ඈත නිවසකින් පිසගෙන ආ මුදු සුවඳක් නහයේ දැවටී රසකැවිලි රසයක මතකයක් අවදි කරවයි. මෑත මායිමේ ගහක බොහෝ කලකින් දැකගන්නට හැකිවුණු කුරුල්ලෙක් අවුදින් මියුරු තනුවක් වාදනය කරයි. ගස්, වැල්, මල්... නොයෙක් වර්ණයෙන් වඩ වඩා පැහැපත්ව ඇත. ඉර වෙනදාට නොදෙවෙනි දීප්තියක් ජනිත කරමින් අහස් කුසට වී බලා හිඳී. පොඩි දුවාදරුවන් මුවේ සතුට තවරාගෙන... දසත විසිරෙමින් ගමට අලුත් සිරියක් කැන්දාගෙන එයි. තරුණයන් රතිංඤ්ඤ......

 

රතිංඤ්ඤ..

රතිංඤ්ඤ තමයි... සෙද්ද. යකෝ වෙලාවක් කලාවක් නැති අපි වගේ උන් පාරේ යද්දි, රතිංඤ්ඤ සද්දෙට බයවෙච්ච බල්ලෝ පාර පුරා. කුලප්පුවෙච්ච උන් දැක්කම ඇඟේ මස් කලඳක් නැති අපිත් නිකම්ම බය වෙනව. ඒ අස්සෙ පිපිරුන්නැති බට්ටෙක්වත් පෑගුනොත්. ඔය හැම අටමගලකින්ම බේරිලා ගෙදර එනකොට... ගෙදර එකත් බයබිරාන්ත වෙලා. රතිංඤ්ඤ සද්දෙට බය වුන ඌ දොර හාරාගෙන ගේ අස්සට එන්න පුල් ට්‍රයි.

 

මොනා කරන්නද, මෛයින්ද මාත්තියගෙ සහෝදර රට්නය ජනපටි උනාමත් කිරිබත් කාල, රතිංඤ්ඤ පත්තු කරපු... දේස හිතයිසී ජාටිමාමක උන්දලත් එක්කනෙ අපි මේ වසන්නෙ. කෝමහරි කමක් නෑ පට්ටු කරන ඈයෝ හරි සතුටින් නම් එච්චරයි. සතුටින්, යහතින්, සාමෙන් ඉන්න නෙව මේ සෑම දේම කරන්නෙ හිට.


මොකද සාමේ තියෙනාව මෛයින්ද මාත්තිය යුද්ධෙ ඉවර හන්ද. මෛයින්ද නිසාම අල, ලූණුත් තියෙන හන්ද තවත් සතුටින්. ඉතීම් සාමය සතුට පිරි අවුරුද්දකට... කොහොමෙයි අපි අකුල් හෙළන්නෙ. (සිරන්ති කැවුමුත් හදල බම්)

 

හුම්... කියන්න ගියදේත් අමතක උනා.

අව්රුදු. අවුරුදු හැම තැනම. කොහෙ කියල අහන්න එපා. දැක්කෙ නැද්ද... ඇඳුම් කඩවල්, සුපර් මාර්කැට්, කේක් කඩ, බාර් වල පෝලිම. සෙනග සූ ගාල.

 

ඔය අවුරුදු සැමරුම් එනවය කියන්නෙ රජ කාලේ ඉදන්ය කියනවනෙ. නැකත් රාලලූ හරියටම මේ වෙලේ අහවල් කාරිය, මේ වෙලේ මෙන්න මේකය කියල දින-කාල තීන්දු කරන්නෙ. ඒ තීන්දු සටහන් පත්‍රවලට කියන්නෙ නැකැත් සීට්ටු කියල නෙ. ඒ කාලෙ ගම්වල අවුරුදු කිව්වහම... ආච්චිඅම්මගෙ, අම්මගෙ, බිරිඳගෙ, හොරගෑනිගෙ ඉඳල ලක ලැහැත්තිය... කැවුම්, මුන්කැවුම්, වැලිතලප ආදී නානාප්‍රකාර රසකැවිලි හදන්න. (කොකිස්, ආස්මි දේසීය ආහාරම බව දැනගත්තෙ TV එකේ නිවේදිකාවකගෙන්) මේව හදන්නෙත් අලුත් ලිප්වල, අලුත් හට්ටි මුට්ටිවල මයෙ හිතේ. දැන් කාලෙ නම් ready-made රසකැවිලි හැම කඩයකම. ඕනනම් online වලින් order කරතහැකි පිටසක්වලකට හරි. එතකොට කොල්ලෝ කුරුට්ටෝ පංච කෙලි, ඔන්චිල්ලා පැදිලි, අතුරු මිතුරු වාගේ ඒවා කරන අතරේ.. තරුණ කෙල්ලො කොල්ලෝ කොටු පනින්න හිට ඇති. තව තියෙන අවුරුදු ක්‍රීඩා ගත්තොත් අලියට ඇහැ තැබීම, බනිස් කෑම, කොට්ට පොර, කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, පොල් අතු විවීම, කනාමුට්ටි බිඳීම වගේ....

 

කනමුට්ටි කියද්දී මතක් උනේ. මං එකපාරක් ක්ලාස් යනකාලේ... ඒකෙන් අවුරුදු උත්සවයක් කළා. මහරගම පුවක්පිටිය පන්සලේ තිව්නෙ මේ ක්ලාස් එක. එතකොට මං 10 වසරෙ වාගෙ විතර ඇති. ඔක්කොම ක්ලාස් වල උන් උත්සවේ. ඔන්න දැන් මැද මුට්ටිය ඇර අනික් මුට්ටි දෙක බිඳලත් හුඟක් වෙලා. ඕනෑම එකට ළඟින්වත් පොලු පාර යන්නෙ නෑ. වැඩිමල් උනුත් හෙන ටයි එක... මැද, පස්ට් එකට ගහන්න. ටිකක් වෙලා ඉඳල ඉතීම් මාත් ගියා. ඇස් බඳින එකා පුල් ඩම් එකෙන් තද කළා. මං කියල ලිහිල්ව බැඳ ගත්ත. යකෝ යද්දී මෙන්න යටින් පේනවා කියහන්කො. මගුලයි. ආයේ ගිහින් කියන්න ඈ. මොනා කරන්නද... ගියා මැද තියෙන මුට්ටියට ගාවට, දෝත බදල දීල ඇරිය. ඕන් එදා තමයි දිනුවනම් තරඟෙකින් මේ නමිය දින්නෙ.

