Showing posts with label පොත් - කතා. Show all posts
Showing posts with label පොත් - කතා. Show all posts

 

මේ සාහිත්‍යය මාසය නිසාත් විවිධ පොත් ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන නිසාත් ඒ සම්බන්ධව අල්ලලා ලියා තිබූ ලිපියක් post එක විදිහට දාන්න හිතුව.

මේ පුද්ගල සංවර්ධන දේශක කැලුම් වැලිගම මහතා විසින් පුවත්පතක පල කළ ලිපියකි

 * * * * *

අපේ ජීවිතය පුදුමාකාර විස්මයක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියල අපි කාටවත් හිතා ගන්න බැහැ. එහෙත් ජීවිතයේ සෑම ඊළඟ මොහොතක්ම විස්මිත මොහොතක් බව මතක තියා ගන්න. එසේම එය විශ්වාස කරන්න. ඔබ එහෙම විශ්වාස කළොත් පමණයි සෑම අසීරු තත්ත්වයක් තුළම වාසනාවන්ත අවස්ථාවක් සැඟවිලා තියෙන්නෙ. මේක බ්‍රසීලයේ සිදුවුණ අපූරු දෙයක්. බ්‍රසීලයේ බන්ධනාගාරයක සිද්ධ වුණ ඇත්ත කතාවක්. බන්ධනාගාරවල සිරකරුවන් වැඩියෙන් සිටීම අදටත් අපේ රටෙත් තියෙන ගැටළුවක්. මේ ගැටළුව විසදන්න බ්‍රසීල රජය ගත්ත ක්‍රියාමාර්ග නිසා සිරකරුවන්ගේ ජීවිත සැබවින්ම වෙනස් වුණා. අපි මුලින්ම ඒම කතාව වෙතට අවධානය යොමු කරමු.

සැබවින්ම සිරකරුවන් එක් කුටියක වැඩි වීම නිසා ඔවුන් වැඩිපුර දේවල් කතා කරන්න පටන් ගත්තා. මෙම කතා බොහොමයක් නතර වෙන්නෙ අන්තිමේට ලොකු ගැටුමකින්. බොහෝ වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් අනිත් කෙනාගේ අතක් පයක් කැඩෙන්න ගහනවා. දිගින් දිගටම වර්ධනය වෙන මෙම ගැටළුව නිසා බන්ධනාගාර පරිපාලනය සිරකරුවන් පැත්තකට කරලා නිශ්ශබ්දව තියන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතන්න පටන් ගත්තා. ඊට විසඳුම ලෙස සිරකරුවන් පොත් කියවන්න යොමු කිරීම, මේ ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම විසඳුම බව ඔවුන් වටහා ගත්තා. එහෙත් බොහෝ දෙනෙක් පොත් කියවන්න අකමැතියි. අදටත් රූපවාහිනිය නැරඹීමට වඩා පොත් කියවීම තුළ කෙනෙකුගේ සිත සහ කය කියන දෙකටම වාසිසහගත දේවල් සිද්ධ වුණත්, රූප පෙට්ටිය අමතක කරලා ඔලුවට මෝල බද්ධ කරන පොත්වල සුවඳ හමන පිටු අතරේ සැරිසරන්න බොහෝ දෙනෙක් අකමැතියි. නමුත් රූපවාහිනියේ සහ අන්තර්ජාලයේ ම එල්ලිලා ඉන්නවාට වඩා පොත් කියවීම ඉතා හොඳ පුරුද්දක් බව පොත් නොකියවන අය පවා පිළිගන්නවා. කෙසේ වෙතත් දරුණු සිරකරුවන් තුළ පොත් කියවීමේ පුරුද්ද ඇති කරලා ඔවුන් සන්සුන් කිරීම හිතන තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි.

ජීවිතය ක්‍රියාත්මක වෙන්නෙ අපේ පුරුදු මතයි. එම නිසා පොත් කියවීම සිරකරුවන් අතර පුරුද්දක් බවට පත් කරන්න නම් ඔවුන්ට ප්‍රතිලාභයක් ලබා දිය යුතුයි යන  තීරණයේ පරිපාලනය හිටියා. කිසියම් සිරකරුවෙක් පොතක් කියවා අවසාන කළොත් ඔහුගේ සිර දඬුවමින් දින හතරක් නිදහසක් ලැබෙනවා. මෙම වැඩසටහන ඔවුන් නම් කළේ කියවීම තුලින් නිදහස් වීම” (Redemption through reading) වශයෙන්. එහෙත් සිරකරුවන්ට වසරකට කියවන්න ඉඩ දුන්නේ පොත් දොළහක් පමණයි. එසේම එක් පොතක් කියවා අවසානයේ එම පොත පිළිබඳව කෙටි අදහසක් සිරකරුවා ලියා භාරදිය යුතුයි. වසරකට පොත් දොළහක උපරිමයක් නිසා හිතු මනාපයට පොත් ගොඩක් කියවලා දින නිදහස් කරගන්න සිරකරුවාට බැහැ. කෙසේ වෙතත් පොත් දොළහක් වරසක් තුළ කියවූ සිරකරුවෙක්ට සති 6ක් තමාගේ සිර දඬුවමින් නිදහස් වෙනවා. කටුක සිපිරිගෙදර දිවියෙන් විනාඩියකට කලින් හෝ ඉවත් වෙනවා කියන එකම ලොකු සහනයක් නිසා සිරකරුවාට මෙහි කිසියම් වාසියක් තියෙනවා. සිරකරුවන්ට අවශ්‍ය පොත් නිර්දේශ කළේ කියවීම ගැන අවබෝධයක් තියෙන කමිටුවකින්. සාහිත්‍ය, දර්ශනය සහ විද්‍යාව වැනි විෂයන්ට අදාළ හොඳ පොත් ගොඩක් තිබුණා. මොනවා හරි පොත් ගොඩකින් බන්ධනාගාර පුස්තකාලය පිරවීම ඔවුන්ගේ අරමුණ වුනේ නැහැ. සැබවින්ම බ්‍රසීලයේ දරුණුම සිරගෙදරක් තුළ ඉතා නිහඬව සිද්ධ වුන මෙම කටයුත්ත නිසා කාලයක් යද්දී එම සිරගෙදර ගැටුම් අඩු වුණා. මන්දයත් බොහෝ සිරකරුවන් නිදහසේ පොත් කියවන්න පටන් ගත්තා. සමහරු තවත් සිරකරුවන් සමග පොත් ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතා හොඳ පරිසරයක් බිහි උනා.

