රවිතුමාගේ මා ළඟටම තව ළංවෙලා පෝස්ටුව කියෙව්වාම හිටං, මට මේ සින්දුව මතක් උනා. ඒ හන්දා ලංකාදීපෙන් උස්සලා මේ ගී විචාරේ දැම්ම. ටටා ✋
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත්
සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ හඬ මාධුර්යයෙන් ද
ප්‍රවීණ සංගීතවේදී ආනන්ද පෙරේරාගේ මධුර මනෝහර ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මේ අනගි
ගී මිණ ශෘංගාර රසය මෙන්ම ලලනා ලාවණ්‍ය ලෝලය ද දල්වයි.
මෑතකදී අප අතරින් වියෝ වූ ආචාර්ය අජන්තා රණසිංහයෝ මේ මනරම් ගීමිණිරුවනෙහි
ගේය කාව්‍ය සිත්තරුවෝය. අජන්තා නම ඇසූ සැණින් අප මතකයට නැගෙනුයේ ඉන්දියාවේ අජන්තා
ලෙන් හා ඒවායේ ඇති මනරම් බිතු සිතුවම්ය. අජන්තා රණසිංහයන්ගේ නමත් මෙරට ගීත සාහිත බිත
මත සිත්තම් කළ සදා නොමැකෙන සුන්දර සිතුවමක් වැනිය. දෙරියන්, සිවුරියන්, නවරියන් පද
රචකයන් අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ දහ අට රියන් ගේය කාව්‍ය සිත්තරුවෙක් වූහ. ගීපද
රචකයෝ හතු පිපෙන තරමට බිහිවෙති. එහෙත් සුභාවිත ගීතයට පණ පොවන වාග් චාතුර්යයෙන්
පොහොණි ගේය පද සිත්තරුවෝ සුදුර්ලභයෝය. ගීතය වඩාත් භාව පූර්ණ වූ සාහිත්‍ය භාෂණයක්
බවට පරිවර්තනය කරමින් දශක ගණනාවක් පුරා සිංහල සුභාවිත ගීතයට ආචාර්ය අජන්තා
රණසිංහයෝ ඉටුකළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වෙති.
ගීතය වූ කලි අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකි. ගේය පද රචකයකුගේ සංකල්පනාවකට
සංගීතයෙන් හා ගායනයෙන් නව අර්ථකථන ද සම්පාදනය කොටගත හැකිය. එහෙත් ගීතය තුළින්
අර්ථය අතික්‍රමණය කළ පුළුල් ආර්ථික, දේශපාලන හා සමාජ පැතිකඩක් නිරූපණය කිරීමේ ශක්‍යතාව සෑම ගේය පද රචකයකුටම
නැත. සරල නොගැඹුරු හරසුන් විවරණ වෙනුවට නවීන අර්ථ විවරණ සපයන හුදු ප්‍රකාශන
වාගාලාප වෙනුවට සියුම් රස ජනනයට මුලපුරන සාහිත්‍ය රසයෙන් අනූන ගේය කාව්‍ය රචකයෝ ද
අද විරල වෙති.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්.
රත්නායක, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර ආදී පුරෝගාමී සුවිශිෂ්ට ගේය කාව්‍යක්කාරයන්ගේ පෙකෙණිවැල
කපාගෙන ලාංකේය ගීත කේෂ්ත්‍රයට පිළිපන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති
ද අල්විස්, ස්වර්ණ ශ්‍රී ඛණ්ඩාර, ධර්මසිරි ගමගේ, ලූෂන්
බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රී
විජේසිංහ, වසන්ත කුමාර කොබවක, සුනිල් ආර්.ගමගේ, බන්දුල
නානයක්කාරවසම්, බණ්ඩාර ඇහැළියගොඩ ආදීන්
අතර ආචාර්ය අජන්තා රණසිංහයෝ ඉහළින්ම වැජඹෙති. සිංහල ගීත වංශයේ අවිච්ඡින්නව ගලා යන
ප්‍රේම ගීතාවලිය පිළිබඳ කතා කරන විට අජන්තා රණ සිංහයන් අමතක කළ නොහැකිය. අජන්තා
ගීතාවලිය සැබැවින්ම අනභිභවනීයය. විචිත්‍රෝපශෝභිතය. සබුද්ධිකය. ප්‍රේමයේ විරහා
වේදනාව මෙන්ම විපුලම්භ ශෘංගාරය දනවන ගීත ගොන්නක උරුමකරුවෝ ද අජන්තාවෝය.
මේ ගීතයේ කථකයා සිය මංගල රාත්‍රියට මුහුණදී සිටියි. කාම සම්භෝග සම්පර්කයට
නොතින් ආසාවෙන් භාවලීලානු රාගයෙන් බලා සිටින ඔහු සිය මනාලියගේ රූපශෝභාව අරබයා උපන්
ලෝලයත් එය පාදක කරගෙන නිපන් ශෘංගාරයත් ප්‍රකාශ කරයි. ගීතයකින් සිදුවිය යුත්තේ භාව
ප්‍රකෝප කිරීම නොව භාව විකසිත කිරීමය. එහෙත් අද ඇසෙන බොහෝ ගීත තුළින් සිදුවන්නේ
ජුගුප්සිත හැඟීම් ඇති කොට භාව භංග කිරීමය. අජන්තා රණසිංහයන්ගේ විශිෂ්ට පද හරඹ සහිත
මේ ගීතයේ පැදි පෙළ හැදෑරීමකින් තොරව සාමාන්‍ය රසිකයාට තේරුම්ගත නොහැකිය. අපි
මුලින්ම ගීතයේ ස්ථායි කොටස දෙස අවධානය යොමු කරමු.
මුව මුක්තා ලතා - පිපි හංසාන්ගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ - නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ
මුතුවන් දත් දෙපළක් හිමි මේ හසඟන පැමිණ ඇත්තේ අඟහරු ලෝකයෙන් නොව විල් නෙළුමාසනයකිනි.
නෙළුමාසනය හෙවත් පද්මාසනය යනු පාරිශුද්ධත්වයේ සංකේතයකි. මේ කාන්තාවගේ නිර්මලත්වය
සුවිශද කිරීමට රචකයා එබඳු බහු අරුත් දනවන වචන යොදාගෙන ගෙන ඇත. සාහිත්‍යයේදී ස්ත්‍රී
වර්ණනයට නෙළුම් මල යොදාගැනීම ගතානුගතිකය. එහෙත් ආචාර්ය අජන්තා රණසිංහයෝ
අවස්ථාවෝචිතව විවිධත්වයෙන් යුතුව නෙළුමක මහිම කාව්‍යොක්තියට නගති. නම් සියයකින්
විතර හැඳින්වෙන මේ අරුම පුදුම පියුම පිළිබඳ මහා කවි කාලිදාසයෝ ද වර්ණනය කරති.
ඔහුගේ මහාකාව්‍ය කෘති වන මේඝ දූතය, රඝුවංශය ඊට දෙස් දෙයි. අජන්තා රණසිංහයන්ට අනුව ඇය උපන්නේ විල්
නෙළුමාසනයකිනි. මේ වූ කලි නිකන්ම නිකන් හංස දෙනෙක නොව රන් වන් පැහැයෙන් සුදිළෙන
ස්වර්ණ වර්ණ හංසදේනුවකි. මෙහිදී කථකයා ඇයට භාග්‍යා සරෝජා යනුවෙන් ද ආමන්ත්‍රණය
කරයි. සකු භාෂාවෙන් නෙළුම් මලට සරෝජා යන අරුත දෙයි. මේ වූකලි වාසනාවන්ත නෙළුමක්
නොවේද ? සියපත, තඹර, රතුපුල්, අරවින්ද, පංකජ යන යෙදුම් ද කවියෝ
නෙළුම්මල අරුත් ගැන්වීම සඳහා යොදා ගනිති. ස්ත්‍රී සෞන්දර්ය තරම් පුරුෂයාගේ නෙත්
සිත් වශී කරන මන දොළ වඩන අන්‍ය සුකුමාර සෞන්දර්යයක් මේ විස්මිත විශ්වයේම නැත. මෙයට
හේතුව ජීව විද්‍යාත්මක යැයි ඇතමෙක් කියති. එහෙත් එය හුදෙක් ජීව විද්‍යාත්මක කරුණක්
පමණක්ම නම් කාන්තාවන්ට නෙත් සිත් වශී කරන රූප ශෝභාව අවශ්‍ය නොවේ. හුදු ස්ත්‍රීත්වය
පමණක් ප්‍රමාණවත් වේ.
