රූපය - අන්තර්ජාලයෙනි |
ඊයේ
සැන්දෑවේ රාවල්පිණ්ඩි නගරයේ පොත් සාප්පුවකට ගොඩ වැදුන මම, පොත් බර තොගයක් ම මිලට
ගතිමි. සාප්පුවෙන් එලියට පැමිණි මට, මද ඇසිල්ලකින් ම පොත් මිටියේ බර දැනෙන්නට විය.
මා වටා දක්නට ඇත්තේ හැඩට වැඩට ඇඳ පැළඳ ගත් ජෙත්තුකාරයින් ය. ඇත්තම කියනවානම්, මගෙ
වැදගත් ධනපති තත්වය ගැන කල්පනා වූ මට, ලැජ්ජාවක් ඇති විය. බටහිර
පන්නයේ ඇඳුම් ඇඳ සිටින මට බර පොත් මිටියකුත් උසුලාගෙන ගමන් කළ හැකිද? ඇත්තටම බැරිය. වට පිට බැලුවද කුලී කාරයෙකු ළඟ පාතක නැත. සාප්පුවෙන්
මදක් පිටත පැකිලෙමින් සිටින විට, මා පිටුපසින් අසුනේ බයාදු හඬකි.
“බාබුජී,
මම පාර්සලය ගිහිල්ල දෙන්ඩ ද?
වටපිට බලන
විට මා දුටුවේ සිනාසෙමින් මා දෙසට පැමිණෙන කිලිටි මුහුණකි. එහෙත් අලුත උපන්
දරුවෙකුගේ අහිංසකත්වය එම කිලිටි තලයෙන් වැසී තිබුණේ ය. මේ මුහුණේ අයිතිකාරයා, බොහෝ
ම මෑත දී මහ පොළෝ කුහරයෙන් එලියට පැමිණියෙකු විය යුතු ය.
“හොඳයි,
එහෙනම් මේක බස් එක ගාවට ගිහිල්ල දෙන්ඩ. මට පරණ ටවුමට යන බස් එක අල්ලගන්න
තියෙනවා... ආ මෙන්න..” සාක්කුව අත ගෑ මම, පයිසා දහයේ කාසියක් ඔහු අත තැබීමි. කාසිය
ඔහු අත තැබූ පසු මා තුළ හටගත්තේ ආත්මාභිමානයකි. මා මේ මිනිහාට වැඩේට කලින් ම කුලිය
ගෙවා ඇත. ඔහුගේ විශ්වාසය ඇති වන්නට, එය හේතුවක් නොවේද?
“බාබු සහීබ්, මට දැන්මම සල්ලි ඔනැ නෑ” කියමින් සිය අන්ඩ දැමූ අත් කොට කබායේ කිසියම්
තැනක කාසිය ඔබාගත් හෙතෙම, අහිංසක ලෙස සිනාසුණේ ය. මේ මිනිහා වැදගත්යයි ද අවංකයයි ද
මම සිතේ සනිටුහන් කර ගතිමි. සෙනග අතරින් වක ගැසී ඉදිරියට ගමන් කළ හෙතෙම, අන්තිමේ දී
බසයට ගොඩ නැගී හිස් අසුනක් මත පාර්සලය තැබීය. මෙම පෞරාණික වාහනයේ ඉඩ ඇති අසුනක
පහසු ලෙස හිඳගත් මට, මොහොතකට සියල්ල අමතක විය. වාහනය ගැස්සෙමින්
ද පැද්දෙමින් ද පරණ නගරයේ අබලන් පාර දිගේ ඇදෙන්නට විය. හදිසියේම මා දුටුවේ මා දෙස
බලා සිටින මගේ කුලී කාරයා ය. මම ඔහුට, මා සිටි අසුනේ බිඳක් ඉඩ දුනිමි. එහෙත් හිස
සෙලවූ ඔහු මා ලඟින් ම බිම වාඩිවූයේ තුටු පහටු සිතිනි.
“ඇයි, තමුසෙ
බහින්නෙ නැද්ද?” මේ මිහිහාගේ ගුප්ත සිනහව තේරුම්ගත නොහැකිවූ මම, ඔහුගෙන්
විමසුවෙමි. මලානික කම්මුල් මත තැවරී තිබුණු කුණු තට්ටුව මත වුව, ඔහුගේ පහන් සිනහව
පැතිර ගියේ ය.
