Showing posts with label පොත් - කතා. Show all posts
Showing posts with label පොත් - කතා. Show all posts

සමහර වෙලාවට පොඩි වැස්සකටත් එලියට බහින්න අකමැති වෙන, alarm එකට ඇහැරිලා ආයෙම විනාඩි පහක් විතර ඇඳේ පෙරලි පෙරලි ඉන්න අපි නොදැනිම කම්මැලි වෙනව. ඒත් එක්ක කරන්න තියෙන වැඩ අතපහු වෙන එක අහන්න දෙයක්ද?

ඒත් සමහර ධෛර්යමත් ජීවිත දැක්කම, ඒ අයගෙ කතා ඇහුවම... ඇස් දෙකත් එක්ක උඩ යනව. වෙන මොකවත් හින්ද නෙමේ මේ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත් එක්ක. ඒ වගේම ඒ අයගෙ කතා... අපිටත්, අපේ ජීවිත වලටත් motivation එකක්, ආදර්ශයක් වෙනව නොදැනීම 💪

කොලොම්පුර් තුමා. ඔව් ඔව් අපේ කොලොම්පුරේ තමයි. උන්ද එක්ක දවසක් කතා කරගත්ත පොතක් දොරට වැඩීමේ උත්සවයකට යන්න කියල. දිනය හරියටම කිව්වොත් 2022-09-18. ස්වයං චරිතාපධාන සීන් එකක්. කාගේ පොතක්ද, කොහෙද තියෙන්නෙ කියල නොදැන... මාත් ඔහේ වැඩේට හා කිව්ව. කියල ඉතිං කොලොම්පුරේගෙන් තැන ඇහුව.

'උඹ මහවැලි කේන්ද්‍රය ගාවට වරෙන්... අහවල් වෙලාවට. මං බයික් එකෙන් එතැන්ට එන්නම් බොට හෙල්මට් කට්ටකුත් අරං... යනකොට බයික් එකේම යන්නත් එක්ක'

'මහවැලි. මත..ක.ත් නෑ. අර union place පහුකරන හරියේ BOC එක ගාව නේ'

'ඒක නෙමේ බම්. උඹ කලාභවන පාස් කරල පොඩ්ඩක් වරෙන්, අර පින්තූර විකුණන්න දාල තියෙන හරියෙ. එතැන ඉඳහන් මං ටක් ගාල එන්නම්'

'ආ... හරිනෙ. මහවැලි කේන්ද්‍රය නේ. මට එකපාර මතක් උනේ.. මහවැලි අධි.කා..රි.ය😃'

'උඹ #@.......

මං ලකලෑස්ති වෙලා ගියහම කොලොම්පුරේත් කියපු වෙලාවටම ආව. දෙන්න ඇතුළට යනකොටත් වැඩේ පටන් අරං. පොත් කවුන්ටරෙන් පොතක් අරං බලද්දී හෝල් එක ඇතුළට යන්න තියෙන්නෙ ස්ටේජ් එක පැත්තෙම පහළ තියෙන දොරකින්. සභාතොමෝට බම්බු ගහගන්න කියල... ආවනං ඉතින් යමන් කියල දෙන්නම ස්ටේජ් එකටත් රබර් ඇහැ දාගෙන, ඉන්න ආරාධිත ඇතුළු සියලු අසුන්ගත පිරිස පහු කරන් පිටිපස්සටම ඇදුන. මොකද එතකොටත් හෝල් එක හවුස් ෆුල්. ලොකුම තරමේ හෝල් එකක් නොවෙන හන්දත් වෙන්න ඇති එහෙම වෙන්ට ඇත්තෙ. ඒත් එහෙම හරි කස්ටිය හිටිය. දැන් පොත පතට තියෙන තැන එක්ක බලපුහාම මේ ආපු පිරිස ඇති, ටිකක් දුරට නෙමේ බොහෝ දුරට හරි හිත හදාගන්න... පොතේ කතෘතුමා - ප්‍රකාශන ආයතනයට. මොකද මුද්‍රණ, කඩදාසි, ප්‍රවාහන ආදී සෑම දෙයකටම යන වියහියදම් දවසින් දවස ඉහළ යන කාලෙක වගේම අර කියපු... වෙනදට වඩා කියවීමෙන් දුරස් වෙච්ච සමාජෙක මේ විදිහට පොතක් එළිදක්වනවා කියන්නෙම ඉල්ලං පරිප්පු කෑමක් වගේ.

කොහොමින් හරි පිටිපස්සෙම පේළියට එක පේළියක් ඉදිරියෙන් දෙන්නට සීට් දෙකක් සෙට් උනා යන්තමින්. දැන් ඉතිං ආවනම් ආරාධිත /අනාරාධිත, එකී මෙකී නොකී කතාවල් අහං ඉඳපන්කො. (වැඩි වෙලාවක් නම් උත්සවය තිබ්බෙ නෑ). ඒ වෙලාවේ තමයි හිතුණේ මොකට ආවද කියල. මොනා කරන්නද... කුම්බලා fish කෑවනම් විඳපං බස්සෝ කිව්වලු. කාරී නෑ ආපු එකේ කතා ටික පුළුවන් විදිහටවත් අහන් ඉමුකෝ. ඔන්න ඉතිං ටික ටික චරිත වර්ණනාව ඇහෙනවා... මේ අපි ගිහිං ඉඳගත්තෙ ආරාධික කතාවේ ටිකක් තැන ගිහිං තියෙන කොටමයි.

මොකා මේ පොත ලියපු එකාට වකුගඩු දෙකක් බද්ධ කරලලු. (දෙකම අසාර්ථකයි). හරි යාන්තමට මතකයි කොලොම්පුරේ ටිකක් ඔය ගැන විස්තර කරා. උන්දත් කතාව අහන නාහන ගාන වගේ මූණේ හැටියෙන්, ඒත් ඇස් වෙදිකාව උඩ. පිටිපස්සෙ පෝලිමේ පොඩි කසුකුසුවකුත් යනව. ටිකක් හැරිල බැලුව... තරුණ වයසේ ලලනාවන් තුන හතරකුත් ඉන්නව. ටිකක් ඇහැ කන දාල බලද්දී... හුම් මේ අය පොත ලියපු කෙනාගෙ වැඩකරන තැන සෙට් එකක් වගේ. කට්ටිය ටිකක් fun එකේ ඉන්නෙ. පොත ලියපු කෙනා මහාවංස දේශන කාරයෙක් වෙන්න ඇති ෂුවර් එකට. ඒකයි මේ කට්ටිය කිචිබිචි ගගා සැරින් සැරේ හිනා පහළ කරන්නෙ එයා ගැන කියා කියා වෙන්න ඇති. ඔය අස්සේ වේදිකාවේ කතාවෙන් කියනව ඇහෙනව මේ කෙනාගේ ඉස්පිරිතාල, ජීවිත විස්තර ඇතුළු මෙතෙක් ආපු ගමන ගැන ඉතා කෙටියෙන්. නැත්තං පොත අරන් කියවන්න දෙයක් නෑ නෙ.

මාර පොරක් නෙ. වකුගඩු දෙසැරයකුත් බද්ධ කරල, අටෝරාසියක් ඔපරේෂනුත් කරල, මැරෙන්න ඔන්න මෙන්නත් ගිහිල්ල, වෙන්වීම් පවා දරාගෙන, අනන්ත දුක් විඳල, අනෙක් රෝගීන්ටත් උපදෙස්- උදව් දෙමින්, ළමයින්ට ඉගැන්වීම් හා පාසලේ ක්‍රීඩා-කළා කටයුතු හැම එකක්මත් කරගෙන... විනෝද චාරිකාවන් පවා ගිහින්. විසි ගණනකට වැඩිය සිරිපාදේ පවා ගිහින්. සතියකට දින තුනක් රුධිරය මාරු කරගන්න තියෙද්දී පවා.

මේ ලෙඩ වෙන්න මූලික හේතුවත් සුනාමි කාලේ ඒවාට උදව් වෙන්න ගිහින් විසබීජ ශරීරගත වීමක්.

එතකොට තමයි ඇත්තටම එතුමා ගැන ලොකු පැහැදීමක් ඇති වුණේ. ඊට පස්සෙ මේ පොතේ කතෘතුමා වුන ඔහු ඉන්දුක ප්‍රනාන්දු අයිය මයික් එකට ඇවිත් ඔහුගෙ කතාව කරේ. අයිය කියන්නත් බෑ, ඔහු පාසලක් මෙහෙයවන විදුහල්පතිවරයෙක්. ළමයින්ට ආදරේ කරන, ළමයින් ගැන ළමයින්ගෙ මට්ටමින් හිතන ගුරු දෙවියෙක් කිව්වොත් නිවැරදියි. මයික් එකට ආවේ මූණෙ පිරිච්ච හිනාවකුත් එක්ක. සම්පූර්ණ කතාව අවසානෙත්, ඒ වැඩසටහන අවසානෙත්, ඒ හිනාව, ජවයේ සේයාවල් ඒ මූණේ රැඳිල තියෙනව දැක්ක. ඒ හිනාවත්, අර පිටිපස්සෙ පේළියේ අයගෙ හිනාවත් අතර සම්බන්ධය මට පස්සෙ තමයි තේරුණේ. එතරම් ඔහු සුභවාදීව ශක්තිමත්ව ජීවිතය - අභියෝග දිහා බලන කෙනෙක්. සැහැල්ලුව කතා කරපු ඒ කතාවත්, වින්ඳ ඒ දුකත් අතර දුර. එය ගණන් කළ නොහැකියි. වෙන කෙනෙක්ට එය උරුම උනානම් ඔහු/ ඇය තෝරාගන්නෙ මරණය. මට එකපාරටම මේ ලියන මොහොතෙ මතක් උනේ.......

ලස්සන ළඟ කවියෙකි ගොළු වන්නේ

ලස්සන ළඟදියි කදුළුත් එන්නේ

ලස්සන ගැන මොන මිනිහද දන්නේ

ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ.... කියල තියෙන, විමලරත්න කුමාරගමගේ කවියාගෙ කවිය.

 

උත්සවේට සහභාගී උනේ බොහොම සැහැල්ලුවෙන්. ඒත් ඒ සැහැල්ලුවට අමුතු හැඟීමක්, පෙළඹවීමක්,  ධෛර්යක් ඇතිව දොරට වැඩුන උත්සවය අවසානේ පොතකුත් අරං ආව. ඔහු ගැන ඇතිවුණ ලොකු ගෞරවයකුත් එක්ක. අරං ආවමත් නෙමේ. අරං දුන්න පොත අරන් ආව. කොලොම්පුරේ... ආ උඹටත් එකක් කියල තව පොතක් මිලදී ගත්ත... ආයේ ශාලාවෙන් එලියට එන ගමන්. ස්තූතියි අසංග අයිය!

ඉතිං මෙහෙම අප්‍රතිහත වීර්යයකින් ජීවිතය ආලෝකමත්කරගෙන අනෙක් දුවා දරුවන්ගේත් ජීවිත ආලෝකමත් කරන ඉන්දුක විදුහල්පතිතුමාගේ පොත ඕන කෙන්කෙට අර දුරකථන හරහා... ලෝකෙ ඕන තැනකට ගෙන්නගන්න පුළුවන්. මේ post එක කියවලා පොතක් ගන්න එක කෙනෙක් හරි උත්සුක උනොත්... මටත්, අසංගටත් ගොඩක් ලොකු දෙයක් වෙයි ඒක.


මේ ඔහු සහභාගී වුණු රූපවාහිණී වැඩසටහනක් ➤

රාජ උදහස

ඩී. පී වික්‍රමසිංහ නම් ලේඛකයා විසින් මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවල ප්‍රචලිත ජනකතා 50 ක් පමණ අන්තර්ගත කොට " මගදිගට ජනකතා " නම් ග්‍රන්ථය රචනා කොට ඇත. එහි එන මහනුවර යුගයේ රජකළ ශ්‍රී විජය රාජසිංහ රජු තා සම්බන්ධ ජනතාවක් මේ පාඩමේ දැක්වේ.


ශ්‍රී විජය රාජසිංහ රජු දවස හැඟුරන්කෙත මහ මළුවේ දේවාලය ඉදිරිපිට අම්බලමක් තිබුණි.

