පේපර් ආටිකල් - වත්මන් කලාකරුවො


 

සාමාන්‍යයෙන් තරුණ කලාකරුවන්ගෙ පේපර් ආටිකල් බහුතරයක තියෙන්නෙ හරයක් නැති වලපල්. කන බොන හැටි, දැන් මොනවාද කරන්නෙ, බඳින්නෙ කවුද, එයා කොයි පාටද, ඇඳුම් ගන්නෙ කොයි කඩෙන්ද වගේ දේවල් තමා ඒවයෙ වැඩි හරියක් තියෙන්නෙ. නැත්තං ලොවෙත් නැති දාර්ශනික ටෝක් හරිහමන් අවබෝධයක් නැතුව. ඒ එක්කම ඉතින් ඒව කරන මාධ්‍යවේදීන් කියන අය කොයි වගේ තැනක ඉන්නවද කියන එකත් හිතා ගන්න පුළුවන්. ලඟදි පුවත්පතක පළවෙලා තිබ්බ මේ ආර්ටිකල් එකේ වෙනස ඒ නිළිය දීල තිබ්බ මොලේ ඇති උත්තරත් එක්ක. දමිල නිළියක් එහෙම වෙනකොට සිංහල අය ගැන දුකකුත් ඇති වෙනවා ඒ අයට මොලයක් වගේ එකක් නැද්ද කියල. (බහුතරය ගැන මිසක් සියලු දෙනා ගැන නෙමේ). මොකද සමහරු අර කලින් කිව්ව වගේ පට්ට දාර්ශනිකයි ටෝක් දෙනවා, ලංකාවේ බහුතරයෙ ජාතිවාදයක් තියෙනවද නැද්ද කියලවත්  හරිහැටි දැනීමක් නැතුව. ඉතින් ඒ නිසා ඒ මත, අදහස් වල සතපහක වැදගත්කමක් නෑ. වෙන්නෙ කියවන අයගෙ මොළය කුරුවල් වෙන එක විතරයි.

නිරංජනී ශන්මුගරාජා නිළියගේ ඒ පළවුන  ආටිකල් එක සම්පුර්ණ එකම නැතුව මේ ටික විතරක් දාන්නම්..

ජාතිවාදී අරගල බහුල කරගත් රටක කලාව ඇතුළේ ජාතිවාදී, වර්ගවාදී සංකල්ප රැඳිලා තියෙන්නෙ කොහොමද? දමිළ කාන්තාවක් විදිහට මෙරට කලාව තුල ස්ථානගත වෙද්දි ඔබට අභියෝග ආවද?

මම කියන්නේ එක depend වෙනවා. ලංකාව ඇතුළේ වෙනත් ජාතියක කලාකරුවෙක්ට ජනප්‍රිය වෙන්න බැහැ. මිනිස්සු අතරට යන්න බැහැ කියන කතාව මම පිළිගන්නෙ නැහැ. මොකද පළමුවැනි නිළිය වන රුක්මණී දේවිත් දමිළ කාන්තාවක්. නමුත් ඇයව අදටත් මිනිස්සු හදවතින්ම වැළඳ ගන්නවා. කොහොමත් ගොඩක් ජනතාවට හෝ මගේ ප්‍රේක්ෂකයන්ට අදාළ නෑ මම දමිළද, මුස්ලිම්ද වෙන මොකක් හරිද කියන එක. ඔවුන් මගේ දක්ෂතාවට, හැකියාවට ගරු කරල මාව නිළියක් විදිහට, කලාකාරිනියක් විදිහට හදවතින් ම පිළිගන්නවා. ඔවුන්ගේ ආදරයේවත්, ගෞරවයෙවත් වෙනසක් නැහැ. හැබැයි මට සමහර රියලිටි වැඩසටහන්වලදි නම් අසාධාරණකම් සිද්ධවෙලා තියෙනවා. ඒ සමහර කලාකරුවො අතින්. සමහර ආගියුමන්ට්ස්වලදි එයාලට දිනන්න බැරි වුණාම මට දෙමළි කියල කියාපු අවස්ථා තියෙනවා. ඒ අත්දැකීම ගොඩක් වේදනාකාරී එකක්. මම හිතන්නෙ ජාතිවාදී ප්‍රශ්න කියන ඒව හැමෝම ඉස්මතු කරන දේවල් නෙමෙයි. ජාතිවාදී අදහස් සහිත, අනෙකාගේ පැත්තෙන් සවිඤානිකව හිතන්න බැරි පාර්ශව තමයි ගොඩක් වෙලාවට එහෙම කරන්නේ. කොහොමත් මම දමිළ නිළියක් වුනත් මේ වෙද්දී වැඩිපුරම රඟපාලා තියෙන්නේ සිංහල චිත්‍රපටවල.