“මාත්
යන්නෙ පරණ ටවුමට” ප්‍රිය උපදවන හඬින් කී ඔහු මා දෙස බලා විරිත්තීය.
“එතකොට
තමුසෙගෙ නම?”
“රාසුල්
ජූ, ඔහු යලිත් සිනාසුණි. කොන්දොස්තර පැමිණි විට මම ටිකට් දෙකක් ම ගතිමි. එකක්
රාසුල් ජූ අතේ තැබූ විට, ඔහුගේ දෙනෙත කෘතවේදී සිනහවකින් උතුරා ගියේ ය. රාජා
බසාර්හි දී බසයෙන් බට මම, පොත් ටික ද කිහිලි ගසා ගෙන පදික වේදිකාව දිගේ ගමන්
කරන්නට වුයෙමි. දැන් මා සිටින්නේ මට හුරු පුරුදු පරිසරයේ ය. එබැවින් කිසිවෙකුට
කිසිවක් ඇඟවීමට කිසිම වුවමනාවක් ඇත්තේ නැත.
මද
ඇසිල්ලකින් කිසිවෙකු මා පසුපස එතැයි මට දැනෙන්නට විය. ගැට කපන්නෝ සහ මං පහරන්නෝ
මගෙ සිතෙහි මැවෙන්නට වුහ. මොකකටත් මම කමිස සාක්කුව අත ගා මුදල් පසුම්බිය ඇතිදැයි
බැලුවෙමි. එය එහි විය. සැනසිලි සුසුමක් හෙළු මට යළිත් දැනුණේ කිසිවෙකු මා ලඟට ම
පැමිණ සිටින බව ය.
කිසිම
හෙවනැල්ලක් මා ඉදිරියට නැමෙයි. කහ පැහැ ගැන්වුණු දත් දෙපෙළ පාමින් සිනාසුනු කෙනෙක්,
කිහිල්ලේ තිබුණු මගෙ පාර්සලය තමා අතට ගත්තේ ය. කලින් පැවති භීතිය වෙනුවට දැන් මා
තුළ ඇත්තේ සැකයත් නොරිස්සුන්කමත් ය. ‘මේක තමුසෙගෙ පුරුද්දක් ද?’ පාරෙ යන
මිනිස්සුන්ගෙ පාර්සල් බලෙන් උස්සන් යන එක?’ මා විමසුවේ සාවඤ ලෙස ය. මේ වන විට
රාසුල් ජූ මගෙ පොත් මිටිය ඔහුගේ උරහිස මත තබාගෙන අවසන් ය.
“බාබු
සහීබ් කොහෙටද යන්නෙ?” බැගෑපත් ලෙස ඔහු මගෙන් විමසී ය.
“මහ
පල්ලිය ගාවට. ඔහේ කොහේ ද යන්නෙ?”
“මං
යන්නෙත් මහ පල්ලිය ගාවට, බාබුජි”
මට හමුවී
ඇත්තේ කරදරකාරී චරිතයක් බව ඔබට අමුතුවෙන් පැවසීමට දැන් අවශ්‍ය නැත. මේ මිනිහා අමතර
කාසියක් දෙකක් සොයා ගන්නේ මොන තරම් දක්ෂ ලෙස ද? මේ මිනිහාට මීට වඩා මා තම්බන්නට ඉඩ
දිය යුතු නැත. පයිස පනහකට වැඩියෙන් තබයක්වත් මම මිනිහාට දෙන්නේ නෑ.
මා ඔහු දෙස
බැලුවේ විහිළුකාර ස්වරූපයක් මවාගෙන ය.
"තමුසෙගෙ
බඩ ගෙඩිය ඇතුලෙ තියෙන ගින්දරට කන්ඩ දෙන්ඩ, දවසකට කොච්චර ඉන්ධන එකතු කරනවද?”
මා යෙදූ
උරුදු ප්‍රස්තා පිරුළේ කිසිඳු අරුතක් ඔහුට වැටහුණු බවක් පෙනෙන්නට නැත,
දූවිලි වැකුණු දෙතොල් හැර නිහඬ ව සිනාසුණු ඔහු තමාගේ දින චර්යාව ගැන දිග හෑල්ලක්
කියන්නට වන්නේය. ඔහු කිසියම් කොන්ත්‍රාත් කරුවෙකු ළඟ දවස් කුලියට වැඩ කර ඇත. අන්
හැම කොන්ත්‍රාත්කරුවෙකු මෙන් ම, මේ ,මිනිහා ද හොරගෙඩියෙකි.
