අලුත් අවුරුද්දට වටිනම උපසෙස් ටිකක් තියෙන සින්දුවක් තියෙනව රෝහණ බැද්දගේ හා බන්දුල විජේවීර දෙපළ කියන. හැමදෙනාගේම පහුගිය ජීවිත වල සිදුවුණු අඩුපාඩු, වැරදි තියෙනව. ඒව හදාගෙන ඉස්සරහට යන්න ගන්න හොඳ ආරම්භයක් විදිහට අවුරුද්දෙන් පටන් ගන්න පුළුවන්. තමන්ගෙ විතරක් දියුණුව බලාපොරොත්තු නොවී අනිත් අයටත් උදව්වක් වෙමින් යන ගමන් තමයි සාර්ථක. ඒ නිසා අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් අපි ප්‍රාර්ථනා කරන සමාජ දියුණුවත් ඉබේම වාගේ සිදුවෙයි.

 

දොළොස් මහක් ගතවී යන මොහොතේ

අන්තිම දවසේ මැදියම් රෑ..

කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා..//

 

අවුරුද්දක් තිස්සේ කළ කීදේ

මතක් වෙනකොටත් සමහර එව්වට

මටම හිනා මස්සිනේ

අවුරුද්දක් තිස්සේ කල කීදේ

මතක් වෙනකොටත් සමහර එව්ව්වට

මට ඇඬෙනවා මස්සිනේ

උඹ අඬන්ටෙපා මස්සිනේ..

අඬන එකා දැක හිනැහෙන්ටෙපා මස්සිනේ..//

 

දොළොස් මහක්.....

 

අලුත් වසරේදී අලුත නැගී එන

කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්

ඇත දීපන් මස්සිනේ

අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි

ඒත් ඔය කපන්න බැරි අත

ඉඹින්ටෙපා මස්සිනේ

නැග්ග ඉනිමග පෙරලන්ටෙපා

නගින එකා දැක කකුලෙන් අදින්ටෙපා..//

 

දොළොස් මහක්...

 

පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්

යාන්තමට වගෙ ජාමේ බේරුණා

ඒත් මදැයි මස්සිනේ

ගොනා පිටේ හකුරුත් පටවාලා

වක්කඩේ හකුරු හංගා තියලා

හනේ වෙච්චි දේ මස්සිනේ

දැන් ගිය හකුරට නාඬන්නේ

ඔය තියෙන හකුර රැක ගන්නේ..//

        පද රචනය, සංගීතය - රෝහණ බැද්දගේ / ගායනය - රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර



ඔන්න ඉතින් දවසක් මිනිස් පුළුටක්වත් වැදිලා නැති කැලේකට තනියෙන යන්න ඕනෙ කියල එක මනුස්සයෙක්ට හිතුණ. මේ ජීවිතෙන් ඇති වැඩක් නෑ. මං කැලේ සත්තුන්ට දිවි පුදලා මැරෙනව. යන එකේ ආයේ මොකටද ඇඳුම්.. මොකෝ මිනිය දකින්න තව කවුරුවත් ඉන්න එකක් ඈ. උපන් ඇඳුමෙන් සැරසිලා මෙයා දැන් අර කැලේට ඇතුල් උනා. උනා තමයි මෙයාව දුර තියාම දකින දකින සතා පණ කඩාගෙන දුවනවා. ආ මේ කැලේ ඇතුළට ගියෙ පිරිමි කෙනෙක්. එහෙම නිර්භීත කමකින් ජීවිතේ අතැරලා දායිද ගෑණු පරානයක්.


මෙහෙම දුවන හැම සත්තු අතරෙ ගොන්නු, වලස්සු, අලි වගේ ලොකු ලොකු සත්තුත් ඉන්නව. සමහරු රැලේ අය දුවන හින්ද උනුත් දුවනව, රැල මග ඇරුනොත් කියල. මේ විදිහට රැලත් එක්ක දුවන එක මුවෙක් යන ගමන් කල්පනා කරා ඇයි මේ හැමෝම දුවන්නේ. අහන්නවත් විදිහක් නෑ. වටපිට බලබල දුවන මෙය දකිනව සිංහයාත් දුවනව. මාරම අවුල් වෙච්ච මෙයා කොහොම හරි දුවන සිංහය ගාවට කිට්ටුව කරා. “ඇයි කැලේ රජා වෙච්ච ඔයත් දුවන්නෙ.. ඇත්තටම මේ මොකක්ද වෙන්නෙ කියල”. සිංහයා කේන්තියෙන් ඇහුව “ඇයි තමුසෙ දන්නෙ නැද්ද කැලේට අලුත් සතෙක් ඇවිල්ල. මොන ජාතියේ සතෙක්ද දන්නේ නෑ.. උගේ නැට්ට තියෙන්නෙ අපේ වගේ ඉස්සරහ නෙමේලු. තමුසෙ එහෙම සතෙක් ගැන කිසි දවසක අහල තියෙනවද. ඒ හින්ද එනව අපිත් එක්ක පැහෙන්නෙ නැතුව.


