පහුගිය ටිකෙ රැල්ල චන්න කතා පුවත. චන්න කීවෙ ඡන්න නෙවේ. අපෙ නළු චන්න. චන්න ගැන Post දානව, වයස ගැන කතා වෙනව, ගයත්‍රී පයින් ගැහුවෙ රන් කඳකට කියනව, පිං ගැන කියවනව, බොන්නෙ නෑලු, ආතල් ගන්නෙ නෑලු... අන්තර්ජාලෙ එක ජංජාලයයි. අන්තර්ජාලෙ කීවට ඉතිං වැඩි හරියක් බුකියෙ තමා.

සහසුද්දෙං කියනවනං චන්නගෙ වයස පේන්නෙ නැති කේස් එක තමා මාතෘකාව!

චන්න ගැන ඒ විදිහට කතා වෙනකොට මට එකපාරට මතකෙට ආවෙ Hollywood වල කතා වුණු මීට වෙනස් සිද්ධියක්. ලාස්සන අරියානාගෙ රූපෙට වෙලා තියෙන දේ. Ariana Grande (තාම 30යි)... දෙයියනේ මේකි කරන් තියෙන වින්නැහියක්! කෙල්ල බාල කාලෙම ජනප්‍රිය උනෙ දක්ෂතාවය හන්ද විතරක්ම නෙමේ... තිබ්බ cute, attractive ගතියත් එක්ක. ඒත් දැන් වයසට වඩා වැඩි, කැත පෙනුමක් අරියානගෙන් පේන්න තියෙන්නෙ.

චන්නට පායන ඉර හඳ යටම අරියානාට නරක කල දසාවක්!

මූනේ අතුල්ලන රූපලාවන්‍ය බඩු, ඉන්ජෙස්සන්, සැත්කම් වෙන්න ඇහැකි බව තමයි ජාලෙ විසාරදයන්ගෙ අදහස.

අරියානට එහෙම වෙනකොට චන්නයන්ගෙ කතාවේ සුලමුල... ජාලෙ විසාරදයින්ට අනුවම නම්, එය මේන්ටේන් ලස්සනකි. මස් නොකෑම, මධ්‍යසාර නොගැනීම වගේ කතා තමයි ඒවාට හේතු.

ඒත් එක්කම තමා බුකී සංවාදය පටන්ගත්තෙ...

කට්ටියක්... ඒ විදිහට ජීවත් වෙන්න බෑය, බොන්නැති- මස් නොකන ජීවිතේ ආතල් නැතිය, නීරසය කියල අර හොඳ කියන කොටහට ඇනුම්පද කියනව. ඒ අතරෙ චන්නටත් කෝචෝක් පාරක් දාගෙනම 😁

ඊට විරුද්ධ පාර්සවය අර මතය කියන අයට බනිමින් බුකිය තවත් රත් කරනව 😁

මැදහත් පිරිස... ජීවිතේ කැමති කෙනෙක්ට කැමති විදිහට විඳින්න පුළුවනැයි කියමින් post දානව

 


මේ කිසිම වාදයක් පටන්ගන්න තුන්හිතකවත් තිබුනෙ නැති චන්නයෝ හොරෙන් සොට් එකක් දානවද දන්නෙත් නෑ... අපිව බයිට් එකට අරගෙන, පිෂ්ෂු උට්ටල! හෙම කියාගෙන 😅

******

මේ post එක ලියන අතරෙ දැක්කෙ චන්න රසික ජයකොඩි එක්කලා chat එහෙකදී කියනව හිටං "මම හොඳට කන බොන කෙනෙක්" කියල 😁​😋​

podcast එක මරු පුලුහංනං බලන්න 👉



කළා කෘතියක පොඩි පොඩි කොටස් තුලින් වෙන වෙනම රස ජනිත වෙන්ට පුළුවන්. ඒ වගෙම කොටසක් වෙනම ගෙන රස විඳින්න/ කතා කරන්නත් ඇහැකි කියල... පුරාණ පඬිවරයෙක් අටපට්ටමට කියල තිව්න ☺️. ඔය සමහරු කියන්නෙ ආන් අර සිංදුවේ බටනලා part එක මරු, අර film ඒකෙ fight සීන් ටික මරු කියල...

 

ඒ වගෙ ලක්ෂ්මන් විජේසේකරගෙ 'සඳ කිනිති නැමී' කියන ගීතය අහද්දි එකපාරටම දෙවැනි පද පේළිය එක්ක වෙනස් අදහසක මයෙ ඔලුවට ආව. ඒ හන්ද මේ පෝස්ටුව ඒ ගීයෙ සම්පූර්ණ පද රචනාවත් සමග අදාළත්වයක් නැති වග කරුණාවෙන් තකන්න 😁

 

 " ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ "

 

ආදර සම්බන්ධයෙදී අපේ ආදරය අනෙකාට කියන්නද වඩා කැමති, නැතිනං එයා තමුන්ට ආදරේ කියල කියනවටද... වඩා කැමති?

 

ආදරේ කියන්නෙ ක්‍රියා පදයක්ය කියල අපේ උන්දලාම පාරම්බෑවට මොකද අපි වැඩිපුර කැමති එය ලබන්ට. ලැබෙනව කියල දැනෙනවට. එහෙම නෙ?. ඒක නිසා වෙන්න ඇති සම්බන්ධයක් පටන්ගත්ත ගමනෙ ඉඳල අනිකාගෙන් අහන්නෙ, මැසේජ් කරන්නෙ... ඔයා මට ආදරේ නේද කියල.

 

ඒ විතරක්ද... අඳින ඇඳුම තමන් කැමති එකක් වෙනව නම්, කොන්ඩේ පීරන, යන- එන තැන, ආශ්‍රය කරන අය, එකී මෙකී නොකී බොහෝ දේ තමන් කැමති සීමාවේ ඉඳන් අනෙකා අතින් සිදුවෙනව නම් අපි හරි කැමතියි!

 

අයිතිය කියමින් නීතිය, සමාජය ඉස්සරහ උත්සව ශ්‍රීයෙන් විවාහ වෙන්නෙත් ඉතින් ඒක නිසාම නෙ. (පහුව කෙහෙවලු පටලගන්න එකනං වෙනම දෙයක් 😄)

 

ඉතිං එහෙව් ආත්මාර්ථකාමී අපි අතරින් පිරිසිඳු, සුරම්‍යය ආදරයක් බොහොම දුරද මන්ද.




ඔය එක දේව කතාවකත් මං අහල තියෙනව... මුලින්ම තනි කෙනෙක් මවල පස්සෙ ඒ තනි අය අර්ධ දෙකක් කරාය. ඒකයි මේ ආදරය කියා කියා තමන්ගෙ අනික් අර්ධය හොයාගෙන යන්නෙ කියල.

 

ඒ වගෙම කියවපු එක වෛදික යෝගියෙක්ගෙ අදහසක සඳහන් වෙලා තිව්න 'තම සාරය සෙවීම තමයි මිනිසාගේ පරමාර්ථය විය යුත්තෙ/ වෙන්නෙ' කියල.

එහෙම බැලුවම... අපි භාහිර දේවල් වලින් දකින්න හදන්නෙත්, හොයන්නෙත් තමාවමද?

 

" ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ ..."

 

මේ අදහසම ද මන්ද සේනක බටගොඩගේ 'අපි කවුරුද?' පද පේළියේ තියෙන්නෙත් කියල හිතුන ඒ සිංදුව ඇහෙද්දි

 

 

සීසීකඩ විසිරුනු සිතිවිලි

දියබුබුලේ නලියන පෙනකැටි වාගේ

හුදකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වාගේ

නිමක් නෑ...

 

මෙහොතින් මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

ගීයකි ලොව.. සිතුවම් කල..

 

අතරේ අහනවා බලනව මේ අපි කවුරුද

 

ඉර බැසයන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ

ගලා හැලෙන රිද්මේ නැහැවි

ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලග සේ...

 

මොහොතට මොහොතට ගෙවනා කාලය

දැනෙවා කාටත් එක විදිහට

ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

 

ඕ.. ගිනියම් ඉර.. සඳ සිසිලස..

අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද

ජේසු තුමාගේ කතාවක් තියෙනවනෙ "ඔබේ එක කම්මුලකට පහර දෙන අයට අනික් කම්මුල පාන්න" කියල. ඕකට පර සුද්දො විහිලුවට කතාවක් හැදුව. අනෙක් කම්මුලත් දුන්න මනුස්සය දත් දොස්තර ගාවට දෙසැරයක් යන්නව කියල හිටං 😁😁.

කවරේ කතාව අල්ලලා ඒක හොඳ විහිලුවක් උනත්... ඇතුලෙ කතාව එච්චර සරල එකක් නෙමේ කියල ඉතිං හැමෝම දන්නවනෙ.

ඔය අතරෙ සෝසල් මීඩියා එකේ නත්තල එක්ක අදහස් ගොන්නක් share වෙනව. තිව්න අදහස් 2,3ක් අමුනලා ගත්තහම...

"ආදරේට, ප්‍රේමයට හොඳ දවසක් තමයි නත්තල. හැමෝටම කරුණාව දක්වන්න. මොකද යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දීයි. ජීසස්ගේ 'අසල්වැසියාට ප්‍රේම කරන්න' සහ 'ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න' කියන පණිවිඩ දෙක ලොව සුපතල දේශනා පාඨ දෙකක්."



ඔය අස්සෙ බුකියෙ එක තැනක තිබ්බ... මෙදා සමරන්න ඕන දවසක් නෙවේය. ඒ වගේම ජේසු ඉපදුනේ 25 නෙවේය ඒ නිසාත් උත්සව, සැමරුම් එපා කියල හිටං.

මිනිස්සු පොඩ්ඩක් එකතු වෙලා කාල-බීල සතුටු උනාට නම් කමක් නෑ ඉතින්. මොකද වැඩිහරියක් මිනිස්සු කරන්නෙ ජීවත් වෙන්න ඕන නිසා රස්සාව එක්ක පැටලිලා ඉන්න එක, ඉගෙනීම එක්ක කාලය ගෙවන එක. ඒ අතරේ නිවාඩු පාඩුවක පොඩි පාටියක් දැම්මම මක් වෙනවද. ඉස්මුරුත්තාවට බීල, සිංදු අස්සෙ කුණුහරුපත් කියන් අවසානෙට ඇනකොටා නොගෙන... සාදයක් දැමීම, මිනිස්සු එකතුවෙලා සතුටු වෙන එක ඉතින් ස්වර්ග රාජ්‍යයෙන් දොට්ට දාන්න තරන් වරදක් නෙමේ නෙ 😁.

පාටි නොදැම්ම කියල උන් ඒ ඉතිරි උන වෙලාවෙන් ගැඹුරු මානසික පරිවර්තනයට, ජීවිතේ අරුත් හොයන්න වෙහෙසෙනව කියලයෑ. එහෙම වෙනවනම් විතරක් සැමරුම්, පාටි නැවත්තුවට කමක් නෑ. නැහ්නං වෙන්නෙ ජීවිතේ ලබපු සතුටකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඒ නිසා දෙපැත්තම බැලන්ස් වෙන ක්‍රමයක් හොයාගත්ත නං පංකාදුයි. නත්තලේ අරුත වටහා ගන්න අතරේ ප්‍රීති ප්‍රමොදේ වගේ එකක්!

ඒ වගේමයි කොහොමින් කවුරු, කොතැන, කවදා ඉපදුනාම මොකද සාමය වෙනුවෙන් පෙනී හිටිය නං, යුධ ගිණි වලට එරෙහි උනා නං.  (පස්සෙ ආගම කරපින්නගත්ත උන් යුද්ධ කරාට). ඉතිහාසය සෙවීම වෙනම දෙයක් වෙනකොට... යහපතක් අනුස්මරණයට හරියටම අදාළ දවස ඕනයෑ.

