රූපය - අන්තර්ජාලයෙන්

මැරෙන්න කලියෙන් කරන්න ඕන දේවල් කොලේක ලියල හරි, හිතේ තියාගත්ත හරි.. ඒ හැම දෙයක්ම කරන්න කෙනෙකුට පුළුවන් වෙයිද... එහෙම කරපු අයත් නොහිටියම නෙමේ. ගොඩක් වෙලාවට ඒවා හීන විතරක් වෙන්නෙ සල්ලි නැති කමත් එක්ක.. The Bucket List (2007) චිත්‍රපටයෙ කතාව පෙළ ගැහෙන්නෙත් ඔය සම්බන්ධව. දුප්පත් වයසක කාටර් හා සල්ලිකාර වයසක එඩ්වඩ් එකම රෝහල් කාමරේ එකම ලෙඩකට බේත් ගන්න අතරෙ ඇතිවන හදිසි මිතුදමත් එක්ක ඉදිරියට වෙන දේ තමයි චිත්‍රපටයෙ අන්තර්ගතය. චිත්‍රපටිය පටන් ගන්න හරියෙම වෙච්ච වැරද්දක් තමයි සල්ලිකාර එඩ්වඩ්ට තමුන්ටම අයත් රෝහලේ තනි කාමරයක් ගන්න බැරි වීම. දෙන්නගෙ හමුවීම කොහොමින් හරි වෙන්න ඕන නිසා තමුන්ම හදපු රෝහල් නීතිය වෙනස් කර ගන්න බැරි වෙනව අයිතිකාරයට. වැරද්දක් විදිහට පේන අනිත් දේ තමයි දුප්පත් මරුකටේ ඉන්න කාටර් තමුන්ට වගේම වැඩි කාලයක් නැති එඩ්වඩ්ගෙ හදිසි තීරණයක් උන “මැරෙන්න කලින් කරන්න ඕන list එක” ක්‍රියාත්මක කරන්න එකඟ වීම. ජීවිත බය ඇති, බිරිඳ දරුවන් ගැන වගකීම් සහගත, අනෙකා ගැන හිතන කාටර් මරණයට මාස ගණනක් තියෙද්දී වගකීම් විරහිත, ජීවිතයේ කිසිම සැලසුමක් නැති, පවුලක් නැති එඩ්වඩ්ගෙ චාරිකා සහයකයා වෙනවා සුළු මොහොතකින්. බිරිඳගෙ විරුද්ධත්වය මත උනත්. මෙහෙම හදිසි චරිත වෙනස් වීමක් විශේෂයෙන් මරණය අභියස/ දරුණු පිළිකාවක් එක්ක... ප්‍රේක්ෂකයාට ගෙනෙද්දී ඉතාම පරීක්ෂාකාරී විය යුතුයි කියලයි මගේ හැඟීම. විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණයක් නිසා. ඒත් නිර්මාණයක් කියන්නෙ ඇත්ත ජීවිතයම නෙමේ උනත් නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා ගැන හිතන්න උවමනායි..

Jack Nicholson, Morgan Freeman දෙදෙනාගෙ නියම රඟපෑමක් දකින්න පුළුවන් මේ චිත්‍රපටිය Rob Reiner තමා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරේ. Rob Reinerගෙ තවත් මතක ඇති චිත්‍රපටි Stand by Me (1986), A Few Good Men (1992), When Harry Met Sally... (1989) වගේ ඒවා. ඒ වගේම ඔහුගෙ ගොඩක් film වල music වලට සම්බන්ධ වුනු Marc Shaiman තමයි මේකෙත් සංගීතය. හොඳ හා නරක විවේචන දෙකම ලැබුණ උනත් National Board of Review එක 2007දී ආ film අතුරෙන් top ten ලැයිස්තුවට ඇතුළත් කර තිබුණ. ඒ වගේම IMDB එකේ 7.4/10 ගනිද්දී 41% Rotten Tomatoes වල දැක්වුනු අතර සාර්ථක Box Office චිත්‍රපටියක් උනා.

