සමහර වෙලාවට පොඩි වැස්සකටත් එලියට බහින්න අකමැති වෙන, alarm එකට ඇහැරිලා ආයෙම විනාඩි පහක් විතර ඇඳේ පෙරලි පෙරලි ඉන්න අපි නොදැනිම කම්මැලි වෙනව. ඒත් එක්ක කරන්න තියෙන වැඩ අතපහු වෙන එක අහන්න දෙයක්ද?

ඒත් සමහර ධෛර්යමත් ජීවිත දැක්කම, ඒ අයගෙ කතා ඇහුවම... ඇස් දෙකත් එක්ක උඩ යනව. වෙන මොකවත් හින්ද නෙමේ මේ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත් එක්ක. ඒ වගේම ඒ අයගෙ කතා... අපිටත්, අපේ ජීවිත වලටත් motivation එකක්, ආදර්ශයක් වෙනව නොදැනීම 💪

කොලොම්පුර් තුමා. ඔව් ඔව් අපේ කොලොම්පුරේ තමයි. උන්ද එක්ක දවසක් කතා කරගත්ත පොතක් දොරට වැඩීමේ උත්සවයකට යන්න කියල. දිනය හරියටම කිව්වොත් 2022-09-18. ස්වයං චරිතාපධාන සීන් එකක්. කාගේ පොතක්ද, කොහෙද තියෙන්නෙ කියල නොදැන... මාත් ඔහේ වැඩේට හා කිව්ව. කියල ඉතිං කොලොම්පුරේගෙන් තැන ඇහුව.

'උඹ මහවැලි කේන්ද්‍රය ගාවට වරෙන්... අහවල් වෙලාවට. මං බයික් එකෙන් එතැන්ට එන්නම් බොට හෙල්මට් කට්ටකුත් අරං... යනකොට බයික් එකේම යන්නත් එක්ක'

'මහවැලි. මත..ක.ත් නෑ. අර union place පහුකරන හරියේ BOC එක ගාව නේ'

'ඒක නෙමේ බම්. උඹ කලාභවන පාස් කරල පොඩ්ඩක් වරෙන්, අර පින්තූර විකුණන්න දාල තියෙන හරියෙ. එතැන ඉඳහන් මං ටක් ගාල එන්නම්'

'ආ... හරිනෙ. මහවැලි කේන්ද්‍රය නේ. මට එකපාර මතක් උනේ.. මහවැලි අධි.කා..රි.ය😃'

'උඹ #@.......

මං ලකලෑස්ති වෙලා ගියහම කොලොම්පුරේත් කියපු වෙලාවටම ආව. දෙන්න ඇතුළට යනකොටත් වැඩේ පටන් අරං. පොත් කවුන්ටරෙන් පොතක් අරං බලද්දී හෝල් එක ඇතුළට යන්න තියෙන්නෙ ස්ටේජ් එක පැත්තෙම පහළ තියෙන දොරකින්. සභාතොමෝට බම්බු ගහගන්න කියල... ආවනං ඉතින් යමන් කියල දෙන්නම ස්ටේජ් එකටත් රබර් ඇහැ දාගෙන, ඉන්න ආරාධිත ඇතුළු සියලු අසුන්ගත පිරිස පහු කරන් පිටිපස්සටම ඇදුන. මොකද එතකොටත් හෝල් එක හවුස් ෆුල්. ලොකුම තරමේ හෝල් එකක් නොවෙන හන්දත් වෙන්න ඇති එහෙම වෙන්ට ඇත්තෙ. ඒත් එහෙම හරි කස්ටිය හිටිය. දැන් පොත පතට තියෙන තැන එක්ක බලපුහාම මේ ආපු පිරිස ඇති, ටිකක් දුරට නෙමේ බොහෝ දුරට හරි හිත හදාගන්න... පොතේ කතෘතුමා - ප්‍රකාශන ආයතනයට. මොකද මුද්‍රණ, කඩදාසි, ප්‍රවාහන ආදී සෑම දෙයකටම යන වියහියදම් දවසින් දවස ඉහළ යන කාලෙක වගේම අර කියපු... වෙනදට වඩා කියවීමෙන් දුරස් වෙච්ච සමාජෙක මේ විදිහට පොතක් එළිදක්වනවා කියන්නෙම ඉල්ලං පරිප්පු කෑමක් වගේ.

කොහොමින් හරි පිටිපස්සෙම පේළියට එක පේළියක් ඉදිරියෙන් දෙන්නට සීට් දෙකක් සෙට් උනා යන්තමින්. දැන් ඉතිං ආවනම් ආරාධිත /අනාරාධිත, එකී මෙකී නොකී කතාවල් අහං ඉඳපන්කො. (වැඩි වෙලාවක් නම් උත්සවය තිබ්බෙ නෑ). ඒ වෙලාවේ තමයි හිතුණේ මොකට ආවද කියල. මොනා කරන්නද... කුම්බලා fish කෑවනම් විඳපං බස්සෝ කිව්වලු. කාරී නෑ ආපු එකේ කතා ටික පුළුවන් විදිහටවත් අහන් ඉමුකෝ. ඔන්න ඉතිං ටික ටික චරිත වර්ණනාව ඇහෙනවා... මේ අපි ගිහිං ඉඳගත්තෙ ආරාධික කතාවේ ටිකක් තැන ගිහිං තියෙන කොටමයි.