 

සාමාන්‍යයෙන් තරුණ කලාකරුවන්ගෙ පේපර් ආටිකල් බහුතරයක තියෙන්නෙ හරයක් නැති වලපල්. කන බොන හැටි, දැන් මොනවාද කරන්නෙ, බඳින්නෙ කවුද, එයා කොයි පාටද, ඇඳුම් ගන්නෙ කොයි කඩෙන්ද වගේ දේවල් තමා ඒවයෙ වැඩි හරියක් තියෙන්නෙ. නැත්තං ලොවෙත් නැති දාර්ශනික ටෝක් හරිහමන් අවබෝධයක් නැතුව. ඒ එක්කම ඉතින් ඒව කරන මාධ්‍යවේදීන් කියන අය කොයි වගේ තැනක ඉන්නවද කියන එකත් හිතා ගන්න පුළුවන්. ලඟදි පුවත්පතක පළවෙලා තිබ්බ මේ ආර්ටිකල් එකේ වෙනස ඒ නිළිය දීල තිබ්බ මොලේ ඇති උත්තරත් එක්ක. දමිල නිළියක් එහෙම වෙනකොට සිංහල අය ගැන දුකකුත් ඇති වෙනවා ඒ අයට මොලයක් වගේ එකක් නැද්ද කියල. (බහුතරය ගැන මිසක් සියලු දෙනා ගැන නෙමේ). මොකද සමහරු අර කලින් කිව්ව වගේ පට්ට දාර්ශනිකයි ටෝක් දෙනවා, ලංකාවේ බහුතරයෙ ජාතිවාදයක් තියෙනවද නැද්ද කියලවත්  හරිහැටි දැනීමක් නැතුව. ඉතින් ඒ නිසා ඒ මත, අදහස් වල සතපහක වැදගත්කමක් නෑ. වෙන්නෙ කියවන අයගෙ මොළය කුරුවල් වෙන එක විතරයි.

නිරංජනී ශන්මුගරාජා නිළියගේ ඒ පළවුන  ආටිකල් එක සම්පුර්ණ එකම නැතුව මේ ටික විතරක් දාන්නම්..

ජාතිවාදී අරගල බහුල කරගත් රටක කලාව ඇතුළේ ජාතිවාදී, වර්ගවාදී සංකල්ප රැඳිලා තියෙන්නෙ කොහොමද? දමිළ කාන්තාවක් විදිහට මෙරට කලාව තුල ස්ථානගත වෙද්දි ඔබට අභියෝග ආවද?

මම කියන්නේ එක depend වෙනවා. ලංකාව ඇතුළේ වෙනත් ජාතියක කලාකරුවෙක්ට ජනප්‍රිය වෙන්න බැහැ. මිනිස්සු අතරට යන්න බැහැ කියන කතාව මම පිළිගන්නෙ නැහැ. මොකද පළමුවැනි නිළිය වන රුක්මණී දේවිත් දමිළ කාන්තාවක්. නමුත් ඇයව අදටත් මිනිස්සු හදවතින්ම වැළඳ ගන්නවා. කොහොමත් ගොඩක් ජනතාවට හෝ මගේ ප්‍රේක්ෂකයන්ට අදාළ නෑ මම දමිළද, මුස්ලිම්ද වෙන මොකක් හරිද කියන එක. ඔවුන් මගේ දක්ෂතාවට, හැකියාවට ගරු කරල මාව නිළියක් විදිහට, කලාකාරිනියක් විදිහට හදවතින් ම පිළිගන්නවා. ඔවුන්ගේ ආදරයේවත්, ගෞරවයෙවත් වෙනසක් නැහැ. හැබැයි මට සමහර රියලිටි වැඩසටහන්වලදි නම් අසාධාරණකම් සිද්ධවෙලා තියෙනවා. ඒ සමහර කලාකරුවො අතින්. සමහර ආගියුමන්ට්ස්වලදි එයාලට දිනන්න බැරි වුණාම මට දෙමළි කියල කියාපු අවස්ථා තියෙනවා. ඒ අත්දැකීම ගොඩක් වේදනාකාරී එකක්. මම හිතන්නෙ ජාතිවාදී ප්‍රශ්න කියන ඒව හැමෝම ඉස්මතු කරන දේවල් නෙමෙයි. ජාතිවාදී අදහස් සහිත, අනෙකාගේ පැත්තෙන් සවිඤානිකව හිතන්න බැරි පාර්ශව තමයි ගොඩක් වෙලාවට එහෙම කරන්නේ. කොහොමත් මම දමිළ නිළියක් වුනත් මේ වෙද්දී වැඩිපුරම රඟපාලා තියෙන්නේ සිංහල චිත්‍රපටවල.

 

මිනිස්සු ඇත්තටම ආදරේ කරන්න ඕන අදාළ කලාකරුවාගේ වෘත්තීය වටිනාකමට නෙමෙයි. අදාළ කලාකරුව තුළ ඉන්න ඇත්තම මනුස්සයාට. ගොඩක් කලාකරුවෝ ඕක හරියට වටහගන්න බැරුව තමයි ජනප්‍රියත්වය සහ අවධානය ලැබෙද්දී ඔළුව උදුම්මවා ගන්නේ. බොරුවට උඩ යන්නේ. අපි දැනගන්න ඕනෙ කලාකරුවෝ විදිහට ඕනම වෘත්තියක, ඕනම මනුස්සයෙක්ට එක වගේ ගරු කරන්න. ඒ වගේම කලාකරුවෝ කියන රාමුවෙන් ඉවත්වෙලා අපි තුළ ඉන්න සාමාන්‍ය මනුස්සයාට මිනිස්සු ආදරය කරන තැනට අපිව ගොඩනගාගන්න.

 

රැඟුම් පාලක මණ්ඩලයක් කියන එක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සඳහා මේ වෙද්දී මූලික අවශ්‍යතාවයක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. රැඟුම් පාලක මණ්ඩලයක් තිබූ පමණින්ම සියල්ල හරියන්නෙත් නෑ. මොකද දැන් සිනමාව බලන්නකෝ. ඒකට රැඟුම් පාලක මණ්ඩලයක් තිබුණට කිසිම වැදගත්කමක් නැති නිර්මාණ සඳහා කොයිතරම් අනුමැතිය ලැබෙනවද? මිනිස්සුන්ට බලන්නවත් තියා හිතාගන්නවත් බැරි නිර්මාණ සිනමා ශාලාවල පෙන්වනවා.

 

කිසිම දැනුමක් නැති අය බෝඩ්වල හිටියට වැඩක් නෑ. ලෝක සිනමාව ගැන, සිනමාවේ අප්ඩෙට්ස් ගැන, සිනමාවේ දිශානතිය ගැන අවබෝධයක් තියෙන පාර්ශව ඒවායේ ඉන්න ඕනේ. අනිත් දේ ඕන ජරාවක් අපේ මිනිස්සු බලයි කියල හිතන එක වැරදියි. අපේ රටේ ප්‍රේක්ෂකයන්ව එහෙම අවතක්සේරු කරන්න නරකයි.

 

මේ රටේ ඉන්න ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක්ට දේශපාලන දැක්මක් සහ අවබෝධයක් තියෙන්න ඕනෙ. ඒත් එක පෞද්ගලික වෙන්නත් ඕනෙ. අනික වැදගත්ම කාරණාව තමන්ට කලාකරුවෙක් විදිහට ගොඩනැගිල තියෙන famous එක පාවිච්චි කරල තමන්ගේ දේශපාලන මතවාදය අනිත් මිනිස්සුන්ට බලෙන් ඔබන්න යන්න හොඳ නෑ. එහෙම කරන ඕන තරම් කලාකාරයෝ මේ රටේ ඉන්නවා. මට එහෙම අය ගැන තියෙන්නෙ පහත් හැඟීමක්. ඒ වගේ තැනකට වැටෙන්න හොඳ නෑ. දේශපාලන දැක්ම මතවාදය කියන්නෙ අතිශය පෞද්ගලික කාරණාවක්.

 

කලාකරුවො කී දෙනෙක් අපි කලාවට මේක කරන්නම් අරක කරන්නම් කියල පාර්ලිමේන්තු ගියාද? හැබැයි ගියාට පස්සේ කලාවත් නෑ. පොරොන්දුත් නෑ.

 

මම හිතනවා රටක දියුණුවට නීතිය, අධ්‍යාපනය, දේශපාලනය තරමටම කලාවත් වැදගත් කියල. ඒ නිසා බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවක් මීට වැඩිය වගකීම් සහගතව වැඩ කරන්න ඕන.

මේ රටේ මාධ්‍ය අත්තනෝමතිකව ක්‍රියා කරන්න, මාධ්‍ය හැසිරවීම සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම කොයිතරම් දුරට බලපානවද?

ඕනම තැනකට rule එකක් ඕනේ. අපේ රටේ නීතිය කියල දෙයක් තියෙන නිසා තමයි සමහර අපරාධ අදටත් සිද්ධ වෙන්නේ නැත්තේ. සමහර අපරාධ සීමා සහිත වෙලා තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තියක් කියන මේ වෙලාවේ මාධ්‍යයේ මූලිකම අවශ්‍යතාවක්. මාධ්‍යවල අත්තනෝමතික හැසිරීම මගින් කොයි තරම් හානියක් සිද්ධ වෙනවද කියල සමහරවිට ඒ මාධ්‍ය නාලිකාවත් හරියට දන්නේ නෑ. මේ රටේ මාධ්‍ය කොච්චර පිරිහිලාද කිව්වොත් මම වැරැද්දක් කළොත් ගොඩක් වෙලාවට පත්තරේ මුල් පිටුවේ යන්නේ නිරංජනී මෙන්න මෙහෙම වැරද්දක් කළා කියල නෙමේ. නිරංජනී නම් දමිළ කාන්තාව මෙන්න මෙහෙම වැරද්දක් කළා කියල. මගේ ප්‍රශ්නෙට මාධ්‍ය අල්ලගන්නේ මාව විතරක් නෙවෙයි. මගේ ජාතිය, මගේ ආගම හා මාන්තර ම්නිස්සු ඔක්කොම. ඒ තරම් පිළිකුල් සහගත මාධ්‍ය සංස්කෘතියක් තමයි ලංකාවේ තියෙන්නේ. මේකට පාලනයක් අවශ්‍යමයි කියන තැන තමයි මම ඉන්නේ.

රටේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් විසින් අලුතෙන්ම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ව යම් යම් හේතු නිසා විවේචනයට ලක් කරන බව නොරහසක්. නවක කලාකාරිනියක් විදිහට මේ විෂමතාවට හේතූන් විදිහට ඔබ දකින්නේ කුමන කාරණාද?

මම නම් ජ්‍යෙෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නොවන විදිහට කලාකාරයෝ වර්ග කරන්න කැමති නෑ. ෆීල්ඩ් එකට ටිකක් පහුවෙලා ආව නම් ඒ අය දැනගන්න ඕනෙ එයාට කලින් ආපු අයට ගරු කරන්න. ඇහුම්කන් දෙන්න. ඒ වගේම කලින් ආපු අය දැනගන්න ඕන නවකයෝ වුනත් හැකියාව තියෙනව නම් අලුත් අයට ගරු කරන්න. නිසි තැන දෙන්න. මොකද අපි දන්නෙ නෑනෙ අලුතෙන් එන කෙනෙක් තව අවුරුදු 5කින් කොතන ඉඳීද කියල. ජ්‍යෙෂ්ඨද ජ්‍යෙෂ්ඨ නොවනද කියන කෑල්ල පැත්තකින් තියල කලාකරුවො විදිහට අපි හැමෝටම humble වෙන්න ඕනෙ.

හොඳම නිළිය කියන්නේ වෙනමම sector එකක්. ජනප්‍රිය කියල නිළිය වුණා කියල හොඳම නිළිය වෙන්න බෑ. තවත් අතකට හොඳම නිළිය වෙන කෙනාට ජනප්‍රියම නිළිය වෙන්නත් බෑ. හොඳම නිළිය අදාළ සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනාගෙන සම්මානයට පාත්‍ර වෙනවා. ජනප්‍රියම නිළිය ඉන් පරිබාහිර ඉන්න මිනිස්සුන්ගේ අවධානය දිනාගෙන සම්මානයට පාත්‍ර වෙනවා. ඒ කියන්නේ එකිනෙකාට වෙනස් ක්‍රම දෙකකින් ඔවුන් දෙන්නම දක්ෂයෝ. ඒ හින්ද අපිට බෙදීමක් හෝ වෙන් කිරීමක් කරන්න බෑ. හැබැයි ඔය දෙකම එකපාර කෙනෙක්ට දිනන්න පුළුවන් නම්, එකට දක්ෂතාවය විතරක් මදි වෙයි. එකට වාසනාවත් තියෙන්න ඕනෙ.


   මේකනම් පත්තරේක තිබුනෙ..

පිටිසර ප්‍රදේශයක හිටපු ගැමි යුවලකට තම එකම දරුවාට පෙලවහක් කරන්න කාලේ හරි කියල ඉතින් හෙව්වට ගමේ කෙල්ලො කැමති නෑ. මොකද පුතණ්ඩිය ටිකක් මෝඩ පහේ මොඩල් එකෙක් නිසා. තාත්තත් එක්ක කුඹුරු වැඩ ඇඟේ හයියට කරාට වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නෑ. ගෙදර අගහිඟකම් නිසා වෙන්න ඇති සමහර විට. ඉතින් බැරිම තැන බැඳල දෙන්නත් එපෑ.. ලොකු දෙන්න මැරුනොත් මේ යකා තනි වෙනවනෙ. ඉතින් පිට පලාතකින් කොහොම හරි මේ පුතණ්ඩියට පෙලවහක් කරල දීල. වැඩිමහල් දෙන්න වෙනම දැන් ඉන්නව. මේ හාදය දැන් බැන්ද පළවෙනි දවස.. නෝනා හදපු රෑ කෑමත් කාල ගෙනාපු රා කට්ටකුත් ගහල. සුපුරුදු පරිදි ගියා ගෙයි එළිපත්තට දා ගත්ත පැදුර ගොරෝද්දෙ ඇද ඇද නිදි. අර කැන්දන් ආපු  කෙල්ල රෑ පුරාම අඬල. උදේ ආපු දෙමහල්ලෝ දෙන්න ඉතින් වෙච්ච වැඩේ තේරුම් අරං.. තාත්ත පුතාට ලංවෙලා ඇහුව “මොකද්ද යකෝ මේ කරපු නස්පැත්තිය. තො මෙතන රෑ තිස්සේ දපල.. අර කෙළි ගෙයි තනියෙම” කියල වැඩේ තේරුම් කරලා දෙන්න හදල. ඊට පස්සේ මේ යොදය කියල “මං මොනවා කියල කරනද ඕකිට.. දීපු බත්පතත් කාල මං මේ මෙතනට වෙලා පැදුරු පඩංගුවෙ නිදා ගත්ත විතරයි. මං ඒකිව අතකින්වත් ඇල්ලුවෙ නෑ ඕන්. ඔය අඬන්න ඇත්තෙ ගෙදර ඈයො මතක් වෙලා වෙන්ට ඇති..

ඒ කියන්නෙ ඉතින් මනමාලි පළමු දා ඇඬුවොත් ඒ අඬන්නේ ගෙදර ඈයො මතක් වෙලා....

 

කාලෙකට පස්සේ හොඳ සිංහල චිත්‍රපටියක් බලන්න පුළුවන් උනා. මේක බලද්දී මනෝරත්නයන්ගෙ ගුරු තරුව වේදිකා නාට්‍ය බලපු අයට මතක් වෙන්න ඇති සමහර විට.. පොඩි පොඩි film festival වල පෙන්නල සම්මානයක්, දෙකක් අරගෙන තමුන් වෙනස් විදිහෙ කෙනෙක් කියල පෙන්නන්න දඟලන රැල්ලෙනුත්, ඉතිහාසකතා වාර්තාකරණ රැල්ලෙනුත් හෙම්බත් උන අයට හොඳ චිත්‍රපටියක් දායාද කිරීම ගැන ඇත්තටම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට ඇතුළු සියලු දෙනාට... ඇත්තටම පින්. කන්න අතට ගන්න බත් පත ඇතුලෙ රසායන ද්‍රව්‍ය  හැට හුටහමාරක් තියෙන කොට ඒවත් එක්ක මුළු ජීවිතේම ඔට්ටුවෙන ජීවිත මොනවගේ ඇද්ද, ඒ අය මොකක් නිසා මේ දේවල් භාවිත කරන තත්වයට පත්උනාද කියල විතරක් නෙමේ ඒ වගේ පවුලක ඉපදුණු දරුවන් දෙදෙනෙකුගෙ අනාගතය කොහොම ගොඩනැගෙනවද කියල මනාවට පෙන්වන චිත්‍රපටියක්.. කලාත්මක දේශපාලනික චිත්‍රපටියක්. සමර චිත්‍රපටි දේශපාලනිකයි, රැඩිකල් කිව්වට ඒවයි මේ තරම්වත් දේශපාලන අර්ථගැන්වීමක් දකින්නට නෑ. ඒවායෙ තියෙන්නෙ පුහු රැඩිකල්, පෞද්ගලික මතවාද බලෙන් ප්‍රේක්ෂකයාට දමා ගැසීමක්.

දරිද්‍රතාවෙ පතුලෙම ඉන්න පවුලක නිවුන් දරුවන් දෙන්නෙක්. දෙසොයුරන්ගෙන් කෙනෙක් දැනුම, ගණිත ආදී විෂයනට දක්ෂ වෙද්දි අනෙක සෞන්දර්ය හැකියාවන්ට දක්ෂව එයට නැඹුරු වෙනව. රසාස්වාදය, රසවින්දනය, කලාව, ඉතිහාසය කප්පාදු කරපු රැකියා වෙළඳපොල සඳහා පමණක්ම ඉලක්කගත වෙච්ච අධ්‍යාපන මොඩලයට... ලෝකෙ ඉහලම තැනෙක තියෙනව යැයි පාරම්භාන ලංකාවේ වනපොත් අධ්‍යාපනයට මේ දරුවන් දෙන්නත් ඉතින් අකුරු කරන්න යනවා. එතැනදී ගණන් බැරි දරුවා මොට්ටය වෙද්දි කලාව මොට දරුව දක්ෂය වෙනව. තමන්ගෙ බාල සහෝදරයට වඩා පරිසරයට, පවුලට ආදරය කරන, කළා හැකියාව ඇති දරුව මේ අධ්‍යාපන රටාව ඇතුලෙ fail වෙනව... මේකද අපිට, අනාගත සමාජයට අවශ්‍ය අධ්‍යාපනය යැයි ප්‍රශ්නයක් ඉතිරි කරමින් චිත්‍රපටිය නිම වෙනව. පලිබෝධනාශක අවුලෙන් පටන් අරගෙන ගුරු කේන්ද්‍රගත අධ්‍යාපනයෙ ඇති අවුළ පෙන්වමින් චිත්‍රපටිය නිමවෙනව. හරියට මේ අධ්‍යාපනයත් දරුවන්ගෙ අනාගතයට පලිබෝධනයක්, විසක් වෙන්න බැරිදැයි යන හැඟීමක් මතු කරමින්. නමුත් අවසන් කරන්නෙ බලාපොරොත්තුවක් සහිතව (එය හොද සිනමා නිර්මාණයක් දකින්න ලැබෙන ලක්ෂණයක්). ඒ ගුරුවරය ගණන් හදන්නට බැරි දරුවගෙ කවියට හැඟීම්බර වෙලා වෙනද කරන දඬුවම් දීම අතෑරලා පාඩම් කියා දෙන්න පටන් ගැනීමත් එක්ක.. පරිමාව හා ධාරිතාව මාතෘකාව විදිහට ගනිමින්. මාතෘකාව පෙන්වමින්ම තිරය වැහෙනව.