දිනක් මෙහි රැස් වූ ගැමියන්ට දේවාල මළුවේ පැණිවරකා ගසෙහි වූ විශාල කොස් ගෙඩියක් සුදු රෙද්දකින් වසා වෙන්කර තිබෙන බැව් දකින්නට ලැබුණි. එය රාජ භෝජනය සඳහා වෙන් කරන ලද්දක් බව කවුරුත් දැනගත්හ. මේ කොස් ගෙඩිය ඉදී සුවඳ විහිදෙන බව හැමදෙනාට ම දැනුණි. එය ගැන අම්බලමේ සිටි අය අතරේ සාකච්ඡා ඇති විය. එම කොස් ගෙඩිය සොරකම් කළොත් හෝ කැඩුවොත් හෝ ඒ තැනැත්තාට ලැබෙන්නට පුළුවන් රාජ දඬුවම් ගැන ද කථාවක් ඇති විය. රාජ භෝජනය සඳහා නියමිත දේ විනාශ කළොත් නො අනුමානව ම උල හිඳුවීමේ දඬුවීමට භාජනය විය හැකි බව කවුරුත් විශ්වාස කළෝ ය.

අම්බලමේ කොනක කණුවකට හේත්තු වී කල්පනාවේ යෙදී සිටි එක් පුද්ගලයෙකි. උක්කුරාල නම් වූ ඔහු කවදත් අම්බලමේ ප්‍රධාන කථිකයා මෙන් ම විකටයා ද විය. නමුත් ඔහු මෙදින නිශ්ශබ්ද ව කල්පනා සහගත ව ඉඳීම ගැමියන්ට තේරුම් ගත නොහැකි කරුණක් විය.

    එක් ගැමියෙක් ඔහුට කථාකොට 'ඇයි රාලේ! උඹ අද කරබාගෙන ඉන්නේ? ගෙදර ඇත්ති සමග දබර කරගෙන ආවාදැ'යී කවට බසින් ඇසී ය. 'නැහැ. අපේ උන්දෑ සමග දබර කර ගන්ට කරුණක් යෙදුණේ නැත. මා කල්පනා කෙළේ පැණිවරකා ගෙඩිය දෙස බල බල කෙළ හළ හළා සිටින නුඹලා ගැනයි. නුඹලා පැණිවරකා ගෙඩියෙහි ඇති රසයටත් සුවඳටත් ආශා කරනවා. නමුත් කිසිවකුටවත් එය කඩා කන්ට තරම් ආත්ම ශක්තියක් නැත. සෑහෙන ඔට්ටුවක් උඹලා අල්ලන්නේ නම් මම ගසට නැගී එයින් පළුවක් කප ගෙනැවිත් නුඹලාට ද දී මමත් කන්නම්'යි උක්කු රාල කී ය. එබසින් අම්බලමේ සිටි ගැමියෝ විස්මයටත් භීතියටත් පත් වූහ. කරන්ට තබා හිතන්ටවත් භයානක දෙයකි ඔහු කීවේ. පණට ආදරේ ඇත්තෙක් පැණිවරකා ගෙඩිය කනවා තබා අතවත් නො තබති. ඒ නිසා 'මොහු පිස්සුවෙන් නන් දොඩවති' යි එහි සිටියෝ සිතූ හ.

පැණිවරකා ගෙඩිය කා මෙලොව පණ පිටින් සිටින්නට කිසිවකුට ඉඩ නොලැබෙන බව හොඳාකාර දත් එක් ගැමියෙක් 'නුඹ පැණිවරකා ගෙඩියෙන් මදුලක්වත් කෑවොත් මා නුඹට හොඳ මී නාම්බකු තෑගි කරනවා. හැබැයි නුඹ ජීවතුන් අතර සිටියොත් පමණයි ඒ තෑග්ග ලැබෙන්නේ' යි කීය. 'නුඹ ඒ තෑග්ග දෙන බව සත්‍යයක් නම් දේවාලයට අත ගසා දිව්රුම් දෙනු, එසේ දිවුරූ විට මම පැණිවරකා ගෙඩිය කන්නෙමි' යි උක්කුරාල කී ය. ඊට එකඟ වූ ගැමියා එලෙස දේවාලය දෙසට අත නඟා දිවුරුම් දුන්නේය.

ස්ථානෝචිත ප්‍රඥාවක් හා ජම්ම දායාදයකින් මෙන් ලත් මුඛරි බවත් ඇති නිර්භීත උක්කුරාල සැණෙකින් කැසපොට කවාගෙන පිහියක් අතින් ගෙන පැණිවරකා ගසට නැඟ, වරකා ගෙඩියෙන් පලුවක් කපාගෙන බිමට බැස එය කෑමට පටන් ගත්තේ ය. අම්බලමේ සිටි අයට ද ඔහු පැණිවරකා දුන් නමුත් පණ බියේ ගැහි ගැහී සිටි ඔවුහු ඒවා ප්‍රතික්‍ෂ්ප කළෝ ය.

රාජ භෝජනය සඳහා වෙන්කොට තිබූ පැණිවරකා ගෙඩිය උක්කුරාල නම් ගැමියෙකු කඩා කෑ බව නගරය පුරා ම පතළ විය. රජවාසල රාජපුරුෂයන්ට ද මෙය දැනගන්නට ලැබී ඔවුහු රජු වෙත ගොස් ඒ බව පැමිණිලි කර සිටියෝය. රජතුමා ද කිසිවක් විභාග නො කර 'මහවාසලට එවැනි අවනම්බුවක් කළ එම ද්‍රෝහියා අල්වා උල හිඳුවා මරව' යි අණ දුන්නේ ය. රාජාඥාව පරිදි උක්කුරාල රාජ පුරුෂයන් විසින් අල්වන ලදුව රතු මල් වඩම් කර ලා කටු සැමිටියෙන් තළතළා වදකයින් විසින් වදක භූමියට ගෙන යන ලද්දේ ය.

වදයක කැපවූ උක්කුරාල අතර මඟ දී මහ හයියෙන් විලාප ගසමින් අඬන්නටත් අනතුරුව මහ හයියෙන් කොක්හඬ දී සිනාසෙන්නටත් පටන් ගත්තේ ය. මෙසේ නොකඩවා වරින් වර අඩන්නා වූ ද, සිනාසෙන්නාවූ ද, වදයට කැප වූ මේ පුරුෂයාගෙන් රාජ පුරුෂයෝ 'එසේ අඩන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක්දැ' යි ඇසුවෝ ය. 'ඊට හේතුවක් තිබේ. එය මම නුඹලාට නො කියමි. මහා වාසලින් ඇසුවොත් පමණක් කියන්නෙමි' යි උක්කුරාල නිර්භීත ව පිළිතුරු දුන්නේ ය. කෙසේ ඇසුවත් පළමු සේ ම කියන බැවිනුත්, නොනවත්ව ම ඇඬීමත් සිනාසීමත් කරන බැවිනුත්, එක් රාජපුරුෂයෙක් රජවාසලට දුවගොස් මේ බව රජතුමාට සැලකර සිටියේ ය.

ඒ බව අසා රජතුමා ද පුදුම වී 'වහා ඔහු ආපසු රජවාසල කරා කැඳවා ගෙන එය'යි අණ කෙළේ ය. එසේ රජු ඉදිරියට පැමිණ වූ එම පුරුෂයාගෙන් 'තා වදක භූමියට ගෙනයන අතරතුර අඬන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක් දැයි' යි ප්‍රශ්ණ කළේය. 'අහෝ ! දේවයන් වහන්ස! මම බඩගින්න නිසා පැණිවරකා ගෙඩිය කෑවෙමි. ඒ නිසා ම වදයට ගෙදුරු වීමි. මගේ බඩ ගින්න නිසා මට අකාලයේ අත්වූ මරණය ද, මගේ අඹු දරුවන් ද සිහි වී ඇති වූ ශෝකාග්නිය උසුලාගත නොහී ඇඬුවෙමි' යි ඔහු කීය.

'ඒ එසේය, තා මරණ භයින් අඩන ඇඩීම සුදුස්සක් සේ මම පිළිගනිමි. මෙවැනි මරණයකට ගොදුරු වී සිටින තා සිනාසෙන්නේ මක්නිසා ද? තට කවර නම් ප්‍රීතියක් ඇත්තේ ද? වහා කියවයි රජ අණ කෙළේය. 'අහෝ!! දේවයන් වහන්ස! එසේ මරණයට පත් වුවත් මට එයින් එක සැනසීමක් ප්‍රීතියක් ගෙන දෙන කරුණක් ඇත්තේ ය. 'අසවල් රජ්ජුරුවෝ කොස් බෑයටත් මිනී මැරවූයේ ය'යි යන අපවාද සහගත කථාවක් අනාගත ලෝකයාට ද දැනගත හැකිසේ ඉතිහාස ගත වන්නේ ය. වර්තමාන ලෝකයා ද ඒ එසේ ම කියමින් මහවාසලට අපහාස නඟන්නෝ ය. එය සිහි වූ මට සිනා පහළ වන්නේ ය'යි උක්කුරාල පිළිතුරු දුන්නේ ය.


මේ ඇසූ රජ්ජුරුවන්ට තරු පෙනුණි. අනාගතය ගැන සිහියට නැගුණි. ගැමියාගේ කියමනෙහි සත්‍යතාව වැටහුණි. බඩ සාගින්නට වරකා පලුවක් කෑ ගැමියා පවා අසුවල් රජ්ජුරුවෝ 'මරණයට පත්කරවූහ' යි ලෝකාපවාදයකට තමා ගොදුරු වන බැව් පෙනී ගියේ ය. එබැවින් මෙය කළ යුතු දෙයක් නොවේ. මොහුට අභය දුන මැනව යි සිතා ගැමියා අමතා 'තගේ ස්ථානෝචිත ප්‍රඥානුබද්ධ මුඛරි බව නිසා මට වන්ට තිබූ නින්දාවෙන් ගැළවුණෙමි. එසේ ම තට වන්ට තිබූ මරණයෙන් ද තා ගැළවුණෙහි ය'යි කියා උක්කුරාලට අභය දානය කෙළේ ය.

වන්නේ කුමක් දැයි බලාගෙන එතෙක් අම්බලමේ සිටි තම යහළුවන් කරා උක්කුරාල සිනාසෙමින් ගොස් පොරොන්දු ප්‍රකාර මීගොන් නාම්බා තෑගි ලබා ගත්තේ ය.

 

එකමත් එක කාලයක පර්සියාවේ (ඉරානයේ) සිරාස් කියන පළාතෙ දුප්පත් මිනිහෙක් වාසය කළා. ඔහුත් ඔහුගේ බිරිඳත් පොලේ පේර විකුනලා තමයි ජීවත් වුණේ.

එක දවසක් ඔහුගේ භාර්යාව දිය නෑම සඳහා ගමේ පොදු ළිඳට ගියා. ඇය නාමින් සිටින විට ඒ ප්‍රදේශයේ ධනවත් කාන්තාවක් පොදු ළිඳට ආවා නාන්නට. ඇය දැක්කා ගමේ උසස් පහත් ඔකොම පාහේ ගෑනු ළිඳේ නාමින් සිටිනවා. බොහොම ආඩම්බරයෙන් ඔවුන් දෙස බැලූ ඇය "මට තනියම නාන්ඩ ඕනෑ" කියලා කිව්වා. දිය නෑම සඳහා අත් උදව්වට පැමිණ සිටි ඇගේ සේවකයෝ ළිඳේ නාමින් සිටිය ඔක්කොම ගෑනුත් වහාම එළියට ඇදල දැම්මා. අර දුප්පත් ගෑනි මේ කාන්තාවගේ අහංකාර හැසිරීම ගැන බොහොම අමනාපෙනුයි සිටිය. ඇය ඇහුව අපව එළියට දාන්ඩ තරම් මේ අහංකාර ගැහැනිය කව්ද කියලා.

"වෙන කවුරුවත් නෙවෙයි....ඇය තමයි රජ වාසළ නැකැත් බලන ප්‍රධාන සාත්තරකාරයගෙ බිරිඳ..." කියල පිළිතුරු ලැබුණා.

අර දුප්පත් ගැහැනිය බොහොම හිතේ අමාරුවෙන් ගෙදර ගියා. ළිදේදි සිදු වූ සියල්ල ඇය තම සැමියාට පැවසුවා. ඒ විතරක් නොවෙයි ඇය මෙහෙමත් කියමින් සැමියාට සැර දැම්මා. "අනේ... අනේ... මම මොකට මේ වගේ කිසිම වැදගැම්මකට නැති මිනිහෙක් කසාද බැන්දද මන්දා ... දෙයියන්ගෙ නාමෙට තමුසෙටත් බැරිද ජ්‍යෝතිෂ කාරයෙක් වගේ සාත්තර එහෙම කියන්ට. එහෙම උනානං මටත් තිබුණනෙ එක එකාගෙ අවනම්බු කතා අහන්නැතුව උජාරුවට ජිවත් වෙන්ඩ ".