අරවින් ජේම්ස් (Erwin James) කියන්නෙත් මේ සිරගෙදර හිටිය සිරකරුවෙක්. ඔහු මිනීමැරුම් චෝදනාවකට වරදකරුවෙක්. වසර 20කත හිරේ ගිය දරුණු මිනිසෙක්. කෙසේ වෙතත් හිරගෙදර ඉන්න කාලේ පොත් කියවීමේ ක්‍රියාවලිය ඔස්සේ ඔහුගේ සිරදඬුවමින් සැලකිය යුතු කාලයකට කලින් සිරගෙදරින් පිටවෙන්න ඔහුට හැකියාව ලැබුණා. එහෙත් අරවින් ජේම්ස්ගේ ජීවිතය සිරගෙදරින් එළියට ආවට පස්සේ නැවතුණේ හිතාගන්නත් බැරි තැනකින්. වසර 20කත පසුව ඔහුට ‘ද ගාර්ඩියන්’ පුවත්පතට ලියන්න අවස්ථාවක් ලැබෙනවා. ඔහු සිරගෙදර සිට කියවපු පොත් ඔස්සේ ඔහුට ලියන්න කියන්න නිර්මාණාත්මක අදහස් ගලාගෙන ආවා. ද ගාර්ඩියන් පුවත්පතට ඔහු ලියපු දේවල් ජනප්‍රිය වුණා. අවසානයේ ඔහු නිව්යෝර්ක් ටයිම්ස් ලැයිස්තුවට ඇතුළත් වුණ වැඩිම අලෙවියක් සහිත කෘති දෙකක් රචනා කළ ලේඛකයෙක් ද වුණා. අරවින්ගේ ජීවිතය මේ තරම් වෙනස් වුණේ සිපිරිගෙදරදී ඔහු කියවූ පොත් නිසා බව ඔහු අද කියනවා. ගෙදරට දවසකට කලින් හෝ යන්න අවශ්‍ය නිසා පොත් කියවන්න පටන් ගත්ත ඔහු පසුව පොත් ඉතා ආශාවෙන් කියවන්න වුණා. “මම සිරගෙදර ඉඳිද්දී කියවපු පොත් මාව කලින් සිරෙන් නිදහස් කළා පමණක් නෙවෙයි, මගේ සිරවුණ සිතත් නිදහස් කළා” ඔහු පවසනවා. පොත් නොකියවපු අර්වින් පොත් කියවන්න පටන් ගත්ත නිසා ඔහුට ජීවිතය දෙස වඩා විවෘතව සහ උපේක්ෂාවෙන් බලන්න හැකියාව ලැබුණා. අපි ඒ ඉදිරිපත් කළේ ඒම සිරගෙදර හිටිය එක් සිරකරුවෙක්ගේ කතාවක් පමණයි. පොත් කියවීම ඔස්සේ තවත් බොහෝ සිරකරුවන් ජීවිතය වෙනස් කර ගත්ත අතුරු කතා ගොඩක් ඇති.

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලා ඔබ දන්නවා. එහෙත් කියවීමේ පුරුද්ද පවතින්නේ ඉතාම සුළු ප්‍රමාණයකට පමණයි. එහෙත් තාක්ෂණය කෙතරම් දියුණු වුණත් තවමත් යුරෝපීය ජාතිකයින් පොත විසිකරලා ජංගම දුරකථනය අතට අරගෙන නැහැ. විශේෂයෙන් පොත් කියවීමේ පුරුද්ද ක්‍රමානුකූලව දරුවන් තුළ රෝපණය කළ යුතු පුරුද්දක් නිසා මේ සම්බන්ධව මව්පියන්ට කළ හැකි දේ බොහොමයි. ඔහේ දරුවාට මොකක් හරි පොතක් කියවන්න දෙනවා වෙනුවට දරුවා කියවීමේ රසයට හුරු කරන කෘති සොයා දීම මව්පියන්ගේ වගකීමක්. මා පහුගිය කාලයේදී ලංකාවේ විවිධ ප්‍රදේශ රැසකට ගියා. එය කෙටියෙන්ම යාපනයේ සිට වැලිගම දක්වා. ලංකාවේ බොහෝ නගරවල පොත් අලෙවිසැල් (bookshop) දකින්න පුළුවන් වුණා. එහෙත් මේ බොහෝ සාප්පුවල දකින්න තිබුණේ අභ්‍යාස පොත් සහ පත්තර මිසක නවකතා හෝ කෙටිකතා හෝ පර්යේෂණ කෘතීන් නොවෙයි. දරුවන් අභ්‍යාස පොත් කියවීම වෙතම කුඩා කල සිටම හුරු කරන නිසා පාසල් අධ්‍යාපනයෙන් පසුව පොත් කියවන්න බොහෝ දෙනා හිතන්නේ නැහැ. බ්‍රසීලයේ දරුණු සිරගෙදරක ක්‍රියාත්මක වුණ ඉහත සඳහන් කළ පොත් කියවීමේ වැඩසටහන වැනි දේවල් ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ දරනවා නම් එය ඉතා වටිනවා. විශේෂයෙන්ම අනෙක් අයටද පරිහරණය කළ හැකි කුඩා පුස්තකාල පවත්වාගෙන යන පිරිස් මට හමුවෙලා තියෙනවා. ඔබත් දන්න හඳුනන කෙනෙක් එහෙම හොඳ දෙයක් කරනවා නම්, අප වෙනුවෙන් ඔහුව හෝ ඇයව තවත් ධෛර්යවත් කරන්න.

ඔබට ඇස් අරගෙන සිහින දකින්නෙක් වෙන්න අවශ්‍යනම්, ඔබ පැහැදිලිවම පොත් කියවීමේ පුරුද්ද ජීවිතය තුළ ආරෝපණය කරගත යුතුයි.

ලෝකයේ තවමත් අවම පිරිවැයකින් වැඩිම දැනුමක් ලබාගත හැකි මාධ්‍ය වන්නේ ද පොත් කියවීමයි. ඒම නිසා එය සාහිත්‍ය මාසයට පමණක් සීමා නොකර සෑම මාසයකටම අනුගත කරගන්න.

“2015 වර්ෂයේදී මගේ අභියෝගය වන්නේ සෑම සති දෙකකට වරක්ම අලුත් පොතක් කියවීමයි. විවිධ සංස්කෘතීන්, විවිධ විශ්වාස, විවිධ මිනිස් හැසිරීම් සහ තාක්ෂණයට අදාළ පොත් කියවන්න මම බලාපොරොත්තු වෙනවා. වසර ආරම්භයේ දී විවිධ ෆේස්බුක් එකමුතු (Group & communities) රැසක් මට අභියෝග රැසක් එවලා තිබුණා. ඔවුන් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි. එහෙත් මම 2015 දී පොත් කියවීමේ අභියෝගය භාර ගත්තා. මම හිතනවා පොත් කියවීම ඔස්සේ ඕනෑම කෙනෙක් තුළ ඇතුළත බුද්ධියක් නිර්මාණය වෙනවා. අද ගොඩක් මාධ්‍යයෙන් මතුපිටින් ඔබට පෙන්වන දේවලට වඩා බොහෝ දේ ඔබට ලබා දෙන්න හොඳ පොත් සමත් වෙනවා. ඒක නිසා මම මේ වසර පොත් කියවන්න වෙන් කරනවා. මම කියවන පොත් පිළිබඳ තොරතුරු year of Books නම් පිටුවට යොමු කරනවා. ඔබට එයින් අදහසක් ගන්න පුළුවන්. ඔබ ඇත්තටම පොත් කියවන්න කැමති නම් විතරක් ඒම පිටුවට කැමැත්ත ප්‍රකාශ කරන්න”. ඒ 2015 ජනවාරි මස 02 දින මාර්ක් සකබර්ග් ඔහුගේ ෆේස්බුක් පිටුවේ යොදා තිබුණ සටහනයි. ඔහු 2015 වසර ආරම්භ කරේ සෑම සති දෙකකට වරක්ම පොතක් කියවීමේ අභියෝගය සමගින්. ෆොර්බ්ස් 2014 වර්ගීකරණයට අනුව මාර්ක් සකබර්ග් ලොව බලවත්ම මිනිසුන්ගේ ලැයිස්තුවේ 22 වැනි තැන ඉන්නවා. එසේම ලොව ලාබාලතම බලවතුන් අතර ඔහු පළමු වැනියා. එපමණක් නොව ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඔහු පසුවන්නේ 16 වැනි ස්ථානයේ. වයස අවුරුදු 30 වෙන්නත් කලින් ලොව බලවත් මෙන්ම ධනවත් පුද්ගලයෙක් වුණ මාර්ක් සකබර්ග්ට තවත් පොත් කියවලා රැස්කරගන්න තියෙන දැනුම මොකක් ද? සෑම සති දෙකකට වරක්ම මොකක් හරි පාටියකට සෙට් වෙන්නේ නැතිව ඔහු පොත් කියවන්න හේතුව මොකක් ද? සැබෑ අධ්‍යාපනය යනු එයයි. එහෙනම් අපි ඇස් ඇරගෙන සිහින දකිමු.