සිය කුලීකරුවන්ගෙන්, දවල් රෑ දෙකේ ම වහලුන්ගෙන් මෙන් වැඩගත් මේ මිනිහා මොකක් හෝ
හේතුවක් අල්ලාගෙන කුලීකරුවන්ගෙන් පඩි කපන කලාව හොඳින් දැන සිටියේ ය.
“තමුසෙ
කොයි පළාතෙද? මගේ අශෝභන පුංචි මිත්‍රයාගේ අතීත වගතුග සොයන රිසියක් මා තුළ ඇති
විය.
“මම
කාශ්මීරයෙන්, බාබු සහීබ්” ඔහු මා සමග පැවසී ය. “අපේ මුල් පදිංචිය ගොපූර්වල.
ඉන්දියානු සොල්දාදුවො අපේ ගෙවල් පුච්චලා වගා විනාශ කලාට පස්සෙ, අපි පන්ජාබයට පැනල
ආව. දුප්පත් මිනිහෙකුට මේ ලෝකෙ කිසිම හව්හරණක් නෑ, බාබුජි”
ඉන් පසුව
ඔහුගේ පාළු මලානික මුහුණේ සිනාවක් පහල වූයේ නැත. එහි ඇඳි තිබුනේ වෛරයයි. ඒ වෛරය
ඔහුගේම වර්ගයා වෙත යොමු වූවක් ද? එසේත් නැතිනම්, තමා ගොදුරක් බවට පත්ව සිටින මුළු
මහත් සමාජ ක්‍රමය කෙරෙහි ම එල්ල වූවක් ද?
හදිසියේ ම නැගී සිටි හෙතෙම, ගැඹුරු කල්පනාවේ නිමග්න විය. ඔහුගේ පෙනුම
දාර්ශනිකයකුගේ වැනි වී යැයි මට සිතුණි.
“ඔගේ
දවසකට කීයක් විතර හම්බ කරනව ද?” ඔහු කෙරෙහි මා තුළ අනුකම්පාවක් හටගෙන ඇත්තේය.
“රුපියල්
දෙකක් විතර. වැස්සොත් එහෙම කීයක්වත් නෑ. ඒ කියන්නෙ එදාට අපේ ගෙදර සේරම බඩගින්නෙ
කියන එකයි. එහෙම දවස්ල්වල අපි වේලිච්ච බාර්ලි ටිකක් කෑමට ගන්නවා.”
රාසුල් ජු
මා සමග දැන් කතා කරන්නේ මිත්‍ර ලීලාවකිනි. මදින් මද තමාගේ ජීවිතය ගැන ඔහු කළ
විස්තරයෙන් පෑරුණු සිතැති මම, පොදුවේ මිනිසුන්ගෙ ඉරණම ගැන සිතන්නට විය.
රාජා
බසාරයේ මහා හන්දියේ දී කවියෙකු හා නළුවෙකු වන මගෙ මිත්‍රයෙක් මට මුණ ගැසුණි. මහ පාර
මැදම මා නවතා ගත් ඔහු සිය අලුත්ම දිග කාව්‍යයට සවන් දෙන මෙන් මට බල කරන්නට විය. ඒ
වූකලී උර්දු කාව්‍යයෙහි විප්ලවීය වෙනසක් ඇති කරන කෘතියකැයි මගෙ මිත්‍රයා කියන්නට
වන්නේ ය. එහෙත් මට නම් සිතුණේ ඔහුගේ කවියත්, පෙම්වතුන්ගේ හමුවීම හා වෙන්වීම ගැන
කියවෙන එකම ජාතියේ තවත් කවියක් ලෙස පමණි. කවියේ ඉතිරි ටික පසුව සවන් දීමේ
පොරොන්දුව පිට මිත්‍රයාගෙන් ගැලවෙන්නට අන්තිමේ දී මට හැකි විය.
මම වේගයෙන්
ඉදිරියට ගමන් කලේ හැකි විගස ගෙදර යන බලාපොරත්තුවෙනි. එහෙත් වැදගත්ම දෙය නැතිවී
තිබෙන බැව් මා පසක් කලේ එවිටය. මගේ පාර්සලය! රාසුල් ජු. වියරු වැටුණු කලෙක
මෙන් වටපිට බලන්නට වීමි. මගෙ කවි - නළුවා, මා කලින් සිටි තැනම තවමත් සිට ගෙනය.