ඇගේ සැමියා මෙහෙම කිව්වා. "අනේ හාමිනේ.. මොන මෝඩ කල්පනාවක් ද ඔය ඔලු ගෙඩිය ඇතුළෙ තියෙන්නෙ. හඳහන් බලන්ඩ, පේන කියන්ඩ, සාත්තර කියන්ඩ වගේ වැඩ ගැන මම කිසිම දෙයක් දන්න එකක්යැ, එහෙව් එකේ මම කොහොමද සාත්තරකාරයෙක් වෙන්නේ ? "

"ආ... එහෙමද...? එහෙනං දැන්වත් එහෙම කෙනෙක් වෙනව... නැත්තං මම යනව යන්ඩ තමුසෙව දාල... දැන ගන්නව..." කියල ගැහැනිය තර්ජනය කළා. තමුන්ගේ බිරිඳගේ මේ කමකට නැති යෝජනාව නිසා අර දුප්පත් මිනිහා බොහෝම දුකට පත්වුණා. ඇගේ ඒ කීමට එකඟ වෙනව ඇර වෙන මොනව කරන්ඩද. මොකවත් බැරිවුණත් ඔහු ඇත්ත සාත්තරකාරයෙක් වගේ ඇඟවෙන විදියට වැඩ කරන්ඩ හිතා ගත්තා. හඳහනක වගේ එහෙන් මෙහෙන් කොටු ගහල එක එක විදිහෙ රූප ඇඳපු ලෑල්ලකුයි දාදු කැටයකුයි හදාගෙන ගිහිං ගමේ පොදු ළිඳ ඉදිරිපිට ඉඳගෙන හිටියා, බිරිඳගේ මේ නොසන්ඩාල යෝජනාව හින්දා ඔහෙ ඕන දෙයක් වෙච්චාදං කියල.

දවසක් සිරාස් ප්‍රදේශයේ රජතුමාගේ දූ කුමරිය සේවිකාවො කණ්ඩායමකුත් පිරිවරාගෙන දිය නෑමට මේ පොදු ළිඳට ආවා. ඔහු ඇයව කව්දැයි කියල දැනගෙන හිටියෙ නෑ. දිය නෑම සඳහා ඇඳුම් මාරු කරමින් කුමරිය ගැලවූ රන් ආභරණ එහෙම සේවිකාවන්ට දුන්නා පරිස්සමට තියාගන්ට, ඉතාම විශ්වාස සේවිකාවට. කුමරිය තම රන් මුද්ද ගලවලා දුන්නා වැඩි පරිස්සමට, දිය නාල ඉවරවුණ කුමරිය ඇඳුම් ඇඳ ගත්තා සේවිකවගෙන් මුද්ද ඉල්ලපුහම එය දෙන්ට සේවිකාවට බැරිවුණා. හේතුව ඇයට මුද්ද තිබ්බ තැන කොහෙද කියල අමතක නිසා, හෙව්වා හෙව්වා හැම තැනම ඒත් හොයාගන්ට බැරිවුණා. ඇගේ නොසැළකිලිමත්කම ගැන කුමරියට බොහොම තරහා ගියා. මුද්ද හොයලා නොදුන්නොත් කස පහර දෙනව කියල බය කළා. බයවෙච්චි පාරට ළිඳෙන් එළියට පැනපු සේවිකාව පණ බේරාගන්ට දුවන්ට පටන් ගත්තා. එතකොට තමයි දැක්කෙ සාත්තරකාරයෙක් සාත්තර ලෑල්ලකුයි දාදු කැටෙයි තියාගෙන ඉඳගෙන ඉන්නව.

"අනේ මාව බේරා ගන්ට" කියල ඇය සාත්තරකාරයා ඉදිරියේ බැගෑපත් වුණා. සිද්දවෙන්ට යන ඇබැද්දිය පැවසූ ඇය සාත්තරකාරයාට ආයාචනා කළා සාත්තරයක් බලල මුද්ද හොයල දෙන්ට කියල.

ඒ දුප්පත් අසරණ මිනිහා හැබෑ සාත්තරකාරයෙක් නෙවෙයිනෙ. දන්නැති සාත්තරයක් ඔහු කොහොම කියන්ටද..? කොහොම උණත් ඔහු ඇගේ කතාව බොහොම උනන්දුවෙන් දෑස් බාගෙට පියාගෙන වගේ ඔලුව වනමින් අහගෙන ඉන්න ගමන්ම ඇත්ත සාත්තරකාරයෙක් වාගේ දාදුකැටය සොලවා ලෑල්ල උඩ දැමුවා. ඔහු උවමනාවෙන් බැලුව සේවිකාවගේ මුණ දෙස. අඬමින් සිටිය ඇයගෙ දැසින් ගැලූ කඳුළු ගලාගෙනවිත් ඇගේ ඇඳුමේ වැටුණා. ඇය මුහුණ වහගෙන හිටපු වේල් එකේ සිදුරක් තිබුණා. ඒ සිදුරෙන් ඔහු දැක්කා ඇගේ කෙස් වැටිය. ඊළඟට කරන්ඩ ඕනෑ මොකක්දැයි නිච්චියක් නැතිව හිටි ඔසු තමාටම මුමුණාගන්නට පටන් ගත්තා.

"මට කුඩා සිදුරක් දකින්ට තියෙනව. ඒ සිදුරෙන් කෙස් රැල්ලක් පෙනෙනවා.." කියල. ඇහිපිල්ලමක් ගහන සැණින් වගේ ඇයට යංතමින් වගේ ඒ වචන ඇහුණා. ඇගේ දෑසෙ කඳුළු වියලුණා. ඇයට මතක් වුණා ළිං බිත්තියේ ඇති සිදුර, මුද්ද හොයා ගැනීමට සළකුණක් ලෙස තියපු කෙහෙ රැල්ලත් ඇයට මතක් වුණා. ඇය දිව්වා ළිඳ ළඟට, මුද්ද හොයල බොහොම සතුටින් කුමාරියට දුන්නා. ළිඳ ඉස්සරහ ඉඳගෙන ඉන්න සාත්තරකාරයා සාත්තරේට බලල මුද්ද තියෙන තැන කියල දීපු හැටි ඇය කුමරියට කිව්වා. රජ මාළිගාවට ගිය ගමං කුමරිය මේ සිදුවෙච්ච සියල්ල පිය රජතුමාට කිව්වා.

රජතුමා දුප්පත් සාත්තරකාරයාව මාළිගයට කැඳෙව්වා. ඔහුට මුදල් හදල් තෑගිබෝග එහෙම දීල ගෞරව දක්වන පොරවනයත් පොරවලා අස්සයෙකුත් දීල රජ ගෙදර නැකැත් කාරයා හැටියට පත් කළා. ඔහුගේ බිරිඳගේ පැතුම මුදුන්පත් වුණා. අර දුප්පත් සාත්තරකාරයා තවත් අසරණ වුණා. ඔහු නැකැත් සාත්තර ගැන අල්ප මාත්තරයක්වත් දැනගෙන හිටියෙ නැනෙ. ඒ වුණත් තමුන්නෙ ආඩම්බරකාර බිරිඳ නිසා නිස්සද්දව හිටියා. ඔහොම ඉන්නකොට එක දවසක් රාජකීය භාණ්ඩාගාරය හොරුන් බින්දා රජතුමා සාත්තරකාරයාව කැඳෙව්වා. බියෙන් වෙව්ලමින් ඔහු රජතුමා ඉදිරියට ගියා. දැන් ඇති අභියෝගය ඉදිරියේ තමන් නියාලුවෙකු බව ඇඟෙව්වෙ නෑ- ඔහු රජතුමාගෙන් දින හතළිහක් කල් ගත්තා හොරුන් අල්ලලා දෙන්නට.

බොහොම අවදානම් තත්වයකට මුණ පා සිටී ඔහු කණගාටුවෙන් ගෙදර ගියා. ඔහු වැළපුණා. "ගැනියෙ... මම කොහොමද හොරු කවුද කියල දන්නේ..." කැළඹුන සිතින් ඔහු බිරින්දෑට තරවටු කළා. "උඹේ කෙහෙම්මල් ආසාව නිසා මට සිද්ධ වෙන්නෙ කොලනැති ගහේ නගින්ඩ තමයි.... හොරු අල්ලල නොදුන්නොත් නිසැකයෙන්ම රජතුමා මගෙ බෙල්ල ගහල දාන එක දානවාමයි"

මේ ඊනියා සාත්තරකාරයා මිදි ගෙඩි හතළිහක් ලොකු භාජනයකට දැම්මා. දාල කිව්වා බිරිඳට; "දිනපතාම එක මිදි ගෙඩිය ගානේ හැම රාත්තිරියකටම දෙන ලෙස, භාජනේ හිස්වෙන දවසට දින හතළිහ හරි. එදාට මම රාජකීය දඬුවම විඳින්නට රජතුමා ඉදිරියේ පෙනී හිටිනවා"

දෛවයෙ හැටියට වාගේ රජ ගෙදර වස්තුව හොරකම් කරපු හොරු කණ්ඩායමෙත් හරියටම හොරු හතළිහක් හිටියා. හොරු දැනගත්තා හොරු අල්ලල දෙන්නට රජතුමා සාත්තරකාරයට නියෝග කර ඇති බව. ඒ හින්දා කල්පනා කළා සාත්තරකාරයා මොකක්ද කරන්ට යන්නෙ කියල හැංගිලා බලා ඉන්ඩ. හොරුන්ගෙන් එකෙක් රාත්තිරිය සාත්තරකාරයගේ ගෙදර වහලෙට නැගල හොරෙන් බලා හිටියා මොනවද කරන්නෙ කියල එදා රෑ මිදි ගෙඩියක් ගෙනත් දීපු සාත්තරකාරයගෙ බිරිඳ කිව්වා "මෙන්න හතළිහෙන් එක කියල". වහලෙ උඩ නැංගිල හිටපු හොරාට මේක ඇහුණා. එයා හිතුවා ඒ කියන්නෙ අපිටම තමයි කියලා. බියට පත් ඔහු දුවගෙන ගිහින් සගයන්ට මේ බව කිව්වා.

ඊළඟ දවසෙ හොරු දෙන්නෙක් වහලෙ උඩ හැංගිලා බලා හිටියා. ඔවුන්ට එදා ඇහුණා සාත්තරකාරයාගේ බිරිඳ කියනව "මෙන්න හතළිහෙන් දෙක..." මේ විදියට ඉතිරි දවස් තිස් නවයත් ගියා, හතළිස්වෙනි දවසෙ හොරු කණ්ඩායමේ නායකයාම ඇවිත් හැංගිල බලා හිටියා ඇත්තටම මොකක් ද වෙන්නෙ කියලා සාත්තරකාරයාගේ බිරිඳ ලොකුම මිදි ගෙඩිය තියාගෙන හිටියෙ හතළිස් වෙනිද රෑට දෙන්නටයි. ඇය ඒ මිදි ගෙඩිය සාත්තරකාරයාට දෙන ගමන් මෙහෙම කිව්වා. "අද තමයි අවසාන එක.... හතළිහෙන්ම ලොකු එක"

හොර නායකයා බයෙන් ත්‍රස්ත වුණා. එයා වහලෙන් බිමට බැහැල සාත්තරකාරයාගෙ දෙපාමුල වැටිල ආයාචනා කරන්න පටත් ගත්තා. "අනේ නුවණැති සාත්තර කාරයාණෙනි! මගෙත් මගේ සගයන්ගෙන් ජීවිත බේරා දෙනු මැනවි. මම හොරකම් කරපු වස්තුව ඔක්කොම ආපසු ගෙනත් දෙන්නම්... අපි ගැන රජතුමාට දන්වන්ඩ නම් එපා". පොරොන්දු වූ හැටියටම හොර නායකයා තමන් හොරකම් කළ වස්තුව ඔකොම ගෙනවිත් අර දුප්පත් සාත්තරකාරයාගේ ගෙදර දැම්මා. තමන් අහුවෙන්ඩ ගිය උගුලෙන් දෛවොපගත බේරීම නිසා අල්ලා දෙවියන්ට යාඥා කරමින් ස්තුතිකොට මේ වටිනා වස්තුව ඔක්කොම රජ මාළිගාවට ගිහින් දුන්නා. අධිත ප්‍රීතියට පත් රජතුමා සාත්තරකාරයාට තව තවත් ගරු සත්කාර සම්මාන දුන්නා.

මේ හේතුව නිසා සාත්තරකාරයා ගැන රජතුමාගේ විශ්වාසය වැඩිවුණා. දැන් රජතුමා දඩකෙළියෙ යනකොට සාත්තරකාරයාත් යා යුතුයි. දඩයමේ ගිය එක් දවසක කැලෑවේදී රජතුමා පළඟැටියෙක් අල්ලා ගන්ට උත්සාහ කළා. බැරිවුණා, ආයෙත් උත්සාහ කළා. ඒත් බැරිවුණා. කොහොම හරි අන්තිමේදී පළඟැටියව අල්ලාගත්තු රජතුමා ඌව අතේ මිට මොලවාගෙන විනෝදෙට වගෙ සාත්තරකාරය ළඟට ගිහිල්ලා කිව්වා පුළුවන් නම් කියන්ඩ අතේ තියෙන්න මොනවද කියලා?

අතේ මිට මොලවා ගෙන ඉන්නේ මොනවාද කියල හරියටම කියන්ඩ බැරිවුණොත් රජ්ජුරුවන්ට කේන්ති යයි කියල සාත්තරකාරයා බොහොම බයට පත්වුණා. ඒ වගක් අඟවන්නෙ නැතුව ඔහු සුදු කැටය ලෑල්ල උඩ පෙරලුවා. මොන ප්‍රාතිහාර්යයකින් හරි මීට කළින් වතාවක පණ බේරුනත් මෙදා පොටේ නම් වැඩ වරදින බව ඔහුට හිතුණා. ඔහු තමාටම මුමුණා ගත්තා "අනේ හිං එකෝ... කළින් වතාවකදී නූලෙන් උඹේ ජීවිතේ බේරුණා. දෙවන වතාවෙදිත් වාසනාව උඹට උදව් කළා. ඒත් මේ වතාවෙදිනම් උඹ රජතුමාගේ අතටම අහුවුණා" කියල සාත්තරකාරයා තමන් වැටිල ඉන්න මර උගුලෙන් බේරෙන්නෙ කොහොමද කියල මෙහෙම මුමුණපු වචන යන්තමින් ඇහුණ රජ්ජුරුවො හිතුවෙ හරි උත්තරේ දුන්නා කියලා. රජතුමාට හරිම සන්තෝෂයි. රජතුමා වැඩි වැඩියෙන් සාත්තරකාරයාට සැළකිලි දැක්වූවා.

වාසනාව හින්දම ජීවිතේ කීප වතාවක් බේරුණත් එන්ඩ එන්ඩම තම ජීවිතේ අනතුරේ වැටෙයි කියල හිතුණා. කවද හරි බළලා මල්ලෙන් එළියට පැන්න දවසට තමාගෙ ජීවිතෙත් එතැනින්ම අවසාන වෙයි කියල ඔහු හිතුවා. මේ බොරු රගපෑම මෙතනින් අවසන් කරන්ඩ ඕනෑ කියල හිතා ගත්තා. මම පිස්සු මිනිහෙක් වගේ හැසිරෙන්ඩ ඕනැ. එකකොට රජ්ජුරුවෝ මාව මේ කරදරයෙන් නිදහස් කරාවි. මෙහෙම හිතල වැරහැලි රෙදි කඩක් ඇඳගෙන ඔලුව අවුල් කරගෙන හරියට පිස්සෙක් වගේ රජ මාළිගාවට දිව්වා. රජතුමාගේ ඇතුළු කාමරයට බලහත්කාරකමට වගේ ඇතුල් වුණා. රජතුමාව වඩාගෙන වගේ දැවටි දැවටි එළියට ආවා. පුදුමෙට වගෙ එළියට ආවා විතරයි ඇතුළු කාමරේ වහල කඩාගෙන බිමට වැටුණා. රජතුමාගේ ජීවිතේ බේරුණා පුරුවෙ පිනට වගේ. කොහොම ස්තූති කරන්ඩද සාත්තරකාරයට. "මාගේ විශ්වාසවන්ත ශ්‍රේෂ්ඨ සාස්තරකාරයාණෙනි. ඔබ නියම වෙලාවට ඇවිදින් මගේ ජීවිතය බේරල දුන්නා" කියමින් රජතුමා ඉතා වටිනා තෑගිබෝග දුන්නා සාත්තරකාරයාට. රජ ගෙදර ප්‍රධාන සාත්තරකාරයා හැටියට පදවියෙන්ද පිදුම් ලැබුවා.

සාත්තරකාරයාගේ බිරිඳ ගැන දැන් බලමු. කොහොම හරි ඇගේ ආසාව මුදුන්පත් වුණා අන්තිමේදි. මුදල් හදල් ද යහමින් ඇයටත් ලැබුණා විතරක් නෙවෙයි රජ ගෙදර ප්‍රධාන සාත්තරකාරයාගේ භාර්යාව හැටියට ගරු සැළකිලිත් නම්බුනාමත් ලැබුණා. ඊළඟ දවසෙ ඇය ගියා පොදු ළිඳට. ඇය දැක්කා කළින් සාත්තරකාරයාගේ බිරිඳ දිය නාමින් ඉන්නවා. ඇය උඬඟු ලෙස නියෝග කළා තමුන්ට පමණක් තනියෙම නාන්ඩ උවමනායි කියල.

ඉරාන ජනකතා - පරිවර්තනය ඩී එම් රණවීර


මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ" සඳහා පිටත් ව යමි. මා නැවත කාමරයට පැමිණෙන විට මධ්‍යම රාත්‍රි එක දෙක වුවත් ප්‍රසන්න මා එන තුරු අවදි ව බලා සිටින්නේ ය.

මා වැඩ කළ ආපන ශාලාව සුකුබාවල ජනාකීර්ණ එකක් වූයෙන් දිනකට තුන් හාරසීයයක් පමණ කෑමට පැමිණෙති. ඒ ඒ සෘතුවල එකිනෙකට වෙනස් කෑම කට්ටල හා භාජන භාවිත වන බැවින් පිඟන් දාහක් දෙදාහක් සේදීමටත් පිස දැමීමටත් අපට සිදු වේ.

ප්‍රසන්න රාජකාරි කළේ සුකුබා නගර කාර්යාලයේ සනීපාරක්ෂක සේවයේ කසළ එකතු කරන්නකු ලෙසයි. රාත්‍රි සේවා මුර අවසන් ව නිවසට පැමිණෙන අපගේ ප්‍රධාන ම මාතෘකාව ශ්‍රී ලංකාවයි. මේ තරම් ලෞකික - භෞතික සැප සම්පත් මැද අප ලංකාව ගැන සිතන්නේ කුමකට ද? ඒත් අපේ ජනප්‍රිය ම මාතෘකාව වූයේ අපේ මව්බිමයි.

ප්‍රසන්න ජපානයට පැමිණි කතාව මා පැමිණි කතාවට වඩා වෙනස් දුක්මුසු වූවකි. උසස් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබ ආවත් මගේත් මූලික අරමුණ මුදල් ඉපයීමය. අප සමග ඉගෙන ගන්නා බොහෝ අය තවත් වසරක් හෝ ජපානයේ නැවතීමට කැමැත්තෙන් සිතා මතා විභාගවලින් අසමත් වූවෝ වෙති. ප්‍රසන්නත් මමත් ඉරිදාට ඇවිදින්නට යති. ප්‍රසන්න ජපානය දකිනුයේ මට වඩා සුභවාදී ආකාරයකට ය. ඔහුගේ කල්පනාවේ හැටියට ලාංකිකයින්ට වඩා ජපනුන් විවෘත ය. ස්ත්‍රී සිරුර කිසිඳු තහනමකින් තොර ව විකිණේ. කාන්තා නිරුවතක් නැති පත්තරයක්, සඟරාවක් නැත. ප්‍රසන්න සිතන හැටියට ස්ත්‍රී නිරුවත පුරුෂ සමාගමට තහංචි නැත. නිල් චිත්‍රපට, ගණිකා සේවය තහනමකින් තොර ව ක්‍රියාත්මක වේ. ප්‍රසන්න මේවා නිරීක්ෂණය කොට ජපනා කුහක නැතැයි කියයි. ප්‍රසන්නගේ ඇතැම් තර්ක වලට මට පිළිතුරක් නැත. ඔහු නිදන රෑ යම ඔහුගේ නිහඬ සිරුරෙහි ගැබ් ව ඇති අනන්ත සිතුවිලි මම සිතින් ස්පර්ශ කරමි. ඔහු ජපානයට පැමිණියේ දෛවෝපගත සිදු වීම් අභියෝගයට ලක් කරමිනි. කොලොම්බස්ගේ ඇමරිකාව සොයා ගැනීමට වඩා ප්‍රසන්නට ජපානය සොයා ගැනීම වැදගත් විය. ප්‍රසන්න ජපානයට ආවේ ගුවනින් නො වේ. ගුවන් සේවිකාවන් පැමිණ හිස තබන්නට කොට්ටත්, සිංදු අහන්නට පුංචි ශබ්ද විකාශන පුඩුත් සැපයුවේ නැත. ප්‍රසන්න ගේ ඇත රැඳී 'පාස් පෝට්' එක 'පූස් පාට්' එකක් පමණකි. ලංකාවේ ජපන් තානාපති කාර්යාල නිල මුද්‍රාව, වීසා බලපත්‍ර, වලංගු දින, අවලංගු දින ඒ කිසිවක් එහි නැත. ලංකාවේ සිටින ජපන් තැරැව්කරුවන් මගින් විවෘත බෝට්ටුවක නැගී අති දුෂ්කර සමුද්‍ර යාත්‍රාවක ඔහු යෙදී තිබේ. ප්‍රසන්න ඇතුළු කණ්ඩායම ජපානයට පැමිණි මොහොත නිතර ඔහුගේ ආවර්ජනයට ලක් විය.

එදා වැහි බර අඳුරු දිනයකි. බෝට්ටුව මීගමුවෙන් පිටත් වීම පැයකින් කල් දමන්නට ප්‍රසන්නට අවශ්‍ය ව තිබුණි. මන්ද යත්, ඒ මොහොත රාහු කාලය වූ බැවිනි. නැකත් හා රාහු කාලය පිළිබඳ ව ප්‍රසන්න දැඩි ස්ථාවරයක සිටියේ ය. සෙසු පිරිස නිසා තම සිතැඟි සඟවාගෙන රාහු කාලයේ ම ගමනාරම්භ කිරීමට ප්‍රසන්නට සිදු විය. ලංකාවේ සිට ගුවන් යානයක් ජපානයට ඒමට පැය නවයක් ගනී. ඒ ද අධික වේගයෙන් ගමන් කිරීමෙනි. ප්‍රසන්න අප මෙන් ම ලංකාව ගැන කලකිරී සිටියේ ය. නිදහසින් පසු පාලනය භාර ගත හා නොගත් සියලු කණ්ඩායම්වලට ශාප කරමින් තමන් බෝට්ටුවට ගොඩ වූ බව ප්‍රසන්න පසු දවසක මට පැවසී ය. මුහුදු ගමන අතිශය වෙහෙසකර වූවකි. ප්‍රසිද්ධියේ කළ යුතු මළ පහ කිරීම් ආදී සකල විධ අපා දුක් මැද ප්‍රසන්න සීතල දිවයලෝකය බලා පැමිණ ඇත. පිරිසිදු කෑමක්, හොඳ නින්දක්, බේත් හේත් ආදී කිසිවකුත් නැති ව පැමිණි පිරිස කෙසේ හෝ ජපන් වෙරළට ගොඩ බැස්සවීමට බෝට්ටුකරුවා සමත් වී තිබේ. ජපනා කෙතෙක් සූක්ෂ්ම වූවත් ඔවුන්ගේ සියලු ආරක්ෂක උපක්‍රම සුන් කරමින් වෙරළෙන් ගොඩබිමටත් එතැනින් රට මැදටත් ඔවුහු සේන්දු වූහ.