 

ඔය ආදී ක්‍රීඩාවනුත්, සූදු පොලවලුත්...... ලිප ගිනි මෙලවීම්, නිවීම්, කිරි ඉතිරවීම්, මල් කැඩීම්, හිස තෙල් ගෑම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභයව ආදී වැඩ කටයුතු අටෝරාසිය හමාර කරල, උස්සව නිමාකර වැඩට යන්නත් එපෑයැ....

 

එතැන් සිට ආයේ පරණ තැටියට අනුගත වෙන්නත් එපෑ. පරණ කෝන්තරයෙ ඉඳල ආයෙම පටන් අරන් හෙම... නේ. අලුත් අවුරුද්ද තියෙන්නෙ සතියයිනෙ හිටන්.

TV- තරු අවුරුදු උස්සව

 

සමහර සෝසල් මීඩියාවල උදවිය නම් මේ අවුරුදු උත්සව- චාරිත්‍ර බොරු විගඩම්ය, බිස්නස් මගුල් කියල හොඳටම බැනපු තැන් දැක්ක. හැබැයි මෙහෙම විවේචනය කරන සමහර අය රාකී බැඳන්, මෙහෙන්දි ගාන් ඉන්නවත් දැක්ක. කොන්ඩේ පාට කරන එක, නාහේ කරාබු දාන එකත් ඉතින් අර බිසිනොස්වලට අයිති නොවෙන්නෙ කොහොමදෑ කියල තමා හිතෙන්නෙ.


මං නම් ඔය චාරිත්තර පස්සේ යන්නෙ නැති උනත් කරන අයට නම් කරගන්න දෙනව.. කතාකලොත් සහභාගී වෙනව. ඒකෙන් ඒ අයට සතුටක් ලැබෙනවනම්, පරණ තරහමරහක් මකා ගන්නවනම්, සුහදතාව වැඩි වෙනවනම්... මගේ සාක්කුවෙන් සතයක්වත් යන්නෙත් නැත්තං, මට මොටෝ.

 

 ඔය හැම දේම කරන්නෙ අලුත් වෙන්න, වෙනස් වෙන්න කියල වෙනකොට... ඒ නිසි- අවැසි වෙනස වෙනුවෙන් අදිටන්ව මේ හැම දෙයක්ම වෙනවනම් තවත් හොඳයිනෙ හිට.

"නමියා ලඟදි ලියලා නෑ නේද.... " ලෝටස්තුමීට ටෑන්ක්ස්. ඒ කොමෙන්ට් එක කියෝලා ඊයේ බ්ලොග දිහා බලුහාම තමා මාත් දැක්කෙ මාසෙකට වැඩිය මුකුක්වත් ලියවිලා නෑ නේද කියල. ඒ නිසා ඔන්ට... බක් පෝදා (2023/04/05) පැවැත්වුන ගෙට්ටුව ගැනවත් හැකි පමණකින් අකුරු කරන්න හිතුව.


කහකුරුල්ලා මත පිරිස

තුන්වෙනිදා වෙනකම්වත් යන්ට වෙයිද නොවෙයි කියල තිබ්බ ඩාම් ඩූම් තත්ත්වය සමතයකට පත්කරගෙන යන්ට හරිබරි ගැහෙද්දී මතක්ක උනේ හක්බෙල්ලාව තියෙන්නෙත් සුළුපටු දුරකින්ද කියල හිටන්. මොනවිදිහකට ගියත් එන්න බස් කට්ටක්වත් නැති උනොත්... පෝය හන්ද. ඔහොම හිතමින් ඉන්නකොට කොලොම්පුරේ කතා කරලා කිව්ව 'මේ උඹත් වරෙන් අපිත් එක්ක යන්න' කියල. ඔන්න නමිය ඒ සාවියේ ඉඳ තට්ටයගෙ කොළම මංජුල ලොක්කගෙ, හක්බෙල්ලා අඩවියට ගොඩ උනා... අසංගයි උන්දගෙ නෝනායි, බට්ටො දෙන්නයි එක්කලා.


ගෙහුං... මංජුල ලොක්කගෙ සුහද පිළිගැනීමෙන් පහු ඝන පූර්ණය සම්පූර්ණ වේගන එද්දී, සුපුරුදු ලෙසම ලැවරියා සප්පායමත් ලැබුණේ උණු උණුවෙන්මයි. හොඳම හරිය පැමිණියේ පහුවයි. ඒ... බිහිසුණු, ගැස්සෙන පැද්දෙන කහකුරුල්ලා මත TeePee කෑම්ප් සයිට් එකට ගමන් ඇරඹීමයි. ලෑටි තට්ටම්හිමි අප වාගේ උදවියට ඒ ගමන දුෂ්කරය. කුරිරුය. එනමුත්... කටුපොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස කියා සිරිත්මල්දමේ සිංදු මතක්කර මං වහන්ස ගමනට එක්කාතු උනා... ඕන සෙද්දක් වෙද්දෙන් කියා.


ගිය පහුවයි දැනගත්තේ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මහත්මියවත්... මංජුල ලොක්කා මේ ගමනට සැට් කරන් තියෙන බව. අගෙයි, කදිමයි. පොත් අඩුවෙන් පරිහරණය කරන මං වහන්සේ එතුමියව දන්නේ පොතට හිතැති පේස්බුක් මිතුරියන් නිතර දෙවේලේ දමන රිප්ලයි, නොටිපිකෙසන්, මැසේජ් හරහායි. උන්දැල දැන ගත්තනම් ඇය හමුවුන වග... විසුමක් වෙන්ටෑ.