 

මිනිස්සු ඇත්තටම ආදරේ කරන්න ඕන අදාළ කලාකරුවාගේ වෘත්තීය වටිනාකමට නෙමෙයි. අදාළ කලාකරුව තුළ ඉන්න ඇත්තම මනුස්සයාට. ගොඩක් කලාකරුවෝ ඕක හරියට වටහගන්න බැරුව තමයි ජනප්‍රියත්වය සහ අවධානය ලැබෙද්දී ඔළුව උදුම්මවා ගන්නේ. බොරුවට උඩ යන්නේ. අපි දැනගන්න ඕනෙ කලාකරුවෝ විදිහට ඕනම වෘත්තියක, ඕනම මනුස්සයෙක්ට එක වගේ ගරු කරන්න. ඒ වගේම කලාකරුවෝ කියන රාමුවෙන් ඉවත්වෙලා අපි තුළ ඉන්න සාමාන්‍ය මනුස්සයාට මිනිස්සු ආදරය කරන තැනට අපිව ගොඩනගාගන්න.

 

රැඟුම් පාලක මණ්ඩලයක් කියන එක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සඳහා මේ වෙද්දී මූලික අවශ්‍යතාවයක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. රැඟුම් පාලක මණ්ඩලයක් තිබූ පමණින්ම සියල්ල හරියන්නෙත් නෑ. මොකද දැන් සිනමාව බලන්නකෝ. ඒකට රැඟුම් පාලක මණ්ඩලයක් තිබුණට කිසිම වැදගත්කමක් නැති නිර්මාණ සඳහා කොයිතරම් අනුමැතිය ලැබෙනවද? මිනිස්සුන්ට බලන්නවත් තියා හිතාගන්නවත් බැරි නිර්මාණ සිනමා ශාලාවල පෙන්වනවා.

 

කිසිම දැනුමක් නැති අය බෝඩ්වල හිටියට වැඩක් නෑ. ලෝක සිනමාව ගැන, සිනමාවේ අප්ඩෙට්ස් ගැන, සිනමාවේ දිශානතිය ගැන අවබෝධයක් තියෙන පාර්ශව ඒවායේ ඉන්න ඕනේ. අනිත් දේ ඕන ජරාවක් අපේ මිනිස්සු බලයි කියල හිතන එක වැරදියි. අපේ රටේ ප්‍රේක්ෂකයන්ව එහෙම අවතක්සේරු කරන්න නරකයි.

 

මේ රටේ ඉන්න ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක්ට දේශපාලන දැක්මක් සහ අවබෝධයක් තියෙන්න ඕනෙ. ඒත් එක පෞද්ගලික වෙන්නත් ඕනෙ. අනික වැදගත්ම කාරණාව තමන්ට කලාකරුවෙක් විදිහට ගොඩනැගිල තියෙන famous එක පාවිච්චි කරල තමන්ගේ දේශපාලන මතවාදය අනිත් මිනිස්සුන්ට බලෙන් ඔබන්න යන්න හොඳ නෑ. එහෙම කරන ඕන තරම් කලාකාරයෝ මේ රටේ ඉන්නවා. මට එහෙම අය ගැන තියෙන්නෙ පහත් හැඟීමක්. ඒ වගේ තැනකට වැටෙන්න හොඳ නෑ. දේශපාලන දැක්ම මතවාදය කියන්නෙ අතිශය පෞද්ගලික කාරණාවක්.

 

කලාකරුවො කී දෙනෙක් අපි කලාවට මේක කරන්නම් අරක කරන්නම් කියල පාර්ලිමේන්තු ගියාද? හැබැයි ගියාට පස්සේ කලාවත් නෑ. පොරොන්දුත් නෑ.

 

මම හිතනවා රටක දියුණුවට නීතිය, අධ්‍යාපනය, දේශපාලනය තරමටම කලාවත් වැදගත් කියල. ඒ නිසා බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවක් මීට වැඩිය වගකීම් සහගතව වැඩ කරන්න ඕන.

