මා ප්‍රසන්න
හඳුනාගෙන මාස හතරක්වත් නැත. මා ජපානයට එන විටත් ඔහු මෙහි පැරණි ජ්‍යෙෂ්ඨ
සාමාජිකයකු ව සිටියේ ය. අප නොයෙක් දේ ගැන කතා කළේ මධ්‍යම රාත්‍රියේ ය. විශ්ව විද්‍යාලයේ
දෙවන වර්ෂයේ සිසුවකු ව සිටි මම උදේ කාලයේ දේශනවලට සහභාගී වී සවස ආපන ශාලාවක "ඇරබයිතෝ"
සඳහා පිටත් ව යමි. මා නැවත කාමරයට පැමිණෙන විට මධ්‍යම රාත්‍රි එක දෙක වුවත් ප්‍රසන්න
මා එන තුරු අවදි ව බලා සිටින්නේ ය.
මා වැඩ කළ ආපන ශාලාව
සුකුබාවල ජනාකීර්ණ එකක් වූයෙන් දිනකට තුන් හාරසීයයක් පමණ කෑමට පැමිණෙති. ඒ ඒ
සෘතුවල එකිනෙකට වෙනස් කෑම කට්ටල හා භාජන භාවිත වන බැවින් පිඟන් දාහක් දෙදාහක්
සේදීමටත් පිස දැමීමටත් අපට සිදු වේ.
ප්‍රසන්න රාජකාරි කළේ
සුකුබා නගර කාර්යාලයේ සනීපාරක්ෂක සේවයේ කසළ එකතු කරන්නකු ලෙසයි. රාත්‍රි සේවා මුර
අවසන් ව නිවසට පැමිණෙන අපගේ ප්‍රධාන ම මාතෘකාව ශ්‍රී ලංකාවයි. මේ තරම් ලෞකික -
භෞතික සැප සම්පත් මැද අප ලංකාව ගැන සිතන්නේ කුමකට ද? ඒත් අපේ ජනප්‍රිය ම
මාතෘකාව වූයේ අපේ මව්බිමයි.
ප්‍රසන්න ජපානයට
පැමිණි කතාව මා පැමිණි කතාවට වඩා වෙනස් දුක්මුසු වූවකි. උසස් අධ්‍යාපනය ලැබීමට
ශිෂ්‍යත්වයක් ලැබ ආවත් මගේත් මූලික අරමුණ මුදල් ඉපයීමය. අප සමග ඉගෙන ගන්නා බොහෝ අය
තවත් වසරක් හෝ ජපානයේ නැවතීමට කැමැත්තෙන් සිතා මතා විභාගවලින් අසමත් වූවෝ වෙති. ප්රසන්නත්
මමත් ඉරිදාට ඇවිදින්නට යති. ප්‍රසන්න ජපානය දකිනුයේ මට වඩා සුභවාදී ආකාරයකට ය.
ඔහුගේ කල්පනාවේ හැටියට ලාංකිකයින්ට වඩා ජපනුන් විවෘත ය. ස්ත්‍රී සිරුර කිසිඳු
තහනමකින් තොර ව විකිණේ. කාන්තා නිරුවතක් නැති පත්තරයක්, සඟරාවක් නැත. ප්‍රසන්න
සිතන හැටියට ස්ත්‍රී නිරුවත පුරුෂ සමාගමට තහංචි නැත. නිල් චිත්‍රපට, ගණිකා සේවය
තහනමකින් තොර ව ක්‍රියාත්මක වේ. ප්‍රසන්න මේවා නිරීක්ෂණය කොට ජපනා කුහක නැතැයි කියයි.