නස්රුදීන්... නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්‍රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා බොහොම විනෝද ජනකයි. නමුත් ඒ සෑම කතාවක් ම එක වාගේ මිහිරි.

ඉතිහාසය විමසා බලද්දී රටවල් කීපයකින්ම නස්රුදීන්ව හමුවෙනව වගේම, ඔහුව තම රටට අයිති කරගන්නත්... රට රටවල් උත්සහ දරල තියෙනව. කොහොම උනත් ඔහු හිටියා ය කියලා පොදු පිළිගැනීම තියෙන්නෙ තුර්කි රටේ. ජීවත් වූ කාලය ලෙස දැක්වෙන්නෙ 1208 – 1284 වගේ කාල පරාසයක්. පෙනෙන්නට තිබෙන හැටියට... රටින් රටට යාමේ දී ඒ රටවල පුද්ගලයන් හා ඔවුන්ගේ කතාද, නස්රුදීන් හා ඔහුගේ කතා වලට මිශ්‍ර වී ඇති හැඩයි. එයින් පසු සියලු කතා, පුද්ගල ස්වරූප නස්රුදීන් යන නාමයට වටා ගොනු වන්නට ඇති. ඊසොප්ගේ උපමා කතා ද, සෙන් දහමේ සෙන් කතාද... ඔහුගේ කතා අතරට එකතු වී ඇති බව පෙනී යාමෙන් මෙය වටහා ගන්න පුළුවන්.

කොහොමින් උනත් වඩා හොඳ මොකක්ද...  කාලයක් සිට මේ පැවත එන වටිනා කතා සමුදාය අපේ ජීවිත කතාවට එකතු කර ගන්නවා ද, නැතිනම් ඉතිහාසය කාල් ගගා ඇත්ත හොයමින් වෙහෙසෙනවා ද?

* * * * * * * *

 

 

බූරුවා පිටේ යෑම


බූරුවා සමග නගරයට යන නස්රුදීන්ගෙන් අශ්වයෙක් පිටේ නැග යන ධනවතෙකු අපහාසයට මෙන් ඇහුව ‘බූරුවෙක් පිටේ යන එක මොන වගේ ද?’ කියල.

‘අශ්වයෙක් පිටේ බූරුවෙක් යනවට වඩා නම් හොඳයි’ නස්රුදීන් ඔහුට උත්තර දුන්න.

 

දවස කවද්ද

නස්රුදීන් වෙළඳාමට වෙනත් ගමකට ගිහින් ඉන්න අතරවාරයේ එහි අයෙක් ඇවිත් ‘අද දවස කවද්ද?’ කියා ඇහුව. වෙළඳාම ගැන පමණක් අවධානයෙන් හිටි නස්රුදීන් ඔහුට මෙහෙම කිව්ව.

‘මං මෙහෙට ආගන්තුකයෙක්, මේ ගමේ කෙනෙක්ගෙන් අහල බලන්න’.

 

රහස

නස්රුදීන්ගේ මිත්‍රයෙක් දවසක් ඔහුගෙන් ඇහුව ‘දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස මොකක්ද?’ කියල. මිත්‍රයා දෙසට හැරුණු නස්රුදීන් ඔහුට මෙහෙම කිව්ව.

‘පාද උණුසුම්ව තියාගෙන, හිස සිසිල්ව තබා ගන්න. ගැඹුරින් හිතන්න එපා. ඒවගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න’.

 

ආදරෙන් බැඳීම

ලස්සන කාන්තාවන් බොහෝ පිරිසක් සමග ආදරයෙන් බැඳුන පුද්ගලයෙක්, තමන්ට ඒ කිසිම කාන්තාවක් කැමති නොවන්නේ ඇයි දැයි නස්රුදීන් ගෙන් විමසුවා.

‘ඔබ අවලස්සන කාන්තාවක් සමග ආදරයෙන් බැඳුනොත් මොකද’ නස්රුදීන් අසා සිටිය.

 

හොඳ කොයි ගමද

දවසක් එක නගරයක සිට අනෙක් නගරයට යමින් සිටි නස්රුදීන් වෙත, එහා නගරයෙන් ආ පුද්ගලයෙක් මුණ ගැහුණ. ‘ඔයා දැන් ඉඳල එන නගරය, කොහොමද?’ ඔහු නස්රුදීන්ගෙන් ඇහුව. නස්රුදීන් එම ප්‍රශ්නය පෙරළා ඔහුගෙන්ම අසා සිටිය. ‘අපෝ ඒ නගරයද, කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු තිරිසන්නු වගේ. හැම තිස්සෙම රණ්ඩු. කිසිම හොඳක් නැහැ.

‘ආ එහෙමද... මෙහෙත් එහෙම තමයි නස්රුදීන් පසුකර ආ නගරය ගැන විස්තර කරා. නැවතත් මදක් දුර යද්දී නස්රුදීන් හට තවත් පුද්ගලයෙක් මුණ ගැහුණ. ඔහුත් අර ප්‍රශ්නයම යොමු කරා. එවිට නස්රුදීන් පෙර සේ ප්‍රශ්නය පෙරළා ඔහුටම යොමු කළා. ‘එහෙ... කියන්න තරම් වරදක් නැහැ. මිනිස්සුත් හොඳයි. සතුටෙන් ඉන්නව’ ඒ ඔහුගේ උත්තරයයි. එය අසා සිටි නස්රුදීන් ඔහුට තම පිළිතුර කියා හිටිය.

‘ආ එහෙමද... මෙහෙත් එහෙම තමයි.

 

තියෙන සේරෝම පොස්ටුවේ දාන්ට බැරි හන්ද pdf එකකට දැම්ම ගන්ට -

PDF එක (කතා 75ක් තියේ)


 විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ (කළුබෝවිල ශික්ෂණ රෝහල) විසින් පුවත්පතක පල කර තිබූ ලිපියක්.

    ඇයි මටම මෙහෙම වෙන්නෙ !

ඒ අද බොහෝ දෙනෙකුගේ මුව රැව් දෙන්නකි. අද දවසෙ ලෝවැසි බොහෝ දෙනෙකු ඉන්නෙ සතුටින් නොවේ.