රාහුගේ බල පරාක්‍රමය ක්‍රියාත්මක ව ඇත්තේ ඉන් පසුව ය. අධික කුසගින්න නිසා ඔවුහු ආපන ශාලාවකට ඇතුල් වූහ. බෝට්ටුවේ අපිරිසිදු චාරිකාව නිසා ඔවුන්ගේ ඇඳුම් දුර්වර්ණ ව ගොසිනි: කිලිටි ය. කණ්ඩායම එකටම ගමන් කිරීම නිසා ජපනුන්ගේ සූක්ෂම දෙනෙතට ඔවුන් හසු වී තිබේ. කිසිදු හේතුවක් නැති ව ඇවිදින සිරිතක් ජපනුන්ගේ නැත. මාර්ග කම්කරුවෙකු වුවත් ඇඳුමෙන් හඳුනාගත හැකිය. ඒ නිසා මේ පිරිස දුටු ජපනුන් විමතියට පත් ව ආහාර දීමට පෙර පොලිසියට දන්වා ඇත. තම මිතුරන් ආහාර පිළිබඳ ව අතින් හිසින් සංඥා කරමින් ජපනුන් හා මුහු වද්දී ප්‍රසන්න වැසිකිළියට ගියේ ය. පැය කාලකින් පමණ ආපසු එන විට ප්‍රසන්න දුටුවේ තම මිතුරන් පටවා ගෙන යන ජපන් පොලිස් වාහනයයි. නිහඬව පැමිණි ප්‍රසන්න දුරකථන කුටියකින් ජපානයේ සිටින ලාංකිකයෙකුට ඇමතුවේ ය. ප්‍රසන්නගේ වෙලාවට ලාංකික මිතුරාට එදා නිවාඩු දිනයකි. ඔහු වහා ම පැමිණ ප්‍රසන්න තම කාමරයට ගෙන ගොස් තිබේ. රාහු කාලයේ මහිමය කියන්නට ඔහු නිතර ඉදිරිපත් කලේ මේ නිදසුනයි. රාහු කාලය ඇත්තක් නම් උඹ විතරක් බේරුණේ මන්දැයි මා නගන ප්‍රශ්නයට ද ඔහුට උත්තරයක් තිබුණි.

"තව ම මගේ කතාව ඉවර නෑනේ කොයි වෙලාවෙ Immigration එකෙන් මාව අල්ලයි ද කවුද දන්නෙ"

සද පායා තිබුණි. සඳට පහළින් සීතල වලාකුළු එල්ලේ. සඳ කිරණ ජපන් භූමියට වැටෙන්නේ සීතල වලාකුළු අතරිනි. සඳ ලංකාවට මේ තරම් සුන්දර නැත. 'සඳ' ජපනුන් මැද තනි ව වෙසෙන අප මෙන් ම අහිංසකය.

ප්‍රසන්න පවුලේ වැඩිමලා ය. ඔහුට බොහෝ ප්‍රශ්න තිබුණි. ගේ දොර ඉඩකඩම් විකුණා මෙහි පැමිණි බැවින් සෑම මසක ම ඉතා විශාල මුදලක් ඔහු ලංකාවට යැව්වේ ය. 'වීසා' හෝ 'ඒලියන්' වැනි කිසි දු නිල බලපත්‍රයක් ඔහුට නොවූයෙන් ඔහු වෙනුවෙන් ඒ සියල්ල කල යුතු වූයේ මාහටය. ඔහුට ලියුම් ලැබුණේත් ,මගේ ලිපිනයටයි. නංගිලා දීග දීමටත් උන්ට දෑවැද්ද සෙවීමටත්, ගේ දොර උකස බේරීමටත් ඔහුට මුදල් රාශියක් අවශ්‍ය විය. ඒ නිසා ම උදේ 7 සවස 4 රැකියාවට අමතර ව රාත්‍රී 6 සිට 12 දක්වා තවත් රැකියාවක් ඔහු සොයා ගත්තේ ය. මා වැඩ අරී රාත්‍රී දෙකට පමණ එන විට ප්‍රසන්න උණු වතුර ස්නානය කොට හිස උණුසුම් කරමින් කියන වදන් මට නිතර සිහිපත් වේ.

"මචං මේ කෙස් යන්නෙ යෙන්වලට, සීතලට නෙවෙයි". උදේ සිට සවස් වන තෙක් කසල අදින ප්‍රසන්නට කතා බහ කරන්නට කෙනෙකු දවස පුරාම හමු නොවේ. රාත්‍රී 12 සිට 2 තෙක් පුරා පැය දෙකක් ඔහු මා එන තුරු අවදි ව සිටී. දවල් සිදු වූ සිදුවීම් පවසන්නේ මේ වෙලාවට ය. වෙනත් වචනවලින් කිවහොත් අප දෙදෙනා ජීවත් වූයේ රාත්‍රී 2 සිට 4 දක්වා පැය දෙක පමණි. සෑම උදයකම වීදිවල කුණු ගොඩවල තබා ඇති ශීතකරණ, හොඳ ඇඳුම් පැළඳුම්, ඇඳ පුටු මේස, අල්මාරි, සපත්තු, ගෘහ විදුලි උපකරණ ආදී මිල කළ නොහැකි භාණ්ඩ ගැන ඔහු මට විස්තර කරයි. ඒවා තමන් සතු කර ගැනීමට නොව ලංකාවේ දුප්පත් ගම්වලට සහනාධාර ලෙස දීමට ජපානයට නොහැකි දැයි ඔහු ප්‍රශ්න කරයි. මහ මග අතහැර දමා ඇති ලක්ෂ ගණනක් බයිසිකල්, මෝටර් රථ ගැන දුක්වන ප්‍රසන්න ඉන් ලංකාවේ දුප්පත් ගම්මානවල ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙතැයි තර්ක කරයි. එවිට ලංකාව ජපානයේ කුණුගොඩ වේ වී යැයි මා කියන විට ප්‍රසන්න ඊටත් එරෙහි වෙයි.

"උඹ පලයන් ලංකාවෙ වලපනේ රූපහ නිල්දණ්ඩාහින්න. ඔය කොළඹ තියෙන වාහන තදබදය පාරවල් පුරා වාහන එහෙ නැහැ. කොළඹයි නුවරයි ගාල්ලයි දිහා බලන විදිහට දුප්පත් ගම්මාන මනින්න එපා බං"

"ප්‍රසන්න උඹ දැකල නැද්ද මෙහෙ T.V. එකේ ලංකාව පෙන්නන හැටි"

ජපානයේ රූපවාහිනිය ලංකාව පෙන්වන විට එහි සුන්දර බව නොපෙන්වීමට වග බලා ගනී. වැරහැලි ඇඳගත් මිනිසුන් මුඩුක්කු පැල්පත් වෙරළේ මළ පහ කරන දර්ශන ඔව්හු නිතර පෙන්වති. එබඳු වාතාවරණයක දී ජපානයේ ඉවත ලබා දෑ ලංකාවට යැව්වොත් ජපනා අප ව තවත් පහත් කොට සලකතැයි මම කිව්වෙමි. එහෙත් ප්‍රසන්නගේ අදහස්වල ද ඇත්තක් තිබේ. ප්‍රසන්න කතා කරන්නේ මට වඩා දැඩි පීඩාකාරී හැඟීමකිනි. ඔහු පදවන රථයේ පසු පස කොටසේ විදුලි බොත්තමකින් ක්‍රියා කරන ද්‍රව්‍ය පොඩි කරන යන්ත්‍රයක් ඇත. මග දෙපස ජපනා තබා යන ඔවුන්ට අනවශ්‍ය අලුත් භාණ්ඩ ප්‍රසන්න දිනපතා අර යන්ත්‍රයට තබා පොඩි කර දමයි. මේ අනුභූතිය මටත් දෛනිකව ලැබේ නම් ප්‍රසන්නගේ සිතිවිලිවල සාධාරණ බව මටත් දැනෙන්නට තිබුණි. ඒවා තබා පොඩි කර දමන විට තම හදවත දැවී යන බව ප්‍රසන්න කිහිප වාරයක් ම කියා තිබුණි. "මුන්ට හිතක් පපුවක් නැහැ. මුන් දන්නව ලෝකෙ දුප්පත් රටවල්වල හැටි. මුන් පුදුම ආත්මාර්ථකාමියො. මේක සම්පත් නාස්තියක්.. "

මට ප්‍රසන්න ගැන සිහිපත් වන විට වාවා ගත නොහැකි දුකක් ඇති වන්නේ ඔහු තම දෙමාපියන්ට වඩා රට ගැන දුක් වූ නිසා ය. ඔහුට බලාපොරොත්තු රැසක් තිබිණ. තමා උපන් දේශයේ වහල් බව දීන බව ඔහුගේ උදහසට ලක් විය. ජපන් බස දේවත්වයේ ලා සලකන ජපනා ගැන ආඩම්බර විය. සිංහලයන් සිංහලයන් සමග ජපන් බසින් දෙඩීම ඔහුගේ පිළිකුලට හේතු විය. රටක් නගන්නට නම් "සිය බස" මුල් තැනට ගත යුතු බව ප්‍රසන්නගේ තර්කය විය. ප්‍රසන්න ගැන ඔබට කී තොරතුරු සමාප්ත කරන්නට මට සිදු වී තිබේ. මෙය කෙටිකතාවක් හෝ චරිත විස්තරක් දැයි මම නොදනිමි.

එදා දවස වෙනදාටත් වඩා සීතල දවසක් විය. හිරු ජපානයට පිටු පා සිටියේ ය. සුකුබා ගිරි ශිඛරය හිම තට්ටුවකින් වැසී තිබුණි. පාන්දර පහට ප්‍රසන්න අවදි ව ආහාර පිළියෙළ කළේ ය. මට තේ කෝප්පයක් සාදා මගේ පසෙකින් වාඩී වී එය මට පිළිගැන්විය. එදා තරම් සුන්දර මුහුණක් ප්‍රසන්නට වෙන කවරදාවත් නොතිබුණි.

"මචං බත් ලෑස්තියි උදේටයි දවල්ටයි දෙකටම... මචං මේ මගේ මාසෙ පඩිය. උඹට ඕන තරම් අරගෙන ඉතිරිව අපේ ගෙදරට යවපන්. මේ මාසෙන් පස්සෙ ණය ඔක්කොම ඉවරයි. නංගිලත් බැඳල, ලබන මාසෙ ඉඳල යැව්වොත් යවන්න වෙන්නෙ ලාභය".

"එතකොට උඹ කසාද බඳින්නෙ නැද්ද?"

"කවුද බං ජපානේ නාකි වෙච්ච මේ ඌරව කසාද බඳින්නෙ... "

එදින රාත්‍රීත් පසු දා උදෑසනත් අන් කවරදාකවත් ඔහු නැවත පැමිණියේ නැත. ප්‍රසන්න තම රථයට කුණු ඔබා පිටුපසට ගොස් විදුලි බොත්තම ක්‍රියාත්මක කරයි. කුණු ඇඹරෙන දැති රෝදය ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවයි. මගේ කල්පනාවේ හැටියට ණය පියවීම නිසා ප්‍රසන්න සිටියේ දැඩි සතුටකිනි. පිටිපස දැති රෝදයට කුණු තබා බොත්තම එබූ පසු දැති රෝදය ක්‍රියාත්මක ව ඇත්තේ එය ක්‍රියාත්මක කළ ප්‍රසන්නත් මස් පිඬක් බවට පත් කරමිනි. ගොමි වාහනයක සිටින්නේ එක් පුද්ගලයෙකි. පුරා පැය තුනක් ම කුණුත් සමග එකට ඇඹරෙමින් දැති රෝදය ක්‍රියාත්මක ව තිබේ.

රාහු වේලාවෙන් පැමිණ අසුබ නිමිත්ත සුබ නිමිත්ත කර ගැනීමට ඔහු දැරූ ආයාසයත් ඔහුගේ එක් ප්‍රාර්ථනාවකුත් මට සිහිවේ.

"මචං කවදාවත් ජපානෙදි මැරෙන්න හොඳ නෑ. මොකද දන්නවද ජපනෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් මැරෙනකල් වැඩ කරන්නයි වෙන්නෙ. මේක මචං දිව්‍යමය අපාය."


-           අත්තනායක එම්. හේරත් මහතාගේ කෙටිකතා පොතකින්.

අවසේස කරුණු- මේ පොත මා හට ලබා දුන්නෙ පංචතනතුරේ නිමල් දිසානායක මහතායි.

සුන්දර නතාෂා. කතෘ - මක්සිම් ගෝර්කි, අනුවාදනය - දැදිගම වී. රුද්රිගු

සුන්දර නතාෂා

සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.

මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම විකුණා දැමූ පසු මම නගරයෙන් පිට වී ඌස්තියෙ නමැති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව් සඳහා තොටුපළක් තිබුණි. නැව් ගමනාගමනය ඇති කාලවල දී එහි ලහිලහියේ වැඩ කෙරුණද, දැන් එහි පාලුය, කාන්තාරයක් මෙන් නිසල ය. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය.