ප්‍රසන්නගේ ඇතැම් තර්ක වලට මට පිළිතුරක් නැත. ඔහු නිදන රෑ යම ඔහුගේ නිහඬ සිරුරෙහි
ගැබ් ව ඇති අනන්ත සිතුවිලි මම සිතින් ස්පර්ශ කරමි. ඔහු ජපානයට පැමිණියේ දෛවෝපගත
සිදු වීම් අභියෝගයට ලක් කරමිනි. කොලොම්බස්ගේ ඇමරිකාව සොයා ගැනීමට වඩා ප්‍රසන්නට
ජපානය සොයා ගැනීම වැදගත් විය. ප්‍රසන්න ජපානයට ආවේ ගුවනින් නො වේ. ගුවන් සේවිකාවන්
පැමිණ හිස තබන්නට කොට්ටත්, සිංදු අහන්නට පුංචි ශබ්ද විකාශන පුඩුත්
සැපයුවේ නැත. ප්‍රසන්න ගේ ඇත රැඳී 'පාස් පෝට්' එක 'පූස් පාට්' එකක්
පමණකි. ලංකාවේ ජපන් තානාපති කාර්යාල නිල මුද්‍රාව, වීසා බලපත්‍ර, වලංගු දින, අවලංගු දින ඒ කිසිවක් එහි නැත. ලංකාවේ සිටින ජපන් තැරැව්කරුවන්
මගින් විවෘත බෝට්ටුවක නැගී අති දුෂ්කර සමුද්‍ර යාත්‍රාවක ඔහු යෙදී තිබේ. ප්‍රසන්න
ඇතුළු කණ්ඩායම ජපානයට පැමිණි මොහොත නිතර ඔහුගේ ආවර්ජනයට ලක් විය.
එදා වැහි බර අඳුරු
දිනයකි. බෝට්ටුව මීගමුවෙන් පිටත් වීම පැයකින් කල් දමන්නට ප්‍රසන්නට අවශ්‍ය ව
තිබුණි. මන්ද යත්, ඒ මොහොත රාහු කාලය වූ බැවිනි. නැකත් හා රාහු
කාලය පිළිබඳ ව ප්‍රසන්න දැඩි ස්ථාවරයක සිටියේ ය. සෙසු පිරිස නිසා තම සිතැඟි
සඟවාගෙන රාහු කාලයේ ම ගමනාරම්භ කිරීමට ප්‍රසන්නට සිදු විය. ලංකාවේ සිට ගුවන් යානයක්
ජපානයට ඒමට පැය නවයක් ගනී. ඒ ද අධික වේගයෙන් ගමන් කිරීමෙනි. ප්‍රසන්න අප මෙන් ම
ලංකාව ගැන කලකිරී සිටියේ ය. නිදහසින් පසු පාලනය භාර ගත හා නොගත් සියලු කණ්ඩායම්වලට
ශාප කරමින් තමන් බෝට්ටුවට ගොඩ වූ බව ප්‍රසන්න පසු දවසක මට පැවසී ය. මුහුදු ගමන
අතිශය වෙහෙසකර වූවකි. ප්‍රසිද්ධියේ කළ යුතු මළ පහ කිරීම් ආදී සකල විධ අපා දුක් මැද
ප්‍රසන්න සීතල දිවයලෝකය බලා පැමිණ ඇත. පිරිසිදු කෑමක්, හොඳ නින්දක්, බේත් හේත් ආදී කිසිවකුත් නැති ව පැමිණි පිරිස කෙසේ හෝ ජපන් වෙරළට ගොඩ
බැස්සවීමට බෝට්ටුකරුවා සමත් වී තිබේ. ජපනා කෙතෙක් සූක්ෂ්ම වූවත් ඔවුන්ගේ සියලු
ආරක්ෂක උපක්‍රම සුන් කරමින් වෙරළෙන් ගොඩබිමටත් එතැනින් රට මැදටත් ඔවුහු සේන්දු
වූහ.
රාහුගේ බල පරාක්‍රමය
ක්‍රියාත්මක ව ඇත්තේ ඉන් පසුව ය. අධික කුසගින්න නිසා ඔවුහු ආපන ශාලාවකට ඇතුල් වූහ.