 දුප්පතාටත්, පෝසතාටත් රෝගී වීම උරුමයි. සමාජ පරතර කෙසේ වෙතත් මරණය අභියස දෙදෙනාම එක මට්ටමක (එකම කාමරේ) ඉන්න බවක් එක් පැත්තකින් චිත්‍රපටිය තුලින් ගම්‍ය වෙනවා. ඒ වගේම කොයි විදිහට ජීවත්වෙන මිනිහට උනත් ලෙඩවීම හා මරණය ඒ හැම කෙනාටම පොදුයි වගේ අදහසක්ද චිත්‍රපටිය මුල් හරියෙ දැනෙන්න ගන්නවා.

කොහොමින් හරි දෙන්න Sky Diving, Car Driving, චීන මහා ප්‍රාකාරය, ටජ්මහල... වගේ list එකේ තියෙන දේවල් අතරින් බොහොමක් එකට සම්පූර්ණ කරනවා. ඒ අතර දෙදනා අතර ඇතිවන සංවාද, අදහස් හුවමාරු ගැඹුරුයි. ඒ කතාබස් චිත්‍රපටය වැඩිපුර අර්ථවත් කරනව වගේම ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතිරි කරනවා.

“මම බැඳලා ඉන්න කැමති... ප්‍රශ්නෙ කියන්නෙ මං තනිකඩව ඉන්නත් කැමති. දෙකම එක පාර කරන්නයි අමාරුයි”

අවුරුදු 45ක් වේගෙන් ගෙවිල ගියා.. හරියට සිදුරකින් දුම් පිට උනා වගේ”

“මැරෙන දවස දැන ගන්න කැමතිද කියල මිනිස්සු 1000ගෙන් ඇහුවම 94% කියල තිබ්බෙ නැහැ. මන් කැමති ඉතුරු 4% අයත් වෙන්න

දෙන්නා ලෝකේ විඳ ගනිමින් list එක සම්පූර්ණ කරගන්න යන ගමනෙ... මරණය දක්වා යන ගමනෙ දෙන්නට දෙන්නා ගැනත්, ජීවිතය ගැනත් යම් දුරකට තේරුම් යනව. දෙන්නගෙම වයසට පත් ජීවිතවල කාටවත් නොකියා විඳපු තැන් බෙදා ගන්නට, අදහස් හුවමාරු කරගන්නට සගයෙක් හම්බවෙනවා. ඒ වගේම දෙන්නගෙ සිතුම් පැතුම් පවා වෙනසට ලක් වෙනවා. අවසානේ එඩ්වඩ් හම්බෙන්නෙ නෑ කියල ඉන්න දුවව හම්බෙන්න යනවා. ඒ කාටර් list එකට ඒක දැම්ම නිසාත් ඔහුගෙ කැමැත්ත නිසාත් හා එඩ්වඩ්ගෙ වෙනස් වීම නිසාත්. ඒ වගේම “ලෝකේ ලස්සනම කෙල්ලෙක්ගෙ මුහුණ ඉඹින්න” list එකට දාපු එඩ්වඩ්ගෙ ඒ ආසාවත් දුවගෙ දුව (මිනිබිරිය) නිසා ඉෂ්ඨ වෙනවා. ඉතින් ජීවිතේ වෙන සමහර සිද්ධි නරකමත් නැහැ වගේ. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කිව්වා වගේ Bucket List එක නිසා වයසට ගියත් කාටර්, එඩ්වඩ් හොඳ පැත්තට හැරුණ. මරණයට තියෙන්නෙ තව ටික කාලයක් උනත්...


  ලෝකයේ පෙණහැල්ල විදිහට පරිසරවේදියෝ, විද්‍යාඥයො හඳුන්වන ඇමසන් වැසි වනාන්තරය ගැන ආයෙමත් අවධානය යොමු වෙලා, යොමු කරන්න වෙලා.. ඒ Amazon 2020 අගෝස්තු සහ 2021 ජූලි අතර කාලය තුළ වර්ග කි.මී. 10,476 ක් අහිමි වූ බව වාර්තාව වීමත් එක්ක. නිව් යෝර්ක් නගරයේ වගේ 13 ගුණයක් විශාලයි මේ කියන ප්‍රමාණය.