මොකා මේ පොත ලියපු එකාට වකුගඩු දෙකක් බද්ධ කරලලු. (දෙකම අසාර්ථකයි). හරි යාන්තමට මතකයි කොලොම්පුරේ ටිකක් ඔය ගැන විස්තර කරා. උන්දත් කතාව අහන නාහන ගාන වගේ මූණේ හැටියෙන්, ඒත් ඇස් වෙදිකාව උඩ. පිටිපස්සෙ පෝලිමේ පොඩි කසුකුසුවකුත් යනව. ටිකක් හැරිල බැලුව... තරුණ වයසේ ලලනාවන් තුන හතරකුත් ඉන්නව. ටිකක් ඇහැ කන දාල බලද්දී... හුම් මේ අය පොත ලියපු කෙනාගෙ වැඩකරන තැන සෙට් එකක් වගේ. කට්ටිය ටිකක් fun එකේ ඉන්නෙ. පොත ලියපු කෙනා මහාවංස දේශන කාරයෙක් වෙන්න ඇති ෂුවර් එකට. ඒකයි මේ කට්ටිය කිචිබිචි ගගා සැරින් සැරේ හිනා පහළ කරන්නෙ එයා ගැන කියා කියා වෙන්න ඇති. ඔය අස්සේ වේදිකාවේ කතාවෙන් කියනව ඇහෙනව මේ කෙනාගේ ඉස්පිරිතාල, ජීවිත විස්තර ඇතුළු මෙතෙක් ආපු ගමන ගැන ඉතා කෙටියෙන්. නැත්තං පොත අරන් කියවන්න දෙයක් නෑ නෙ.

මාර පොරක් නෙ. වකුගඩු දෙසැරයකුත් බද්ධ කරල, අටෝරාසියක් ඔපරේෂනුත් කරල, මැරෙන්න ඔන්න මෙන්නත් ගිහිල්ල, වෙන්වීම් පවා දරාගෙන, අනන්ත දුක් විඳල, අනෙක් රෝගීන්ටත් උපදෙස්- උදව් දෙමින්, ළමයින්ට ඉගැන්වීම් හා පාසලේ ක්‍රීඩා-කළා කටයුතු හැම එකක්මත් කරගෙන... විනෝද චාරිකාවන් පවා ගිහින්. විසි ගණනකට වැඩිය සිරිපාදේ පවා ගිහින්. සතියකට දින තුනක් රුධිරය මාරු කරගන්න තියෙද්දී පවා.

මේ ලෙඩ වෙන්න මූලික හේතුවත් සුනාමි කාලේ ඒවාට උදව් වෙන්න ගිහින් විසබීජ ශරීරගත වීමක්.

එතකොට තමයි ඇත්තටම එතුමා ගැන ලොකු පැහැදීමක් ඇති වුණේ. ඊට පස්සෙ මේ පොතේ කතෘතුමා වුන ඔහු ඉන්දුක ප්‍රනාන්දු අයිය මයික් එකට ඇවිත් ඔහුගෙ කතාව කරේ. අයිය කියන්නත් බෑ, ඔහු පාසලක් මෙහෙයවන විදුහල්පතිවරයෙක්. ළමයින්ට ආදරේ කරන, ළමයින් ගැන ළමයින්ගෙ මට්ටමින් හිතන ගුරු දෙවියෙක් කිව්වොත් නිවැරදියි. මයික් එකට ආවේ මූණෙ පිරිච්ච හිනාවකුත් එක්ක. සම්පූර්ණ කතාව අවසානෙත්, ඒ වැඩසටහන අවසානෙත්, ඒ හිනාව, ජවයේ සේයාවල් ඒ මූණේ රැඳිල තියෙනව දැක්ක. ඒ හිනාවත්, අර පිටිපස්සෙ පේළියේ අයගෙ හිනාවත් අතර සම්බන්ධය මට පස්සෙ තමයි තේරුණේ. එතරම් ඔහු සුභවාදීව ශක්තිමත්ව ජීවිතය - අභියෝග දිහා බලන කෙනෙක්. සැහැල්ලුව කතා කරපු ඒ කතාවත්, වින්ඳ ඒ දුකත් අතර දුර. එය ගණන් කළ නොහැකියි. වෙන කෙනෙක්ට එය උරුම උනානම් ඔහු/ ඇය තෝරාගන්නෙ මරණය. මට එකපාරටම මේ ලියන මොහොතෙ මතක් උනේ.......

ලස්සන ළඟ කවියෙකි ගොළු වන්නේ

ලස්සන ළඟදියි කදුළුත් එන්නේ

ලස්සන ගැන මොන මිනිහද දන්නේ

ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ.... කියල තියෙන, විමලරත්න කුමාරගමගේ කවියාගෙ කවිය.

 

උත්සවේට සහභාගී උනේ බොහොම සැහැල්ලුවෙන්. ඒත් ඒ සැහැල්ලුවට අමුතු හැඟීමක්, පෙළඹවීමක්,  ධෛර්යක් ඇතිව දොරට වැඩුන උත්සවය අවසානේ පොතකුත් අරං ආව. ඔහු ගැන ඇතිවුණ ලොකු ගෞරවයකුත් එක්ක. අරං ආවමත් නෙමේ. අරං දුන්න පොත අරන් ආව. කොලොම්පුරේ... ආ උඹටත් එකක් කියල තව පොතක් මිලදී ගත්ත... ආයේ ශාලාවෙන් එලියට එන ගමන්. ස්තූතියි අසංග අයිය!