තෙතමනය සහිත පස් ගොඩ පයෙන් හාරා අවුස්සමින්, ආහාරයට ගැනීම සඳහා සුදුසු යමක් එහි තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා බැලීමි. ජන ශුන්‍ය ගොඩනැගිලි සහ කඩ පිලවල් ගානේ ඇවිදිමින් බඩකට පුරා ආහාර ගිලීම කොතරම් යහපත් දෙයක් දැයි මම සිතන්නට වුයෙමි..

සංස්කෘතික වර්ධනයේ මේ අවධියේ දී ශාරීරික කුසගින්නට වඩා ලෙහෙසියෙන් ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කල හැකි ය. පිටත සිට බලන විට ලස්සන යයි කිව හැකි - වැරදීමකින් තොරව - ඇතුළත සැප පහසුයැයි කිව හැකි ගොඩනැගිලි සහිත වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද, සෞඛ්‍ය ගැනද තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටුපහටු මනෝ භාවයක් ඇතිකර ගත හැකිය. උණුසුම ගෙන දෙන සැප පහසු ඇඳුම ඇඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔවුහු ඉමහත් ආචාරශීලි ලෙස ඔබට යන්ට ඉඩ දී මග හැර ඔබේ කණගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලිවෙති. කුසගින්නෙන් පෙළෙන්නකුගේ ආධ්‍යාත්මය, බඩ පුරා ආහාර ගත එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කල හැකිය!.. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා ආහාර ගෙන සිටිනවුන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන!..

හවස්වත්ම වැසි වසින්නට පටන් ගත අතර උතුරු දෙසින් කුණාටු හමන්නට විය. කඩ පොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරින් හූ හඬක් පතුරුවමින් නැගී ආ කුණාටුව හෝටලවල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද ඇති කළේය. ගඟේ රැල්ල වඩාත් උස් වී පෙණ සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟාවී ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත්වෙතියි සිතමින් ඉවත පැන යාමට තැත්කලාක් මෙනි. අහස බැරෑරුම්ය, ඇඳිරිය, අහසේ සිට පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා වැහි බිංදු වැටිණි. මා අවට ඇති ශෝකාන්විත, ඛේදාත්මක පරිසරයට මුලින් උදුරා ලන ලද කැඩුණු විලෝ ගස් දෙකක් සහ ඒවා අසල උඩුයටිකුරු කොට පෙරළන ලද බෝට්ටුවක් ද අයත් විය.

අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද, දැඩි සීත සුළඟ විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකය මුසු ගතියක් ඇති කළේය... අවට හැම දෙයක්ම විනාශ වී, වඳ වී, මරණයේ සලකුණු පළ කළේය. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙනි, වැසි වැස්සේ. අවට හැම දෙයක්ම ඇඳිරිය, මරු කතරක මෙනි. හැම දෙයක්ම මියයනු ඇත. ඉතිරි වන්නේ මා පමණකි.

එකල මගේ වයස අවුරුදු දහ හතකි. අනගිතම කාලයයි!

මම සීතල, තෙතමනය සහිත වැලි පොළොවේ දිගටම ඇවිදින්නට වීමි. කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දත් ඇඳි එකිනෙකට ගැටෙන්නට විය. ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම, ස්ත්‍රී ඇඳුමකින් සැරසී ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටිමි. වැස්සට තෙමී තෙතබරි වී සිටි ඇගේ උරහිස් ඉදිරියට නැමී ඇත. මා ඇය ලඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය කුමක් කරන්නේ දැයි දන ගැනීම පිණිසය. වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑතින් ඈ වළක් හාරමින් සිටින බව පෙනිණි.

“නුඹ ඔය වැඩේ කරන්නේ මොකටද?”

ඈ සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියා ය. ඈ නැගිට සිට සිය අළු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට, ඇය මගේ වයසට සමාන තරුණියක් බව මම දුටිමි. ඇගේ මුහුණ ඉතා සුන්දරය. කනගාටුවකට මෙන් එහි නිල් පැහැති පැල්ලම් තුනක් ඇති බැවින්, එම මුහුණෙ පෙනුම තරමක් අයහපත් ය. මේ පැල්ලම් තුනම පුදුමාකාර ලෙස සමානත්වයක් දරයි. ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණය පැල්ලම් දෙකකි. අනික නළලේය. තරමක් විශාල එම පැල්ලම නහයට උඩින් තිබිණි. අනික් මිනිසුන්ගේ සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන් හැඟිණි.

තරුණිය මා දෙස බලත්ම, ඇගේ නෙත්වල තිබූ බිය ගතිය කෙමෙන් අතුරුදහන් විය.. මොහොතකින් ඈ අත්වල තිබූ පස් හා වැලි ගසා දමා, හිස බැඳි කපු ලේන්සුව සකස් කරගෙන, සුළං පහර නිසා හැකිලී ගෙන මෙසේ තෙපලාය.

“නුඹ බඩගින්නේ කෑම හොයනවා නේද? එහෙනම් නුඹත් හාරපන්, මගේ අත්දෙක රිදෙනවා. ඒක ඇතුළෙ පාන් තියෙන්නට ඕන.” ඈ හිස වනා වසා දමා ඇති කඩය පෙන්නුවාය... මේ කඩේ තවම වෙළඳාම් කරනවා...”

මම පොළොව හාරන්නට වීමි. ඈ තරමක් වෙලා මා දෙස බලා සිට අසලින් වාඩි වී හාරන්නට වුවාය. අපි නිහඬව පොළොව හෑරුවෙමු. ඒ වෙලාවේ දී මට, අප විසින් නිතර මතක තබා ගත යුතුයැයි කරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය, සදාචාරය, පුද්ගලික අයිතිය ආදී දේ ගැන කල්පනා වී දැයි කිව නොහැකිය. හැකි තරම් සත්‍යයට ලං වීමට පතන මා, හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන කල්පනා නොකළ බව පිළිගත යුත්තකි. එතරම් දැඩි ලෙසත්, ගැඹුරු ලෙසත් මම වල හැරීමෙහි නියුක්ත වී සිටියෙමි. ඇඳිරි වැටෙන්නට පටන් ගති. අඳුර, තෙතමනය, සීතල අප අවට වඩාත් දැඩි ලෙස පැතිරිණි. රැළි නගන හඬ තරමක් අඩු වුවද, කඩ මැස්සට වැටෙන වැහි බිඳු නගන හඬ වඩාත් වැඩිවිය... රාත්‍රී, මුරකරුවකුගේ ශබ්දය ඈතින් ඇසිණි...

“මේකට යටින් පොළොවක් තියෙනවද? එහෙම තියෙවනම් අපි කරන වැඩෙන් ඇති පලක් නැහැ. අපි වලක් හෑරුවයින් පස්සේ එතැන මහත ලෑල්ලක් තියෙන්ට පුළුවනි... එතකොට කඩ පෙට්ටිය  අරින්නේ කොහොමද? ඊට වැඩිය හොඳයි යතුරු ඉබ්බාව කඩනවා.. මේක පරණ ඉබ්බෙක්...”

යහපත් අදහස් ගැහැණියකගේ හිසෙහි ජනිත වන්නේ කලාතුරකිනි. එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස් ද ජනිත වෙයි.. යපහත් අදහස් හැමදාම උසස් ලෙස අගය කළ මම, ඒවායින් හැකි තරමින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ කළෙමි. දොර ලෑල්ලේ යතුර ඉබ්බා වෙත ගිය මම එහි වළලුත් සමග උදුරා දැමීමට සමත් වීමි. මවිසින් එලෙස විවෘත කරන ලද හිඩැස්ස තුළින් මගේ අත් උදව්කාරිය සැපින්නක සේ ඇතුළු වුණාය.

“හැබෑ දක්ෂයා!” ඈ මා අනුමත කරමින් පැවසුවාය.

ගැහැනියකගෙන් ලැබෙන එක පැසසුමකට මට පිරිමියෙකුගෙන් ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනේ ය. එම පිරිමියා ආදී කල විසූ සියලු චතුර කථිකයින් එකට ගත් විට ඔවුනට සමාන වුවද කම් නැත. එවැනි පුරුෂ පැසසුම් අසනවාට වඩා විශාල උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත. තරුණියගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට කාලයක් නොවූයෙන්, මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළෙමි.

“ඔතන මොනවා හරි තියෙනවද?”

එක්තානමය හඬකින් ඈ දකින දේ විස්තර කළාය. “හිස් බෝතල කූඩයක්, හිස් ගෝනි ගොඩක්... කුඩයක්... යකඩ බාල්දියල්...”

ඒවා ආහාර සඳහා සුදුසු දේ නොවේ. මගේ බලාපොරොත්තු සුන්වීමට පටන් ගති. එහෙත් හිටි හැටියේම ඈ ප්‍රාණවත් ගතියකින් කෑ ගැසුවාය. “මෙන්න! තියෙනවා...”

“මොනවද ?”. 

“පාන්... පාන් ගෙඩියක්... හැබැයි තෙතයි... ඉඳා ගනින්...” මගේ දෙපා ලඟට වටකුරු පාන් ගෙඩියක් විසි වී ආවත් සමග මගේ නිර්භීත අත් උදව්කාරියද මට ළං වූවා ය. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් කඩා කටේ දමා ගෙන සපන්නට වූයෙමි. “ඉතින් මටත් දීපන්... අපි මෙතැනින් පිටවෙන්නට ඕන. නමුත් අපි යන්නෙ කොහෙටද?” ඈ අඳුර රජ කරන අවට දෙස පිරික්සුම් බැලීමක් හෙළුවාය. අඳුර දසත පැතිර ඇත. අවට හැම තැනම තෙතය, විවිධ ශබ්ද ඇසේ... “අන්න අතන බෝට්ටුවක් පෙරළා දමා තියෙන්නෙ, එතනට යමුද?”

“යමු!” අපි දෙදෙන පා නගමින් අපේ පාන් ගෙඩියෙන් කැබලි කඩා ගෙන කටේ දමා ගත්තෙමු. වැස්ස වැඩි විය, ගඟ හඬ නැගීය. කොහේදෝ සිට දීර්ඝ ලෙසත්, උපහාසාත්මක ලෙසත් සිවුරු හඬලන සැටියක් ඇසිණ. බිය යනු කුමක්දැයි නොදත් යෝදයෙකු වැන්නෙක් සරත් සමයේ අයපහත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද, හැම කෙනෙකුටම සහ හැම දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය... එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපණි. එසේ වුවද, මම ගිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම් පසින් ගමන් ගත් තරුණිය ද මට නොදෙවැනි වන සේ පාන් කන්නට වූවාය.

“නුඹේ නම මොකක් ද?” කුමක් නිසා හෝ මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“නටාෂා !” හඬක් පිටවන සේ පාන් කන ඈ පිළිතුරු දුන්නා ය. මම ඇය දෙස බැලීමි. මගේ හදවත වේදනාවෙන් හැකිළිණි. අනතුරුව මම අඳුරට නෙත් යොමු කලෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඥමය සේයා ගුප්ත ලෙසත්, හිරිවට්ටන සැටියකිනුත් මා දෙස බලා මද සිනා පායි.

ලී බෝට්ටුවේ වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ දොම්නසට පිරි අහදසක් ගෙනාවේය. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුර අස්සෙන් එහි වූ ලී පතුරක් නටවමින් හා ශබ්ද කරමින් සෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය හඬක් ඇතිකරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කළේය. විඳදරාගත නොහැකි තරම් කාන්සියක් හා දොම්නසකින් යුත් කතාවක් එය අපට කියන්නාක් මෙනි. එය කැමති වුවද, එසේ කීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස පිළිගත්තාක් මෙනි. ගඟේ දිය රැළි වැසි පොදවල ශබ්දයත් සමග එක්වේ. දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට, තෙතමනය සහ මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා අමනාපයට හා විඩාවට පත් මහා පොළොව උඩු යටි කුරු කොට පෙරළා ඇති බෝට්ටුවට ඉහළින් සුසුම් හෙළන්නාත් මෙනි. පාළු ගං ඉවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහලින් සුළං හමන්නා වූ අතර එය ශෝකාන්විත ගී ගැයීය...

බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ තදබදයකි. එය වැසී ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිංදු වැටිණි. සුළං ඇතුළු විය... නිහඬව වාඩි වී සිටි අපි ශීතල නිසා වෙවුලන්නට වීමු. මට නිදා ගැනීමට අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේත්තු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දණහිස් මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා ගෙන අල්ලාගෙන ගඟ දෙස බලාගත්වනම සිටියාය. අගේ දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති අගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුණේ ඒවාට යටින් ඇති කළු පැහැති ලප නිසාය. ඇය නොසැලෙන ගල් රුවක් මෙනි. අගේ නිසල බව හා නිහඬ බව විසින් මසිත තුල කෙමෙන් බියක් ඇති කරනු ලැබීය... ඇය සමග කතා කරන්නට මට උවමානාවක් ඇති වුණද, එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි.

