නිදි ලොක්කගේ මේ පෝස්ට් එකත් එක්ක මතකෙට ආව "පටු අදහස් නම් පවුරින්" ගීය ගැන.... කලකට පෙර බන්දුල නානායක්කාරවසම් පත්තරේකට ඒ ගැන ලියපු article එකක් තමයි මේ. ඔන්න අමාරුවෙන් හොයල අරං පබිලිස් කරා 😉
රිච්මන්ඩ් විදුහලේ අපගේ පන්ති
භාර ආචාර්යවර ඩබ්ලියු. එස්. බණ්ඩාර මහතා,
එතුමන් විසින් පාසල් වියේදී ලියන ලද රබින්ද්‍රනාත් තාගෝර්
චරිතයේ අත් පිටපත මවෙත දුන්නේ,
එය මගේ අත් අකුරින් යළි ලියවා ගැනීමටය. ඒ, මගේ අත් අකුරු හොඳ නිසාත්,
එවක වසර 20 කට වඩා ගතව තිබූ නිසා
ගුරුතුමන්ගේ මුල් පිටපත යම් දිරාපත් වන ස්වභාවයක තිබුණු නිසාත්ය. කිසිදු තොරතුරු
තාක්ෂණයක් නොතිබුණු 1976 දී පමණ මේ කෘතියෙන් මා ලැබූ
මිහිර, ආභාෂය,
දැනුවත් වීම මේ අදත් නැවුම්ව සිහිපත් වේ. එහෙත් එම කෘතිය කිසිදා
මුද්‍රණය නොවුණු අතර ඒ ගැන විමසූ විට ගුරුතුමා කියා සිටියේ 'මං ඒ දෙකම විසි කරල දැම්ම'
යනුවෙනි. පුදුමය නම් ගුරුතුමාට 70 පැන්න පසු යටගියාවේ යටගිය තැන්
(2007), දඬුවම් ලද්දෝ (රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය - 2012). විරාගිනීන්ගේ සැබෑ කතා සහ ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා (2015) මෙන්ම 'පිබිදුණු යාපනය (පරිවර්තන 2016) වැනි කෘති 4ක් එක දිගට ලියා පළ කිරීමට
හැකිවීමයි. මේ කරුණ මා සඳහන් කළේ එම විසි කළ අත් පිටපතේ වටිනාකම සහ එකල ප්‍රේම්
දිසානායක වැනි ප්‍රකාශකයෙකු ගුරුතුමන් හඳුනා නොසිටීම ගැන ඇති වූ කනගාටුවෙනි.
තාගෝර් වගේම මාර්ටින් වික්‍රමසිංහ
කියන චරිත දෙකෙන් ඉගෙන ගන්න තියෙන මූලික දේ තමා හැබෑ අධ්‍යාපනය ලබන්නෙ කොහොමද කියල
දැන ගැනීම.........තාගෝර් ඉගෙන ගත්තෙ ගෙදරමයි,
වික්‍රමසිංහ ඉස්කෝලේ ගියේ කීයෙ පන්තියට ද කියල දැනගන්න, උපන් දා සිට කියවනව.
තාගෝර් විශ්ව විද්‍යාලෙ තියා ඉස්කෝලෙත් නොගියට විශ්ව විද්‍යාලයක්
දැම්ම.... ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ විශ්ව විද්‍යාලෙ නොගියට ඇවිදින විශ්ව විද්‍යාලයක්...'
අපි විමතියෙන් මෙන්ම ප්‍රබෝධයෙන්
අසා සිටියෙමු. නිතරම බණ්ඩාර ගුරුතුමා කියූ,
උගැන්වූ දේ අපේ වයසට වඩා ඉදිරියෙන්ම සිටියේය. එතුමන් තාගෝර් ගැන
නිකමට කියූ විට,
එහි තාගෝරයන්ගේ ශාන්ති නිකේතනය,
රබීන්ද්‍ර සංගීතය,
බෙංගාලි තනු සහ අපට ඒවායේ ඇති සුවඳවත් නෑකම, ගීතාංජලිය ආදී දහසක් දේ ගැබ් විනි.
තමුසෙල අහල තියෙනවද අමරදේවගේ
සින්දුවක් තියෙනව පටු අදහස් නම් පවුරින් ලෝකය කියල.
හොඳ වෙලාවට අප කීප දෙනෙක්ම
ගීතය අසා තිබුණි. බොරුවට හිස සැලුවේ නම් ගුරුතුමා එය ද කියවන්නට දන්නේය.
'සර් ඒක එච්. එම්. ගුණසේකරගේ ඉරිදා සංග්‍රහයේ යනව
- සමූහ ගීතයක්'. සර්ගෙන් අපට ලකුණු වැටේ.
'හොඳයි මේකෙ ඉතිහාසය දන්නවද?'
ඉරිදා සංග්‍රහයේ එච්. එම්.
ගුණසේකරයන් කවදා හෝ මේ ගැන කී අයුරු මට සිහි වේ. සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය
තාගෝරයන්ට උදා කළ ගීතාංජලී කෘතියෙන් ගත් කවියක් මෙසේ සේකර පරිවර්තනය කළ බව ඒ
වැඩසටහනේ කියවිණි.
සිංදු නිකං අහල දාන්නෙ නැතුව
සුළු මුල හොයනවල...... ඒක සාහිත්‍ය කෘතියක් බව අමතක කරන්න එපා...'
මේක පරිවර්තනයක් නොවෙයි. ඡායානුවාදයක් !
original
එක නැත්නම් මූලික කෘතිය තමා තාගෝර්ගේ නොබෙල් තෑග්ග දිනපු
ගීතාංජලිය. මේක ඒ පොතේ එක කවියක් විතරයි. 35 වැනි කවිය. ඒ කවියෙ නම 'WHERE THE MIND IS WITHOUT FEAR බලන්න adoption එකකයි,
translation එකකයි තියෙන වෙනස'
මේ දේවල් අවුරුදු 15 දී පමණ ඇසුවේ සිහිනයෙන්දැයි දැන් සිතේ. ඒ යුගය මෙන්ම ගුරුවරුද
අපට ගෙන එන්නේ අතිශය සාංකා පරවශ සිතුවිල්ලකි. එහෙම ගුරුවරු මතු නොව ගෝලයෝ ද
නොවෙති.
Where the mind is without fear and the head is
held high
Where knowledge is free
Where the world has not been broken up into
fragments
By narrow domestic walls
Where words come out from the depth of truth
Where tireless striving stretches its arms towards
perfection
Where the clear stream of reason has not lost its
way
Into the dreary desert sand of dead habit
Where the mind is led forward by thee
Into ever-widening thought and action
Into that heaven of freedom, my Father, let my
country awake.
1913 දී තමා හීතාංජලියට නොබෙල් prize එක ලැබෙන්නෙ. දැන් බලන්න මේ නිර්මාණ දෙකේ වෙනස, ඇත්තටම මෙතන නිර්මාණ තුනක්. බෙංගාලි භාෂාවෙන් 1910 දී ලියපු මුල් කෘතිය විනාශ උනේ නෑ ඉංග්‍රීසියට එද්දි. මන්ද, තාගෝර්මයි 1912 දී ඉංග්‍රීසියට පරිවර්තනය
කරන්නෙත්. ඒක අපට,
සිංහලට ගේන්නෙ මහගම සේකර.
ගුරුතුමා ඊළඟ පන්තියට යයි. ඉන්
පසු මේවා සෙවුමේ. පිරික්සුමේ,
උමතු ලෙස විඳීමේ වගකීම ගුරුතුමාගේ නොව අපේය. ඒ උමතුවම මේ
ගීතාත්ම තුළ නැතැයි කිව නොහැකි බව ඔබ දනී.
තාගෝර් ඉංග්‍රීසි පැදියේ 3 සහ 4 පේලි සේකරගේ ගීයේ එක පේළියකට
එන සැටි බලන්න.
Where the world has not been broken up into
fragments
By narrow domestic walls;
තාගෝරයනට පසුව ලියවෙන දේ සේකරට
මුල වේ.
''පටු අදහස්
නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී''
එමෙන්ම තාගෝරයන්ගේ 1 සහ 2 පේළි සේකරට එන්නේ 3 ලෙසය.
Where the mind is without fear and the head is
held high;
Where knowledge is free;
'බියෙන් තොරව
හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ,
ඥාණය නිවහල් වී'' කලින් තනි
පේළියකට ඇවිත් හමාරය.
කවියෙකුගේ සැබෑ කවිත්වය මෙන්ම
ඖචිත්‍යයත්,
පරිනත බවත් ස්ඵුට කිරීමට මේ සුළු වචන පේලි පමණක් නොසෑහේද? සේකර කියූ ලියූ දේ කාල,
යුග භේදයකින් තොරව අප වැළඳ ගන්නේ මේ විශ්වීය ගුණය ඔහු නිර්මාණ
විලාශයේ හා චින්තනයේ අසහායත්වය නිසාය. සන්නාලියනේ,
ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ. මුළු ලොවම සිහිනයයි....වන් අනුවර්තන
අපේම යැයි හැගෙන්නේ ද මේ විශ්වීයත්වය නිසාය. සේකර 70 මුලදී කියා ඇත්තේ අද ගැන
නොවේද ? පටු අදහස් හැම තැනම වැපිරි ඇත. කැබලි වලට බෙදී ඇත්තේ අදහස් නොව
මුළු මහත් රටයි. වැරැද්ද නිවරදි දෙය වෙයි. නිවැරැද්ද වැරැද්ද වෙයි. ප්‍රඥාව සේදී
ගොස් උගත්කම යැයි හඳුන්වන දෙය අප්‍රායෝගිකව ජන මනස අරා සැරි සරයි. රුචිකත්වය, රසඥතාව දේශනා හෝ පංති දමා උගන්වන්නට යයි. මේ සියල්ල වසර 45 කටත් පෙර මෙසේ සිදුවන බව සේකර ඔහු අන්‍යයෙකු වී අප වෙනුවෙන් ප්‍රශ්න
කර ඇත.
'නොවැටහෙන
මුත් ඔබ කියන දෙය හැගෙයි යන්තම් ඔබ කියන දෙය
වඩා පැහැදිලි ලෙස එය - කියා
දිය නොහැකිද මට....?
'
බලන්න සේකරම විසඳුම්කරුවා වී
එයට පිළිතුරු දෙන විලාශය.
'කියා දිය
නොහැක එය වචනයෙන් - පසක් කළ යුතුය එය හදවතින්
දැනුමක් නොවේ එය - අනෙකෙකුට
වචනයෙන් ඉගැන්විය හැකි...!
අවබෝධයක් වේ එය - තමන්ම පසක්
කොට උගත යුතු!'
මේ අවබෝධය නැතිකම කොයි තරම්
දිගු කාලයක සිට අප වෙලා ඇත්ද ?
මහ රෑ දෙගොඩ හරිය වනතුරු කාලය
කමින් දේශපාලන කරුම පෙන්වන්නේ නැතිව,
දැන්වත් රජයේ සහ පෞද්ගලික නාලිකා,
මිනිසුන් අතර සහානුභූතිය,
සහකම්පනය (EMPATHY)
ඇති කිරීමට මාවතක් විවර කරන්නේ නම් මේ දවස්වල කාගේත් සිත්හි ඇති
වී ඇති පුනරුද හැඟුම ව්‍යාජයක් නොකොට සදාකාලිකයක් කරගත හැකි වනු ඇත.
ගේය පදරුත්: මහගම සේකර
මියැසි අරුත් විශාරද පණ්ඩිත්
පද්ම ශ්‍රී අමරදේව
ගායන ලීලා විශාරද පණ්ඩිත් පද්ම
ශ්‍රී අමරදේව සහ ගායන වෘන්දය
රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ
ගීතාංජලියේ සංග්‍රහ වූ where
the mind is without fear කවියේ අනුවාදයකි.