එහෙත් රාසුල් ජු ? ඒ කාලකණ්නියා පේනතෙක් මානයකවත් නැත. මගෙ පාර්සලය ඉතා වැදගත්
පුස්තකාල පොත් කිහිපයක් විය. ඒ කිසිවක් කිසිම තැනකින් යළිත් මට ලබා ගත නොහැක. සිහි
කල්පනාව නැති වූ මම පදික වේදිකාවේ ඒ මේ ඇත ඇවිදින්නට වීමි. මම දුප්පත්කමත්,
දුප්පත් කාලකණ්නි ගැනත් සාප කරන්නට වන්නෙමි. මුළු බසාරය ම මිනිසුන්ගෙන් පිරී ඇත.
රාසුල් ජු තබා ඔහුගේ මුහුණුවර ඇති එකෙකුවත් ඒ අතරින් හඳුනාගත නොහැක. දැන් නම් මට
උගේ බොටුව වුණත් මිරිකිය හැකිය. දැන් කළුවර වැටී ගෙන එයි. මා අනාතභාවයේ කලුපාට
රාත්‍රියක ගිලෙමින් සිටින බවක් මට දැනේ.
මේ වාගේ
මිනිහෙකු විශ්වාස කිරීම ගැන මම මටම සාප කර ගත්තෙමි. රාසුල් ජු අතුරුදහන්ව ඇත.
එහෙත් ඔහුගේ අවංක මුහුණ මා ඉදිරියේ දර්ශනය වන බවක් මට දැනෙයි. ඒ වුණත් මිනිසෙකුගේ
පෙනුම කොතරම් වංචාකාරී ද? මේ මිනිහා හෙරෙහි අනුකම්පා කිරීම ගැන මම මට ම වියරු ලෙස
සිනාසුනෙමි. හැම දිසාව ම බලමින් ද කිසියම් ආශ්චර්යකින් මගේ පොත් ටික ආපසු ලැබෙතැයි
සිතමින් ද මම ඉදිරියට ගමන් කරන්නට වුයෙමි. මේ පාරේ මා කලින් සිටි මහ හන්දිය වෙත
ආපසු ගියෙ නම් මැනවයි මට හදිසියේ ම කල්පනා විය. ඇතැම් විට අර තක්කඩියා එතැන සැඟවී
සිටිනවා විය හැකි ය. මම වහා ආපසු දිව ගියෙමි.
මා වටා ගොඩ
ගැසෙන රිය පෙළ. එකිනෙක ඇදී යයි. සාප්පු යන ගැහැණු මිනිස්සු අනෙකාගේ ප්‍රීතිය හා
වේදනාව ගැන නොසිතා ම එකිනෙකාගේ ඇඟේ හැපෙමින් ඔහේ යති. සාප්පු තුළින් නියෝන් එළිය
විහිදෙයි. රිය පෙළ මැදින් නැග එන හඬ මහ ගෝසාවක් බවට පත් වෙයි. ජීවිතයේ කිසි කලෙක
නූපන් අසරණභාවයක් දැනෙන්නට වෙයි. මේ වූ කලී කිසියම් කෙනෙකු සම්බන්ධයෙන්
සම්පූර්ණයෙන් ම මා වරද්දා ගත් මුල්ම අවස්ථාවය. ඒ සියල්ලටම වඩා මගෙ සිත රිදවන්නේ
සුරාකනු ලබන නිර්ධන පංතියේ එකකු විසින්ම මා වංචා කරනු ලැබීමයි. ඇත්තටම මේ නම්
තිත්ත වස කෝප්පයක් නොවේද? හදිසියේම එය පානය කරන්නට මට සිදු වී ඇත්තේය.
තව දුරටත්
රාසුල් ජු සොයා යෑම පලක් නැත. එබැවින් අන්තිමේ දී නිවස බලා යාමට මම තීරණය කළෙමි.