මෙහි දකින්නට පුලුවන් තවත් ඉතාම හොඳ දෙයක් තමා සංගීතයට, කලාවට ලැදි වැඩිමලා සෙනෙහස, ආදරයට හිත ඇති කෙනෙක් වෙලා අනෙකා ඒකෙ ප්‍රතිවිරුද්ධ පාර්ශවය විදිහට නොදක්වපු එක. ඒ කියන්නෙ ඔහු අකාරුණික, සංගීතයට අකමැති කෙනෙක් විදිහට නොදක්වපු එක... හාමුදුරුවො දැක්කම අයින් වෙලා වැඩිමලා වඳීද්දී, බාලය කිසිම ගෞරවයක් නැතුව යන කෙනෙක් කරේ නෑ. ඔහු වැන්දේ නැති උනත් පාරේ ඉඩ දීල හිටිය. සංගීත පන්තියට ගොඩ නොවැදුනත් ගෙදරදී සිංදු මිමිනුව. ලෝකෙත් එහෙම තමා. අපිට කවුරුවත් මෙයා හොඳයි, මෙයාගෙ නරක විතරමයි කියල වෙන් කරන්න බැහැ. ඉන්නෙ හොඳ අඩු හෝ නරක අඩු හොඳ වැඩි පිරිසක් විතරයි.. චිත්‍රපටියෙ ප්‍රධාන චරිත දෙකේ සංකලනය මේ කාරණාවත් එක්ක බලද්දී ඉතාම ප්‍රශස්තයි. මොකද දරුවන් කොහොමත අහිංසක අය. ඒ නිසා මෙයා නරකයි, මුරණ්ඩුයි කියල හංවඩු ගැසීම උචිත නැහැ. ඒක හොඳින්ම ප්‍රකට වෙනව මේ චිත්‍රපටිදි තැනක තමුන්ගෙ අයියට ගුටිකන්න වෙයිද කියල හිතිලා පාඩමට දක්ෂ මල්ලි ඇස්වල කඳුළු පුරෝගෙන අඬන සිද්ධියෙන්. මේක එන්නෙ අර කවිය කියන හරියෙ. ළමයි කවදත් අහිංසකයි. අහිංසක, අංගුලිමාල වෙන්නෙ.. ඒ අහිංසක බව නැති වෙන්නෙ සමාජසංස්ථාව නිසාමයි.

මේ  චිත්‍රපටියෙ ප්‍රධාන භූමිකාව විදිහට දකින නිවුන් දරුවෝ දෙන්නෙත් අනෙත් ජැක්සන් ඇතුළු අය තරම්ම දක්ෂ රංගනයක නිරත වෙනව. නවකයො උනත්. ඒ වගේම සිනමාත්මක බව, රූපක භාවිතය, නාද සංකලනය වගේම ඇඳුම්පැළඳුම් හා වේශනිරූපණයත් ඉතාම උසස්. ඒ වගේම චිත්‍රපටිය අතරතුරදී සීය වගේම, අන්තිම හරියෙදි දරුවත් ඉදිරිපත් කරන කවි පෙළ ඉතාම හැඟීම්බරයි.. මේ කවි පෙළ ගැන මහමෙව්නාවෙ වලිමඩ ශ්‍රද්ධාසීල ස්වාමින් වහන්සේ අරුත් ගැන්වීමක් කරල තිබුණ මෙන්න මෙහෙම -

මෙය ජනාප්‍රවාදයෙ තියෙන කතාවක්. කෑම නැති කාලයක කොබෙයි කිරිල්ලියක් පැටියට කන්න මී මල් ගේනව. දවසක් කොබෙයි අම්ම එනකොට මල් ටිකයි. පැටියට කිව්ව උඹ ටිකක් කන්න කියල.. අහල නෑ තව දවසක එද්දීත් මල් ටිකයි. කේන්ති ගිය කොබෙයි අම්ම කොටාගෙන කොටාගෙන ගියා. පැටිය මරුන. කොබෙයියත් බලං හිටිය කරන්න දෙයක් නැතිව. වෙලා තිබිල තියෙන්නෙ අව්වට වේලිලා මල් මැලවිලා, ටිකක් වෙලා. පමාවෙලා වැස්සක් වහිද්දි මල් ආයෙත් දිගහැරෙන්න අරන්. මල් අඩු උනෙ පැටියගෙ වරදක් නිසා නෙමේ. ඉතින් අඬන කොබෙයි ලියව සනසගන්න, කොබෙයිය කියනවලු ‘උබේ අතේ වරද නැහැ ඒ මේ සංසාරෙ හැටි ’ කියල. ඉතින් අනිත් කොබෙයියෝ පුබ්බුරුම් පුතා කෝ කෝ කියල කෑ ගහද්දීන් මටත් වෙනදට වඩා තනිකම වැඩි. උඹත් අඬනවා.. ඒ නිසා මං ලඟම කියව කියව ඉන්නේ නැතුව ඕක නොදන්න අයට ගිහින් කියන්න  කියල කොබෙයිය, කොබෙයි ලියට කියනවලු.. (ඕක තමා කවියෙ අන්තර්ගතය)