TeePee මංජුල ලොක්ක හා ප්‍රධාන ආරාධිත අමුත්තිය ශාන්ති මිය

 

     සහභාගී පිරිසේ නම් ලැයිස්තුව බැලුවොත් හිටන්...

 

ශාන්ති මහත්මිය හා ඇයගේ පුතා....

තට්ටයගේකොළමෙ මංජුල

නිදහස් සිතුවිලි රවී

ඩ්‍රැකීගෙ අඩවියේ ප්‍රභාත්, උන්දගෙ නෝනි හා පුට්ර රතනය

ඉයන්ගෙ අඩවියේ ඉයන්

තිලකසිතේතිලකසිරි

යාන්හෑල්ලේසුරංග හා ඔහුගේ බිරිය

කොලොම්පුරේඅසංග ඇතුළු පවුල

කැලේ පිපුණු මල්හි වත්සලා හා ඇගේ පුට්ර රතනේ හා සහෝදරී

වගේම කොමෙන්ට් අධිපතීන් වන ප්‍රාජේතුමා, ප්‍රසන්නතුමා

හා මං වහන්දෑ.

 

     පංචතන්තරේ නිදි ලොක්ක, කල්‍යාණ මිත්‍රේ කමි, ඉවාන් පවුලූෂ හිටියානම්....

     වගේම, කොහෙද මඟ අඩවියේ නවීන් සංදීපව අල්ලගන්න තිව්න අමාරුව

 

මහා සිරිබිරිසාගමනය හන්දා... සිරිබිරිස් - නිදි - ප්‍රා.ජේ සුහද හමුවක් යොදාගන්ට හිතපු හන්දා, කොලොම්පුරේ ගෙට්ටුවක් පවත්වන්නට ගෙනා යෝජනාව හන්දා, තට්ටයතුමා කෑම්ප් සයිට් එක හැමෝටම එක්රොක්වන තැනක් කළ හන්දා... සිදුවුණු යහපතක තරම.

 

     කොහොමින් උනත් මේ සුහද හමු අස්සේ මතක් වෙන තව කාරණා කීපයක් තියෙනවා....

 

අපි TeePeeයට ගොඩබහින්න කලියෙන් දින සිටම රවී ලොක්ක එහි සම්ප්‍රාප්ත වී සිටීම.

හමු තියන්න යොදාගන්න නියමිත හැම දිනයක්ම කොළොම්පුරයට පන්ති වැටී තිබීම.

මංජුල බොසාගෙ කහ කුරුල්ලා දර්ශනය වීම, ලැවරියා හා ස්නානය නියතයක් වීම.

 

ඒ අස්සේ මෙදා හමුවේ තට්ටයතුමා එක්කලා කෑම ගේන්න ගියහම ඒ ගෙදරත් බටයක් කැඩිල වතුර ගලන්න ගත්ත... මං හන්ද නෙමේ, බව් පොරයක් නිසා. කොහොම හරි වතුර බට එක්කලා මට තියෙන අවියෝජනීය ගස්ටනය ගැන සැක රවී ලොක්ක මේ පාර ටොයිලට් පැත්තේ යන්න හදනකොටත් සභා මජ්ජයේම ඇහුවෙ නැතෑ 'උඹ ආයේ මොනාහරි කඩයිද. කෝකටත් මාත් එන්නද' කියලා හිටන්.



 

විද්වත්, සුහද කතිකා අස්සේ සුපුරුදු දිය කෙලියත් හා මද පාන සංග්‍රහ වාගේම කාන්තා පරුවසයට තේපැන් සංග්‍රහයත් නියම උනා.

තව මොනාහරි කියන්න තියෙනවනම් තියෙන්නේ... හුම්, ශාන්ති මහත්මිය අතින් පිරිසට අත්සන හා සටහනක් සහිත පොත් පරිත්‍යාගය. ඒ අස්සේ මං වහන්දෑ හට ගුටි පරිත්‍යාගයක් ද සිදුවූ බව නොරහසකි.

 

ඒ අංගය අහවරව කතාබස්ද අඩුකොට... කාඩ් කුට්ටම් සෙල්ලමින් හමුව අහවර කරමුය කියා එය ආරම්භ කළා.  කළා තමයි... කාඩ් එකේ තියෙන දේ කරලා/කියලා පෙන්නන්න එපෑ හිටන්. මුලින්ම නොබියව ඉදිරිපත් වුනු පොඩ්ඩන් ජිරාෆ් අලියා අනුකරණය පෙන්නුවේය.

 

පහුව බ්ලොග්කරුවන්...

අයිසෙ නිව්ටන්ගේ ඔලුවට ඇපල් හෝ වෙන යමක් වැටුනොත් මොනවද වෙන්නේ, මාළු සද්ද නොකර පිහිනන්නේ කොහොමද, නයාට ටෝච් එකකින් පහර දීම, ඩ්‍රැකීගේ බොරු (නො)කීම, කොස්සෙන් ඇති ප්‍රයෝජන ආදී ඒවා සිදුවිණි.

මංතුමා කියවාපු පොත් දහයක නම් අභීතව ඉදිරිපත් කළ අතර නොහොඹිනා ඩ්‍රැකියා එය කඩාකප්පල් කිරීමට අමානුෂික වෙහෙසක් දැරූහ.

 

ඔය ඔක්කෝම අහවර වී අපි කහකුරුල්ලා මස්තකප්‍රාප්ත වී TeePee සයිට් එකෙන් එපිට බලා පිහාඹන්ට සැරසෙද්දී... වෙන තැන්වල පිටත්වන මොහොතේ සිදුවන ආකාරයේ මල් ඉසීමක්, වතුර ඉසීමක් නොව, බත් අහසට ඉස සෞභාග්‍යමත් ලංකාවක් ප්‍රාර්ථනා කිරීමට තට්ටය තුමා වගබලාගත් සේක.