ඈ අගේ කතාව පටන්ගත්තාය.

“කෙතරම් දුෂ්ට ජීවිතයක්ද!” දැඩි ලෙසත්, සුපැහැදිලි ලෙසත් ඇය එසේ කිව්වේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක් ගැලවිල්ලක් නොවීය. ඇගෙ කට හඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය. සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථිර නිගමනයකට එළඹුණු සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී, ඇයට විරුද්ධ වීමට මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි. ඈ මා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම උන්නාය.

“මකබෑවෙලා යන්ටයි, මගේ කල්පානාව...” නතාෂා යලිත් නිහඬතාවය බින්දාය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීවය. අගේ මුවින් පිට වූ වචනවල දුක්ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඈ, තමාගේ තත්ත්වය දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කර ගැනීමට “මක බෑ වී යාම” හැර අන් කිසි මගක් නොමැති බව, සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබුණි. අගේ කල්පනාවේ සුපැහදිලිතාවය නිසා මට විඳ දරාගත නොහැකි ඔක්කාරයක් දැනිණි. මා තවත් දුර නිහඬව සිටියහොත් මට ඇඬෙනු ඇතැයි සිතිණි... ගැහැනියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි, විශේෂයෙන්ම ඇය නොහඬා ඉන්නා විට... ඇය සමග කතා කිරීමට මම ඉටා ගතිමි.

“නුඹට ගැහුවේ කව්ද?” එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි අපොහොසත් වූ මම ප්‍රශ්න කළෙමි.

“මේවා ඔක්කොම කරන්නේ පාෂ්කා තමා...” සන්සුන්ව හඬ නගා ඈ පිළිතුරු දුන්නාය.

“ඔහු කවුද”

“මගේ පෙම්වතා... පාන් බක්කරේ කෙනෙක්..”

“ඔහු නුඹට නිතරම පහර දෙනවද”

බීගත්තම පහර දෙනවා..”

හිටි හැටියේම ඈ මට ලංවී තමා පිළිබඳ කතාව කියන්නට වුවාය. පාක්ෂා සහ ඇය අතර ඇති සම්බන්ධකම් ගැන විස්තර කළාය. “ඇය හැමතැනම ඇවිදින ජාතියේ අභිසාරිකාවකි...” ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි. ඇකෝඩිනය දක්ෂ ලෙස වාදනය කරයි. ඔහු ඇය හමු වීමට ‘ආයතනයට’ ගිය අතර, ඈ ඔහුට කැමති වුවාය. මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිඳු ඇඳුම් ඇන්ඳ බැවිනි. ඔහුගේ කබායේ වටිනාකම රූබල් පහළොවක් විය, ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි.. මේ හේතු නිසා ඈ ඔහුට ආලය කරන්නට වුවාය. ඔහු මුදල් නොගෙවා ඈ සමග සංවාසයෙහි යෙදෙමින් ඇගේ “ණයකාරයකු” බවට පත්විය. ඉතින් මේ ණයකාරයා ඇයට වෙනත් මිනිසුගෙන් ලැබෙන ‘සන්තෝස දීමනා’ රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය. එපමණක් නොව, අගේ ඇස් ඉදිරිපිටම වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය...

“ඒක මගේ අමනාපයට කරුණක් නොවෙයිද? අනිත් එවුන්ට වැඩිය මම නරක නැහැ.. ඌ මට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ, නීචයා. මම අපේ ආයතනයේ ලොක්කිගේ අවසරය ඇතුව නිවාඩුවක් දාල උගේ ගෙදර ගියා. මෙන්න එතැන ලුන්කා බීල වෙරි වෙලා ඉන්නවා. පාශ්කාත් හොඳට වෙරිවෙලා. මම ඔහුට මෙහෙම කිව්වා “යකෝ නුඹ නීචයෙක්, ජඩයෙක්, පල්හොරෙක්!” ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න. මට පයින් ගැහුව්වා... හිසකෙස් ඇද්දා.. ඒත් කමක් නැහැ! මගේ ඇඳුම් ටික ඉරා දැම්මා. මගේ සායයි හැට්ටෙයි ඉරලා දැම්මා. දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා අලුතෙන් ගත්ත ඇඳුම්.. මගේ හිස බැඳි ලේන්සුවත් උදුරා ගත්තා.. අනේ දෙවියනේ! දැන් ඉතින් මොනවා කරන්ටද?” ඇගේ කටහඬ බිඳී ගොස්, විලාප ගැසීමක් මතුවිය. සුළං හැමීම දැඩි වී සීතල තවත් වැඩිවිය. මගේ දත් දෙපළ යළිත් එකටෙක ගැටෙන්නට විය. ඈ සීතල නිසා ගුලි ගැසී මා ලඟට කෙතරම් ඇදුනාද යත්, අඳුර බිඳ මට ඇගේ දෙනෙතේහි කාන්තිය පවා පෙනිණි. “පිරිමි වන තොපි ජඩයෝ! තොපි ඔක්කොම මගේ පයට පාගලා තොපේ අත් පා ඉරා දමන්ට ඇත්නම්.. පණ අදින පිරිමියෙකුගේ මුහුණට කෙළ ගහන්නට මම ලෑස්තියි. කිසිම අනුකම්පාවක් නැතුව! වැදගැම්මකට නැති මී හරක්! හූල්ල හූල්ලා නීච බල්ලෝ වගේ ගෑණු ළඟ කරකැවෙනවා. ගෑණියෙක් එහෙම නුඹලාගේ උපායට යටවුනොත් උන්දෑ ඉවරයි, සිද්ධ වුනේ මොනවද කියල අවබෝධ කරගන්නටත් ඉස්සෙල්ලා ඒ ගෑණිව පාගලා ඉවරයි... ගඳ ගහන වල් සත්තු..” ඈ නොයෙකුත් විදිහට බැණ වැදුණු අතර ඒ බැණීම්වලට යෙදූ වචන ශක්තිය රහිත විය. ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවීය, පොදු වශයෙන් ගත්විට ඇගේ කට හඬෙහි සන්සුන් ගතියක් තිබිණි. ඇය කියන දේ සමග එය සමානුපාතික ලෙස කොහෙත්ම නොගැළපිණි. එමෙන්ම ඇගේ කතාවෙහි දොම්නස මුසු එකතානමයකි.

ඒ කෙසේ වුවද, මුල් කාලයේදී සහ පසු කාලයේදී මවිසින් අසන ලද සහ කියවන ලද සියලු සර්ව අශුභ කතා හා පොත්වලට වැඩියෙන්, අද වුවද එවැනි පොත්වලට හා අසන කතාවලට වැඩියෙන්, අගේ කතාව මා කෙරෙහි බලපෑවේය. මරණය පිළිබඳ ඉතා සම්පූර්ණ ලෙස ලියන ලද කළා කෘතීන්වලට වඩා මියයන පුද්ගලයා මරණ මොහොතේදී විදින දුක් වඩාත් ස්වභාවික වීමත් වඩාත් බලගතු වීමත් මෙයට හේතුවකි.

මගේ දොම්නස වඩාත් වැඩි වුයේ මා සමග ලැගුම් ගෙන සිටින තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකිය. මා සෙමෙන් සුසුම් ලෑ අතර මගේ දත් ගැටිණි. එවිටම මට කුඩා අත් දෙකක පහස දැනිණි. එකක් මගේ බෙල්ල ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳිණ. ඒ සමගම බියමුසු සුරතල් ප්‍රශ්න ඇසිණ.

“නුඹට මක් වෙලාද?”

මගෙන් එලෙස ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු බව සිතීමට මා සුදානම් ය. සියලු පිරිමින් දුෂ්ටයන් කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ දැන්ය. එහෙත් දැන් ඉක්මනින්ම හා හදිසියකින්ම ඈ කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට හීතල? වෙවුලනවද? මදෑ නුඹේ හැටි! කටවහගෙන ඉඳගෙන ඉන්නවා.. හරියට බස්සෙක් වගේ! නුඹට හීතලයි කියල මීට ඉස්සෙල්ලා නොකීවේ ඇයි.. ඉතින් නුඹ බිම දිගා වෙයන්.. දිග ඇදියන්.. මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම! දැන් මාව දෑතින් තදවෙන්ට බදාගනින්.. තදවෙන්ට.. අන්න එහෙම. දැන් නුඹට උණුසුමක් දැනෙනවා ඇති.. ඊට පස්සෙ අපි පිටට පිට දීල ඇලවෙමු. අපි කොහොමහරි මේ රෑ මෙහෙම ගත කරමු. නුඹට මක් වෙලාද, බොන්ට පටන් ගත්තද? රස්සාවෙන් පැන්නුවද? කමක් නැහැ! ඈ මා සැනසීමට උත්සාහ කළාය. ඈ මා දිරි ගැන්නුවාය.

මට තෙවරක්ම ශාප වේවා! මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක් ඇද්ද! කල්පනා කර බලන්න! ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම ගැන විශාල සැලකිල්ලක් දැක්වීමි, සමාජ ක්‍රමය ප්‍රතිසවිධාන කිරීම ගැන සිහින දුටිමි, දේශපාලන පෙරලි ගැන කල්පනා කලෙමි, කතුවරයන් පවා තමන් විසින් ලියන ලද පොත් වල ගැඹුර අවබෝධ කරගත නොහැකි තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒ වනවිට මා කියවා තිබිණි. ක්‍රියාකාරී විශාල බල වේගයක් ලෙස නැනී සිටීමට මම ඒකාලයෙදී උත්සහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ ගණිකාවකගෙනි, ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත්, පහකරනු ලැබූ ගැහැනියක ගෙනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා ඇයට ආධාර කල යුතුව තිබුණද, මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණි. කලින් එය වටහා ගත්තද. එවැන්නක් කිරීමට තරම් මා සමත් වෙතිද!

මේ සියල්ල මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත්, එය අමන අවාසනාවත් සිහිනයක් නැවත සිතීමට මා සුදානම්ය.. එහෙත් එවැන්නක් සිතිය නොහැකිය. මන්දයත් මගේ සිරුර මත සීතල වැහිපොද වැටෙන බැවිනි. මගේ පපුවට ගැහැණියකගේ පපුවක් තදින් හේත්තු වී ඇත. අගේ උණුසුම් ප්‍රශ්වාස මට දැනෙයි. එහි තරමක් වොඩ්කා සුවඳක් තිබුණද, එය ජීවමය බවෙන් ආඩු නැත.. සුසුම් ලන්නාක් මෙන් සුළං හමයි. බෝට්ටුව මත පතිත වන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ රැළි ඝෝෂා කරයි. අපි දෙදෙන එකිනෙකා තදින් වැළඳගෙන සිටියද, සීතලෙන් ගැහෙන්නට වීමු. මේ හැම දෙයක්ම සැබවින්ම වාස්තවියකය. එම යථාර්ථය තරම් දුක්මුසු, අයහපත් සීනයක් කිසිවකු කිසි දිනෙක දැක නැතැයි මට සහතිකය. එහෙත් නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඈ සුරතල් ලෙසත්, මෘදු ලෙසත් කතා කරයි. ඇගේ කතාවේ ඇති ළාමක හා බොළඳ ගති නිසා මහද තුල කුඩා ආලෝකයක් පැන නැගිණි. ඉන් පැන නැගි උණුසුම නිසා මගේ හදවතෙහි ගොඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදිය සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය.. නතාෂා මට සැනසුම් බස් තෙපලන්නට විය.

“අනේ මගේ හොඳ කොල්ලෝ නාඩා ඉඳින්! ඔය ඇති! දෙවියන්ගේ පිහිටෙන් නුඹට ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් වේවී..” ඔවැනි සැනසුම් බස් ඈ කියුවාය. අනතුරුව ඈ මා සිපගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝ සේ ඈ මා සිපගත්තාය.

ජීවිත විසින් මට පළමුවැනි එමෙන්ම ඉතාමත් හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය. මන්දයත් ඉන්පසුව ඇති වූ චුම්බනවලට මට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිඳු පලක් නොවූ බැවිනි. “නුඹ පුදුම කොල්ලෙක්. අඬන්නට එපා. නුඹට යන එන මගක් නැති නම් මම නුඹට තැනක් හොයලා දෙන්නම..” ඈ මට සහතික කරමින් මුමුණන සැටි  ඇසුණේ සිහිනයකින් මෙනි. අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන එලෙස සිටියෙමු..”

එලිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට විත් නගරය දෙසට ගියෙමු... ඉක්බිතිව මිතුරන් සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය. මා මෙහි විස්තර කල සරත් සමයේ එක රැයක මා සමග ගතකල සුන්දර නතාෂා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය. ඈ මියගියා නම්, එය ඇයට කෙතරම් යහපත් දෙයක්ද! ඈට සදාකල් සමාදානය අත්වේවා! ඇය තවමත් ජීවතුන් අතර නම්, ඇගේ හදවතට සාමය උදාවේවා! ඇගේ ආත්මය කිසි විටෙක පාපය ඉදිරියේ දුබල නොවෙත්වා. මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඈ විඳින දුක් වලට එය අමතර බරක් වන බැවිනි.

    අද කාලේ ළමයින්ගෙ Reality Shows ඇතුළු බොහෝ ළමා වැඩසටහන් බැලුවහම හිතෙනවා... මේවා දරුවන්ට ඔබිනවද කියල. ඒ තරම් ඒ දේවල් දරුවන්ට නොගැළපෙනව කියලයි... මටනම් හිතෙන්නෙ. එහෙම හිතෙන අය නෑ කියල හොඳින්ම සක්සුදක් සේ පැහැදිලි ඉතීම්... අර කීව වැඩසටහනක් දෙකක් බැලුහම. මගෙ අදහස නම්... අපි දරුවන්ගෙ මානසිකත්වය, ඒ අයගෙ වපසරිය දැනගෙන... ඒ අයට ඔබින විදිහට දේවල් කියල දෙන්න, පහදලා දෙන්න ඕන. දේවල් කරන්න දෙන්න ඕන කියලයි.

   ඒ ගැන හිතන්න පෙළඹෙන විදිහේ ලස්සන කතාවක්, ලඟදි Facebook අඩවියෙන් කියවන්ට හම්බුනා. බොහෝ දුරට යාන් කතාවක් වෙන්නත් පුළුවන්. 

   අපි දරුවෙකුට කොහොමද සත්‍යය පහදල දෙන්න මුලපුරන්නෙ. නැත්තං වෙන්නෙ අර පූසා සහ ලොකු නෝනා post එකේ වගේ වැඩ තමයි. මේක Kafka සම්බන්ධ ලස්සන කතාවක්... සමහර විට ඔයාල මේක කියවලත් ඇති. කෝම උනත් ඒ post එකේ තිව්න කතාව එහෙමම මං දාන්නම්... ආයේ රසවිඳගන්නත් එක්කලා. 

************

   වයස අවුරුදු 40 දීත් අවිවාහක Franz Kafka ගේ ජීවිතයට ඇතුළු වූ දැරියකගේ කතාව, ඉන් පසුව මුළු ජීවිත කාලය පුරාම බලපෑ අයුරු ගැන සත්‍යයක් දැයි නොදන්නා නමුත් ඔහු පිළිබදව එක් අපූරු කතාවක් ලොව පුරා ප්‍රචලිත විය. එය Kafka and the travelling doll නමින් ලෝකයේ විවිධ භාෂා වලට පෙරළුණු අතර විශිෂ්ට, ළමා පොතක් ලෙස ස්පාඤ්ඤ කතුවරයෙකු වූ Jordi Sierra විසින් පසුව ලියන ලදි.

   කෆ්කා දිනක්, බර්ලින්හි පිහිටි සුන්දර උද්‍යානයක් වූ Steglitz Park හි ඇවිදිමින් සිටිද්දී… ඔහු දකිනවා කුඩා දැරියක හඬමින් සිටිනවා. ඔහු දැරිය ලඟට ගොස් ඇය හඬන්නට කාරණාව අහනවා. ඇය ඉකිබිඳිමින් කියනවා ඇයගේ කැමතිම බෝනික්කා නැති වූ බවට. ඉන් පසුව කෆ්කා එම දැරිය සමග එකතුව මෙම බෝනික්කා හොයා ප්‍රතිඵලයක් නොලද තැන කෆ්කා ඇයට කියනවා ඊළඟ දවසෙත් එතනට එන ලෙස බෝනික්කා සොයන්නට.

   කිව්ව විදිහට දෙදෙනාම පසුවදාත් බෝනික්කා හොයන අතර කෆ්කා විසින් දැරියට ලිපියක් දෙනවා බෝනික්කා විසින් දුන් බවට. පුංචි දැරියට හරි සතුටුයි. දැන් ඇයට ඇසෙන්නට කෆ්කා ලිපිය කියවනවා. එහි මෙසේ තියෙනවා…

   "බබා, කරුණාකර අඬන්න එපා, මම ලෝකය වටේ චාරිකාවක් ගිහිනුයි ඉන්නෙ. එහිදී මුහුණදෙන අත්දැකීම්, ත්‍රාසජනක දේ සියල්ල මම බබාට ලිපි මගින් දන්වන්නම්"

   මෙම කුඩා සිදුවීම… කෆ්කා ගෙ ජීවිතය අවසානය තෙක් ඉතාම වැදගත් සංධිස්ථානයකට ගෙන එනවා. ඔහු විටින් විට මෙම දැරියව මුණ ගැසෙද්දි, ඔහු විසින් ඉතාම පරෙස්සමට ලියන ලද දැරියගේ ආදරණීය බෝනික්කා ගෙ ත්‍රාසජනක ක්‍රියා ඇතුළත් ලිපි හා සංවාද ඇයට කියවනවා. දැරියට හරිම සතුටුයි මෙම අපූරු කතාන්දර වලට.

   අන්තිමට කෆ්කා තව ලිපියක් කියවනවා. චාරිකාව අවසන් කර බෝනික්කා බර්ලින්වලට නැවත එන බවට. දැරිය එය විශ්වාස කල අතර කෆ්කා දැරියට හොරෙන් වෙනත් බෝනික්කකු මිළදි ගෙන ඇය අතට දෙනවා. එහිදී ඇය මෙහෙම කියනවා...

   "මේ මගේ බෝනික්කා නෙවෙයිනේ, වෙනස් කෙනෙක් නේ ".

   මෙම අපූරු බොහිමියානුවා එවිට ඇයට බෝනික්කා එවූ තවත් ලිපියක් ශබ්ද නගා කියවනවා, එහි තියෙනවා මෙහෙම...

   "බබා දන්නවද ලෝකෙ වටේ ගිය චාරිකා මාව වෙනස්ම කෙනෙක් කලා". 

   එය පිළිගන්නා පුංචි කෙල්ල, බෝනික්කාව ආදරයෙන් තුරුළු කරගෙන ගෙදර යනවා. ඊට අවුරුද්දකට පස්සේ කෆ්කා මියයනවා. අවුරුදු ගනනකට පස්සේ දැරිය තරුණියක වන අතර ඇයට අර කෆ්කා මිලට ගෙන දුන් පැරණි බෝනික්කාගේ ඇතුළු කුහරය තුළ තිබී කුඩා ලිපියක් හමුවෙනවා. එහි තියෙනවා මෙහෙම...

   "ඔබ ආදරය කරන සෑම දෙයක්ම නැති වීමට බොහෝ දුරට ඉඩ තියෙනව. නමුත් අවසානයේ දී ආදරය වෙනත් ආකාරයකින් නැවත පැමිණේ".


 අද ලොව පුරා ප්‍රචලිත සෙන් කතා ඇතුළත් ව ඇති සෙන් දහම හට ගැනීමට අඩිතාලම වැටෙන්නේ... ඉන්දියාවෙන් අන් රටවල් වෙත බුදු දහම ප්‍රචාරය වීමත් සමගයි.

ඉන්දියාවෙන් එහෙම ආ බුදු දහම කාලයේ වෙනස්කම් වලින් යුතුව චීනයේ ආරම්භ වෙමින් වියට්නාමය, කොරියාව හරහා ජපානයට ද සේන්දු උනා. ජපානයේ මේ විදිහට ව්‍යාප්ත වූ බොහෝ සම්ප්‍රදායින් අයත් වූයේ මහායානයටයි. ඒ මහායාන සම්ප්‍රදායන් අතරින් ජපානයේ ඇති ප්‍රකට, එක් දහමක් වන්නේ... මේ සෙන් ය.


සෙන් වචනයේ උත්පත්තිය චීන වචනයක් වන චෑන් (chán) හි ජපන් උච්චාරණ විලාසය ලෙස ඇවිත් ඇති බව කියවෙයි. එය සංස්කෘත ධ්‍යාන වචනයෙන් පැන නැගී ඇත.

සෙන්, මහායාන ඇතුළු ජපාන දහමවල් ගැන අවධානය යොමු කිරීමේදී අපට දැක ගත හැකි වෙනස්කම් කීපයක් තිබේ. ඒ අපි බුදු දහම පිළිපදින ක්‍රමයත්, එහි ඇති ක්‍රමයත් අතරය. කරුණු කීපයක් -

• තමා තුළින් තමාව දැකීම (ආත්මාවබෝධය), විමුක්තිය තමාම සාක්ෂාත් කිරීම

• ප්‍රඥාවට වඩා ලැදි බව

• භාවනාව හා ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම

• ගැළපෙන ගුරුවරයෙක් ඇසුරේ පුරුදු පුහුණුව

• සරල දිවි පෙවෙතක් ගත කිරීම

මෙවැනි කරුණු මත පදනම් වූ  ජීවිතයක් ගෙවන වැඩිමහල් භික්ෂුවක් හා... ආධුනික භික්ෂුවක්, ගෝල භික්ෂුවක් හෝ සමුරායිවරයෙක්... ආදී කිසිවෙක් සමග අතර ඇති වන සංවාදය, කතා බහ සෙන් කතා ලෙස ගැනේ. මේවායේ අර්ථ රසය ඉතා ඉහල තැනක තිබෙන අතර සමහරෙක්ට ආත්මාවබෝධයට මාර්ගයක් හෝ තවෙකෙක්ට හුදු වචන හරඹයක් පමණක්ම වන්නට පුළුවනි. කොහොමින් නමුත් ගුරු හෝ වැඩිමල් භික්ෂුවක්ගේ අදහස් සහිත මේ සෙන් කතා, හුදු කතාවක් පමණ කොට දැකිය නොහැක්කේ ඔවුන්ගේ ජීවන පරිචය ද ඒ තුළ ගැබ්ව ඇති නිසායි.

මේ කතා ඔවුන් ජපන් බසින් 'සතෝරි' (satori) ලෙස හඳුන්වයි. එනම් 'ක්ෂණික අවබෝධය' (sudden awaking) ලෙස සිංහලෙන් ගත හැකියි. බටහිර එක් සම්ප්‍රදායක් වන Brilliant Nonsense (විශිෂ්ට ප්‍රලාප) වලට දා සෙන් කතා බැලිය හැකි බව සමහර විද්වතුන්ගේ මතය වුවත්, විශිෂ්ට ප්‍රලාප ගණයේ ලා පමණක්ම මේවා දැකිය නොහැකි බව කියවීමේ දී අපට පෙනී යයි. මන්ද මේවා යථාර්ථය මතු කරමින් දිග හැරෙනවා මිස යථෝක්ත සන්දර්භ හමුවේ පමණක් උත්කර්ෂවත් වන ඒවා නොවන නිසායි.

කලින් නස්රුදීන්ගෙ පෝස්ට් එකෙත් සඳහන් කළ විදිහට කතා වල හෝ සෙන් වල මූලාශ්‍ර සෙවීමට වඩා මේ කතා සාරය වැදගත් නිසා සෙන් හෝ මහයාන සම්ප්‍රදායේ විස්තර මේ පොස්ටුවට ඇතුළත් කරන්නේ නෑ. ඒ නිසා....

මං බ්ලොග් කියවන්න පටන් ගත් කාලෙ දැකපු 'පාදඩයාගේ අසපුවේ' සෙන් හා ජපන් බුදු දහම ගැන විස්තර එහි විස්තරාත්මක ව සඳහන් කරල තියෙනව. ඇමිණුම් පහලින් දාන්නම්. ඒවත් අනිවාර්යයෙන් ගිහින් බලන්න... හරිම රසවත්.

ලබු කට්ටෙන්අන්කුට්ටෙක් ඇල්ලීම

ජපානයේ බුදු දහම

ජපන් සංස්කෘතියවිදහාපාන වචන - 6 (වබි සහ සබී)

* * * * * *

 

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්