...නැද්ද මං අහන්නෙ 😊

 

හැපී කිස්මක්!





පොඩි සන්දියේ ඉස්කෝලෙ යාළුවො මයෙන් අහපු දෙයක් අද වගේ මතකයි. ඒ තමයි “වැඩියෙම ශක්තිවන්ත දසමහ යෝධයද, බෘස් ලී ද?”.

 

ඒකෙන්ම තේරෙනව අපි ඒ දෙකොටසින් වැඩිපුර කා ගැනද දැනන් හිටියෙ කියල. දසමහා යෝධයො කියන්නෙ එක්කෙනෙක්ට නෙමේ කියල ඉන්තේරුවෙන්ම අපට තේරුම් යනකොට... බෘස් ලී වීරය වී හමාරයි!


 

බෘස් ලීගෙ රුව සද්ධන්ත විදිහට මතකයේ රැඳුන පලවෙනි තැන තමයි වැඩිහිටි පන්තිවලට ඉස්කෝලෙ දී පෙන්නපු චිත්‍තරපටයක්... ටිකට් නැතුව හොරෙන් බලාපු දවස. අඳුරන වැඩිමලෙක්ට කපටි හිනාවකින් සංග්‍රහ කරලා මං පුස්කතාල දොරෙන් ඇතුලට සේන්දු උනේ හුඹහට නයා සේන්දු වන්නැහෙ. පිටිපස්සෙම පුටුවකින් දිගෑදුනු මට මෙහායින් අටවලා තිව්න කැරකෙන ප්‍රොජෙක්ටරයක් එහාම බිත්තියේ පෙන්නමින් හිටියේ බෘස්ලීවයි.

මදක් වැවුණු ඝන කොණ්ඩය, තියුණු ඇස්, ඔපමට්ටන් කළ මස්ගොබ ඇති මේ දේහධාරියා උඩින් වැටෙන ගල් දොරක් උස්සාගෙන අනෙක් අයට යන්න උදව් කරයි. මේ යකානම් හැබෑම යෝධයෙක්!

 

ලෝකයේ එතෙක් මෙතෙක් ජනාදරයට, ගෞරවයට පාත්‍ර වුණු වෙනත් සටන් ශිල්පියෙක්, බෘස් ලී හැරුණු කොට නැති තරම්ය. ඒ වාගේම තමා නියෝජනය කරන පිරිසෙන්ම විවිධ අභියෝග හා බාධකවලට ලක් වූ වෙනත් කෙනෙක්ද නැති තරම්ය.

 

එතෙක් මෙතෙක්, පෙර - අපරදිග සියලු ජනයාට එක ලෙස... සටන්ශිල්පය ගැන ලී තරම් බලවත් අදහසක් ජනිත කළ වෙනත් අයෙකු නැති තරම් ය.

 

ඒ විතරක් නොව ලෝකයේ සටන් ශිල්පීයෙක් ලෙස විරුධාවලිය ලද දාර්ශනිකයෙක් ඇත්නම් ඒ ලී පමණක්මය.




November 27, 1940 - July 20, 1973

සුබ උපන්දිනක් බෘස්!


අද ඇත්තටම වෙන post එකක් දාන්න බාගෙට හදලා හෙම හිටියේ. ඒත් පෝය කියලා මතක් උනහම අදහස වෙනස් උනා!

ඉස්සර blog වල මෙයාකාර දහම් post පල වුන මතකයි. මාර විවිධාංගීකරනයක් තිබ්බෙ! බස්සානම් කියයන්නේ ඉතින් blog ලොව උනත් අනිත්‍යය දහමට යටයි කියල හිටං. ඔන්න ඒ පෙර බරණැස් blog පුරවර සිහිවීම පිණිස මෙහෙව් ධාර්මික පෝස්ටුවක් පබිලිස් කරන්නම්.

 

පෝස්ටුට හේතුභූත උනේ බුකියේ ඉහළ පහල යද්දී එකපෙලට හමුවුන video කීපයක්. ඔක්කොම වල සාරාංශය අහිමිවීම - දුක. බල්ලා අසනීප වෙලා අඬනවා. සැමියා මැරිල, බිරිද අඬනවා. දරුවා මැරිලා අම්ම අඬනවා. ඔයාකාර අඬන video list එකක් අස්සේ නමකුත් ඔලුවට ගියා... මල්ලිකා 🧠

 

එකපාරටම මතක අතරින් කෝසල මල්ලිකා දේවිය එක්ක මේ දුක සම්බන්ධව අහලා තියෙන කතාවක් මීටර් උනා!


 කොසොල් රජතුමා, එච්චරම ලස්සන නොවුනත් නුවණ අතින් සලකලා සාමාන්‍යය කෙල්ලෙක් උන මල්ලිකාව රටේ අගමෙහෙසිය කරගන්නව. කොසොල් රජතුමා කිව්වහම අපිට එකපාරම මතක් වෙන්නෙ සේරු 30 ගානක බත් කාපු එක විතරයි නෙ. ඒත් මේ පසේනදී කෝසල කියන්නෙ බොහොම ජවසම්පන්න කෙනෙක් කියලයි සඳහන. (ඔච්චර කෑමක් දිරවන්නත් කොච්චර හයියක් ඕනද නෙ 😄)

 

ඒ වගේම කොසොල් රජු පහු කාලෙක ශාක්‍යය ජනපදයෙනුත් කුමාරිකාවක් ඕනෙමයි කියල ඉල්ලලා තියෙනව. ඒ ශාක්‍යය කුලේ වංශවත්භාවය තම නමට ගාවගන්න තිබිච්ච උවමනා, රාජ්‍යය අතර සහයෝගීතාව වැඩිකරගන්න වගේ කාරණා වෙන්නට පුළුවන්. ඒත් තමන්ගේ වංශය හෑල්ලු නොවෙන්න වගබලාගන්න ශාක්‍යයෝ උපායෙන්... නියම කුමාරිකාවක් නොවන, ඒත් බොහොම රූපවත් කාන්තාවක් කොසොල් දනව්වට ලබා දෙනව. ඇයගේ නම තමයි වාසභ කත්තියා. වාසභකත්තියාට දාව ඉපදෙන විඩූඪහ කුමාරයා  වැඩිවියට ඇවිත් මේ ගැන දැනගෙන තමයි අර කරාය කියන ශාක්‍යය සංහාරයෙන්... ඒකට පළිගන්නෙ. එයින් ඉතුරු වුන ශාක්‍යය සුළු පිරිසෙන් මෞර්ය වංශය ගොඩනැගුන බව තමයි කියවෙන්නෙ. ඒ මෞර්යය අධිරාජ්‍යයේ උසස්ම පාලකයා විදිහට සඳහන් වෙන්නෙ ධර්මාශෝක රජුනෙ. ඒ උනාට අශෝකගේ සීයත් ඇවිල්ල එසේමේසේ පුද්ගලයෙක් නෙමේ. ඔහු තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මුළු දඹදිවම තනි පාලනයකට ගන්න සමත්වුනු චන්ද්‍රගුප්තට අපූරු උපදේශකකුත් ඉඳල තියෙනව. ඔහු තමයි කෞටිල්‍යය නමින් හඳුන්වන චාණක්‍යය බ්‍රාහ්මණයා (විෂ්ණුගුප්ත කියලත් කියනවාද මන්ද). කවුරුත් දන්න කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය කියන රාජ්‍යය පාලනය ගැන ඉගෙන ගත හැකි වටිනා පොතේ රචකයාද ඔහුයි. ඔහුගේද උදව් එක්ක විශාල යුධ සංහාර මතින් තමා චන්ද්‍රගුප්ත දීප චක්‍රවර්තී කිරුළ දරන්නෙ.

 

(එතකොට මට ඇතිවෙන ගැටළුවක් තමයි ලෝකේ වැඩිම යුධ ජයග්‍රාහකයා චින්ගීස් ඛාන්ද, නැත්තම් චන්ද්‍රගුප්තද කියල. මොකද ඒ තරමටම යුද්ධ කරල තමයි චන්ද්‍රගුප්ත මෞර්යය අධිරාජ්‍යය ගොඩනගන්නෙ. එයට නොදෙවැනි වෙන්න තිබුනා අශෝකත් යුධ මාරගයේ දිගටම ගියානම් !)


 

   ආයෙම කතාවට ගියොත් 😉

ඔය අතරේ තවත් මල්ලිකා කෙනෙක් ඉන්නවා කොසොල් දනව්වේ. ඒ තමයි කොසොල් රජතුමාගේ සෙන්පති වෙච්ච බන්දුල මල්ලගේ බිරිඳ... බන්දුල මල්ලිකා. එතකොට මේ මල්ලිකාට ඇතිවෙච්ච දොළදුකක් සංසිඳවන්න, තනියෙම ලිච්චවී රාජ්‍යයට ඇයවත් එක්කරන් ගියා කියනවානෙ මේ බන්දුල සෙන්පති. දොළදුක තමයිලු ලිච්චවී රාජකුමාරයන් විතරක් පරිහරණය කරන ජල තටාකයෙන් ස්නානය කිරීම. කුමාරවරු පිරිසකට සටනකුත් දීල තමයි බන්දුලමල්ලට ආපහු එන්න හම්බෙලා තියෙන්නෙ. ඔයාකාර එඩිතර කොසොල් රජතුමා, බන්දුල මල්ල වගේ අය හන්ද රාජ්‍යයත් බොහොම ශක්තිමත්ව තියෙන්න ඇති.

 

ඔන්න ඉතින් ඔහොම රට ශක්තිමත්ව, සාමකාමීව යද්දී... කොසොල් රජතුමාට දවසක් අහන්න හම්බවෙනව බුදුහාමුදුරුවෝ කිව්වාය කියල “ප්‍රිය දෙයින් තමයි දුක උපදින්නේ” කියල.

 

රජතුමා කල්පනා කරනව... මේ හරුපේ තේරුම මොකක්ද! කැමති දේවල් වලින්නෙ සැප, සතුට උපදින්නෙ. අපේ මල්ලිකාට මොලේ තිබ්බට මොකද බණ අහන්න යන්නේ මෙහෙමත් අයගෙන් නෙ කියල අගමෙහෙසියට ඉතින් විහිලු කරාලු. මල්ලිකා දේවියත් එකපාරටම මේකට උත්තර නොදී බුදුන් හමුවට කෙනෙක් යවලා මේ කතාවේ අගමුල අහගත්තා.

 

ඉතින් රජතුමාත් නිදහස් වෙලාවක් බලලා නුවණක්කාර මල්ලිකා ගිහින් අහනවලු ‘රජතුමනී ඔබතුමා පණ වගේ ආදරේ කරන දුව නැතිවුනොත් එහෙම...?’. රජතුමාට කේන්ති ගිහින් ‘දූ කුමාරි නැති උනොත් හොඳට තියෙයි. අගබිසව මොනවද මේ කියන්නෙ’ කියල ඇහුවලු. ආයෙම බිසව ‘එහෙනම් වාසභ කත්තියා මැරුනොත්...... නැත්තම් මට මොනවා හරි උනොත්’ කියල අහල.

 

රජතුමාට ඒ වෙලාවෙත් කේන්ති ගිහින් ‘මගේ ප්‍රාණසම අයට කරදර, මරණ එද්දී මම කොහොමද දරාගෙන ඉන්නෙ කියල, ඔය කතානම් තවත් කතා කරන්න එපා කිව්වලු.

 

එතකොට මල්ල්ලිකා දේවි රජතුමාට කියනව “ඔය ගැන තමයි ඉතින් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ”.

 

පෝදා විකාශය නිමි.

ස්වස්ති සිද්ධම් 😇!

 

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්