චායාරුපය අන්තර්ජාලයෙන්

Amazon වනය අසමසම වෙන්නෙ... ජෛව විවිධත්වය, ස්වදේශික ගෝත්‍රික පිරිස, දුර්ලභම සත්ව හා ශාකත් එක්ක. විද්‍යාත්මක වර්ගීකරයට අනුව දුර්ලභ ශාක හා සත්ව විශේෂ (වඳවී යන) වගේම සොයාගත් ක්ෂීරපායින් 427ද, උභය ජීවීන් 428ද, පක්ෂීන් 1294 පමණද, මත්ස්‍ය 2200ද, උරඟයින් 378ද, හා ස්වදේශීය ගෝත්‍ර පිරිසක්ද ඉන්නව. ඒ වගේම මුළු පෘතුවියේ සිටිනා කුරුලු විශේෂ 5/1ක්ද ඉන්නෙ Amazon වල. එතකොට අපි ෆිල්ම් වලින් දැකපු උරඟ පවුලේ විශාලම සතා වන ඇනකොණ්ඩ ඉන්නෙත් මෙහෙ. ඒ වගේම අධික විෂ සහිත ශාක හා සත්ව කොටසද Amazon සතුයි. කොච්චර විසද කියල තේරුම් ගන්න පුළුවන් සමහර සතුන්ගේ විෂ ශරීර ගතවුන පුද්ගලයා පැය භාගයක් යන්නත් කලින් මැරෙනව කියද්දි. රටවල් කිහිපයක් පුරා පැතිරුණු ලෝක උරුමයක් වන Amazon වගේම ඒ සතුව තියෙන Amazon ගඟත් රටවල් කිහිපයක් පසුකරමින් තමයි මුහුදට ගලා යන්නෙ. ලෝකයේ දෙවෙනියාට විශාලත්වය දරන මේ ගඟෙ දිග 6400km වෙනකොට වැඩිම පළල් ස්ථානයේ පරතරය 30km කටත් වැඩි. ගඟෙන් මුහුදට වතුර වැටෙන තැන ඉඳල 150km තරම් දුරකට යනතාක් ඒ ජලයේ ලවන ප්‍රමාණය බෙහෙවින් අඩුයි. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් කොච්චර ජල පරිමාවක් මේ Amazon ගඟෙන් සාගරයට එකතු කරනවද කියල.

බ්‍රසීලය, පේරු, බොලිවියාව, කොලොම්බියාව, වෙනිසියුලාව ඇතුළු රටවල් නවයක් පුරා තියෙන Amazon වල වැඩි කොටසක් අයත් වන්නේ බ්‍රසීලයට. ජනාවාස බිහිවීම, වනාන්තර එළිපෙහෙළි කිරීම, පාරවල් සෑදීම, ගිනි ගැනීම්, නියඟය වගේ දේවල් නිසා ලෝකයට මහා සම්පතක් වෙන Amazon ටිකෙන් ටික විනාසයට තමා යන්නෙ. පරිසරවේදියෝ, පරිසර හා සත්ව විද්‍යාඥයො මේ ගැන නිතරම වාර්තා කිරීම්, බලධාරීන්ට දැනුම් දීම් කොච්චර කළත් කිසිම ප්‍රයෝජනයක් නැති තරම්.. මොකද මෙහෙ වගේ දේශපාලන අතපෙවීම් එක්ක ඒ හැම දේම වැහිලා යන නිසා. විනාසය තව තවත් වැඩි වෙන්න පටන් අරං තියෙන්නෙ Amazon භූමියේ තෙල් තියෙන බව තෙල් සමාගම් දැන ගත්තහම. කල් යද්දී සමාගම් වලට අධිකරණයට යන්නත් වෙන්නෙ වැඩ වල හොඳ කම නිසා. ඒත් විනාසය එහෙමමයි..

ආර්ථික වාසි තකා මේ වගේ දේවල් සිදු වෙද්දි අධිවේගී මාර්ගයක්ද Amazon වල හදල තියෙනව. මේ මාර්ගය නිසා Amazonවල වෙන විනාශය තවතවත් වැඩි කරමින් වායු දුෂණය, පාංශු ඛාදනය, ශාක විනාශය, භූගත ජල පෝෂකවලට හා සත්ව ජීවිතයටද ඇති බාධක වැඩි. මේ පාරක් නිසා දෙකට බෙදුණු Amazon ගැන අදාළ බලධාරීන් හෝ ඒ රටවල පාලකයන් වගේ වගක් නැතුව වාගේ ආර්ථික හා පුහු සංවර්ධනයක් ගැන කිය කියා ඉන්නව ලංකාවේ වගේ. මේ වගේ වැඩ වලදී එක එක විරෝධතා ආවත් ඒව වැඩි කල් තියෙන්නේ නැති නිසා පාලකයන්ටත් ඒ ගැන ගානක් නෑ.

Amazonවලට හානිවන තවත් දෙයක් වෙන්නේ සැරින් සැරේ සිදුවන ගිනි ගැනීම්. වැසි නැති කාලවල ඇති වන මේ ලැව්ගිනි ස්වාභාවික සංසිද්ධියක් කියලම කියන්න බැරි මිනිස්සුන්ගෙම වැඩ වලින් වැඩි වෙන පරිසර උෂ්ණත්වයත් එක්ක. නියං කාලයට අක්කර පිටින් ගිනි ගෙන දින ගණන් වෙන මේ විනාශය පොඩි නෑ. මේ ගින්නෙන් දැවී යන ශාක සම්පත හා සත්ව සම්පතේ වටිනාකම කියල නිම කරන බැරි තරම්...


සියදිවි නසා ගැනීම් වැළක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදිල තියෙන්නෙ හැම අවුරුද්දකම සැප්.10 වෙනිදා.

2020 වසරේ සියදිවි නසා ගැනීම හේතුවෙන් ලංකාවේ 3,074ක් මිය ගිය බවත්, වසර කිහිපයකට පෙර පුද්ගලයන් ලක්ෂයකට 45ක් ලෙස පැවති මෙරට සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය, මේ වන විට ලක්ෂයකට පුද්ගලයන් 14ක් දක්වා පහළ වැටි ඇති බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ සිළුමිණට කියල තිබුණ.

ලෝකයේම වසර ගණනාවක ඉඳන් පුද්ගලයින්ගේ මරණයට හේතුවන සිව්වන ප්‍රධානතම කාරණයත් මේ සියදිවි නසා ගැනීම. 


චායාරූපය අන්තර්ජාලයෙන්

ගෘහස්ථ හිංසනය, මානසික ආතතිය හා ලෙඩ, විරැකියාව, හිංසා, අපයෝජනය කියන දේවල් දරා ගන්න බැරුව ඒ නිසා සියදිවි නසා ගන්න පෙලඹෙනව. මේ විදිහට සිය දිවි නසා ගන්නන් හැම රටකම පොදු උනත් ඒ අතරින් වැඩි කොටසක් අයත් වෙන්නෙ දුප්පත් කියල හඳුනාගත් රටවලට බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරල තිබුණ. ඒ වගේම බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් වන මේ සියදිවි නසා ගැනීම අවම හා තුරන් කිරීමට ඒ ඒ රටවල රජයන් නිවැරදි තීන්දු, තීරණ ගන්න ඕන වගේම  ඒ සඳහා අවධානය යොමු කළ යුතු කරුණු ගැනත් සඳහන් කරල තිබුණ.

සියදිවි නසා ගැනීමේ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වීම සීමා කිරීම් (උදා: පළිබෝධනාශක, ගිනි අවි, ඇතැම් ඖෂධ).

සියදිවි නසාගැනීම් පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීම සඳහා මාධ්‍ය සමඟ අන්තර් ක්‍රියා කිරීම

යෞවනයන් තුළ සමාජ-චිත්තවේගී ජීවන කුසලතා ඇති කිරීම

සියදිවි නසා ගැනීමේ හැසිරීම් වලින් පීඩාවට පත් වන ඕනෑම අයෙකු කලින් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, කළමනාකරණය, පසු විපරම් කිරීම හා අධීක්ෂණය.

ගෝලීය වශයෙන් සියදිවි නසා ගැනීම් සහ සියදිවි නසා ගැනීමේ උත්සාහයන් පිළිබඳ දත්ත ලබා ගැනීමේ හැකියාව හා ගුණාත්මකභාවය දුර්වලයි වගේම ජාතික සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ක්‍රමෝපායන් ඇතැයි වාර්තා වන්නේ රටවල් 38 ක පමණක් බවත් WHO එක කියල තිබුණ.

සියදිවි නසා ගැනීමේ අදහසින් ඉන්න පිරිසට සමහර වැරදි මාධ්‍ය හැසිරීම් නිසා එයින් තවත් උත්තේජන ලැබුණ අවස්ථාද ලෝක මාධ්‍යයේ සිදුවෙලා තියෙනව. එක සිද්ධියක් නම් කාන්තාවක් ගිනි උදුනට හිස ඇතුල් කරලා සියදිවි නසා ගෙන තිබ්බ සිදුවීම නිවැරදිව මාධ්‍ය මුදා නොහැරපු නිසා ඒ ක්‍රමය පාවිච්චි කරලා බොහෝ දෙකෙන් සියදිවි නසා ගන්න පෙළඹිලා තිබ්බ. ඉතින් මේ නිසා තමයි මාධ්‍ය පවා මේ කාරණයේදී සංවේදීව වැඩ කරන්න ඕන කියල WHO එක කියල තිබ්බෙ. මොකද රටේ ඉදිරි ගමන සමස්ත පුරවැසියන්ගේ සෞඛ්‍ය හා මානසික යහ පැවැත්ම මත රඳා පවතින නිසා.



දිවි නසා ගැනීමට සිතුවිලි ඇති ඔබ හෝ වෙන අය වේ නම් මේ දුරකථන හා සම්බන්ධ වී සහය ලබා ගන්න.


ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 011 2 682 535 / 011 2 692 909

CCC පදනම - 1333 (නොමිලේ ඇමතුම්)

ජාතික මානසික සෞඛ්‍ය විධ්‍යායතනය - 011 490 000

 මේක පිටරකට වෙච්ච ඇත්ත සිද්ධියක්..

 ලෝකේ ඉතින් එක එක වගේ අය ඉන්නවනෙ. ඔය අතරෙ වයසට ගිය අය ඉන්නවනෙ. ටිකක් කේන්ති යන, කියන දේ තේරෙනව අඩු අය... ඔන්න ඒ වගේ වයසක කාන්තාවක් දවසක් යනවා සුපිරි වෙළඳ සැලකට. යන්නේ වැඩි දෙයක් ගන්න නෙමේ. ගිහින් චොකලට් බාර් එකක් අරං තමුන්ගෙ වාරේ එනකං කවුන්ටරේ ඉඳල “මට ඕන මේ බාර් එකෙන් භාගයයි” කියල cashier ට කියල සල්ලි දීල. භාගෙ කතා super market වල නෑනෙ. ආපු customer වයසක නිසාත්, එන පාරිභෝගිකයන්ට හොඳින් සලකන්න ඕන නිසාත් cashier කියල “මිස් භාග ගන්න විදිහක් නැහැ” කියල.

රූපය අන්තර්ජාලයෙන්


 customer - ඒත් මං සම්පූර්ණ එකක් අරං මොනා කරන්නද?

cashier - මිස් අපි භාග විකුණන්නේ නැහැ.

customer - ඇයි එහෙම කරන්නෙ. මට ඕන භාගයයි.

cashier – මිස්ට ඕන ගාන භාගයක් වෙන විදිහෙ එකක්ද? පොඩ්ඩක් බැලුවනම් හම්බෙයි සමහර විට..

customer – ගාන භාගයක් නෙමේ...

cashier – මං කලින් කිව්වෙ, අපි භාග විකුණන්නෙ නෑ මිස්..