බුදුන් දවස මිහිපිට අපායක් බඳු වූ විශාලා මහනුවර තිබුණේ රෝග, භූත, දුර්භික්ෂ යන තුන් බිය පමණි. වර්තමානයේ කොරෝනා බිය, ආර්ථික ගැටලු, අනෙකුත් රෝග, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු, සංචරණ සීමා ආදී එකී මෙකී අටෝරාශියක් බිය සහ ගැටලුවලින් ලෝවැසියා පෙළෙමින් සිටී. විසඳුම් ද පෙනෙන තෙක් මානයක නැත. එබැවින් මේ සියල්ලෙන් හෙම්බත් වූ තැන නොයෙකුත් මානසික ගැටලු ය.

ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කිසිවක් කර කියාගත නොහී අසරණ වූ තැන සිතෙන්නේ එහෙමය. සසර බියකරුය. මගෙ, අපේ යැයි අල්ලා ගන්නා සියල්ල තුළම අවසානයේ රැඳී ඇත්තේ දුක සහ චිත්තපීඩාය. තව තව අල්ලා ගන්නා තරමට, බැඳෙන තරමට තව තව පීඩා වැඩිය. එසේ නම් පිළිතුර අතහැරීමය.

මීටම ගැළපෙන කතා ප්‍රවෘත්තියක් පසුගිය දිනෙක සමාජ මාධ්‍ය තුල දුටුවෙමි. කතානායක ආතර් ඈෂ්ය. ඔහු කවුද...?

ලෝ පාරකට ටෙනිස් ක්‍රීඩකයෙකි. නිකන්ම ටෙනිස් ක්‍රීඩකයෙක් නොවේ. විම්බල්ටන් සහ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව දිනාගත් ප්‍රථම සහ එකම කළු ජාතික ඇමෙරිකානු ක්‍රීඩකයා ඈෂ්ය. ටෙනිස් පිටියේ ලෝකයෙන්ම අංක එක ස්ථානය දැරූ මුල්ම කළු ජාතික ඇමෙරිකානුව ඔහුය.

වර්ජිනියාහි උපත ලද ඈෂ්ගේ ළමාවිය ලෝ ප්‍රකට ශ්‍රේෂ්ඨයන් බොහෝ දෙනෙකුට මෙන්ම කටු කොහොලින් ගහනය. මවගේ සෙනෙහස සහ මග පෙන්වීමෙන් හැදී වැඩෙන කුඩා ඈෂ්ගේ ලෝකය උඩු යටිකුරු වන්නේ වයස අවුරුදු හතේ දී හදිසියේ ම මව මිය යාමත් සමගය. අනතුරුව කුඩා ඈෂ්ට දැඩි විනයක් යටතේ පියා සහ සොහොයුරා සමග ජීවත් වනන්නට සිදුවිය. පාසල හමාර වී ගෙදර පැමිණීමට ඈෂ්ට පියා ලබාදී තිබුණේ විනාඩි 12ක කාලයක් පමණි. පාසල් කාලය පුරාවටම මෙය කඩ නොකිරීමට ඔහු වගබලා ගත්තේය. පියාගේ දැඩි විනය ඈෂ්ව හරි පාරේ යවන්නට ඇත. ආතර් ඈෂ්, 1960 සහ 1961 වසරවල ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාව දිනා ගන්නෙ එබැවිනි. ඔහු ලොස් අන්ජල්ස්හි කැලිෆෝනියා සරසවියේ උපාධියක් සඳහා ශිෂ්‍යත්වයක් ලබන්නේද ඉන් අනතුරුවය. ඒ අතරතුරදී 1968 වසරේදී ඔහු සමස්ත ලෝකයම කම්පනයට පත් කරන්නෙ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව දිනා ගනිමිනි. ඒ වනවිට මේ ආධුනිකයාව ලෝකය හඳුනාගෙන තිබුණේ නැත.

ආතර් ඈෂ්ගේ ක්‍රීඩා දිවියේ කූටප්‍රාප්තිය වන්නේ 1975 වසරේදී ජිමි කොනර්ස්ව අවසාන වටයේදී පරාජය කරමින් ලෝක විම්බල්ඩන් ශූරතාව දිනා ගැනීමයි. ඉන් අනතුරුව ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් කිරුළු පළඳින ආතර් ඈෂ් අදටත් මෙම දක්ෂතාව දැක්වූ ප්‍රථම සහ එකම පිරිමි කළු ජාතික අමෙරිකානුවාය.

ජීවිතය ජයග්‍රහණවල එකතුවක් පමණක් නොවේ. සාර්ථකත්වය, ජයග්‍රහණ, බිඳවැටීම්, ලෙඩ රෝග මේ සියල්ල කැටි වූ පැකේජයකි. සංසාර චක්‍රය එබඳුය. හොඳ දේ පමණක් ලංකර ගත නොහැකිය.

අඩු වයසින් හදවත් රෝගවලට ගොදුරුව මිය යන පවුල් පසුබිමකට හිමිකම් කියන ආතර් ඈෂ්ට තරුණ කාලයේදීම බයිපාස් සැත්කම් දෙකකට මුහුණ දීමට සිදුවිය. අනතුරුව මොළේ සැත්කමකටද  බඳුන් වන ඔහුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පසුව අනාවරණය විය. ඒ බයිපාස් සැත්කමකදී ලබාදුන් රුධිරය ඔස්සේය. මුලදී මෙය රහසක්ව තබාගෙන පීඩා විඳින ආතර් ඈෂ්, පසුව 1992 දී සිය රහස ලෝකවාසී රසිකයන් සමග බෙදාහදා ගැනීමට තීරණය කළේය. ඉන් වසරට පසුව 1993 දී 49 වියැති ආතර් ඈෂ් මෙලොව හැර යන්නේ භෞතික ජයග්‍රහණයන්ගෙන් පිරුණු මේ ජීවිතයේ නිස්සාරත්වය සහ අනියත බව කියවෙන දහම ගැන සමස්ත ලෝකවාසීන්ටම සිතන්නට යමක් ඉතිරි කරමිනි.

මරණයට පෙර ඔහුගේ රෝගී තත්ත්වය දැනගත් රසිකයන්ගෙන් ලිපි රැසක් ඔහුට ලැබිණි. මේ වගේ නරකම ලෙඩක් හදන්න දෛවය ඇයි ඔබවම තෝරා ගත්තේ...?

ඒ අතර තිබූ එක් ලිපියකින් විමසා තිබිණි. ආතර් ඈෂ් ඊට කදිම පිළිතුරක් ලීවේය.

මෙරට මිලියන පනහක් විතර ළමයි ටෙනිස් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඉන් මිලියන පහක් පමණ හොඳින් ක්‍රීඩාව ප්‍රගුණ කරනවා. එයින් ලක්ෂ පහක් පමණ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් වෙනවා. පනස් දාහක් විතර සැලකිය යුතු මට්ටමකට එනවා. පන්දාහක් විතර ජාතික තලයට ළඟා වෙනවා. පනහක් විම්බල්ඩන් යනවා. හතර දෙනෙක් අවසන් පූර්ව වටයට මුහුණ දෙනවා. දෙදෙනෙක් අවසාන වටයේ දී හමුවෙනවා. අවසානයේ ජයග්‍රහණය කළ එකම එක්කෙනා වන්නේ මා පමණයි”.