මහා පල්ලියත් එහි දීප්තිමත් වර්ණයෙන් සුසැදි කවුලුත් මා ඉදිරියේ නැගී සිටි. පල්ලිය
මුදුනේ නගා ඇති ශබ්ද විකාශනයෙන් සංගීතවත් වූ යාඤා හඬ පැතිර යයි. “අල්ලා හ් ඕ -
අක්බර්. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක.” රාසුල් ජුගේ වංචාකාරී බවත් මාගේ
තකතීරු බවත් හේතු කොටගෙන මා තුළ කෝපයක් නැගි නැගී එයි. “අල්ලා ශ්‍රේෂ්ඨ වන්නට
පුළුවන. ඒ වුණත් මිනිහා මොන තරම් ක්ෂුද්‍ර ද? මොන තරම් නීච ද? දෙවියන්
වහන්සේ තමන්ගේම පහන දල්වා ගෙන සිටියි. එහෙත් තමන්වහන්සේ විසින් ම ගෙවල්වල පහන්
නිවා දැමීම ගැන උන්වහන්සේට නිනව්වක් ඇත්තේ නැත. මිනිහා මවනු ලැබ ඇත්තේ දෙවියන්ගේම
ප්‍රතිරූපයෙනි. ඒ වුණත් ඒ ශ්‍රේෂ්ඨත්වය ලෝකයේ තියෙන හැම වෙළද පොලකම වෙන්න්දේසි
කරනු ලැබේ.” තිත්ත ස්වරයෙන් මම මටම කියා ගතිමි. මේ අයුරු දිලිසෙන පල්ලියේ හෙවන යට
බොහෝ වෙලාවක් මා සිටින්නට ඇත.
කිසිවෙකු මට
අඬගහන ශබ්දයක් ඇසෙයි. කටහඬද මට හුරුය. හදවත, පිම්බුණු ඊට ඇටවලට වැඩෙනු මට දැනිණි...
ඔව් ඒ රසුල් ජුගේ කට හඬය.
“බාබුජි
පුදුම කෙනෙක් නෙ. මම බසාර් එකේ හැම තැනම තමුන්නාන්සෙව හෙව්වා. තමුන්නාන්සෙගෙ බංගලාව
තියෙන තැන දැනගෙන හිටිය නම්, මට පාර්සලය එහෙ තියන්න තිබුණා.”
මම ඔහු දෙස
බලා ගත් වනම බලා සිටියෙමි.
“තමුසෙ
පල්ලිය ඇතුළේ මොනවද කළේ ? යාඤා කර කර හිටිය ද? ප්‍රීතිය නිසා ම ඔහු පපුවට තද
කර වැළඳ ගන්නට සිතුණි.
නෑ නෑ බාබු
සහීබ්, මම එහෙට ගියේ යාඤා කරන්න නෙමේ. ඔහු විරිත්තමින්
කියන්නට වන්නේය. “මම තමුන්නාන්සෙ එනවද බලන්ඩ පඩිපෙළ උඩ ඉඳගෙන හිටියෙ. ඇයි
තමුන්නාන්සෙමනෙ කිව්වෙ, තමුන්නාන්සෙ ඉන්නෙ මහා පල්ලිය ගාව කියල.”
වීදිය දිගේ
ගමන් කළ මම, රාසුල් ජු ද කැටුව ගෙදර ගියෙමි. දොරට තට්ටු කර ඇරෙන තුරු මොහොතක් බලා
සිටියෙමි. ඒ මොහොතේ මා කල්පනා කරමින් සිටියේ, මගෙ කවි නළු මිත්‍රයා විසින් සැබෑ
ජීවිතයේ සුන්දරත්වයත්, අවලස්සනත් ගැන කවියක් ලියන්නේ නම් මැනවයි
කියාය. මේ කඳුකර කුලීකාරයින් ගැනත් කවියක් ලියන්නට වටියි. මෙවන් දරිද්‍රතාවයකින්
මතු වූ මිනිහෙකුගේ උදාරත්වයට මගෙ මිත්‍ර කවියා හිස නමා සිටිය යුතුය. තමාගේ ම උපන්
බිමෙහි තමා සතුව තිබුණු සියලු දේ නැතිවුණු, ඉන් පසු තමා නොහඳුනන, කුරිරු සමාජයකට
පැමිණ සිටින ඒ සමාජයේ කෲරත්වයෙන් විනාශයට පත් නොවී නැගී සිටින මේ අරුම පුදුම
මිනිහාගේ උදාරත්වය ගැන ඔහු කවියක් ලිවිය යුතුමය.