මා හද ප්‍රේමාංගනේ - රෑ නුඹ රහසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා - අනුරා නෙත් නගන් නොනිදා
මෙහිදී කථකයා මනාලියට පවසන්නේ තමන්ගේ හදවත නමැති ප්‍රේමාංගණය රංජනය කරමින්
ඉණ බැඳී මිණි මෙවුල තවත් කල්යල් නොබලා ගලවා දමා කාම සම්භෝගයට සුදානම් වන ලෙසයය.
එපමණක් නොව රැය පහන්වන තුරුම අනුරාගය දල්වමින් නිදිවර්ජිතව කාමාස්වාදයෙන් කුල්මත්
වන ලෙසට ද ඔහු ඉඟි මරයි. මේ ගීතය ශෘංගාර රසයෙන් සුපෝෂණය කිරීමට ආචාර්ය අජන්තා රණසිංහයෝ
ලිංගික මෙවලමක් ( Sexual Device) ද භාවිතයට ගනිති. මණි මේඛලාව හෙවත් පතිවත තීරය ( Chastity
Belt) යනු ඉපැරැණි සමාජයේ රජ බිසවුන්, කුමාරිකාවන් ඉණට මඳක් පහළින් පැළඳි ලෝහයෙන් තැනු ආභරණයකි. කාන්තාවන් පතිවත
සුරැකීමට මෙම ආභරණය භාවිත කළ බවත් එය ඉණ පැළඳි කතුන්ගේ තුනටිය මඳක් සිහින් වන බවත්
පැරැන්නෝ කියති. එහෙත් යකඩයකින් තැනු මෙවලමක් රහසඟ එල්ලා සිටීමෙන් ඇතිවන පීඩාකාරී
අපහසුව කාන්තාව කෙසේ නම් විඳදරා ගන්නේ දැයි මම නොදනිමි. මණිමේඛලාව පිළිබඳ මහා
ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ මෙසේ කියති. මණිමේඛලාව යනු ගැහැනුන්ගේ ඉඟටිය මඳක්
සිහිකර සුන්දරත්වය පෙන්වීම සඳහා යොදා ගන්නා ආභරණයකි. එය Griddle
(දැලක් ) එකක් වැනිය. වික්‍රමසිංහයන් පවසන පරිදි ඉඟසුඟ
මිටින් ගත හැකි හැඩැති රුවැති ලලනාවකට අකමැති පිරිමිහු කවරහුද ?
ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ - තනි වෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ - මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී - මනසානන්ද මන්දෝදරී
සම්භාව්‍ය සාහිත්‍ය මැනවින් ප්‍රගුණ කොට ඇති ආචාර්ය අජන්තා රණසිංහයෝ මෙහිදී
අහස් ගඟක් ගැන ද වර්ණනය කරති. අහස් ගඟ යනු කුමක්ද? නිල්වන් අහස් කුස මතින් දිවෙන සුදු පැහැති ආලෝක තීරයකට පැරැන්නෝ අහස් ගඟ
යැයි කීහ. හිමාලයේ අනෝතප්ත විල දකුණු දිශාව ඔබ්බෙන් අහස් ගඟ පටන් ගන්නා බවද ඔවුහු
කියති. එහි සිටින්නෝ කවරහුද? ඇතැම්
පක්ෂීහු සහ දිව්‍යාංගනාවෝ අහස් ගඟට බැස දිය කෙළියේ යෙදෙති. මේ ගීතයේ කථකයා සිය
මනාලියට මධුසමය ගත කිරීමට යාමට කතා කරනුයේ මෙකී සුන්දර අහස් ගඟටය. පිරිසිදු ධවල
වර්ණනයෙන් ශෝභමාන සුගන්ධවත් අහස් ගං දියේ බැබළෙන සඳවතිය නමැති නැවට ගොඩවී එහි තනි
වීමට ඔහු ඇයට ඇරියුම් කරයි. මෙබඳු මනස්කාන්ත පරිසරයක තම වල්ලභයා සමඟ මංගල රාත්‍රිය
ගත කිරීමට අකමැති මනාලිය කවුරුන් ද?