    මේකනම් ඇත්ත කතාවක්... ඔන්න ගම්බද පලාතක වාසය කරපු මැදි වයසේ දෙදරු මවක් හිටියලු. මෙයාගෙ පිලිවෙලේ හොඳ කමට බැංකුවට යන්න passbook එක හොයද්දි තමයි දන්නෙ එක කාලෙක ඉඳල ආගිය අතක් නෑ කියල. දහඅතේ කල්පනා කරල හොයනව ඉතින් දැන්. ළමයි දෙන්නගෙනුත් පොත හොයාගන්න උදව්වක් නැති නිසා බැන බැන තමයි හොයන්නෙ. “මට මේක හොයල දෙන්න උදව් වෙයල්ලකෝ. ගෙදර වැඩක් කරනනෙත් නෑ. උදව්වක් ඉල්ලුවහම එක කරන්නත් බෑ. ෆෝන් වලම එල්ලිලා හිටපල්ලාකො. මොකට හැදුවද මුන් වගේ දෙන්නෙක්..

බැරිම තැන පොතත් නැතුව ගිය බැංකුවට. මේ දුක්ගැනවිල්ල අහපු බංකුවේ මැනේජර් මහත්තය “ඔයා දිවුරුම් සහතිකයක් ලියල අත්සන් කරල ගෙනත් දෙන්න, මගේ බැංකු පොත නැති වුණා කියල. එතකොට අපි ආයේ අලුත් එකක් හදල දෙන්නම් ” කියල කිව්ව. ආයෙ ගෑණි දහඅතේ කල්පනා කරා දිවුරුම් සහතිකයක් ලියන්නෙ කොහොමද කියල. එච්චර ඉගනුමක් නෑ කියන්නේ සමහර වෙලාවට ඉතින් ඉස්කෝලෙ යන කාලෙම ගෙදරින් පැනල ඇවිල්ල වෙන්න ඇති. ගෙදර ඇවිත් ළමයි දෙන්නගෙනුත් ඇහුව “උඹල දෙන්න දන්නවද දිවුරුම් සහතිකයක් ලියන්න”. ළමයි දෙන්නම එක වචනයයි පිටකලේ ඒ නෑ කියල. ආයේ ළමයි දෙන්නටත් ආයෙත් බැන බැන ගත්ත කොලයක් “දෙයියම්පල්ල මාගේ බැංකු පොත නැතිවී ඇත. බේබදු මගෙ මිනිහයි, මගේ දරුවෝ දෙන්නයි පල්ල මගෙ බැංකු පොත නැතිවී ඇත. අලුත් එකක් ලබා දෙන්න” කියල ලියල පහුවදා ගියා බැංකුවට. මේක දැක්ක බංකුවේ මැනේජර් බොහොම අමාරුවෙන් හිනා නොවී මේ අසරණ ගෑණු කෙනාට හරි විදිහට ඒක ලියල දීල අත්සන් කරවගෙන, ඇයට අලුත් බැංකු පොතක් අරං දීල.

 