 

පෝදා විකාසය ඉන් අහවරයි. සියල්ලෝ සතුටු සිතින් ගිය නමුත්... මා පාර වැරද්දුවාය කියමින් කොලොම්පුරයා පමණක් උරණ උනි.


 

හීන් සංදියේ ඇහුණ සිංදුවක්, අහම්බෙන් වාගේ ආයෙම ඇහුණ/ ඇහුව. ඇහුවා නෑහුවා මොකෝ ආයෙම අහන්නය කියලා හැමෝටම...  මේම පෝස්ටුවවේ දාන්න හිතුණ.

 

පරිසරය, ගහ කොළයට, සතා සීපාවට ආදරය කරන කෙනා, ඒ කියන්නෙ සොබාදම් මාතාවට ආදරය කරන මිනිහා වඩා යහපත් කෙනෙක්ය කියලා කියනවා නෙ. හැබැයි ඒ කියන්නේ පේස් බුක්, සමාජමාධ්‍යය ආදියෙන් ‘පරිසරය’ ගැන වැල්බයිලා ගහන කාණ්ඩය හැර වෙන්ට ඇති. කොහොමින් උනත් ඉතින් ඉදිරි කාලයේ අපි ජීවත් වෙන පරිසරේ තියෙන සොබා සෞන්දර්ය විඳ ගන්න වෙන්නෙ ඉතිහාස කතා පොත් වලින්දෝ කියලා තමයි සැක... මෙහෙම දිගටෝම ගියෝතින්.


 

ඇයි කියන්නෙ ඉතින් එක ගහක් හිටවන වේගෙට දාහෙන් වැඩි වේගෙකින් ගස් කැපෙනවා, කැලෑ එළිපෙහෙළි වෙනවා, වැව් පොකුණු ගොඩ කරනවා නෙව. ඇහැව්වොත්... සංවර්ධනයයි කියලත් කියවෙනවා නේ. කොහොම උනත් එන්න එන්නම ගිරීස්මෙ නම් වැඩිවෙනව. හෙවනකට තියා බෙහෙතකටවත් ගහක් හොයාගන්න අමාරුයි කොළඹ රටේ. නැතුවමත් නෙමේ; ඒත් මේ ලඟ කාලයකදී හිටවපුවා නෙවෙයි නෙව ඒවා උනත්.

 

ඒ තියා ගහක් හිටවන එකෙන් ඇති පලප්‍රයෝජනේ, තමන්ට ඇති වාසිය මොකක්ද කියල නෙ හිතන්නෙ... දැන් වැඩිහරියක් උදවිය. ඒකෙත් අත්තක් නැත්තේම නෑ. මොකද ගහක් හිටෙව්වාය කියල සල්ලියක්, ගතමනාවක් හම්බුවෙන එක්ක යෑ. ඒ ඇරත් රූස්සට හැදෙන ගහක් හිටවලා ඒකෙන් කවදා ලී කෑල්ලක්, ගස් ගෙඩියක් ගන්නය කියලද?.

 

  ..... ඔහොම කියාගෙන යන සෑඩ් ස්ටෝරියක් කියන්ට නෙවේ හැදුවේ.

 

කවද කොයි කාලෙත්, අප්පච්චි මයින්ඩ කියන්නා සේ ඩාම් ඩූම් සිදුවීම් වෙනව. ඉස්සර/ පැරණි සමාජය හොඳමද ?; දැන් ඉන්න තරුණ සමාජය නරකම ද?. හැමදාම තරුණ සමාජය අන්තිම නරක උනානම්, හෙටක් ගැන කතා කරන්න අදක් ඉතිරි වෙලා නෑ... නෙ?.

 

ඒ හන්ද මේ වගේ කවි, ගීත ආදී සෞන්දර්යාත්මක නිර්මාණ යෞවනයට/ තාරුණ්‍යයට අහන්න - විඳින්න වැඩි වැඩියෙන් සැලසෙනවා නම්. සලස්වනවා නම්...




මා ප්‍රසන්න හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ" සඳහා පිටත් ව යමි. මා නැවත කාමරයට පැමිණෙන විට මධ්‍යම රාත්‍රි එක දෙක වුවත් ප්‍රසන්න මා එන තුරු අවදි ව බලා සිටින්නේ ය.

මා වැඩ කළ ආපන ශාලාව සුකුබාවල ජනාකීර්ණ එකක් වූයෙන් දිනකට තුන් හාරසීයයක් පමණ කෑමට පැමිණෙති. ඒ ඒ සෘතුවල එකිනෙකට වෙනස් කෑම කට්ටල හා භාජන භාවිත වන බැවින් පිඟන් දාහක් දෙදාහක් සේදීමටත් පිස දැමීමටත් අපට සිදු වේ.

ප්‍රසන්න රාජකාරි කළේ සුකුබා නගර කාර්යාලයේ සනීපාරක්ෂක සේවයේ කසළ එකතු කරන්නකු ලෙසයි. රාත්‍රි සේවා මුර අවසන් ව නිවසට පැමිණෙන අපගේ ප්‍රධාන ම මාතෘකාව ශ්‍රී ලංකාවයි. මේ තරම් ලෞකික - භෞතික සැප සම්පත් මැද අප ලංකාව ගැන සිතන්නේ කුමකට ද? ඒත් අපේ ජනප්‍රිය ම මාතෘකාව වූයේ අපේ මව්බිමයි.