බෝට්ටුවේ අපිරිසිදු චාරිකාව නිසා ඔවුන්ගේ ඇඳුම් දුර්වර්ණ ව ගොසිනි: කිලිටි ය. කණ්ඩායම
එකටම ගමන් කිරීම නිසා ජපනුන්ගේ සූක්ෂම දෙනෙතට ඔවුන් හසු වී තිබේ. කිසිදු හේතුවක් නැති
ව ඇවිදින සිරිතක් ජපනුන්ගේ නැත. මාර්ග කම්කරුවෙකු වුවත් ඇඳුමෙන් හඳුනාගත හැකිය. ඒ
නිසා මේ පිරිස දුටු ජපනුන් විමතියට පත් ව ආහාර දීමට පෙර පොලිසියට දන්වා ඇත. තම
මිතුරන් ආහාර පිළිබඳ ව අතින් හිසින් සංඥා කරමින් ජපනුන් හා මුහු වද්දී ප්‍රසන්න වැසිකිළියට
ගියේ ය. පැය කාලකින් පමණ ආපසු එන විට ප්‍රසන්න දුටුවේ තම මිතුරන් පටවා ගෙන යන ජපන්
පොලිස් වාහනයයි. නිහඬව පැමිණි ප්‍රසන්න දුරකථන කුටියකින් ජපානයේ සිටින ලාංකිකයෙකුට
ඇමතුවේ ය. ප්‍රසන්නගේ වෙලාවට ලාංකික මිතුරාට එදා නිවාඩු දිනයකි. ඔහු වහා ම පැමිණ
ප්‍රසන්න තම කාමරයට ගෙන ගොස් තිබේ. රාහු කාලයේ මහිමය කියන්නට ඔහු නිතර ඉදිරිපත්
කලේ මේ නිදසුනයි. රාහු කාලය ඇත්තක් නම් උඹ විතරක් බේරුණේ මන්දැයි මා නගන ප්‍රශ්නයට
ද ඔහුට උත්තරයක් තිබුණි.
"තව ම මගේ කතාව
ඉවර නෑනේ කොයි වෙලාවෙ Immigration එකෙන් මාව අල්ලයි ද කවුද දන්නෙ"
සද පායා තිබුණි. සඳට
පහළින් සීතල වලාකුළු එල්ලේ. සඳ කිරණ ජපන් භූමියට වැටෙන්නේ සීතල වලාකුළු අතරිනි. සඳ
ලංකාවට මේ තරම් සුන්දර නැත. 'සඳ' ජපනුන් මැද තනි
ව වෙසෙන අප මෙන් ම අහිංසකය.
ප්‍රසන්න පවුලේ
වැඩිමලා ය. ඔහුට බොහෝ ප්‍රශ්න තිබුණි. ගේ දොර ඉඩකඩම් විකුණා මෙහි පැමිණි බැවින්
සෑම මසක ම ඉතා විශාල මුදලක් ඔහු ලංකාවට යැව්වේ ය. 'වීසා' හෝ 'ඒලියන්' වැනි
කිසි දු නිල බලපත්‍රයක් ඔහුට නොවූයෙන් ඔහු වෙනුවෙන් ඒ සියල්ල කල යුතු වූයේ මාහටය.
ඔහුට ලියුම් ලැබුණේත් ,මගේ ලිපිනයටයි. නංගිලා දීග දීමටත් උන්ට දෑවැද්ද සෙවීමටත්, ගේ දොර උකස බේරීමටත් ඔහුට මුදල් රාශියක් අවශ්‍ය විය. ඒ නිසා ම උදේ 7
සවස 4 රැකියාවට අමතර ව රාත්‍රී 6 සිට 12 දක්වා තවත් රැකියාවක් ඔහු සොයා ගත්තේ ය.
මා වැඩ අරී රාත්‍රී දෙකට පමණ එන විට ප්‍රසන්න උණු වතුර ස්නානය කොට හිස උණුසුම් කරමින්
කියන වදන් මට නිතර සිහිපත් වේ.
"මචං මේ කෙස් යන්නෙ යෙන්වලට, සීතලට නෙවෙයි". උදේ සිට සවස් වන තෙක් කසල අදින ප්‍රසන්නට කතා බහ කරන්නට කෙනෙකු දවස
පුරාම හමු නොවේ. රාත්‍රී 12 සිට 2 තෙක් පුරා පැය දෙකක් ඔහු මා එන තුරු අවදි ව සිටී.