මේ රටේ මාධ්‍ය අත්තනෝමතිකව ක්‍රියා කරන්න, මාධ්‍ය හැසිරවීම සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම කොයිතරම් දුරට බලපානවද?

ඕනම තැනකට rule එකක් ඕනේ. අපේ රටේ නීතිය කියල දෙයක් තියෙන නිසා තමයි සමහර අපරාධ අදටත් සිද්ධ වෙන්නේ නැත්තේ. සමහර අපරාධ සීමා සහිත වෙලා තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තියක් කියන මේ වෙලාවේ මාධ්‍යයේ මූලිකම අවශ්‍යතාවක්. මාධ්‍යවල අත්තනෝමතික හැසිරීම මගින් කොයි තරම් හානියක් සිද්ධ වෙනවද කියල සමහරවිට ඒ මාධ්‍ය නාලිකාවත් හරියට දන්නේ නෑ. මේ රටේ මාධ්‍ය කොච්චර පිරිහිලාද කිව්වොත් මම වැරැද්දක් කළොත් ගොඩක් වෙලාවට පත්තරේ මුල් පිටුවේ යන්නේ නිරංජනී මෙන්න මෙහෙම වැරද්දක් කළා කියල නෙමේ. නිරංජනී නම් දමිළ කාන්තාව මෙන්න මෙහෙම වැරද්දක් කළා කියල. මගේ ප්‍රශ්නෙට මාධ්‍ය අල්ලගන්නේ මාව විතරක් නෙවෙයි. මගේ ජාතිය, මගේ ආගම හා මාන්තර ම්නිස්සු ඔක්කොම. ඒ තරම් පිළිකුල් සහගත මාධ්‍ය සංස්කෘතියක් තමයි ලංකාවේ තියෙන්නේ. මේකට පාලනයක් අවශ්‍යමයි කියන තැන තමයි මම ඉන්නේ.

රටේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් විසින් අලුතෙන්ම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ව යම් යම් හේතු නිසා විවේචනයට ලක් කරන බව නොරහසක්. නවක කලාකාරිනියක් විදිහට මේ විෂමතාවට හේතූන් විදිහට ඔබ දකින්නේ කුමන කාරණාද?

මම නම් ජ්‍යෙෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නොවන විදිහට කලාකාරයෝ වර්ග කරන්න කැමති නෑ. ෆීල්ඩ් එකට ටිකක් පහුවෙලා ආව නම් ඒ අය දැනගන්න ඕනෙ එයාට කලින් ආපු අයට ගරු කරන්න. ඇහුම්කන් දෙන්න. ඒ වගේම කලින් ආපු අය දැනගන්න ඕන නවකයෝ වුනත් හැකියාව තියෙනව නම් අලුත් අයට ගරු කරන්න. නිසි තැන දෙන්න. මොකද අපි දන්නෙ නෑනෙ අලුතෙන් එන කෙනෙක් තව අවුරුදු 5කින් කොතන ඉඳීද කියල. ජ්‍යෙෂ්ඨද ජ්‍යෙෂ්ඨ නොවනද කියන කෑල්ල පැත්තකින් තියල කලාකරුවො විදිහට අපි හැමෝටම humble වෙන්න ඕනෙ.

හොඳම නිළිය කියන්නේ වෙනමම sector එකක්. ජනප්‍රිය කියල නිළිය වුණා කියල හොඳම නිළිය වෙන්න බෑ. තවත් අතකට හොඳම නිළිය වෙන කෙනාට ජනප්‍රියම නිළිය වෙන්නත් බෑ. හොඳම නිළිය අදාළ සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනාගෙන සම්මානයට පාත්‍ර වෙනවා. ජනප්‍රියම නිළිය ඉන් පරිබාහිර ඉන්න මිනිස්සුන්ගේ අවධානය දිනාගෙන සම්මානයට පාත්‍ර වෙනවා. ඒ කියන්නේ එකිනෙකාට වෙනස් ක්‍රම දෙකකින් ඔවුන් දෙන්නම දක්ෂයෝ. ඒ හින්ද අපිට බෙදීමක් හෝ වෙන් කිරීමක් කරන්න බෑ. හැබැයි ඔය දෙකම එකපාර කෙනෙක්ට දිනන්න පුළුවන් නම්, එකට දක්ෂතාවය විතරක් මදි වෙයි. එකට වාසනාවත් තියෙන්න ඕනෙ.

No comments:

Post a Comment

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *


මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය