සුන්දර නතාෂා - මැක්සිම් ගෝර්කි |
සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු
තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත
තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.
මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම
විකුණා දැමූ පසු මම නගරයෙන් පිට වී ඌස්තියෙ නමැති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව්
සඳහා තොටුපළක් තිබුණි. නැව් ගමනාගමනය ඇති කාලවල දී එහි ලහිලහියේ වැඩ කෙරුණද, දැන්
එහි පාලුය, කාන්තාරයක් මෙන් නිසල ය. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය.
තෙතමනය සහිත පස් ගොඩ පයෙන් හාරා අවුස්සමින්, ආහාරයට
ගැනීම සඳහා සුදුසු යමක් එහි තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා බැලීමි.
ජන ශුන්‍ය ගොඩනැගිලි සහ කඩ පිලවල් ගානේ ඇවිදිමින් බඩකට පුරා ආහාර ගිලීම කොතරම්
යහපත් දෙයක් දැයි මම සිතන්නට වුයෙමි..
සංස්කෘතික වර්ධනයේ මේ අවධියේ දී ශාරීරික කුසගින්නට
වඩා ලෙහෙසියෙන් ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කල හැකි ය. පිටත සිට බලන විට ලස්සන
යයි කිව හැකි - වැරදීමකින් තොරව - ඇතුළත සැප පහසුයැයි කිව හැකි ගොඩනැගිලි සහිත
වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද, සෞඛ්‍ය ගැනද
තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටුපහටු මනෝ භාවයක් ඇතිකර ගත හැකිය.
උණුසුම ගෙන දෙන සැප පහසු ඇඳුම ඇඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔවුහු ඉමහත් ආචාරශීලි
ලෙස ඔබට යන්ට ඉඩ දී මග හැර ඔබේ කණගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලිවෙති. කුසගින්නෙන්
පෙළෙන්නකුගේ ආධ්‍යාත්මය, බඩ පුරා ආහාර ගත එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම
සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කල හැකිය!.. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා
ආහාර ගෙන සිටිනවුන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන!..
හවස්වත්ම වැසි වසින්නට පටන් ගත අතර උතුරු දෙසින්
කුණාටු හමන්නට විය. කඩ පොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරින් හූ හඬක් පතුරුවමින්
නැගී ආ කුණාටුව හෝටලවල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද ඇති කළේය. ගඟේ රැල්ල වඩාත්
උස් වී පෙණ සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟාවී
ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත්වෙතියි සිතමින් ඉවත පැන යාමට
තැත්කලාක් මෙනි. අහස බැරෑරුම්ය, ඇඳිරිය, අහසේ සිට පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම්
කුඩා වැහි බිංදු වැටිණි. මා අවට ඇති ශෝකාන්විත, ඛේදාත්මක පරිසරයට මුලින් උදුරා ලන
ලද කැඩුණු විලෝ ගස් දෙකක් සහ ඒවා අසල උඩුයටිකුරු කොට පෙරළන ලද බෝට්ටුවක් ද අයත්
විය.
අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද, දැඩි සීත සුළඟ
විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකය මුසු ගතියක් ඇති කළේය... අවට හැම දෙයක්ම
විනාශ වී, වඳ වී, මරණයේ සලකුණු පළ කළේය. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙනි, වැසි
වැස්සේ. අවට හැම දෙයක්ම ඇඳිරිය, මරු කතරක මෙනි. හැම දෙයක්ම මියයනු ඇත. ඉතිරි වන්නේ
මා පමණකි.
එකල මගේ වයස අවුරුදු දහ හතකි. අනගිතම කාලයයි!
මම සීතල, තෙතමනය සහිත වැලි පොළොවේ දිගටම ඇවිදින්නට
වීමි. කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දත් ඇඳි එකිනෙකට
ගැටෙන්නට විය. ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම,
ස්ත්‍රී ඇඳුමකින් සැරසී ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටිමි. වැස්සට තෙමී
තෙතබරි වී සිටි ඇගේ උරහිස් ඉදිරියට නැමී ඇත. මා ඇය ලඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය
කුමක් කරන්නේ දැයි දන ගැනීම පිණිසය. වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑතින් ඈ
වළක් හාරමින් සිටින බව පෙනිණි.