ප්‍රසන්න ජපානයට පැමිණි කතාව මා පැමිණි කතාවට වඩා වෙනස් දුක්මුසු වූවකි. උසස් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබ ආවත් මගේත් මූලික අරමුණ මුදල් ඉපයීමය. අප සමග ඉගෙන ගන්නා බොහෝ අය තවත් වසරක් හෝ ජපානයේ නැවතීමට කැමැත්තෙන් සිතා මතා විභාගවලින් අසමත් වූවෝ වෙති. ප්‍රසන්නත් මමත් ඉරිදාට ඇවිදින්නට යති. ප්‍රසන්න ජපානය දකිනුයේ මට වඩා සුභවාදී ආකාරයකට ය. ඔහුගේ කල්පනාවේ හැටියට ලාංකිකයින්ට වඩා ජපනුන් විවෘත ය. ස්ත්‍රී සිරුර කිසිඳු තහනමකින් තොර ව විකිණේ. කාන්තා නිරුවතක් නැති පත්තරයක්, සඟරාවක් නැත. ප්‍රසන්න සිතන හැටියට ස්ත්‍රී නිරුවත පුරුෂ සමාගමට තහංචි නැත. නිල් චිත්‍රපට, ගණිකා සේවය තහනමකින් තොර ව ක්‍රියාත්මක වේ. ප්‍රසන්න මේවා නිරීක්ෂණය කොට ජපනා කුහක නැතැයි කියයි. ප්‍රසන්නගේ ඇතැම් තර්ක වලට මට පිළිතුරක් නැත. ඔහු නිදන රෑ යම ඔහුගේ නිහඬ සිරුරෙහි ගැබ් ව ඇති අනන්ත සිතුවිලි මම සිතින් ස්පර්ශ කරමි. ඔහු ජපානයට පැමිණියේ දෛවෝපගත සිදු වීම් අභියෝගයට ලක් කරමිනි. කොලොම්බස්ගේ ඇමරිකාව සොයා ගැනීමට වඩා ප්‍රසන්නට ජපානය සොයා ගැනීම වැදගත් විය. ප්‍රසන්න ජපානයට ආවේ ගුවනින් නො වේ. ගුවන් සේවිකාවන් පැමිණ හිස තබන්නට කොට්ටත්, සිංදු අහන්නට පුංචි ශබ්ද විකාශන පුඩුත් සැපයුවේ නැත. ප්‍රසන්න ගේ ඇත රැඳී 'පාස් පෝට්' එක 'පූස් පාට්' එකක් පමණකි. ලංකාවේ ජපන් තානාපති කාර්යාල නිල මුද්‍රාව, වීසා බලපත්‍ර, වලංගු දින, අවලංගු දින ඒ කිසිවක් එහි නැත. ලංකාවේ සිටින ජපන් තැරැව්කරුවන් මගින් විවෘත බෝට්ටුවක නැගී අති දුෂ්කර සමුද්‍ර යාත්‍රාවක ඔහු යෙදී තිබේ. ප්‍රසන්න ඇතුළු කණ්ඩායම ජපානයට පැමිණි මොහොත නිතර ඔහුගේ ආවර්ජනයට ලක් විය.

එදා වැහි බර අඳුරු දිනයකි. බෝට්ටුව මීගමුවෙන් පිටත් වීම පැයකින් කල් දමන්නට ප්‍රසන්නට අවශ්‍ය ව තිබුණි. මන්ද යත්, ඒ මොහොත රාහු කාලය වූ බැවිනි. නැකත් හා රාහු කාලය පිළිබඳ ව ප්‍රසන්න දැඩි ස්ථාවරයක සිටියේ ය. සෙසු පිරිස නිසා තම සිතැඟි සඟවාගෙන රාහු කාලයේ ම ගමනාරම්භ කිරීමට ප්‍රසන්නට සිදු විය. ලංකාවේ සිට ගුවන් යානයක් ජපානයට ඒමට පැය නවයක් ගනී. ඒ ද අධික වේගයෙන් ගමන් කිරීමෙනි. ප්‍රසන්න අප මෙන් ම ලංකාව ගැන කලකිරී සිටියේ ය. නිදහසින් පසු පාලනය භාර ගත හා නොගත් සියලු කණ්ඩායම්වලට ශාප කරමින් තමන් බෝට්ටුවට ගොඩ වූ බව ප්‍රසන්න පසු දවසක මට පැවසී ය. මුහුදු ගමන අතිශය වෙහෙසකර වූවකි. ප්‍රසිද්ධියේ කළ යුතු මළ පහ කිරීම් ආදී සකල විධ අපා දුක් මැද ප්‍රසන්න සීතල දිවයලෝකය බලා පැමිණ ඇත. පිරිසිදු කෑමක්, හොඳ නින්දක්, බේත් හේත් ආදී කිසිවකුත් නැති ව පැමිණි පිරිස කෙසේ හෝ ජපන් වෙරළට ගොඩ බැස්සවීමට බෝට්ටුකරුවා සමත් වී තිබේ. ජපනා කෙතෙක් සූක්ෂ්ම වූවත් ඔවුන්ගේ සියලු ආරක්ෂක උපක්‍රම සුන් කරමින් වෙරළෙන් ගොඩබිමටත් එතැනින් රට මැදටත් ඔවුහු සේන්දු වූහ.

රාහුගේ බල පරාක්‍රමය ක්‍රියාත්මක ව ඇත්තේ ඉන් පසුව ය. අධික කුසගින්න නිසා ඔවුහු ආපන ශාලාවකට ඇතුල් වූහ. බෝට්ටුවේ අපිරිසිදු චාරිකාව නිසා ඔවුන්ගේ ඇඳුම් දුර්වර්ණ ව ගොසිනි: කිලිටි ය. කණ්ඩායම එකටම ගමන් කිරීම නිසා ජපනුන්ගේ සූක්ෂම දෙනෙතට ඔවුන් හසු වී තිබේ. කිසිදු හේතුවක් නැති ව ඇවිදින සිරිතක් ජපනුන්ගේ නැත. මාර්ග කම්කරුවෙකු වුවත් ඇඳුමෙන් හඳුනාගත හැකිය. ඒ නිසා මේ පිරිස දුටු ජපනුන් විමතියට පත් ව ආහාර දීමට පෙර පොලිසියට දන්වා ඇත. තම මිතුරන් ආහාර පිළිබඳ ව අතින් හිසින් සංඥා කරමින් ජපනුන් හා මුහු වද්දී ප්‍රසන්න වැසිකිළියට ගියේ ය. පැය කාලකින් පමණ ආපසු එන විට ප්‍රසන්න දුටුවේ තම මිතුරන් පටවා ගෙන යන ජපන් පොලිස් වාහනයයි. නිහඬව පැමිණි ප්‍රසන්න දුරකථන කුටියකින් ජපානයේ සිටින ලාංකිකයෙකුට ඇමතුවේ ය. ප්‍රසන්නගේ වෙලාවට ලාංකික මිතුරාට එදා නිවාඩු දිනයකි. ඔහු වහා ම පැමිණ ප්‍රසන්න තම කාමරයට ගෙන ගොස් තිබේ. රාහු කාලයේ මහිමය කියන්නට ඔහු නිතර ඉදිරිපත් කලේ මේ නිදසුනයි. රාහු කාලය ඇත්තක් නම් උඹ විතරක් බේරුණේ මන්දැයි මා නගන ප්‍රශ්නයට ද ඔහුට උත්තරයක් තිබුණි.