ඉතිං මෙහෙම අප්‍රතිහත වීර්යයකින් ජීවිතය ආලෝකමත්කරගෙන අනෙක් දුවා දරුවන්ගේත් ජීවිත ආලෝකමත් කරන ඉන්දුක විදුහල්පතිතුමාගේ පොත ඕන කෙන්කෙට අර දුරකථන හරහා... ලෝකෙ ඕන තැනකට ගෙන්නගන්න පුළුවන්. මේ post එක කියවලා පොතක් ගන්න එක කෙනෙක් හරි උත්සුක උනොත්... මටත්, අසංගටත් ගොඩක් ලොකු දෙයක් වෙයි ඒක.


මේ ඔහු සහභාගී වුණු රූපවාහිණී වැඩසටහනක් ➤

උදේ කෑම කකා ඉන්න ගමන් සාලේ රේඩියෝ එකෙන් ඇහෙනවා.... ගෝලීය උණුසුම, පාරිසරික විපර්යාස ගැන news කියනව.

අනෙ අපිට මොකෝ. රටේ ලෝකෙ සිද්ධවෙන දේවලින් අපිට වැඩක් තියෙද?. අනික ඒවා මේවා උනා කියල ලෝක මට්ටමින් වෙන සංවර්ධනේ නවත්තන්න කියලයෑ. අනික අපි මේ ඉන්නෙ පශ්චාත් නූතන සමාජයක නෙව. වේගෙන් දියුණු වෙන්න ඕනා. ආර්ථික සංග්‍රාමය ජය ගන්න ඕනා. වැඩ ගොඩයි. හුම්, ඒත් මේ වැඩිවෙන රස්නෙ තමයි කාල ඉන්න බැරි. කමක් නෑ ඉතිං ටිකක් මහන්සි වෙලා හරිහම්බ කරා නම් කාමරේට AC හයිකරල හිටං, ගෙවන්න වාහනයක් හෙමත් ගන්න පුළුවන්. එතකොට ගිරීස්මෙට, පරිසරේට බම්බු ගහගන්න කියල ජීවිතේ ෆුල් කම්පටබල්ව විඳින්න බැරියැ.

-   -   -   -   -   -   -

මොනා කිව්වත් අපිට මේ අවට පරිසරය, සොබාදහම නොසලකා ජීවත් වෙන්න තියා එක හුස්ම පොදක්වත් ගන්න කියලද. දේසේ හැටියට වාසේ... වගේම තමයි වාසේ හැටියට දේසේ වෙනස්කම් සිද්ධ වෙන්නෙත්.

මේ ගැන වෙනස්ම විදිහකට ලියපු ගීයක් තමයි මේ පැණි කුරුල්ලනේ ගීතය. ලියල තියෙන්නෙ උපමා, රූපක වලින් හද සිතුවම් මවන ලූෂන් බුලත්සිංහලයන්. ඒ වගේම සංගීතය... අතිදක්ෂ සංගීතඥයෙක් වුණු සරත් දසනායකයන්ගෙන්. නමුත් ඔහු මෙයට තනු නිර්මාණය කරේ ළමා ගීයකට නැඹුරුවක් දක්වමින් වැඩි ප්‍රාසාංගික බවක් මතුකරන අදහසින් වෙන්න ඕනෑ. මොකද මේ ගීයේ පොඩි වේග රිද්ම රටාවකට සංගීතය එක්ක ගැයෙද්දී මතුපිට වචන හා තනු අතරේ අපේ දෙසවන් වැඩ කරනව මිසක්, යටි තේරුමක් මෙහි අන්තර්ගතව තියෙනවද කියල අපිට එක්වරම දැනෙන්නෙ නෑ. කොහොමින් උනත් දශක කීපයක් තිස්සේ ජනප්‍රිය මේ ගීය කොයිකවුරුත් හොඳහැටි අහල ඇති.

වර්තමාන ලමයගේත් අතීත ලමයගේත් හැසිරීම් රටා, සිතුම් පැතුම් එකම විදිහයි. හරියට අපි හැමෝම ලෝකෙට ඉපදෙන්නෙ අමු නිරුවතින් වගේ. එකම විදිහකට, එකම රටාවකට. ඒත් දැන් ඉන්න ළමයට අතීතේ හිටපු ළමයට තරමින් පරිසරය- සොබාදහම විඳින්න අවස්ථාව, ඉඩ පහසුකම් නැති වෙලා. කොළඹ නම් කුරුල්ලෙක් තියා කපුටෙක්වත් දකින්න හම්බවෙන්නෙ අහම්බෙන්. ඒ දකින්නත් ඉතිං බිත්තිවලින් වටවුණු ලෝකෙන් එළියට දෙමව්පියෝ එක්ක යන්න හම්බෙන සීමිත වූ අවස්ථාවකින් විතරයි නෙ.

ගේ හදන්න කලින් තිබුණ ගහකොළ අතුගාල කපල දාල තමයිනෙ ගේත් හැදුවෙ. එහෙම හදපු මුඩු ගෙවත්තෙ කොයින්ද කුරුල්ලො. ඉතිං මේ වගේ කාලේ ළමයින්ට සෙල්ලං කරන්නත් කෘතීම උද්‍යාන, සත්තු දකින්න සත්ව උද්‍යාන. කුරුල්ලෝ කැලේ ඇතුළට වැදිලා වෙන්න ඇති මේ දේවල් බලං ඉන්න බැරුවම. ගස්... ගහට ගහක් මුණ ගැහෙන්න මොරටුවට යන්න ඇති. ඇල දොළ... ඒවාටත් යන එන මං නෑ. ඒ කලින් ගලාගෙන ගිය පාරවල් දැන් ගොඩ ඉඩම්, සංවර්ධිත බිම් කොටස් වුනු නිසා.

පාර අමතක වී මංමුළාවෙලා........ ඇළ ??

 

පැණි කුරුල්ලනේ - නිල් කොබෙයියනේ

ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා

කැලේ පැන්න මං වගේම බාල සන්දියේ

දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

 

අඹ දඹ නාරං ගස් යට

කජු පුහුලන් මොර ගස් යට

අප වගේම ලුණු පනින්න - කැට පොල විදලා

පුංචි පුතා එන්න කලින් - උන් හිටිතැන් නැතිවුනදා

ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

ඇළේ වතුර නිල් කැටේට

දණ්ඩි කොරලි යන වටේට

කිමිදි කිමිදි පීනන්නට දියබු ගහලා

පුංචි පුතා එන්න කලින්

කළු දිය දහරා හැළිලා

ඇළට පාර අමතක වී මං මුලා වෙලා

 

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ....

 

පද රචනය - ලූෂන් බුලත්සිංහල

සංගීතය - සරත් දසනායක

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

රාජ උදහස

ඩී. පී වික්‍රමසිංහ නම් ලේඛකයා විසින් මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවල ප්‍රචලිත ජනකතා 50 ක් පමණ අන්තර්ගත කොට " මගදිගට ජනකතා " නම් ග්‍රන්ථය රචනා කොට ඇත. එහි එන මහනුවර යුගයේ රජකළ ශ්‍රී විජය රාජසිංහ රජු තා සම්බන්ධ ජනතාවක් මේ පාඩමේ දැක්වේ.


ශ්‍රී විජය රාජසිංහ රජු දවස හැඟුරන්කෙත මහ මළුවේ දේවාලය ඉදිරිපිට අම්බලමක් තිබුණි.

දිනක් මෙහි රැස් වූ ගැමියන්ට දේවාල මළුවේ පැණිවරකා ගසෙහි වූ විශාල කොස් ගෙඩියක් සුදු රෙද්දකින් වසා වෙන්කර තිබෙන බැව් දකින්නට ලැබුණි. එය රාජ භෝජනය සඳහා වෙන් කරන ලද්දක් බව කවුරුත් දැනගත්හ. මේ කොස් ගෙඩිය ඉදී සුවඳ විහිදෙන බව හැමදෙනාට ම දැනුණි. එය ගැන අම්බලමේ සිටි අය අතරේ සාකච්ඡා ඇති විය. එම කොස් ගෙඩිය සොරකම් කළොත් හෝ කැඩුවොත් හෝ ඒ තැනැත්තාට ලැබෙන්නට පුළුවන් රාජ දඬුවම් ගැන ද කථාවක් ඇති විය. රාජ භෝජනය සඳහා නියමිත දේ විනාශ කළොත් නො අනුමානව ම උල හිඳුවීමේ දඬුවීමට භාජනය විය හැකි බව කවුරුත් විශ්වාස කළෝ ය.

අම්බලමේ කොනක කණුවකට හේත්තු වී කල්පනාවේ යෙදී සිටි එක් පුද්ගලයෙකි. උක්කුරාල නම් වූ ඔහු කවදත් අම්බලමේ ප්‍රධාන කථිකයා මෙන් ම විකටයා ද විය. නමුත් ඔහු මෙදින නිශ්ශබ්ද ව කල්පනා සහගත ව ඉඳීම ගැමියන්ට තේරුම් ගත නොහැකි කරුණක් විය.

    එක් ගැමියෙක් ඔහුට කථාකොට 'ඇයි රාලේ! උඹ අද කරබාගෙන ඉන්නේ? ගෙදර ඇත්ති සමග දබර කරගෙන ආවාදැ'යී කවට බසින් ඇසී ය. 'නැහැ. අපේ උන්දෑ සමග දබර කර ගන්ට කරුණක් යෙදුණේ නැත. මා කල්පනා කෙළේ පැණිවරකා ගෙඩිය දෙස බල බල කෙළ හළ හළා සිටින නුඹලා ගැනයි. නුඹලා පැණිවරකා ගෙඩියෙහි ඇති රසයටත් සුවඳටත් ආශා කරනවා. නමුත් කිසිවකුටවත් එය කඩා කන්ට තරම් ආත්ම ශක්තියක් නැත. සෑහෙන ඔට්ටුවක් උඹලා අල්ලන්නේ නම් මම ගසට නැගී එයින් පළුවක් කප ගෙනැවිත් නුඹලාට ද දී මමත් කන්නම්'යි උක්කු රාල කී ය. එබසින් අම්බලමේ සිටි ගැමියෝ විස්මයටත් භීතියටත් පත් වූහ. කරන්ට තබා හිතන්ටවත් භයානක දෙයකි ඔහු කීවේ. පණට ආදරේ ඇත්තෙක් පැණිවරකා ගෙඩිය කනවා තබා අතවත් නො තබති. ඒ නිසා 'මොහු පිස්සුවෙන් නන් දොඩවති' යි එහි සිටියෝ සිතූ හ.

පැණිවරකා ගෙඩිය කා මෙලොව පණ පිටින් සිටින්නට කිසිවකුට ඉඩ නොලැබෙන බව හොඳාකාර දත් එක් ගැමියෙක් 'නුඹ පැණිවරකා ගෙඩියෙන් මදුලක්වත් කෑවොත් මා නුඹට හොඳ මී නාම්බකු තෑගි කරනවා. හැබැයි නුඹ ජීවතුන් අතර සිටියොත් පමණයි ඒ තෑග්ග ලැබෙන්නේ' යි කීය. 'නුඹ ඒ තෑග්ග දෙන බව සත්‍යයක් නම් දේවාලයට අත ගසා දිව්රුම් දෙනු, එසේ දිවුරූ විට මම පැණිවරකා ගෙඩිය කන්නෙමි' යි උක්කුරාල කී ය. ඊට එකඟ වූ ගැමියා එලෙස දේවාලය දෙසට අත නඟා දිවුරුම් දුන්නේය.

ස්ථානෝචිත ප්‍රඥාවක් හා ජම්ම දායාදයකින් මෙන් ලත් මුඛරි බවත් ඇති නිර්භීත උක්කුරාල සැණෙකින් කැසපොට කවාගෙන පිහියක් අතින් ගෙන පැණිවරකා ගසට නැඟ, වරකා ගෙඩියෙන් පලුවක් කපාගෙන බිමට බැස එය කෑමට පටන් ගත්තේ ය. අම්බලමේ සිටි අයට ද ඔහු පැණිවරකා දුන් නමුත් පණ බියේ ගැහි ගැහී සිටි ඔවුහු ඒවා ප්‍රතික්‍ෂ්ප කළෝ ය.

රාජ භෝජනය සඳහා වෙන්කොට තිබූ පැණිවරකා ගෙඩිය උක්කුරාල නම් ගැමියෙකු කඩා කෑ බව නගරය පුරා ම පතළ විය. රජවාසල රාජපුරුෂයන්ට ද මෙය දැනගන්නට ලැබී ඔවුහු රජු වෙත ගොස් ඒ බව පැමිණිලි කර සිටියෝය. රජතුමා ද කිසිවක් විභාග නො කර 'මහවාසලට එවැනි අවනම්බුවක් කළ එම ද්‍රෝහියා අල්වා උල හිඳුවා මරව' යි අණ දුන්නේ ය. රාජාඥාව පරිදි උක්කුරාල රාජ පුරුෂයන් විසින් අල්වන ලදුව රතු මල් වඩම් කර ලා කටු සැමිටියෙන් තළතළා වදකයින් විසින් වදක භූමියට ගෙන යන ලද්දේ ය.

වදයක කැපවූ උක්කුරාල අතර මඟ දී මහ හයියෙන් විලාප ගසමින් අඬන්නටත් අනතුරුව මහ හයියෙන් කොක්හඬ දී සිනාසෙන්නටත් පටන් ගත්තේ ය. මෙසේ නොකඩවා වරින් වර අඩන්නා වූ ද, සිනාසෙන්නාවූ ද, වදයට කැප වූ මේ පුරුෂයාගෙන් රාජ පුරුෂයෝ 'එසේ අඩන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක්දැ' යි ඇසුවෝ ය. 'ඊට හේතුවක් තිබේ. එය මම නුඹලාට නො කියමි. මහා වාසලින් ඇසුවොත් පමණක් කියන්නෙමි' යි උක්කුරාල නිර්භීත ව පිළිතුරු දුන්නේ ය. කෙසේ ඇසුවත් පළමු සේ ම කියන බැවිනුත්, නොනවත්ව ම ඇඬීමත් සිනාසීමත් කරන බැවිනුත්, එක් රාජපුරුෂයෙක් රජවාසලට දුවගොස් මේ බව රජතුමාට සැලකර සිටියේ ය.

ඒ බව අසා රජතුමා ද පුදුම වී 'වහා ඔහු ආපසු රජවාසල කරා කැඳවා ගෙන එය'යි අණ කෙළේ ය. එසේ රජු ඉදිරියට පැමිණ වූ එම පුරුෂයාගෙන් 'තා වදක භූමියට ගෙනයන අතරතුර අඬන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක් දැයි' යි ප්‍රශ්ණ කළේය. 'අහෝ ! දේවයන් වහන්ස! මම බඩගින්න නිසා පැණිවරකා ගෙඩිය කෑවෙමි. ඒ නිසා ම වදයට ගෙදුරු වීමි. මගේ බඩ ගින්න නිසා මට අකාලයේ අත්වූ මරණය ද, මගේ අඹු දරුවන් ද සිහි වී ඇති වූ ශෝකාග්නිය උසුලාගත නොහී ඇඬුවෙමි' යි ඔහු කීය.