“නුඹ ඔය වැඩේ කරන්නේ මොකටද?”
ඈ සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියා ය. ඈ නැගිට සිට
සිය අළු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට, ඇය මගේ වයසට
සමාන තරුණියක් බව මම දුටිමි. ඇගේ මුහුණ ඉතා සුන්දරය. කනගාටුවකට මෙන් එහි නිල්
පැහැති පැල්ලම් තුනක් ඇති බැවින්, එම මුහුණෙ පෙනුම තරමක් අයහපත් ය. මේ පැල්ලම්
තුනම පුදුමාකාර ලෙස සමානත්වයක් දරයි. ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණය පැල්ලම් දෙකකි.
අනික නළලේය. තරමක් විශාල එම පැල්ලම නහයට උඩින් තිබිණි. අනික් මිනිසුන්ගේ
සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන්
හැඟිණි.
තරුණිය මා දෙස බලත්ම, ඇගේ නෙත්වල තිබූ බිය ගතිය
කෙමෙන් අතුරුදහන් විය.. මොහොතකින් ඈ අත්වල තිබූ පස් හා වැලි ගසා දමා, හිස බැඳි කපු
ලේන්සුව සකස් කරගෙන, සුළං පහර නිසා හැකිලී ගෙන මෙසේ තෙපලාය.
“නුඹ බඩගින්නේ කෑම හොයනවා නේද? එහෙනම් නුඹත් හාරපන්,
මගේ අත්දෙක රිදෙනවා. ඒක ඇතුළෙ පාන් තියෙන්නට ඕන.” ඈ හිස වනා වසා දමා ඇති කඩය
පෙන්නුවාය... මේ කඩේ තවම වෙළඳාම් කරනවා...”
මම පොළොව හාරන්නට වීමි. ඈ තරමක් වෙලා මා දෙස බලා සිට
අසලින් වාඩි වී හාරන්නට වුවාය. අපි නිහඬව පොළොව හෑරුවෙමු. ඒ වෙලාවේ දී මට, අප
විසින් නිතර මතක තබා ගත යුතුයැයි කරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය,
සදාචාරය, පුද්ගලික අයිතිය ආදී දේ ගැන කල්පනා වී දැයි කිව නොහැකිය. හැකි තරම් සත්‍යයට
ලං වීමට පතන මා, හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන
කල්පනා නොකළ බව පිළිගත යුත්තකි. එතරම් දැඩි ලෙසත්, ගැඹුරු ලෙසත් මම වල හැරීමෙහි
නියුක්ත වී සිටියෙමි. ඇඳිරි වැටෙන්නට පටන් ගති. අඳුර, තෙතමනය, සීතල අප අවට වඩාත් දැඩි
ලෙස පැතිරිණි. රැළි නගන හඬ තරමක් අඩු වුවද, කඩ මැස්සට වැටෙන වැහි බිඳු නගන හඬ
වඩාත් වැඩිවිය... රාත්‍රී, මුරකරුවකුගේ ශබ්දය ඈතින් ඇසිණි...
“මේකට යටින් පොළොවක් තියෙනවද? එහෙම තියෙවනම් අපි කරන
වැඩෙන් ඇති පලක් නැහැ. අපි වලක් හෑරුවයින් පස්සේ එතැන මහත ලෑල්ලක් තියෙන්ට
පුළුවනි... එතකොට කඩ පෙට්ටිය අරින්නේ
කොහොමද? ඊට වැඩිය හොඳයි යතුරු ඉබ්බාව කඩනවා.. මේක පරණ ඉබ්බෙක්...”