"තව ම මගේ කතාව ඉවර නෑනේ කොයි වෙලාවෙ Immigration එකෙන් මාව අල්ලයි ද කවුද දන්නෙ"

සද පායා තිබුණි. සඳට පහළින් සීතල වලාකුළු එල්ලේ. සඳ කිරණ ජපන් භූමියට වැටෙන්නේ සීතල වලාකුළු අතරිනි. සඳ ලංකාවට මේ තරම් සුන්දර නැත. 'සඳ' ජපනුන් මැද තනි ව වෙසෙන අප මෙන් ම අහිංසකය.

ප්‍රසන්න පවුලේ වැඩිමලා ය. ඔහුට බොහෝ ප්‍රශ්න තිබුණි. ගේ දොර ඉඩකඩම් විකුණා මෙහි පැමිණි බැවින් සෑම මසක ම ඉතා විශාල මුදලක් ඔහු ලංකාවට යැව්වේ ය. 'වීසා' හෝ 'ඒලියන්' වැනි කිසි දු නිල බලපත්‍රයක් ඔහුට නොවූයෙන් ඔහු වෙනුවෙන් ඒ සියල්ල කල යුතු වූයේ මාහටය. ඔහුට ලියුම් ලැබුණේත් ,මගේ ලිපිනයටයි. නංගිලා දීග දීමටත් උන්ට දෑවැද්ද සෙවීමටත්, ගේ දොර උකස බේරීමටත් ඔහුට මුදල් රාශියක් අවශ්‍ය විය. ඒ නිසා ම උදේ 7 සවස 4 රැකියාවට අමතර ව රාත්‍රී 6 සිට 12 දක්වා තවත් රැකියාවක් ඔහු සොයා ගත්තේ ය. මා වැඩ අරී රාත්‍රී දෙකට පමණ එන විට ප්‍රසන්න උණු වතුර ස්නානය කොට හිස උණුසුම් කරමින් කියන වදන් මට නිතර සිහිපත් වේ.

"මචං මේ කෙස් යන්නෙ යෙන්වලට, සීතලට නෙවෙයි". උදේ සිට සවස් වන තෙක් කසල අදින ප්‍රසන්නට කතා බහ කරන්නට කෙනෙකු දවස පුරාම හමු නොවේ. රාත්‍රී 12 සිට 2 තෙක් පුරා පැය දෙකක් ඔහු මා එන තුරු අවදි ව සිටී. දවල් සිදු වූ සිදුවීම් පවසන්නේ මේ වෙලාවට ය. වෙනත් වචනවලින් කිවහොත් අප දෙදෙනා ජීවත් වූයේ රාත්‍රී 2 සිට 4 දක්වා පැය දෙක පමණි. සෑම උදයකම වීදිවල කුණු ගොඩවල තබා ඇති ශීතකරණ, හොඳ ඇඳුම් පැළඳුම්, ඇඳ පුටු මේස, අල්මාරි, සපත්තු, ගෘහ විදුලි උපකරණ ආදී මිල කළ නොහැකි භාණ්ඩ ගැන ඔහු මට විස්තර කරයි. ඒවා තමන් සතු කර ගැනීමට නොව ලංකාවේ දුප්පත් ගම්වලට සහනාධාර ලෙස දීමට ජපානයට නොහැකි දැයි ඔහු ප්‍රශ්න කරයි. මහ මග අතහැර දමා ඇති ලක්ෂ ගණනක් බයිසිකල්, මෝටර් රථ ගැන දුක්වන ප්‍රසන්න ඉන් ලංකාවේ දුප්පත් ගම්මානවල ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙතැයි තර්ක කරයි. එවිට ලංකාව ජපානයේ කුණුගොඩ වේ වී යැයි මා කියන විට ප්‍රසන්න ඊටත් එරෙහි වෙයි.

"උඹ පලයන් ලංකාවෙ වලපනේ රූපහ නිල්දණ්ඩාහින්න. ඔය කොළඹ තියෙන වාහන තදබදය පාරවල් පුරා වාහන එහෙ නැහැ. කොළඹයි නුවරයි ගාල්ලයි දිහා බලන විදිහට දුප්පත් ගම්මාන මනින්න එපා බං"

"ප්‍රසන්න උඹ දැකල නැද්ද මෙහෙ T.V. එකේ ලංකාව පෙන්නන හැටි"