රූ සිරු කල්‍යාණියේ - මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී - මනසානන්ද මන්දෝදරී
මධු සමය නමැති සොඳුරු සුයාමය අබිමුව සිටින මේ කථකයා සිය මනාලියගේ නව යෞවන
ලලනා සෞන්දර්යයෙන් කුල්මත්වී, වල්මත් වී
සිටියි. ඔහු ඇගේ තුරුණු රූසපුව වර්ණනා කරමින් චමත්කාරයෙන් ඔජ වඩයි. චමත්කාරය නම්
සිත පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. මේ විස්මයට හේතුව සරෝජාගේ අපරිමිත අභිරූපි
රූප කල්‍යාණයම නොවේද? මනාලයා ඇගේ
සුන්දර සිරුර මත සැතපීමට පවා සූදානම්. මේ සොඳුරු කත පිරිමි මනස ආනන්දයෙන් මුසපත්
කරන මන්දෝදරියකි. මෙහිදී ආචාර්ය අජන්තා රණසිංහයෝ ප්‍රථමවරට සිංහල ගීත ශබ්ද කෝෂයට
අලුත් වචනයක් ද හඳුන්වා දෙති. ඒ මන්දෝදරී නමිනි. මන්දෝදරී යනු සිහින් උදරයක් සහිත
කාන්තාවයි. කෝට්ටේ විසූ මහා කවියකු වන ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල
හිමියෝ සැළලිහිණි සඳසෙහි ජයවද්දන පුර වැනුමෙහි කාන්තා සිරුර මෙසේ වනති.
සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින - නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන
දිසි රන් ලියෙව් රූසිරි යුත් මෙපුරඟන - ඇසි පිය හෙළන තරමින් නොවෙති දෙවඟන
මේ කවිය ලලනා වර්ණනයක් නොවුද එදා ජයවර්ධන පුර නගරයේ සුන්දරත්වය ක්‍රියා
පෑමට රාහුල හිමියෝ රූප කල්‍යාණියකගේ සුන්දර සිරුර උපහැරණයට ගත්හ. එබඳු අසාමාන්‍ය
නාරිසෞන්දර්යය කවි ඇසින් කලා නෙතින් දැක්ම මනසානන්දනීය නොවේද?
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ - හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා - රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ - අද ඉහිරේද දෙතොලින් මගේ
ගීතයේ අවසාන අන්තරා කොටසෙන් කථකයා ඇයට මියුරු මියැසිය නඟන සුමිහිරි ගීතයක්
ගැයුමට ද ආයාචනා කරයි. සුර්යයා උදාවීමට පෙර රැය පහන් වනතුරු ප්‍රේමයෙන් රාගයෙන්
මුසපත්වීමට නොවේද මේ ඇරියුම? නිදිවර්ජිත
මේ රාත්‍රිය තවත් දිගුවී හිරු නොපායන ලෙස ද ඔහු අයදියි. මේ ගීතයේ අන්තිම පැදි පෙළ
ද අතිරමණීය වෙයි.
ඔබෙ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ
මේ පද ගීතයේ හද මෙනි. මෙහිදී කථකයා විචිකිච්ඡාවෙන් පවසන්නේ ඇගේ අඩසඳ සදිසි
නළල්තලයේ රුව වඩවා දිදුළන සඳුන් තිලකය තම දෙතොලේ චුම්බන පහසින් මුව මීවලින් සේදී
මැකී යාමට ඉඩ ඇති බවයි. මේ කෙතරම් රමණීය කාව්‍යොක්තියක් ද? ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ අති විශිෂ්ට පද සංයෝජනය ද විශාරද එඩ්වඩ්
ජයකොඩිගේ භාවපූර්ණ හඬ මාධූර්ය ද ආනන්ද පෙරේරාගේ නාද සංයෝජනය ද සමග්‍රව සුසැදි මේ
ගීමිණ කාමී ජනහද අමන්දානන්දයට පත්කරයි.
-
විවරණය : ශෂී ප්‍රභාත්
රණසිංහ