දොර ඇරියේ
මගෙ මෑණියන්ය. තමා ඉදිරියේ ප්‍රාදුර්භූත වුනු කඩමාළු මිනිසා දෙස වරක් හරී බැලු ඕ
මොහොතකට සිය සුදුවන් හිස සලා යාඤා කරමින් සිටි තැනට ම ගියා ය.
රාසුල් ජු
අතේ තිබුණු පාර්සලය ගත් මම, එය අසල වූ බැංකුවක් මත තබා ඔහු වෙත රුපියලේ නෝට්ටුවක්
දිගු කළෙමි. ඔහුගේ පැතලි මුහුණේ සිනාවක් නැගුණි. ඔහු හිස සැලීය. ඔහු කෙරෙහි
කලකිරුණු මම තවත් පයිස විසි පහක් ගෙන, ඔහුගේ අත් කොට කබායේ උඩ
සාක්කුවට දැම්මෙමි. එහෙත් මුදල් එලියට ගත ඔහු එය යළිත් මා දෙසට දෙන්නට වෑයම් කලේ
ය. මම ඔහු දෙස රවා බැලුවෙමි.
“මට මේක
ගන්ඩ බෑ” කොඳුරමින් කී හෙතෙම ඒ මුදල මගෙ පාර්සලය මත තැබී ය.
“ඇයි තමුසෙට
ඒක මදි ද? මීට වඩා එක පයිසයක්වත් තමුසෙට දෙන්නේ නෑ. ඕනෙ නම් ඒක අරං යනවා.”
දැඩි ස්වරයකින් එසේ පවසන විට මගේ කට හඬ වෙවුලන්නට විය. රාසුල් ජු මා දෙස බලා ගත
වනම තවත් බලා සිනාසෙයි.
යාඤා
කරන්නට එලා ගත් ඇතිරිල්ල හකුලා දැමු මගෙ මෑණියන් මා වෙත පැමිණ සිට ගත්තා ය. “උඹට
සල්ලි එපා නම් නිකා ඉඳින් කාලකණ්නි මනුස්සයෝ. උඹලගෙ ජාතියේ කුලීකාරයෝ සේරම එක වගේ.
උඹලට දස දහස් ගානක් හම්බ වුණත් උඹල අඳින්නෙ කඩමාළු.” ඔහු දෙස හරී කෑ ගසන්නට වූ
මගෙ මෑණියෝ, සිය ජප මාලයේ ඇට එකිනෙකට වේගයෙන් ගනින්නට වුවාය. හදිසියේම මා තුළ හටගත්තේ
දැඩි අනුකමපාවකි. එතකොට අදත් රාසුල් ජුට වේලිච්ච බාර්ලි කන්ඩ සිද්ධ වෙයිද ?
“මෙන්න
පයිසා විසිපහක්. හැබැයි ඊට වඩා නම් බෑ.” රසුල් ජු මා දෙස බලාගත්වන ම නැගී
සිටියේ ඉතා උදාර ලීලාවෙනි.
“නෑ නෑ
බාබු ජී. තමුන්නාන්සෙ මාව වැරදියට තේරුම් අරගෙන. තමුන්නාන්සෙ මට කරුණාව දැක්කුවා.
මට මිනිහෙකුට වගේ සැලකුවා. මට තමුන්නාන්සෙගෙ සල්ලි කීයක්වත් ගන්ඩ බෑ.”
සිදු වූයේ
කිමෙක්දැයි තේරුම් ගන්නට පෙර ඔහු නිවසින් එළියට පැන ගමන් කරන්නට වන්නේ ය. සල්ලි
ටික ද මිටෙහි රුවා ගත් මම ඔහු පසු පස එළවන්ට වීමි. එහෙත් රාසුල් ජු අතුරුදහන්ව
සිටියි. ඇතැම්විට ඔහු පොළෝ කුහරයටම ආපසු ගියා වන්නට ඇත. ලැජ්ජාවෙන් ද අපමණ
වේදනාවෙන් ද පීඩිත වූ මම, ඔහු ගිය අත බලා සිටියෙමි.
ලතීෆ් කාශ්මීර්ගේ මෙම කෙටිකතාව සිංහලයට පරිවර්තනය කර ඇත්තේ W. A. අබේසිංහ මහතාය.
මේ කෙටිකතාව මතු දවසක බ්ලොග්ගත කොරන්ටයි හිටියෙ හිට.. ඒත් ඩ්‍රැකියගේ ඉල්ලීමට ඔන්ට අද දැම්ම.