ජපානයේ රූපවාහිනිය ලංකාව පෙන්වන විට එහි සුන්දර බව නොපෙන්වීමට වග බලා ගනී. වැරහැලි ඇඳගත් මිනිසුන් මුඩුක්කු පැල්පත් වෙරළේ මළ පහ කරන දර්ශන ඔව්හු නිතර පෙන්වති. එබඳු වාතාවරණයක දී ජපානයේ ඉවත ලබා දෑ ලංකාවට යැව්වොත් ජපනා අප ව තවත් පහත් කොට සලකතැයි මම කිව්වෙමි. එහෙත් ප්‍රසන්නගේ අදහස්වල ද ඇත්තක් තිබේ. ප්‍රසන්න කතා කරන්නේ මට වඩා දැඩි පීඩාකාරී හැඟීමකිනි. ඔහු පදවන රථයේ පසු පස කොටසේ විදුලි බොත්තමකින් ක්‍රියා කරන ද්‍රව්‍ය පොඩි කරන යන්ත්‍රයක් ඇත. මග දෙපස ජපනා තබා යන ඔවුන්ට අනවශ්‍ය අලුත් භාණ්ඩ ප්‍රසන්න දිනපතා අර යන්ත්‍රයට තබා පොඩි කර දමයි. මේ අනුභූතිය මටත් දෛනිකව ලැබේ නම් ප්‍රසන්නගේ සිතිවිලිවල සාධාරණ බව මටත් දැනෙන්නට තිබුණි. ඒවා තබා පොඩි කර දමන විට තම හදවත දැවී යන බව ප්‍රසන්න කිහිප වාරයක් ම කියා තිබුණි. "මුන්ට හිතක් පපුවක් නැහැ. මුන් දන්නව ලෝකෙ දුප්පත් රටවල්වල හැටි. මුන් පුදුම ආත්මාර්ථකාමියො. මේක සම්පත් නාස්තියක්.. "

මට ප්‍රසන්න ගැන සිහිපත් වන විට වාවා ගත නොහැකි දුකක් ඇති වන්නේ ඔහු තම දෙමාපියන්ට වඩා රට ගැන දුක් වූ නිසා ය. ඔහුට බලාපොරොත්තු රැසක් තිබිණ. තමා උපන් දේශයේ වහල් බව දීන බව ඔහුගේ උදහසට ලක් විය. ජපන් බස දේවත්වයේ ලා සලකන ජපනා ගැන ආඩම්බර විය. සිංහලයන් සිංහලයන් සමග ජපන් බසින් දෙඩීම ඔහුගේ පිළිකුලට හේතු විය. රටක් නගන්නට නම් "සිය බස" මුල් තැනට ගත යුතු බව ප්‍රසන්නගේ තර්කය විය. ප්‍රසන්න ගැන ඔබට කී තොරතුරු සමාප්ත කරන්නට මට සිදු වී තිබේ. මෙය කෙටිකතාවක් හෝ චරිත විස්තරක් දැයි මම නොදනිමි.

එදා දවස වෙනදාටත් වඩා සීතල දවසක් විය. හිරු ජපානයට පිටු පා සිටියේ ය. සුකුබා ගිරි ශිඛරය හිම තට්ටුවකින් වැසී තිබුණි. පාන්දර පහට ප්‍රසන්න අවදි ව ආහාර පිළියෙළ කළේ ය. මට තේ කෝප්පයක් සාදා මගේ පසෙකින් වාඩී වී එය මට පිළිගැන්විය. එදා තරම් සුන්දර මුහුණක් ප්‍රසන්නට වෙන කවරදාවත් නොතිබුණි.

"මචං බත් ලෑස්තියි උදේටයි දවල්ටයි දෙකටම... මචං මේ මගේ මාසෙ පඩිය. උඹට ඕන තරම් අරගෙන ඉතිරිව අපේ ගෙදරට යවපන්. මේ මාසෙන් පස්සෙ ණය ඔක්කොම ඉවරයි. නංගිලත් බැඳල, ලබන මාසෙ ඉඳල යැව්වොත් යවන්න වෙන්නෙ ලාභය".

"එතකොට උඹ කසාද බඳින්නෙ නැද්ද?"

"කවුද බං ජපානේ නාකි වෙච්ච මේ ඌරව කසාද බඳින්නෙ... "

එදින රාත්‍රීත් පසු දා උදෑසනත් අන් කවරදාකවත් ඔහු නැවත පැමිණියේ නැත. ප්‍රසන්න තම රථයට කුණු ඔබා පිටුපසට ගොස් විදුලි බොත්තම ක්‍රියාත්මක කරයි. කුණු ඇඹරෙන දැති රෝදය ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවයි. මගේ කල්පනාවේ හැටියට ණය පියවීම නිසා ප්‍රසන්න සිටියේ දැඩි සතුටකිනි. පිටිපස දැති රෝදයට කුණු තබා බොත්තම එබූ පසු දැති රෝදය ක්‍රියාත්මක ව ඇත්තේ එය ක්‍රියාත්මක කළ ප්‍රසන්නත් මස් පිඬක් බවට පත් කරමිනි. ගොමි වාහනයක සිටින්නේ එක් පුද්ගලයෙකි. පුරා පැය තුනක් ම කුණුත් සමග එකට ඇඹරෙමින් දැති රෝදය ක්‍රියාත්මක ව තිබේ.

රාහු වේලාවෙන් පැමිණ අසුබ නිමිත්ත සුබ නිමිත්ත කර ගැනීමට ඔහු දැරූ ආයාසයත් ඔහුගේ එක් ප්‍රාර්ථනාවකුත් මට සිහිවේ.

"මචං කවදාවත් ජපානෙදි මැරෙන්න හොඳ නෑ. මොකද දන්නවද ජපනෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් මැරෙනකල් වැඩ කරන්නයි වෙන්නෙ. මේක මචං දිව්‍යමය අපාය."


-           අත්තනායක එම්. හේරත් මහතාගේ කෙටිකතා පොතකින්.

අවසේස කරුණු- මේ පොත මා හට ලබා දුන්නෙ පංචතනතුරේ නිමල් දිසානායක මහතායි.

 කහ පාටයි. පොඩි හුරුබුහුටි ගතියකුත් තියෙනව. පිට දේසෙකින් නෙ මෙහෙට එක්කරාන ඇවිත් තියෙන්නෙ. ඒ නිසා හැන්ඩියට, ජේත්තුවට ඉන්න පොර කැමතියි හිටන්. හැබැයි මහ එපා කරපු එකා. දවස තිස්සෙම පාරේ. සමහර දවස්වලටනම් ඇඟේ කුණු පෙරාගෙන ජරා වෙලා... ගන්දස්කාරේ බැරුවා. හොරකමේ යන... මහ නැහැදිච්ච පූසෙක් මූ. කුණු බක්කි, ගෙවල්ය කියල ඌට ඒ හැටි වෙනසක් නෑ. ඌටම හරියන සැට් එහෙකුත් හොයාගෙන, අන්දල කරලා හෙම තියන් ඉන්නෙ. සේරෝම එකතුවෙලා පැත්තමට සුද්දෙ දෙනව. පොලෝසියටවත් බෑ උන්ව මට්ටු කරන්න. හැබැයි එහෙමෙයි කියල... මේ පූෂ නරකමත් නෑ.