ඇයි දෛවය මටම විම්බල්ඩන් කිරුළ හිමිකර දුන්නේ...?” එදා මම නො ඇසුවෙමි.

මේ රෝගය හැදෙන්න ඇයි මාවම තෝරගත්තෙ”. ඉතින් අද මම කෙසේ අසන්නද?


ඡායාරූප - අන්තර්ජාලයෙනි


පුවත්පතේ පළවූ ලිපිය : ZOOM

 මේ සැරේ ලියන්ට හිතුනා පොතක් ගැන වතක් .....

ලාංකීය පාඨකයා අතරේ නිබඳ මතකයේ, මුවග රැඳී පොතක නාමයක් තමයි... ගුරු ගීතය. පොතෙහි කතුවරයා වන්නේ කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව්ය. සිංහල අනුවාදනය දැදිගම වී. රුද්රිගුය. ගුරු ගීත නාමය සේම පොතෙහි එන ප්‍රධාන චරිත දෙක වන... දුෂෙයින් හා අල්තීනායිද එකසේ පාඨක මනසේ රැඳී ඇත. ඒ හැරුණු කොට මතකයේ රැඳී ඇති අනෙක් අජීවී වස්තු දෙක වන්නේ... අර පොප්ලර් ගස් දෙකය.



තරුණ ගුරුවරයෙක් හා සිසුවියක් අතර ඇති  විය හැකි බැඳීම කවරාකාර ද?. තම සිසුවියක් කෙරේ ඇති ඇල්ම/ ප්‍රේමය... යටපත් කරමින් තරුණ ගුරුවරයෙක් හට, ඇය කෙරේ මෙයාකාර රැකවරණයක්/ දයාවක් ලබා දිය හැකිද?. චිංගීස් අයිත්මාතව්ගේ පරිකල්පණය තුල එය වී හමාරය. (පාදක වූයේ සත්‍යය සිදුවීමක්දැයි නොදනිමි). මාහටද හැඟෙන්නේ තත්‍ය ලොව තුල එවැන්නක් විය හැකි බවයි. ප්‍රේමය යටපත් කර කරුණාව මුදුන්පමුණුවාලිය නොහැකිද?.

කාරුණික තරුණ ගුරුවරයාගේ ඒකායන අභිප්‍රාය... තම සිසුන්/ සිසුවිය අධ්‍යාපනයෙන් පුරවා ලීමය. ඒ සඳහා ඔහු අප්‍රතිහත ධෛර්යකින් හා අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව කටයුතු කරයි.

රුසියානු සාහිත්‍යය පුරා අපට හමුවන්නේ මෙවන් වීර්ය පෙරදැරිව දුක්ඛිත ජීවිතය... විඳි/ ජයගත් කතාය. බොහෝ කතා සත්‍යය සිදුවීම් පාදකව ලියවුනු ඒවා වන අතර ඒ සියලු කතාවන් පුරා විහිදෙන්නේ එකහා සමාන ජීවන මිහිරක්ය.

- - පොතින් උපුටා ගත් කොටසක් - -

“කඳුවල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇති වේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත්වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටු වැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළුගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැළෑටි සහ කටු වැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිඳු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලයට නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමාද හිරු සහ අහස ද කඳුවැටි ද පෙනෙන්නා සේය... එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ට ද ඒ බව දැන්වීමට ඉටාගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජීවිතයේ ද මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය...”



 

එහි පිට කවරය

   පංචතන්තරේ නිදි තුමා... චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට. 

    මෙහි සියලු ගෞරව ලැබෙනවා නම් ඒවා මටද, වැරදි අඩුපාඩු පේනවා දීම කරනවා නම් ඒවා නිදි තුමාටද යොමු කරන එකයි ඇත්තේ.











 

රූපය - අන්තර්ජාලයෙනි

ඊයේ සැන්දෑවේ රාවල්පිණ්ඩි නගරයේ පොත් සාප්පුවකට ගොඩ වැදුන මම, පොත් බර තොගයක් ම මිලට ගතිමි. සාප්පුවෙන් එලියට පැමිණි මට, මද ඇසිල්ලකින් ම පොත් මිටියේ බර දැනෙන්නට විය. මා වටා දක්නට ඇත්තේ හැඩට වැඩට ඇඳ පැළඳ ගත් ජෙත්තුකාරයින් ය. ඇත්තම කියනවානම්, මගෙ වැදගත් ධනපති තත්වය ගැන කල්පනා වූ මට, ලැජ්ජාවක් ඇති විය. බටහිර පන්නයේ ඇඳුම් ඇඳ සිටින මට බර පොත් මිටියකුත් උසුලාගෙන ගමන් කළ හැකිද? ඇත්තටම බැරිය. වට පිට බැලුවද කුලී කාරයෙකු ළඟ පාතක නැත. සාප්පුවෙන් මදක් පිටත පැකිලෙමින් සිටින විට, මා පිටුපසින් අසුනේ බයාදු හඬකි.

බාබුජී, මම පාර්සලය ගිහිල්ල දෙන්ඩ ද?

වටපිට බලන විට මා දුටුවේ සිනාසෙමින් මා දෙසට පැමිණෙන කිලිටි මුහුණකි. එහෙත් අලුත උපන් දරුවෙකුගේ අහිංසකත්වය එම කිලිටි තලයෙන් වැසී තිබුණේ ය. මේ මුහුණේ අයිතිකාරයා, බොහෝ ම මෑත දී මහ පොළෝ කුහරයෙන් එලියට පැමිණියෙකු විය යුතු ය.

හොඳයි, එහෙනම් මේක බස් එක ගාවට ගිහිල්ල දෙන්ඩ. මට පරණ ටවුමට යන බස් එක අල්ලගන්න තියෙනවා... ආ මෙන්න..” සාක්කුව අත ගෑ මම, පයිසා දහයේ කාසියක් ඔහු අත තැබීමි. කාසිය ඔහු අත තැබූ පසු මා තුළ හටගත්තේ ආත්මාභිමානයකි. මා මේ මිනිහාට වැඩේට කලින් ම කුලිය ගෙවා ඇත. ඔහුගේ විශ්වාසය ඇති වන්නට, එය හේතුවක් නොවේද?

බාබු සහීබ්, මට දැන්මම සල්ලි ඔනැ නෑ” කියමින් සිය අන්ඩ දැමූ අත් කොට කබායේ කිසියම් තැනක කාසිය ඔබාගත් හෙතෙම, අහිංසක ලෙස සිනාසුණේ ය. මේ මිනිහා වැදගත්යයි ද අවංකයයි ද මම සිතේ සනිටුහන් කර ගතිමි. සෙනග අතරින් වක ගැසී ඉදිරියට ගමන් කළ හෙතෙම, අන්තිමේ දී බසයට ගොඩ නැගී හිස් අසුනක් මත පාර්සලය තැබීය. මෙම පෞරාණික වාහනයේ ඉඩ ඇති අසුනක පහසු ලෙස හිඳගත් මට, මොහොතකට සියල්ල අමතක විය. වාහනය ගැස්සෙමින් ද පැද්දෙමින් ද පරණ නගරයේ අබලන් පාර දිගේ ඇදෙන්නට විය. හදිසියේම මා දුටුවේ මා දෙස බලා සිටින මගේ කුලී කාරයා ය. මම ඔහුට, මා සිටි අසුනේ බිඳක් ඉඩ දුනිමි. එහෙත් හිස සෙලවූ ඔහු මා ලඟින් ම බිම වාඩිවූයේ තුටු පහටු සිතිනි.