යහපත් අදහස් ගැහැණියකගේ හිසෙහි ජනිත වන්නේ
කලාතුරකිනි. එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස් ද ජනිත වෙයි.. යපහත් අදහස්
හැමදාම උසස් ලෙස අගය කළ මම, ඒවායින් හැකි තරමින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ
කළෙමි. දොර ලෑල්ලේ යතුර ඉබ්බා වෙත ගිය මම එහි වළලුත් සමග උදුරා දැමීමට සමත් වීමි.
මවිසින් එලෙස විවෘත කරන ලද හිඩැස්ස තුළින් මගේ අත් උදව්කාරිය සැපින්නක සේ ඇතුළු
වුණාය.
“හැබෑ දක්ෂයා!” ඈ මා අනුමත කරමින් පැවසුවාය.
ගැහැනියකගෙන් ලැබෙන එක පැසසුමකට මට පිරිමියෙකුගෙන්
ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනේ ය. එම පිරිමියා ආදී කල විසූ සියලු චතුර කථිකයින්
එකට ගත් විට ඔවුනට සමාන වුවද කම් නැත. එවැනි පුරුෂ පැසසුම් අසනවාට වඩා විශාල
උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත. තරුණියගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට
කාලයක් නොවූයෙන්, මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළෙමි.
“ඔතන මොනවා හරි තියෙනවද?”
එක්තානමය හඬකින් ඈ දකින දේ විස්තර කළාය. “හිස් බෝතල
කූඩයක්, හිස් ගෝනි ගොඩක්... කුඩයක්... යකඩ බාල්දියල්...”
ඒවා ආහාර සඳහා සුදුසු දේ නොවේ. මගේ බලාපොරොත්තු
සුන්වීමට පටන් ගති. එහෙත් හිටි හැටියේම ඈ ප්‍රාණවත් ගතියකින් කෑ ගැසුවාය. “මෙන්න!
තියෙනවා...”
“මොනවද ?”.
“පාන්... පාන් ගෙඩියක්... හැබැයි තෙතයි... ඉඳා
ගනින්...” මගේ දෙපා ලඟට වටකුරු පාන් ගෙඩියක් විසි වී ආවත් සමග මගේ නිර්භීත අත්
උදව්කාරියද මට ළං වූවා ය. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් කඩා කටේ දමා ගෙන සපන්නට
වූයෙමි. “ඉතින් මටත් දීපන්... අපි මෙතැනින් පිටවෙන්නට ඕන. නමුත් අපි යන්නෙ
කොහෙටද?” ඈ අඳුර රජ කරන අවට දෙස පිරික්සුම් බැලීමක් හෙළුවාය. අඳුර දසත පැතිර ඇත.
අවට හැම තැනම තෙතය, විවිධ ශබ්ද ඇසේ... “අන්න අතන බෝට්ටුවක් පෙරළා දමා තියෙන්නෙ,
එතනට යමුද?”
“යමු!” අපි දෙදෙන පා නගමින් අපේ පාන් ගෙඩියෙන් කැබලි
කඩා ගෙන කටේ දමා ගත්තෙමු. වැස්ස වැඩි විය, ගඟ හඬ නැගීය. කොහේදෝ සිට දීර්ඝ ලෙසත්,
උපහාසාත්මක ලෙසත් සිවුරු හඬලන සැටියක් ඇසිණ. බිය යනු කුමක්දැයි නොදත් යෝදයෙකු
වැන්නෙක් සරත් සමයේ අයපහත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද, හැම කෙනෙකුටම සහ හැම
දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය... එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපණි.
එසේ වුවද, මම ගිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම් පසින් ගමන් ගත් තරුණිය ද මට නොදෙවැනි
වන සේ පාන් කන්නට වූවාය.
“නුඹේ නම මොකක් ද?” කුමක් නිසා හෝ මම ඇගෙන් ප්‍රශ්න
කළෙමි.
“නටාෂා !” හඬක් පිටවන සේ පාන් කන ඈ පිළිතුරු දුන්නා
ය. මම ඇය දෙස බැලීමි. මගේ හදවත වේදනාවෙන් හැකිළිණි. අනතුරුව මම අඳුරට නෙත් යොමු
කලෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඥමය සේයා ගුප්ත ලෙසත්, හිරිවට්ටන සැටියකිනුත් මා දෙස
බලා මද සිනා පායි.