කාලෙකට කලින් විස්තරේ ඔහොමයි. දැන් උදවියනම්... ඌ ගැන දන්නෙ නැති තරම්. මේ නසරානි පූසව ගෙන්නගෙන තියෙන්නෙ... සූප පෙට්ටියේ කන්තෝරුවකින් නෙව. එකදාස් බරගණන්වල.

හරියටම මේ පූෂ්ගේ වතගොත කියනව නම් 1961 තමා මේ මූ ඉපදිලා තියෙන්නෙ. ඒ හැනා සහ බාබරා කියන නිෂ්පාදන ආයතනයෙන්. එහෙම කියද්දි නම් කස්ටිය දැනගන්න ඇති... මේ කියන්නේ අර ඇමරිකන් Top Cap කාටූන් එක ගැන වෙන්ටෑති කියල.


Top Cap ලංකාවේ හඬකවා රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කරන්නේ කවුරුත් දන්න 'පිස්සු පූසා' කියන නමින්. එය භාරව කටයුතු කර තියෙන්නෙ... ටයිටස් තොටවත්තයන් නෙව. මේ කාටුන් වැඩසටහනට නම දැමීම වගේම, එහි 'පිස්ස මූ' කියන තේමා ගීතයට ඒ පද යොදාගැනීම හරිද කියල පොඩි කසුකුසුවක් ඇවිදින්... මොකද මේක ළමා වැඩසටහනක් නිසා. ඒ කොහොමින් උනත් කාටුන් එක වගේම තේමා ගීයත්, ළමා- වැඩිහිටි කා අතරත් එක විදිහට ජනප්‍රියත්වය උනා. තාමත් සින්දුවේ හඬ ඇහුණ ගමන් මතකෙට එන්නෙ ඒක නෙව.

ඉන්න කස්ටිය ගත්තොත්... ප්‍රධාන, කහපාට සූට් බූට් දාගත්ත උජාරුවට ඉන්න පිස්සු පූස්. මේ පූස් මොටා පස්සෙ පන්නන අවංක- නීතිගරුක රාලහාමි. ඊට පස්සෙ... පිස්සු පූස්ගෙ සහචර පිරිවර, පූස් වසන ගමේ මිනිස්සු සැට් එක. ගම වටේ නැටුන් නටාගෙන, දහන් ගැට දාන පූස් සහ රැල මට්ටු කරන්න එන්ටර් වෙන රාලහාමී කතා වස්තුව තමා ඉතීම් වැඩිහරියක කතා සාරය. ඉඳල හිටල පූස්- රාලහාමී සාමදාන වෙන තැනුත් නැතුවාම නෙමේ. කොහොමින් උනත් ඉක්මනටම හිත් උණු වෙන ඩබලක්... පූස්- රාලහාමී දෙනම.

දැන් ළමයින් මේවා නොදන්නව උනාට අපි ඔයයිලා බලපු/ දන්න ඒව නෙව මේව. කෝමින් උනත් ජාතික රූපවාහිනියේ පස්සෙන් පහු මේක විකාසය කළා, දැන් අත්හිටුවලද දන්නෙ නෑ හිටන්.

පළවෙනි දිගහැරුමේ තේමාව, පූස් රංචුවේ සගයෙක්ට ඇදෙන ලොතරැයි දිනුමකින් කට්ටියම හවායි බලා යන සංචාරයක්. මේ විදිහට එකිනෙකට වෙනස් තේමාවන් වටා ගෙතුණු කතා ඇතුළත්ව... 1961 සැප්තැම්බර් 17දා සිට 1962 අප්‍රේල් 18වනදා දක්වා කොටස් 30කින් යුතුව පළමු දිගහැරුම ඇමරිකාවේදී විකාශය වෙලා තියෙනව. මේ වෙනකම් විවිධ රටවල්වල භාෂාවන්ට පරිවර්තනය වෙලා ඇවිදින් 2023 වෙන කොට එහි 62නි වසර පහුකරනව. මේ අතරතුරේ චිත්‍රකතා, සඟරා, චිත්‍රපට දක්වා Top Cat වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනව. ඒත් සිනමාව ආක්‍රමණය කරන්නනම් ඒ හැටි සමත් වෙලා නෑ.

* * * * * * *

කෝම උනත් ටයිටස් තොටවත්ත ඔය... ගැති නැති,
 කියන්ට ඕන දේ අදාළ වෙන විදිහට කියාපු කෙනෙක්ය කියල කියනවා නෙව. එහෙම හිටිය ටයි බොසා මේ පිස්සු පූසා එකේ සිංහල තේමා ගීය මොන දෙයක් හිත් ලාල අකුරු කරාද දන්නෑ හිටන්.
 

සූට් බූට් දිග කලිසම් - රෝල්ස් රොයිස් ගමන් බිමන්

අද මැදුරේ හෙට පැදුරේ - පිස්සු පූසා මේ

 

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //

 

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා

මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා

දෙස් පළුවක් ගේ විලසා - කුණු කූඩෙන් බෙල්ල දමා

බොරු බේගල් ඇද බාලා - සහචරයින් කරයි මුලා

 

අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා

මීයා කටට වැටුණු වහා සිල්ගත් සේමා

තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා

බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා

 

හොරා කෑම බැරිවුන දා - දත් විලිසා නිය විහිදා

කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා

 

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ... //

  

ගී පද - ටයිටස් තොටවත්ත

තනු සහ සංගීතය - සෝමසිරි ඉලේසිංහ

ගායනය - ගැමුණු විජේසූරිය

   යූ බටෙන් සිංදුවට......... 


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්