'ඒ එසේය, තා මරණ භයින් අඩන ඇඩීම සුදුස්සක් සේ මම පිළිගනිමි. මෙවැනි මරණයකට ගොදුරු වී සිටින තා සිනාසෙන්නේ මක්නිසා ද? තට කවර නම් ප්‍රීතියක් ඇත්තේ ද? වහා කියවයි රජ අණ කෙළේය. 'අහෝ!! දේවයන් වහන්ස! එසේ මරණයට පත් වුවත් මට එයින් එක සැනසීමක් ප්‍රීතියක් ගෙන දෙන කරුණක් ඇත්තේ ය. 'අසවල් රජ්ජුරුවෝ කොස් බෑයටත් මිනී මැරවූයේ ය'යි යන අපවාද සහගත කථාවක් අනාගත ලෝකයාට ද දැනගත හැකිසේ ඉතිහාස ගත වන්නේ ය. වර්තමාන ලෝකයා ද ඒ එසේ ම කියමින් මහවාසලට අපහාස නඟන්නෝ ය. එය සිහි වූ මට සිනා පහළ වන්නේ ය'යි උක්කුරාල පිළිතුරු දුන්නේ ය.


මේ ඇසූ රජ්ජුරුවන්ට තරු පෙනුණි. අනාගතය ගැන සිහියට නැගුණි. ගැමියාගේ කියමනෙහි සත්‍යතාව වැටහුණි. බඩ සාගින්නට වරකා පලුවක් කෑ ගැමියා පවා අසුවල් රජ්ජුරුවෝ 'මරණයට පත්කරවූහ' යි ලෝකාපවාදයකට තමා ගොදුරු වන බැව් පෙනී ගියේ ය. එබැවින් මෙය කළ යුතු දෙයක් නොවේ. මොහුට අභය දුන මැනව යි සිතා ගැමියා අමතා 'තගේ ස්ථානෝචිත ප්‍රඥානුබද්ධ මුඛරි බව නිසා මට වන්ට තිබූ නින්දාවෙන් ගැළවුණෙමි. එසේ ම තට වන්ට තිබූ මරණයෙන් ද තා ගැළවුණෙහි ය'යි කියා උක්කුරාලට අභය දානය කෙළේ ය.

වන්නේ කුමක් දැයි බලාගෙන එතෙක් අම්බලමේ සිටි තම යහළුවන් කරා උක්කුරාල සිනාසෙමින් ගොස් පොරොන්දු ප්‍රකාර මීගොන් නාම්බා තෑගි ලබා ගත්තේ ය.

 මෙතැන මීය කිව්වෙ අර කෝම්පීතර් මෞස් වර්ගයාට. හිංගලෙන් කියන්නෙ මූසිකය කියලනෙ. ආන් ඒ mouse ගැන අපේ බස් post එකකුත් දාල තිව්න. ඒ අස්සේ comment එකකින් රිංගපු මට මෙන්න කියාපි අලුත් මෞස් gadget ගැනත් මක්ක හරි ලියන්නය කියල. මං මොනව දන්නවද අනේ ඔව ගැන. ඒත් ලඟදි මගේ mouse එකත් පොඩි කචල් එකක් අදින්න සෙට් උනා. ඌ මකවල ගනිද්දී පොඩි දේවල් ටිකක් මතක් උනා....

කොම්පීතරේ කරලියට එනකොට මේ mouse එකත් නිකම්ම වාගේ බිහි උනා. මොකෝ අත දාල මේකේ දේවල් කරන්නයෑ.  මුල් සංදියේ mouse වල යටි පැත්තේ තිව්නෙ mouse ball එකක්. අර උස්සද්දී හිලෙන් එබිල බලන බෝලෙ. (දැන් එවුන්නෙ ඕක නොදන්නෙ හිට). ඉතිං mouse එක එහාට මෙහාට කරන කොට යටින් තියෙන මේ බොලේත් ඒ අනුව එහට්ට මෙහට්ට වෙලා තමයි horizontal සහ vertical ලෙස ඛණ්ඩාංක ලබා ගෙන... ඒවා සංඥාවක් විදිහට අපේ computerයට ලබා දුන්නෙ. ඒත් මේ කිරි කිරි බෝලෙ, මඤ්ඤං කෙරුව සමහර වෙලාවට. ඉතිං ඒ වෙලාවට එයින් ලැබෙන සංඥාත් අවුල්. ඒ අවුල monitor එකේ cursor point එක දක්වාම ගිහින් එතන ඩෙඟා නටල තමයි නතර වෙන්නෙ. ඉතින් කරන වැඩ... කොට උඩ. (මේව දැන් graphic කරන ඈයොන්ට තිබ්බනම් උන් සදා අනාතයි).

දැන් කලක හිටංමේ දක්වා පාවිච්චි වෙන්නෙ optical mouse... USB පහසුව ඇති. bluetooth mouse විදිහත් එනව නේ. සංඥා ලබා ගැනීමේ ක්‍රමය වඩා දියුණු තැනකට ආපු අවස්ථාවක් තමයි මේ. මේ mouse එකේ තියෙන පොඩි LED light එකේ පරාවර්තන වුන ආලෝකය, sensor එක හරහා යවල එය process වෙලා එන signal එක තමයි කොම්පීතරේට දෙන්නෙ. මේවයෙ වැඩ ඉතීම්... සුදුවට, සුමුදුවට.