ලී බෝට්ටුවේ වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ
දොම්නසට පිරි අහදසක් ගෙනාවේය. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුර අස්සෙන් එහි වූ ලී
පතුරක් නටවමින් හා ශබ්ද කරමින් සෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය
හඬක් ඇතිකරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කළේය. විඳදරාගත නොහැකි තරම් කාන්සියක්
හා දොම්නසකින් යුත් කතාවක් එය අපට කියන්නාක් මෙනි. එය කැමති වුවද, එසේ කීම අත්‍යාවශ්‍ය
දෙයක් ලෙස පිළිගත්තාක් මෙනි. ගඟේ දිය රැළි වැසි පොදවල ශබ්දයත් සමග එක්වේ.
දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට, තෙතමනය සහ මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා
අමනාපයට හා විඩාවට පත් මහා පොළොව උඩු යටි කුරු කොට පෙරළා ඇති බෝට්ටුවට ඉහළින්
සුසුම් හෙළන්නාත් මෙනි. පාළු ගං ඉවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහලින් සුළං හමන්නා
වූ අතර එය ශෝකාන්විත ගී ගැයීය...
බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ
තදබදයකි. එය වැසී ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිංදු වැටිණි. සුළං
ඇතුළු විය... නිහඬව වාඩි වී සිටි අපි ශීතල නිසා වෙවුලන්නට වීමු. මට නිදා ගැනීමට
අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේත්තු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දණහිස්
මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා ගෙන අල්ලාගෙන ගඟ දෙස බලාගත්වනම සිටියාය. අගේ
දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති අගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුණේ ඒවාට යටින්
ඇති කළු පැහැති ලප නිසාය. ඇය නොසැලෙන ගල් රුවක් මෙනි. අගේ නිසල බව හා නිහඬ බව
විසින් මසිත තුල කෙමෙන් බියක් ඇති කරනු ලැබීය... ඇය සමග කතා කරන්නට මට උවමානාවක්
ඇති වුණද, එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි.
ඈ අගේ කතාව පටන්ගත්තාය.
“කෙතරම් දුෂ්ට ජීවිතයක්ද!” දැඩි ලෙසත්, සුපැහැදිලි
ලෙසත් ඇය එසේ කිව්වේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක් ගැලවිල්ලක් නොවීය.
ඇගෙ කට හඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය.
සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථිර නිගමනයකට එළඹුණු
සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී, ඇයට විරුද්ධ වීමට
මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි. ඈ මා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම
උන්නාය.
“මකබෑවෙලා යන්ටයි, මගේ කල්පානාව...” නතාෂා යලිත්
නිහඬතාවය බින්දාය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීවය. අගේ මුවින් පිට වූ
වචනවල දුක්ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඈ, තමාගේ තත්ත්වය
දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කර ගැනීමට “මක බෑ වී
යාම” හැර අන් කිසි මගක් නොමැති බව, සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබුණි. අගේ
කල්පනාවේ සුපැහදිලිතාවය නිසා මට විඳ දරාගත නොහැකි ඔක්කාරයක් දැනිණි. මා තවත් දුර
නිහඬව සිටියහොත් මට ඇඬෙනු ඇතැයි සිතිණි... ගැහැනියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි,
විශේෂයෙන්ම ඇය නොහඬා ඉන්නා විට... ඇය සමග කතා කිරීමට මම ඉටා ගතිමි.
“නුඹට ගැහුවේ කව්ද?” එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි
අපොහොසත් වූ මම ප්‍රශ්න කළෙමි.
“මේවා ඔක්කොම කරන්නේ පාෂ්කා තමා...” සන්සුන්ව හඬ නගා
ඈ පිළිතුරු දුන්නාය.
“ඔහු කවුද”
“මගේ පෙම්වතා... පාන් බක්කරේ කෙනෙක්..”
“ඔහු නුඹට නිතරම පහර දෙනවද”
බීගත්තම පහර දෙනවා..”
හිටි හැටියේම ඈ මට ලංවී තමා පිළිබඳ කතාව කියන්නට
වුවාය. පාක්ෂා සහ ඇය අතර ඇති සම්බන්ධකම් ගැන විස්තර කළාය. “ඇය හැමතැනම ඇවිදින
ජාතියේ අභිසාරිකාවකි...” ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි.
ඇකෝඩිනය දක්ෂ ලෙස වාදනය කරයි. ඔහු ඇය හමු වීමට ‘ආයතනයට’ ගිය අතර, ඈ ඔහුට කැමති
වුවාය. මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිඳු ඇඳුම් ඇන්ඳ බැවිනි. ඔහුගේ කබායේ
වටිනාකම රූබල් පහළොවක් විය, ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි.. මේ හේතු
නිසා ඈ ඔහුට ආලය කරන්නට වුවාය. ඔහු මුදල් නොගෙවා ඈ සමග සංවාසයෙහි යෙදෙමින් ඇගේ
“ණයකාරයකු” බවට පත්විය. ඉතින් මේ ණයකාරයා ඇයට වෙනත් මිනිසුගෙන් ලැබෙන ‘සන්තෝස
දීමනා’ රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය. එපමණක් නොව, අගේ ඇස් ඉදිරිපිටම
වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය...
“ඒක මගේ අමනාපයට කරුණක් නොවෙයිද? අනිත් එවුන්ට වැඩිය
මම නරක නැහැ.. ඌ මට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ, නීචයා. මම අපේ ආයතනයේ
ලොක්කිගේ අවසරය ඇතුව නිවාඩුවක් දාල උගේ ගෙදර ගියා. මෙන්න එතැන ලුන්කා බීල වෙරි
වෙලා ඉන්නවා. පාශ්කාත් හොඳට වෙරිවෙලා. මම ඔහුට මෙහෙම කිව්වා “යකෝ නුඹ නීචයෙක්,
ජඩයෙක්, පල්හොරෙක්!” ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න. මට පයින් ගැහුව්වා... හිසකෙස්
ඇද්දා.. ඒත් කමක් නැහැ! මගේ ඇඳුම් ටික ඉරා දැම්මා. මගේ සායයි හැට්ටෙයි ඉරලා
දැම්මා. දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා අලුතෙන් ගත්ත ඇඳුම්..
මගේ හිස බැඳි ලේන්සුවත් උදුරා ගත්තා.. අනේ දෙවියනේ! දැන් ඉතින් මොනවා කරන්ටද?” ඇගේ
කටහඬ බිඳී ගොස්, විලාප ගැසීමක් මතුවිය. සුළං හැමීම දැඩි වී සීතල තවත් වැඩිවිය. මගේ
දත් දෙපළ යළිත් එකටෙක ගැටෙන්නට විය. ඈ සීතල නිසා ගුලි ගැසී මා ලඟට කෙතරම් ඇදුනාද
යත්, අඳුර බිඳ මට ඇගේ දෙනෙතේහි කාන්තිය පවා පෙනිණි. “පිරිමි වන තොපි ජඩයෝ! තොපි
ඔක්කොම මගේ පයට පාගලා තොපේ අත් පා ඉරා දමන්ට ඇත්නම්.. පණ අදින පිරිමියෙකුගේ මුහුණට
කෙළ ගහන්නට මම ලෑස්තියි. කිසිම අනුකම්පාවක් නැතුව! වැදගැම්මකට නැති මී හරක්! හූල්ල
හූල්ලා නීච බල්ලෝ වගේ ගෑණු ළඟ කරකැවෙනවා. ගෑණියෙක් එහෙම නුඹලාගේ උපායට යටවුනොත්
උන්දෑ ඉවරයි, සිද්ධ වුනේ මොනවද කියල අවබෝධ කරගන්නටත් ඉස්සෙල්ලා ඒ ගෑණිව පාගලා
ඉවරයි... ගඳ ගහන වල් සත්තු..” ඈ නොයෙකුත් විදිහට බැණ වැදුණු අතර ඒ බැණීම්වලට යෙදූ
වචන ශක්තිය රහිත විය. ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවීය,
පොදු වශයෙන් ගත්විට ඇගේ කට හඬෙහි සන්සුන් ගතියක් තිබිණි. ඇය කියන දේ සමග එය
සමානුපාතික ලෙස කොහෙත්ම නොගැළපිණි. එමෙන්ම ඇගේ කතාවෙහි දොම්නස මුසු එකතානමයකි.
ඒ කෙසේ වුවද, මුල් කාලයේදී සහ පසු කාලයේදී මවිසින්
අසන ලද සහ කියවන ලද සියලු සර්ව අශුභ කතා හා පොත්වලට වැඩියෙන්, අද වුවද එවැනි
පොත්වලට හා අසන කතාවලට වැඩියෙන්, අගේ කතාව මා කෙරෙහි බලපෑවේය. මරණය පිළිබඳ ඉතා
සම්පූර්ණ ලෙස ලියන ලද කළා කෘතීන්වලට වඩා මියයන පුද්ගලයා මරණ මොහොතේදී විදින දුක්
වඩාත් ස්වභාවික වීමත් වඩාත් බලගතු වීමත් මෙයට හේතුවකි.
මගේ දොම්නස වඩාත් වැඩි වුයේ මා සමග ලැගුම් ගෙන සිටින
තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකිය. මා සෙමෙන්
සුසුම් ලෑ අතර මගේ දත් ගැටිණි. එවිටම මට කුඩා අත් දෙකක පහස දැනිණි. එකක් මගේ බෙල්ල
ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳිණ. ඒ සමගම බියමුසු සුරතල් ප්‍රශ්න ඇසිණ.
“නුඹට මක් වෙලාද?”
මගෙන් එලෙස ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු
බව සිතීමට මා සුදානම් ය. සියලු පිරිමින් දුෂ්ටයන් කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ
දැන්ය. එහෙත් දැන් ඉක්මනින්ම හා හදිසියකින්ම ඈ කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට
හීතල? වෙවුලනවද? මදෑ නුඹේ හැටි! කටවහගෙන ඉඳගෙන ඉන්නවා.. හරියට බස්සෙක් වගේ! නුඹට
හීතලයි කියල මීට ඉස්සෙල්ලා නොකීවේ ඇයි.. ඉතින් නුඹ බිම දිගා වෙයන්.. දිග ඇදියන්..
මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම! දැන් මාව දෑතින් තදවෙන්ට බදාගනින්.. තදවෙන්ට.. අන්න
එහෙම. දැන් නුඹට උණුසුමක් දැනෙනවා ඇති.. ඊට පස්සෙ අපි පිටට පිට දීල ඇලවෙමු. අපි
කොහොමහරි මේ රෑ මෙහෙම ගත කරමු. නුඹට මක් වෙලාද, බොන්ට පටන් ගත්තද? රස්සාවෙන්
පැන්නුවද? කමක් නැහැ! ඈ මා සැනසීමට උත්සාහ කළාය. ඈ මා දිරි ගැන්නුවාය.
මට තෙවරක්ම ශාප වේවා! මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක්
ඇද්ද! කල්පනා කර බලන්න! ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම ගැන විශාල සැලකිල්ලක්
දැක්වීමි, සමාජ ක්‍රමය ප්‍රතිසවිධාන කිරීම ගැන සිහින දුටිමි, දේශපාලන පෙරලි ගැන
කල්පනා කලෙමි, කතුවරයන් පවා තමන් විසින් ලියන ලද පොත් වල ගැඹුර අවබෝධ කරගත නොහැකි
තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒ වනවිට මා කියවා තිබිණි. ක්‍රියාකාරී විශාල බල
වේගයක් ලෙස නැනී සිටීමට මම ඒකාලයෙදී උත්සහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ
ගණිකාවකගෙනි, ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත්, පහකරනු ලැබූ
ගැහැනියක ගෙනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා යට ආධාර කල යුතුව තිබුණද,
මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණි. කලින් එය වටහා ගත්තද. එවැන්නක්
කිරීමට තරම් මා සමත් වෙතිද!
