණය කරගැනීමට පවුල් දෙක සැරසෙනවා.

 

about Elly (2009) බලපු අයට මේකෙ hojjat ලෙස රඟපාන Shahabව එකපාර අඳුරගන්නත් බැරුව ඇති. අර ලස්සන කොල්ලගෙ කොන්ඩෙත් හැලිල වයසට ගිහින්... වේශනිරූපණය දස්කම්

ආගම - ගුණධර්ම - නීතිය - යුක්තිය අතර චිත්‍රපට ඇදී යනවා. Razieh, Naderගේ පියා ඇඳේ බැඳතබා ගියත් ඇය නරක කාන්තාවක් හෝ සෙරක් නොවේ. Nader ඇයව තල්ලු කරත් ඔහුත් ආදරණීය හොඳ ස්වාමියෙක්, පියෙක්. Simin, Nadarව හැර යන්න හැදුවත් ඇයද යහපත් ආදරබර බිරිඳක්, මවක්. වහා කිපෙන Hodjat පවා අසරණ මනුෂ්‍යයෙක්. අධ්‍යක්ෂකවරයා කිසිවෙක් කළු හෝ සුදු යයි කියා පෙන්වමින් චරිත බෙදා සිටින්නේ නැත. ඒ වනුවට සිදුවීම් පමණක් අපූරුවට දක්වා සිටී. වරද/ගැටලුව ඇත්තේ කොතැනද.... ආගමේද, නීතියේද, මිනිස් හැසිරීම තුලද. ඔවුන් ඔවුන්ගේ ආත්මාර්ථභාවය, කාරණාවන් වෙත දක්වන අසංවේදී බවද.

ඒ ඒ තත්වය මත ඔවුනොවුන් හිතට වහල්ව ගන්නා තීන්දු තීරණ මත තම/අනෙක් ජීවිතයට කෙබඳු බලපෑමක් ඇති වේද.

ආගම, නීතිය පවා තිබෙන්නේ මිනිසාගේ දියුණුව, හොඳ පිණිසය. චිත්‍රපටය විසින් කිසිවකට, කිසිවෙකුට ඇඟිල්ල දිගුකර නොපෙන්වමින් අප දේවල් යොදා ගන්නා, උපයෝගී කරගන්න හැටියේ වැරද්දක් පවතින බව ඉස්මතු කර පෙන්වයි. සියල්ලෝම අසරණයෝ ය. බුද්ධිමත්භාවය නොමැති ඔවුන් තම යහපත පිණිස තිබෙන ආගම පවා කටුඅකුලක් කර ගනී. සබුද්ධික නොවූ ඔවුන් යුක්තිය උදෙසා සාදා ගත් නීතියේ සිරකරුවන් වෙයි.

නීතියේ වලංගුභාවය... නීතිය පවා මානුෂීය හේතු කාරනා ඉදිරියේ හැසිරෙන්නේ යුක්ති සහගතවද. නීතිය මනුෂ්‍ය හේතු කාරණා ඉදිරියේ සංවේදීද.

- - - - -

 

අපේ සමහර අය කරන චිත්‍රපටි කරන්නෙ රසික පිරිසට නෙමේ. ඒ අය තම චිත්‍රපටය හදන්නේ ජූරි සභාවක ඉන්න 4, 5 දෙනෙක් උදෙසා. තව සෙට් එකක් ඉන්නවා.. අනේ අපිට හෝල් නෑ, රසිකයෝ නෑ, රජයයේ උදව් නෑ, මේක කොරන්න බෑ කියා කියල සිනමාව digital කරන්න, අරක මේක කරලා දෙන්න කියා කියා ආණ්ඩු පස්සේ වැඳ වැඳ යන උන්දලා.

ලෝක සිනමාවේ හොඳ චිත්‍රපට රස විඳින්නෙක් නම් Asghar Farhadi ගැන කවුද නොදන්නෙ. ඉතා දක්ෂව ප්‍රේක්ෂකයාට සිනමාව කරන අධ්‍යක්ෂකයෙක්, රචකයෙක් නිෂ්පාදක වරයෙක්. තම රටෙ රජයෙන්ම කෙනෙහිලි බාධක තිබියදීත් Farhadi වගේ අය රට වෙනුවෙන්, රටේ මිනිසුන් වෙනුවෙන් නිර්මාණ කරනවා... රට දාල Hollywood යන්න අවස්ථාව තිබුනත්. අපේ උන්දලා එක්ක බලද්දී ඔවුන් රටක් රාජ්‍යයක් වටිනවා. ප්‍රාර්ථනා කරන්න තමා ඉතින් අපි තියෙන්නෙ මෙවන් නිර්මාණකරුවෝ ලංකාවේත් පහල වේවා කියල.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්