හැබැයි දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ. signal එක ග්‍රහණය කරන් යවන එක. ඕකම තමයි laptop එකේ, touch pad එකේ, touch phone එකේ හිටං වෙන්නෙ. මූලික සිද්ධාන්තය එකයි. තාක්ෂණය වෙනස් උනත්.

මේකට සමාන දෙයක් අපිත් කරනවා මතකද..... මැනුවලි. අතින් අතින්

ප්‍රස්ථාරෙ ඇති රේඛාව යම් තැනක පිහිටනවද ඒ තැන හඳුනගන්නෙ තිරස් හා සිරස් සටහන්ව ඇති ඛණ්ඩාංක මගින්. (ප්‍රස්ථාරෙ ඇඟිල්ල යම් තැනක් තිබ්බද ඒ තැන කියවන්නෙ අර ඛණ්ඩාංක දෙක මගින්). මේ දෙයම තමයි චෙස් පුවරුවලත් වෙන්නෙ.

තව තව අලුත් උන mouse වල එන හැකියාවනුත් වැඩි. පොඩි සෙලවීමකින් වැඩි දුරක් (DPI), one click button, back button... ආදී නානාප්‍රකාර දේවල් ඒක අස්සෙ. ඒ අස්සෙ තොරන් වගේ ඒවත් තියෙනව.

තව... glove mouse, invisible mouse (නිකම්ම ඇඟිලි එහා මෙහා කිරීමක් sensor එකකින් හඳුනාගෙන වැඩකරන), phone mouse (phone as a mouse) වගේ සමහර දේවලුත් වෙළඳපොලේ තියෙනව සහ වැඩිදියුණු වෙමින් ඉදිරියට එනව. මේ ගොඩක් ඒවා එන්නෙ ඉතිං gamming පිස්සන්ට හා කම්මැලි බස්ස, අපි වාගේ අයට... අනුකම්පාවෙන්. ඒ හන්ද මේ මෞස්ල හරිනම් අපි අල්ලන්නත් ඕන වැඳල කරල හිටං.

ගේම් කිව්වොත්, මං කොම්පීතර් ගේම් ගැහුවේ නැති තරම්... අනික් අය එක්කලා බලද්දී. අනික O/L කරනකම් මං හිටිය ඉක්කෝලෙ එවුන්ට ඔය game උන තිබ්බෙත් නෑ. එක්කෙනෙක් දෙන්නෙක්  cafe ගියා, ඒත් අන්තිම කාලේ. ඒකට A/L ඉස්කෝලේ. ඉන්න හැම සෙට් එකේම එකෙක් game කාරයෙක්. චැට් එකක් අස්සෙ game එකක් ගෙනත් අතාරිනවා. මං සමහර සමහරුන්ට බැණලත් ඇති.

අනික 9,10 වසරවල තමා මට කොම්පීතරයක් සෙට් වෙන්නෙ. ඒකත් laptop එකක්. ඕකේ game ගතහැකි ඈ. Windows වල එනම Pinball, card game නම් සෙල්ලම් කරා. ලැප කැඩිලා හම්බුණ කොම්පීතරේ HDD එක 40GB හෝ 80GB. ඉතිං හිතා ගතෑකි නේද අසරණයගෙ තත්වෙ. ඒත් game පිස්සුව නම් දැනුණේ හෝ ආවේ නෑ. එහෙම උන එකත් ලොකු දෙයක්. ඇයි කියන්නෙ... RAM, VGA මාරූ කරන්නයි, අලුතෙන් එන game CD ගන්නයි. ඒවාට සල්ලි!. ඒ නැතෑ පුම්ක උඩ දාන් ඔක්කොම සැට් කරන් ගහන ගහන game ඒක end කරගන්න බැරි උනොත්! ඒ වගේමයි ඒ කාලේ game ගගහ තවතවත් computer එකට ඇලිල හිටිය නම්, අද job කරනව බොරු. ඇයි ඉතිං ඇස් දෙක තව වෙහෙස වෙනව නෙ. මේ දැන් ඒකටත් එක්ක ඇස් වෙහෙසවනව හොඳටෝම ඇති. ඒ හන්ද ඒ කාලේ game පිස්සුව ආවේ නැති එක හොඳටෝම හොඳයි!

ඒ අතර අර පොඩි කොම්පීතරෙන් ගැහුව ඒවා මතක් කලොත්....

රූ කියල ඒ කාලේ computer සඟරාවක් ආව... පරිගණක සඟරාවට අමතරව. (දැනුත් එනවද කොහෙද). ඒකෙ තියෙන cd එකේ free දෙන පොඩි පොඩි game තිබ්බ. cricket, bike & car race... ඒවා තුනහතරක් නම් කාලයක් යහමින් play කරා. මොකෝ graphic වලට කියල මහ දෙයක් යනවෑ. fan යකා වගේ දිවිලි නෑ, overheat නෑ. චෝටා චෝටා game, චෝටා චෝටා fun 😂!