මේ සියල්ල මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත්, එය අමන
අවාසනාවත් සිහිනයක් නැවත සිතීමට මා සුදානම්ය.. එහෙත් එවැන්නක් සිතිය නොහැකිය.
මන්දයත් මගේ සිරුර මත සීතල වැහිපොද වැටෙන බැවිනි. මගේ පපුවට ගැහැණියකගේ පපුවක්
තදින් හේත්තු වී ඇත. අගේ උණුසුම් ප්‍රශ්වාස මට දැනෙයි. එහි තරමක් වොඩ්කා සුවඳක්
තිබුණද, එය ජීවමය බවෙන් ආඩු නැත.. සුසුම් ලන්නාක් මෙන් සුළං හමයි. බෝට්ටුව මත පතිත
වන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ රැළි ඝෝෂා කරයි. අපි දෙදෙන එකිනෙකා තදින් වැළඳගෙන
සිටියද, සීතලෙන් ගැහෙන්නට වීමු. මේ හැම දෙයක්ම සැබවින්ම වාස්තවියකය. එම යථාර්ථය
තරම් දුක්මුසු, අයහපත් සීනයක් කිසිවකු කිසි දිනෙක දැක නැතැයි මට සහතිකය. එහෙත්
නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඈ සුරතල් ලෙසත්, මෘදු ලෙසත් කතා
කරයි. ඇගේ කතාවේ ඇති ළාමක හා බොළඳ ගති නිසා මහද තුල කුඩා ආලෝකයක් පැන නැගිණි. ඉන්
පැන නැගි උණුසුම නිසා මගේ හදවතෙහි ගොඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදිය
සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය.. නතාෂා මට සැනසුම් බස් තෙපලන්නට
විය.
“අනේ මගේ හොඳ කොල්ලෝ නාඩා ඉඳින්! ඔය ඇති! දෙවියන්ගේ
පිහිටෙන් නුඹට ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් වේවී..” ඔවැනි සැනසුම් බස් ඈ
කියුවාය. අනතුරුව ඈ මා සිපගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝ සේ ඈ මා සිපගත්තාය.
ජීවිත විසින් මට පළමුවැනි එමෙන්ම ඉතාමත් හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය. මන්දයත් ඉන්පසුව ඇති වූ චුම්බනවලට මට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිඳු පලක් නොවූ බැවිනි. “නුඹ පුදුම කොල්ලෙක්. අඬන්නට එපා. නුඹට යන එන මගක් නැති නම් මම නුඹට තැනක් හොයලා දෙන්නම..” ඈ මට සහතික කරමින් මුමුණන සැටි ඇසුණේ සිහිනයකින් මෙනි. අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන එලෙස සිටියෙමු..”
එලිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට විත් නගරය දෙසට ගියෙමු... ඉක්බිතිව මිතුරන් සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය. මා මෙහි විස්තර කල සරත් සමයේ එක රැයක මා සමග ගතකල සුන්දර නතාෂා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය. ඈ මියගියා නම්, එය ඇයට කෙතරම් යහපත් දෙයක්ද! ඈට සදාකල් සමාදානය අත්වේවා! ඇය තවමත් ජීවතුන් අතර නම්, ඇගේ හදවතට සාමය උදාවේවා! ඇගේ ආත්මය කිසි විටෙක පාපය ඉදිරියේ දුබල නොවෙත්වා. මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඈ විඳින දුක් වලට එය අමතර බරක් වන බැවිනි.
- නිමි -
සුන්දර නතාෂා - මැක්සිම් ගෝර්කි
අනුවාදය - දැදිගම වී රුද්රිගු