ඇයි, තමුසෙ බහින්නෙ නැද්ද?” මේ මිහිහාගේ ගුප්ත සිනහව තේරුම්ගත නොහැකිවූ මම, ඔහුගෙන් විමසුවෙමි. මලානික කම්මුල් මත තැවරී තිබුණු කුණු තට්ටුව මත වුව, ඔහුගේ පහන් සිනහව පැතිර ගියේ ය.

මාත් යන්නෙ පරණ ටවුමට” ප්‍රිය උපදවන හඬින් කී ඔහු මා දෙස බලා විරිත්තීය.

එතකොට තමුසෙගෙ නම?”

රාසුල් ජූ, ඔහු යලිත් සිනාසුණි. කොන්දොස්තර පැමිණි විට මම ටිකට් දෙකක් ම ගතිමි. එකක් රාසුල් ජූ අතේ තැබූ විට, ඔහුගේ දෙනෙත කෘතවේදී සිනහවකින් උතුරා ගියේ ය. රාජා බසාර්හි දී බසයෙන් බට මම, පොත් ටික ද කිහිලි ගසා ගෙන පදික වේදිකාව දිගේ ගමන් කරන්නට වුයෙමි. දැන් මා සිටින්නේ මට හුරු පුරුදු පරිසරයේ ය. එබැවින් කිසිවෙකුට කිසිවක් ඇඟවීමට කිසිම වුවමනාවක් ඇත්තේ නැත.

මද ඇසිල්ලකින් කිසිවෙකු මා පසුපස එතැයි මට දැනෙන්නට විය. ගැට කපන්නෝ සහ මං පහරන්නෝ මගෙ සිතෙහි මැවෙන්නට වුහ. මොකකටත් මම කමිස සාක්කුව අත ගා මුදල් පසුම්බිය ඇතිදැයි බැලුවෙමි. එය එහි විය. සැනසිලි සුසුමක් හෙළු මට යළිත් දැනුණේ කිසිවෙකු මා ලඟට ම පැමිණ සිටින බව ය.

කිසිම හෙවනැල්ලක් මා ඉදිරියට නැමෙයි. කහ පැහැ ගැන්වුණු දත් දෙපෙළ පාමින් සිනාසුනු කෙනෙක්, කිහිල්ලේ තිබුණු මගෙ පාර්සලය තමා අතට ගත්තේ ය. කලින් පැවති භීතිය වෙනුවට දැන් මා තුළ ඇත්තේ සැකයත් නොරිස්සුන්කමත් ය. ‘මේක තමුසෙගෙ පුරුද්දක් ද?’ පාරෙ යන මිනිස්සුන්ගෙ පාර්සල් බලෙන් උස්සන් යන එක?’ මා විමසුවේ සාවඤ ලෙස ය. මේ වන විට රාසුල් ජූ මගෙ පොත් මිටිය ඔහුගේ උරහිස මත තබාගෙන අවසන් ය.

බාබු සහීබ් කොහෙටද යන්නෙ?” බැගෑපත් ලෙස ඔහු මගෙන් විමසී ය.

මහ පල්ලිය ගාවට. ඔහේ කොහේ ද යන්නෙ?”

මං යන්නෙත් මහ පල්ලිය ගාවට, බාබුජි

මට හමුවී ඇත්තේ කරදරකාරී චරිතයක් බව ඔබට අමුතුවෙන් පැවසීමට දැන් අවශ්‍ය නැත. මේ මිනිහා අමතර කාසියක් දෙකක් සොයා ගන්නේ මොන තරම් දක්ෂ ලෙස ද? මේ මිනිහාට මීට වඩා මා තම්බන්නට ඉඩ දිය යුතු නැත. පයිස පනහකට වැඩියෙන් තබයක්වත් මම මිනිහාට දෙන්නේ නෑ.

මා ඔහු දෙස බැලුවේ විහිළුකාර ස්වරූපයක් මවාගෙන ය.

"තමුසෙගෙ බඩ ගෙඩිය ඇතුලෙ තියෙන ගින්දරට කන්ඩ දෙන්ඩ, දවසකට කොච්චර ඉන්ධන එකතු කරනවද?”

මා යෙදූ උරුදු ප්‍රස්තා පිරුළේ කිසිඳු අරුතක් ඔහුට වැටහුණු බවක් පෙනෙන්නට නැත, දූවිලි වැකුණු දෙතොල් හැර නිහඬ ව සිනාසුණු ඔහු තමාගේ දින චර්යාව ගැන දිග හෑල්ලක් කියන්නට වන්නේය. ඔහු කිසියම් කොන්ත්‍රාත් කරුවෙකු ළඟ දවස් කුලියට වැඩ කර ඇත. අන් හැම කොන්ත්‍රාත්කරුවෙකු මෙන් ම, මේ ,මිනිහා ද හොරගෙඩියෙකි. සිය කුලීකරුවන්ගෙන්, දවල් රෑ දෙකේ ම වහලුන්ගෙන් මෙන් වැඩගත් මේ මිනිහා මොකක් හෝ හේතුවක් අල්ලාගෙන කුලීකරුවන්ගෙන් පඩි කපන කලාව හොඳින් දැන සිටියේ ය.

තමුසෙ කොයි පළාතෙද? මගේ අශෝභන පුංචි මිත්‍රයාගේ අතීත වගතුග සොයන රිසියක් මා තුළ ඇති විය.

මම කාශ්මීරයෙන්, බාබු සහීබ්” ඔහු මා සමග පැවසී ය. “අපේ මුල් පදිංචිය ගොපූර්වල. ඉන්දියානු සොල්දාදුවො අපේ ගෙවල් පුච්චලා වගා විනාශ කලාට පස්සෙ, අපි පන්ජාබයට පැනල ආව. දුප්පත් මිනිහෙකුට මේ ලෝකෙ කිසිම හව්හරණක් නෑ, බාබුජි

ඉන් පසුව ඔහුගේ පාළු මලානික මුහුණේ සිනාවක් පහල වූයේ නැත. එහි ඇඳි තිබුනේ වෛරයයි. ඒ වෛරය ඔහුගේම වර්ගයා වෙත යොමු වූවක් ද? එසේත් නැතිනම්, තමා ගොදුරක් බවට පත්ව සිටින මුළු මහත් සමාජ ක්‍රමය කෙරෙහි ම එල්ල වූවක් ද?     හදිසියේ ම නැගී සිටි හෙතෙම, ගැඹුරු කල්පනාවේ නිමග්න විය. ඔහුගේ පෙනුම දාර්ශනිකයකුගේ වැනි වී යැයි මට සිතුණි.

ඔගේ දවසකට කීයක් විතර හම්බ කරනව ද?” ඔහු කෙරෙහි මා තුළ අනුකම්පාවක් හටගෙන ඇත්තේය.

රුපියල් දෙකක් විතර. වැස්සොත් එහෙම කීයක්වත් නෑ. ඒ කියන්නෙ එදාට අපේ ගෙදර සේරම බඩගින්නෙ කියන එකයි. එහෙම දවස්ල්වල අපි වේලිච්ච බාර්ලි ටිකක් කෑමට ගන්නවා.”