    වෛද්‍යවරු තමන්ගෙ දරුවන්ට ලොකු ලොකු පාසල් ඉල්ලපු, සැප පහසුකම් ඉල්ලපු කතා පත්තරයකින් දැකල ඒ හැටි වැඩිකාලයක් නෑ. ඊට හාත්පසින්ම වෙනස් විදිහට ගති පැවතුම් ඇති වෛද්‍යවරයෙක් ගැන ගිය ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාකරලා තිබුණ. පා පැදියෙන් රෝහල් යන දොස්තර කියල. නිකං දොස්තර කෙනෙකුත් නෙමෙයි විශේෂඥ වෛද්‍යවරයෙක්. සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක්ව අපි දකින්න කැමති ටයි දාගෙන කාර් එකක එන කෙනෙක් විදිහට. දොස්තරල කැමතිත් උපරිම ඒ විදිහට ඉන්න. නැත්තං අරවගේ ඉල්ලීම් ඉදිරිපත් කරයිද?. ඒත් කරන සේවයත්, තියෙන දැනුම, දක්ෂකමත් හා යන එන වාහනෙ අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවද.. බයිසිකලෙන් ආවොත් වෙදකම කරන්න බැරිද?. මේ කියන්නෙ ඉරිච්ච කොට කලිසමක් ගහන් බුලත්විටක් කෑවත් කමක් නෑ වැඩේ කරනවනම් කියන එක නෙමේ. දොස්තර කෙනෙක් වේවා, වෙන උගතෙක් හෝ කවුරුවත් අමුතුවෙන් පුම්බගෙන ඉන්න ඕනෙ නෑනෙ. ලංකාවේ කොහොමත් ගොඩක් අය යන්න හදන්නෙ අඩි 2, 3ක් උඩින් නිසයි මේ කියන අවුල එන්නෙ. ඒ නිසානෙ මේ විශේෂඥ වෛද්‍යවරයගෙ ආටිකල් එකක් පත්තරේ දාන්න තරම් සුවිශේෂී උනෙත්. අපි ගොඩක් දෙනා වාහනයක් ගත්තොත් ළඟ කඩේට යන්නත් කාර් එක නැතුව බෑ බෑ වගේ. එතකොට ඉතින් ඇපල් ගෙඩියක් ගන්න ගියත් යන්න වෙන්නෙ supar-market එකකකට. මොකද කාර් එක park කරන්න තැනකුත් එපා. පාරේ traffic එකත් වැඩි කරන් ඇපල් ගන්න supar-market එන කෙනාට දොර අරින්න කෙනෙකුත් ඉන්න නිසා තවත් මැරු. මොකද දොර අරින එක්කෙනත් sir, miss කියාගෙනනෙ දොර අරින්නෙ. හැබැයි මේ chance එක බඩු 100ක් ගන්න උනත් පයින් එන කෙනාට සෙට් වෙන්නෙ නැති තරම්.. ඔහොමයි අපෙ සමාජ තත්වය maintain කිරීම.. හරිම professional. හැබැයි ඉතින් හිතින් දුප්පත්. හරි කුහකයි. ඉරිසියයි. පෙරේතයි. අනිත් කෙනා ඉස්සරහට යනවට කැමති නෑ. ඉවසන්න බෑ. දරාගැනීමේ හැකියාව අන්තිමයි. පට්ට ආත්මාර්ථය මතම උපත හා වර්ධනය වෙච්ච කොටසක් (බොහෝ) වගේ. ඉතින් මෙහෙම දොස්තර මහත්තයෙක් දැක්කම ඒක අපිට news එකක්... (මෙහෙම ජීවත්වන සරල චරිත නැතුවම නොවේ).

    ඉතින් මේ වෛද්‍යවරයා කියල තියෙනව තමුන්ගෙ සරීර සෞඛ්‍යයට වගේම මානසිකත්වයටත්, තමුන්ගෙ මානය නැති කරගන්නටත් එය ඉවහල් වෙනව කියල. ඉතින් මෙහෙම බයිසිකලෙන් යන්නෙ ගැලපෙන විදිහට ඇඳපැළඳගෙන කියල තියෙනව. මොකද ටයි දාලත් බෑ, කොට කලිසම් ගහලත් බෑනෙ. තත්වයට ගැළපෙන විදිහට casual අඳිනව ඇති. ඉතින් මෙහෙම යනකොට සමහර කාර්වල යන උදවිය අහනවලු දාගන යන්නද කියල. මොකටද නිකං කකුල් රිද්දගන්නෙ කියල වෙන්න ඇති ඉතින්... ඒ වෙලාවට ඉතින් doctorට හිනා පාරක් යනවලු. තව දුරටත් doctor කියල තියෙනව මම බයිසිකලෙන් එනකොට මට මාව කවුද කියන එක වැටහෙන්න ගත්ත. මං කරන්න ඕන මොනවද කියල අවබෝධ වෙන්න ගත්ත කියල. ඒ කියන්නෙ ඉතින් ලීස් දාල දහදුක් විඳල වාහන ගත්ත අපේ අයට අපි කවුද, මොනවද කරන්න ඕන කියල හරි තේරුමක් නැති වෙන්න ඇති... නැත්තං එහෙම කියන්නෙ නෑනෙ. ඉතින් මේ සරලව ජීවත්වන ගැඹුරු අවබෝධයක් ඇති doctor ඉන්නව කියන්නෙ බදුල්ල නොමේරු ළදරු එකකය භාර ළමා රෝග විශේෂඥ විදිහටලු. ඉතින් නොමේරු අයට හම්බෙන්න කියාපු doctor... එතුමාගෙ නම තමයි වෛද්‍ය සේනක ගුණතිලක.

    ඒ වගේම සේනක doctor සඳහන් කරල තිබුන හැම ගෙදරකම ජංගම දුරකථන කිහිපයක් තියෙනව (ඇත්තනෙ පෙරපාසල යන එකා ලඟත් touch screen) නම් හැම ගෙදරකම බයිසිකලයක් තිබුනොත් නරකද කියල. ගෙදර තියල තියන්න නෙමේ හැමදෙනාගෙම පාවිච්චියට..


වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්