customer – විකුණන්නෙ නැත්තෙ ඇයි? මට එකක් වැඩි.

cashier – සමාවෙන්න මිස්.. අපට අවසර නෑ මේවා භාග කරලා විකුණන්න.

customer – ඇයි බැරි.. මේ සම්පූර්ණ එකම මට දීල මාව මහත් කරන්න හදනවද? මාව ලෙඩ කරන්න හදනවද?

cashier – මිස්ට පුළුවන්නෙ මේක ගෙනිහින් ටික ටික කන්න..

customer – ඔයාල කිසිම සැලකිල්ලක් දෙන්නෙ නෑ මනුස්සයෙකුට.. මේ රටේ මිනිස්සු එන්න එන්න මහත් වෙනව. ඔයාල ඔයාල ගැනම ලැජ්ජ වෙන්න ඕන. රට ලෙඩ කරවන්නෙ ඔයාල වගේ අය... ඒ මදිවට රටේ උද්ධමනයත් හොඳටම වැඩි වෙලා තියෙද්දී මාව හූරං කන්න හදනවාද..

ඔහොම බැනල බැනල අන්තිමට මේ වයසක උන්දැ සම්පූර්ණ එකම සල්ලි දීල අරං ගිහින්. cashier ඉතින් වෙන කියන්න දෙයක් නැති නිසා සුභ දවසක් ගිහින් එන්න Jකියල..

 ඉතින් ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පුද්ගලයෙක්ට දවසක් ලස්සන හීනයක් පෙනුණ. ලස්සන එකක් නිසා මේක මෙයාගෙ හිතට තදින්ම කාවැදුන. Wash එක දාගෙන ආවමත් හිතෙ හීනෙමයි වැඩ. හරියන්නෙ නෑ, නිවාඩු දාලා හරි මේ හීනේ ගැන හිතන්න ඕනෙ කියල මෙයා එදා වැඩට ගියේ නෑ. දැක්කෙත් එසේ මෙසේ හීනයක් නෙවේනෙ.

රූපය - අන්තර්ජාලයෙන්

“ඔන්න මෙයා room එකේ ඉන්න අතරෙ දිව්‍ය ලෝකේ දොරවල් පහක් ඇරගෙන පස් දෙනෙක් තමන් ඉස්සරහට ඇවිත් වස්තුව සහිත භාජන පහක් දීල.. යන්න ගියා.” මේකනම් ටිකක් අමුතුයි. අද කාලගුණයත් දැක්ක හීනෙ තිබ්බ විදිහට සමානයි. නෝන ලස්සන හිනාවකුත් දැම්ම වෙනද නැති.

මෙයා දැන් හිත හිතාම කුස්සියට ගියා උදේ කෑම එක ගන්න. නෝනා දැනගත්ත අද මෙයා ගෙදර තමා කියල. ඒ හින්ද කෑම පිඟානට බෙදල දුන්න කන්න බබෝ වගේ mood එකකින්. මෙන්න පිඟානෙත් පාන් පෙති පහයි බිත්තර පහයි. දැන් කන ගමනුත් හිත වැඩ “අද මට පහේ අංකෙ එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනව”. ඉක්මනට කාල ෂර්ට් එකත් දාගෙන පාරට ගියා. තවත් හිතන්න දෙයක් නෑ අද මගෙ වාසනාවන්ත අංකය පහ. ගත්ත ATM එකෙන් සල්ලි ගොඩක්, ඇල්ලුව රේස් දුවන අස්සයන්ගෙන් පස්වෙනියට ඉන්න එකාට. දැන් මුල් සෙට් එකේ මේ අස්සයත් ඉන්නව. මෙයා දැකපු හීනේ හරියටම හරි ගියා. ඒ කියන්නේ අස්පය cup එක ගැහුව එක නෙමේ. උනේ ඌ තරඟයෙන් පස්වෙනිය උන එක.. ඉතින් දැක්ක හීනේ හරියටම හරි ගියානේ. වරද්දගත්තෙ ඉතින් මේ මනුස්සයනෙ..

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්