   දැන් තියෙන එක (වමේ) හා යාළුවෙක් දුන්න එකක් 
(දකුණේ). ඒක gaming මීයෙක්. උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද අහක දාන්නත් බෑ වාගේ තමයි. පේනවා නෙ සයිස් එක.

 

අඹ වගේද ජම්බු කිව්වට, ලේන ජම්බු ගහේ ආයේ නගී ආයේ බහී කියල තමයි... ඒ සිද්ධිය ඇහින් දැක්ක කෙනා කටඋත්තරට දීල තිව්නෙ.

 

කොහොම උනත් ඔය ලේන්නුත් අඹ, ජම්බු ආදී පලතුරු කනව ඇත්තෙ හිටං හොඳ සරීර සෞඛ්‍යකට වෙන්න ඇති නෙ. ඒ නිසාම උන්ගෙ දතුත් හොඳ හයි හත්තියට ඇති. නැත්තං අපිට පොඩි කාලේ ඉඳල කියයිද... ලේනෝ ලේනෝ මේ දත අරගෙන මට කැකුළු දතක් දියෝ කියන්නය කියල. ඇත්තෙන්ම ලේන්නු එහෙම හුවමාරුවකට කැමතිද කියල මංනම් හරියටම දන්නෑ ඕන්. උන් ඒකට කැමති නම්... ලේන්නුයි අපියි දෙගොල්ලොම තාම ඉන්නෙ පරණ භාණ්ඩ හුවමාරු යුගේ. මේක ගැන අපිට කියල දුන්නෙ ඉක්කොලේ ටීචර්. චීටර් උනත් සාරසොබාවට, ලකේට හිටියෙ එයත් යහමින් පලතුරු කන හන්ද වෙන්ට ඇති... සල්ලි දීල අරගෙන හෙම.

 

කොහොම උනත් දොස්තරගෙ ඉඳල ඕන කෙනෙක් කියන්නෙ... පලතුරු කෑම ඇඟට හොඳයි කියල නෙව. මේන් කාලෙකට ඉස්සර අපේ මුත්තෙකුත් කැලේ පීරමින් පලතුරු කකා ආතල් ජීවිතයක් ගෙවාපු හැටි.

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල්

පනා කකා මේ වනා සැපා ලබනෙම්//

 

ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ

ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//

පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි//

 

මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//

 

විසාල මේ වනේ මං

ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්//

 

වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා

බෝ මාදං ඇත්තෙ මේ ගසේ//

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ

වනා සැපා ලබනෙම්////

 

රාමාණය නූර්ති ගීයක් 

පද රචනය - ජෝන් ද සිල්වා

ගායනය - ෂෙල්ටන් පෙරේරා

 

මේ පලතුරු/කෑම සිංදු පෝස්ට් එක දාන්න හිතුණේ ඇත්තටම "නවල අන්නාසි" කියන වෙනස් විදිහකට ලියවුනු පද පෙළ නෙත ගැටුණු නිසා. අඹ, දඹ, නාරං... නූර්ති ගීයත් එක් කලේ එහිත් මෙයට සමාන පද පෙළක් තියෙන නිසා. ඒත් නූර්තියට එය එක් කරගන්නැත්තෙ වෙන කාරණයක් මතු කරන්න වෙන්න ඇති. (ඒ ගැන නොදන්නෙ නූර්තිය හදල තියෙන්නෙ මං ඉපදෙන්නත් කලින් නිසා 😂).

 

ගීයක් ලියන්න ආදරයම විෂය වෙන්න ඕනද. නැත්තං මව්-පිය ගුණ, වියෝ, ජාත්‍යාල, බැති... ගී වගේ ඒකාකාරී සීමාවක් නැතුව වෙනත් දෙයක්/යමක් ගැන ලියන්න බැරිද. ඒකට පොඩි පරීක්ෂණ ගීතයක් වගේ මට මේක දැනෙන්නෙ.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන මේ සිංදුව ඔයාල එකපාරක් හරි අහල ඇති. මේක ගැන නිකමට හොයනකොට දැනගන්න ලැබුණ මේකත් පැරණි ගීයක නව ගායනක් කියල. එකේ විස්තර වෙන බ්ලොග් එකක (ගී අරණ Blog) දැක ගන්න ලැබුණ. එතැනින් අරන් මෙතැන ඒ විස්තර දාන එක හරි නැති නිසා ඉතින් ඒ අඩවියටම ගිහින් ඒ ලිපිය කියවන එක හොඳයි නේ. ඒ හන්ද ඒ link එක පහළින් දාන්නම්!

ආ තව දෙයක් මේ ගී පද පෙලේ හමුවෙන ගල්කිස්සෙ සීනක්කු... සීනක්කු. ඒකත් google විපරමක් දාලම බැලුව. බලද්දී කාල තියෙනව නම හරිහැටි නොදන්නව උනාට 😂. වැඩියම දන්නෙ වන්ඩු ආප්පකියල නෙ. අඩ කියලත් කියනවාලු.....


සීනක්කු, වන්ඩු ආප්ප, අඩ

 

නාවලඅන්නාසි ගීයේ ඉතිහාසය හා පද රචනය (නව හා පෙර) - ගී අරණ බ්ලොග් අඩවිය 👉

 

පලතුරුවල හිතකර බව හා ගුණ මිහිර - සිළුමිණ පුවත්පත 👉

 

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්