රාසුල් ජු මා සමග දැන් කතා කරන්නේ මිත්‍ර ලීලාවකිනි. මදින් මද තමාගේ ජීවිතය ගැන ඔහු කළ විස්තරයෙන් පෑරුණු සිතැති මම, පොදුවේ මිනිසුන්ගෙ ඉරණම ගැන සිතන්නට විය.

රාජා බසාරයේ මහා හන්දියේ දී කවියෙකු හා නළුවෙකු වන මගෙ මිත්‍රයෙක් මට මුණ ගැසුණි. මහ පාර මැදම මා නවතා ගත් ඔහු සිය අලුත්ම දිග කාව්‍යයට සවන් දෙන මෙන් මට බල කරන්නට විය. ඒ වූකලී උර්දු කාව්‍යයෙහි විප්ලවීය වෙනසක් ඇති කරන කෘතියකැයි මගෙ මිත්‍රයා කියන්නට වන්නේ ය. එහෙත් මට නම් සිතුණේ ඔහුගේ කවියත්, පෙම්වතුන්ගේ හමුවීම හා වෙන්වීම ගැන කියවෙන එකම ජාතියේ තවත් කවියක් ලෙස පමණි. කවියේ ඉතිරි ටික පසුව සවන් දීමේ පොරොන්දුව පිට මිත්‍රයාගෙන් ගැලවෙන්නට අන්තිමේ දී මට හැකි විය.

මම වේගයෙන් ඉදිරියට ගමන් කලේ හැකි විගස ගෙදර යන බලාපොරත්තුවෙනි. එහෙත් වැදගත්ම දෙය නැතිවී තිබෙන බැව් මා පසක් කලේ එවිටය. මගේ පාර්සලය! රාසුල් ජු. වියරු වැටුණු කලෙක මෙන් වටපිට බලන්නට වීමි. මගෙ කවි - නළුවා, මා කලින් සිටි තැනම තවමත් සිට ගෙනය. එහෙත් රාසුල් ජු ? ඒ කාලකණ්නියා පේනතෙක් මානයකවත් නැත. මගෙ පාර්සලය ඉතා වැදගත් පුස්තකාල පොත් කිහිපයක් විය. ඒ කිසිවක් කිසිම තැනකින් යළිත් මට ලබා ගත නොහැක. සිහි කල්පනාව නැති වූ මම පදික වේදිකාවේ ඒ මේ ඇත ඇවිදින්නට වීමි. මම දුප්පත්කමත්, දුප්පත් කාලකණ්නි ගැනත් සාප කරන්නට වන්නෙමි. මුළු බසාරය ම මිනිසුන්ගෙන් පිරී ඇත. රාසුල් ජු තබා ඔහුගේ මුහුණුවර ඇති එකෙකුවත් ඒ අතරින් හඳුනාගත නොහැක. දැන් නම් මට උගේ බොටුව වුණත් මිරිකිය හැකිය. දැන් කළුවර වැටී ගෙන එයි. මා අනාතභාවයේ කලුපාට රාත්‍රියක ගිලෙමින් සිටින බවක් මට දැනේ.

මේ වාගේ මිනිහෙකු විශ්වාස කිරීම ගැන මම මටම සාප කර ගත්තෙමි. රාසුල් ජු අතුරුදහන්ව ඇත. එහෙත් ඔහුගේ අවංක මුහුණ මා ඉදිරියේ දර්ශනය වන බවක් මට දැනෙයි. ඒ වුණත් මිනිසෙකුගේ පෙනුම කොතරම් වංචාකාරී ද? මේ මිනිහා හෙරෙහි අනුකම්පා කිරීම ගැන මම මට ම වියරු ලෙස සිනාසුනෙමි. හැම දිසාව ම බලමින් ද කිසියම් ආශ්චර්යකින් මගේ පොත් ටික ආපසු ලැබෙතැයි සිතමින් ද මම ඉදිරියට ගමන් කරන්නට වුයෙමි. මේ පාරේ මා කලින් සිටි මහ හන්දිය වෙත ආපසු ගියෙ නම් මැනවයි මට හදිසියේ ම කල්පනා විය. ඇතැම් විට අර තක්කඩියා එතැන සැඟවී සිටිනවා විය හැකි ය. මම වහා ආපසු දිව ගියෙමි.

මා වටා ගොඩ ගැසෙන රිය පෙළ. එකිනෙක ඇදී යයි. සාප්පු යන ගැහැණු මිනිස්සු අනෙකාගේ ප්‍රීතිය හා වේදනාව ගැන නොසිතා ම එකිනෙකාගේ ඇඟේ හැපෙමින් ඔහේ යති. සාප්පු තුළින් නියෝන් එළිය විහිදෙයි. රිය පෙළ මැදින් නැග එන හඬ මහ ගෝසාවක් බවට පත් වෙයි. ජීවිතයේ කිසි කලෙක නූපන් අසරණභාවයක් දැනෙන්නට වෙයි. මේ වූ කලී කිසියම් කෙනෙකු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම මා වරද්දා ගත් මුල්ම අවස්ථාවය. ඒ සියල්ලටම වඩා මගෙ සිත රිදවන්නේ සුරාකනු ලබන නිර්ධන පංතියේ එකකු විසින්ම මා වංචා කරනු ලැබීමයි. ඇත්තටම මේ නම් තිත්ත වස කෝප්පයක් නොවේද? හදිසියේම එය පානය කරන්නට මට සිදු වී ඇත්තේය.

තව දුරටත් රාසුල් ජු සොයා යෑම පලක් නැත. එබැවින් අන්තිමේ දී නිවස බලා යාමට මම තීරණය කළෙමි. මහා පල්ලියත් එහි දීප්තිමත් වර්ණයෙන් සුසැදි කවුලුත් මා ඉදිරියේ නැගී සිටි. පල්ලිය මුදුනේ නගා ඇති ශබ්ද විකාශනයෙන් සංගීතවත් වූ යාඤා හඬ පැතිර යයි. “අල්ලා හ් ඕ - අක්බර්. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක.” රාසුල් ජුගේ වංචාකාරී බවත් මාගේ තකතීරු බවත් හේතු කොටගෙන මා තුළ කෝපයක් නැගි නැගී එයි. “අල්ලා ශ්‍රේෂ්ඨ වන්නට පුළුවන. ඒ වුණත් මිනිහා මොන තරම් ක්ෂුද්‍ර ද? මොන තරම් නීච ද? දෙවියන් වහන්සේ තමන්ගේම පහන දල්වා ගෙන සිටියි. එහෙත් තමන්වහන්සේ විසින් ම ගෙවල්වල පහන් නිවා දැමීම ගැන උන්වහන්සේට නිනව්වක් ඇත්තේ නැත. මිනිහා මවනු ලැබ ඇත්තේ දෙවියන්ගේම ප්‍රතිරූපයෙනි. ඒ වුණත් ඒ ශ්‍රේෂ්ඨත්වය ලෝකයේ තියෙන හැම වෙළද පොලකම වෙන්න්දේසි කරනු ලැබේ.” තිත්ත ස්වරයෙන් මම මටම කියා ගතිමි. මේ අයුරු දිලිසෙන පල්ලියේ හෙවන යට බොහෝ වෙලාවක් මා සිටින්නට ඇත.