දවල් සිදු වූ සිදුවීම් පවසන්නේ මේ වෙලාවට ය. වෙනත් වචනවලින් කිවහොත් අප දෙදෙනා
ජීවත් වූයේ රාත්‍රී 2 සිට 4 දක්වා පැය දෙක පමණි. සෑම උදයකම වීදිවල කුණු ගොඩවල තබා
ඇති ශීතකරණ, හොඳ ඇඳුම් පැළඳුම්,
ඇඳ පුටු මේස, අල්මාරි, සපත්තු, ගෘහ විදුලි උපකරණ ආදී මිල
කළ නොහැකි භාණ්ඩ ගැන ඔහු මට විස්තර කරයි. ඒවා තමන් සතු කර ගැනීමට නොව ලංකාවේ
දුප්පත් ගම්වලට සහනාධාර ලෙස දීමට ජපානයට නොහැකි දැයි ඔහු ප්‍රශ්න කරයි. මහ මග අතහැර
දමා ඇති ලක්ෂ ගණනක් බයිසිකල්, මෝටර් රථ ගැන දුක්වන ප්‍රසන්න ඉන් ලංකාවේ දුප්පත්
ගම්මානවල ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙතැයි තර්ක කරයි. එවිට ලංකාව ජපානයේ
කුණුගොඩ වේ වී යැයි මා කියන විට ප්‍රසන්න ඊටත් එරෙහි වෙයි.
"උඹ පලයන් ලංකාවෙ වලපනේ රූපහ නිල්දණ්ඩාහින්න. ඔය කොළඹ තියෙන වාහන තදබදය
පාරවල් පුරා වාහන එහෙ නැහැ. කොළඹයි නුවරයි ගාල්ලයි දිහා බලන විදිහට දුප්පත් ගම්මාන
මනින්න එපා බං"
"ප්‍රසන්න උඹ දැකල නැද්ද මෙහෙ T.V. එකේ ලංකාව පෙන්නන හැටි"
ජපානයේ රූපවාහිනිය
ලංකාව පෙන්වන විට එහි සුන්දර බව නොපෙන්වීමට වග බලා ගනී. වැරහැලි ඇඳගත් මිනිසුන්
මුඩුක්කු පැල්පත් වෙරළේ මළ පහ කරන දර්ශන ඔව්හු නිතර පෙන්වති. එබඳු වාතාවරණයක දී
ජපානයේ ඉවත ලබා දෑ ලංකාවට යැව්වොත් ජපනා අප ව තවත් පහත් කොට සලකතැයි මම කිව්වෙමි.
එහෙත් ප්‍රසන්නගේ අදහස්වල ද ඇත්තක් තිබේ. ප්‍රසන්න කතා කරන්නේ මට වඩා දැඩි
පීඩාකාරී හැඟීමකිනි. ඔහු පදවන රථයේ පසු පස කොටසේ විදුලි බොත්තමකින් ක්‍රියා කරන ද්‍රව්‍ය
පොඩි කරන යන්ත්‍රයක් ඇත. මග දෙපස ජපනා තබා යන ඔවුන්ට අනවශ්‍ය අලුත් භාණ්ඩ ප්‍රසන්න
දිනපතා අර යන්ත්‍රයට තබා පොඩි කර දමයි. මේ අනුභූතිය මටත් දෛනිකව ලැබේ නම් ප්‍රසන්නගේ
සිතිවිලිවල සාධාරණ බව මටත් දැනෙන්නට තිබුණි. ඒවා තබා පොඩි කර දමන විට තම හදවත දැවී
යන බව ප්‍රසන්න කිහිප වාරයක් ම කියා තිබුණි. "මුන්ට හිතක් පපුවක්
නැහැ. මුන් දන්නව ලෝකෙ දුප්පත් රටවල්වල හැටි. මුන් පුදුම ආත්මාර්ථකාමියො. මේක
සම්පත් නාස්තියක්.. "
මට ප්‍රසන්න ගැන සිහිපත්
වන විට වාවා ගත නොහැකි දුකක් ඇති වන්නේ ඔහු තම දෙමාපියන්ට වඩා රට ගැන දුක් වූ නිසා
ය. ඔහුට බලාපොරොත්තු රැසක් තිබිණ. තමා උපන් දේශයේ වහල් බව දීන බව ඔහුගේ උදහසට ලක්
විය. ජපන් බස දේවත්වයේ ලා සලකන ජපනා ගැන ආඩම්බර විය. සිංහලයන් සිංහලයන් සමග ජපන් බසින්
දෙඩීම ඔහුගේ පිළිකුලට හේතු විය. රටක් නගන්නට නම් "සිය බස" මුල් තැනට ගත යුතු බව ප්‍රසන්නගේ තර්කය විය. ප්‍රසන්න ගැන ඔබට කී
තොරතුරු සමාප්ත කරන්නට මට සිදු වී තිබේ. මෙය කෙටිකතාවක් හෝ චරිත විස්තරක් දැයි මම
නොදනිමි.