 

 

කිසිවෙකු ම‍ට අඬගහන ශබ්දයක් ඇසෙයි. කටහඬද මට හුරුය. හදවත, පිම්බුණු ඊට ඇටවලට වැඩෙනු මට දැනිණි... ඔව් ඒ රසුල් ජුගේ කට හඬය.

බාබුජි පුදුම කෙනෙක් නෙ. මම බසාර් එකේ හැම තැනම තමුන්නාන්සෙව හෙව්වා. තමුන්නාන්සෙගෙ බංගලාව තියෙන තැන දැනගෙන හිටිය නම්, මට පාර්සලය එහෙ තියන්න තිබුණා.”

මම ඔහු දෙස බලා ගත් වනම බලා සිටියෙමි.

තමුසෙ පල්ලිය ඇතුළේ මොනවද කළේ ? යාඤා කර කර හිටිය ද? ප්‍රීතිය නිසා ම ඔහු පපුවට තද කර වැළඳ ගන්නට සිතුණි.

නෑ නෑ බාබු සහීබ්, මම එහෙට ගියේ යාඤා කරන්න නෙමේ. ඔහු විරිත්තමින් කියන්නට වන්නේය. “මම තමුන්නාන්සෙ එනවද බලන්ඩ පඩිපෙළ උඩ ඉඳගෙන හිටියෙ. ඇයි තමුන්නාන්සෙමනෙ කිව්වෙ, තමුන්නාන්සෙ ඉන්නෙ මහා පල්ලිය ගාව කියල.”

වීදිය දිගේ ගමන් කළ මම, රාසුල් ජු ද කැටුව ගෙදර ගියෙමි. දොරට තට්ටු කර ඇරෙන තුරු මොහොතක් බලා සිටියෙමි. ඒ මොහොතේ මා කල්පනා කරමින් සිටියේ, මගෙ කවි නළු මිත්‍රයා විසින් සැබෑ ජීවිතයේ සුන්දරත්වයත්, අවලස්සනත් ගැන කවියක් ලියන්නේ නම් මැනවයි කියාය. මේ කඳුකර කුලීකාරයින් ගැනත් කවියක් ලියන්නට වටියි. මෙවන් දරිද්‍රතාවයකින් මතු වූ මිනිහෙකුගේ උදාරත්වයට මගෙ මිත්‍ර කවියා හිස නමා සිටිය යුතුය. තමාගේ ම උපන් බිමෙහි තමා සතුව තිබුණු සියලු දේ නැතිවුණු, ඉන් පසු තමා නොහඳුනන, කුරිරු සමාජයකට පැමිණ සිටින ඒ සමාජයේ කෲරත්වයෙන් විනාශයට පත් නොවී නැගී සිටින මේ අරුම පුදුම මිනිහාගේ උදාරත්වය ගැන ඔහු කවියක් ලිවිය යුතුමය.

දොර ඇරියේ මගෙ මෑණියන්ය. තමා ඉදිරියේ ප්‍රාදුර්භූත වුනු කඩමාළු මිනිසා දෙස වරක් හරී බැලු ඕ මොහොතකට සිය සුදුවන් හිස සලා යාඤා කරමින් සිටි තැනට ම ගියා ය.

රාසුල් ජු අතේ තිබුණු පාර්සලය ගත් මම, එය අසල වූ බැංකුවක් මත තබා ඔහු වෙත රුපියලේ නෝට්ටුවක් දිගු කළෙමි. ඔහුගේ පැතලි මුහුණේ සිනාවක් නැගුණි. ඔහු හිස සැලීය. ඔහු කෙරෙහි කලකිරුණු මම තවත් පයිස විසි පහක් ගෙන, ඔහුගේ අත් කොට කබායේ උඩ සාක්කුවට දැම්මෙමි. එහෙත් මුදල් එලියට ගත ඔහු එය යළිත් මා දෙසට දෙන්නට වෑයම් කලේ ය. මම ඔහු දෙස රවා බැලුවෙමි.

මට මේක ගන්ඩ බෑ” කොඳුරමින් කී හෙතෙම ඒ මුදල මගෙ පාර්සලය මත තැබී ය.

ඇයි තමුසෙට ඒක මදි ද? මීට වඩා එක පයිසයක්වත් තමුසෙට දෙන්නේ නෑ. ඕනෙ නම් ඒක අරං යනවා.” දැඩි ස්වරයකින් එසේ පවසන විට මගේ කට හඬ වෙවුලන්නට විය. රාසුල් ජු මා දෙස බලා ගත වනම තවත් බලා සිනාසෙයි.

යාඤා කරන්නට එලා ගත් ඇතිරිල්ල හකුලා දැමු මගෙ මෑණියන් මා වෙත පැමිණ සිට ගත්තා ය. “උඹට සල්ලි එපා නම් නිකා ඉඳින් කාලකණ්නි මනුස්සයෝ. උඹලගෙ ජාතියේ කුලීකාරයෝ සේරම එක වගේ. උඹලට දස දහස් ගානක් හම්බ වුණත් උඹල අඳින්නෙ කඩමාළු.” ඔහු දෙස හරී කෑ ගසන්නට වූ මගෙ මෑණියෝ, සිය ජප මාලයේ ඇට එකිනෙකට වේගයෙන් ගනින්නට වුවාය. හදිසියේම මා තුළ හටගත්තේ දැඩි අනුකමපාවකි. එතකොට අදත් රාසුල් ජුට වේලිච්ච බාර්ලි කන්ඩ සිද්ධ වෙයිද ?

මෙන්න පයිසා විසිපහක්. හැබැයි ඊට වඩා නම් බෑ.” රසුල් ජු මා දෙස බලාගත්වන ම නැගී සිටියේ ඉතා උදාර ලීලාවෙනි.

නෑ නෑ බාබු ජී. තමුන්නාන්සෙ මාව වැරදියට තේරුම් අරගෙන. තමුන්නාන්සෙ මට කරුණාව දැක්කුවා. මට මිනිහෙකුට වගේ සැලකුවා. මට තමුන්නාන්සෙගෙ සල්ලි කීයක්වත් ගන්ඩ බෑ.”

සිදු වූයේ කිමෙක්දැයි තේරුම් ගන්නට පෙර ඔහු නිවසින් එළියට පැන ගමන් කරන්නට වන්නේ ය. සල්ලි ටික ද මිටෙහි රුවා ගත් මම ඔහු පසු පස එළවන්ට වීමි. එහෙත් රාසුල් ජු අතුරුදහන්ව සිටියි. ඇතැම්විට ඔහු පොළෝ කුහරයටම ආපසු ගියා වන්නට ඇත. ලැජ්ජාවෙන් ද අපමණ වේදනාවෙන් ද පීඩිත වූ මම, ඔහු ගිය අත බලා සිටියෙමි.

 

ලතීෆ් කාශ්මීර්ගේ මෙම කෙටිකතාව සිංහලයට පරිවර්තනය කර ඇත්තේ W. A. අබේසිංහ මහතාය.

මේ කෙටිකතාව මතු දවසක බ්ලොග්ගත කොරන්ටයි හිටියෙ හිට.. ඒත් ඩ්‍රැකියගේ ඉල්ලීමට ඔන්ට අද දැම්ම.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්