එදා දවස වෙනදාටත් වඩා
සීතල දවසක් විය. හිරු ජපානයට පිටු පා සිටියේ ය. සුකුබා ගිරි ශිඛරය හිම තට්ටුවකින්
වැසී තිබුණි. පාන්දර පහට ප්‍රසන්න අවදි ව ආහාර පිළියෙළ කළේ ය. මට තේ කෝප්පයක් සාදා
මගේ පසෙකින් වාඩී වී එය මට පිළිගැන්විය. එදා තරම් සුන්දර මුහුණක් ප්‍රසන්නට වෙන
කවරදාවත් නොතිබුණි.
"මචං බත් ලෑස්තියි උදේටයි දවල්ටයි දෙකටම... මචං මේ මගේ මාසෙ පඩිය. උඹට
ඕන තරම් අරගෙන ඉතිරිව අපේ ගෙදරට යවපන්. මේ මාසෙන් පස්සෙ ණය ඔක්කොම ඉවරයි. නංගිලත්
බැඳල, ලබන මාසෙ ඉඳල යැව්වොත් යවන්න වෙන්නෙ ලාභය".
"එතකොට උඹ කසාද බඳින්නෙ නැද්ද?"
"කවුද බං ජපානේ නාකි වෙච්ච මේ ඌරව කසාද බඳින්නෙ... "
එදින රාත්රීත් පසු දා
උදෑසනත් අන් කවරදාකවත් ඔහු නැවත පැමිණියේ නැත. ප්‍රසන්න තම රථයට කුණු ඔබා පිටුපසට ගොස්
විදුලි බොත්තම ක්‍රියාත්මක කරයි. කුණු ඇඹරෙන දැති රෝදය ක්‍රියාත්මක වන්නේ ඉන්
පසුවයි. මගේ කල්පනාවේ හැටියට ණය පියවීම නිසා ප්‍රසන්න සිටියේ දැඩි සතුටකිනි.
පිටිපස දැති රෝදයට කුණු තබා බොත්තම එබූ පසු දැති රෝදය ක්‍රියාත්මක ව ඇත්තේ එය ක්‍රියාත්මක
කළ ප්රසන්නත් මස් පිඬක් බවට පත් කරමිනි. ගොමි වාහනයක සිටින්නේ එක් පුද්ගලයෙකි.
පුරා පැය තුනක් ම කුණුත් සමග එකට ඇඹරෙමින් දැති රෝදය ක්‍රියාත්මක ව තිබේ.
රාහු වේලාවෙන් පැමිණ
අසුබ නිමිත්ත සුබ නිමිත්ත කර ගැනීමට ඔහු දැරූ ආයාසයත් ඔහුගේ එක් ප්‍රාර්ථනාවකුත්
මට සිහිවේ.
"මචං කවදාවත් ජපානෙදි මැරෙන්න හොඳ නෑ. මොකද දන්නවද ජපනෙක් වෙලා ඉපදෙන්න
පුළුවන්. එහෙම වුණොත් මැරෙනකල් වැඩ කරන්නයි වෙන්නෙ. මේක මචං දිව්‍යමය අපාය."
- අත්තනායක එම්. හේරත් මහතාගේ කෙටිකතා පොතකින්.
අවසේස කරුණු- මේ පොත මා හට ලබා දුන්නෙ පංචතනතුරේ නිමල් දිසානායක මහතායි.